Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 14

ඔයාට භාර දීලා තියෙන දේවසේවය සම්පූර්ණයෙන්ම කරන්න

ඔයාට භාර දීලා තියෙන දේවසේවය සම්පූර්ණයෙන්ම කරන්න

“ශුභාරංචිය දේශනා කරන කෙනෙකුගේ කාර්යයෙහි නිරත වන්න. ඔබට පවරා ඇති දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.”—2 තිමෝ. 4:5.

ගීතිකාව 57 සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

මේ ලිපියෙන් *

යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ඔහුගේ අනුගාමිකයන්ව හම්බ වෙන්න ඇවිත් ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’ කියන ආඥාව දුන්නා (1 ඡේදය බලන්න)

1. දෙවියන්ගේ හැම සේවකයෙක්ටම ඕනෙ මොකක් කරන්නද? ඒ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

“ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියන ආඥාව යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන්නා. (මතෙ. 28:19) අපි හැමෝටම ඕනෙ අපිට භාර දුන්න ඒ කාර්යය “සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” ඉගෙනගන්නයි. (2 තිමෝ. 4:5) ඒ කාර්යය තරම් වැදගත්, ප්‍රයෝජනවත් කාර්යයක් තවත් නැහැ. ඒක කල් දදා ඉන්න පුළුවන් කාර්යයකුත් නෙමෙයි. ඒත් අපි කැමති තරම් කාලයක් සේවය වෙනුවෙන් යොදවන්න සමහරවිට අපිට අමාරු ඇති.

2. අපි මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?

2 අපේ කාලය සහ ශ්‍රමය යොදවන්න වෙන තව වැදගත් දේවල් ජීවිතේ තියෙනවා. අපිටත් අපේ පවුලේ අයටත් ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් ලබාගන්න නිසා දවසකට පැය ගාණක් අපිට රැකියාවක් කරන්න වෙයි. සමහරවිට පවුලේ හුඟක් වගකීම් අපේ කරපිට පැටවිලා ඇති. එහෙම නැත්නම් අපි අසනීපයකින්, මානසික පීඩනයෙන් පෙළෙනවා ඇති. වයසට යන නිසා අබලදුබලතාවලට මුහුණ දෙනවා ඇති. ඒ වගේ අභියෝග මැද වුණත් අපේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න අපිට පුළුවන් කොහොමද?

3. මතෙව් 13:23 යේසුස් කියපු දෙයින් අපි තේරුම්ගන්නේ මොකක්ද?

3 අපි මුහුණ දෙන අභියෝග නිසා හිතේ හැටියට සේවය කරන්න අපිට අමාරුයි නම් ඒ ගැන හිතලා අධෛර්යය වෙන්න එපා. අපි හැමෝටම එකම විදිහට පල දරන්න බැහැ කියලා යේසුස් දැනන් හිටියා. (මතෙව් 13:23 කියවන්න.) දේවසේවය වෙනුවෙන් අපි කරන දේ මොකක් වුණත් ඒක අපේ උපරිමය නම් යෙහෝවා දෙවියන් ඒක හුඟක් අගය කරනවා. (හෙබ්‍රෙ. 6:10-12) අනිත් අතට කෙනෙක්ට හිතෙයි එයා දැන් කරනවාට වඩා වැඩියෙන් සේවයේ හවුල් වෙන්න එයාට පුළුවන් කියලා. දේවසේවයට අපේ ජීවිතේ මුල් තැන දෙන්න පුළුවන් කොහොමද කියලත් අනවශ්‍ය දේවලින් අපේ ජීවිත පුරවගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලත් දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ හැකියාව තව දියුණු කරගන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු. ඒත් මුලින් අපි බලමු දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා.

4. දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

4 දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරනවා කියන්නේ දේශනා කරන සහ උගන්වන කාර්යයේ අපි පුළුවන් උපරිමෙන් හවුල් වෙනවා කියන එකයි. ඒත් ඒකට ඇතුළත් වෙන්නේ දේවසේවය වෙනුවෙන් අපි වැය කරන කාලය විතරක් නෙමෙයි. අපි ඒ සේවයේ හවුල් වෙන චේතනාවත් වැදගත්. යෙහෝවා දෙවියන්ටත් අසල්වැසියන්ටත් අපේ හිතේ තියෙන ආදරේ නිසයි අපි දේවසේවය * වෙනුවෙන් අපේ උපරිමය දෙන්නේ. (මාක් 12:30, 31; කොලො. 3:23) දේශනා සේවයේ හවුල් වෙන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව අපි අගය කරනවා නම් පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය කියන්න අපි උත්සාහ කරනවා.

5-6. සේවය වෙනුවෙන් දෙන්න පුළුවන් කාලය සීමා වුණත් දේශනා සේවයට මුල් තැන දෙන්න පුළුවන් කොහොමද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.

5 ගිටාර් ගහන්න ආස තරුණයෙක් ගැන හිතන්න. එයා පුළුවන් හැම වෙලාවකම ගිටාර් එක ගහනවා. ඔය අතරේ රෙස්ටුරන්ට් එකක සති අන්තයේ ගිටාර් ගහන රැකියාවක් එයාට හම්බ වෙනවා. ඒත් එයාගේ වියදම් පියවගන්න ඒකෙන් ලැබෙන මුදල මදි. ඒ නිසා එයා සතියේ දවස් 5ක් කඩේක කැෂියර් කෙනෙක් විදිහට රැකියාවක් කරනවා. එයා එයාගේ කාලයෙන් වැඩි හරියක් ගත කරන්නේ ඒ කඩේ රස්සාව කරන්න වුණත් එයාගේ හිත තිබුණේ සංගීතයේ. එයාට ඕනෙ දක්ෂ විදිහට ගිටාර් ගහන්න තව ඉගෙනගෙන සංගීතඥයෙක් වෙන්නයි. දැන් වුණත් එයාට ඉඩක් ලැබෙන හැම වෙලාවකම එයා ගිටාර් එක ගහනවා.

6 ඒ වගේ සමහරවිට ඔයාටත් ඔයාගේ හිතේ හැටියට දේශනා සේවය වෙනුවෙන් කාලය දෙන්න බැරුව ඇති. ඒත් ඒක තමයි ඔයා කරන්න ආසම කාර්යය. ඒ නිසා මිනිසුන්ගේ හදවතට කාවදින විදිහට දේශනා කරන්න ඔයාට තියෙන හැකියාව තව දියුණු කරගන්න ඔයා උත්සාහ කරනවා. ඔයාට කරන්න තියෙන අනිත් වැඩත් එක්ක දේශනා සේවයට ඔයාගේ ජීවිතේ වැදගත්ම තැන දෙන්නේ කොහොමද?

දේවසේවයට ජීවිතේ මුල් තැන දෙන්න

7-8. යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

7 යේසුස් දේවසේවය සැලකුවේ තමන්ගේ ජීවිතේ වැදගත්ම දේ විදිහට. ඒ නිසයි ඔහු ලැබුණ හැම අවස්ථාවකදීම දේවරාජ්‍යය ගැන මිනිසුන්ට කිව්වේ. (යොහ. 4:34, 35) පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කරන්න නිසා ඔහු කිලෝමීටර් 100 ගාණක් දුර ඇවිද්දා. පොදු ස්ථානවලදී, ගෙවල්වලදී මිනිසුන්ට කතා කරන්න ඔහු අවස්ථා හෙව්වා. යේසුස් ජීවත් වුණ විදිහෙන් ඔහු දේවසේවයට මුල් තැන දීලා තියෙනවා කියලා හොඳින්ම පැහැදිලි වුණා.

8 අපිත් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් ඕනෙම වෙලාවකදී, ඕනෙම තැනකදී ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් අවස්ථාවන් හොයනවා. දේශනා සේවය වෙනුවෙන් ඕනෙම දෙයක් අපි කැප කරනවා. (මාක් 6:31-34; 1 පේතෘ. 2:21) සභාවේ ඉන්න සමහරුන්ට පුළුවන් වෙලා තියෙනවා විශේෂ, ස්ථාවර හෝ සහායක පුරෝගාමි සේවය කරන්න. තවත් අය වෙනත් භාෂාවක් ඉගෙනගෙන තියෙනවා. සමහරු ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරනවා. ඒත් දේශනා කිරීමේ කාර්යයෙන් වැඩි කොටසක් කරන්නේ ඒ වගේ විශේෂ විදිවලින් සේවය කරන අය නෙමෙයි, තමන්ගේ උපරිමයෙන් සේවයේ හවුල් වෙන ප්‍රචාරකයනුයි. අපි දන්නවා යෙහෝවා දෙවියන් අපිට පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. “ප්‍රීතිමත් දෙවිගෙන් ලැබුණු තේජවත් ශුභාරංචිය” දේශනා කරද්දී අපි හැමෝම ඒක සතුටින් කරනවා දකින්නයි දෙවියන් කැමති.—1 තිමෝ. 1:11; ද්වි. 30:11.

9. (අ) රැකියාවක් කරන්න වුණත් පාවුල් දේශනා සේවයට මුල් තැන දුන්නේ කොහොමද? (ආ) දේශනා සේවය ගැන පාවුල්ට හැඟුණ විදිහ ක්‍රියා 28:16, 30, 31 පැහැදිලි වෙන්නේ කොහොමද?

9 ජීවිතේ මුල් තැන දේශනා සේවයට දුන්න තව කෙනෙක් තමයි පාවුල්. දෙවෙනි මිෂනාරි ගමනේදී කොරින්තියට ගිය වෙලාවේ තමන්ගේ අවශ්‍යතා පිරිමහගන්න ඕනෙ කරපු මුදල් තිබුණේ නැති නිසා පාවුල් කූඩාරම් හදන රැකියාවක නිරත වුණා. ඒත් එයාගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ රැකියාව නෙමෙයි. එයා ඒක කළේ අනිත් අයට බරක් නොවී දිගටම ශුභාරංචිය දේශනා කරන්න එයාට ඕනෙ වුණ නිසයි. (2 කොරි. 11:7) රැකියාවක් කරන්න සිද්ධ වුණත් පාවුල් දිගටම දේවසේවයට මුල් තැන දුන්නා. එයා හැම සබත් දවසකම දේශනා කළා. එයාගේ තත්වයන් වෙනස් වුණාම එයා තව වැඩියෙන් දේවසේවයේ හවුල් වුණා. එයා ‘වෙහෙස මහන්සි නොබලා ඉතා උද්‍යෝගයෙන් දෙවිගේ පණිවිඩය ගැන කතා කළා. එයා යුදෙව්වන්ට පැහැදිලි සාක්ෂි සපයමින් ඔප්පු කළේ යේසුස් ඇත්තෙන්ම ක්‍රිස්තුස් බවයි.’ (ක්‍රියා 18:3-5; 2 කොරි. 11:9) පස්සේ කාලෙකදී එයාට සිද්ධ වුණා රෝමයේ අවුරුදු 2ක් නිවාස අඩස්සියේ ඉන්න. ඒ කාලේදීත් පාවුල් එයාව බලන්න ආපු අයට දේශනා කළා. සභාවලට ලිපි ලිව්වා. (ක්‍රියා 28:16, 30, 31 කියවන්න.) කිසිම දෙයක් නිසා පාවුල් දේවසේවය එයාගේ ජීවිතේ දෙවෙනි තැනට දැම්මේ නැහැ. එයා මෙහෙම කිව්වා. “අපට මේ සේවය භාර දී තිබේ. අප අපගේ උත්සාහය අත් නොහැරීමට හේතුව එයයි.” (2 කොරි. 4:1) රැකියාව වෙනුවෙන් අපිට කාලේ දෙන්න වුණත් අපිටත් පුළුවන් පාවුල් වගේ දේවසේවය ජීවිතේ වැදගත්ම දේ කරගන්න.

දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න හුඟක් විදි තියෙනවා (10 සහ 11 ඡේද බලන්න)

10-11. සෞඛ්‍ය ගැටලු තිබුණත් දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න අපිට පුළුවන් කොහොමද?

10 මහලු වයස නිසා හෝ අසනීප තත්වයක් නිසා අපි ආස තරම් ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න අපිට බැරි වුණත් වෙනත් විදිවලින් දේශනා කරන්න අපිට පුළුවන්. මුල් සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් මිනිසුන්ව මුණගැහුණු ඕනෙම තැනක, ඕනෙම වෙලාවක එයාලට ශුභාරංචිය ගැන කතා කළා. එයාලා ගෙයින් ගෙට සේවයේ ගියා. පොදු තැන්වල දේශනා කළා. අවිධිමත්ව සාක්ෂි දැරුවා. (ක්‍රියා 17:17; 20:20) අපේ අසනීප තත්වය නිසා අපිට ඇවිදින්න අමාරුයි නම් සෙනඟ ගැවසෙන තැනක ඉඳගෙන යන එන අයට දේශනා කරන්න අපිට පුළුවන්. එහෙම නැත්නම් අවිධිමත්ව සාක්ෂි දරන්න පුළුවන්. ලිපි මාර්ගයෙන්, දුරකථනය මාර්ගයෙන් සාක්ෂි දරන්නත් පුළුවන්. අසනීප තත්වයන් හෝ වෙනත් හේතු නිසා ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න අමාරු හුඟක් ප්‍රචාරකයන් ඒ වගේ විදිවලින් ශුභාරංචිය දේශනා කරලා ලොකු සතුටක් ලබනවා.

11 සෞඛ්‍ය ගැටලු තිබුණත් ඔයාට පුළුවන් දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න. පාවුල් ගැන ආයෙත් හිතන්න. එයා මෙහෙම කිව්වා. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.” (ෆිලි. 4:13) පාවුල් ගිය එක මිෂනාරි ගමනකදී එයා අසනීප වුණා. ඒත් අත් නෑර ශුභාරංචිය දේශනා කරන්න දෙවියන් එයාට ශක්තිය දුන්නා. එයා ගලාතිවරුන්ට මෙහෙම කිව්වේ ඒ නිසයි. “මා පළමු වරට ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ අවස්ථාව ඔබට මතක ඇති. ඒ මා අසනීප වී සිටි අවස්ථාවකදීය.” (ගලා. 4:13) ඔයාට තියෙන සෞඛ්‍ය ගැටලු නිසා සමහරවිට ඔයාට අවස්ථාව හම්බ වෙයි වෛද්‍යවරුන්ට, නර්ස්ලාට, සාත්තු සේවා සපයන වෙනත් අයට දේශනා කරන්න. හුඟක් වෙලාවට ප්‍රචාරකයන් ගෙයින් ගෙට සේවයේ යද්දී ඒ වගේ රැකියාවන් කරන අය ගෙවල්වල නැහැ. ඒත් එයාලට ශුභාරංචිය ගැන කියන්න ඔයාට අවස්ථාව තියෙනවා.

අනවශ්‍ය දේවලින් ජීවිතේ බර කරගන්න එපා

12. ‘ඇස වෙනතකට යොමු කරන්න එපා’ කියද්දී අදහස් කරන්නේ මොකක්ද?

12 යේසුස් මෙහෙම කිව්වා. “ඇස ශරීරයට පහනක් හා සමානයි. එමනිසා ඔබේ ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කර තැබුවොත් එයින් ඔබේ මුළු ජීවිතයම ආලෝකවත් වෙයි.” (මතෙ. 6:22) යේසුස් ඒකෙන් අදහස් කළේ අපි අපේ ජීවිත අනවශ්‍ය දේවලින් බර කරගන්නේ නැතුව එක දෙයක් වෙතට මනස යොමු කරලා තියාගන්න ඕනෙ කියලයි. යේසුස් ඒක කළා. ඔහු සම්පූර්ණ අවධානය දුන්නේ දේශනා සේවයට. දෙවියන්ටත් දෙවියන්ගේ රාජ්‍යයටත් මුල් තැන දීලා වැඩ කරන්න කියලා ඔහු ඔහුගේ අනුගාමිකයන්ටත් කිව්වා. අපිත් ‘නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් අපේ ජීවිතේ මුල් තැන දෙනවා’ නම් අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව.—මතෙ. 6:33.

13. දේවසේවයට අපේ මනස යොමු කරලා තියාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

13 දේවසේවයට අපේ මනස යොමු කරලා තියාගන්න පුළුවන් එක විදිහක් තමයි එච්චර වැදගත් නැති දේවලට ලොකු කාලයක් නොදී ඉන්න එක. එතකොට දෙවියන්ට ළං වෙන්න මිනිසුන්ට උදව් කරන්න අපිට වැඩි කාලයක් දෙන්න පුළුවන්. * උදාහරණෙකට සතියේ දවස්වලත් දේශනා සේවයේ හවුල් වෙන්න පුළුවන් වෙන විදිහට අපි රැකියාව කරන පැය ගාණේ යම් වෙනසක් කරන්න අපිට පුළුවන්ද? වැඩි කාලයක් සොරාගන්න විනෝදාංශවල අඩුවෙන් යෙදෙන්න අපිට පුළුවන්ද?

14. සේවය වෙනුවෙන් වැඩි කාලයක්, අවධානයක් දෙන්න නිසා යුවළක් කළේ මොන වගේ වෙනස්කම්ද?

14 එලියස් කියන වැඩිමහල්ලත් එයාගේ බිරිඳත් කරපු දේ බලන්න. එලියස් මෙහෙම කියනවා. “අපිට එකපාරටම පුරෝගාමි සේවේ පටන්ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒත් පොඩි පොඩි වෙනස්කම් කරගත්තොත් තව වැඩියෙන් සේවේ හවුල් වෙන්න පුළුවන් කියලා අපිට තේරුණා. උදාහරණෙකට අපි අපේ වියදම් අඩු කරගත්තා. අපි සෑහෙන කාලයක් විනෝදාංශ වෙනුවෙන් යොදවනවා කියලා තේරුණාම ඒකත් අඩු කළා. අපි රැකියා කරන තැන්වල ප්‍රධානීන්ගෙන් අහලා වැඩ කරන වෙලාවේ යම් වෙනසක් කරගත්තා. එහෙම කරපු නිසා හවස සේවේ හවුල් වෙන්නත් තව බයිබල් පාඩම් පවත්වන්නත් මාසෙකට දවස් 2ක් සතියේ දවස්වල සේවේ හවුල් වෙන්නත් අපිට පුළුවන් වුණා. සේවේ නිසා අපි ලැබුවේ ලොකු සතුටක්.”

දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ හැකියාව තව දියුණු කරගන්න

සති මැද රැස්වීමෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගද්දී සේවය තව හොඳින් කරන්න අපි පුහුණු වෙනවා (15 සහ 16 ඡේද බලන්න) *

15-16. 1 තිමෝති 4:13, 15 කියන විදිහට දේශනා කිරීමේ කාර්යය තවත් හොඳින් කරන්න පුහුණු වෙන්න අපිට පුළුවන් කොහොමද? (“ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න මට තියන්න පුළුවන් ඉලක්ක” කියන කොටුවත් බලන්න.)

15 අපේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න පුළුවන් තව විදිහක් තමයි දේශනා කිරීමේ කාර්යය තවත් හොඳින් කරන්න පුහුණු වෙන එක. සමහර ක්ෂේත්‍රවල රැකියා කරන අයගෙන් බලාපොරොත්තු වෙනවා එයාලා දිගටම පුහුණු පාඨමාලාවලට හවුල් වෙලා දැනුම සහ හැකියාව තව වැඩි කරගනියි කියලා. ශුභාරංචිය දේශනා කරන අය විදිහට අපි කරන්න ඕනෙත් ඒ දේමයි. දේශනා සේවයේ දක්ෂ විදිහට හවුල් වෙන්න අපි දිගටම හොඳ පුහුණුවක් ලබාගන්න ඕනේ.—හිතෝ. 1:5; 1 තිමෝති 4:13, 15 කියවන්න.

16 ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීමෙන් හොඳින් ප්‍රයෝජන ගන්න එක. හොඳින් දේශනා කරන්න අපිට තියෙන හැකියාවන් ටිකෙන් ටික දියුණු කරගන්න ඒ රැස්වීමෙන් අපිට හොඳ පුහුණුවක් ලැබෙනවා. උදාහරණෙකට ශිෂ්‍ය පැවරුම් දෙන අයට සභාපති යම් මඟ පෙන්වීම්, යෝජනා දෙද්දී ඒවා අපිට අදාළ කරගන්න පුළුවන් විදි ගැන හිතන්න. ඊළඟ පාර සේවයේ යද්දී ඒ මඟ පෙන්වීම්, යෝජනා අදාළ කරගන්න අපිට පුළුවන්. අපේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායම භාර සහෝදරයාගෙන් උදව් ඉල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාත් එක්ක, අද්දැකීම් තියෙන තව ප්‍රචාරකයෙක් එක්ක, පුරෝගාමියෙක් එක්ක, චාරිකා සේවක එක්ක සේවයේ යන්නත් අපිට පුළුවන්. ඉගැන්වීම් කට්ටලයේ තියෙන හැම දෙයක්ම සේවයේදී හොඳින් පාවිච්චි කරන්න පුරුදු වෙද්දී සේවයෙන් වැඩි සතුටක් ලබන්න අපිට පුළුවන්.

17. දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරද්දී ඔයාට කොහොම හැඟෙයිද?

17 යෙහෝවා දෙවියන් ඔහුගේ “හවුල් වැඩකරුවන්” වෙන්න අපිට අවස්ථාව දීපු එක මොන තරම් වරප්‍රසාදයක්ද! (1 කොරි. 3:9) “වඩා වැදගත් දේවල් මොනවාද කියලා” තේරුම් අරන් දේවසේවයට අපේ මනස යොමු කරද්දී “සතුටින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න” අපිට පුළුවන්. (ෆිලි. 1:10; ගීතා. 100:2) ඔයාට මොන අභියෝගයන්ට මුහුණ දෙන්න වුණත් ඔයාගේ සේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් ඔයාට දෙනවා කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන්. (2 කොරි. 4:1, 7; 6:4) ඔයා ඉන්න තත්වයට අනුව සමහරවිට සේවය වෙනුවෙන් ඔයාට ලොකු කාලයක් දෙන්න පුළුවන් ඇති. සමහරවිට ඔයාට එහෙම කරන්න බැරුව ඇති. ඒ මොන තත්වයේ ඔයා හිටියත් ඔයා ඔයාගේ උපරිමය සේවය වෙනුවෙන් දෙනවා නම් ඔයාට පුළුවන් ඒ ගැන සතුටු වෙන්න. (ගලා. 6:4) දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න ඔයා උත්සාහ කරද්දී ඔයා පෙන්නන්නේ ඔයාගේ හිතේ යෙහෝවා දෙවියන් ගැනත් අනිත් මනුෂ්‍යයන් ගැනත් ලොකු ආදරයක් තියෙනවා කියලයි. ඔයා කරන කාර්යය නිසා ‘ඔයාටත් ඔයාට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙයි.’—1 තිමෝ. 4:16.

ගීතිකාව 58 සොයමු සාමයට ළැදි අයව

^ 5 ඡේ. ශුභාරංචිය දේශනා කරන්න කියලත් මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන්න කියලත් යේසුස් අපිට ආඥා කළා. අපිට මොන ප්‍රශ්න අභියෝග තිබුණත් අපිට භාර දුන්න දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා. දේශනා සේවය තව දක්ෂ විදිහට කරලා වැඩි සතුටක් ලබන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

^ 4 ඡේ. පැහැදිලි කිරීමක්: දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යයට අමතරව නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා, බෙතෙල් නිවාස, ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල ඉදි කිරීම සහ ඒවා නඩත්තු කිරීම වගේම ආපදාවලදී සහන සේවා වැඩවලට හවුල් වීම අපේ දේවසේවයට ඇතුළත් වෙනවා.—2 කොරි. 5:18, 19; 8:4.

^ 13 ඡේ. 2016 ජූලි ‘මුරටැඹ’ කලාපයේ 10වෙනි පිටුවේ පළ වුණ “සරල වෙන්න පුළුවන් විදි” කියන කොටුවේ දීලා තියෙන යෝජනා 7 බලන්න.

^ 62 ඡේ. පින්තූරවල අදහස: සහෝදරියක් සති මැද රැස්වීමේදී නැවත බැලීමක් කරන විදිහ නිරූපණය කරමින්. සභාපති උපදෙස්, යෝජනා දෙද්දී ඒ සහෝදරිය ඒවා එයාගේ ‘උගන්වන’ පොතේ සටහන් කරගන්නවා. රැස්වීමෙන් ඉගෙනගත්ත දේවල් සති අන්තයේ සේවයේ යද්දී ඒ සහෝදරිය අදාළ කරගන්නවා.