Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 33

“ඔයාට සවන් දෙන අයට ගැලවීම” ලැබෙයි

“ඔයාට සවන් දෙන අයට ගැලවීම” ලැබෙයි

“ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න. ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.”—1 තිමෝ. 4:16.

ගීතිකාව 67 “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”

මේ ලිපියෙන් *

1. අපි හැමෝම කැමති අපේ පවුලේ අය මොනවා කරනවා දකින්නද?

“සත්‍යය දැනගත්ත දවසේ ඉඳන් මට ඕනෙ වුණේ මගේ පවුලේ හැමෝම පාරාදීසයේ ඉන්නවා දකින්නයි. විශේෂයෙන්ම මගේ සැමියායි, මගේ පුතායි මාත් එක්ක යෙහෝවා දෙවියන්ට සේවය කරනවා දකින්න මට තිබුණේ පුදුම ආසාවක්.” එහෙම කිව්වේ පෝලින් * කියන සහෝදරිය. ඔයාගේ පවුලේ සමහරදෙනෙකුත් තාම යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගෙන නැද්ද? එහෙමනම් පෝලින්ට හැඟුණා වගේම ඔයාටත් හැඟෙනවා ඇති.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

2 ශුභාරංචිය පිළිගන්න කියලා අපේ පවුලේ අයට බල කරන්න අපිට බැහැ. ඒත් බයිබලේ තියෙන පණිවිඩය ගැන හිතලා බලන්න එයාලව උනන්දු කරන්න අපිට පුළුවන්. (2 තිමෝ. 3:14, 15) අපි අපේ පවුලේ අයට සාක්ෂි දරන්න ඕනෙ ඇයි? එයාලව තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි? අපිට යෙහෝවා දෙවියන් ගැන තියෙනවා වගේ ආදරයක් ඇති කරගන්න පවුලේ අයට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒකට උදව් කරන්න සභාවේ හැමෝටම පුළුවන් කොහොමද?

පවුලේ අයට අපි සාක්ෂි දරන්න ඕනෙ ඇයි?

3. 2 පේතෘස් 3:9 අනුව පවුලේ අයට අපි සාක්ෂි දරන්න ඕනෙ ඇයි?

3 ළඟදීම යෙහෝවා දෙවියන් මේ දුෂ්ට සමාජය විනාශ කරනවා. “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” අය විතරයි බේරෙන්නේ. (ක්‍රියා 13:48) අපේ ප්‍රදේශයේ ඉන්න, අඳුරන්නේ නැති අයට දේශනා කරන්න අපි සෑහෙන වෙහෙසක් දරනවා. එහෙමනම් අපේ පවුලේ අයට දෙවියන් ගැන කියලා දෙන්න අපි වෙහෙසක් දරන්න ඕනෙ නැද්ද? අපි එහෙම කළොත් තමයි එයාලට පුළුවන් වෙන්නේ අපි එක්ක එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරන්න. අපේ ආදරණීය දෙවි යෙහෝවා ‘කිසි කෙනෙකු විනාශ වෙනවාට කැමති නැහැ. ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමයි.’—2 පේතෘස් 3:9 කියවන්න.

4. සත්‍යය පණිවිඩය පවුලේ අය එක්ක බෙදාගද්දී අපිට අමතක වෙන්න පුළුවන් මොකක්ද?

4 අනිත් අයට ශුභාරංචිය ගැන කියන්න පුළුවන් විදි 2ක් තියෙනවා. ඒක අපිට එයාලගේ හදවතට දැනෙන විදිහට කියන්නත් පුළුවන්. නැත්නම් එයාලගේ හිත රිදෙන විදිහට කියන්නත් පුළුවන්. අඳුරන්නේ නැති කෙනෙකුට පණිවිඩය කියද්දී අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ එයාගේ හැඟීම් සැලකිල්ලට අරගෙනයි. ඒත් හුඟක් වෙලාවට පවුලේ අයට සාක්ෂි දරද්දී එහෙම කරන්න අපිට අමතක වෙනවා.

5. සත්‍යය පණිවිඩය අපේ පවුලේ අය එක්ක බෙදාගද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

5 අපේ පවුලේ අයට මුල්ම වතාවට සාක්ෂි දරපු විදිහ මතක් කරගද්දී අපෙන් හුඟදෙනෙකුට හිතෙයි අපි ඊට වඩා වෙනස් විදිහකට කතා කළා නම් හොඳයි කියලා. පාවුල් දීපු මේ උපදෙස බලන්න. “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.” (කොලො. 4:5, 6) අපේ පවුලේ අයට සාක්ෂි දරද්දී ඒ උපදෙස අපි මතක තියාගන්න ඕනේ. නැත්නම් අපේ පණිවිඩයට සවන් දෙන්න එයාලට උදව් කරනවා වෙනුවට අපි එයාලගේ හිත රිද්දවයි.

අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

ඔයා පවුලේ අයව තේරුම් අරන් වැඩ කරන එක තමයි සත්‍යය ගැන ඔයාට දෙන්න පුළුවන් හොඳම සාක්ෂිය (6-8 ඡේද බලන්න) *

6-7. යෙහෝවා දෙවියන්ට සේවය කරන්නේ නැති සැමියාව, බිරිඳව තේරුම්ගන්න එක වැදගත් ඇයි? මේ අද්දැකීමෙන් ඒක පැහැදිලි වෙන්නේ කොහොමද?

6 තේරුම්ගන්න උත්සාහ කරන්න. කලින් සඳහන් කරපු පෝලින් මෙහෙම කියනවා. “ඉස්සර මට ඕනෙ වුණේ හැම තිස්සෙම මහත්තයා එක්ක දෙවියන් ගැනයි, බයිබලේ ගැනයි කතා කරන්න. මං වෙන දෙයක් ගැන කතා කළේ නැති තරම්.” ඒත් පෝලින්ගේ සැමියා වේන් බයිබලේ ගැන වැඩිය දැනගෙන හිටියේ නැති නිසා පෝලින් කියපු හුඟක් දේවල් එයාට තේරුණේ නැහැ. වේන් හිතුවේ පෝලින්ට එයාගේ ආගම ඇරෙන්න වෙන දෙයක් නැහැ කියලයි. පෝලින් භයානක ආගමික කල්ලියකට අහු වෙලා කියලයි වේන් හිතුවේ.

7 මුලදී පෝලින් හවස් වරු සහ සති අන්ත වැඩිපුරම ගත කළේ සභාවේ අය එක්ක. එයා රැස්වීම් යන්න, සේවයේ යන්න, සුහද ඇසුරුවලට හවුල් වෙන්න ලොකු කාලයක් වෙන් කළා. “වේන් වැඩ ඇරිලා ගෙදර එද්දී හුඟක් වෙලාවට ගෙදර කවුරුත් නෑ. ඒ නිසා එයාට ලොකු තනිකමක් දැනිලා තියෙනවා” කියලා පෝලින් කියනවා. තමන්ගේ බිරිඳයි, පුතායි නැති අඩුව වේන්ට තදින්ම දැනුණා. ඒ දෙන්නා නිතරම ආශ්‍රය කරපු අය ගැන වේන් දැනන් හිටියෙත් නැහැ. තමන්ගේ බිරිඳට තමන්ට වඩා අලුතෙන් හම්බ වුණ යාළුවෝ ලොකු වෙලා කියලයි වේන්ට දැනුණේ. වේන් පෝලින්ව දික්කසාද කරනවා කියලා තර්ජනය කළා. ඔයා හිතන විදිහට පෝලින්ට වේන් ගැන මීට වඩා හිතලා වැඩ කරන්න තිබුණේ කොහොමද?

8. 1 පේතෘස් 3:1, 2 කියන විදිහට අපේ පවුලේ අයගේ හිත දිනාගන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?

8 හොඳ ආදර්ශයක් වෙන්න. සාමාන්‍යයෙන් අපේ පවුලේ අයට අපි කියන දේවලට වඩා කරන දේවල් එයාලගේ හිතට දැනෙනවා වැඩියි. (1 පේතෘස් 3:1, 2 කියවන්න.) පෝලින් මෙහෙම කියනවා. “වේන් අපිට ගොඩක් ආදරෙයි කියලත් දික්කසාද කරන්න එයාට ඇත්තටම ඕනෙ නෑ කියලත් මං දන්නවා. ඒත් එයා මාව දික්කසාද කරනවා කියලා කිව්වාම මට තේරුණා යෙහෝවා දෙවියන් බිරිඳක් හැටියට මගෙන් බලාපොරොත්තු වෙන දේවල් මං කරන්න ඕනෙ කියලා. හැම තිස්සෙම බයිබලේ ගැන කියනවා වෙනුවට මං හොඳ ආදර්ශයක් වෙන්න ඕනෙ කියලා මං හිතුවා.” බයිබලේ තියෙන දේවල් ගැන කතා කරන්න වේන්ට බල කරනවා වෙනුවට එදිනෙදා දේවල් ගැන එයා වේන් එක්ක කතා කරන්න පටන්ගත්තා. පෝලින් කලින්ට වඩා තමන්ව තේරුම් අරන් වැඩ කරනවා කියලත් පුතා ඉස්සරට වඩා දැන් කීකරුයි කියලත් වේන් දැක්කා. (හිතෝ. 31:18, 27, 28) බයිබලේ තියෙන දේවල් අදාළ කරගන්න නිසා එයාගේ බිරිඳයි, පුතායි තවත් හොඳ අතට හැරිලා කියලා දකිද්දී සත්‍යය ගැන හොයන්න වේන් පෙලඹුණා.—1 කොරි. 7:12-14, 16.

9. පවුලේ අයට උදව් කරන්න දරන උත්සාහය අපි අත්හරින්න හොඳ නැත්තේ ඇයි?

9 පවුලේ අයට උදව් කරන්න දරන උත්සාහය අත්හරින්න එපා. ඒකට හොඳම ආදර්ශය යෙහෝවා දෙවියන්. ශුභාරංචිය පිළි අරන් සදාකාල ජීවිතය ලබාගන්න අවස්ථාව ඔහු ආයේ ආයේ මිනිසුන්ට දෙනවා. (යෙරෙ. 44:4) පාවුල් තිමෝතිට කිව්වා අනිත් අයට උදව් කරන්න දරන උත්සාහ අත්හරින්න එපා කියලා. මොකද එහෙම කරන එකෙන් තිමෝතිට වගේම එයාට ඇහුම්කන් දෙන අයටත් ගැලවීම ලබාගන්න පුළුවන්. (1 තිමෝ. 4:16) අපි අපේ පවුලේ අයට හුඟක් ආදරෙයි. අපිට ඕනෙ බයිබලේ තියෙන වටිනා සත්‍යයන් එයාලත් දැනගන්නවා දකින්නයි. කාලයක් යද්දී පෝලින්ගේ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබුණා. දැන් පෝලින්ගේ මහත්තයාත් එයාත් එක්ක යෙහෝවා දෙවියන්ට සේවය කරනවා. ඒ දෙන්නාම දැන් පුරෝගාමීන්. වේන් වැඩිමහල්ලෙක් විදිහටත් සේවය කරනවා.

10. අපි ඉවසන්න ඕනෙ ඇයි?

10 ඉවසන්න. දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න තීරණය කළාම අපි අපේ ජීවිතේ වෙනස්කම් කරගත්තා. අපි කලින් විශ්වාස කරපු සමහර දේවල් අත්හැරියා. අපි කරපු ඒ සමහර වෙනස්කම්වලට අපේ පවුලේ අය අකමැති වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට එයාලගේ අවධානයට මුලින්ම ලක් වෙන්නේ අපි කලින් වගේ එයාලත් එක්ක ආගමික උත්සවවලට, දේශපාලනයට හවුල් වෙන්නේ නැහැ කියන දේ. සමහරු අපි එක්ක කේන්ති ගනියි. (මතෙ. 10:35, 36) ඒත් එයාලා කවදාවත් සත්‍යය පිළිගන්න එකක් නැහැ කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් බයිබලේ තියෙන සත්‍යයන් එයාලා එක්ක බෙදාගන්න එක අපි අත්හරියි. ඒක හරියට එයාලා සදාකාල ජීවිතේ ලබන්න වටින්නේ නැහැ කියලා අපි විනිශ්චය කරනවා වගේ. අනිත් අයව විනිශ්චය කරන වගකීම දෙවියන් දීලා තියෙන්නේ අපිට නෙමෙයි යේසුස්ට. (යොහ. 5:22) අපි ඉවසීමෙන් දිගටම අපේ පවුලේ අයට උදව් කරනවා නම් එයාලා කවදා හරි සත්‍යය පණිවිඩයට ඇහුම්කන් දෙයි.—“ අපේ වෙබ් අඩවිය පාවිච්චි කරන්න” කියන කොටුව බලන්න.

11-13. ඇලිස් එයාගේ දෙමාපියන් එක්ක වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 කාරුණික වෙන්න. ඒත් ස්ථිරව ඉන්න. (හිතෝ. 15:2) ඇලිස්ගේ අද්දැකීම බලන්න. එයාට සත්‍යය ලැබුණේ එයා වෙන රටක ඉද්දී. එයාගේ දෙමාපියන් දේශපාලනයට බැහැල වැඩ කරපු අය. ඒත් එයාලා දෙවි කෙනෙක් ගැන විශ්වාස කළේ නැහැ. බයිබලෙන් ඉගෙනගන්න දේවල් ගැන ඉක්මනටම දෙමාපියන්ට කියන්න ඕනෙ කියලා ඇලිස් හිතුවා. “මං දැන් විශ්වාස කරන දේවල් ගැන අම්මලාට කියන්න පරක්කු කරන තරමට එයාලට කේන්ති යන්න තියෙන ඉඩකඩත් වැඩියි” කියලා ඇලිස් කියනවා. මුලින්ම එයා කළේ එයාගේ දෙමාපියන් උනන්දු වෙයි කියලා හිතපු ආදරේ වගේ විෂයන් තෝරගත්ත එක. ඊටපස්සේ ඒ ගැන බයිබලේ සඳහන් වෙන තොරතුරු ඇතුළත් කරලා එයා අම්මලාට ලියුම් යැව්වා. ඒ තොරතුරු ගැන එයාලා හිතන්නේ මොනවාද කියලත් එයා ඇහුවා. (1 කොරි. 13:1-13) එයාව ඇතිදැඩි කරපු එක ගැනත් ආදරෙන් රැකබලා ගත්ත එක ගැනත් එයා දෙමාපියන්ට ස්තුති කළා. එයා එයාලට තෑගිත් යැව්වා. ගෙදර ගියාම ඇලිස් ගෙදර වැඩ කරන්න කලින්ට වඩා වැඩියෙන් අම්මාට උදව් කළා. ඒත් ඇලිස් එයාගේ විශ්වාසයන් ගැන මුලින් කියද්දී දෙමාපියන් ඒ තරම් සතුටු වුණේ නැහැ.

12 ඇලිස් අම්මලාගේ ගෙදර ඉද්දීත් හැමදාම බයිබලේ කියෙව්වා. “බයිබලේ කියවන එක මට කොච්චර වැදගත්ද කියලා ඒකෙන් අම්මා තේරුම්ගත්තා” කියලා ඇලිස් කියනවා. ඔය අතරේ ඇලිස්ගේ තාත්තාට ඕනෙ වුණා බයිබලේ ගැන දේවල් දැනගන්න. එයාට ඕනෙ වුණේ දුව වෙනස් වුණේ ඇයි කියලා දැනගන්නයි. බයිබලේ තියෙන වැරදි අල්ලන්නත් හිතාගෙනයි එයා ඒ ගැන හොයන්න පටන්ගත්තේ. “මං තාත්තාට බයිබලයක් දුන්නා. ඒකේ මං එයාට පොඩි සටහනකුත් ලිව්වා” කියලා ඇලිස් කියනවා. මොකද වුණේ? තාත්තාට බයිබලේ කිසිම වැරැද්දක් හම්බ වුණේ නැහැ. ඒ වෙනුවට එයා කියවපු දේවල් එයාගේ හිතට ගියා.

13 පවුලේ අයගෙන් විරුද්ධවාදිකම් එද්දී වුණත් අපි ගත්ත තීරණවලට අපි ඇලිලා ඉන්න ඕනේ. ඒත් එයාලා එක්ක කාරුණිකව වැඩ කරන්න අමතක කරන්න එපා. (1 කොරි. 4:12ආ) ඇලිස් මෙහෙම කියනවා. “මං බව්තීස්ම වුණාම අම්මා මට කිව්වා ‘ඔයා හරිම අකීකරු ළමයෙක්’ කියලා.” ඇලිස් මොකද කළේ? “මගේ විශ්වාසයන් ගැන කතා නොකර ඉන්නවා වෙනුවට මං අම්මාට ආදරෙන් කිව්වා සාක්ෂිකරුවෙක් වෙන්න මං ගත්ත තීරණය මං වෙනස් කරන්නේ නැහැ කියලා. එහෙමයි කියලා අම්මා ගැන මට තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ කියලත් මං කිව්වා. ඒ වෙලාවේ අපි දෙන්නාම ඇඬුවා. මං අම්මාට රස කෑමකුත් හදලා දුන්නා. එදායින් පස්සේ අම්මා පිළිගත්තා බයිබලෙන් ඉගෙනගන්න දේවල් නිසා මං ඉස්සරට වඩා හොඳ කෙනෙක් වෙලා කියලා.”

14. යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපි ගත්ත තීරණය වෙනස් කරන්න අපි පවුලේ අයට ඉඩ දෙන්න හොඳ නැත්තේ ඇයි?

14 යෙහෝවා දෙවියන්ට සේවය කරන එක අපිට කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න සමහරවිට අපේ පවුලේ අයට කාලයක් යන්න පුළුවන්. උදාහරණෙකට ඇලිස් දෙමාපියන් එයාට කරන්න කියපු රස්සාව කරනවා වෙනුවට පුරෝගාමි සේවය තෝරගත්තාම එයාගේ අම්මා ආයෙත් ගොඩක් දුක් වුණා. ඒත් ඇලිස් එයා ගත්ත තීරණය වෙනස් කළේ නැහැ. “ඔයා ගත්ත එක තීරණයක් වෙනස් කරන්න පවුලේ අයට ඔයා ඉඩ දුන්නොත් ඔයා ගන්න වෙන තීරණ වෙනස් කරන්නත් එයාලා උත්සාහ කරයි. ඒත් ඔයා ගත්ත තීරණය වෙනස් නොකර ස්ථිරව හිටියොත් ඔයා කියන දේවලට එයාලා ඇහුම්කන් දෙන්න ඉඩ තියෙනවා” කියලා ඇලිස් කියනවා. ඇලිස් ඒක අද්දැක්කා. දැන් එයාගේ අම්මායි, තාත්තායි පුරෝගාමීන්. තාත්තා වැඩිමහල්ලෙක් විදිහටත් සේවය කරනවා.

සභාවේ හැමෝටම උදව් කරන්න පුළුවන්

සත්‍යයේ නැති ඔයාගේ පවුලේ අයට උදව් කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද? (15 සහ 16 ඡේද බලන්න) *

15. මතෙව් 5:14-16 සහ 1 පේතෘස් 2:12 අනුව සභාවේ අය කරන “යහපත් ක්‍රියා” අපේ පවුලේ අයට උදව් වෙන්නේ කොහොමද?

15 යෙහෝවා දෙවියන්ගේ සෙනඟ කරන “යහපත් ක්‍රියා” නිසා මිනිසුන්ගේ හිතේ සත්‍යය ගැන උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. ඒක මිනිසුන්ව සත්‍යයට ඇදලා ගන්න යෙහෝවා දෙවියන් පාවිච්චි කරන එක ක්‍රමයක්. (මතෙව් 5:14-16; 1 පේතෘස් 2:12 කියවන්න.) සත්‍යයේ නැති ඔයාගේ සැමියාට හෝ බිරිඳට ඔයාගේ සභාවේ අය එක්ක ආශ්‍රය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවාද? පෝලින් එයාගේ සභාවේ අයව අඳුරගන්න වේන්ට අවස්ථාවක් දෙන්න නිසා සභාවේ අයව ගෙදරට ආරාධනා කළා. සාක්ෂිකරුවන් කියන්නේ මොන වගේ අයද කියලා තේරුම්ගන්න එක සහෝදරයෙක් වේන්ට උදව් කරපු විදිහ ගැන එයා මෙහෙම කියනවා. “ඒ සහෝදරයා දවසක් නිවාඩු දාලා ඇවිත් මාත් එක්ක මැච් එකක් බැලුවා. ඒකෙන් මං තේරුම්ගත්තා එයාත් මං වගේ සාමාන්‍ය කෙනෙක් කියලා.”

16. පවුලේ අයට අපි රැස්වීම්වලට ආරාධනා කරන්න ඕනෙ ඇයි?

16 අපේ පවුලේ අයට උදව් කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි අපේ රැස්වීම්වලට එයාලට ආරාධනා කරන එක. (1 කොරි. 14:24, 25) යේසුස්ගේ මරණය සිහි කිරීම තමයි වේන් මුලින්ම ගිය රැස්වීම. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැති නිසාත් ඒක තිබුණේ වැඩ වෙලාවෙන් පස්සේ නිසාත් වේන් ඒ රැස්වීමට එන්න කැමති වුණා. වේන් මෙහෙම කියනවා. “ඒ දේශනයේ කියපු හැම දෙයක්ම මට තේරුණේ නෑ. ඒත් එතන හිටපු අය මාව ආදරෙන් පිළි අරන් අතට අත දීලා මාත් එක්ක කතා කරපු විදිහ නම් මට අදටත් මතකයි. එයාලා ඇත්තටම හොඳ අය කියලා මට තේරුණා.” ඒ වෙද්දීත් එක යුවළක් රැස්වීම්වලදී, සේවයේ යද්දී පෝලින්ට එයාගේ පුතාව බලාගන්න උදව් කරලා තිබුණා. පෝලින්ගේ විශ්වාසයන් ගැන තව දැනගන්න ඕනෙ කියලා වේන් තීරණය කළාම එයාත් එක්ක බයිබලේ පාඩම් කරන්න කියලා වේන් කිව්වේ ඒ සහෝදරයාට.

17. අපි අපිටම දොස් කියන්න හොඳ නැත්තේ මොකක් ගැනද? ඒත් අපේ පවුලේ අය සත්‍යය පිළිගන්නේ නැති වෙයි කියලා අපි හිතන්න හොඳ නැත්තේ ඇයි?

17 අපේ පවුලේ හැම කෙනෙක්ම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණයක් ගනියි කියලා අපි ආසාවෙන් බලන් ඉන්නවා. අපි එයාලට කොච්චර උදව් කරන්න හැදුවත් එයාලා සත්‍යයට එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ගැන අපි අපිටම දොස් කියාගන්න ඕනෙ නැහැ. මොකද අපේ විශ්වාසයන් පිළිගන්න කියලා කාටවත් බල කරන්න අපිට බැහැ. ඒත් දෙවියන්ට සේවය කරන නිසා අපි ඉන්නේ කොච්චර සතුටින්ද කියලා පවුලේ අය දකිද්දී එයාලා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එයාලා ගැන යාච්ඤා කරන්න. කතා කරද්දී එයාලගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න. එයාලට උදව් කරන්න දරන උත්සාහය අත්හරින්න එපා. (ක්‍රියා 20:20) ඔයා දරන වෑයමට යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. ඔයා කියන දේ පවුලේ අය පිළිගත්තොත් එයාලටත් ගැලවීම ලැබෙයි!

ගීතිකාව 57 සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

^ 5 ඡේ. අපේ පවුලේ අය, නෑදෑයන් යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගෙන ඔහුට නමස්කාර කරනවා දකින්න අපි කැමතියි. ඒත් ඒ තීරණය ගන්න ඕනෙ එයාලයි. අපේ පණිවිඩය පිළිගන්න එයාලට පහසු වෙන්නේ අපි මොන වගේ දේවල් කළොත්ද කියලා මේ ලිපියෙන් බලමු.

^ 1 ඡේ. සමහර නම් වෙනස් කර ඇත. මේ ලිපියේ පවුලේ අය කියද්දී සත්‍යයේ නැති, පවුලේ කිට්ටු සාමාජිකයන් සහ නෑදෑයන් අදහස් වෙනවා.

^ 53 ඡේ. පින්තූරයේ අදහස: තරුණ සහෝදරයෙක් සත්‍යයේ නැති එයාගේ තාත්තාට කාර් එකේ වැඩකට උදව් කරනවා. ඒ අතරේ jw.org® වෙබ් අඩවියෙන් වීඩියෝ එකක් එයා තාත්තාට පෙන්නනවා.

^ 55 ඡේ. පින්තූරයේ අදහස: එයාගේ දවස කොච්චර කාර්යබහුලද කියලා සත්‍යයේ නැති සැමියා විස්තර කරද්දී සහෝදරිය එයාට හොඳින් ඇහුම්කන් දෙනවා. පස්සේ අවස්ථාවක ඒ සහෝදරිය පවුලේ අයත් එක්ක විනෝද වෙනවා.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: ඒ සහෝදරිය එයාගේ සභාවේ අයව ගෙදරට ආරාධනා කරලා. සභාවේ අය ඒ සහෝදරියගේ සැමියාව අඳුරගන්න කාලේ ගන්නවා. පස්සේ දවසක ඒ සහෝදරියගේ සැමියා එයාත් එක්ක යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙනවා.