පාඩම් ලිපිය 34
බයිබල් අනාවැකිවලින් ඉගෙනගන්න
“ගැඹුරු අවබෝධය ඇති අය තේරුම්ගන්නෝය.”—දානි. 12:10.
ගීතිකාව 98 දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්
මේ ලිපියෙන් a
1. අනාවැකි අධ්‍යයනය කරන්න ආසාවක් ඇති කරගන්න උදව් වෙන්නේ මොනවාද?
“අනාවැකි අධ්‍යයනය කරන්න මං හරිම ආසයි.” එහෙම කිව්වේ යෞවන සහෝදරයෙක් වන බෙන්. ඔයාටත් දැනෙන්නේ ඒ විදිහටමද? නැත්නම් ‘අනාවැකි තේරුම්ගන්න අමාරුයි, ඒක හරි කම්මැලි වැඩක්’ කියලද ඔයාට හිතෙන්නේ? එහෙමනම් යෙහෝවා බයිබලේට අනාවැකි ඇතුළත් කරලා තියෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න. ඒක ඔයාට උදව් වෙයි ඔයා හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න.
2. මේ ලිපියෙන් අපි විශේෂයෙන්ම බලන්නේ මොනවාද?
2 බයිබල් අනාවැකි අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි කියලා විතරක් නෙවෙයි ඒවා අධ්‍යයනය කරන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. ඊටපස්සේ දානියෙල් පොතේ තියෙන අනාවැකි දෙකක් අරගෙන ඒවා තේරුම්ගන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් අපි සාකච්ඡා කරනවා.
අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?
3. බයිබල් අනාවැකි තේරුම්ගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?
3 බයිබල් අනාවැකි තේරුම්ගන්න එක අපේම හැකියාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අපිට තව කෙනෙක්ගේ උදව් ඕනේ. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා දන්නේ නැති පැත්තක ගමනක් යනවා. හැබැයි ඔයාත් එක්ක ඉන්න යාළුවාට නම් ඒ පැත්ත හොඳට හුරුයි. ඔයාලා ඉන්නේ කොහෙද කියලා එයා හරියටම දන්නවා. හැම පාරක්ම ගිහින් වැටෙන්නේ කොහෙටද කියලත් එයා දන්නවා. ඒ වගේ යාළුවෙක් ඔයා ළඟ ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද! යෙහෝවා දෙවියනුත් ඒ යාළුවා වගේ. කාල රේඛාවේ අපි දැන් ඉන්න තැන ඔහු හරියටම දන්නවා. ඒ වගේම ඉස්සරහට වෙන්නේ මොනවාද කියලත් ඔහු දන්නවා. ඒ නිසා බයිබල් අනාවැකි තේරුම්ගන්න නම් අපි නිහතමානී වෙලා යෙහෝවාගේ උදව් ඉල්ලන්නම ඕනේ.—දානි. 2:28; 2 පේතෘ. 1:19, 20.
4. යෙහෝවා දෙවියන් බයිබලේට අනාවැකි ඇතුළත් කරලා තියෙන්නේ ඇයි? (යෙරෙමියා 29:11) (පින්තූරයත් බලන්න.)
4 සාමාන්‍යයෙන් ඕනම දෙමාපියෙක් ආසයි එයාගේ දරුවන්ගේ අනාගතේ හොඳ එකක් වෙනවාට. අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාත් ඒ වගේ. (යෙරෙමියා 29:11 කියවන්න.) හැබැයි මිනිස්සු වගේ නෙවෙයි යෙහෝවා දෙවියන්ට පුළුවන් අනාගතේ වෙන්නේ මොනවාද කියලා අකුරටම කියන්න. ඒ නිසයි ඔහු ඉස්සරහට වෙන වැදගත් සිද්ධීන් ගැන ඒවා වෙන්න කලින්ම අපිව දැනුවත් කරන්නේ. (යෙසා. 46:10) එහෙම බලද්දී අනාවැකි කියන්නේ ඇත්තටම දෙවියන්ගෙන් අපිට ලැබුණ තෑගි. ඒත් බයිබලේ තියෙන දේවල් ඇත්තටම ඉටු වෙයි කියලා සහතික කරගන්නේ කොහොමද?
5. යෞවන අයට මැක්ස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
5 ඉස්කෝලේ යන අපේ දරුවන් හුඟක් වෙලාවට වට වෙලා ඉන්නේ බයිබලේ සත පහකටවත් ගණන් ගන්නේ නැති අයගෙන්. එයාලා කියන දේවල් නිසා, හැසිරෙන විදිහ නිසා සැකය කියන බීජය අපේ දරුවන්ගේ හිත්වලට ඇතුල් වෙන්න පුළුවන්. මැක්ස්ට වුණෙත් ඒ දේමයි. එයා මෙහෙම කියනවා. “‘අම්මලා කියන විදිහට මං ඇත්තටම ඉන්නේ හරි ආගමේද? බයිබලේ ඇත්තටම ලිව්වේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්ද’ කියලා ඉස්කෝලේ යන කාලේ මගේ හිතේ සැක ඇති වෙන්න පටන්ගත්තා.” ඒ වෙලාවේ මැක්ස්ගේ දෙමාපියන් කළේ මොකක්ද? මැක්ස් මෙහෙම කියනවා. “එයාලා මං ගැන ගොඩක් වධ වුණා කියලා මට තේරුණා. ඒත් එයාලා කලබල වුණේ නෑ.” මැක්ස්ගේ ප්‍රශ්න ඔක්කොටම එයාලා බයිබලෙන්ම උත්තර දුන්නා. ඒ වගේම මැක්ස් එයාගේ පැත්තෙනුත් දෙයක් කළා. එයා මෙහෙම කියනවා. “මං තනියෙන් බයිබල් අනාවැකි අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඉගෙනගත්ත දේවල් සභාවේ ඉන්න මගේ යාළුවෝ එක්කත් කතා කළා. අන්තිමේදී මට තේරුණා බයිබලේ කියන්නේ ඇත්තටම දෙවියන්ගෙන් ලැබුණ පොතක් කියලා.”
6. සැකයක් තියෙනවා නම් ඔයා කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?
6 මැක්ස්ට වගේ බයිබලේ ගැන ඔයාගේ හිතෙත් සැකයක් ඇති වෙලා තියෙනවාද? එහෙමනම් දුක් වෙන්නවත් කලකිරෙන්නවත් ඕනෙ නැහැ. ඒත් ඔයා කල් දාන්නේ නැතුව කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද සැකය හරියට මලකඩ වගේ. ඒක ගණන් ගන්නේ නැතුව හිටියොත් හෙමීට හෙමීට වටින දෙයක් වුණත් නාස්ති කරලා දාන්න ඒකට පුළුවන්. ඉතින් ඔයාගේ විශ්වාසයේ තියෙන “මලකඩ” අයින් කරන්න ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘අනාගතේ ගැන බයිබලේ කියන දේ මං ඇත්තටම විශ්වාස කරනවාද?’ ඒ ගැන ඔයාගේ හිතේ පුංචිම හරි සැකයක් තියෙනවා නම් දැනටමත් ඉටු වෙලා තියෙන බයිබල් අනාවැකි ගැන තව ගැඹුරින් අධ්‍යයනය කරන්න. ඒත් ඒක කරන්නේ කොහොමද?
අධ්‍යයනය කරන්නේ කොහොමද?
7. අනාවැකි අධ්‍යයනය කරන එක ගැන දානියෙල් ආදර්ශයක් තිබ්බේ කොහොමද? (දානියෙල් 12:10) (පින්තූරයත් බලන්න.)
7 අනාවැකි අධ්‍යයනය කරන එක ගැන දානියෙල් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. එයා ඒවා අධ්‍යයනය කළේ හරි චේතනාවෙන්. ඒවායේ හැංගිලා තියෙන සත්‍යය දැනගන්න එයාට ලොකු වුවමනාවක් තිබුණා. ඒ වගේම දානියෙල් හුඟක් නිහතමානී කෙනෙක්. යෙහෝවාට ළං වෙලා, ඔහු කැමති විදිහට ජීවත් වෙන අයට ඔහු අනාවැකි තේරුම්ගන්න උදව් කරනවා කියලා දානියෙල් දැනන් හිටියා. (දානි. 2:27, 28; දානියෙල් 12:10 කියවන්න.) ඒ නිසයි දානියෙල් යෙහෝවා දෙවියන් මතම රඳා ඉඳලා ඔහුගෙන් උදව් ඉල්ලුවේ. (දානි. 2:18) ඒ වගේම දානියෙල් කියන්නේ ඒ කාලේ තිබුණ ශුද්ධ ලියවිලි ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරපු කෙනෙක්. (යෙරෙ. 25:11, 12; දානි. 9:2) දානියෙල්ව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?
8. බයිබල් අනාවැකි ඉටු වෙලා තියෙනවා කියලා සමහරු විශ්වාස කරන්නේ නැත්තේ ඇයි? ඒත් අපි කරන්න ඕනෙ මොකක්ද?
8 ඔයා බයිබල් අනාවැකි අධ්‍යයනය කරන්නේ ඇයි කියලා හිතන්න. ඔයා එහෙම කරන්නේ සත්‍යය දැනගන්න ඔයාට ලොකු වුවමනාවක් තියෙන නිසාද? එහෙමනම් යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි. (යොහ. 4:23, 24; 14:16, 17) හැබැයි සමහරු බයිබල් අනාවැකි අධ්‍යයනය කරන්නේ බයිබලේ බොරු කියලා ඔප්පු කරන්න. මොකද එහෙම වුණොත් එයාලට පුළුවන්නේ දෙවියන් කියන විදිහට ජීවත් වෙන්නේ නැතුව එයාලට ඕන ඕන විදිහට ප්‍රතිපත්ති හදාගන්න. ඒ නිසයි අපි හරි චේතනාවෙන් බයිබලේ අධ්‍යයනය කරන්න ඕනේ. ඊට අමතරව අනාවැකි තේරුම්ගන්න අපිට නැතුවම බැරි ගුණාංගයකුත් තියෙනවා. ඒ මොකක්ද?
9. බයිබල් අනාවැකි තේරුම්ගන්න නැතුවම බැරි ගුණාංගය මොකක්ද? පැහැදිලි කරන්න.
9 නිහතමානී වෙන්න. යෙහෝවා දෙවියන් නිහතමානී අයට හැම වෙලාවෙම උදව් කරන්න ලෑස්ති පිටයි ඉන්නේ. (යාකො. 4:6) ඒ නිසා බයිබල් අනාවැකි තේරුම්ගන්න නම් අපි ඔහුගේ උදව් ඉල්ලන්නම ඕනේ. ඒ වගේම අපි තේරුම්ගන්න ඕනෙ තමන්ගේ සෙනඟට නියම වෙලාවට ආහාර දෙන්න දෙවියන් පාවිච්චි කරන්නේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව කියලා. (ලූක් 12:42) යෙහෝවා කියන්නේ හැම දේම පිළිවෙළකට, සැලැස්මකට අනුව කරන කෙනෙක්. එහෙම බලද්දී බයිබල් සත්‍යයන් තේරුම් කරලා දෙන්න ඔහු දාසයාව විතරක් පාවිච්චි කරන එක පුදුමයක් නෙවෙයි.—1 කොරි. 14:33; එෆී. 4:4-6.
10. එස්තර්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
10 ගැඹුරට අධ්‍යයනය කරන්න. ඔයා කැමති අනාවැකියක් තෝරගෙන මුලින්ම ඒක අධ්‍යයනය කරන්න. එස්තර් කළෙත් ඒකමයි. එයාට ලොකු ආසාවක් තිබුණා ගැලවුම්කරු ගැන තියෙන අනාවැකි අධ්‍යයනය කරන්න. එයා මෙහෙම කියනවා. “ඒ අනාවැකි ලිව්වේ ඇත්තටම යේසුස්ගේ කාලෙට කලින්ද කියලා අවුරුදු 15දී මං හොඳට හොයලා බැලුවා.” මළ මුහුදේ ලියවිලි ගැන තිබ්බ තොරතුරු හොයලා බැලුවාට පස්සේ ඒ අනාවැකි ගැන එයාට ලොකු විශ්වාසයක් ඇති වුණා. එයා මෙහෙම කියනවා. “ඒ සමහර ලියවිලි ලියලා තිබුණේ යේසුස්ගේ කාලෙටත් කලින්. ඉතින් ඒවාවල තිබුණ අනාවැකි අනිවාර්යයෙන්ම දෙවියන්ම දීපු ඒවා වෙන්න ඕනේ. හැබැයි සමහර තොරතුරු තේරුම්ගන්න මට ඒවා ආයේ ආයේ කියවන්න වුණා.” ඒ වෙච්ච මහන්සිය ගැන එස්තර් දුක් වෙන්නේ නැහැ. මොකද ඒ වගේ අනාවැකි කීපයක් ගැනම ගැඹුරින් අධ්‍යයනය කළාට පස්සේ එස්තර් මෙහෙම කියනවා. “බයිබලේ තියෙන්නේ 100% ඇත්ත කියලා දැන් මං හොඳටම දන්නවා.”
11. බයිබලේ තියෙන්නේ සත්‍යය කියලා අපිටම ඔප්පු කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
11 දැනටමත් ඉටු වෙලා තියෙන අනාවැකි දිහා බලද්දී යෙහෝවා දෙවියන් ගැන නොබිඳෙන විශ්වාසයක් අපේ හිතේ ඇති වෙනවා. ඔහු දෙන ඕනම මඟ පෙන්වීමකට කීකරු වෙන්නත් අපි පෙලඹෙනවා. ඒ වගේම දැන් අපි මොන අමාරු දේට මුහුණ දුන්නත් අනාගතේ දිහා සතුටින් බලන්න ඒ අනාවැකි අපිට උදව් වෙනවා. දැන් අපි දානියෙල් පොතේ තියෙන අනාවැකි දෙකක් ගැන බලමු. ඒ අනාවැකි අපේ කාලේ ඉටු වෙන ඒවා. ඥානවන්ත තීරණ ගන්න ඒවා අධ්‍යයනය කරන එක අපිට උදව් වෙනවා.
මැටි සහ යකඩ කලවම් වුණ පාද
12. ‘මැටි සහ යකඩ කලවම්’ වුණ පාදවලින් සංකේතවත් වෙන්නේ මොකක්ද? (දානියෙල් 2:41-43)
12 දානියෙල් 2:41-43 කියවන්න. නෙබුකද්නෙෂර් රජ හීනයකින් දැකපු විශාල රූපයේ පාද කොටස හැදිලා තිබුණේ ‘මැටි සහ යකඩ කලවම්’ වෙලයි. මේ අනාවැකියයි, දානියෙල් සහ එළිදරව් පොත්වල තියෙන අනිත් අනාවැකියි බැලුවාම අපිට තේරෙනවා ඒ පාදවලින් නියෝජනය වෙන්නේ මේ කාලේ ලෝක බලවතා විදිහට ඉන්න බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය කියලා. දානියෙල් කියන විදිහට ‘ඒ රාජ්‍යයේ සමහර කොටස් බිඳෙනසුලුයි. තවත් කොටස් ශක්තිමත්.’ ඇයි සමහර කොටස් බිඳෙනසුලු? මොකද මැටිවලින් නියෝජනය වෙන සාමාන්‍ය මිනිස්සු කරන දේවල් නිසා යකඩ වගේ ශක්තිමත් ඒ අධිරාජ්‍යයේ බලය දුර්වල වෙලා තියෙනවා. b
13. මේ අනාවැකියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොන වගේ වැදගත් සත්‍යයන්ද?
13 දානියෙල් පැහැදිලි කරලා දුන්න අතිවිශාල රූපයෙන්, විශේෂයෙන්ම ඒකේ පාද කොටසෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (1) එක පැත්තකින් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය ගොඩක් බලවත්. උදාහරණෙකට පළවෙනි සහ දෙවෙනි ලෝක මහා යුද්ධ දිනන්න ඒ රටවල් දෙකෙන් ලොකු සහයෝගයක් ලැබුණා. හැබැයි අනිත් පැත්තෙන් ඒ රටවල්වල ඉන්න පුරවැසියන් අතර තියෙන ගැටුම් නිසා ඒ අධිරාජ්‍යය දුර්වල වෙලා තියෙනවා. ඉස්සරහට ඒක තව තවත් දුර්වල වෙනවා. (2) දේවරාජ්‍යයෙන් පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම විනාශ කරලා දාද්දී ලෝක බලවතා විදිහට ඉන්නේ මේ අධිරාජ්‍යයයි. සැරින් සැරේට එක එක රටවල් ඒ අධිරාජ්‍යය පරද්දන්න උත්සාහ කළත් ඒවා සාර්ථක වෙන්නේ නැහැ. අපි කොහොමද ඒක දන්නේ? නෙබුකද්නෙෂර් දැකපු හීනේ “ගල” ඇවිල්ලා වදින්නේ රූපයේ පාද කොටසට. ඒකෙන් පැහැදිලියි “ගලෙන්” නියෝජනය වෙන දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන්න පටන්ගද්දී බලයේ ඉන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය කියලා.—දානි. 2:34, 35, 44, 45.
14. යකඩ සහ මැටි පාද ගැන තියෙන අනාවැකිය හොඳ තීරණ ගන්න අපිට උදව් වෙන්නේ කොහොමද?
14 යකඩ සහ මැටි කලවම් වුණ පාද ගැන තියෙන අනාවැකිය ඔයාට විශ්වාසද? එහෙනම් ඔයා ජීවත් වෙන විදිහෙන් ඒක පේන්න ඕනේ. ඔයාට ඒ අනාවැකිය විශ්වාස නම් ළඟදීම නැති වෙලා යන මේ ලෝකේ ආරක්ෂාව පතාගෙන ඔයා ධන සම්පත් පස්සේ යන්නේ නැහැ. (ලූක් 12:16-21; 1 යොහ. 2:15-17) ඒ වගේම දේශනා කරන සහ උගන්වන වැඩේ කොච්චර වැදගත්ද කියන එකත් ඔයා තේරුම්ගන්නවා. (මතෙ. 6:33; 28:18-20) ඒ අනාවැකිය අධ්‍යයනය කළාට පස්සේ ඔයාට පුළුවන් මෙහෙම හිතන්න. ‘දේවරාජ්‍යයෙන් ළඟදීම මේ ආණ්ඩු නැති කරනවා කියන එක මට විශ්වාසයි කියලා මගේ තීරණවලින් පේනවාද?’
උතුරේ රජ සහ දකුණේ රජ
15. මේ කාලේ “උතුරේ රජ” සහ “දකුණේ රජ” කවුද? (දානියෙල් 11:40)
15 දානියෙල් 11:40 කියවන්න. දානියෙල් 11වෙනි පරිච්ඡේදයේ රජවරු දෙන්නෙක් ගැන, ඒ කියන්නේ දේශපාලන බලයන් දෙකක් ගැන කතා කරනවා. මේ දෙගොල්ලොම ලෝකේ බලය අල්ලගන්න එකිනෙකා එක්ක තරඟ කරනවා. මේ අනාවැකිය සහ බයිබලේ තියෙන අනිත් අනාවැකි සලකලා බැලුවාම අපිට තේරෙනවා “උතුරේ රජ” කියන්නේ රුසියාව සහ ඒකට සහයෝගය දෙන රටවල් කියලා. “දකුණේ රජ” බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යයයි. c
16. “උතුරේ රජගේ” පාලනය යටතේ ඉන්න අය මුහුණ දෙන්නේ මොනවාටද?
16 “උතුරේ රජ” එයාගේ පාලනය යටතේ ජීවත් වෙන දෙවියන්ගේ සෙනඟට දිගටම පීඩා කරනවා. විශ්වාසය නිසා සමහරුන්ට පහර කන්න වෙලා තියෙනවා. තවත් අයව හිරේ දාලා. හැබැයි “උතුරේ රජගේ” අඩන්තේට්ටම්වලට ලක් වෙන සහෝදරයන් මේවා නිසා බය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒකෙන් එයාලාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. මොකද එයාලා දන්නවා මේ හැම දේකින්ම ඉටු වෙන්නේ දානියෙල්ගේ අනාවැකිය කියලා. d (දානි. 11:41) ඒක දැනන් ඉන්න එක අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගෙන දිගටම විශ්වාසවන්තව ඉන්න අපිටත් ලොකු හයියක්!
17. “දකුණේ රජගේ” පාලනය යටතේ ජීවත් වෙන අය මුහුණ දීලා තියෙන්නේ මොනවාටද?
17 “දකුණේ රජත්” කාලෙකට කලින් දෙවියන්ගේ සෙනඟට කෙළින්ම පහර දීලා තියෙනවා. උදාහරණෙකට 20වෙනි සියවසේ මුල් හරියේදී දේශපාලනයට සහයෝගය දෙන්නේ නැති නිසා හුඟක් සහෝදරයන්ව හිරගත කළා. අපේ සමහර දරුවන්ව ඉස්කෝලෙන් අස් කළා. හැබැයි මෑත කාලවලදී දකුණේ රජ පාලනය කරන රටවල්වල ඉන්න දෙවියන්ගේ සෙනඟට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ වෙනස්ම අභියෝගවලට. උදාහරණෙකට ඡන්ද කාලවලදී එක පක්ෂයකට, එක අපේක්ෂකයෙක්ට සහයෝගය දෙන්න ක්‍රිස්තියානියෙක්ට ලොකු පෙලඹීමක් එන්න පුළුවන්. ඇත්ත, අපි කෙළින්ම ගිහිල්ලා ඡන්දේ දාන්නේ නැහැ. ඒත් ‘මේ පක්ෂය, මේ නායකයා බලයට ආවා නං හොඳයි’ කියලා හිතලා හිතින් පැත්තක් ගන්න පෙලඹෙන්න පුළුවන්. ඒකෙන් තේරෙනවා දේශපාලනික කාරණාවලදී පැති නොගෙන ඉන්න නම් කරන දේවල් ගැන විතරක් නෙවෙයි හිතන දේවල් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ කියලා.—යොහ. 15:18, 19; 18:36.
18. මේ රජවරු දෙන්නා කරන සටන ගැන අපි බය වෙන්න ඕනෙද? පැහැදිලි කරන්න. (පින්තූරයත් බලන්න.)
18 ‘දකුණේ රජ උතුරේ රජට විරුද්ධව පියවර ගන්නවා’ දකිද්දී බයිබල් අනාවැකි ගැන කිසිම විශ්වාසයක් නැති අය හුඟක් බය වෙනවා. (දානි. 11:40) මොකද මිනිස්සුන්ව විතරක් නෙවෙයි මිහිපිට ඉන්න හැම ජීවියෙක්ම වුණත් නැති කරලා දාන්න තරම් න්‍යෂ්ටික අවිආයුධ ඒ රජවරු දෙන්නා ගාවම තියෙනවා. හැබැයි අපි දන්නවා යෙහෝවා කවදාවත් ඒ වගේ විනාශයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. (යෙසා. 45:18) ඉතින් ‘උතුරේ රජයි, දකුණේ රජයි’ අතරේ තියෙන අරගලය දැකලා අපි කලබල වෙන්නේ නැහැ. ඒ වෙනුවට විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න අපි ඒක අවස්ථාවක් කරගන්නවා. මොකද අවසානය දොරකඩටම ඇවිත්!
දිගටම අනාවැකිවලට අවධානය දෙන්න
19. බයිබල් අනාවැකි ගැන අපි තේරුම්ගන්න ඕනෙ මොනවාද?
19 සමහර අනාවැකි ඉටු වෙන්නේ කොහොමද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් දානියෙල් ලියපු සමහර අනාවැකිවල තේරුම එයාවත් දැනන් හිටියේ නැහැ. (දානි. 12:8, 9) හැබැයි අනාවැකියක් ඉටු වෙන්නේ කොහොමද කියලා අපිට තේරුණේ නැහැ කියලා ඒ අනාවැකිය ඉටු නොවී තියෙයිද? නැහැ නේද? ඒත් අපිට හොඳටම විශ්වාසයි හරිම වෙලාවට අපිට අවශ්‍යම තොරතුරු යෙහෝවා දැනුම් දෙයි කියලා. මොකද ඔහු අතීතයේදීත් ඒ දේ කළා.—ආමො. 3:7.
20. ළඟදීම ඉටු වෙන්නේ මොන අනාවැකිද? අපි දිගටම කරන්න ඕනෙ මොනවාද?
20 ළඟදීම “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා ප්‍රකාශයක් අපිට අහන්න ලැබෙනවා. (1 තෙස. 5:3) ඊටපස්සේ ලෝක පාලකයන් බොරු ආගම්වලට පහර දීලා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. (එළි. 17:16, 17) ඊළඟට එයාලා පහර දෙන්නේ දෙවියන්ගේ සෙනඟට. (එස. 38:18, 19) ඒත් එක්කම හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්නවා. (එළි. 16:14, 16) මේ හැම දෙයක්ම වෙන්න තව වැඩි දවසක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා දැන් ඉඳන්ම බයිබල් අනාවැකිවලට දිගටම අවධානය දෙමු. ඒවා තේරුම්ගන්න අනිත් අයටත් උදව් කරමු. එහෙම කරන එකෙන් අපි පෙන්නන්නේ ඉස්සරහට වෙන දේවල් අපිට කල්තියාම දැනුම් දුන්න අපේ ආදරණීය දෙවියන් ගැන අපේ හිතේ තියෙන අගයයි.
ගීතිකාව 95 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
a මේ ලෝකේ එන්න එන්නම දරුණු අතට හැරෙනවා. ඒත් අපි බයිබලේ තියෙන අනාවැකි අධ්‍යයනය කරන නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ හැම දෙයක්ම ළඟදී සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා. අපි මේ ලිපියෙන් බලනවා බයිබල් අනාවැකි ගැඹුරින් අධ්‍යයනය කරන්න අපිට තියෙන හොඳ හේතු මොනවාද කියලා. ඒ වගේම දානියෙල් පොතේ වාර්තා වෙන අනාවැකි දෙකක් ගැනත් ඒවා තේරුම්ගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් අපි බලනවා.