Skip to content

පටුනට යන්න

යෙහෝවා සදහටම ඔහුගේ නම ගෞරවයට පත් කරනවා

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

2020 ජූනි ‘මුරටැඹ’ සඟරාවේ තිබුණ “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!” කියන ලිපියෙන් යෙහෝවා දෙවියන්ගේ නම ගැන, පාලනය කරන්න ඔහුට තියෙන අයිතිය ගැන අපිට තිබුණ අවබෝධය අලුත් වුණේ කොහොමද?

ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැම කෙනෙක්ටම බලපාන වැදගත් ප්‍රශ්නයක් ගැන ඒ ලිපියේ කතා කළා. ඒ තමයි යෙහෝවා දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළල. දෙවියන්ගේ පාලනය ගැන මතු වෙලා තියෙන ප්‍රශ්නය ඒකේ එක පැතිකඩක් විතරයි. මිනිස්සු දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නේ ඇත්තටම ඔහුට තියෙන ආදරේ නිසාද කියන එක ඒකේ තවත් පැතිකඩක්.

මේ විශ්වයේ තියෙන වැදගත්ම ප්‍රශ්නේ යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළල කියලා අපි කියන්නේ ඇයි? ඒකට හේතු කීපයක් දැන් අපි බලමු.

එදා ඉඳන් අද වෙන කල්ම සාතන් දෙවියන්ගේ නමට මඩ ගහනවා

(1) ඒදන් උයනේදී සාතන් යෙහෝවා දෙවියන්ගේ නමට, ඔහුගේ චරිතයට මඩ ගැහුවා. සාතන් ඒවගෙන් අහපු ප්‍රශ්නෙන් ඇඟෙව්වේ යෙහෝවා කියන්නේ මිනිස්සුන්ට තද නීති දාන, කිසිම හොඳ දෙයක් දෙන්නේ නැති පාලකයෙක් කියලා. යෙහෝවා කලින් කියපු දේට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් තමයි සාතන් ඒවට කිව්වේ. ඒකෙන් එයා චෝදනා කළේ දෙවියන් බොරුකාරයෙක් කියලා. ඇත්තටම සාතන් කළේ යෙහෝවා දෙවියන්ගේ නම කැත කරපු එකයි. එදා ඉඳන් තමයි එයා “යක්ෂයෙක්” වුණේ. ඒ වචනේ තේරුම “අපහාස කරන්නා” කියන එකයි. (යොහ. 8:44) සාතන් කියපු ඒ බොරුව විශ්වාස කරලා ඒව දෙවියන්ට අකීකරු වුණා. එයා ඒකෙන් පෙන්නුවේ දෙවියන්ගේ පාලනය ඕනෙ නැහැ කියලා. (උත්. 3:1-6) එදා ඉඳන් අද වෙන කල් යෙහෝවාගේ නිකැළැල් චරිතයට සාතන් දිගින් දිගටම මඩ ගහනවා. හුඟක් වෙලාවට සාතන් ගොතන බොරු විශ්වාස කරන අය දෙවියන්ට අකීකරු වෙනවා. හැබැයි දෙවියන්ගේ සෙනඟ ඔහුගේ නමට ඇති වෙලා තියෙන මේ කැළල සලකන්නේ විශ්වයේ සිද්ධ වෙලා තියෙන ලොකුම අසාධාරණය විදිහට. ඇත්තම කිව්වොත් අද සිද්ධ වෙන හැම නරක දේකටම මුලත් යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළලයි.

(2) හැමෝගෙම ප්‍රයෝජනය වෙනුවෙන් යෙහෝවා ඔහුගේ නමට ඇති වෙලා තියෙන හැම චෝදනාවක්ම අයින් කරලා ඒක ශුද්ධ තත්වයකට ගේනවා. එහෙම කරන එක යෙහෝවා සලකන්නේ වැදගත්ම දේ විදිහට. ඒ නිසයි ඔහු කියන්නේ “මාගේ ශ්‍රේෂ්ඨ නාමය මම අනිවාර්යයෙන්ම ගෞරවයට පත් කරන්නෙමි” කියලා. (එස. 36:23) ඒක කොච්චර වැදගත්ද කියලා යේසුත් පෙන්නුවා. ඒ නිසයි යේසුස් කිව්වේ යාච්ඤා කරද්දී මුලින්ම “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!” කියලා කියන්න කියලා. (මතෙ. 6:9) යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් කරන එකේ වැදගත්කම බයිබලේ ආයේ ආයේ කතා කරලා තියෙනවා. ඒකට උදාහරණ කීපයක් බලන්න. “යෙහෝවා දෙවිගේ නාමයට දිය යුතු ගෞරවය දෙන්න.” (1 ලේක. 16:29; ගීතා. 96:8) “ඔහුගේ නාමයට හිමි ගෞරවය ගැන ගී ගයන්න.” (ගීතා. 66:2) “සැමදා ඔබේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.” (ගීතා. 86:12) එක අවස්ථාවක යේසුස් දේවමාලිගාවේ ඉද්දී යෙහෝවා දෙවියන්ට කිව්වා “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න!” කියලා. ඒකට උත්තරයක් විදිහට යෙහෝවා යේසුස්ට කිව්වා “මම එය ගෞරවයට පත් කළෙමි. නැවතත් එය ගෞරවයට පත් කරන්නෙමි” කියලා.—යොහ. 12:28. a

(3) යෙහෝවා දෙවියන්ගේ අරමුණ ඔහුගේ නමට සම්බන්ධයි. ටිකකට දහස් අවුරුදු පාලනයේ අවසානය ගැන හිතන්න. එදාටත් යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළල නිසා මිනිස්සුන්ගෙන් සහ දේවදූතයන්ගෙන් හැදිලා තියෙන යෙහෝවාගේ පවුල බෙදිලා තියෙයිද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න අපි කලින් කතා කරපු පැතිකඩවල් දෙක ගැන ආයෙත් ටිකක් බලමු. පළවෙනි එක තමයි මිනිස්සු යෙහෝවාට පෙන්නන විශ්වාසවන්තකම ගැන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. එදාට ආයෙත් මිනිස්සුන්ට එයාලාගේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න වෙයිද? නැහැ. මොකද ඒ වෙද්දී එයාලා පරිපූර්ණත්වයට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම එයාලාගේ විශ්වාසය හැම අතින්ම ඔප්පු කරලයි තියෙන්නේ. එදාට එයාලා ඉස්සරහා තියෙන්නේ සදාකාල ජීවිතය. දෙවෙනි එක තමයි යෙහෝවා දෙවියන්ගේ පාලනය ගැන මතු වෙලා තියෙන ප්‍රශ්නේ. ඒකට මොකද වෙන්නේ? සාකච්ඡා කරලා, මතගැටුම් ඇති වෙලා ඒක ආයේ ආයේ ඔප්පු කරන්න වෙයිද? නැහැ. මොකද ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැමෝම එදාට යෙහෝවාගේ පාලනය තමයි ශ්‍රේෂ්ඨතම, හොඳම පාලනය කියලා පිළි අරන් ඉවරයි. එදාට දෙවියන්ගේ සෙනඟ යෙහෝවා කියන නම කොහොම සලකයිද?

ඒ වෙද්දී දෙවියන් ඔහුගේ නමට ඇති වෙලා තියෙන හැම කැළලක්ම අයින් කරලා ඔහුගේ නම ශුද්ධ තත්වෙකට ගෙනල්ලා ඉවරයි. හැබැයි එදාටත් ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැමෝටම වැදගත්ම දේ වෙන්නේ යෙහෝවාගේ නමයි. ඒ ඇයි? මොකද එදාට ඔහු පුදුමාකාර දේවල් කරනවා. යේසුස් නිහතමානීව යෙහෝවා දෙවියන්ට පාලනය භාර දුන්නාම “දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කරනවා.”(1 කොරි. 15:28) ඊටපස්සේ මේ පොළොවේ ඉන්න හැම කෙනෙක්ම “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳිනවා.” (රෝම 8:21) එදාට යෙහෝවාගේ මුල් අරමුණට අනුව ස්වර්ගයේ සහ පොළොවේ ජීවත් වෙන හැම කෙනෙක්ම එක්සත් පවුලක් වෙනවා.—එෆී. 1:10.

ඒ හැම දෙයක්ම දකිද්දී ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න යෙහෝවාගේ පවුලේ අයට ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමයට හැමදාටම ප්‍රශංසා කරන්න ලොකු ආසාවක් ඇති වෙයි. දාවිත්ටත් ඒ වගේම ආසාවක් තිබුණා. ඒ නිසයි එයා මෙහෙම ලිව්වේ. “යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔහුගේ තේජවත් නාමය සදාකාලයෙන් සදාකාලයටම ගෞරවයට පත් වේවා!” (ගීතා. 72:18, 19) ටිකකට හිතන්න අපි සදහටම ජීවත් වෙද්දී යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න අපිට තව කොච්චර නම් හේතු හම්බ වෙයිද?

යෙහෝවා කියන නම ඇහෙද්දී සමහරවිට අපිට මුලින්ම මතක් වෙන්නේ ඔහුගේ නොසැලෙන ආදරයයි. (1 යොහ. 4:8) ඔහු අපිව හැදුවේ ඒ ආදරේ නිසයි. ඔහුගේ පුතාගේ ජීවිතේ අපි වෙනුවෙන් දුන්නේ ඒ ආදරේ නිසයි. ඒ වගේම ඔහුගේ පාලනය ධර්මිෂ්ඨයි, ඔහු පාලනය කරන්නෙත් ආදරෙන්. ඒ ආදරේ අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. අපි දන්නවා දැන් විතරක් නෙවෙයි යෙහෝවා ඔහුගේ ආදරෙන් අපිව නහවන විදිහ හැමදාම ඇස් දෙකෙන්ම දකින්න අපිට පුළුවන් කියලා. ඒ නිසා යෙහෝවා කියන ඒ නමට සදහටම ප්‍රශංසා ගී ගයන්න අපි හදවතින්ම පෙලඹෙයි.—ගීතා. 73:28.

a යෙහෝවා “ඔහුගේ නාමය වෙනුවෙන්” සමහර දේවල් කරනවා කියලා බයිබලේ කියනවා. උදාහරණෙකට ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වනවා, උදව් කරනවා, ආරක්ෂා කරනවා. ඒ වගේම ඔහු තමන්ගේ සෙනඟව ගලවාගන්නවා, එයාලට සමාව දෙනවා.—ගීතා. 23:3; 31:3; 79:9; 106:8; 143:11.