Skip to content

පටුනට යන්න

රන්වලටත් වඩා අගනා දෙයක් සොයාගන්න ඔයාටත් පුළුවන්

රන්වලටත් වඩා අගනා දෙයක් සොයාගන්න ඔයාටත් පුළුවන්

කවදා හරි ඔයාට රත්තරන් හම්බ වෙලා තියෙනවද? සුළු පිරිසකට විතරයි රන් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒත් රන්වලටත් වඩා වටිනා දෙයක් මිලියන ගාණක් දෙනා හොයාගෙන තියෙනවා. ඒ දෙවි ලබා දෙන ප්‍රඥාව. ඒක ‘රන් දීලාවත් ලබාගන්න බැහැ.’—යෝබ් 28:12, 15.

දෙවි ලබා දෙන ප්‍රඥාව හොයන කෙනෙක් හරියට රන් හොයන කෙනෙක් වගේ. රන් හොයන කෙනෙක් හුඟක් මහන්සි වෙනවා. උත්සාහය අත්හරින්නෙත් නැහැ. දෙවි දෙන ප්‍රඥාව හොයන කෙනෙකුත් අත් නෑර බයිබලේ අධ්‍යයනය කරන්න ඕනේ. දැන් අපි රන් හොයාගන්න ක්‍රම 3ක් ගැන බලමු. බයිබල් ශිෂ්‍යයන් හැටියට අපිට ඒ ක්‍රම 3න් ඉගෙනගන්න පුළුවන් මොනවද?

පුංචි රන් කැටයක් හම්බ වුණා!

හිතන්න, ඔයා ගං ඉවුරක ඇවිදගෙන යනවා කියලා. හිරු එළියට යමක් දිලිසෙනවා දැකලා ඔයා ඒක අහුලගන්නවා. බලද්දී ඒක පුංචි රන් කැටයක්! පුංචි වුණාට ඒක දියමන්තියකටත් වඩා වටිනවා. ඒ වගේ රන් කැට තව ගං ඉවුරේ තියෙනවද කියලා ඔයා අනිවාර්යයෙන්ම හොයලා බලයි.

ඒ වගේ අද්දැකීමක් කාලෙකට කලින් ඔයාත් ලැබුවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ තියෙන පණිවිඩය ගැන ඔයාට කියද්දී ඔයා මුල්ම රන් කැටය දැක්කා. ඒ යෙහෝවා කියන දෙවිගේ නම වෙන්න ඇති. (ගීතා. 83:18) නැත්නම් දෙවිගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කියන දේ වෙන්න ඇති. (යාකො. 2:23) ගං ඉවුරේ තිබිලා රන් කැටයක් හම්බ වුණා වගේ එදා ඔයාටත් බයිබලෙන් වටිනා රන් කැටයක් හම්බ වුණා. බයිබලෙන් තවත් රන් කැට හොයන්න එදා ඔයාට ආසාවක් ඇති වුණා නේද?

තව හොයන්න!

පුංචි රන් කැබලි සමහර ගංගාවල, ඇළවල්වල තැන්පත් වෙලා තියෙනවා. සමහරු එහෙම තැන්පත් වෙලා තියෙන රන් හොයන්න හුඟක් වෙහෙසෙනවා. ඒ වගේ අය සමහර කාලවලදී ඩොලර් දසදහස් ගාණක් වටින රත්තරන් රාත්තල් ගණන් හොයාගෙන තියෙනවා.

ගඟක, ඇළක රත්තරන් සෑහෙන ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙනවා කියලා දැනගත්තම ඒවා හොයන අය එතන තියෙන මඩ ආයේ ආයේ ගරලා රන් කැට හොයනවා. ඒ වගේ ඔයාත් සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරද්දී ඒකේ තියෙන වටිනා සත්‍යයන් එකිනෙක හොයාගත්තා. එතකොට බයිබලේ ගැන ඔයාට තිබුණ දැනුම වැඩි වුණා. ඉගෙනගත්ත දේවල් ගැන හොඳින් හිතද්දී දෙවිගේ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද, දිගටම දෙවිගේ ආදරේ ලබන්නේ කොහොමද කියලා ඔයා අවබෝධ කරගත්තා.—යාකො. 4:8; යූද් 20, 21.

රන් හොයන අය ලොකු වෙහෙසක් දරනවා වගේ ඔයාත් බයිබලේ තියෙන වටිනා සත්‍යයන් ඉගෙනගන්න ලොකු වෑයමක් දරනවද?

ගඟක, ඇළක තැන්පත් වුණ රත්තරන් මඩවලින් බේරලා ගන්න එක හොඳ අවධානයක් දීලා කරන්න ඕන වැඩක්. ඒ වගේ ඔයාත් හරිම උනන්දුවෙන්, ආසාවෙන් බයිබලේ තියෙන වටිනා සත්‍යයන් හොයන්න ඇති. බයිබලේ තියෙන මූලික දේවල් ඉගෙනගත්තම ඔයාගේ ජීවිතේ දෙවිට කැප කරලා, බව්තීස්ම වෙන්න ඔයා පෙලඹුණා.—මතෙ. 28:19, 20.

අත් නෑර හොයන්න!

සමහර විශාල පාෂාණවලත් රන් තැන්පත් වෙලා තියෙනවා. කෙනෙක්ට තේරුණොත් විශාල පාෂාණයක රන් සෑහෙන ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙනවා කියලා එයා ඒ පාෂාණය ටිකෙන් ටික කඩනවා. නැත්නම් ඒ පාෂාණය ගැඹුරටම හාරනවා. ඒත් ඒ වගේ තැනක රත්තරන් තියෙනවා කියලා බැලූ බැල්මට පේන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් පාෂාණ ටොන් 1ක රන් තියෙන්නේ ග්‍රෑම් 10ක් වගේ ප්‍රමාණයක්. ඒත් ඒවා ලබාගන්න දරන වෙහෙස අපතේ යන්නේ නැහැ.

“ක්‍රිස්තුස් පිළිබඳ මූලික ඉගැන්වීම්” දැනගත්තට පස්සෙත් බයිබලෙන් තව වටිනා දේවල් හොයන්න ඔයා දිගටම උත්සාහ කරන්න ඕනේ. (හෙබ්‍රෙ. 6:1, 2) ඒක හරියට රත්තරන් හොයන්න ගැඹුරට හරනවා වගේ වැඩක්. බයිබලේ අධ්‍යයනය කරද්දී අලුත් කරුණු, ඒවා ජීවිතේට අදාළ වෙන පැති හොයාගන්න නම් ඔයා ලොකු වෑයමක් දරන්න ඕනේ. ඔයා කාලයක් තිස්සේ බයිබලේ අධ්‍යයනය කරන කෙනෙක් වුණත් පෞද්ගලික අධ්‍යයනයෙන් දිගටම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න ඔයාට මුලින් තිබුණ කැමැත්ත නැති කරගන්න එපා. අධ්‍යයනය කරද්දී හැම පුංචි කාරණයකටම හොඳ අවධානයක් දෙන්න. දෙවි දෙන ප්‍රඥාව ලබාගන්න එතකොට ඔයාට පුළුවන් වෙයි. (රෝම 11:33) බයිබලේ අධ්‍යයනය කරන්න ඔයාට අත්වැලක් වෙන හුඟක් දේවල් ඔයාගේ භාෂාවෙන්ම තියෙනවා. ඒවා හොඳින් පාවිච්චි කරන්න. බයිබලේ තියෙන දේවල් ගැන ඔයාගේ හිතට එන ප්‍රශ්නවලට උත්තර, ඔයාට ඕන කරන මඟ පෙන්වීම් බයිබලෙන් හොයන්න කාලේ ගන්න. ඔයාගේ යාළුවන්ට සහනයක්, ශක්තියක් වුණ බයිබල් පද, ලිපි මොනවද කියලා එයාලගෙන් අහන්න. ඔයා හොයාගත්ත රසවත් තොරතුරු ගැන අනිත් අය එක්ක කතා කරන්න.

ඔයා බයිබලේ අධ්‍යයනය කරන්නේ නිකම්ම තොරතුරුවලින් මනස පුරවගන්න නෙමෙයි කියලා මතක තියාගන්න. පාවුල් කිව්වේ “දැනුම නිසා කෙනෙකු තුළ ඇති වන්නේ අහංකාරය පමණි” කියලයි. (1 කොරි. 8:1) ඒ නිසා දිගටම නිහතමානීව, දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න ලොකු උත්සාහයක් දරන්න. පවුලේ නමස්කාරය, පෞද්ගලික අධ්‍යයනය අත් නෑර කරන්න. එතකොට දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්නත් අනිත් අයට උදව් කරන්නත් ඔයාට පුළුවන් වෙයි. රන්වලටත් වඩා අගනා දෙයක් හොයාගන්න පුළුවන් වුණ නිසා ඔයා පුදුමාකාර සතුටක් අද්දකියි!—හිතෝ. 3:13, 14.