Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

පෘතුගාලයෙත් සත්‍යයේ බීජ වැපුරුවා

පෘතුගාලයෙත් සත්‍යයේ බීජ වැපුරුවා

නැවක් අත්ලාන්තික් සාගරයේ වතුර දෙබෑ කරමින් යුරෝපය දිහාවට ඇදෙමින් තිබුණා. සහෝදර ජෝර්ජ් යං ඒ නැවේ හිටපු මඟියෙක්. බ්‍රසීලයේ දේවරාජ්‍යයේ වැඩකටයුතු ව්‍යාප්ත කරන්න දායක වෙන්න ලැබුණ එක ගැන එයා හිටියේ ලොකු සතුටකින්. * ඔය අතරේ එයා එයාගේ අලුත් පැවරුම ගැනත් හිතන්න පටන්ගත්තා. ඒ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ සත්‍යයේ බීජ වපුරන පැවරුමයි. සහෝදර යංට ඕනෙ වුණේ එහෙට ගිහින් සහෝදර ජේ. එෆ්. රදෆර්ඩ්ට බයිබල් දේශන දෙන්න පුළුවන් වෙන විදිහට දේවල් සැලසුම් කරන්නයි. ඒ වගේම බයිබල් සත්‍යයන් ඇතුළත් පත්‍රිකා 3,00,000ක් විතර බෙදාහරින්නත් එයාට ඕනෙ වුණා.

මුහුදු තරණය කරමින් සහෝදර ජෝර්ජ් යං දේශනා කරන්න ගියා

1925 වසන්ත ඍතුවේදී සහෝදර යං පෘතුගාලයේ ලිස්බන් අගනුවරට ගොඩ බැස්සා. ඒ වෙද්දී රටේ තිබුණේ කලබලකාරී වාතාවරණයක්. 1910දී ඇති වුණ විප්ලවය නිසා රාජාණ්ඩු පාලනය අවසන් වෙලා තිබුණා. ඒ එක්කම කතෝලික පල්ලියට තිබුණ බලතලත් සෑහෙන්න අඩු වුණා. සෙනඟ විවිධ පැතිවලින් නිදහස අද්දැක්කත් රට තුළ තවමත් ගැටුම් තිබුණා.

සහෝදර රදෆර්ඩ්ට බයිබල් දේශනය ඉදිරිපත් කරන්න අවශ්‍ය දේවල් සහෝදර යං සැලසුම් කරන්න පටන්ගත්තා. ඔය අතරේ රටේ ඇති වුණ කැරැල්ලක් නිසා ආණ්ඩුවෙන් රට හමුදා පාලනය යටතට පත් කළා. බ්‍රිතාන්‍ය සහ විදේශ බයිබල් සමාගමේ ලේකම් සහෝදර යංට කිව්වේ එයාට සෑහෙන විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙයි කියලා. ඒත් සහෝදර යං දේශනය සඳහා පාසැලක ජිම්නාස්ටික් ක්‍රීඩාංගණයක් පාවිච්චි කරන්න අවසර ඉල්ලුවා. ඒකට එයාට අවසර ලැබුණා.

දේශනය දෙන්න සැලසුම් කරලා තිබුණ මැයි 13වෙනිදා උදා වුණා. “පොළොවේ සදහටම ජීවත් වෙන්න අවස්ථාවක්” කියන බයිබල් දේශනය ගැන සඳහන් වෙන විශාල දැන්වීම් පුවරු ඒ වෙද්දීත් ගොඩනැඟිලිවල සවි කරලයි තිබුණේ. පුවත්පත්වලත් ඒ ගැන දැන්වීම් පළ කළා. විරුද්ධවාදීනුත් නිකම් හිටියේ නැහැ. එයාලත් පුවත්පත්වල දැන්වීම් පළ කරලා මිනිසුන්ට අනතුරු ඇඟෙව්වා ඇවිත් ඉන්න බොරු අනාගතවක්තෘවරුන්ගෙන් පරෙස්සම් වෙන්න කියලා. ඒ වගේම එයාලා ක්‍රීඩාංගණයට ඇතුල් වෙන තැන රැස් වෙලා සහෝදර රදෆර්ඩ්ගේ ඉගැන්වීම්වලට විරුද්ධ අදහස් ඇතුළත් සඟරා දහස් ගණනක් මිනිසුන් අතරේ බෙදාහැරියා.

එයාලා ඒ මොන දේ කළත් 2,000ක විතර පිරිසකගෙන් ශාලාව පිරුණා. ශාලාවේ ඉඩ මදි වුණ නිසා ඒ වගේම ගණනකට ආපහු හැරිලා යන්නත් වුණා. සමහරු දේශනයට සවන් දෙන්න ක්‍රීඩාංගණයේ තිබුණ ලණු ඉණිමංවලට නැග්ගා. තව පිරිසක් ක්‍රීඩාංගණයේ ව්‍යායාම් උපකරණ උඩ නැග්ගා.

දේශනය දෙන අතරේ විරුද්ධවාදීන් එතනට ඇවිත් කෑගහලා පුටු කඩන්න පටන්ගත්තා. ඒත් සහෝදර රදෆර්ඩ් සන්සුන්ව හිටියා. හැමෝටම ඇහෙන්න නිසා එයා ළඟ තිබුණ මේසයක් උඩ නැඟලා දේශනය දිගටම දුන්නා. දේශනය ඉවර වෙද්දී මධ්‍යම රාත්‍රියට ළං වෙලා තිබුණා. උනන්දුව දක්වපු 1,200ට වැඩි පිරිසක් බයිබල් ප්‍රකාශන ලබාගන්න අරමුණින් එයාලගේ නම් සහ ලිපින ලබා දුන්නා. පහුවෙනිදා පුවත්පතකත් ඒ දේශනය ගැන ලිපියක් පළ වුණා.

1925 සැප්තැම්බර් මාසේ ඉඳන් පෘතුගීසි භාෂාවෙන් ‘මුරටැඹ’ සඟරාව පෘතුගාලයේ පළ කරන්න පටන්ගත්තා. (ඒ වෙද්දී පෘතුගීසි භාෂාවෙන් ‘මුරටැඹ’ සඟරාව බ්‍රසීලයේ පළ වුණා.) ඒ කාලේ වෙද්දී බ්‍රසීලයේ හිටපු සහෝදර වර්ජිලිඕ ෆර්ගසන් දේශනා වැඩවලට උදව් කරන්න පෘතුගාලයේ පදිංචියට එන්න ලෑස්ති වෙලයි හිටියේ. එයා කලින් බ්‍රසීලයේ තිබුණ ශාඛා කාර්යාලයේ සහෝදර යං එක්ක ටික කාලයක් වැඩ කරලා තිබුණා. වැඩි කල් යන්න කලින් එයා එයාගේ බිරිඳ ලිසි එක්ක පෘතුගාලයට ආවා. එයාලා එහෙට ආවේ හරිම වෙලාවේ. මොකද ඒ වෙද්දී සහෝදර යං සෝවියට් සංගමය ඇතුළුව තවත් ප්‍රදේශවල දේශනා කරන්න යන්න සූදානම් වෙලයි හිටියේ.

ලිසි සහ වර්ජිලිඕ ෆර්ගසන්ගේ වීසා බලපත්‍ර, 1928

පෘතුගාලයේ ඇති වුණ හමුදා කුමන්ත්‍රණයත් එක්කම රටේ ඒකාධිපති පාලනයක් බිහි වුණා. ඒත් එක්කම සාක්ෂිකරුවන්ටත් හුඟක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණා. ඒත් සහෝදර ෆර්ගසන් පෘතුගාලයෙම ඉඳලා එහේ හිටපු බයිබල් ශිෂ්‍යයන් ටිකදෙනාව ආරක්ෂා කරන්න පියවර ගත්තා වගේම නමස්කාරයේ වැඩ තව වැඩියෙන් කරන්න එයාලට උදව් කළා. එයාගේ ගෙදර රැස්වීම් පවත්වන්න අවසර දෙන්න කියලා නිලධාරීන්ගෙන් සහෝදර ෆර්ගසන් කරපු ඉල්ලීමට 1927 ඔක්තෝබර් මාසේ අවසර ලැබුණා.

ඒකාධිපති පාලනය තිබුණ මුල් අවුරුද්දේ 450දෙනෙක් විතර ‘මුරටැඹ’ සඟරාව මාසිකව තැපෑලෙන් ලබාගත්තා. බයිබල් සත්‍යයන් ඇතුළත් පත්‍රිකා, පුංචි පොත් මාර්ගයෙන් පෘතුගාල අධිරාජ්‍යයේ අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය පැතිරුණා.

1920 ගණන්වල අගභාගය වෙද්දී පෘතුගීසි ජාතිකයෙක් වුණ මැනුවෙල් ඩා සිල්වා ලිස්බන්වල පදිංචියට ආවා. එයා කාලයක්ම හිටියේ බ්‍රසීලයේ. එහේ ඉද්දී එයා සහෝදර යං දුන්න බයිබල් දේශනයකට සවන් දීලා තිබුණා. ඒකට සවන් දෙද්දී එයා තේරුම්ගත්තා එයාට සත්‍යය හම්බ වුණා කියලා. එයාට ඕනෙ වුණේ දේශනා සේවය තව ව්‍යාප්ත කරන්න සහෝදර ෆර්ගසන්ට උදව් කරන්නයි. ඒ නිසා එයා පුරෝගාමියෙක් විදිහට සේවය කරන්න පටන්ගත්තා. අපේ ප්‍රකාශන මුද්‍රණය කරන සහ බෙදාහරින වැඩ ඒ වෙද්දී හොඳින් සංවිධානය කරලා තිබුණ නිසා ලිස්බන්වල පිහිටුවලා තිබුණ සභාව ඉක්මනින්ම වර්ධනය වුණා.

1934දී ෆර්ගසන් යුවළට ආයෙත් බ්‍රසීලයට යන්න වුණා. ඒත් ඒ වෙද්දී සත්‍යයේ බීජ පෘතුගාලයේ වපුරලයි තිබුණේ. ස්පාඤ්ඤයේ සිවිල් යුද්දේ නිසාත් 2වෙනි ලෝක යුද්දේ නිසාත් යුරෝපය පුරාම තිබුණේ කලබලකාරී තත්වයක්. ඒ නොසන්සුන් කාලේ පුරාම පෘතුගාලයේ සහෝදරයන් දෙවිට ළැදිව හිටියා. ඒ කාලේ එයාලා හරියට අළු යට තිබුණ ගිනි අඟුරු වගේ. ඒත් 1947දී සහෝදර ජෝන් කුක්ගේ පැමිණීමත් එක්කම ඒ ගිනි අඟුරු ඇවිලෙන්න පටන්ගත්තා. එයා තමයි ගිලියද් පුහුණුව ලබලා පෘතුගාලයට ආපු පළවෙනි මිෂනාරිවරයා. ඊටපස්සේ ප්‍රචාරකයන්ගේ ගණන එන්න එන්නම වැඩි වුණා. 1962දී ආණ්ඩුවෙන් සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කළත් එයාලගේ වර්ධනය නවත්තන්න බැරි වුණා. 1974 දෙසැම්බර් මාසෙදී ඒ තහනම ඉවත් කරද්දී එහේ ප්‍රචාරකයන් 13,000කට වඩා හිටියා.

මේ වෙද්දී පෘතුගාලයෙත් පෘතුගීසි භාෂාව කතා කරන දූපත් කීපයකත් ඉන්න ප්‍රචාරකයන්ගේ එකතුව 50,000කට වඩා වැඩියි. ඒ අය අතරේ 1925දී සහෝදර රදෆර්ඩ් දුන්න දේශනයට සවන් දුන්න අයගෙන් පැවතෙන තුන්වෙනි පරම්පරාවට අයිති කීපදෙනෙකුත් ඉන්නවා.

යෙහෝවා දෙවිටත් මුල් කාලේ පෘතුගාලයේ දේශනා කරන්න මුල් වෙලා වැඩ කරපු සහෝදර සහෝදරියන්ටත් අපි කොයි තරම් නම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—රෝම 15:15, 16.—පෘතුගාලයේ අතීතයෙන් බිඳක්.

^ 3 ඡේ. 2014 මැයි 15 ‘මුරටැඹ’ කලාපයේ 31-32 පිටුවල පළ වුණ “කොච්චර ලොකු අස්වැන්නක් කපන්න තියෙනවද?” කියන ලිපිය බලන්න.