Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 32

ඔයාගේ ආදරේ තව වැඩි කරගන්න

ඔයාගේ ආදරේ තව වැඩි කරගන්න

“ඔබේ ප්‍රේමය තව තවත් වැඩි වෙන්න කියා මම ඔබ වෙනුවෙන් නිරතුරුව යාච්ඤා කරමි.”—ෆිලි. 1:9.

ගීතිකාව 106 උතුම්ම ගුණාංගය ප්‍රේමයයි

මේ ලිපියෙන් *

1. ෆිලිප්පි සභාව පිහිටුවන්න දායක වුණේ කවුද?

පාවුල්, සීලස්, ලූක් සහ තිමෝති දේශනා කරන්න ෆිලිප්පියට ආවාම ශුභාරංචිය ගැන දැනගන්න උනන්දුවෙන් ඉන්න හුඟදෙනෙක්ව එයාලට හම්බ වුණා. ප්‍රතිඵලයක් විදිහට ඒ සහෝදරයන් 4දෙනාට පුළුවන් වුණා ෆිලිප්පියේ සභාවක් පිහිටුවන්න. අලුතෙන් යේසුස්ගේ අනුගාමිකයන් වුණ හැමෝම නිතිපතා රැස් වෙන්න පටන්ගත්තා. හුඟක් දුරට එයාලා රැස් වෙන්න ඇත්තේ ලිදියාගේ ගෙදර වෙන්න ඇති.—ක්‍රියා 16:40.

2. සභාව පිහිටවපු අලුතම සභාවේ අය මුහුණ දුන්නේ මොන අභියෝගයටද?

2 ඒත් වැඩි දවසක් යන්න කලින් ෆිලිප්පි සභාවේ අය අභියෝගයකට මුහුණ දුන්නා. පාවුල් සහ එයාත් එක්ක දේශනා සේවයේ හවුල් වුණ අයට පීඩා ගේන්න සාතන් සත්‍යයට විරුද්ධ අයව උසිගැන්නුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පාවුල්ව සහ සීලස්ව අත්අඩංගුවට අරන්, කෝටුවලින් තළලා එයාලව හිරේට දැම්මා. ඒ දෙන්නාව හිරෙන් නිදහස් කළාට පස්සේ එයාලා ෆිලිප්පි සභාවේ සහෝදර සහෝදරියන්ව හම්බ වෙලා ඒ අයව දිරිගැන්නුවා. ඊටපස්සේ පාවුල්, සීලස් සහ තිමෝති ෆිලිප්පියෙන් ගියත් පේන විදිහට ලූක් දිගටම එහේ හිටියා. එහේ හිටපු සහෝදර සහෝදරියන් එයාලට තිබුණ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද? යෙහෝවා දෙවියන්ගේ බලයේ උදව්වෙන් දිගටම උද්‍යෝගයෙන් දෙවියන්ට සේවය කරන්න එයාලට පුළුවන් වුණා. (ෆිලි. 2:12) පාවුල්ට එයාලා ගැන සතුටු වෙන්න හොඳ හේතු තිබුණා.

3. ෆිලිප්පි 1:9-11 විස්තර කරලා තියෙන විදිහට පාවුල් යාච්ඤා කළේ මොනවා ගැනද?

3 ඊට අවුරුදු 10කට විතර පස්සේ පාවුල් ෆිලිප්පි සභාවේ අයට ලිපියක් ලිව්වා. ඒ ලිපිය කියවද්දී ඔයාට තේරෙයි පාවුල්ට එයාලා ගැන කොච්චර ආදරයක් තිබුණාද කියලා. එයා එයාලට මෙහෙම කිව්වා. ‘ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මා තුළ තිබෙන්නේ ලොකු ආශාවක්. ඔබ සඳහා මට තිබෙන සෙනෙහස ක්‍රිස්තුස් යේසුස්ට අප සඳහා තිබෙන සෙනෙහසට සමානයි.’ (ෆිලි. 1:8) එයාලා වෙනුවෙන් දෙවියන්ට යාච්ඤා කරනවා කියලත් පාවුල් කිව්වා. ආදරේ තව වැඩි කරගන්නත් වඩා වැදගත් දේවල් මොනවාද කියලා අවබෝධ කරගන්නත් නිදොස්ව ඉන්නත් අනුන්ගේ විශ්වාසයට හානියක් නොකර කටයුතු කරන්නත් ජීවිත ධර්මිෂ්ඨ ක්‍රියාවලින් පූර්ණ කරගන්නත් එයාලට උදව් කරන්න කියලා පාවුල් දෙවියන්ගෙන් ඉල්ලුවා. පාවුල් ෆිලිප්පි සභාවේ අයට කියපු දේවලින් අපිටත් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (ෆිලිප්පි 1:9-11 කියවන්න.) ඒ ගැනත් ඒවා අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියෙන් බලමු.

ආදරේ තව වැඩි කරගන්න

4. (අ) 1 යොහන් 4:9, 10 අනුව යෙහෝවා දෙවියන් අපිට ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද? (ආ) අපි දෙවියන්ට ආදරේ පෙන්නන්න ඕනෙ කොහොමද?

4 අපි වෙනුවෙන් මැරෙන්න ඔහුගේ එකම පුතාව පොළොවට එවලා යෙහෝවා දෙවියන් ඔහුගේ ආදරේ අපිට පෙන්නුවා. (1 යොහන් 4:9, 10 කියවන්න.) දෙවියන් අපිට පෙන්නපු ආදරේ නිසා ඔහුට ආදරේ කරන්න අපිත් පෙලඹෙනවා. (රෝම 5:8) අපේ ආදරේ අපි පෙන්නන්න ඕනෙ කොහොමද? ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙ. 22:36, 37) දෙවියන්ට වඩා වෙන කෙනෙකුට, වෙන දේකට ආදරේ කරන්න අපිට ඕනෙ නැහැ. අපිට ඕනෙ දෙවියන් ගැන තියෙන ආදරේ දවස ගානේ වැඩි කරගන්නයි. පාවුල් ෆිලිප්පි සභාවේ අයට කිව්වේ ‘ප්‍රේමය තව තවත් වැඩි කරගන්න’ කියලා. දෙවියන් ගැන අපිට තියෙන ආදරේ තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

5. දෙවියන් ගැන අපිට තියෙන ආදරේ වැඩි වෙන්නේ කොහොමද?

5 දෙවියන්ට ආදරේ කරන්න නම් අපි ඔහුව හොඳින් දැන හඳුන ගන්න ඕනේ. “ප්‍රේම නොකරන තැනැත්තා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමයයි” කියලා බයිබලේ කියනවා. (1 යොහ. 4:8) දෙවියන් ගැන “නිවැරදි දැනුමක් හා පූර්ණ අවබෝධයක්” ලබාගද්දී ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙනවා කියලා පාවුල් කිව්වා. (ෆිලි. 1:9) අපි බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්ත කාලේ දෙවියන් ගැන හැම තොරතුරක්ම දැනගෙන හිටියේ නැතත් ඔහු ගැන අපිට ආදරයක් ඇති වුණා. ඔහු ගැන තව තවත් දැනගද්දී ඒ ආදරේ වැඩි වුණා. එහෙමනම් නිතිපතා බයිබලේ අධ්‍යයනය කරලා ඒ තොරතුරු ගැන හොඳට හිතන්න කාලේ ගන්න එක කොච්චර වටිනවාද!—ෆිලි. 2:16.

6. 1 යොහන් 4:11, 20, 21 අනුව අපි ආදරේ කරන්න ඕනෙ තව කාටද?

6 දෙවියන් අපිට පෙන්නපු ආදරේ නිසා සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්නත් අපි පෙලඹෙන්න ඕනේ. (1 යොහන් 4:11, 20, 21 කියවන්න.) අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට. අපිට ඕනෙ ඔහුව ආදර්ශයට ගන්න. ඒ වගේම අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දෙන්න තරම් අපිට ආදරේ කරපු යේසුස්වත් අපි ආදර්ශයට ගන්නවා. ඒ නිසා සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න අපි ලේසියෙන්ම පෙලඹෙයි කියලා අපිට හිතෙයි. ඒත් සමහර අවස්ථාවලදී ඒක කරන එක අමාරු වෙන්න පුළුවන්. ෆිලිප්පි සභාවේ වුණ මේ සිද්ධිය බලන්න.

7. යුවෝදියා සහ සින්ටිකීට පාවුල් දීපු උපදෙසින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 යුවෝදියා සහ සින්ටිකී කියන්නේ පාවුල් එක්ක “උරෙන් උර ගැටී” උද්‍යෝගයෙන් සේවය කරපු සහෝදරියන් දෙන්නෙක්. ඒත් එයාලා අතරේ ඇති වුණ මතභේදයක් නිසා ඒ දෙන්නා හිටියේ අමනාපයෙන්. පාවුල් ෆිලිප්පි සභාවේ අයට ලියපු ලිපියේ ඒ දෙන්නාව නමින්ම සඳහන් කරලා ‘එකඟතාවකින් ඉන්න’ කියලා එයාලට උපදෙසක් දුන්නා. (ෆිලි. 4:2, 3) සභාවේ හැමෝටම පාවුල් කිව්වා “ඔබ කුමන දේ කළත් මැසිවිලි නැඟීමෙන් හා වාදවිවාදවලින් වැළකී සිටින්න” කියලා. (ෆිලි. 2:14) පාවුල් දුන්න ඒ උපදෙස් නිසා එකිනෙකාට තව වැඩියෙන් ආදරේ කරන්න ඕනෙ කියන දේ ඒ සහෝදරියන් දෙන්නා විතරක් නෙමෙයි මුළු සභාවම තේරුම්ගන්න ඇති.

සහෝදර සහෝදරියන්ගේ හොඳ ගුණාංග දකින්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි? (8 ඡේදය බලන්න) *

8. සහෝදරයන්ට ආදරේ කරන්න අමාරු වෙන්න පුළුවන් මොකක් නිසාද? ඒ බාධාව ජය ගන්න අපිට පුළුවන් කොහොමද?

8 යුවෝදියා සහ සින්ටිකී වගේ අපිත් අනිත් අයගේ අඩුපාඩුවලට වැඩි අවධානයක් දෙන්න ගියොත් සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න අපිට අමාරුයි. අපි හැමෝම අතින් හැමදාම අඩුපාඩුකම් වෙනවා කියලා මතක තියාගන්න. මේ උදාහරණේ බලන්න. නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන වැඩවලට හවුල් වෙන්න සහෝදරයෙකුට අමතක වෙනවා. ඒ ගැන අපිට තරහා යන්න පුළුවන්. එතකොට අපි කලින් ඒ සහෝදරයා අතින් වෙලා තියෙන හැම අඩුපාඩුවක් ගැනම හිතන්න ගන්නවා. ඒකෙන් වෙන්නේ අපේ කේන්තිය තව වැඩි වෙන එකයි. එයා ගැන තියෙන ආදරේ අඩු වෙන එකයි. ඔයාටත් සභාවේ කෙනෙක් ගැන කේන්තියක් ඇති වුණොත් මේ ගැන හිතන්න. ඔයාගේ අඩුපාඩු ගැන වගේම ඒ සහෝදරයාගේ අඩුපාඩු ගැනත් යෙහෝවා දෙවියන් දන්නවා. ඒත් දෙවියන් තාමත් ඔය දෙන්නාටම ආදරෙයි. ඒ නිසා අපිත් යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් අපේ සහෝදරයන්ගේ හොඳ ගුණාංග ගැන වැඩියෙන් හිතන්න ඕනේ. අමාරු අවස්ථාවලදී වුණත් අපි සහෝදරයන්ට ආදරේ කරන්න වෑයමක් දරද්දී අපේ එක්සත්කම වැඩි වෙනවා.—ෆිලි. 2:1, 2.

“වඩා වැදගත් දේවල්”

9. පාවුල් කතා කරපු “වඩා වැදගත් දේවලට” ඇතුළත් වෙන සමහර දේවල් මොනවාද?

9 යෙහෝවා දෙවියන් පාවුල් මාර්ගයෙන් ෆිලිප්පිවරුන්ට උනන්දු කළා “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න” කියලා. අද අපි කරන්න ඕනෙත් ඒ දේමයි. (ෆිලි. 1:10) වඩා වැදගත් දේවල්වලට දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන එක, දෙවියන්ගේ අරමුණු ඉටු වෙන එක සහ සභාවේ එක්සත්කම ඇතුළත් වෙනවා. (මතෙ. 6:9, 10; යොහ. 13:35) ඒ දේවල් අපිට වැදගත් කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නද්දී යෙහෝවා දෙවියන්ට අපි ආදරෙයි කියලා ඔප්පු වෙනවා.

10. නිදොස් අය හැටියට දෙවියන් අපිව සලකන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

10 අපි ‘නිදොස්ව ඉන්න’ ඕනෙ කියලත් පාවුල් කිව්වා. ඒකෙන් අදහස් කරන්නේ අපි අතින් කිසිම වරදක් වෙන්න බැහැ කියලාද? නැහැ. යෙහෝවා දෙවියන් වගේ හැම දෙයක්ම හරිම විදිහට කරන්න අපි කාටවත් බැහැ. ඒත් අපි අපේ ආදරේ තව වැඩි කරගන්න වෑයමක් දරනවා නම්, වඩා වැදගත් දේවලට අපේ ජීවිතේ මුල් තැන දෙනවා නම් යෙහෝවා දෙවියන් අපිව සලකන්නේ නිදොස් අය හැටියට. තව කෙනෙක්ගේ විශ්වාසයට හානියක් වෙන්න පුළුවන් දේවල් නොකර ඉන්න එක අපි ආදරේ පෙන්නන එක විදිහක්.

11. අනිත් අයගේ විශ්වාසයට හානියක් වෙන්න පුළුවන් දේවල් අපි නොකර ඉන්න ඕනෙ ඇයි?

11 ‘අනුන්ගේ විශ්වාසයට හානි නොකර කටයුතු කරන්න’ කියලා පාවුල් කියපු දේ සැහැල්ලුවට ගන්න අපිට බැහැ. තව කෙනෙක්ගේ විශ්වාසයට හානියක් වෙන්න පුළුවන් අපි කරන මොන දේවල් නිසාද? අපි විනෝද වෙන්න තෝරගන්න දේවල් නිසා, අපි අඳින පළඳින විදිහ නිසා, අපි රැකියාවක් හැටියට කරන දේ නිසා තව කෙනෙක්ගේ විශ්වාසයට හානියක් වෙන්න පුළුවන්. අපි කරන දේ වැරදි නැති වුණත් ඒ දේ නිසා තව කෙනෙක්ගේ හෘදය සාක්ෂියට හානියක් වෙනවා නම් ඒක බරපතළ කාරණයක්. මොකද ඒකෙන් එයාගේ විශ්වාසය දුර්වල වෙන්න පුළුවන්. යේසුස් කිව්වා අපේ සහෝදරයන්ගෙන් එක් කෙනෙකුගේ හරි විශ්වාසයට හානියක් වෙන දෙයක් අපි අතින් වෙනවාට වඩා හොඳයි අපේ බෙල්ලේ ගලක් බැඳලා අපිව මුහුදට දාන එක කියලා.—මතෙ. 18:6.

12. පුරෝගාමි සේවය කරන යුවළකගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

12 යේසුස් කියපු දේ සැහැල්ලුවට ගත්තේ නැහැ කියලා පුරෝගාමි යුවළක් පෙන්නුවේ කොහොමද? එයාලගේ සභාවේ අලුතින් බව්තීස්ම වුණ යුවළක් හිටියා. ඒ දෙන්නාම ඇතිදැඩි වෙලා තිබුණේ ගොඩක් නීති දාලා තිබුණ පවුල්වල. ඒ දෙන්නා හිතුවා ක්‍රිස්තියානීන් කිසිම චිත්‍රපටියක් බලන්න හොඳ නැහැ කියලා. පුරෝගාමි යුවළ චිත්‍රපටියක් බලන්න ගිහින් කියලා දැනගත්තාම ඒ දෙන්නාට ඒක අදහාගන්න බැරි වුණා. ඒ සිද්ධියෙන් පස්සේ පුරෝගාමි යුවළ තීරණය කළා අලුතින් බව්තීස්ම වුණ යුවළ එයාලගේ හෘදය සාක්ෂිය තව හොඳින් පුහුණු කරගන්න කල් ඒ දෙන්නා චිත්‍රපටි බලන්න යන්නේ නැහැ කියලා. (හෙබ්‍රෙ. 5:14) එයාලා ගත්ත ඒ තීරණයෙන් පැහැදිලි වුණේ අලුතින් බව්තීස්ම වුණ ඒ යුවළ ගැන එයාලට තිබුණ ආදරේ නිකම්ම වචනවලට සීමා වුණ ආදරයක් නෙමෙයි කියලා.—රෝම 14:19-21; 1 යොහ. 3:18.

13. අපි කරන කියන දේවල් නිසා තව කෙනෙක් වරදකට වැටෙන්න පුළුවන් කොහොමද?

13 අපි කරන කියන දෙයක් නිසා තව කෙනෙක් වරදකට වැටුණොත් ඒකෙනුත් එයාගේ විශ්වාසයට හානියක් වෙනවා. මේ සිද්ධිය බලන්න. කාලයක් තිස්සේ මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තාට පස්සේ ලොකු වෑයමක් දරලා ඒ පුරුද්ද අත්හරිනවා. එයා ආයෙත් මත්පැන්වලට ඇබ්බැහි නොවී ඉන්න නම් මත්පැන් කොහොමටවත් ගන්නේ නැතුව ඉන්න ඕනෙ කියලා එයා තීරණය කරනවා. ජීවිතේ හුඟක් වෙනස්කම් කරගෙන එයා බව්තීස්ම වෙනවා. දවසක් සහෝදරයෙක් එයාට සුහද ඇසුරකට ආරාධනා කරනවා. ඒකෙදී ඒ සහෝදරයා එයාට මත්පැන් ටිකක් දීලා කියනවා “ඔයා දැන් බව්තීස්ම වුණ කෙනෙක්. ඔයාට දෙවියන්ගේ බලය තියෙනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙන්න ඕනෙ ඔයාවම පාලනය කරගන්න. ඉතිං ටිකක් බොන්න” කියලා. ඒ වැරදි උපදෙස පිළි අරන් ඒ අලුත් සහෝදරයා ආයෙත් මත්පැන්වලට ඇබ්බැහි වුණොත් ඒක කොච්චර දුකක්ද!

14. ෆිලිප්පි 1:10 සඳහන් උපදෙස් අදාළ කරගන්න අපේ රැස්වීම් උදව් වෙන්නේ කොහොමද?

14 ෆිලිප්පි 1:10 සඳහන් උපදෙස් අදාළ කරගන්න අපේ රැස්වීම් අපිට හුඟක් විදිවලින් උදව් වෙනවා. (1) රැස්වීම්වලදී සාකච්ඡා කරන දේවලින් අපි ඉගෙනගන්නවා යෙහෝවා දෙවියන් වැදගත් දේවල් හැටියට සලකන්නේ මොනවාද කියලා. (2) ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද කියලා රැස්වීම්වලදී අපි ඉගෙනගන්නවා. නිදොස්ව ඉන්න ඒක අපිට උදව් වෙනවා. (3) එකිනෙකාට “ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” රැස්වීම්වලදී අපිව දිරිගන්වනවා. (හෙබ්‍රෙ. 10:24, 25) රැස්වීම්වලදී අපේ සහෝදර සහෝදරියන් අපිව දිරිගන්වද්දී දෙවියන් ගැනත් සහෝදරයන් ගැනත් අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙනවා. අපි අපේ මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ටත් සහෝදරයන්ටත් ආදරේ කරද්දී අනිත් අයගේ විශ්වාසයට හානියක් වෙන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ.

දිගටම ‘ඔයාගේ ජීවිතේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් පූර්ණ කරගන්න’

15. “ජීවිත ධර්මිෂ්ඨ ක්‍රියාවලින් පූර්ණ කරගන්න” පුළුවන් කොහොමද?

15 ෆිලිප්පිවරුන්ට එයාලගේ “ජීවිත ධර්මිෂ්ඨ ක්‍රියාවලින් පූර්ණ කරගන්න” උදව් කරන්න කියලා පාවුල් දෙවියන්ට යාච්ඤා කළා. (ෆිලි. 1:11) යෙහෝවා දෙවියන්ට වගේම ඔහුගේ සෙනඟට ආදරේ කරන එක ‘ධර්මිෂ්ඨ ක්‍රියාවලට’ ඇතුළත් වුණා. ඒකට යේසුස් ගැන තියෙන විශ්වාසය සහ අනාගත බලාපොරොත්තුව ගැන අනිත් අය එක්ක කතා කරන එකත් ඇතුළත්. ෆිලිප්පි 2:15 පාවුල් උදාහරණයක් පාවිච්චි කරලා කියනවා එයාලා ‘මෙලොවෙහි බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානව’ කියලා. ඒ සමාන කිරීම හොඳින්ම ගැළපුණා. මොකද යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව හැඳින්නුවේ “ලෝකයේ ආලෝකය” කියලා. (මතෙ. 5:14-16) “මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියන ආඥාව යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන්නා. එයාලා “පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි” කියලත් යේසුස් කිව්වා. (මතෙ. 28:18-20; ක්‍රියා 1:8) ඒ වැදගත් කාර්යයේ අපි උද්‍යෝගයෙන් හවුල් වෙද්දී අපි කරන්නේ ‘ධර්මිෂ්ඨ ක්‍රියාවලින් අපේ ජීවිත පූර්ණ කරගන්න’ එකයි.

පාවුල් රෝමයේ නිවාස අඩස්සියේ ඉද්දී ෆිලිප්පි සභාවට ලිපියක් ලියමින්. එහේ ඉන්න අතරතුරේ ආරක්ෂක බළඇණියේ අයට, එයාව හම්බ වෙන්න ආපු අයට පාවුල් දේශනා කළා (16 ඡේදය බලන්න)

16. දුෂ්කරතා අද්දැක්කත් දැල්වූ පහන් හා සමානව බැබළෙන්න අපිට පුළුවන් කියලා ෆිලිප්පි 1:12-14 සඳහන් දෙයින් පැහැදිලි වෙන්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

16 අපි මොන දුෂ්කරතා අද්දැක්කත් අපිට පුළුවන් දැල්වූ පහන් හා සමානව බැබළෙන්න. සමහර අවස්ථාවලදී දේශනා සේවයට බාධාවක් වගේ පේන දේවලට මුහුණ දෙන්න අපිට වෙයි. ඒත් බාධාවක් වගේ පේන ඒ දේම ශුභාරංචිය ගැන කතා කරන්න අපිට උදව් වෙයි. උදාහරණෙකට පාවුල් ෆිලිප්පිවරුන්ට ලිපිය ලියද්දී එයා හිටියේ රෝමයේ නිවාස අඩස්සියේ. ඒත් ආරක්ෂක බළඇණියේ අයට, එයාව හම්බ වෙන්න ආපු අයට පාවුල් දේශනා කළා. “දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කරන්න” පාවුල්ගේ ආදර්ශය සහෝදරයන්ට දිරිගැන්වීමක් වුණා.—ෆිලිප්පි 1:12-14 කියවන්න; 4:22.

දේශනා කරන්න පුළුවන් අවස්ථාවන් හොයාගන්න (17 ඡේදය බලන්න) *

17. අමාරු තත්වයන්ට මුහුණ දීලා හිටියත් දිගටම දේශනා සේවය කරන්න සමහර සහෝදර සහෝදරියන්ට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

17 අදත් සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් පාවුල්ගේ නිර්භීතකම ආදර්ශයට ගන්නවා. එයාලා ජීවත් වෙන රටේ ගෙයින් ගෙට සේවය කරන්න හෝ ඕනෙම තැනක දේශනා සේවය කරන්න නිදහස නැති වුණත් සාක්ෂි දරන්න එයාලා වෙනත් විදි හොයාගන්නවා. (මතෙ. 10:16-20) ඒ වගේ එක රටක ඉන්න චාරිකා සේවකයෙක් ප්‍රචාරකයන්ට දිරිගැන්නුවා එයාලගේ නෑදෑයන්ට, අසල්වැසියන්ට, පන්තියේ ළමයින්ට, රැකියා ස්ථානයේ අයට සහ දන්න අඳුරන අයට සාක්ෂි දරන්න කියලා. ඒක සේවය කරන්න එයාලට භාර දීලා තියෙන ප්‍රදේශය හැටියට සලකන්න කියලා එයා කිව්වා. අවුරුදු 2ක් ඇතුළත ඒ චාරිකාවේ තිබුණ සභාවන් ගණන වැඩි වුණා. සමහරවිට අපි ජීවත් වෙන රටේ දේශනා සේවයට තහංචි දාලා නැතුව ඇති. ඒත් ඒ සහෝදර සහෝදරියන්ගෙන් අපිට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි අනිත් අයට ශුභාරංචිය ගැන කියන්න පුළුවන් විදි ගැන අපි නිතරම සැලකිල්ලෙන් ඉන්න ඕනෙ කියන දේ. එතකොට මොන අභියෝගයට මුහුණ දුන්නත් ඒක ජය ගන්න අවශ්‍ය ශක්තිය දෙවියන් අපිට දෙනවා.—ෆිලි. 2:13.

18. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

18 පාවුල් ෆිලිප්පිවරුන්ට දුන්න උපදෙස් දැන් අදාළ කරගන්න අපි අදිටන් කරගමු. වඩා වැදගත් දේවල් මොනවාද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. නිදොස් අය වෙන්නත් අනිත් අයගේ විශ්වාසයට හානියක් වෙන කිසිම දෙයක් නොකර ඉන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. අපේ ජීවිත ධර්මිෂ්ඨ ක්‍රියාවලින් පූර්ණ කරගන්න ඕනේ. එතකොට අපේ ආදරේ තව තවත් වැඩි වෙයි. අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්නත් අපිට පුළුවන් වෙයි.

ගීතිකාව 17 “මා කැමතියි”

^ 5 ඡේ. වෙන කවරදාකටත් වඩා දැන් අපි අපේ සහෝදර සහෝදරියන්ට තියෙන ආදරේ තව වැඩි කරගන්න ඕනේ. ආදරේ පෙන්නන්න අමාරුයි කියලා හැඟෙන අවස්ථාවලදී වුණත් අපේ ආදරේ තව තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න පාවුල් ෆිලිප්පිවරුන්ට ලියපු ලිපිය උදව් වෙනවා.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන අතරතුරේ ජෝ වැඩ නතර කරලා සහෝදරයෙක් සහ ඒ සහෝදරයාගේ පුතා එක්ක කතා කරකර ඉන්නවා. ඒක දැක්කාම පිරිසිදු කරකර ඉන්න මයික්ට ටිකක් කේන්ති යනවා. එයා හිතනවා ‘ජෝ වැඩේ කරන්නේ නැතුව කතා කරකර ඉන්නවා’ කියලා. පස්සේ වෙලාවක ජෝ වැඩිහිටි සහෝදරියකට ආදරෙන් උදව් කරන විදිහ මයික් දකිනවා. ඒක දැක්කාම මයික් හිතනවා ජෝට තියෙන හොඳ ගුණාංගවලට එයා වැඩි අවධානයක් දෙන්න ඕනෙ කියලා.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: දේශනා සේවයට තහංචි දාලා තියෙන රටක ඉන්න සහෝදරයෙක් කෝච්චියේ යන අතරේ එයා දන්න කෙනෙක් එක්ක අනිත් අයට නොදැනෙන විදිහට ශුභාරංචිය ගැන කතා කරනවා. පස්සේ අවස්ථාවක ඒ සහෝදරයා එයාගේ රැකියා ස්ථානයේ විවේක කාලය අතරතුරේ එයාත් එක්ක වැඩ කරන කෙනෙකුට සාක්ෂි දරනවා.