Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 33

නැවත නැඟිටීමෙන් දෙවියන්ගේ ආදරේ, ප්‍රඥාව සහ ඉවසීම පැහැදිලි වෙනවා

නැවත නැඟිටීමෙන් දෙවියන්ගේ ආදරේ, ප්‍රඥාව සහ ඉවසීම පැහැදිලි වෙනවා

‘නැවත නැඟිටීමක් තියෙන බව මට විශ්වාසයි.’—ක්‍රියා 24:15.

ගීතිකාව 151 දෙවි හඬගසයි

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන් ජීවය නිර්මාණය කළේ ඇයි?

යෙහෝවා දෙවියන් තනියෙන් හිටපු කාලයක් තිබුණා. ඒත් ඔහුට කිසිම තනිකමක් දැනුණේ නැහැ. මොකද සතුටින් ඉන්න ඔහුට තව අය ඉන්නම ඕනෙ නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවියන්ට ඕනෙ වුණා තවත් අයට ජීවිතය දීලා එයාලා සතුටින් ඉන්නවා දකින්න. ඒ නිසා යෙහෝවා දෙවියන් ආදරෙන් පෙලඹිලා ජීවය නිර්මාණය කරන්න පටන්ගත්තා.—ගීතා. 36:9; 1 යොහ. 4:19.

2. යෙහෝවා දෙවියන් නිර්මාණය කරපු අනිත් දේවල් ගැන යේසුස්ට සහ දේවදූතයන්ට හැඟුණේ කොහොමද?

2 යෙහෝවා දෙවියන් මුලින්ම නිර්මාණය කළේ ඔහුගේ පුතා වන යේසුස්ව. ඊළඟට ඔහු ඔහුගේ පුතාත් එක්ක එකතු වෙලා දේවදූතයන් මිලියන ගාණක් ඇතුළුව “අන් සියල්ල සෑදුවා.” (කොලො. 1:16) යේසුස් ඔහුගේ තාත්තා එක්ක වැඩ කළේ හරිම සතුටින්. (හිතෝ. 8:30) යෙහෝවා දෙවියන් ඔහුගේ ප්‍රධාන සේවකයා වන යේසුස් එක්ක එකතු වෙලා අහසත් පොළොවත් හදද්දී ඒක දැකලා දේවදූතයන් ගොඩක් සතුටු වුණා. පොළොව හැදුවාම දේවදූතයන් “සතුටු සිතින් ප්‍රශංසා කළා” කියලා බයිබලේ කියනවා. ඊළඟට ඔහු නිර්මාණය කරපු හැම දේම විශේෂයෙන්ම මිනිසුන්ව දැකලා එයාලා සතුටු වෙන්න ඇති. (යෝබ් 38:7; හිතෝ. 8:31) යෙහෝවා දෙවියන්ගේ ඒ හැම නිර්මාණයකින්ම ඔහුගේ ආදරයත් ප්‍රඥාවත් හොඳින්ම පැහැදිලි වෙනවා.—ගීතා. 104:24; රෝම 1:20.

3. 1 කොරින්ති 15:21, 22 අනුව යේසුස්ගේ ජීවිත පූජාව නිසා මොකක්ද කරන්න පුළුවන් වුණේ?

3 යෙහෝවා දෙවියන්ගේ අරමුණ වුණේ මිනිසුන් හැමෝම ඔහු නිර්මාණය කරපු පොළොවේ සතුටින් සදාකාලෙටම ජීවත් වෙනවා දකින්නයි. ඒත් ආදම් සහ ඒව එයාලගේ ආදරණීය තාත්තාට විරුද්ධව කැරලි ගහපු නිසා මිනිසුන්ට පාපය සහ මරණය උරුම වුණා. (රෝම 5:12) යෙහෝවා දෙවියන් මොකද කළේ? මිනිසුන්ව බේරගන්න මොකක්ද කරන්නේ කියලා ඔහු ඒ වෙලාවේම කිව්වා. (උත්. 3:15) යේසුස්ගේ ජීවිතය වන්දියක් විදිහට දීලා ආදම්ගෙන් පැවතෙන අයව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න යෙහෝවා දෙවියන් පියවර ගන්නවා. ඒ නිසා දෙවියන්ට පුළුවන් ඔහුට සේවය කරන්න තීරණය කරන අයට සදාකාල ජීවිතය ලබාගන්න අවස්ථාව දෙන්න.—යොහ. 3:16; රෝම 6:23; 1 කොරින්ති 15:21, 22 කියවන්න.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?

4 නැවත නැඟිටීම ගැන හිතද්දී අපේ මනසට ප්‍රශ්න කීපයක්ම එන්න පුළුවන්. උදාහරණෙකට නැවත නැඟිටීම කොහොම සිදු වෙයිද? අපි ආදරේ කරපු අයට ආයේ ජීවිතය ලැබෙද්දී අපිට එයාලව අඳුරගන්න පුළුවන් වෙයිද? නැවත නැඟිටීම නිසා අපි මොන විදිවලින් සතුට අද්දකියිද? නැවත නැඟිටීම ගැන හොඳට හිතද්දී යෙහෝවා දෙවියන්ගේ ආදරය, ප්‍රඥාව සහ ඉවසීම ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දැන් අපි ඒ ප්‍රශ්න ගැන බලමු.

නැවත නැඟිටීම කොහොම සිදු වෙයිද?

5. මිය ගිහින් ඉන්න හැමෝවම එකම අවස්ථාවේ නැවත නැඟිටුවන එකක් නැහැ කියලා කියන්නේ ඇයි?

5 යෙහෝවා දෙවියන් යේසුස් එක්ක එකතු වෙලා මිලියන ගාණකට ආයෙත් ජීවිතය දෙද්දී ඒ හැමෝවම එකම අවස්ථාවේ නැවත නැඟිටුවයි කියලා හිතන්න බැහැ. මොකද එකපාරටම පොළොවේ ජනගහනය වැඩි වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. යෙහෝවා දෙවියන් කවදාවත් අවුල්සහගත විදිහට දේවල් කරන්නේ නැහැ. ඔහු දන්නවා හැම දෙයක්ම හොඳින් සංවිධානය කරලා තිබුණොත් විතරයි හැමෝටම සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. (1 කොරි. 14:33) යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ යේසුස් එක්ක එකතු වෙලා මේ පොළොව මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට ක්‍රමානුකූලව හැදුවාට පස්සෙයි. ඒකෙන් දෙවියන්ගේ ප්‍රඥාව, ඉවසීම හොඳින්ම පැහැදිලි වුණා. ඒ වගේ යේසුත් හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන අය එක්ක එකතු වෙලා නැවත නැඟිටින අයට දේවල් සූදානම් කරද්දී ඒ ගතිලක්ෂණම පෙන්නයි.

හර්–මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වෙන අය නැවත නැඟිටින අයට දේවරාජ්‍යය ගැනත් යෙහෝවා දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැනත් කියලා දෙනවා (6 ඡේදය බලන්න) *

6. ක්‍රියා 24:15 අනුව යෙහෝවා දෙවියන් නැවත නැඟිටුවන අය අතරේ ඉන්නේ කවුද?

6 හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන අය නැවත නැඟිටින අයට උදව් කරන හොඳම විදිහ තමයි එයාලට දේවරාජ්‍යය ගැනත් දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැනත් කියලා දෙන එක. මොකද නැවත නැඟිටින අයගෙන් වැඩිදෙනෙක් ඇතුළත් වෙන්නේ බයිබලේ අධර්මිෂ්ඨ අය කියලා හඳුන්වන පිරිසට. (ක්‍රියා 24:15 කියවන්න.) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ආශීර්වාද අද්දකින්න නම් එයාලා එයාලගේ ජීවිතවල ගොඩක් වෙනස්කම් කරගන්න ඕනේ. යෙහෝවා දෙවියන් ගැන කිසිම දෙයක් දන්නේ නැති මිලියන ගාණකට ඔහු ගැන උගන්වන එකට කොයි තරම් වැඩ කොටසක් ඇතුළත් වෙයිද! එදාටත් අපි අද බයිබල් පාඩම් කරනවා වගේ නැවත නැඟිටුවන එක් එක් කෙනා එක්ක පෞද්ගලිකවම පාඩමක් කරයිද? එයාලවත් සභාවන්වලට බෙදලා එයාලට පස්සේ නැවත නැඟිටුවන අයට උගන්වන්න අවශ්‍ය කරන පුහුණුව එයාලට දෙයිද? අපි ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඒත් අපි දන්නවා දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී ‘යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙනවා’ කියලා. (යෙසා. 11:9) ඒ අවුරුදු දහස පුරා අපිට සතුටින් කරන්න ගොඩක් වැඩ තියෙයි.

7. දෙවියන්ගේ සෙනඟ නැවත නැඟිටින අයට උගන්වද්දී එයාලව තේරුම් අරන් ඒක කරයි කියලා හිතන්න පුළුවන් ඇයි?

7 යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලයේදී යෙහෝවා දෙවියන්ගේ හැම සේවකයෙක්ම දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට දිගටම එයාලගේ ජීවිතවල වෙනස්කම් කරගන්න ඕනේ. ඒ නිසා නැවත නැඟිටින අය එයාලට තියෙන වැරදි ආශාවන්, සිතුවිලි අයින් කරගෙන දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරද්දී දෙවියන්ගේ සේවකයන් එයාලව තේරුම් අරන් එයාලට උදව් කරයි. (1 පේතෘ. 3:8) දෙවියන්ගේ සේවකයනුත් නිහතමානීව ‘එයාලගේ ගැලවීම ස්ථිර කරගන්න උත්සාහයක් දරනවා’ කියලා දකිද්දී නැවත නැඟිටින අයත් එයාලා එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න පෙලඹෙයි.—ෆිලි. 2:12.

නැවත නැඟිටින අයව අඳුරගන්න අපිට පුළුවන් වෙයිද?

8. නැවත නැඟිටින අපේ පවුලේ අයව, යාළුවන්ව අඳුරගන්න අපිට පුළුවන් වෙයි කියලා කියන්නේ ඇයි?

8 නැවත නැඟිටුවන අපේ පවුලේ අයව, යාළුවන්ව අපිට අඳුරගන්න පුළුවන් කියලා කියන්න හේතු කීපයක්ම තියෙනවා. උදාහරණෙකට අතීතයේ යෙහෝවා දෙවියන් කරපු නැවත නැඟිටීම් දිහා බලද්දී මිය ගිය කෙනෙක්ට දෙවියන් ආයෙත් ජීවිතය දෙද්දී ඒ කෙනා මිය යන්න කලින් එයාට තිබුණ පෙනුම, එයා කතා කරපු විදිහ, එයා හිතපු විදිහ ඇතුව දෙවියන් එයාව හදයි කියලා අපිට හිතන්න පුළුවන්. යේසුස් මරණය නින්දකටත් නැවත නැඟිටීම නින්දෙන් අවදි වීමටත් සමාන කළා. (මතෙ. 9:18, 24; යොහ. 11:11-13) කෙනෙක් නින්දෙන් නැඟිට්ටාම එයා නින්දට යන්න කලින් තිබුණු පෙනුම, එයා කතා කරපු විදිහ වෙනස් වෙන්නේ නැහැ. එයාගේ මතකයත් ඒ විදිහටම තියෙනවා. ලාසරුස් ගැන හිතන්න. එයා මැරිලා දවස් හතරක් ගත වෙලා තිබුණ නිසා ශරීරය කුණු වෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒත් යේසුස් එයාට ආයෙත් ජීවිතය දුන්නාම එයාගේ සහෝදරියන් දෙන්නා එයාව අඳුරගත්තා. ලාසරුස්ටත් එයාලව මතක තිබුණා.—යොහ. 11:38-44; 12:1, 2.

9. හැම අතින්ම පරිපූර්ණ සිරුරක් සහ මනසක් ඇතුව නෙමෙයි මිය ගිය අයව නැවත නැඟිටුවන්නේ කියලා අපිට හිතන්න පුළුවන් ඇයි?

9 යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා යේසුස්ගේ පාලන කාලයේදී “මා ලෙඩින්” කියලා කිසිම කෙනෙක් කියන්නේ නැහැ කියලා. (යෙසා. 33:24; රෝම 6:7) යෙහෝවා දෙවියන් නැවත නැඟිටින අයට ආයෙත් ජීවිතය දෙන්නේ නිරෝගී සිරුරක් ඇතුව කියලා ඒකෙන් තේරෙනවා. ඒත් එයාලව දෙවියන් නැවත නැඟිටුවන්නේ පරිපූර්ණ අය විදිහට නෙමෙයි. මොකද එහෙම කළොත් සමහරවිට එයාලගේ පවුලේ අයට, යාළුවන්ට එයාලව අඳුරගන්න බැරි වෙයි. පේන විදිහට මිනිසුන් හැමෝම දහස් අවුරුදු පාලන කාලය පුරා ක්‍රමානුකූලවයි පරිපූර්ණ අය වෙන්නේ. යේසුස් දේවරාජ්‍යය ආයෙත් යෙහෝවා දෙවියන්ට භාර දෙන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේදී. මිනිසුන්ව පරිපූර්ණත්වයට ගේන එක ඇතුළුව යෙහෝවා දෙවියන් දේවරාජ්‍යයෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම ඉටු වෙලා අවසන් වෙන්නේ එතකොටයි.—1 කොරි. 15:24-28; එළි. 20:1-3.

නැවත නැඟිටීම නිසා අපි මොන විදිවලින් සතුට අද්දකියිද?

10. නැවත නැඟිටුවන අයව දකිද්දී ඔයාට කොහොම හැඟෙයිද?

10 ඔයා ආදරේ කරපු අයට ආයෙත් ජීවිතය ලැබිලා එයාලව ආයෙත් දකින්න ලැබුණාම ඔයාට කොහොම හැඟෙයිද? ඔයා සතුටින් හිනා වෙයිද? නැත්නම් සතුට වැඩිකමට ඔයා අඬයිද? ඔයා යෙහෝවා දෙවියන්ට සතුටින් ප්‍රශංසා ගී ගයයිද? අපිට එක දෙයක් සහතිකයි. නැවත නැඟිටීම කියන තෑග්ග දුන්න යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ පුතා ගැනත් එදාට ඔයාගේ හිතේ ලොකු ආදරයක් ඇති වෙයි.

11. යොහන් 5:28, 29 අනුව යෙහෝවා දෙවියන්ට කීකරු වෙන අයට ලැබෙන්නේ මොකක්ද?

11 නැවත නැඟිටින අය යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න තියෙන කැමැත්ත නිසා එයාලගේ පරණ පෞද්ගලිකත්වය අයින් කරගද්දී එයාලට කොයි තරම් සතුටක් දැනෙයිද! ඒ වගේ වෙනස්කම් කරගන්න අයට සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒත් ජීවිතේ වෙනස්කම් කරගන්න කැමති වෙන්නේ නැති අයට දිගටම පාරාදීසයේ ජීවත් වෙන්න යෙහෝවා දෙවියන් ඉඩ දෙන්නේ නැහැ. මොකද එයාලා පාරාදීසයේ සාමයට තර්ජනයක්.—යෙසා. 65:20; යොහන් 5:28, 29 කියවන්න.

12. පොළොවේ ඉන්න හැමෝටම යෙහෝවා දෙවියන් ආශීර්වාද කරන්නේ කොහොමද?

12 දේවරාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වෙද්දී යෙහෝවා දෙවියන්ගේ සෙනඟ හිතෝපදේශ 10:22 තියෙන මේ වචන කොයි තරම් ඇත්තද කියලා අද්දකියි. එතන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.” එදාට යෙහෝවා දෙවියන්ගේ බලයේ උදව්වෙන් දෙවියන්ගේ සෙනඟ තව තවත් වැඩියෙන් යේසුස් වගේ හිතන්න, යේසුස් වගේ වැඩ කරන්න පුරුදු වෙනවා. ඒ විදිහට එයාලා ටිකෙන් ටික පරිපූර්ණත්වයට ළං වෙනවා. (යොහ. 13:15-17; එෆී. 4:23, 24) ගත වෙන දවසක් දවසක් ගාණේ එයාලගේ ශරීර තව තවත් නිරෝගී වෙනවා. එයාලා හැම පැත්තකින්ම යහපත් අතට හැරෙනවා. එදාට ඒගොල්ලන් මොන තරම් සතුටක් අද්දකියිද! (යෝබ් 33:25) ඒත් නැවත නැඟිටීම ගැන හිතන එක අපිට දැන් උදව් වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන්ගේ ආදරේ

13. ගීතාවලිය 139:1-4 අනුව යෙහෝවා දෙවියන් අපිව කොච්චර හොඳට දන්නවාද? ඒක නැවත නැඟිටීමෙන් තවත් පැහැදිලි වෙන්නේ කොහොමද?

13 අපි කලින් බලපු විදිහට යෙහෝවා දෙවියන් කෙනෙක්ව නැවත නැඟිටුවන්නේ එයාට කලින් තිබුණු මතකයන්, ගතිලක්ෂණ ඇතුවයි. ඒකෙන් අපිට යෙහෝවා දෙවියන් ගැන මොනවාද ඉගෙනගන්න පුළුවන්? යෙහෝවා දෙවියන් ඔයාට කොච්චර ආදරෙයිද කියනවා නම් ඔයා හිතන, ඔයාට හැඟෙන, ඔයා කියන සහ කරන දේවල් ඔහු දකිනවා වගේම ඒවා මතක තියාගන්නවා. දෙවියන්ට ඔයාව නැවත නැඟිටුවන්න වුණොත් ඒ හැම දෙයක්ම ඇතුව ඔයාට ආයෙත් ජීවිතය දෙන්න ඔහුට පුළුවන්. දාවිත් කියපු දේකිනුත් ඒක තවත් පැහැදිලි වෙනවා. (ගීතාවලිය 139:1-4 කියවන්න.) යෙහෝවා දෙවියන් ඒ තරම් හොඳට අපි ගැන දන්නවා කියලා තේරුම්ගද්දී ඔයාට කොහොමද හැඟෙන්නේ?

14. යෙහෝවා දෙවියන් අපිව හොඳින්ම දන්නවා කියලා තේරුම්ගද්දී ඒ ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

14 යෙහෝවා දෙවියන් අපි ගැන හැම දෙයක්ම හොඳට දන්නවා කියන දේ ගැන හිතද්දී අපිට බයක් දැනෙන්න ඕනෙ නැහැ. මොකද ඔහු අපි ගැන ගොඩක් සැලකිලිමත්. අපි එක් කෙනාගෙන් එක් කෙනාට කොච්චර වෙනස් වුණත් දෙවියන්ට අපි හැම කෙනෙක්ම විශේෂයි. ජීවිත කාලේ පුරාම අපි අද්දකින හැම දෙයක්ම ඔහු මතක තියාගන්නවා. ඒක අපිට මොන තරම් සැනසීමක්ද! අපි තනි වෙලා කියලා කවදාවත් හිතන්න හොඳ නැහැ. හැම දවසකම ගත වෙන තත්පරයක් තත්පරයක් ගාණේ යෙහෝවා දෙවියන් අපි ළඟින්ම ඉන්නවා. ඔහු බලාගෙන ඉන්නේ අපිට උදව් කරන්නයි.—2 ලේක. 16:9.

යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාව

15. නැවත නැඟිටුවීමෙන් යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාව පැහැදිලි වෙන්නේ කොහොමද?

15 කෙනෙක් මැරෙන්න බය නම් දෙවියන්ගේ සතුරන්ට පුළුවන් එයාට මරණ තර්ජන එල්ල කරලා එයා සාමාන්‍යයෙන් කරන්නේ නැති, වැරදියි කියලා එයා දන්න දෙයක් වුණත් එයා ලවා කරවගන්න. ඒත් අපිව මරනවා කියලා තර්ජනය කළාට අපි බය වෙන්නේ නැහැ. මොකද සාතන්ගේ පාලනය යටතේ ඉන්න අය අපිව මැරුවත් යෙහෝවා දෙවියන් අපිට ආයෙත් ජීවිතය දෙනවා කියලා අපි දන්නවා. (එළි. 2:10) අපිට දෙවියන් එක්ක තියෙන බැඳීම කඩන්න දෙවියන්ගේ සතුරන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා අපිට ස්ථිරයි. (රෝම 8:35-39) නැවත නැඟිටීමේ බලාපොරොත්තුව දුන්න එකෙන් ඔප්පු වෙනවා යෙහෝවා දෙවියන් කොයි තරම් ප්‍රඥාවන්තද කියලා. මොකද ඒ බලාපොරොත්තුව නිසා සාතන්ගේ ප්‍රබල අවියක් වන මරණ තර්ජන පුස්සක් වෙනවා. ඒ වගේම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපි තුළ ලොකු ධෛර්යයකුත් ඇති වෙනවා.

යෙහෝවා දෙවියන් අපිව රැක බලා ගන්නවා කියලා දුන්න පොරොන්දුව අපි විශ්වාස කරනවා කියලා අපි ගන්න තීරණවලින් පේනවාද? (16 ඡේදය බලන්න) *

16. ඔයා ඔයාගෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද? යෙහෝවා දෙවියන් ගැන කොයි තරම් විශ්වාසයක් තියෙනවාද කියලා තේරුම්ගන්න ඒ ප්‍රශ්න උදව් වෙන්නේ කොහොමද?

16 යෙහෝවා දෙවියන්ගේ සතුරන් ඔයාව මරනවා කියලා තර්ජනය කළොත් දෙවියන් ඔයාව නැවත නැඟිටුවයි කියන විශ්වාසයෙන් ඔයා ඒකට මුහුණ දෙයිද? ඒ ගැන ඔයාට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? ඔයාගෙන්ම මේ ප්‍රශ්න අහලා බලන එක ඒකට උදව් වෙයි. ගත වෙන හැම දවසක් ගාණෙම මං ගන්න පොඩි තීරණවලින් මං පෙන්නනවාද මං යෙහෝවා දෙවියන්ව විශ්වාස කරනවා කියලා? (ලූක් 16:10) දේවරාජ්‍යයට මුල් තැන දුන්නොත් මාව බලාගන්නවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන මට විශ්වාසද? ඒක මං මගේ කාලේ, මුදල් පාවිච්චි කරන විදිහෙන් පේනවාද? (මතෙ. 6:31-33) ඒ ප්‍රශ්නවලට උත්තරේ “ඔව්” නම් ඔයාට යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා ඒකෙන් ඔප්පු වෙනවා. ඉදිරියේදී එන ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න ඔයා සූදානම්.—හිතෝ. 3:5, 6.

යෙහෝවා දෙවියන්ගේ ඉවසීම

17. (අ) යෙහෝවා හුඟක් ඉවසන දෙවි කෙනෙක් කියලා නැවත නැඟිටීමෙන් ඔප්පු වෙන්නේ කොහොමද? (ආ) යෙහෝවා දෙවියන්ගේ ඉවසීම අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

17 මේ දුෂ්ට සමාජය විනාශ කරන දවස හා පැය යෙහෝවා දෙවියන් මේ වෙනකොටත් තීරණය කරලා ඉවරයි. (මතෙ. 24:36) ඔහු කලබල වෙලා ඊට කලින් විනාශය ගේන්නේ නැහැ. මිය ගිය අයට ආයෙත් ජීවිතය දෙන්න යෙහෝවා දෙවියන් බලාගෙන ඉන්නේ ආසාවෙන්. (යෝබ් 14:14, 15) මිය ගිය අයව නැවත නැඟිටුවන්න නියමිත කාලය එන කල් ඔහු ඉවසනවා. (යොහ. 5:28) යෙහෝවා දෙවියන් ඒ තරම් ඉවසන එක ගැන ඔහුට ස්තුති කරන්න අපිට ගොඩක් හේතු තියෙනවා. ඔහු එහෙම ඉවසන නිසයි අපි ඇතුළු තවත් හුඟදෙනෙක්ට ‘පසුතැවිලි වෙන්න අවස්ථාව ලැබුණේ.’ (2 පේතෘ. 3:9) යෙහෝවා දෙවියන්ට ඕනෙ පුළුවන් තරම් දෙනෙක් සදාකාල ජීවනය ලබාගන්නවා දකින්නයි. ඒ නිසා “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” අයව උනන්දුවෙන් හොයලා එයාලට යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්නත් ඔහුට සේවය කරන්නත් උදව් කරලා අපේ අගය පෙන්නමු. (ක්‍රියා 13:48) එතකොට එයාලටත් පුළුවන් යෙහෝවා දෙවියන්ගේ ඉවසීමෙන් ප්‍රයෝජන ලබන්න.

18. අපි අනිත් අයත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ ඇයි?

18 අපි 100%ක් දේවල් හරියට කරයි කියලා යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ දහස් අවුරුදු පාලනයේ අවසානයේදී. එතකල් ඔහු ඉවසීමෙන් බලන් ඉඳලා අපේ වැරදිවලට සමාව දෙනවා. එහෙමනම් අපිත් යෙහෝවා දෙවියන් වගේ අනිත් අයගේ හොඳ පැති දකින්නත් එයාලා එක්ක ඉවසීමෙන් වැඩ කරන්නත් උත්සාහ කරන්න ඕනේ. එක සහෝදරියකගේ අද්දැකීම බලන්න. එයාගේ මහත්තයා හිටියේ ලොකු පීඩනයකින්. ඒක එයාට දරුණු විදිහට බලපෑවා. අන්තිමේදී එයා රැස්වීම් යන එකත් නැවැත්තුවා. ඒ සහෝදරිය මෙහෙම කියනවා. “ඒක හරිම අමාරු කාලයක්. පවුලක් විදිහට අපි ඉස්සරහට කරන්න හිතන් හිටපු හැම දේම එකපාරටම වෙනස් වුණා.” ඒත් ඒ සහෝදරිය එයාගේ මහත්තයාත් එක්ක දිගටම ඉවසීමෙන් වැඩ කළා. එයා යෙහෝවා දෙවියන් මත රඳා හිටියා වගේම ඉක්මනින් අධෛර්යය වෙලා හැම දේම අත්හැරලා දැම්මේ නැහැ. එයා යෙහෝවා දෙවියන් වගේ නිතරම එයාගේ මහත්තයාගේ හොඳ දකින්න උත්සාහ කළා. එයා මෙහෙම කියනවා. “මගේ මහත්තයා හරිම හොඳ කෙනෙක්. එයා ඉන්න තත්වයෙන් ගොඩ එන්න දැන් එයා ටිකෙන් ටික උත්සාහ කරනවා.” විවිධ අභියෝග එක්ක පොරබදින අපේ පවුලේ අය, සභාවේ අය එක්ක ඉවසීමෙන් වැඩ කරන එක කොච්චර වටිනවාද!

19. අපි අධිෂ්ඨාන කරගන්න ඕනෙ මොකක් කරන්නද?

19 මේ පොළොව නිර්මාණය කරද්දී යේසුස් සහ දේවදූතයන් ගොඩක් සතුටු වුණා. ඒත් හිතන්න මේ මුළු පොළොවම යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, ඔහුට සේවය කරන පරිපූර්ණ මිනිසුන්ගෙන් පිරිලා යද්දී එයාලා කොයි තරම් සතුටු වෙයිද කියලා. යේසුස් එක්ක රජකම් කරන්න මේ පොළොවෙන් ස්වර්ගයට යන අය එයාලා කරන වැඩවලින් මිනිසුන් ප්‍රයෝජන ලබනවා දකිද්දී එයාලට කොයි තරම් සතුටක් දැනෙයිද! (එළි. 4:4, 9-11; 5:9, 10) දුක් කඳුළු සතුටු කඳුළුවලට හැරෙද්දී, අසනීප, දුක, මරණය, හැමදාටම නැති වෙලා යද්දී, ඒ කාලය කොයි තරම් සතුටින් පිරුණු එකක් වෙයිද කියලා හිතාගන්න. (එළි. 21:4) ඒ කාලය එනකල් ඔයාගේ ආදරණීය, ප්‍රඥාවන්ත සහ ඉවසිලිවන්ත තාත්තා වන යෙහෝවා දෙවියන්ව දිගටම ආදර්ශයට ගන්න අදිටන් කරගන්න. එහෙම කරනවා නම් මොන අභියෝගවලට මුහුණ දෙන්න වුණත් ඔයාගේ සතුට නැති කරගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. (යාකො. 1:2-4) ‘නැවත නැඟිටීමක්’ තියෙනවා කියලා යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුව අපි කොයි තරම් අගය කරන්න ඕනෙද!—ක්‍රියා 24:15.

ගීතිකාව 141 ජීවිතය සැබෑම ත්‍යාගයක්

^ 5 ඡේ. අපේ තාත්තා වන යෙහෝවා ආදරණීය, ප්‍රඥාවන්ත, ගොඩක් ඉවසන දෙවි කෙනෙක්. ඔහුගේ ගතිලක්ෂණ ඔහු නිර්මාණය කරලා තියෙන හැම දේකින්ම සහ මිය ගිය අයට ආයෙත් ජීවිතය දෙන්න ඔහු ඇති කරපු සැලැස්මෙන් පැහැදිලි වෙනවා. නැවත නැඟිටීම ගැන මතු වෙන ප්‍රශ්න කීපයක් ගැනත් දෙවියන්ගේ ආදරය, ප්‍රඥාව සහ ඉවසීම අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: අවුරුදු සිය ගාණකට කලින් මිය ගිය කෙනෙක්ව යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලයේදී නැවත නැඟිටුවලා. යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්න නම් එයා මොනවාද කරන්න ඕනෙ කියලා හර්–මගෙදොන් යුද්ධයෙන් බේරුණු සහෝදරයෙක් එයාට කියලා දෙනවා.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: සතියේ සමහර දවස්වල වැඩ වෙලාවෙන් පස්සේ අමතර වැඩ කරන්න බැහැ කියලා සහෝදරයෙක් එයාගේ ආයතනයේ ප්‍රධානියාට කියනවා. ඒ දවස් එයා වෙන් කරලා තියෙන්නේ නමස්කාරයට සම්බන්ධ වැඩවලට කියලා එයා පැහැදිලි කරනවා. ඒත් අවශ්‍යතාවක් ඇති වුණොත් සතියේ අනිත් දවස්වල එයා අමතර වැඩ කරන්න කැමතියි කියලා කියනවා.