ජීවිත කතාව
අනිත් අය වෙනුවෙන් සේවය කරලා මම සතුට අද්දැක්කා
දවසක් සමුළුවකදී සහෝදරයෙක් මගෙන් ඇහුවා සේවයේ යන්න කැමතියිද කියලා. කලින් ගිහින් තිබුණේ නැතත් මං ඒකට කැමති වුණා. ඒ වෙද්දී මට අවුරුදු 12යි. සේවය කරන ප්‍රදේශයට ගියාම ඒ සහෝදරයා දේවරාජ්‍යය ගැන තියෙන පොත් වගයක් මගේ අතට දීලා කිව්වා “ඔයා අර පැත්තේ ගෙවල්වලට යන්න. මං මේ පැත්තේ ගෙවල්වලට යන්නම්” කියලා. හිතේ පුංචි බයක් තිබුණත් මං ගෙයින් ගෙට ගියා. වැඩි වෙලාවක් යන්න කලින් ඔක්කොම පොත් ටික ඉවර වුණා. මිනිසුන්ට දෙන්න මං ළඟ තිබුණේ හරිම වටින දෙයක් කියලා එදා මට තේරුණා.
මං ඉපදුණේ 1923 එංගලන්තයේ චැතම් නගරයේ. ලෝක මහා යුද්ධය පටන්ගද්දී දුන්න පොරොන්දු පාලකයන්ට ඉටු කරන්න බැරි වුණ නිසා මිනිසුන් ඒ කාලේ හිටියේ කලකිරිලා. තමන්ගේම වාසියට වැඩ කරපු බැප්ටිස් පූජකයන් නිසා අම්මායි තාත්තායි හිටියෙත් ලොකු කලකිරීමකින්. මං හැදුණේ වැඩුණේ ඒ වගේ පරිසරයක. මට අවුරුදු 9ක් විතර වෙද්දී අම්මා බයිබල් ශිෂ්‍යයන් පවත්වපු රැස්වීම්වලට යන්න පටන්ගත්තා. එහේ හිටපු සහෝදරියක් ‘දෙවිගේ වීණාව’ කියන පොත අපි කීපදෙනෙක්ට දීලා බයිබලෙන් පාඩම් කියලා දුන්නා. ඒවා මං ඉගෙනගත්තේ හරිම ආසාවෙන්.
අද්දැකීම් තියෙන සහෝදරයන්ගෙන් ඉගෙනගත්තා
බයිබලේ තියෙන දේවල් මං අනිත් අයත් එක්ක කතා කළේ හරිම කැමැත්තෙන්. මං නිතරම වගේ තනියම සේවය කළත් අද්දැකීම් තියෙන සහෝදරයන් එක්ක සේවයේ ගිය වෙලාවලදී හුඟක් දේවල් ඉගෙනගත්තා. දවසක් මං සහෝදරයෙක් එක්ක බයිසිකලෙන් සේවය කරන තැනට යද්දී පූජකයෙක්ව පහු කළා. එතකොටම මං කිව්වා “අන්න එළුවෙක් යනවා” කියලා. ඒ සහෝදරයා බයිසිකලේ නවත්තලා මගෙන් ඇහුවා “එළුවන් කවුද කියලා විනිශ්චය කරන්න ඔයාට අධිකාරිය දුන්නේ කවුද” කියලා. “අපිට තියෙන්නේ ශුභාරංචිය දේශනා කරන්න. ඒක අපි සතුටින් කරමු. විනිශ්චය කරන වැඩේ දෙවි කරයි” කියලා එයා මට කිව්වා. අනිත් අය වෙනුවෙන් සේවය කරලා කොච්චර සතුටක් ලබන්න පුළුවන්ද කියලා යෞවන වයසේදීම මං අද්දැක්කා.—මතෙ. 25:31-33; ක්‍රියා 20:35.
තවත් සහෝදරයෙක්ගෙන් මං ඉගෙනගත්තා අනිත් අය වෙනුවෙන් දේවල් කරලා සතුටක් ලබන්න නම් අපිට ඉවසීම තියෙන්නම ඕනෙ කියලා. එයාගේ නෝනා සාක්ෂිකරුවන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. දවසක් ඒ සහෝදරයා මට තේ එකක් බොන්න එයාලගේ ගෙදරට එන්න කිව්වා. සහෝදරයා එදා සේවයේ ගිය නිසා එයාගේ නෝනා හිටියේ කේන්තියෙන්. එයා තේ දෙනවා වෙනුවට අපිට තේ පැකට්වලින් දමලා ගැහුවා. ඒත් ඒ සහෝදරයා නෝනාට බනින්නේ නැතුව හරිම ඉවසීමෙන් තේ පැකට් ටික ඇහුළුවා. අවුරුදු ගාණකට පස්සේ එයාගේ ඉවසීමට
හොඳ ප්‍රතිඵල ලැබුණා. නෝනාත් සත්‍යය පිළි අරන් බව්තීස්ම වුණා.1939 සැප්තැම්බර් මාසේදී බ්‍රිතාන්‍යය ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. එතකොට මට වයස 16යි. 1940 මාර්තු මාසේදී මායි අම්මායි බව්තීස්ම වුණා. දවසක් මං ගේ ඉස්සරහා ඉද්දී ගැටුමකින් බේරුණ සෙබළු දහස් ගාණක් ලොරිවලින් යනවා දැක්කා. එයාලගේ මූණුවල බලාපොරොත්තුවක සේයාවක්වත් තිබුණේ නැහැ. ‘එයාලට දේවරාජ්‍යය ගැන කියන්න තිබුණා නම්’ කියලා මට හිතුණා. ඊළඟ අවුරුද්දේ ජර්මන් හමුදාව බ්‍රිතාන්‍යයට බෝම්බ දාන්න පටන්ගත්තා. අපිට නිතරම ඇහුණේ ගුවන් යානාවලින් ඇවිල්ලා බෝම්බ දාන සද්දේ. ඒක හරිම බය හිතෙන දෙයක්. උදේ වෙද්දී ඉතුරු වෙලා තිබුණේ සුන්බුන් විතරයි. මිනිසුන්ට සහනයක් ලැබෙන්න නම් දේවරාජ්‍යය එන්නම ඕනෙ කියලා ඒ දවස්වල මට තදින්ම දැනුණා.
පූර්ණකාලීන සේවයේ ආරම්භය
1941දී මං ජීවිතේ වැදගත් තීරණයක් ගත්තා. ඒ වෙද්දී මං නැව් අලුත්වැඩියා කරන කෙනෙක් විදිහට වරායේ වැඩ කරකරයි හිටියේ. ඒක හොඳ රස්සාවක්. හොඳ පඩියකුත් හම්බ වුණා. යුද්ධවලට හවුල් වෙන එක වැරදියි කියලා සාක්ෂිකරුවන් කාලයක් තිස්සේ දැනගෙන හිටියා. ඒත් 1941 විතර වෙද්දී සාක්ෂිකරුවන් තේරුම්ගත්තා යුධෝපකරණ හදන වැඩවලට හවුල් වෙන එකත් වැරදියි කියලා. (යොහ. 18:36) ඔන්න ඔය කාලේදීම වගේ වරායේ යුධ සබ්මැරීන් හදන්න පටන්ගත්තා. රස්සාව අත්හැරලා පූර්ණකාලීන සේවය පටන්ගන්න දැන් කාලේ හරි කියලා මට තේරුණා. සයරෙන්සෙස්ටර් කියන ලස්සන නගරෙන් තමයි මං ඒ සේවය පටන්ගත්තේ.
ඒත් හමුදාවට බැඳුණේ නැති නිසා අවුරුදු 18 ලැබුවම මාව හිරේ දැම්මා. හිරකූඩුවට දාලා හයියෙන් දොර වහද්දී මට දැනුණේ ලොකු බයක්. තනිකමක්. ඒත් වැඩි දවසක් යන්න කලින් අනිත් හිරකාරයන්, නිලධාරීන් “ඔයා මෙහෙට ආවේ මොනවා කරලද” කියලා අහද්දී මගේ විශ්වාසයන් ගැන ඒ අයට කියන්න මට අවස්ථාව ලැබුණා.
හිරෙන් නිදහස් වුණාට පස්සේ සහෝදර ලෙනාඩ් ස්මිත් * එක්ක සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. අපේ පැවරුම වුණේ කෙන්ට්වල තිබුණ නගරවල දේශනා කරන එකයි. 1944දී පුපුරන ද්‍රව්‍ය පිරුණ ගුවන් යානා දහස් ගාණක් කෙන්ට්වලට කඩා වැටුණා. යුරෝපයේ නාට්සි පාලනය යටතේ තිබුණ පළාතයි ලන්ඩන් නගරයයි අතර ගුවන් මාර්ගය වැටිලා තිබුණේ අපි හිටපු තැන හරහායි. ගුවන් යානයක එන්ජිම නතර වෙනවා ඇහෙද්දී අපි දන්නවා ඊළඟ මොහොතේ කොහේ හරි ලොකු විනාශයක් වෙනවා කියලා. ඔය කාලෙදී තමයි අපි පවුලක් එක්ක බයිබල් පාඩමක් කළේ. ඒ පවුලේ 5දෙනෙක් හිටියා. බෝම්බ ගහද්දී ආරක්ෂා වෙන්න එයාලා යකඩ මේසයක් හදලා තිබ්බා. හුඟක් වෙලාවට අපි පාඩම කළේ ඒක යට ඉඳගෙන. කාලයක් යද්දී ඒ 5දෙනාම බව්තීස්ම වුණා.
වෙනත් රටවලටත් ශුභාරංචිය
යුද්දේ ඉවර වුණාට පස්සේ මං අවුරුදු 2ක් දකුණු අයර්ලන්තයේ සේවය කළා. එහේ අය එංගලන්තයේ අයට වඩා හුඟක් වෙනස් කියලා අපි දැනං හිටියේ නැහැ. ඒ නිසා එහේ ගිය මුල් කාලේ අපි මෝඩ වැඩ ටිකකුත් කළා. ගෙවල්වලට ගිහින් අපිව මිෂනාරීන් කියලා හඳුන්වලා දීලා නවාතැන් ගන්න පුළුවන් තැන් ගැන ඇහුවා. මඟ තොටේ හම්බ වුණ හැමෝටම සඟරාත් දුන්නා. ඒත් එහේ හිටියේ තද කතෝලික භක්තිකයන්. දවසක් කෙනෙක් අපිට ගහලා තර්ජනය කළාම මං ඒ ගැන පොලීසියට පැමිණිලි කරද්දී “ඔයා ඔයින් බේරුණා ඇති” කියලයි නිලධාරියෙක් කිව්වේ. පූජකයන්ට එහේ මිනිස්සු හරිම බයයි. මොකද අපේ පොත් ගත්ත අයව පූජකයන්ගේ කීමට රස්සාවලින් අස් කරලා තිබුණා. අපිව නවාතැන්වලින් පැන්නුවා.
අලුත් ප්‍රදේශයකට ගියාම නවාතැනින් හුඟක් ඈත පැතිවලට ගිහින් සේවය කරන එක තමයි හොඳම දේ කියලා අපිට තේරුණා. ඒ නිසා අපි හිටපු පැත්තේ පූජකයාගේ මීසමට අයිති නැති පැතිවලින් සේවය පටන් අරන් අන්තිමට තමයි අපි හිටපු හරියේ සේවය කළේ. අපිට මැර තර්ජන තිබුණ ගමක හිටපු තරුණයෙක් එක්ක අපි සතියට දවස් 3ක්ම බයිබල් පාඩමක් කළා. ඒ විදිහට බයිබල් සත්‍යයන් අනිත් අයට කියලා දීලා මං ලොකු සතුටක් ලැබුවා. ගිලියද් පාසැලට අයැදුම් කරන්න මං හිතුවෙත් ඒ නිසයි.
ගිලියද් පාසැලේ මාස 5ක පුහුණුවෙන් පස්සේ මාවයි තව 3දෙනෙක්වයි කැරිබියන් දූපත්වලට යැව්වා. 1948 නොවැම්බර් මාසයේදී රුවල් බෝට්ටුවකින් අපි එහෙට යන්න පිටත් වුණා. මං කවදාවත් බෝට්ටුවක ගිහින් තිබුණේ නැති නිසා ඒ ගමන ගැන මං හිටියේ හරිම ආසාවෙන්. අපිත් එක්ක හිටපු ගර්ස්ට් මාකි කියන සහෝදරයා දක්ෂ නාවිකයෙක්. ගමන අතරතුරේදී බෝට්ටුව පදින්න, රුවල් උස්සන්න බාන්න, මාලිමාවෙන් බලලා බෝට්ටුව හරි දිශාවට ගෙනියන්න එයා අපිට ඉගැන්නුවා. දරුණු සුළි කුණාටුවලටත් අපි මුහුණ දුන්නා. ඒත් සහෝදර මාකිගේ දක්ෂකම නිසා දවස් 30කට පස්සේ බහමාස්වලට එන්න අපිට පුළුවන් වුණා.
දුර ඈත දූපත්වලටත් ශුභාරංචිය
බහමාස්වලට අයිති දූපත්වල මාස කීපයක් සේවය කළාට පස්සේ අපි ලීවර්ඩ් දූපත්වලටයි වින්ඩ්වර්ඩ් දූපත්වලටයි ගියා. පෝටෝ රිකෝ ළඟ තියෙන වර්ජින් දූපත්වල ඉඳලා ට්‍රිනීඩෑඩ් වෙන කල් කි.මී. 800ක් පුරා ඒ දූපත් විහිදිලා තියෙනවා. අවුරුදු 5ක්ම අපි සේවය කළේ එක සාක්ෂිකරුවෙක්වත් නැති, හුදෙකලා දූපත්වලයි. සමහර දූපත්වලට ගියාම සති ගාණක් යන කල් අපිට ලියුම් හුවමාරු කරගන්නවත් විදිහක් තිබුණේ නැහැ. ඒත් දුර ඈත දූපත්වල ඉන්න අයට දෙවි ගැන කියලා දීලා අපි ලැබුවේ ලොකු සතුටක්!—යෙරෙ. 31:10.
මුල් වතාවට අපේ බෝට්ටුව දූපතකට ගියාම මිනිස්සු ටිකක් කලබල වෙනවා. හැමෝම වගේ ජැටියට දුවගෙන එනවා මොකද වෙන්නේ කියලා බලන්න. මොකද සමහරු සුදු අයව, රුවල් බෝට්ටු කවදාවත් දැකලා නැහැ. ඒත් එයාලා ආගම දහමට ළැදි, බයිබලේ ගැන හොඳ දැනුමක් තිබුණ අය. එයාලා හරිම මිත්‍රශීලියි. අපිට එක එක කෑම ජාතිත් දුන්නා. නිදාගන්න, උයන්න, රෙදි හෝදන්න අපිට බෝට්ටුවේ තිබුණේ පොඩි ඉඩක් වුණත් අපි කොහොමහරි පිරිමහගත්තා.
දූපතකට ගොඩ බැස්සම අපි කළේ මුළු දවසම දේශනා කරන එකයි. බයිබල් දේශනය අහන්න එන්න කියලත් අපි එයාලට කියනවා. කළුවර වැටීගෙන එද්දී බෝට්ටුවේ බෙල් එක ගැහුවම ගමේ අය දේශනය අහන්න එන්නේ වැල නොකැඩී. එයාලා අරන් එන පහන් අපිට ඈතට පෙනුණේ කඳුකරයේ දිලිසෙන තරු
වගේ. සමහර වෙලාවට දේශනය අහන්න 100ක් විතර ආවා. ප්‍රශ්න අහන්න ගියාම එයාලට වෙලාවත් මතක නැහැ. ගීතිකා කියන්නත් එයාලා හරිම ආසයි. ඒ නිසා අපි ගීතිකා ටිකක් ටයිප් කරලා එයාලට දුන්නා. අපිත් එක්ක එකතු වෙලා එයාලත් ලස්සනට ගීතිකා කිව්වා. ඒවා මට සුන්දර මතක සටහන්!අපිත් එක්ක පාඩම් කරපු සමහරු එයාලගේ පාඩම ඉවර වුණාට පස්සේ අපි ඊළඟට යන පාඩමටත් අපිත් එක්කම එනවා. එයාලා බයිබල් පාඩමට ඒ තරම්ම ආසයි. අපි එක ගමක ඉන්නේ සති කීපයක් නිසා අපි ආයෙත් එන කල් බයිබල් පාඩම් කරන්න භාර දෙන්නේ වැඩිම උනන්දුවක් පෙන්නපු අයටයි. භාර දුන්න පැවරුම එයාලා වගකීමෙන් ඉටු කරනවා දකිද්දී අපිට දැනුණේ පුදුම සතුටක්.
අද ඒ දූපත් අතුරු සිදුරු නැතුව සංචාරකයන්ගෙන් පිරිලා තිබුණත් ඒ කාලේ දකින්න තිබුණේ පාම් ගස්, නිල්වන් කළපු, ලස්සන වෙරළ තීරයන් විතරයි. සාමාන්‍යයෙන් අපි දූපතකින් දූපතකට ගියේ රෑ. එතකොට ඩොල්ෆින්ලා අපේ බෝට්ටුවත් එක්ක පීනන්නේ තරඟයට වගේ. වටපිටාව කොච්චර නිස්කලංකද කියනවා නම් අපිට ඇහෙන්නේ බෝට්ටුව වතුර කපාගෙන යන සද්දේ විතරයි. අපිට පාර පෙන්නුවේ මුහුදට වැටෙන සඳ එළියයි.
ඒ දූපත්වල අවුරුදු 5ක් සේවය කළාට පස්සේ අපි බෝට්ටුව මාරු කරගන්න පෝටෝ රිකෝවලට ගියා. එහෙදී මට මැක්සින් බොයිඩ් කියන මිෂනාරි සහෝදරියව හම්බ වුණා. එයා හරි ලස්සනයි. එයා පුංචි කාලේ ඉඳන්ම උද්‍යෝගයෙන් සේවය කරපු කෙනෙක්. ඩොමිනිකන් ජනරජයේ මිෂනාරි සේවය කරපු එයාව 1950දී එහෙන් පිටුවහල් කරලා තිබුණා. ඊටපස්සේ තමයි එයා පෝටෝ රිකෝවලට ඇවිත් තියෙන්නේ. නාවිකයෙක් විදිහට මට පෝටෝ රිකෝවල ඉන්න අවසර තිබුණේ මාසයක් විතරයි. ඒ නිසා පරක්කු වෙවී ඉන්නේ නැතුව මගේ හිතේ තිබුණ දේ මැක්සින්ට කියන්න ඕනෙ කියලා මං හිතුවා. සති 3ට පස්සේ මං එයාගෙන් ඇහුවා මාව බඳින්න කැමතියිද කියලා. සති 6කින් අපි බැන්දා. ඊටපස්සේ අපි දෙන්නට ඒ රටේම සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ නිසා අලුතින් ගත්ත බෝට්ටුවේ යන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ.
1956දී අපි චාරිකා සේවය පටන්ගත්තා. අපි ගිය සභාවල හිටපු හුඟක් අය හරිම දුප්පත්. එක ගමක සාක්ෂිකාර පවුල් දෙකක් හිටියා. එයාලට ගොඩක් ළමයි හිටියා. ඒ ළමයින්ට ඇහෙන්න සමහර දවස්වලට මං බට නළාව ගහනවා. දවසක් ඒ පවුලක පුංචි ගෑනු ළමයෙක්ගෙන් මං ඇහුවා “ඉල්ඩා, ඔයා අපිත් එක්ක සේවයේ යන්න කැමතිද” කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. “එන්න ආසයි. ඒත් මට සපත්තු දෙකක් නෑනේ.” පස්සේ අපි එයාට සපත්තු දෙකක් අරන් දුන්නා. එයා අපිත් එක්ක සේවයේ ගියේ හරිම ආසාවෙන්. අවුරුදු ගාණකට පස්සේ අපි බෘක්ලින් බෙතෙල් එකට ගිය වෙලාවක ගිලියද් පාසැලෙන් ඉක්වදෝරයේ සේවය කරන්න පැවරුමක් ලැබුණ සහෝදරියක්ව හම්බ වුණා. “ඔයාලට මාව අඳුරගන්න පුළුවන්ද? පුංචි කාලේ සේවයේ යන්න ඔයාලා සපත්තු 2ක් අරන් දුන්නේ මට තමයි” කියලා එයා කිව්වා. ඒ වෙලාවේ අපිට දැනුණ සතුට කොච්චරද කියනවා නම් අපේ ඇස්වලට කඳුළුත් ආවා.
1960දී අපිට පෝටෝ රිකෝ බෙතෙල් එකේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. මුල් කාලේ ලොකු වැඩ කොටසක් කරන්න වුණේ මටයි සහෝදර ලෙනාට් ජොන්සන්ටයි. එයායි එයාගේ නෝනායි පෝටෝ රිකෝවලට ඇවිත් තිබුණේ 1957දී. ඒ දෙන්නා තමයි ඩොමිනිකන් ජනරජයේ මුල්ම සාක්ෂිකරුවන්. මැක්සින්ගේ පැවරුම වුණේ සඟරා ඉල්ලුම් කරලා තියෙන අයට ඒවා යවන එකයි. හැම සතියකම දාහකට විතර එයා සඟරා යවනවා. සඟරා කියවන අයට ලැබෙන ප්‍රයෝජන ගැන හිතපු නිසා එයා ඒ පැවරුම කළේ හරිම සතුටින්.
මමත් බෙතෙල් පැවරුම කළේ හරිම ආසාවෙන්. මොකද ඒක අනිත් අය වෙනුවෙන් සේවය කරන්න ලැබෙන ප්‍රස්තාවක්. ඒත් අභියෝග තිබුණේ නැතුවමත් නෙමෙයි. 1967දී පෝටෝ රිකෝවල තිබුණ මුල්ම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරන වැඩ මටත් භාර වෙලා තිබුණා. ඒ කාලේ සංවිධානයේ පෙරමුණ අරන් වැඩ කරපු සහෝදර නෝර් ඒ සමුළුවට ආවා. සමුළුවට ඇවිත් හිටපු මිෂනාරිවරුන්ට ප්‍රවාහන පහසුකම් මං සැලසුම් කරලා තිබුණත් සහෝදර නෝර් හිතුවේ මං ඒ වගකීම පැහැරහැරලා කියලයි. ඒ නිසා එයා මට ඒ ගැන තදින් අවවාද කළා. මං දේවල් කරපු විදිහ ගැන එයා එච්චර සතුටු නැහැ කියලත් කිව්වා. ඒ වෙලාවේ මං එයාත් එක්ක වාද කරන්න ගියේ නැහැ. ඒත් එයා මාව වරදවා වටහාගත්ත නිසා මට දුක හිතුණා. පස්සේ කාලෙක සහෝදර නෝර් මටයි මැක්සින්ටයි එයාගේ කාමරේට එන්න කියලා කෑම වේලක් දුන්නා.
අපි කීප සැරයක්ම අම්මලාව බලන්න එංගලන්තයට ගියා. මායි අම්මායි සත්‍යයට ආපු කාලේ තාත්තා සත්‍යය පිළිගන්න කැමති වුණේ නැහැ. ඒත් පස්සේ
කාලෙකදී සභාවට බෙතෙල් එකෙන් කථිකයෝ ආවම අම්මා එයාලට අපේ ගෙදර නවාතැන් දීලා තියෙනවා. පල්ලියේ පූජකයොත් එක්ක බලද්දී ඒ සහෝදරයෝ කොච්චර නිහතමානීද කියලා තේරුණ නිසා බයිබලේ පාඩම් කරන්න තාත්තාත් කැමති වුණා. තාත්තා 1962දී බව්තීස්ම වුණා.මගේ ආදරණීය බිරිඳ මැක්සින් 2011දී මිය ගියා. එයාව ආයෙත් දකින්න මං ආසාවෙන් බලාගෙන ඉන්නවා. අවුරුදු 58ක් පුරා පෝටෝ රිකෝවල සේවය කරපු කාලෙදී සාක්ෂිකරුවන්ගේ ගාණ 650 ඉඳන් 26,000ක් වෙන කල් වර්ධනය වුණ විදිහ අපි දෙන්නා දැක්කා. 2013දී පෝටෝ රිකෝවල ශාඛා කාර්යාලය වහලා ඒකේ වැඩ ඇමරිකාවේ ශාඛා කාර්යාලයෙන් බලන්න පටන්ගත්තා. ඒ නිසා මට වෝල්කිල්වලට යන්න වුණා. අවුරුදු 60ක්ම පෝටෝ රිකෝවල හිටපු මට හැඟුණේ මම ඒ රටේම කෙනෙක් කියලයි. ඒ නිසා එහේ දාලා එන එක මට ලේසි වුණේ නැහැ. ඒත් සංවිධානයත් එක්ක ඉදිරියට යන්න මං තීරණය කළා.
සතුටු සිතින් දෙන කෙනාටයි දෙවි ආදරේ
අදටත් මං බෙතෙල් එකේ සේවය කරන්නේ සතුටින්. දැන් මට වයස 90කටත් වැඩියි. බෙතෙල් එකේ අයව දිරිගන්වන එකයි දැන් මගේ පැවරුම. වෝල්කිල්වලට ආවට පස්සේ 600කට වඩා වැඩිදෙනෙක්ට උදව් කරන්න මට පුළුවන් වුණා. බෙතෙල් එකේ සමහර අය මාව හම්බ වෙන්න එන්නේ එයාලගේ පෞද්ගලික කාරණා, පවුලේ කාරණා ගැන කතා කරන්න. තවත් අය බෙතෙල් එකේ හොඳින් සේවය කරන්න පුළුවන් විදිහ ගැන මගෙන් අහනවා. ළඟදී බැඳපු අය විවාහ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය උපදෙස් ගන්නත් මං ළඟට එනවා. පුරෝගාමි සේවය කරන්න පැවරුම් ලැබුණ අයත් මගෙන් මඟ පෙන්වීම් ගන්නවා. ඒ හැමෝටම මං හොඳින් ඇහුම්කන් දෙනවා. මං එයාලට නිතරම කියන දෙයක් තමයි “‘සතුටු සිතින් දෙන කෙනාටයි දෙවි ආදරේ.’ ඒ නිසා ඕනම පැවරුමක් සතුටින් කරන්න. ඔයා ඒක කරන්නේ යෙහෝවා දෙවිට කියලා මතක තියාගන්න” කියලා.—2 කොරි. 9:7.
බෙතෙල් එකේ සේවය කළත් වෙන පැවරුමක් කළත් දිගටම සතුටින් ඉන්න නම් ඔයා කරන වැඩේ වැදගත් ඇයි කියන දේ නිතරම මනසේ තියාගන්න ඕනේ. අපි බෙතෙල් එකේ කරන හැම වැඩක්ම පරිශුද්ධ සේවයට අයිතියි. ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සෙනඟට පෝෂණය දෙන්න “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” උදව් කරන එකයි අපි කරන්නේ. (මතෙ. 24:45) අපි කොහේ සේවය කළත් ඒක යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ලැබෙන අවස්ථාවක්. ඒ නිසා යෙහෝවා දෙවි කරන්න කියන ඕනම දෙයක් කැමැත්තෙන්ම කරමු. මොකද සතුටු සිතින් දෙන කෙනාට දෙවි ආදරේ කරනවා.
^ 13 ඡේ. සහෝදර ලෙනාඩ් ස්මිත්ගේ ජීවිත කතාව 2012 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණා.