Skip to content

පටුනට යන්න

හැම දවසකම දෙවිත් එක්ක වැඩ කරන්න

හැම දවසකම දෙවිත් එක්ක වැඩ කරන්න

“අප දෙවිගේ හවුල් වැඩකරුවන්.”—1 කොරි. 3:9.

ගීතිකා: 64, 111

1. අපිට යෙහෝවා දෙවිත් එක්ක වැඩ කරන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළාට පස්සේ දෙවිට ඕනෙ වුණා ඔහුගේ අරමුණු ඉටු කරන කාර්යයට මිනිසුන්වත් හවුල් කරගන්න. අපිට පව්කාර ස්වභාවය උරුම වෙලා තිබුණත් දෙවිත් එක්ක හවුලේ වැඩ කරන්න දෙවි තාමත් අපිට අවස්ථාව දීලා තියෙනවා. උදාහරණෙකට අපි දේශනා කරද්දී, මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී අපි කරන්නේ ‘දෙවිත් එක්ක හවුලේ වැඩ කරන එකයි.’ (1 කොරි. 3:5-9) ඒ තරම් වැදගත් කාර්යයක් කරන්න මුළු විශ්වයේම නිර්මාතෘ වන දෙවි අපිව තෝරගත්ත එක මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද! අපිට දෙවි එක්ක එකට වැඩ කරන්න පුළුවන් දේශනා සේවයේ හවුල් වෙන එකෙන් විතරක් නෙමෙයි. අපේ පවුලේ අයටත් සභාවේ අයටත් උදව් කරලා, අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්නලා, සංවිධානයෙන් ලෝකේ පුරා සැලසුම් කරන විවිධ කාර්යයන්වලට හවුල් වෙලා, අපේ සේවය තව වැඩි කරලා දෙවි එක්ක හවුලේ වැඩ කරන්න අපිට පුළුවන්. (කොලො. 3:23) අපි මේ ලිපියෙන් බලන්නේ ඒ ගැනයි.

2. අපි දෙවි වෙනුවෙන් කරන දේවල් අනිත් අය කරන දේවල් එක්ක සසඳන්න හොඳ නැත්තේ ඇයි?

2 මේ ලිපිය අධ්‍යයනය කරද්දී මතක තියාගන්න දෙවි වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේ අනිත් අයට කරන්න පුළුවන් දේවල් එක්ක සසඳන්න එපා කියලා. මොකද අපේ වයස, ශරීර සෞඛ්‍යය, හැකියාවන්, අපි මුහුණ දෙන දේවල් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. බයිබලේ මෙහෙම කියනවා. “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලා. 6:4.

පවුලේ අයට, සභාවේ අයට අත දෙන්න

3. පවුලේ අයගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන හැමෝම දෙවි එක්ක වැඩ කරනවා කියලා කියන්න පුළුවන් ඇයි?

3 අපි අපේ පවුලේ අයව රැකබලා ගනියි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙනවා. උදාහරණෙකට පවුලේ අයගේ අවශ්‍යතා ඉටු කරන්න සැමියාට රැකියාවක් කරන්න වෙනවා. ගොඩක් අම්මලා ගෙදර ඉඳලා දරුවන්ව බලා කියා ගන්නවා. දෙමාපියන් මහලු වයසට ආවාම අපිට එයාලව රැකබලා ගන්න වෙනවා. ඒවා අපි කළ යුතුම දේවල්. මොකද බයිබලේ මෙහෙම කියනවා. “යමෙකු තමාගේම අයට, විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම් ඔහු සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි. ඇත්තෙන්ම ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකය.” (1 තිමෝ. 5:8) ඔයාටත් රැකබලා ගන්න පවුලක් ඉන්නවා නම් ඒ වගකීම් ඉටු කරන අතරේ ඔයා ආස තරම් දෙවි වෙනුවෙන් දේවල් කරන්න බැරුව ඇති. ඒත් අධෛර්යය වෙන්න එපා! පවුලේ අයගේ අවශ්‍යතා ඉටු කරන එක ගැන යෙහෝවා දෙවි ඔයාව අගය කරනවා.—1 කොරි. 10:31.

4. දේවරාජ්‍යයට මුල් තැන දීලා වැඩ කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? එයාලා එහෙම කරද්දී ලැබෙන්නේ මොන ප්‍රතිඵලද?

4 දෙමාපියන්ට දෙවි එක්ක හවුලේ වැඩ කරන්න පුළුවන් විදිහක් තමයි දෙවිගේ සේවයේ ඉලක්ක තියලා ඒවා ජය ගන්න දරුවන්ට උදව් කරන එක. හුඟක් දෙමාපියන් එහෙම කරලා තියෙන නිසා එයාලගේ දරුවන් ජීවිත දෙවිට කැප කරලා පූර්ණකාලීනව දෙවිට සේවය කරනවා. සමහරු එහෙම කරන්නේ ගෙදරින් හුඟක් ඈත පළාත්වලට ගිහිල්ලයි. සමහරු මිෂනාරිවරු විදිහට සේවය කරනවා. තවත් අය පුරෝගාමීන් විදිහට ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරනවා. තව අය බෙතෙල් එකේ සේවය කරනවා. දරුවෝ ඒ විදිහට ඈත පළාත්වල සේවය කරද්දී ඒ දෙමාපියන්ට දරුවන් එක්ක හිතේ හැටියට කාලේ ගත කරන්න බැරි වෙනවා. ඒත් ඒ දෙමාපියන් දරුවන්ට දිරිගන්වන්නේ ඒ සේවය දිගටම කරන්න කියලයි. ඒ ඇයි? මොකද දරුවන් එයාලගේ ජීවිතවල මුල් තැන යෙහෝවා දෙවිට දෙද්දී දෙමාපියන් ලොකු සතුටක් ලබනවා. (3 යොහ. 4) එයාලත් හරියට තමන්ගේ පුතාව යෙහෝවා දෙවිට ‘භාර දුන්න’ හන්නා වගේ. දෙවි එක්ක ඒ විදිහට වැඩ කරන්න ලැබෙන එක ඒ දෙමාපියන් සලකන්නේ ලොකු ගෞරවයක් විදිහට.—1 සාමු. 1:28.

5. ඔයාගේ සභාවේ අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

5 සමහරවිට ඔයාට පවුලේ වගකීම් තිබුණාට ඒ වෙනුවෙන් ගොඩක් කාලේ යන්නේ නැතුව ඇති. එහෙමනම් ඔයාට පුළුවන්ද අසනීප, මහලු නැත්නම් වෙනත් අවශ්‍යතා තියෙන අයට උදව් කරන්න? එහෙම අයව බලාගන්න අයට උදව්වක් දෙන්න පුළුවන්ද? ඒ වගේ උදව් ඕනෙ අය ඔයාගේ සභාවේ ඉන්නවාද කියලා හොයලා බලන්න. උදාහරණෙකට මහලු දෙමාපියන්ව බලාගන්න සහෝදරියක් ඔයාගේ සභාවේ ඉන්නවා නම් ඔයාට පුළුවන්ද ඒ දෙමාපියන් එක්ක ටිකක් කාලේ ගත කරන්න? එතකොට ඒ සහෝදරියට වෙනත් වැඩකට ඒ කාලේ යොදවන්න පුළුවන්. නැත්නම් කෙනෙක්ට රැස්වීම් යන්න, මාකට් එකට යන්න, ඉස්පිරිතාලේ ඉන්න කෙනෙක්ව බලන්න යන්න උදව් කරන්න ඔයාට පුළුවන්ද? ඔයා ඒ දේවල් කරද්දී එයාලා කරපු යාච්ඤාවකට උත්තර දෙන්න දෙවි ඔයාව පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒක දෙවිත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් විදිහක්.—1 කොරින්ති 10:24 කියවන්න.

ආගන්තුක සත්කාරය පෙන්නන්න

6. ආගන්තුක සත්කාරය පෙන්නන්න කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?

6 දෙවිගේ හවුල් සේවකයන් අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්නන අය විදිහට ප්‍රසිද්ධයි. “ආගන්තුක සත්කාරය” කියන්න යොදාගත්ත ග්‍රීක වචනයට “නාඳුනන අයට කාරුණිකව සලකන්න” කියන අදහස ඇතුළත් වුණා. (හෙබ්‍රෙ. 13:2) ආගන්තුක සත්කාරය පෙන්නපු අය ගැන වාර්තා බයිබලේ තියෙනවා. ඒවා අධ්‍යයනය කරන එක හොඳ දෙයක් නෙමෙයිද? (උත්. 18:1-5) දන්න අඳුරන අයට විතරක් නෙමෙයි උදව්වක් අවශ්‍ය ඕනෙම කෙනෙක්ට අපි උදව් කරන්න ඕනේ. ඒක දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා.—ගලා. 6:10.

7. පූර්ණකාලීන සේවකයන්ට ආගන්තුක සත්කාරය පෙන්නන්න ඕනෙ ඇයි?

7 ටික දවසකට සභාවත් එක්ක සේවය කරන්න එන පූර්ණකාලීන සේවකයන්ට ආගන්තුක සත්කාරය පෙන්නන්න ඔයාට පුළුවන්ද? ඒකත් දෙවි එක්ක වැඩ කරන්න පුළුවන් විදිහක්. (3 යොහන් 5, 8 කියවන්න.) එහෙම කරන එකෙන් ‘එකිනෙකාව දිරිගන්වන්න’ අවස්ථාව ලැබෙනවා. (රෝම 1:11, 12) ඕලාෆ්ගේ අද්දැකීම බලන්න. එයා යෞවනයෙක්ව ඉද්දී සභාවට තනිකඩ චාරිකා සේවකයෙක් ආවා. එයාට නවාතැන් දෙන්න සභාවේ අයට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතිං ඕලාෆ් අම්මාගෙන් ඇහුවා චාරිකා සේවකව එයාලගේ ගෙදර නවත්තගමුද කියලා. ඕලාෆ්ගේ දෙමාපියන් සාක්ෂිකරුවන් නෙමෙයි. ඒත් එයාලා ඒකට කැමති වුණා. ඕලාෆ්ගේ කාමරේ චාරිකා සේවකට දීලා එයාට සාලේ නිදාගන්න වෙනවා කියලා අම්මලා කිව්වා. ඒ කැප කිරීම ගැන ඕලාෆ් අදටත් සතුටු වෙනවා. ඒ සතියේ ඒ දෙන්නා උදෙන්ම නැඟිටලා කෑම ගන්න ගමන් බයිබලේ තියෙන දේවල් ගැන ගොඩක් කතා කළා. ඒක ඕලාෆ්ට කොච්චර දිරිගැන්වීමක් වුණාද කියනවා නම් පස්සේ කාලෙක එයා පූර්ණකාලීන සේවය පටන්ගත්තා. පහුගිය අවුරුදු 40 පුරා එයා රටවල් කීපයකම මිෂනාරි සේවය කරලා තියෙනවා.

8. අපි පෙන්නන කරුණාව අනිත් අය අගය කරන්නේ නැති වුණත් අපි දිගටම කරුණාව පෙන්නන්න ඕනෙ ඇයි? අද්දැකීමක් කියන්න.

8 නාඳුනන අයටත් හුඟක් විදිවලින් කාරුණිකව සලකන්න අපිට පුළුවන්. මේ අද්දැකීම බලන්න. ස්පාඤ්ඤයේ ඉන්න සහෝදරියක් ඉක්වදෝරයේ ඉඳන් ආපු යෙසිකා කියන කාන්තාව එක්ක බයිබල් පාඩමක් කළා. දවසක් පාඩම කරන අතරේ එකපාරටම යෙසිකා අඬන්න පටන්ගත්තා. අඬන්නේ ඇයි කියලා ඇහුවාම එයා විස්තරේ කිව්වා. ස්පාඤ්ඤයට එන්න කලින් යෙසිකා හුඟක් දුප්පත්. දවසක් එයාගේ දුවට කන්න දෙන්න කිසිම දෙයක් එයා ළඟ තිබිලා නැහැ. දුවට බොන්න වතුර ටිකක් දීලා එයාව නිදි කරවලා යෙසිකා දෙවිට යාච්ඤා කරලා කිව්වා එයාට උදව් කරන්න කියලා. ටික වෙලාවකින් සාක්ෂිකරුවන් දෙන්නෙක් එයාගේ ගෙදරට ආවා. යෙසිකා ඒ දෙන්නා දීපු සඟරාව ඉරලා එයාලගෙන් සැරෙන් ඇහුවා “මේකද මං දුවට කන්න දෙන්නේ” කියලා. එයාව සනසන්න ඒ සහෝදරියන් උත්සාහ කළත් යෙසිකා එයාලට ඇහුම්කන් දුන්නේ නැහැ. පස්සේ ඒ සහෝදරියන් කෑම පිරුණු මල්ලක් ගෙනත් යෙසිකාගේ දොර ළඟ තියලා ගියා. එයා ඇඬුවේ එයා කරපු යාච්ඤාවට දෙවි දුන්න උත්තරේ එදා එයා පිළිගත්තේ නැහැ කියලා එයාට තේරුණ නිසයි. දැන් යෙසිකාගේ අධිෂ්ඨානය දිගටම දෙවිට සේවය කරන්නයි. ඒ හොඳ ප්‍රතිඵලය ලැබුණේ ඒ සහෝදරියන් දෙන්නාගේ ත්‍යාගශීලීකම නිසා නෙමෙයිද?—දේශ. 11:1, 6.

කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න

9, 10. (අ) ඊශ්‍රායෙල්වරුන්ට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න අවස්ථාව තිබුණේ මොන වගේ දේවල්වලටද? (ආ) සහෝදරයන්ට සභාව වෙනුවෙන් සේවය කරන්න පුළුවන් කොහොමද?

9 කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා සේවය කරන්න ඊශ්‍රායෙල්වරුන්ට ගොඩක් අවස්ථා ලැබුණා. (නික්. 36:2; 1 ලේක. 29:5; නෙහෙ. 11:2) ඔයාටත් අවස්ථාව තියෙනවා ඔයාගේ කාලය, ඔයා ළඟ තියෙන දේවල්, ඔයාගේ හැකියාවන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් දෙන්න. ඔයා එහෙම කරනවා නම් ඒකෙන් ඔයාට ලොකු සතුටක් ලැබෙනවා වගේම දෙවිගෙන් ආශීර්වාද ලබන්නත් ඔයාට පුළුවන්.

10 සහෝදරයන්ට බයිබලේ උනන්දු කරන්නේ සහායක සේවකයන්, වැඩිමහල්ලන් විදිහට සේවය කරලා දෙවි එක්ක එකට වැඩ කරන්න කියලයි. (1 තිමෝ. 3:1, 8, 9; 1 පේතෘ. 5:2, 3) ඒ සේවය කරන අයට ඕනෙ දෙවිට නමස්කාර කරන්න සභාවේ අයට උදව් කරන අතරේ එදිනෙදා වැඩවලදීත් එයාලට ඕනෙ කරන උදව් දෙන්න. (ක්‍රියා 6:1-4) පරිවාරකයෙක් හැටියට සේවය කරන්න, නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩවලට හවුල් වෙන්න පුළුවන්ද කියලා වැඩිමහල්ලන් ඔයාගෙනුත් අහලා තියෙනවාද? සභාවේ පොත් අංශයට උදව් කරන්න නැත්නම් සේවය කරන ප්‍රදේශට අදාළ කාඩ්වල තොරතුරු අලුත් කරන්න උදව් කරන්න පුළුවන්ද කියලා එයාලා අහලා තියෙනවාද? ඒ වගේ වැඩවලට උදව් කරන සහෝදරයන් කියන්නේ ඒකෙන් එයාලා ලොකු සතුටක් ලබනවා කියලයි.

සංවිධානයේ විවිධ වැඩවලට කැමැත්තෙන්ම හවුල් වෙන අයට අලුත් යාළුවන්ව හොයාගන්න පුළුවන් (11 ඡේදය බලන්න)

11. ඉදි කිරීම් වැඩවලට හවුල් වෙද්දී හම්බ වුණ යාළුවන් නිසා සහෝදරියක් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

11 සංවිධානයේ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයට අලුත් යාළුවන්ව හොයාගන්න පුළුවන්. සහෝදරි මාජි නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන ව්‍යාපෘතිවල අවුරුදු 18ක් විතර සේවය කරලා තියෙනවා. එහෙම සේවය කරද්දී එයාට වඩා බාල සහෝදරියන් හුඟදෙනෙකුව පුහුණු කරන්න එයාට අවස්ථාව ලැබුණා. මාජි කියනවා ඒ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙද්දී එකිනෙකාව දිරිගන්වන්න හුඟක් අවස්ථා ලැබෙනවා කියලා. (රෝම 1:12) අමාරු තත්වයන්ට මුහුණ දෙද්දී මාජිගේ යාළුවෝ එයාවත් දිරිගන්වනවා. ඔයාත් සංවිධානයේ ඉදි කිරීම් වැඩකට හවුල් වෙලා තියෙනවාද? ඔයාට විශේෂ දක්ෂතාවක් නැතත් ඔයාටත් පුළුවන් ඒවාට ඉදිරිපත් වෙන්න.

12. ආපදාවකට මුහුණ දීලා ඉන්න අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

12 ආපදාවකදී අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන එකෙනුත් දෙවි එක්ක එකට වැඩ කරන්න අපිට පුළුවන්. උදාහරණෙකට අපිට පුළුවන් ඒ වැඩවලට ඕනෙ කරන මුදල් පරිත්‍යාග කරන්න. (යොහ. 13:34, 35; ක්‍රියා 11:27-30) නැත්නම් අපිට පුළුවන් ආපදාවකට පස්සේ පිරිසිදු කරන, අලුත්වැඩියා කරන වැඩවලට හවුල් වෙන්න. ගාබ්‍රියලා පෝලන්ත ජාතික සහෝදරියක්. ගංවතුරකට අහු වෙලා එයාගේ ගෙට හොඳටම අලාභහානි වුණා. අවට සභාවල හිටපු හුඟක් සහෝදරයන් ඉක්මනටම ඇවිත් එයාට උදව් කළා. ඒ සිද්ධිය ගැන හිතද්දී එයාට මතක් වෙන්නේ නැති වුණ බඩු මුට්ටු නෙමෙයි සහෝදරයන්ගෙන් එයාට ලැබුණ දිරිගැන්වීම්, උදව් ගැනයි. එයා මෙහෙම කියනවා. “දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න ලැබුණ එක වටිනා වරප්‍රසාදයක් කියන දේ මේ අද්දැකීමෙන් මට තවත් ස්ථිර වුණා.” ආපදාවකට මුහුණ දුන්න වෙලාවකදී සහෝදරයන්ගේ උදව් ලැබුණ හුඟදෙනෙක්ට හැඟෙන්නේ ඒ විදිහටයි. දෙවි එක්ක එකතු වෙලා ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙන සහෝදරයනුත් අද්දකින්නේ කියලා නිම කරන්න බැරි සතුටක්.—ක්‍රියා 20:35; 2 කොරින්ති 9:6, 7 කියවන්න.

13. කැමැත්තෙන් ඉදිරිපත් වෙද්දී දෙවි ගැන අපිට තියෙන ආදරේ වැඩි වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

13 යුද්ධ නිසා හුඟදෙනෙක් සරණාගතයන් විදිහට විවිධ රටවලට යනවා. දෙවි එක්ක එකට වැඩ කරන්න ඒකත් අවස්ථාවක්. මේ අද්දැකීම බලන්න. එක්සත් ජනපදයට සරණාගතයන් විදිහට ඇවිත් ඉන්න සාක්ෂිකරුවන්ට ස්ටෙෆනියි, තවත් ප්‍රචාරකයන් කීපදෙනෙකුයි උදව් කරන්න ඉදිරිපත් වුණා. එයාලට ඉන්න තැන්, අවශ්‍ය බඩු මුට්ටු හොයාගන්න ඒ අය උදව් කළා. ස්ටෙෆනි මෙහෙම කියනවා. “ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ගේ ආදරේ ලැබෙද්දී එයාලා ගොඩක් සතුටු වුණා. ලැබුණු උදව් එයාලා හුඟක් අගය කළා. ඒක දැක්කාම වචනවලින් විස්තර කරන්න බැරි තරම් සතුටක් අපිටත් දැනුණා. එයාලා හිතන්නේ අපි එයාලට උදව් කළා කියලා. ඒත් ඇත්තටම එයාලයි අපිට උදව් කළේ. මොකද එයාලගේ ආදරේ, එකමුතුකම, විශ්වාසය දැක්කාම දෙවි ගැන අපිට තියෙන ආදරේ වැඩි වුණා. සංවිධානයෙන් ලැබෙන හැම දෙයක් ගැනම අපිට තිබුණ අගයත් ඒකෙන් වැඩි වුණා.”

සේවය තව වැඩි කරන්න

14, 15. (අ) අනාගතවක්තෘ යෙසායාට තිබුණේ මොන වගේ ආකල්පයක්ද? (ආ) එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

14 තව වැඩියෙන් දෙවි එක්ක එකතු වෙලා වැඩ කරන්න ඔයා කැමතිද? ඕනෙම තැනකට ගිහින් සේවය කරන්න ඔයාට පුළුවන්ද? ඇත්ත, දෙවිට සේවය කරන්න අපි ඈත පළාතකට යන්නම ඕනෙ නැහැ. ඒත් එහෙම ගිහින් සේවය කරන්න පුළුවන් හුඟදෙනෙක් ඉන්නවා. එයාලට තියෙන්නෙත් යෙසායාට තිබුණ ආකල්පයමයි. “මා යවන්නේ කාවද? අප වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කවුද” කියලා දෙවි අහපු වෙලාවේ යෙසායා කිව්වා “මම යන්න කැමතියි. මාව යවන්න” කියලා. (යෙසා. 6:8) දෙවිගේ සංවිධානයට උදව් කරන්න ඔයාට හැකියාවක් තියෙනවාද? ඒකට ඔයා කැමතිද?

15 දේශනා කරන සහ යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න මිනිසුන්ට උදව් කරන කාර්යය ගැන යේසුස් මෙහෙම කිව්වා. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.” (මතෙ. 9:37, 38) ප්‍රචාරකයන් අඩු පළාතකට ගිහින් පුරෝගාමි සේවය කරන්න හරි එහෙම කරන්න තව කෙනෙක්ට උදව් කරන්න හරි ඔයාට පුළුවන්ද? ප්‍රචාරකයන් අඩු පළාතකට ගිහින් පුරෝගාමි සේවය කරන එක දෙවිටත් අසල්වැසියන්ටත් ආදරේ කරන්න පුළුවන් හොඳම විදිහ කියලා හුඟක් සහෝදරයන්ට හැඟෙනවා. ඔයාගේ සේවය වැඩි කරන්න පුළුවන් තවත් විදි තියෙනවාද?

16, 17. සේවය වැඩි කරන්න පුළුවන් තවත් විදි මොනවාද?

16 ටික කාලෙකට නැත්නම් සතියට දවසක්, දවස් කීපයක් බෙතෙල් එකේ හරි වෙනත් ඉදි කිරීම් ව්‍යාපෘතියක හරි වැඩ කරන්න ඔයා කැමතිද? අවශ්‍යතාව තියෙන ඕනෙම තැනක සේවය කරන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයව සංවිධානයට හුඟක් වටිනවා. විශේෂ දක්ෂතාවයන්, අද්දැකීම් තිබුණත් භාර දෙන ඕනෙම වැඩක් කරන්න කැමති අයව සංවිධානයට ඕනේ. එහෙම අයව දෙවි හුඟක් අගය කරනවා.—ගීතා. 110:3.

17 දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න උදව් වෙන පුහුණුවක් ලබන්න ඔයා කැමතිද? එහෙමනම් ඔයාට පුළුවන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න. ඒ පාසැලෙන් කරන්නේ දැනටමත් පූර්ණකාලීනව දෙවිට සේවය කරන, අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන්ව තවත් වැඩියෙන් පුහුණු කරන එකයි. එතකොට සංවිධානයට පුළුවන් තව වැඩියෙන් සේවය කරන්න එයාලව පාවිච්චි කරන්න. ඒ පාසැලෙන් පුහුණුව ලබන අය යවන ඕනෙම තැනකට ගිහින් සේවය කරන්න සූදානමින් ඉන්න ඕනේ. ඒ විදිහට සේවය වැඩි කරන්න ඔයාත් කැමතිද?—1 කොරි. 9:23.

18. හැම දවසකම යෙහෝවා දෙවි එක්ක එකට වැඩ කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 යෙහෝවා දෙවිගේ සෙනඟ ත්‍යාගශීලියි, කරුණාවන්තයි. අනිත් අයට ආදරෙන් සලකනවා. අනිත් අයගේ යහපත ගැන හිතනවා. ඒ ගුණාංග අපි හැම දවසකම අපේ ජීවිතෙන් පෙන්නන නිසා ලොකු සතුටක්, සමාදානයක් අපි අද්දකිනවා. (ගලා. 5:22, 23) යෙහෝවා දෙවි වගේ ත්‍යාගශීලී වෙනවා නම්, හැම දවසකම දෙවි එක්ක එකට වැඩ කරනවා නම් මොන තත්වයක හිටියත් සතුටින් ඉන්න ඔයාට පුළුවන්.—හිතෝ. 3:9, 10.