Skip to content

පටුනට යන්න

දෙවිට කරන සේවය තව හොඳින් කරන්න ඔයාට පුළුවන්ද?

දෙවිට කරන සේවය තව හොඳින් කරන්න ඔයාට පුළුවන්ද?

“ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීම ගැනද උපදෙස් මඟ පෙන්වීම් ලබා දීම ගැනද ඔබ උගන්වන ආකාරය ගැනද නිරතුරුවම සැලකිලිමත් වන්න.”—1 තිමෝ. 4:13.

ගීතිකා: 45, 70

1, 2. (අ) මේ අවසාන කාලේ යෙසායා 60:22 ඉටු වෙන්නේ කොහොමද? (ආ) ලෝකෙ පුරාම තියෙන සභාවල ඇති වෙලා තියෙන අවශ්‍යතාව මොකක්ද?

“කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි” කියන අනාවැකිය මේ අවසාන කාලේ අපේ ඇස් පනාපිටම ඉටු වෙන විදිහ අපි දකිනවා. (යෙසා. 60:22) එහෙම කියන්නේ ඇයි? 2015 අවුරුද්දේදී ලෝකෙ පුරාම ශුභාරංචිය දේශනා කරන්න 82,20,105දෙනෙක් වෙහෙස නොබලා වැඩ කරලා තියෙනවා. ඒ අනාවැකියේ මෙහෙමත් කියනවා. “යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි.” ඒ කියන්නේ අපි හැමෝටම කරන්න තියෙන වැඩ කොටස දවසින් දවස වැඩි වෙනවා. ඒ නිසා ‘දේශනා කරන්න, අනිත් අයට දෙවි ගැන උගන්වන්න මං මගේ උපරිමය කරනවද’ කියලා හිතලා බලන්න. හුඟක් අය ස්ථාවර පුරෝගාමීන් නැත්නම් සහායක පුරෝගාමීන් විදිහට සේවය කරනවා. සමහරු ප්‍රචාරකයන් අඩු පැතිවලට ගිහින් සේවය කරනවා. තවත් අය නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න හවුල් වෙනවා.

2 හැම අවුරුද්දකම සභා 2,000ක් විතර අලුතින් පිහිටුවනවා. ඒ සභාවල වගකීම් කරට ගන්න වැඩිමහල්ලන්, සහායක සේවකයන් දහස් ගාණක් ඕනේ. ඒ කියන්නේ සහායක සේවකයන් විදිහට සේවය කරන දහස් ගාණක් අය වැඩිමහල්ලන් විදිහට සේවය කරන්න සුදුසුකම් අත් කරගන්න ඕනෙ කියන එකයි. තවත් සහෝදරයන් දහස් ගාණක් සහායක සේවකයන් වෙන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න වෑයම් කරන්න ඕනේ. ඒත් සහෝදරයන්ට විතරක් නෙමෙයි සහෝදරියන්ටත් දෙවි වෙනුවෙන් කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා.—1 කොරි. 15:58.

ඔයාගේ පැත්තෙන් කරන්න ඕනෙ මොකක්ද?

3, 4. තව හොඳින් දෙවිට සේවය කරන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් මොනවද?

3 1 තිමෝති 3:1 කියවන්න. සභාව රැකබලා ගන්න කෙනෙක් විදිහට වගකීම් දරන්න “වෑයම් කරන” අයව පාවුල් අගය කළා. “වෑයම් කරනවා” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒක හරියට කෙනෙක් අත දික් කරලා ඈතින් තියෙන දෙයක් ගන්න උත්සාහ කරනවා වගේ. හිතන්න, සහායක සේවකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න සහෝදරයෙක් ගැන. ඒ සේවය කරන්න නම් එයා දෙවි කැමති ගුණාංග වර්ධනය කරගන්න ඕනේ. ඒ කියන්නේ, යේසුස්ව කිට්ටුවෙන් අනුකරණය කරන්නත් සභාවේ අය වෙනුවෙන් ඇපකැප වෙලා සේවය කරන්නත් එයාගේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනෙ කියන එකයි. සහායක සේවකයෙක් වුණාට පස්සේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න එයා දිගටම වෑයම් කරන්න ඕනේ.

4 තවත් අය ආසාවෙන් ඉන්නවා පුරෝගාමි සේවය කරන්න, බෙතෙල් සේවය කරන්න නැත්නම් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න හවුල් වෙන්න. ඒ විදිහට වැඩි සේවයක් කරන්න ආසාවෙන් ඉන්න අයත් එයාලගේ ඉලක්කයට ළං වෙන්න ජීවිතේ වෙනස්කම් කරගන්න ඕනේ. ලොකු ‘වෑයමක් දරන්න’ ඕනේ. ඉලක්කය මොකක් වුණත් තව හොඳින් දෙවිට සේවය කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපි හැමෝටම උදව් වෙනවා. ඒ ගැන දැන් බලමු.

ඔයාගේ වෑයමට දෙවි ආශීර්වාද කරයි!

5. දෙවි වෙනුවෙන් සේවය කරන්න යෞවන කාලය පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

5 යෞවන අයට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නිසා එයාලට දෙවි වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුළුවන්. (හිතෝපදේශ 20:29 කියවන්න.) බෙතෙල් එකේ සේවය කරන සමහර යෞවනයන් බයිබල්, පොත් පත් මුද්‍රණය කරන වැඩවලට හවුල් වෙනවා. තවත් අය නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන, අලුත්වැඩියා කරන වැඩවලට සහය දෙනවා. විපතට පත් වුණ අයට උදව් කරන්න සමහර යෞවනයන් ඉදිරිපත් වෙනවා. ප්‍රචාරකයන් අඩු පැතිවලට ගිහින් සේවය කරන, වැඩි සේවයක් කරන්න නිසා වෙනත් භාෂාවන් ඉගෙනගන්න යෞවනයොත් ඒ අතරේ ඉන්නවා.

6-8. (අ) දෙවිට තව හොඳින් සේවය කරන්න ඒරන් කළේ මොන වගේ වෙනස්කම්ද? එයා ලබපු ආශීර්වාද මොනවද? (ආ) “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” පුළුවන් කොහොමද?

6 අපි යෙහෝවා දෙවිට ගොඩක් ආදරේ නිසා මුළු හදවතින්ම ඔහුට සේවය කරන්නයි අපි ආස. ඒත් ඒරන්ට හැඟුණා වගේ අපිටත් හැඟෙන්න ඉඩ තියෙනවා. එයා පුංචි කාලේ ඉඳලම රැස්වීම්, සේවයේ ගිය කෙනෙක්. ඒත් එයා මෙහෙම කියනවා. “රැස්වීම්, සේවේ ගියාට මං ඒ කිසිම දෙයක් කළේ ආසාවෙන් නෙමෙයි.” සේවයෙන් සතුටක් ලබන්න එයා මොනවද කළේ?

7 අතපසු නොකර බයිබලේ කියවන්න, රැස්වීම්වලට ලෑස්ති වෙන්න, රැස්වීමේදී අදහස් දක්වන්න ඒරන් ලොකු උත්සාහයක් ගත්තා. කලින්ට වඩා වැඩියෙන් යාච්ඤා කරන්නත් පටන්ගත්තා. දෙවි ගැන තිබුණ ආදරේ එන්න එන්නම වැඩි වුණ නිසා තව හොඳින් සේවය කරන්න එයාට ලොකු ආසාවක් ඇති වුණා. එයා පුරෝගාමි සේවය පටන්ගත්තා. විපතට පත් වුණ අයට උදව් කරන්න ඉදිරිපත් වුණා. සේවය කරන්න වෙන රටකටත් ගියා. දැන් එයා වැඩිමහල්ලෙක්. සේවය කරන්නේ බෙතෙල් එකේ. එයාට හැඟෙන විදිහ ඒරන් වචනවලට පෙරළුවේ මෙහෙමයි. “‘යෙහෝවා දෙවි යහපත් කියලා මං රස බලලම දැනගත්තා.’ දෙවි මට හුඟක් ආශීර්වාද කරලා තියෙනවා. මට හැඟෙන්නේ මං දෙවිට හැමදාටම ණයගැතියි කියලා. දෙවි වෙනුවෙන් පුළුවන් හැම දේම කරන්නයි මට ඕනේ.”

8 ගීතිකාකරු කිව්වේ ‘යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය’ කියලයි. (ගීතාවලිය 34:8-10 කියවන්න.) මුළු හදවතින්ම දෙවිට සේවය කරද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්. මොකද අපි දන්නවා ඒ ගැන දෙවි සතුටු වෙනවා කියලා. අපිව ආදරෙන් බලාගන්නවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව ඔහු ඉටු කරන විදිහත් අපි අද්දකිනවා.

උත්සාහය අත්හරින්න එපා

9, 10. ඉවසීමෙන් බලන් ඉන්න එක වැදගත් ඇයි?

9 වැඩියෙන් සේවය කරන්න ආස වුණත් යම් වගකීමක් ලැබෙන කල් සමහරවිට ඔයා කාලයක් තිස්සේ බලන් ඉන්නවා ඇති. නැත්නම් වැඩියෙන් සේවය කරන්න පුළුවන් වෙන විදිහට යම් තත්වයක් වෙනස් වෙන කල් බලන් ඉන්නවා ඇති. අධෛර්යය නොවී දිගටම ඉවසීමෙන් බලාගෙන ඉන්න. (මීකා 7:7) යෙහෝවා දෙවි ඔයාගේ උදව්වට ඉන්නවා කියලත් මතක තියාගන්න. පුතෙක් දෙනවා කියලා දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වුණත් ඒක ඉටු වෙන කල් අවුරුදු ගාණක්ම බලන් ඉන්න එයාට සිද්ධ වුණා. ඒ කාලේ පුරාම එයා ඉවසීමෙන් බලන් හිටියා. දෙවි ගැන තිබුණ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු කරගත්තේ නැහැ.—උත්. 15:3, 4; 21:5; හෙබ්‍රෙ. 6:12-15.

10 ඉවසීමෙන් බලන් ඉන්න එක ලේසි නැති වෙන්න පුළුවන්. (හිතෝ. 13:12) ඒත් නොලැබුණ දේ ගැනම හිතහිත හිටියොත් ඔයා කලකිරෙයි. අධෛර්යය වෙයි. ඒ වෙනුවට දෙවිට තව හොඳින් සේවය කරන්න ඔයාට දියුණු වෙන්න පුළුවන් පැති හඳුනගෙන ඒවා දියුණු කරගන්න ඒ කාලය පාවිච්චි කරන්න. ඒ වගේ පැති 3ක් දැන් බලමු.

11. අපි දියුණු කරගන්න ඕනෙ මොන වගේ හැකියාවන්ද? ඒවා වැදගත් ඇයි?

11 දෙවි සතුටු වෙන විදිහට වැඩ කරන්න අවශ්‍ය හැකියාවන් දියුණු කරගන්න. බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතනවා නම් දේවල් හොඳින් කිරලා මැනලා බලන්න, ඥානවන්ත තීරණ ගන්න ඔයා ඉගෙනගනියි. ඒ හැකියාවන් දියුණු කරගන්න එක සභාව රැකබලා ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට හුඟක් ප්‍රයෝජනවත්. (හිතෝ. 1:1-4; තීත. 1:7-9) බයිබලේ අධ්‍යයනය කරද්දී දෙවි හිතන විදිහ, ඔහුට හැඟෙන විදිහ තේරුම්ගන්න ඔයාට පුළුවන්. එදිනෙදා ගන්න තීරණ දෙවි සතුටු වෙන විදිහට ගන්න ඒක ඔයාට උදව් වෙනවා. උදාහරණෙකට සල්ලි ගැන, විනෝදය ගැන, ඇඳුම් ගැන, අනිත් අයට සලකන්න ඕනෙ විදිහ ගැන හරි තීරණ ගන්න ඒක ඔයාට උදව්වක්.

12. කෙනෙක්ට සභාවේ හොඳ නමක් දිනාගන්න පුළුවන් කොහොමද?

12 දෙන ඕනෑම පැවරුමක් හොඳින් කරන්න. ආණ්ඩුකාරයා විදිහට නෙහෙමියා විවිධ වගකීම් භාර දුන්නේ හොඳ නමක් දිනාගෙන හිටපු අයටයි. ඒ අය දෙවිට ආදරෙයි කියලත් දෙන ඕනෑම පැවරුමක් කැපවීමෙන් කරයි කියලත් නෙහෙමියා දැනගෙන හිටියා. (නෙහෙ. 7:2; 13:12, 13) කෙනෙක් විශ්වාසවන්තව, කැපවීමෙන් වැඩ කරනවා කියලා නමක් දිනාගෙන ඉන්නවා නම් එයාට සභාවේ තව වගකීම් භාර දෙන්න තියෙන අවස්ථාව වැඩියි. (1 කොරි. 4:2) ඔයා සහෝදරයෙක් වුණත් සහෝදරියක් වුණත් දෙන ඕනෑම පැවරුමක් වෙහෙස නොබලා, විශ්වාසවන්තව කරන්න.—1 තිමෝති 5:25 කියවන්න.

13. අනිත් අය ඔයාට අසාධාරණයක් කළොත් යෝසෙප්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

13 දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න. අනිත් අය අතින් ඔයාට අසාධාරණයක් වෙනවා කියලා හැඟුණොත් මොකද කරන්නේ? සමහරවිට කතා කරලා ඒක විසඳගන්න පුළුවන් වෙයි. ඒත් ඔයා හරියි, එයාලා වැරදියි කියලා තර්ක කළොත් වෙන්නේ ප්‍රශ්නේ දුර දිග යන එකයි. යෝසෙප් ගැන හිතන්න. එයාගේ අයියලා එයාට අසාධාරණ විදිහට සැලකුවා. සමහරු එයා ගැන බොරු කිව්වා. නොකරපු වරදකට එයාව හිරේ දැම්මා. ඒත් තරහා ගන්නවා වෙනුවට එයා දෙවිගේ පොරොන්දු ගැන කල්පනා කළා. දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. (ගීතා. 105:19) පස්සේ කාලෙක එයාට ලැබුණ වගකීම් ඉටු කරන්න ඒ අමාරු කාලෙදී එයා ඉගෙනගත්ත දේවල් උදව් වුණා. (උත්. 41:37-44; 45:4-8) අනිත් අයගෙන් ඔයාටත් අසාධාරණයක් වෙලා තියෙනවා නම් කලබල නොවී ඒකට මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රඥාව දෙවිගෙන් ඉල්ලන්න. ඒ අය එක්ක කාරුණිකව කතා කරන්න දෙවි ඔයාට උදව් කරයි.—1 පේතෘස් 5:10 කියවන්න.

දේශනා සේවය තව හොඳින් කරන්න පුළුවන්ද?

14, 15. (අ) අපි උගන්වන විදිහ ගැන “නිරතුරුවම සැලකිලිමත්”වෙන්න ඕනෙ ඇයි? (ආ) දේශනා සේවය තව හොඳින් කරන්න ඔයාට පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය සහ “ හුරු නැති වුණත් කරලා බලන්න” යන කොටුව බලන්න.)

14 “ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න” කියලා පාවුල් තිමෝතිට කිව්වා. (1 තිමෝ. 4:13, 16) ඒ වෙද්දී තිමෝති කාලයක් තිස්සේ ශුභාරංචිය දේශනා කරලා තිබුණා. එහෙමනම් ඇයි පාවුල් ඒ වගේ දෙයක් කිව්වේ? මිනිසුන් හිතන විදිහ, මුහුණ දෙන දේවල් නිතරම වෙනස් වෙනවා. ඒ නිසා එයාලගේ හිතට දැනෙන විදිහට පණිවිඩය කියන්න නම් තිමෝති උගන්වන විදිහ මිනිසුන්ගේ තත්වයන්ට අනුව වෙනස් කරගන්න ඕනෙ වුණා. අද අපිත් කරන්න ඕනෙ ඒ දේමයි.

15 සමහර පැතිවල සේවයේ යද්දී මිනිසුන් ගෙවල්වල නැහැ. සමහරු ගෙවල්වල හිටියත් අපිට එයාලව හම්බ වෙන්න බැහැ. මොකද සමහර නිවාස සංකීර්ණවලට පිට අයට ඇතුල් වෙන්න බැහැ. ඔයාත් ඒ වගේ දේවලට මුහුණ දෙනවා නම් පණිවිඩය කියන්න වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්ද?

16. දේශනා කරන්න පොදු සේවය හොඳ ක්‍රමයක් කියන්නේ ඇයි?

16 වැඩිදෙනෙක්ට දේශනා කරන්න පොදු සේවය හොඳ ක්‍රමයක්. හුඟක් සහෝදරයන් පණිවිඩය කියන්න බස් ස්ටෑන්ඩ්, දුම්රිය ස්ථාන, වෙළඳපොළවල් වගේ මිනිසුන් ගැවසෙන තැන්වලට යනවා. සමහරු සාකච්ඡාවක් පටන්ගන්න අදහසින් ළඟදී පළ වුණ ප්‍රවෘත්තියක් ගැන කතා කරනවා. නැත්නම් රැකියාවට සම්බන්ධ යම් ප්‍රශ්නයක් අහනවා. කෙනෙක් එක්ක සුහද කතාබහක යෙදෙන අතරේ බයිබලේ තියෙන දෙයක් කියලා ඒ ගැන එයා හිතන්නේ මොකක්ද කියලා අහනවා. අපේ පණිවිඩය ගැන තව දැනගන්න හුඟක් වෙලාවට එයාලා කැමති වෙනවා.

17, 18. (අ) පොදු සේවය හොඳින් කරන්න ඔයාට උදව් වෙන්නේ මොනවද? (ආ) දෙවිට ප්‍රශංසා කරන්න දාවිත්ට තිබුණ ආසාව සේවය හවුල් වෙද්දී ඔයාටත් තියෙන්න ඕනෙ ඇයි?

17 මිනිසුන් ගැවසෙන තැන්වලට ගිහින් එයාලා එක්ක කතා කරන්න ඔයාට අමාරුද? පුරෝගාමි සේවය කරන එඩීට හැඟුණෙත් එහෙමයි. ඒත් ඒ අභියෝගය එයා ජය ගත්තා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “මිනිස්සු අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන හේතු, ඒවා ජය ගන්න පුළුවන් කොහොමද කියලා අපි පවුලේ නමස්කාරයේදී තොරතුරු හොයලා බලනවා. ඒ වගේ බාධා ජය ගත්ත විදි ගැන අනිත් සහෝදරයන්ගෙනුත් අහනවා.” දැන් එඩී පොදු සේවය කරන්න හරිම ආසයි.

18 දේශනා සේවයේ අපි සතුටින් හවුල් වෙද්දී, මිනිසුන්ගේ හිතට කාවදින විදිහට පණිවිඩය කියන්න අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරද්දී දෙවිට සේවය කරන්න ඔයාට තියෙන ආසාව අනිත් අය දකියි. (1 තිමෝති 4:15 කියවන්න.) ඒ විතරක් නෙමෙයි දෙවිගේ සේවකයෙක් වෙන්න තව කෙනෙක්ට උදව් කරන්නත් ඔයාට අවස්ථාව ලැබෙයි. ඔයා ඔයාගේ උපරිමය කරද්දී දාවිත්ට වගේ ඔයාටත් මෙහෙම කියන්න පුළුවන්. “මම සැමවිටම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමි. ඔහුට කරන ප්‍රශංසාව නිතරම මාගේ මුවේ තිබේ. මම යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කරමි. නිහතමානී අය එය අසා ප්‍රීතිමත් වන්නෝය.”—ගීතා. 34:1, 2.

තව හොඳින් සේවය කරලා දෙවිට ප්‍රශංසා කරන්න

19. තමන් කැමති තරම් සේවය කරන්න බැරි වුණත් දෙවිට ළැදිව ඉන්න කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් ඇයි?

19 දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබ සෑදූ සියල්ල ඔබව පසසන්නේය. ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ඔබට ප්‍රශංසා කරන්නෝය. ඔබේ රාජ්‍යයේ තේජස ගැන ඔවුහු වර්ණනා කරන්නෝය. ඔබේ මහත් බලය ගැන කතා කරන්නෝය. එසේ කරන්නේ ඔබේ බලවත් ක්‍රියා ගැනත් ඔබේ රාජ්‍යයේ තේජස ගැනත් සියලු මනුෂ්‍යයන්ට දන්වන පිණිසය.” (ගීතා. 145:10-12) යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියන්න ඔහුට ආදරේ කරන, ඔහුට ළැදි හැමෝටම තියෙන්නේ ලොකු ආසාවක්. ඒත් අසනීප නිසා, මහලු වයස නිසා ගෙයින් ගෙට සේවයේ යන්න ඔයාට අමාරුද? ඒත් ඔයාට හම්බ වෙන එක් කෙනෙක්ට හරි ඔයා දෙවි ගැන කියද්දී දෙවි හුඟක් සතුටු වෙනවා. දෙවිට විශ්වාසවන්තව ඉන්න නිසා ඔයාව සිරගත කරලා නම් එහේ ඉන්න අයටත් ඔයා දෙවි ගැන කියද්දී දෙවි සතුටු වෙනවා. (හිතෝ. 27:11) පවුලේ අයගේ සහය නැතුව ඔයා තනියෙන් දෙවිට සේවය කරන කෙනෙක් නම් ඔයාගේ විශ්වාසය දෙවි හුඟක් අගය කරනවා. (1 පේතෘ. 3:1-4) මොන තරම් කටුක දේවල් අද්දැක්කත් දෙවිට ප්‍රශංසා කරන්න, ඔහුට ළං වෙන්න, ඔහුට කරන සේවය තව හොඳින් කරන්න ඔයාට පුළුවන්.

20, 21. වැඩි සේවයක් කරන්න ලැබෙන අවස්ථාව අනිත් අයට ප්‍රයෝජනවත් වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

20 පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරන්න, ඔහුට ළං වෙන්න ඔයා වෑයම් කරද්දී දෙවි ආශීර්වාද කරනවා නිසැකයි. දෙවි දීලා තියෙන ලස්සන පොරොන්දු ගැන වැඩිදෙනෙක්ට කියන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් කරගන්න ඔයාට පුළුවන්ද? සහෝදරයන් වෙනුවෙන් තව කාලේ දෙන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ කාලසටහන හදාගන්න පුළුවන්ද? සභාව වෙනුවෙන්, දෙවි වෙනුවෙන් තව හොඳින් සේවය කරන්න වෑයම් කරද්දී සහෝදරයන්ට ඔයා ගැන කොච්චර ආදරයක් ඇති වෙයිද!

21 කාලයක් තිස්සේ දෙවිට සේවය කරන කෙනෙක් වුණත් ළඟදී සේවය කරන්න පටන්ගත්ත කෙනෙක් වුණත් අපි හැමෝටම පුළුවන් තව වැඩියෙන් දෙවිව ආදර්ශයට ගන්න. ඔහුට කරන සේවය තව හොඳින් කරන්න. තව හොඳින් දෙවිට සේවය කරන්න අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.