Skip to content

පටුනට යන්න

සහෝදර ජොහැනස් 1920 ගණන්වල සේවයේ යන අවස්ථාවකදී

අතීතයෙන් බිඳක්

“අස්වැන්න නෙළන වැඩේ මං අත්හැරලා නැහැ”

“අස්වැන්න නෙළන වැඩේ මං අත්හැරලා නැහැ”

“යුරෝපයේ දැන් තියෙන යුධමය වාතාවරණය මෙතරම් කාලයකට ඇති වුණු කිසිම යුද්ධයකට සම කරන්න බැහැ.” 1915 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ ඒ කතා කළේ පළවෙනි ලෝක මහා යුද්ධය ගැනයි. අන්තිමේදී රටවල් 30ක් විතර ඒ යුද්ධයට පැටළුණා. යුද්ධය කොයි තරම් දරුණු වුණාද කියනවා නම් ජර්මනිය සහ ප්‍රංශය වගේ රටවල දේශනා සේවයත් යම් දුරකට අඩපණ වුණා කියලා ඒ සඟරාවේ සඳහන් වුණා.

මුළු ලොවම යුද්ධයට මැදි වෙලා හිටපු ඒ කාලයේ යුද්ධයට හවුල් වෙන, නොවෙන එක ගැන පැහැදිලි අවබෝධයක් බයිබල් ශිෂ්‍යයන්ට තිබුණේ නැහැ. ඒත් දේශනා කරන්න එයාලා අරගෙන තිබුණු අධිෂ්ඨානය වෙනස් වුණේ නැහැ. ජර්මන් සොල්දාදුවෙක් විදිහට ප්‍රංශයට ගිය සහෝදර විල්හෙල්ම්ට ඕන වුණේ හැකි උපරිමයෙන් දේශනා කරන්න. ඒ නිසා එයා ‘බයිබල් ශිෂ්‍යයන්ගේ මාසිකය’ කියන පත්‍රිකාව ප්‍රංශ භාෂාවෙන් ලබාගෙන මඟ තොටේ මුණගැහෙන හැමෝටම ඒක දුන්නා. ජර්මන් සොල්දාදුවෙක්ගෙන් සාමයේ පණිවිඩයක් අහන්න ලැබෙද්දී ප්‍රංශ ජාතිකයන් කොයි තරම් පුදුම වෙන්න ඇද්ද!

හමුදාවේ සේවය කළත් ශුභාරංචිය දේශනා කරන්න ජර්මනියේ බයිබල් ශිෂ්‍යයන්ට තිබුණු උනන්දුව අඩු වුණේ නැහැ. නාවික හමුදාවේ හිටපු සහෝදර ලෙම්කි ඒ වගේ කෙනෙක්. එයාත් එක්ක වැඩ කරපු 5දෙනෙක්ම ශුභාරංචිය පිළිගත්තා. “නැවේ හිටියත් අස්වැන්න නෙළන වැඩේ මං අත්හැරලා නැහැ” කියලා එයා කිව්වා.

සොල්දාදුවෙක් හැටියට ගෙදරින් පිට වුණු ගෙඕග් කේයිසර් ආපහු ගෙදර ආවේ සොල්දාදුවෙක් හැටියට නෙමෙයි. එච්චර වෙනසක් වුණේ කොහොමද? හමුදාවේ ඉද්දී එයාට බයිබල් ශිෂ්‍යයන්ගේ ප්‍රකාශනයක් ලැබිලා තියෙනවා. ඒකේ තොරතුරු හදවතට කොච්චර කාවැදුණාද කියනවා නම් අවි අතට ගන්න එක ප්‍රතික්ෂේප කරලා හමුදාවේ වෙනත් සේවාවන් කරන්න එයා එකඟ වුණා. යුද්දේ ඉවර වුණාට පස්සේ අවුරුදු ගණනාවක් යන කල් එයා පුරෝගාමි සේවය කළා.

ඒ වෙද්දී බයිබල් ශිෂ්‍යයන්ට යුද්ධය හා සම්බන්ධ කාරණාවලදී වැඩ කරන්න ඕන විදිහ ගැන සම්පූර්ණ අවබෝධයක් තිබුණේ නැතත් යුද්ධයට පක්ෂව හිටපු අය සහ එයාලා අතරේ පැහැදිලි වෙනසක් දකින්න තිබුණා. දේශපාලනඥයන්, ආගමික නායකයන් යුද්ධයට දිරි දුන්නත් බයිබල් ශිෂ්‍යයන් ළැදිව හිටියේ ‘සමාදානයේ කුමාරයාටයි.’ (යෙසා. 9:6) යුද්දෙට ගියත් බයිබලයේ තියෙන වැදගත් ඉගැන්වීම් එයාලා අමතක කළේ නැහැ. සහෝදර කොන්රාට් කියපු මේ දෙයිනුත් ඒක පැහැදිලියි. “ක්‍රිස්තියානීන් මිනී මරන එක වැරදියි කියලා බයිබලේ පැහැදිලිවම කියලා තියෙනවා කියලා මම තේරුම් අරං හිටියා.”—නික්. 20:13. *

අත් කරත්තයක් යොදාගෙන “ද ගෝල්ඩන් ඒජ්” සඟරාව ගැන දැනුම් දෙන සහෝදර හාන්ස්

හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න ජර්මනියේ නීතියෙන් කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඒත් එහේ හිටපු බයිබල් ශිෂ්‍යයන් 20කටත් වැඩිදෙනෙක් හමුදාවට බැඳෙන එක එකහෙළාම ප්‍රතික්ෂේප කළා. එහෙම කරපු සමහරුන්ව මානසික රෝගීන් විදිහට සලකලා රෝහල්වලට දැම්මා. සහෝදර හාන්ස්ව සිරගත කළා. එහෙදීත් හමුදාවට සම්බන්ධ කිසිම දෙයකට හවුල් වෙන්න එයා එකඟ වුණේ නැති නිසා නිලධාරීන් එයාගේ අත පය හොල්ලන්න බැරි වෙන විදිහට තදින් ගැටගැහුවා. ඒ විදිහට පැය ගාණක්ම තිබ්බා. ඒත් එයාගේ අධිෂ්ඨානය බිඳින්න බැහැ කියලා තේරුණාම එයාට වෙඩි තියනවා කියලා තර්ජනය කළා. ඒ මොන දේ කළත් සහෝදර හාන්ස් සැලුණේ නැහැ.

හමුදාවට බැඳෙන්න කැඳවපු තවත් සමහර සහෝදරයන් යුද්දෙට යනවා වෙනුවට හමුදාවේ වෙනත් සේවාවන් කරන්න අවසර ඉල්ලුවා. * ඒ අය අතර හිටපු සහෝදර ජොහැනස්ව දුම්රිය මාර්ගවල වැඩ කරන්න යැව්වා. තවත් අයට වෛද්‍ය සහයකයන් විදිහටත්, සාත්තු සේවකයන් විදිහටත් වැඩ කරන්න අවසර ලැබුණා. ඒ වෙද්දී බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන එයාලට තිබුණු අවබෝධයට අනුව යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න ඒ කාලේ හිටපු බයිබල් ශිෂ්‍යයන් ලොකු අධිෂ්ඨානයක් අරගෙන තිබුණා.

බයිබල් ශිෂ්‍යයන්ගේ වෙනස දැකපු නිලධාරීන් නිතරම එයාලා ගැන සෝදිසියෙන් හිටියා. 1වෙනි ලෝක යුද්ධය ඉවර වෙලා ගත වුණු අවුරුදු කිහිපය පුරා ජර්මනියේ බයිබල් ශිෂ්‍යයන්ට විරුද්ධව දහස් ගණනක් නඩු පැවරුණා. ඒ එයාලා ශුභාරංචිය දේශනා කරපු නිසයි. ඒ අයට අවශ්‍ය උදව් ලබා දෙන්න ජර්මනියේ ශාඛා කාර්යාලයේ නීතික අංශයක් පිහිටෙව්වා.

යුද්ධය හා සම්බන්ධ කාරණාවලදී ක්‍රිස්තියානීන් වැඩ කරන්න ඕන විදිහ ගැන එයාලට තිබුණු අවබෝධය කාලයත් එක්කම වැඩි වුණා. 2වෙනි ලෝක මහා යුද්ධයේදී එයාලා මොනම විදිහකින්වත් හමුදාවට සම්බන්ධ වුණේ නැත්තේ ඒ නිසයි. ප්‍රතිඵලයක් විදිහට ජර්මනියේ නිලධාරීන් එයාලට දරුණු පීඩා එල්ල කළා. ඉදිරියේදී “අතීතයෙන් බිඳක්” ලිපි පෙළ හරහා ඒ දිගු කතාව දිගහැරෙයි.—මධ්‍යම යුරෝපයේ අතීතයෙන් බිඳක්.

^ 7 ඡේ. 1වෙනි ලෝක මහා යුද්ධ කාලයේ බ්‍රිතාන්‍යයේ හිටපු බයිබල් ශිෂ්‍යයන් ගැන දැනගන්න 2013 මැයි 15 ‘මුරටැඹ’ කලාපයේ “අතීතයෙන් බිඳක්” ලිපිය බලන්න.

^ 9 ඡේ. එහෙම කරන්න කියලා ‘සහස්‍රයේ උදාව’ 6වෙනි වෙළුමේ (1904) සහ 1906 අගෝස්තු “සයන්ස් වොච් ටවර්” ජර්මන් කලාපයේ යෝජනා කරලා තිබුණා. ඒ සඟරාවේම 1915 සැප්තැම්බර් කලාපයේ හමුදාවට සම්බන්ධ හැම දේකින්ම වළකින්න කියලා බයිබල් ශිෂ්‍යයන්ට යෝජනා කරලා තිබුණා. ඒත් ඒක ජර්මන් භාෂාවෙන් පළ වුණේ නැහැ.