Skip to content

පටුනට යන්න

දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ඇයි?

දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ඇයි?

‘යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.”’—උත්. 2:18.

ගීතිකා: 36, 11

1, 2. (අ) විවාහ සැලැස්ම ආරම්භ වුණේ කොහොමද? (ආ) විවාහය ගැන මුල් යුවළ තේරුම්ගන්න ඇත්තේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

යම් වයසකට ආවම විවාහ වෙන එක සමාජය සලකන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. ඒත් විවාහයේ ආරම්භය, ඒක ඇති කරන්න හේතුව දැනගන්න එක වැදගත්. විවාහ බැඳීම අපි සලකන්න ඕනෙ කොහොමද කියලා තේරුම්ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. දෙවි ආදම්ව නිර්මාණය කරලා සතුන්ට නම් දාන පැවරුම එයාට දුන්නා. ඒ සතුන් හිටියේ ජෝඩු හැටියට. ඒත් “ඒ වන විටත් මිනිසාට ගැළපෙන සහකාරියක් සිටියේ නැහැ.” ඒ නිසා දෙවි ආදම්ව තද නින්දකට වැටෙන්න සලස්වලා එයාගේ ඉළ ඇටයකින් ස්ත්‍රියක්ව නිර්මාණය කළා. ඊටපස්සේ එයාව ආදම්ට භාර දුන්නා. (උත්පත්ති 2:20-24 කියවන්න.) විවාහය කියන්නේ දෙවි දුන්න තෑග්ගක් කියලා ඒකෙන් පැහැදිලියි.

2 ‘මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියලා ඒදන් උයනේදී යෙහෝවා දෙවි කියපු දේ පස්සේ කාලෙක යේසුත් මතක් කළා. (මතෙ. 19:4, 5) දෙවි මුල්ම ස්ත්‍රිය නිර්මාණය කළේ ආදම්ගේ ඉළ ඇටයකින් නිසා ඒ දෙන්නා අතරේ කොච්චර කිට්ටු බැඳීමක් තියෙන්න ඕනෙද කියලා එයාලා තේරුම්ගන්න ඇති. දික්කසාදය නැත්නම් කීපදෙනෙක්වම විවාහ කරගෙන එකට ජීවත් වෙන එක දෙවි මුලින් ඇති කරපු සැලැස්මට ඇතුළත් වුණේ නැහැ.

විවාහ සැලැස්ම දෙවිගේ අරමුණට ඇතුළත්

3. විවාහ සැලැස්ම දායක වුණේ මොන දේටද?

3 තමන්ගේ බිරිඳව දැක්කම හුඟක් සතුටු වුණ ආදම්, එයාට ඒව කියන නම දුන්නා. ඒව ආදම්ට ගැළපෙන සහකාරියක්. යුවළක් විදිහට ජීවිතේ සතුටින් ගත කරන්න එයාලට පුළුවන්කම තිබුණා. (උත්. 2:18) එයාලගෙන් පැවතෙන අයගෙන් මුළු පොළොවම පුරවන එක දෙවිගේ අරමුණයි. ඒ අරමුණ ඉටු කරන්න විවාහය දායක වුණා. (උත්. 1:28) ඒ කොහොමද? එයාලට බිහි වෙන දරුවන් යම් වයසකට ආවම විවාහ වෙලා දෙමාපියන්ගෙන් වෙන් වෙලා ගිහින් එයාලගේම පවුලක් පටන්ගන්නවා. ඒ විදිහට මුළු පොළොවම ලස්සන පාරාදීසයක් කරනවා.

4. මුල්ම විවාහයට මොකද වුණේ?

4 මුල් යුවළ දෙවිට අකීකරු වුණාම එයාලගේ විවාහ ජීවිතේ ප්‍රශ්නවලින් පිරෙන්න පටන්ගත්තා. “මුල් සර්පයා” හැටියට හඳුන්වන සාතන් ඒවව රැවැට්ටුවා. සාතන් කිව්වේ “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගහෙන්” ගෙඩි කෑවොත් හරි වැරැද්ද මොකක්ද කියලා තීරණය කරන්න ඒවටම පුළුවන් වෙනවා කියලයි. ඒ ගැන සැමියාගෙන් අහනවා වෙනුවට ඒව තනි තීරණයක් ගත්තා. ඒකෙන් එයා පෙන්නුවේ පවුලේ මූලිකයා හැටියට ආදම්ට තිබුණ අධිකාරියට එයා ගරු කළේ නැහැ කියලයි. ඒව දීපු ගෙඩිය කාපු එකෙන් ආදම් පෙන්නුවේ දෙවිට කීකරු වෙනවට වඩා බිරිඳව සතුටු කරන එක එයාට වැදගත් කියලයි.—එළි. 12:9; උත්. 2:9, 16, 17; 3:1-6.

5. ආදම් සහ ඒව වැඩ කරපු විදිහෙන් අපි ඉගෙනගන්න පාඩම මොකක්ද?

5 කරපු වරද ගැන දෙවි ඇහුවම ආදම් කිව්වේ “ඔබ මට දුන් ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩා මට දුන්නා. එබැවින් මමත් එය කෑවා” කියලයි. එයා වරද දෙවිට පැටෙව්වා. ඒව සර්පයාට දොස් කිව්වා. (උත්. 3:12, 13) වරද පිළිගන්නේ නැතුව එයාලා නිදහසට කරුණු කිව්වා. අකීකරු වෙන්න කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැති නිසා දෙවි එයාලට දඬුවම නියම කළා. මොකක්ද පාඩම? විවාහය සාර්ථක කරගන්න නම් සැමියයි, බිරිඳයි යෙහෝවා දෙවිට කීකරු වෙන්නම ඕනේ. තමන් කරන කියන දේවල වගකීම භාරගන්නත් සූදානමින් ඉන්න ඕනේ.

6. උත්පත්ති 3:15 සඳහන් අනාවැකිය විස්තර කරන්න.

6 සාතන් මුල් යුවළව දෙවිගෙන් ඈත් කළත් මිනිසුන් සඳහා දෙවිට තිබුණ අරමුණ වෙනස් වුණේ නැහැ. යෙහෝවා දෙවි කිව්ව මුල්ම අනාවැකියෙන් ඒක පැහැදිලියි. (උත්පත්ති 3:15 කියවන්න.) ‘ස්ත්‍රියගෙන් පැවත එන කෙනෙක්’ සාතන්ගේ හිස පොඩි කරනවා කියලා ඒ අනාවැකියේ කිව්වා. ස්වර්ගයේ දෙවිට කීකරුව සේවය කරන දේවදූත සේනාව හරියට දෙවිගේ භාර්යාව වගේ. මොකද ඔවුන්ට දෙවි එක්ක තියෙන්නේ කිට්ටු බැඳීමක්. සාතන්ගේ හිස “පොඩි කරන්න” දෙවි එවන්නේ ඒ සේනාවෙන් කෙනෙක්වයි. ඒ තැනැත්තා නිසා දෙවිට කීකරු වෙන හැමෝටම මුල් යුවළ නැති කරගත්ත ජීවිතය ආයෙත් ලැබෙනවා.—යොහ. 3:16.

7. (අ) මුල් යුවළගේ අකීකරුකම නිසා විවාහ වෙන අය අද්දකින ගැටලු මොනවද? (ආ) බිරිඳගෙන්, සැමියාගෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ මොනවද?

7 අකීකරුකම නිසා මුල් යුවළට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වුණා. ඊටපස්සේ විවාහ වෙන හැමෝමත් ඒ ගැටලු අද්දකිනවා. උදාහරණෙකට දරුවන් බිහි කරද්දී ස්ත්‍රීන්ට ලොකු වේදනාවක් අද්දකින්න වෙනවා. බිරිඳට සැමියා ගැන අධික ඇල්මක් ඇති වුණත් සැමියා බිරිඳව පාලනය කරනවා. සමහර වෙලාවට බිරිඳට හිරිහැරත් කරනවා. (උත්. 3:16) ඒත් දෙවි බලාපොරොත්තු වෙන්නේ මූලිකයා විදිහට සැමියා ආදරෙන් පවුල බලාගනියි කියලයි. බිරිඳ සැමියාගේ මූලිකත්වයට ගරු කරයි කියලයි. (එෆී. 5:33) ඒ විදිහට එකමුතුව වැඩ කරනවා නම් විවාහ ජීවිතයේ ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්.

නෝවාගේ කාලේ වෙද්දී විවාහ බැඳීම තවත් පිරිහුණා

8. ආදම්ගේ කාලේ ඉඳන් නෝවාගේ කාලේ දක්වා විවාහ සැලැස්මට වෙලා තිබුණේ මොකක්ද?

8 අකීකරු වෙලා ටික කාලයක් ගියාට පස්සේ මුල් යුවළට දරුවෝ ලැබුණා. (උත්. 5:4) එයාලගේ වැඩිමල් පුතා කායින් විවාහ වුණේ එයාගේ සහෝදරියක් එක්ක. බයිබලේ සඳහන් වෙන විදිහට ස්ත්‍රීන් දෙන්නෙක්ව විවාහ කරගත්ත මුල්ම කෙනා කායින්ගෙන් පැවත ආපු ලාමෙක්. (උත්. 4:17, 19) ආදම්ගෙන් පැවත ආපු වැඩිදෙනෙක් දෙවිට නමස්කාර කළේ නැහැ. ඒත් ආබෙල්, ඒනොක්, නෝවා සහ එයාගේ පවුලේ අය දෙවිට විශ්වාසවන්තව හිටියා. නෝවාගේ කාලෙදී ‘සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දැකලා ඔවුන්ගේ හිතුමනාපෙට ස්ත්‍රීන්ව තෝරාගෙන විවාහ කරගත්තා.’ ඒක දෙවිගේ අරමුණට විරුද්ධ දෙයක්. එයාලා බිහි කරපු දරුවෝ දාමරික වැඩ කරපු යෝධයෝ වුණා. ඒ කාලෙදී ‘මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබුණා. එයාලගේ සිත් නිතරම යොමු වෙලා තිබුණේ නපුරු දේ කරන්නයි.’—උත්. 6:1-5.

9. නෝවාගේ කාලේ හිටපු දුෂ්ට මිනිසුන්ට දෙවි දඬුවම් කළේ කොහොමද? ඒ කාලේ සිද්ධ වුණ දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

9 ජලගැල්මකින් දුෂ්ට මිනිසුන් හැමෝවම විනාශ කරනවා කියලා දෙවි කිව්වා. “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ නෝවා” ඒ පණිවිඩය මිනිසුන්ට දැනුම් දුන්නා. (2 පේතෘ. 2:5) ඒත් ඒ අය නෝවා කියපු දේවල් තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. කෑම බීම, විවාහය වගේ ජීවිතේ එදිනෙදා දේවල් නිසා ඒ පණිවිඩයට අවධානය දෙන්න එයාලට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. යේසුස් කිව්වේ අපේ කාලේ සිද්ධ වෙන දේවල් නෝවාගේ කාලේට සමානයි කියලා. (මතෙව් 24:37-39 කියවන්න.) අපිත් දුෂ්ට සමාජයේ විනාශයට කලින් ශුභාරංචිය ගැන කියද්දී හුඟදෙනෙක් ඒක කනකටවත් ගන්නේ නැහැ. නෝවාගේ කාලේ හිටපු මිනිසුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? විවාහය, දරුවන් ඇතිදැඩි කරන එක වගේ දේවලට අපේ ජීවිතේ මුල් තැන දුන්නොත් විනාශය අත ළඟයි කියන දේ අපේ මතකයෙන් ගිලිහෙන්න පුළුවන්.

යේසුස්ගේ කාලේ වෙද්දී විවාහ බැඳීම පිරිහිලා තිබුණ විදිහ

10. (අ) එදා සාමාන්‍ය දෙයක් වුණේ මොන වගේ දේවල්ද? (ආ) ආබ්‍රහම් සහ සාරා ආදර්ශයක් වුණේ කොහොමද?

10 නෝවාට හිටියේ එක බිරිඳයි. එයාගේ පුතාලා 3දෙනාත් භාර්යාවන් එක් කෙනෙක්ට වඩා විවාහ කරගත්තේ නැහැ. ඒත් ජලගැල්මෙන් පස්සේ හිටපු හුඟක් අය භාර්යාවන් කීපදෙනෙක්ව විවාහ කරගත්තා. කාලයක් යද්දී අනාචාරයේ යෙදෙන එක හුඟක් අයට සාමාන්‍ය දෙයක් වුණා. ඒක එයාලගේ ආගමික වත්පිළිවෙත්වලත් තිබුණා. කානාන් දේශයේ ජීවත් වුණ කාලය පුරාම ආබ්‍රහම් සහ සාරා වට වෙලා හිටියේ විවාහ බැඳීම සැහැල්ලුවට ගත්ත, අනාචාර ජීවිත ගත කරපු මිනිසුන්ගෙන්. සොදොම් සහ ගොමෝරා කියන නගර දෙවි විනාශ කළෙත් ඒ නිසයි. ඒත් ආබ්‍රහම් ඊට වඩා වෙනස්. පවුලේ මූලිකයා විදිහට එයා ආදරෙන් පවුල රැකබලා ගත්තා. සාරා ආබ්‍රහම්ගේ මූලිකත්වයට ගරු කරපු යටහත්පහත් බිරිඳක්. (1 පේතෘස් 3:3-6 කියවන්න.) ආබ්‍රහම් ඊසාක්ට බිරිඳක්ව හොයද්දී දෙවිට නමස්කාර කරපු කෙනෙක්වයි හෙව්වේ. ඊසාක් එයාගේ පුතා යාකොබ්ට කිව්වෙත් ඒ දේමයි. පස්සේ කාලෙක ඊශ්‍රායෙල් ජාතිය බිහි වුණේ යාකොබ්ගේ පුතාලා 12දෙනාගෙන්.

11. නීතිය ඊශ්‍රායෙල්වරුන්ට ආරක්ෂාවක් වුණේ කොහොමද?

11 පස්සේ කාලෙක දෙවි ඊශ්‍රායෙල්වරුන් එක්ක ගිවිසුමක් ඇති කරගෙන එයාලට නීතිය ලබා දුන්නා. විවාහයේදී අදාළ කරගන්න ඕනෙ විවිධ නීතිත් ඒකට ඇතුළත් වුණා. උදාහරණෙකට දෙවිට නමස්කාර කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වෙන්න ඊශ්‍රායෙල්වරුන්ට නීතියෙන් අවසර තිබුණේ නැහැ. විවාහයන් කීපයක් කරගන්න එක සම්බන්ධයෙනුත් නීති තිබුණා. විවාහ බැඳීම ආරක්ෂා කරගන්නත් දෙවි එක්ක තියෙන බැඳීම රැකගන්නත් ඒ නීතිය එයාලට උදව් වුණා. (ද්විතීය කතාව 7:3, 4 කියවන්න.) විවාහයක බරපතළ ප්‍රශ්නයක් ඇති වුණොත් එයාලට උදව් කරන්න වැඩිමහල්ලන් හිටියා. ද්‍රෝහිකම, ඊර්ෂ්‍යාව, සැකය වගේ දේවල් වළක්වන්නත් නීති තිබුණා. දික්කසාද කරන්න අවසර තිබුණත් දෙන්නගෙන් කාටවත් අසාධාරණයක් වෙන්න නීතියෙන් ඉඩ දුන්නේ නැහැ. උදාහරණෙකට “නොමනා ආකාරයකින් හැසිරෙන” බිරිඳක්ව දික්කසාද කරන්න අවසර තිබුණා. (ද්වි. 24:1) ‘නොමනා ආකාරයේ හැසිරීමක්’ කියන්නේ මොකක්ද කියලා බයිබලේ විස්තර කරලා නැතත් පොඩි පොඩි අඩුපාඩුකම් නිසා බිරිඳව දික්කසාද කරන්න අවසර තිබුණේ නැහැ.—ලෙවී. 19:18.

කවදාවත් ද්‍රෝහි වෙන්න එපා

12, 13. (අ) මලාකිගේ කාලේ හිටපු සමහරු තමන්ගේ බිරිඳට සැලකුවේ කොහොමද? (ආ) බව්තීස්ම වුණ කෙනෙක් අනාචාරයේ යෙදුණොත් එයාට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ දේවලටද?

12 අනාගතවක්තෘ මලාකිගේ කාලේ හිටපු යුදෙව්වන් එක එක හේතු මවලා එයාලගේ භාර්යාවන්ව දික්කසාද කළා. ළාබාල අයව, දෙවිට නමස්කාර නොකරන අයව විවාහ කරගන්නයි එහෙම කළේ. යේසුස්ගේ කාලේ හිටපු අයත් පොඩි පොඩි හේතු නිසා භාර්යාවන්ව දික්කසාද කළා. (මතෙ. 19:3) ඒත් යෙහෝවා දෙවි ඒක සැලකුවේ ද්‍රෝහිකමක් විදිහටයි.—මලාකි 2:13-16 කියවන්න.

13 අද ඉන්න දෙවිගේ සෙනඟත් සහකරුට, සහකාරියට ද්‍රෝහි වෙන එක කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. හිතන්න, බව්තීස්ම වුණ විවාහක කෙනෙක් තවත් කෙනෙක් එක්ක අනාචාරයේ යෙදෙනවා කියලා. ඊටපස්සේ තමන්ගේ බිරිඳව, සැමියාව දික්කසාද කරලා එයාව විවාහ කරගන්නවා. ඒ කෙනා තමන්ගේ වරද ගැන පසුතැවෙන්නේ නැත්නම් එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනවා. එහෙම කරන්නේ සභාව පවිත්‍රව තියාගන්නයි. (1 කොරි. 5:11-13) එයාව ආයෙත් සභාවට පිළිගන්න නම් එයා ‘ඇත්තටම පසුතැවිලි වෙලා කියලා ක්‍රියාවලින් ඔප්පු කරලා පෙන්නන්න’ ඕනේ. (ලූක් 3:8; 2 කොරි. 2:5-10) එයාව සභාවට නැවත පිළිගන්නේ යම් නිශ්චිත කාලෙකට පස්සේ කියලා කියන්න බැහැ. තමන් අවංකව පසුතැවිලි වෙනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න සමහරවිට අවුරුද්දක් නැත්නම් ඊට වඩා වැඩි කාලයක් වුණත් ගත වෙන්න පුළුවන්. එයාව සභාවට නැවත පිළිගත්තත් තමන් අවංකවම පසුතැවිලි වුණාද නැද්ද කියන කාරණය ගැන දෙවි ඉදිරියේ ගණන් දෙන්න වෙනවා කියලා එයා මතක තියාගන්න ඕනේ.—රෝම 14:10-12; 1995 ජනවාරි 1 ‘මුරටැඹ’ කලාපයේ 27-31 පිටු බලන්න.

යේසුස්ගේ අනුගාමිකයන් විවාහය සලකන විදිහ

14. ඊශ්‍රායෙල්වරුන්ට නීතිය ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

14 අවුරුදු 1,500ටත් වඩා වැඩි කාලයක් පුරා දෙවි දුන්න නීතියෙන් ඊශ්‍රායෙල්වරු හුඟක් ප්‍රයෝජන ලැබුවා. විවාහ ජීවිතේදී ඇති වුණ ප්‍රශ්න දෙවි කැමති විදිහට විසඳගන්න ඒ නීතිය උදව් වුණා. උපදේශකයෙක් දරුවෙක්ව ආරක්ෂා කරනවා වගේ නීතිය ඊශ්‍රායෙල්වරුන්ව අවට ජාතීන්ගේ බලපෑම්වලින් ආරක්ෂා කළා. ගැලවුම්කරුවෙක්ගේ අවශ්‍යතාව එයාලා තේරුම්ගත්තෙත් නීතිය නිසයි. (ගලා. 3:23, 24) යේසුස්ගේ මරණයත් එක්කම නීතිය අවලංගු කරලා දෙවි අලුත් සැලැස්මක් ඇති කළා. (හෙබ්‍රෙ. 8:6) ඒ සැලැස්ම යටතේ ඉන්න අයට නීතියෙන් ඉඩ දීලා තිබුණ සමහර දේවල් කරන්න තවදුරටත් අවසර තිබුණේ නැහැ.

15. (අ) විවාහය සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් අදාළ කරගන්න ඕන ප්‍රමිතිය මොකක්ද? (ආ) දික්කසාද වෙන්න තීරණය කරන්න කලින් කෙනෙක් හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

15 දවසක් පරිසිවරු යේසුස්ගෙන් දික්කසාදය ගැන ප්‍රශ්න කරද්දී ඔහු කිව්වේ මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියෙන් දික්කසාද වෙන්න අවසර තිබුණත් විවාහ සැලැස්ම ඇති කරද්දී දෙවි ඒ වගේ දෙයකට ඉඩ දීලා තිබුණේ නැහැ කියලයි. (මතෙ. 19:6-8) ඒකෙන් පැහැදිලි වුණේ යේසුස්ගේ අනුගාමිකයන් අදාළ කරගන්න ඕනෙත් විවාහ සැලැස්ම ඇති කරද්දී දෙවි පිහිටවපු ප්‍රමිතිය කියලයි. (1 තිමෝ. 3:2, 12) විවාහ වෙන දෙන්නා “එක් කෙනෙකු” වගේ නිසා ඒ දෙන්නා වෙන් නොවී ඉඳියි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. දික්කසාද වෙන්න බයිබලේ අවසර දීලා තියෙන්නේ සැමියා හරි බිරිඳ හරි අනාචාරයේ යෙදුණොත් විතරයි. වෙනත් හේතුවක් නිසා දික්කසාද වෙන අයට නැවත විවාහ වෙන්න අවසර නැහැ. (මතෙ. 19:9) අනාචාරයේ යෙදුණ සහකරු, සහකාරිය වරද ගැන පසුතැවෙනවා නම් දික්කසාද වෙන්නේ නැතුව එයාට සමාව දෙන්න අනිත් කෙනාට තීරණය කරන්න පුළුවන්. හරියට අනාචාරයේ යෙදුණ එයාගේ බිරිඳට හොෂෙයා සමාව දුන්නා වගේ. පසුතැවුණ ඊශ්‍රායෙල් ජාතියට යෙහෝවා දෙවි සමාව දුන්නා වගේ. (හොෂෙ. 3:1-5) තමන්ගේ සහකරු, සහකාරිය අනාචාරයේ යෙදුණා කියලා දැනගත්තට පස්සේ එයාත් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ වරද කරපු කෙනාට එයා සමාව දීලා කියලයි. ඊටපස්සේ දික්කසාද වෙන්න එයාට කිසිම පදනමක් නැහැ.

16. තනිකඩව ඉන්න එක ගැන යේසුස් කිව්වේ මොකක්ද?

16 දික්කසාද වෙන්න පුළුවන් අනාචාරය නිසා විතරයි කියලා කිව්වට පස්සේ “විවාහ නොවී සිටීමේ දීමනාව ඇති අය” ගැන යේසුස් කතා කළා. විවාහ නොවී ඉන්න පුළුවන් අයට ඒ සඳහා ඉඩකඩ සලසාගන්න කියලත් ඔහු කිව්වා. (මතෙ. 19:10-12) දෙවිට කරන සේවයට සම්පූර්ණ අවධානය දෙන්න තියෙන ආසාව නිසා හුඟදෙනෙක් විවාහ නොවී ඉන්න තීරණය කරනවා. ඒ වගේ අයව අපි අගය කරන්න ඕනේ.

17. විවාහ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න කෙනෙක්ට උදව් වෙන්නේ මොනවද?

17 තනිකඩව ඉන්නවද නැද්ද කියන එක පෞද්ගලික තීරණයක්. කෙනෙක්ට තනිකඩව ඉන්න කැමැත්තක් තියෙනවා නම් තමන්ට දිගටම තනිකඩව ඉන්න පුළුවන්ද කියලත් එහෙම ඉන්න එකෙන් යෙහෝවා දෙවිට වැඩි සේවයක් කරන්න පුළුවන්ද කියලත් අවංකව හිතලා බලන්න ඕනේ. තනිකඩව ඉන්න එකෙන් ප්‍රයෝජන තියෙනවා කියලා පාවුලුත් කිව්වා. ඒත් එයා මෙහෙම කිව්වා. “වේශ්‍යාකම සමාජය පුරා පැතිර ඇති නිසා සෑම පුරුෂයෙකුටම භාර්යාවක්ද සෑම ස්ත්‍රියකටම ස්වාමිපුරුෂයෙකුද සිටීම සුදුසුය.” ඒ වගේම “තම ආශාවන් පාලනය කරගැනීමට අපහසු නම් ඔවුන් විවාහ වීම වඩාත් සුදුසුය. මන්ද කාමාශාවෙන් දැවිදැවී සිටිනවාට වඩා විවාහ වීම සුදුසුය” කියලත් එයා කිව්වා. ස්වයංවින්දනය, අනාචාරය වගේ උගුල්වලට අහු වෙන්නේ නැතුව ඉන්න විවාහ වෙන එක කෙනෙක්ට උදව් වෙන්න පුළුවන්. ඒත් කෙනෙක් විවාහ වෙන්න කලින් තමන් ඒ සඳහා සුදුසු වයසක ඉන්නවද කියලත් හිතලා බලන්න ඕනේ. බයිබලේ මෙහෙම කියනවා. “අවිවාහක කෙනෙකුට තම ලිංගික හැඟීම් පාලනය කිරීම අපහසු බව හැඟෙන්න පුළුවන. එසේම ඔහු යොවුන් විය පසු කර සිටිනවා නම් නැතහොත් තමා විවාහ විය යුතුයි කියා ඔහුට හැඟෙනවා නම් විවාහ වීමට ඔහුට නිදහස තිබේ. ඔහු වරදක් කරනවා කියා පැවසිය නොහැක. එවැනි අයට විවාහ විය හැක.” (1 කොරි. 7:2, 9, 36; 1 තිමෝ. 4:1-3) ඒත් කෙනෙක් තුළ ප්‍රබල ලිංගික හැඟීම් ඇති වෙන නිසාම එයා විවාහ වෙන්න තීරණය කරන එක වැරදියි. මොකද යෞවන වයසේදී ඒ වගේ හැඟීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. කෙනෙක් විවාහ වෙන්න ඕනෙ පවුල් ජීවිතේ වගකීම් දරන්න එයාට පුළුවන් නම් විතරයි.

18, 19. (අ) විවාහයක් සාර්ථක වෙන්න නම් අත්‍යවශ්‍ය මොනවද? (ආ) ඊළඟ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

18 සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් විවාහ වෙන දෙන්නම මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ආදරේ කරන, දෙවිට කැප වෙලා බව්තීස්ම වුණ අය වෙන්න ඕනේ. දිවි ඇති තුරා එකට ජීවත් වෙන්න නම් ඒ දෙන්නා අතරේ ලොකු ආදරයක් තියෙන්නත් ඕනේ. “ස්වාමීන්ගේ අනුගාමිකයෙක්” එක්ක විතරක් විවාහ වෙන්න කියලා දෙවි දීලා තියෙන අණට කීකරු වුණ නිසා දෙවි අනිවාර්යයෙන්ම ඒ විවාහයට ආශීර්වාද කරනවා. (1 කොරි. 7:39) දිගටම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සතුට පිරුණ කැදැල්ලක් ගොඩනඟන්න එයාලට පුළුවන්.

19 අද අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” නිසා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ගුණාංග හුඟදෙනෙක්ට නැහැ. (2 තිමෝ. 3:1-5) අභියෝග තිබුණත් සතුටින් විවාහ ජීවිතේ ගත කරන්න උදව් වෙන වටිනා බයිබල් ප්‍රතිපත්ති කීපයක් ඊළඟ ලිපියෙන් බලමු. සදාකාල ජීවනයට යන මාර්ගයේ යුවළක් විදිහට දිගටම ගමන් කරන්න ඒ ප්‍රතිපත්ති උදව් වෙයි.—මතෙ. 7:13, 14.