Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 33

දානියෙල්ගෙන් ඉගෙනගන්න

දානියෙල්ගෙන් ඉගෙනගන්න

“ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකි.”—දානි. 9:23.

ගීතිකාව 73 දෙනු මැන නිර්භීතකම

මේ ලිපියෙන් a

1. බැබිලෝනිවරුන්ගේ හිතේ දානියෙල් ගැන පැහැදීමක් ඇති වුණේ ඇයි?

 දානියෙල්ව දුර ඈත තිබුණ බැබිලෝනියේ වහලෙක් විදිහට අරන් යද්දී එයා යෞවනයෙක්. සාමාන්‍යයෙන් මිනිස්සු කෙනෙක්ගේ “පිටතින් පේන දේ” දිහානේ බලන්නේ. (1 සාමු. 16:7) ඉතින් බැබිලෝනිවරුනුත් දැක්කා දානියෙල් ‘කඩවසම් පෙනුමක් තියෙන, නිරෝගී ශරීරයක් තියෙන’ වංශවත් පවුලක කෙනෙක් කියලා. ඉතින් එයාලට දානියෙල් ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ නිසයි එයාලා රජමාලිගාවේ උසස් තනතුරක් දරන්න දානියෙල්ව පුහුණු කළේ.—දානි. 1:3, 4, 6.

2. යෙහෝවාට දානියෙල් ගැන දැනුණේ කොහොමද? (එසකියෙල් 14:14)

2 යෙහෝවා දෙවියන් දානියෙල්ට ගොඩක් ආදරේ කළේ එයාගේ පෙනුම නිසාවත් එයාට රජමාලිගාවේ තිබ්බ උසස් තනතුරු නිසාවත් නෙවෙයි. ඒ වෙනුවට දානියෙල් පුංචි කාලේ ඉඳලම යෙහෝවා කැමති විදිහට ජීවත් වෙන්න ගත්ත තීරණය නිසයි. හිතන්න නෝවා, යෝබ් වගේ අය දෙවියන් ඉස්සරහා හොඳ නමක් ඇති කරගන්න දශක ගාණක් තිස්සේ මහන්සි වුණා. හැබැයි දෙවියන් ඒ දෙන්නාගේ නම් එක්ක දානියෙල්ගේ නම සඳහන් කරද්දී එයා 20 ගණන්වල මුල හරි 20ට කිට්ටුව හරි ඉන්න ඇති. (උත්. 5:32; 6:9, 10; යෝබ් 42:16, 17; එසකියෙල් 14:14 කියවන්න.) ඇත්තටම ඒ වයසේදී විතරක් නෙවෙයි දානියෙල්ගේ ජීවිත කාලේ පුරාවටම යෙහෝවාගේ හිතේ එයා ගැන තිබ්බ ආදරේ පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.—දානි. 10:11, 19.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?

3 දෙවියන්ගේ හිතේ දානියෙල් ගැන ආදරයක් ඇති වෙන්න හේතු වුණ ගුණාංග දෙකක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. මුලින්ම අපි ඒ ගුණාංග මොනවාද කියලත් දානියෙල් ඒවා පෙන්නුවේ කොහොමද කියලත් බලමු. ඊළඟට දානියෙල්ට ඒ ගුණාංග වර්ධනය කරගන්න උදව් වුණේ මොනවාද කියලා බලමු. අන්තිමට අපි බලමු අපිට දානියෙල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා. මේ ලිපිය ලියලා තියෙන්නේ අපේ යෞවනයන්ව මනසේ තියාගෙන වුණත් මේකේ තියෙන තොරතුරුවලින් අපි හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන්.

ධෛර්යය

4. දානියෙල් ධෛර්යවන්තව වැඩ කළේ කොහොමද? උදාහරණයක් දෙන්න.

4 ධෛර්යවන්ත අයටත් සමහර වෙලාවට බය හිතෙනවා. ඒත් එහෙමයි කියලා එයාලා හරි දේ නොකර ඉන්නේ නැහැ. දානියෙල් කියන්නේ හරිම ධෛර්යවන්ත යෞවනයෙක්. අපි දැන් එයා එහෙම වැඩ කරපු අවස්ථා දෙකක් ගැන බලමු. මුල්ම එක වුණේ බැබිලෝනිවරු යෙරුසලම විනාශ කරලා අවුරුදු දෙකකට විතර පස්සේ. ඒ කාලේ නෙබුකද්නෙෂර් රජ විශාල රූපයක් ගැන භයානක හීනයක් දැක්කා. ඒ රූපය නිසා රජගේ මනස කොච්චර අවුල් වුණාද කියනවා නම් එයා අණ කළා හීනයත් ඒකේ අර්ථයත් පැහැදිලි කරලා දුන්නේ නැත්නම් බුද්ධිමතුන් හැමෝවම මරලා දාන්න කියලා. (දානි. 2:3-5) ඒ බුද්ධිමතුන් අතර දානියෙලුත් හිටියා. ඒ නිසා මේක හිතහිත ඉන්න කාලයක් නෙවෙයි. ඉක්මනට මොනවා හරි කළේ නැත්නම් ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ඉතින් දානියෙල් මොකද කළේ? එයා ‘රජ ළඟට ගිහින් රජගේ සිහිනයේ අර්ථය පැහැදිලි කරලා දෙන්න ටික කාලයක් දෙන්න කියලා ඉල්ලුවා.’ (දානි. 2:16) කේන්තියෙන් ඉන්න රජෙක් ගාවට ගිහිල්ලා ඒ වගේ ඉල්ලීමක් කරන්න කොච්චර ධෛර්යයක්, කොච්චර විශ්වාසයක් තියෙන්න ඕනෙද! අනික ඊට කලින් දානියෙල් සිහිනවල අර්ථය පැහැදිලි කරලා දුන්න අවස්ථාවක් ගැන බයිබලේ කොතැනකවත් සඳහන් වෙලා නැහැ. ඒ නිසා ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ කියන එයාගේ යාළුවෝ තුන්දෙනා ළඟට ගිහිල්ලා දානියෙල් කිව්වා “සිහිනයත් එහි අර්ථයත් පැහැදිලි කර දෙන ලෙස දෙවිගෙන් අයැදින්න” කියලා. (දානි. 2:18) ඔව්, දෙවියන් එයාලාගේ යාච්ඤා ඇහුවා. ඒ නිසා දෙවියන්ගේ උදව්වෙන් දානියෙල්ට පුළුවන් වුණා නෙබුකද්නෙෂර් රජගේ හීනය පැහැදිලි කරලා දෙන්න. ඔන්න ඔය විදිහටයි දානියෙල්ගෙත් අනිත් අයගෙත් ජීවිත අනූනවයෙන් බේරුණේ!

5. ධෛර්යය පෙන්නන්න දානියෙල්ට සිද්ධ වුණේ තව මොන අවස්ථාවේදීද?

5 ඒ හීනයේ අර්ථය තෝරලා දීලා කාලයක් ගියාට පස්සේ දානියෙල්ගේ ධෛර්යය සෝදිසියට ලක් වුණ තවත් අවස්ථාවක් ආවා. නෙබුකද්නෙෂර් ආයෙත් සැරයක් හීනයක් දැක්කා. මේ සැරේ එයා දැක්කේ අතිවිශාල ගහක්. මෙදා සැරෙත් දානියෙල් ඒ හීනය තෝරලා දුන්නා. හැබැයි ඒක කියන්න දානියෙල්ට ලොකු ධෛර්යයක් ඕන වුණා. මොකද මේ සැරේ හීනෙන් පෙන්නපු විදිහට නෙබුකද්නෙෂර් රජට පිස්සු හැදෙනවා. ඒ නිසා කාලෙකට රජකම් කරන්න බැරි වෙනවා. (දානි. 4:25) මේක කියන්න ගිහින් දානියෙල්ව රාජද්‍රෝහියෙක් විදිහට සලකයිද? එයාට මරණ දණ්ඩනය දෙයිද? එහෙම වෙන්න පුළුවන් කියලා දැනන් හිටියත් දානියෙල් බය නැතුව රජ ඉස්සරහට ගිහින් ඒක කිව්වා.

6. ධෛර්යවන්තව වැඩ කරන්න දානියෙල්ට උදව් වෙන්න ඇත්තේ මොනවාද?

6 ජීවිතේ හැම අවස්ථාවකදීම ධෛර්යවන්තව වැඩ කරන්න දානියෙල්ට උදව් වෙන්න ඇත්තේ මොනවාද? කිසිම සැකයක් නැහැ දානියෙල්ගේ අම්මාගෙයි, තාත්තාගෙයි ආදර්ශය ඒකට උදව් වෙන්න ඇති. ඒ වගේම දෙවියන් ඊශ්‍රායෙල් දෙමාපියන්ට කියලා තිබුණ විදිහට දානියෙල්ගේ අම්මායි, තාත්තායි පුංචි කාලේ ඉඳලම දානියෙල්ට දෙවියන්ගේ නීතිය ගැන උගන්වන්නත් ඇති. (ද්වි. 6:6-9) හැබැයි දානියෙල් දසපනත වගේ නීතියේ තිබුණ මූලික දේවල් විතරක් දැනගෙන නතර වුණේ නැහැ. එයා නීතිය ගැඹුරටම තේරුම් අරන් හිටියා. ඒ නිසයි ඊශ්‍රායෙල්වරුන්ට කන්න අවසර තියෙන්නේ මොනවාද නැත්තේ මොනවාද කියලා එයා හොඳට තේරුම් අරන් හිටියේ. b (ලෙවී. 11:4-8; දානි. 1:8, 11-13) ඒ විතරක් නෙවෙයි සෙනඟ දෙවියන්ගේ ප්‍රමිති රැකපු නැති නිසා එයාලට මුහුණ දෙන්න වුණ දේවල් ගැනත් දානියෙල් දැනන් හිටියා. (දානි. 9:10, 11) ඒ දේවල්වලට අමතරව යෙහෝවා දෙවියන්ගේ සහ බලවත් දේවදූතයන්ගේ උදව් එයාට තියෙනවා කියලා දානියෙල් එයාගේ ජීවිත අද්දැකීමෙන්ම තේරුම් අරන් හිටියා.—දානි. 2:19-24; 10:12, 18, 19.

ධෛර්යය වැඩි කරගන්න දානියෙල්ට උදව් වුණේ අධ්‍යයනය, යාච්ඤාව සහ යෙහෝවා ගැන තිබ්බ විශ්වාසයයි (7 ඡේදය බලන්න)

7. ධෛර්යවන්තව වැඩ කරන්න දානියෙල්ට උදව් වුණ තව දේවල් මොනවාද? (පින්තූරයත් බලන්න.)

7 දානියෙල් කියන්නේ අනාවැකි අධ්‍යයනය කරපු කෙනෙක්. එයා යෙරෙමියා ලියපු අනාවැකි අධ්‍යයනය කරද්දී දැනගත්තා අවුරුදු ගාණක් පුරා එයාලා බැබිලෝනියේ ගත කරන වහල් ජීවිතය ඉක්මනටම ඉවර වෙනවා කියලා. (දානි. 9:2) ඒ අනාවැකිය ඉටු වෙනවා ඇස් දෙකෙන්ම දකිද්දී එයාට යෙහෝවා ගැන තිබ්බ විශ්වාසය ගොඩක් ශක්තිමත් වුණා කියලා කිසිම සැකයක් නැහැ. ඒ වගේ ශක්තිමත් විශ්වාසයකට පුළුවන් කෙනෙක්ව ගොඩක් ධෛර්යවත් කරන්න. (රෝම 8:31, 32, 37-39) ඒ හැම දේටම වඩා ධෛර්යවන්ත කෙනෙක් වෙන්න දානියෙල්ට උදව් වුණ දෙයක් තිබුණා. ඒ තමයි යෙහෝවා දෙවියන් එක්ක නිතරම කතාබහ කරපු එක. (දානි. 6:10) එයා එයාගේ අතින් වුණ වැරදි ගැන දෙවියන්ට කියලා එයාගේ හැඟීම් ඔහුත් එක්ක බෙදාගත්තා. ඒ වගේම දෙවියන්ගෙන් නිතරම උදව් ඉල්ලුවා. (දානි. 9:4, 5, 19) දානියෙල් කියන්නෙත් අපි වගේම මනුස්සයෙක්. ධෛර්යය කියන්නේ එයා උපතින් අරන් ආපු දෙයක් නෙවෙයි. ඒ වෙනුවට ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරන එක, යාච්ඤා කරන එක, යෙහෝවා ගැන විශ්වාසය තියන එක තමයි ධෛර්යය වඩවාගන්න එයාට උදව් වුණේ.

8. ධෛර්යය වැඩි කරගන්න පුළුවන් කොහොමද?

8 සමහරවිට ඔයාගේ අම්මායි, තාත්තායි නිතරම කියනවා ඇති “බය වෙන්න එපා පුතේ, ධෛර්යයෙන් වැඩ කරන්න” කියලා. ඒත් ධෛර්යය කියන්නේ දෙමාපියන්ගෙන් දරුවන්ට නිකම්ම උරුම වෙන දායාදයක් නෙවෙයි. ඒක අපි එක් එක් කෙනා වර්ධනය කරගන්න ඕන දෙයක්. හරියට අලුත් හැකියාවක් වර්ධනය කරගන්නවා වගේ. අපි දන්නවා හැකියාවක් වර්ධනය කරගන්න හොඳම විදිහක් තමයි ඒක අපිට කියලා දෙන ගුරුවරයා දිහා හොඳට බලන් ඉඳලා ඒ විදිහටම කරන එක. ඒ වගේ අපිටත් පුළුවන් ධෛර්යවන්තව වැඩ කරපු අය දිහා බලලා එයාලාගේ ආදර්ශය අනුගමනය කරන්න. ඉතින් දානියෙල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපිත් දානියෙල් වගේ ශුද්ධ ලියවිලි හොඳට තේරුම්ගන්න ඕනේ. අපිට හැඟෙන දැනෙන විදිහ යෙහෝවා දෙවියන් එක්ක නිදහසේ කියලා ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම යෙහෝවා හැම වෙලාවකම අපේ පිටිපස්සෙන් අපේ උදව්වට ඉන්නවා කියලා ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. එහෙම කරද්දී අපේ විශ්වාසයට බලපාන මොන දේට මුහුණ දෙන්න වුණත් ධෛර්යවන්තව වැඩ කරන්න අපිටත් පුළුවන්.

9. ධෛර්යවන්ත වෙද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

9 අපි ධෛර්යවන්තව වැඩ කරද්දී ඒකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒක තේරුම්ගන්න අපි ජර්මනියේ ඉන්න බෙන්ගේ අද්දැකීම බලමු. එයාගේ ඉස්කෝලේ හැමෝම වගේ පරිණාමය විශ්වාස කළා. එයාලා නිර්මාතෘ කෙනෙක් ගැන බයිබලේ තියෙන තොරතුරු සැලකුවේ ගොතපු කතාවක් විදිහට. දවසක් බෙන්ට සිද්ධ වුණා එයා නිර්මාතෘ කෙනෙක්ව පිළිගන්නේ ඇයි කියලා පන්තියේ හැමෝම ඉස්සරහා කියන්න. ඒ වෙලාවේ බෙන් හිතට ධෛර්යය අරන් බය නැතුව එයාගේ විශ්වාසයන් ගැන කිව්වා. ඒකෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිඵලද? බෙන් මෙහෙම කියනවා. “අපේ සර් මං කියපු දේවල් හොඳට අහගෙන හිටියා. ඊටපස්සේ මං හොයාගත්ත තොරතුරු ෆොටෝකොපි ගහලා එයා පන්තියේ හැමෝටම බෙදුවා.” ඒ ගැන පන්තියේ ළමයි මොනවාද කිව්වේ? බෙන් කියනවා “එයාලා එයාලාගෙම මතයේ හිටියේ නෑ. මගේ විශ්වාසයන් එයාලා ගොඩක් අගය කළා” කියලා. බෙන්ගේ අද්දැකීමෙන් අපි මොනවාද ඉගෙනගන්නේ? ධෛර්යවන්ත කෙනෙක් ගැන සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ හිතේ ලොකු ගෞරවයක් ඇති වෙනවා. එයාලා නිසා අවංක හදවත් තියෙන අය යෙහෝවාට ළං වෙන්නත් පෙලඹෙනවා. එහෙම බලද්දී ධෛර්යය වැඩි කරගන්න අපිට කොච්චර නම් හේතු තියෙනවාද!

ළැදිකම

10. ළැදිකම කියන්නේ මොකක්ද?

10 බයිබලේ “ළැදිකම” නැත්නම් “ළැදි ප්‍රේමය” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනය පාවිච්චි කරලා තියෙන්නේ දෙන්නෙක් අතර තියෙන විශේෂ ආදරයක් විස්තර කරන්න. හුඟක් වෙලාවට බයිබලේ ඒක පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන් ඔහුගේ සේවකයන්ට පෙන්නන ආදරේ ගැන කතා කරද්දී. හැබැයි දෙවියන්ගේ සේවකයන් එකිනෙකාට පෙන්නන ආදරේ ගැන කියද්දීත් ඒ වචනෙම පාවිච්චි කරලා තියෙනවා. (2 සාමු. 9:6, 7) ළැදිකම කියන්නේ කාලයත් එක්කම වැඩි වෙන දෙයක්. අපි එහෙම කියන්නේ ඇයි කියලා දානියෙල්ගේ ජීවිතෙන් ටිකක් බලමු.

යෙහෝවා දෙවියන් දේවදූතයෙක්ව එවලා සිංහයන්ගේ කටවල් වැහුවා. එහෙම කරලා ඔහු දානියෙල්ගේ ළැදිකමට ආශීර්වාද කළා (11 ඡේදය බලන්න)

11. දානියෙල්ගේ ළැදිකම සෝදිසියට ලක් වුණේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

11 දානියෙල් යෙහෝවා දෙවියන්ට පෙන්නපු ළැදිකම, එයාගේ විශ්වාසවන්තකම ජීවිත කාලේ පුරාවටම සෝදිසියට ලක් වුණා. ඒ වගේ එක පරීක්ෂණයකට එයා මුහුණ දුන්නේ වයස 90 ගණන්වල ඉද්දී. ඒ කාලේ මේදියවරුන් හා පර්සියානුවරුන් බැබිලෝනිය යටත් කරගෙන තිබුණ නිසා බැබිලෝනිය පාලනය කළේ දාරියුස් රජ. ඒ කාලේ රජමාලිගාවේ හිටපු නිලධාරීන් දානියෙල්ට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයාලා දානියෙල්ගේ දෙවියන්ටත් කිසිම ගෞරවයක් පෙන්නුවේ නැහැ. ඒගොල්ලන්ට ඕන වුණේ කොහොමහරි දානියෙල්ව මරන්න. ඒකට එයාලා රජ ලවා නියෝගයක් නිකුත් කළා. ඉතින් රජට ළැදියි කියලා පෙන්නලා දඬුවමෙන් බේරෙන්න දානියෙල්ට කරන්න තිබුණේ දවස් 30කට විතරක් දෙවියන්ට යාච්ඤා නොකර ඉන්න එක විතරයි. හැබැයි දානියෙල් නෙවෙයි එක මොහොතකටවත් එයාගේ විශ්වාසය පාවලා දුන්නේ. අන්තිමේදී ඒ නිසා එයාලා දානියෙල්ව සිංහ ගුහාවට දැම්මා. හැබැයි යෙහෝවා දෙවියන් මේ විශ්වාසවන්ත සේවකයාගේ ළැදිකම අමතක කළේ නැහැ. ඔහු දේවදූතයෙක්ව එවලා සිංහයන්ගේ කටවල් වැහුවා. (දානි. 6:12-15, 20-22) දානියෙල්ට තිබුණා වගේ කාටවත් බිඳලා දාන්න බැරි ළැදිකමක් ඇති කරගන්න ඔයාටයි, මටයි පුළුවන් කොහොමද?

12. මොන දේ වුණත් දිගටම යෙහෝවා දෙවියන්ට ළැදිව ඉන්න දානියෙල්ට පුළුවන් වුණේ කොහොමද?

12 කලිනුත් බලපු විදිහට ළැදිකමක් ඇති වෙන්නේ ආදරේ නිසා. දානියෙලුත් මෙච්චර යෙහෝවා දෙවියන්ට ළැදිව හිටියේ ඔහුට ගොඩක් ආදරේ කරපු නිසයි. කිසිම සැකයක් නැහැ යෙහෝවාගේ ගුණාංග ගැන, ඔහු ඒ ගුණාංග පෙන්නලා තියෙන විදිහ ගැන හොඳට හිතපු එක ඒ වගේ ආදරයක් ඇති කරගන්න දානියෙල්ට උදව් වෙන්න ඇති. (දානි. 9:4) ඒ වගේම යෙහෝවා එයා වෙනුවෙන්, ඔහුගේ සෙනඟ වෙනුවෙන් කරලා තියෙන යහපත් දේවල් ගැනත් දානියෙල් හොඳට හිතන්න ඇති.—දානි. 2:20-23; 9:15, 16.

යෙහෝවාට තියෙන ආදරේ වැඩි කරගන්නවා නම් ඔයාටත් පුළුවන් දානියෙල් වගේ දිගටම ඔහුට ළැදිව ඉන්න (13 ඡේදය බලන්න)

13. (අ) අපේ යෞවනයන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? උදාහරණයක් දෙන්න. (පින්තූරයත් බලන්න.) (ආ) සමලිංගික ජීවිතයක් ගත කරන එක ගැන සාක්ෂිකරුවන් හිතන්නේ මොනවාද කියලා කෙනෙක් ඇහුවොත් ඔයා මොනවාද කියන්නේ? (jw.org වෙබ් අඩවියේ තියෙන “ධර්මිෂ්ඨකම සාමය ඇති කරයි” කියන වීඩියෝ එක බලන්න.)

13 දානියෙල්ගේ කාලේ වගේ අද අපේ යෞවනයනුත් වට වෙලා ඉන්නේ යෙහෝවා ගැන, ඔහුගේ ප්‍රමිති ගැන කිසිම ගෞරවයක් නැති අයගෙන්. ඒ මිනිස්සුන්ට දෙවියන්ට ආදරේ කරන අයව පේන්න බැහැ. සමහරු යෙහෝවාට තියෙන ළැදිකම බිඳලා දාන්න අපේ යෞවනයන්ට ගොඩක් හිරිහැර කරනවා. දැන් අපි ඒ වගේ අද්දැකීමක් බලමු. ග්‍රේයම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන යෞවනයෙක්. එයා ඉස්කෝලේ ලොකු පන්තිවලට ගියාම හිතපුවත් නැති විදිහේ අභියෝගයකට මුහුණ දුන්නා. එයාගේ පන්තියේ ටීචර් ළමයින්ගෙන් ඇහුවා “යාළුවෙක් ඇවිල්ලා එයා සමලිංගිකයෙක් කියලා කිව්වොත් ඔයාලා මොකද කරන්නේ” කියලා. ඒකට සපෝට් කරන අය පන්තියේ එක පැත්තකටත්, සපෝට් කරන්නේ නැති අය අනිත් පැත්තටත් යන්න කියලා ටීචර් කිව්වා. බලන්න ග්‍රේයම් ඒ ගැන කියන දේ. “මායි, තව සාක්ෂිකාර යාළුවෙකුයි ඇරෙන්න මුළු පන්තියම හිටියේ සපෝට් කරන පැත්තේ.” ඊළඟට සිද්ධ වුණ දෙයින් ග්‍රේයම්ට යෙහෝවා දෙවියන් ගැන තිබ්බ ළැදිකම සෝදිසියට ලක් වුණා. ග්‍රේයම් මෙහෙම කියනවා. “පැයක් විතර යන කල් ටීචයි, පන්තියේ ළමයනුයි අපි දෙන්නාව වට කරගෙන අපිට සෑහෙන්න අපහාස කළා. මං කලබල වෙන්නේ නැතුව පුළුවන් විදිහට මගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න හැදුවා. හැබැයි එයාලා මං කියපු එක වචනයක්වත් ඇහුවේ නෑ.” මේ වෙච්ච දේ ගැන ග්‍රේයම්ට හැඟෙන්නේ කොහොමද? එයා කියන දේ බලන්න. “කට්ටිය ඒ විදිහට මට බණිනවාට මං පොඩ්ඩක්වත් ආස නෑ. හැබැයි මට ඒ වෙලාවේ පුදුම සතුටක් දැනුණේ. මොකද මොන දේ වුණත් මං මගේ විශ්වාසය පාවලා දුන්නේ නෑනේ.”

14. කවදාවත් බිඳින්න බැරි ළැදිකමක් ඇති කරගන්න අපිට පුළුවන් එක විදිහක් මොකක්ද?

14 දානියෙල්ට තිබුණා වගේ ළැදිකමක් ඇති කරගන්න නම් ඉස්සෙල්ලාම අපි යෙහෝවා ගැන ලොකු ආදරයක් ඇති කරගන්න ඕනේ. ඔහුගේ ගුණාංග ගැන ඉගෙනගන්න එක ඒ වගේ ආදරයක් ඇති කරගන්න උදව් වෙනවා. දෙවියන්ගේ ගුණාංග තේරුම්ගන්න හොඳම විදිහක් තමයි ඔහුගේ නිර්මාණ අධ්‍යයනය කරන එක. (රෝම 1:20) ඉතින් ඔයාත් යෙහෝවා ගැන තියෙන ආදරය, ගෞරවය වැඩි කරගන්න ආස නම් ඔයාට පුළුවන් “නිර්මාණයක්ද?” කියන කොටසේ තියෙන ලිපි සහ වීඩියෝ බලන්න. ඒ වගේම ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ සහ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාත් ඒක කරන්න ඔයාට උදව් වෙයි. බලන්න ඩෙන්මාර්කයේ ඉන්න යෞවනියක් වන එස්තර් ඒ ගැන කියන දේ. “ඒ සඟරාවල තියෙන තර්ක නං නියමයි. අපි ගන්න ඕන තීරණය ඒවාවල කියලා නෑ. ඒ වෙනුවට ඇති තරම් සාක්ෂි පෙන්නලා ඔයාටම තීරණයක් ගන්න ඉඩ හරිනවා.” කලින් කතා කරපු බෙන් කියන දේ බලන්න. “මේ තොරතුරු බලද්දී මගේ විශ්වාසය පුදුම විදිහට ශක්තිමත් වුණා. ඒවායින් තමයි මට සහතික වුණේ මේ හැම දේම හැදුවේ දෙවියන් කියලා.” ඔයාත් ඒ දේවල්වලින් ප්‍රයෝජන ගන්නවා නම් බයිබලේ කියන මේ දේට ඔයාත් එකඟ වෙයි. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”—එළි. 4:11. c

15. යෙහෝවාට තියෙන ආදරේ වැඩි කරගන්න උදව් වෙන තව දෙයක් මොකක්ද?

15 යේසුස් ජීවිතේ ගත කරපු විදිහ දිහා බලලත් අපිට යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න පුළුවන්. ජර්මනියේ ඉන්න යෞවන සහෝදරියක් වන සමීරාටත් උදව් වුණේ ඒ දේමයි. යෙහෝවාට හැඟෙන, දැනෙන විදිහ තේරුම්ගන්න පොඩි කාලේදී එයාට ගොඩක් අමාරු වුණා. හැබැයි යේසුස්ට හැඟෙන, දැනෙන විදිහ තේරුම්ගන්න එක එයාට අමාරු වුණේ නැහැ. “මං යේසුස්ගේ චරිතෙට ගොඩක් ආසයි. මොකද යේසුස් කියන්නේ හැමෝටම, විශේෂයෙන්ම ළමයින්ට ගොඩක් ආදරේ කරපු කෙනෙක්” කියලා සමීරා කියනවා. ඉතින් යේසුස් ගැන ඉගෙනගද්දී සමීරාට යෙහෝවා එක්ක තියෙන බැඳීමත් ගොඩක් වැඩි වුණා. ඒ කොහොමද? බලන්න එයා කියන දේ. “මට ටිකෙන් ටික තේරුණා යේසුත් වැඩ කරන්නේ යෙහෝවා වැඩ කරන විදිහටමයි කියලා. ඒ දෙන්නාටම තියෙන්නේ එකම ගතිගුණ. යෙහෝවා ඔහුගේ පුතාව මේ පොළොවට එව්වේ ඇයි කියලා මං දැන් දන්නවා. මොකද යේසුස් ගැන දැනගන්න එකෙන් තමයි යෙහෝවාව හොඳටම අඳුරගන්න පුළුවන්.” (යොහ. 14:9) ඉතින් ඔයාටත් යෙහෝවා එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න ඕනෙ නම් ටිකක් කාලේ අරන් යේසුස් ගැන අධ්‍යයනය කරන එක හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? ඔයා එහෙම කළොත් යෙහෝවාට තියෙන ආදරේ වගේම ඔහුට තියෙන ළැදිකමත් වැඩි වෙයි.

16. යෙහෝවාට ළැදි වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ගීතාවලිය 18:25; මීකා 6:8)

16 අපි කෙනෙක්ට ළැදි වෙනකොට ඒ කෙනාත් අපිට ළැදි වෙනවා. ඒකෙන් නොබිඳෙන මිතුදම් ඇති කරගන්න පුළුවන්. (රූත් 1:14-17) ඊට අමතරව යෙහෝවාට ළැදි වෙද්දී කෙනෙක්ගේ හිතට පුදුම සහනයක්, සන්සුන්කමක් දැනෙනවා. ඒ ඇයි? මොකද යෙහෝවා දෙවියන්ව අත්හරින්නේ නැති කෙනෙක්ව කවදාවත් ඔහු අත්හරින්නෙත් නැහැ. (ගීතාවලිය 18:25; මීකා 6:8 කියවන්න.) මේ මුළු විශ්වයම නිර්මාණය කරපු සියලු බලැති දෙවියන් ඔයාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒ වගේ බැඳීමක් ඇති වුණාට පස්සේ ඒකට හරස් වෙන්න කිසිම පීඩාවකටවත් කිසිම කෙනෙක්ටවත් කොටින්ම කිව්වොත් මරණෙටවත් බැහැ. (දානි. 12:13; ලූක් 20:37, 38; රෝම 8:38, 39) එහෙම බලද්දී දානියෙල් වගේ යෙහෝවාට දිගටම ළැදිව ඉන්න එක කොච්චර වටිනවාද!

දිගටම දානියෙල්ගෙන් ඉගෙනගන්න

17-18. දානියෙල්ගෙන් තව මොනවාද ඉගෙනගන්න පුළුවන්?

17 අපි මේ ලිපියෙන් බැලුවේ දානියෙල්ට තිබුණ ලස්සන ගුණාංග දෙකක් විතරයි. එයාගෙන් අපිට ඉගෙනගන්න තව හුඟක් දේවල් තියෙනවා. උදාහරණෙකට යෙහෝවා දෙවියන් දානියෙල්ට දර්ශන සහ සිහින දකින්න සැලැස්සුවා. ඒ වගේම අනාවැකි පැහැදිලි කරන්නත් හැකියාව දුන්නා. ඒ අනාවැකිවලින් හුඟක් ඒවා දැනටමත් ඉටු වෙලා ඉවරයි. තවත් ඒවා ඉටු වෙන්න තියෙන්නේ අනාගතයේදී. ඒවාවල ඉටු වීම මේ පොළොවේ ජීවත් වෙන හැම කෙනෙක්ටම බලපානවා.

18 ඊළඟ ලිපියෙන් අපි දානියෙල් වාර්තා කරපු ඒ වගේ අනාවැකි දෙකක් ගැන බලමු. ඒවා තේරුම්ගන්න එක බාල මහලු හැමෝටම දැන් ඥානවන්ත තීරණ ගන්න උදව් වෙනවා. ඇත්තටම දැන් විතරක් නෙවෙයි අනාගතයේදීත් දිගටම ධෛර්යවන්තව දෙවියන්ට ළැදිව ඉන්න ඒ අනාවැකි අපිට ලොකු ශක්තියක්.

ගීතිකාව 119 සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු

a අපේ යෞවනයන්ට ගොඩක් අභියෝග එනවා. යෙහෝවාට තියෙන එයාලාගේ ළැදිකම, ධෛර්යය සෝදිසියට ලක් වෙනවා. නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන නිසා සමහර වෙලාවට ඉස්කෝලේ යාළුවෝ එයාලට විහිළු කරනවා. එයාලා යෙහෝවාට සේවේ කරන නිසා, ඔහුගේ ප්‍රමිති පිළිපදින නිසා යාළුවෝ එයාලව සලකන්නේ මෝඩයෝ ගාණට. හැබැයි දානියෙල්ව ආදර්ශයට අරන් යෙහෝවාට ළැදිව, ධෛර්යවන්තව ඉන්න අය ඇත්තටම ප්‍රඥාවන්තයි කියන්නේ ඇයි? ඒ ගැන මේ ලිපියෙන් බලමු.

b බැබිලෝනිවරුන් දීපු කෑම අපවිත්‍රයි කියලා හිතන්න දානියෙල්ට අඩුම තරමින් හේතු තුනක්වත් තියෙන්න ඇති. (1) බැබිලෝනිවරු කෑමට ගත්ත සමහර සත්තු දෙවියන්ගේ නීතියේ කන්න එපා කියලා තිබුණ ඒවා වෙන්න ඇති. (ද්වි. 14:7, 8) (2) සමහරවිට එයාලා මස් උයන්න කලින් ලේ හරියට අයින් කරලා තියෙන්න නැතුව ඇති. (ලෙවී. 17:10-12) (3) ඒ කෑම කන එක බොරු නමස්කාරයට සම්බන්ධ වෙන්න ඇති.—ලෙවී. 7:15; 1 කොරි. 10:18, 21, 22.

c යෙහෝවාට තියෙන ආදරේ තව වැඩි කරගන්න ‘යෙහෝවාට ළං වන්න’ කියන පොතත් ඔයාට උදව් වෙයි. මොකද ඒකේ ඔහුගේ ගතිලක්ෂණ ගැන ගොඩක් ගැඹුරින් කතා කරලා තියෙනවා.