Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 17

භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න

භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න

‘අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය.’—එෆී. 6:12.

ගීතිකාව 55 ඔවුන්ට බිය නොවන්න!

මේ ලිපියෙන් *

1. එෆීස 6:10-13 පෙන්නන විදිහට යෙහෝවා දෙවියන් අපි ගැන සැලකිලිමත් කියලා පෙන්නන එක විදිහක් මොකක්ද? පැහැදිලි කරන්න.

යෙහෝවා දෙවියන්ගේ සේවකයන් වන අපි ගැන දෙවියන් කොච්චර සැලකිලිමත්ද කියලා පෙන්නන එක විදිහක් තමයි අපේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔහු අපිට උදව් කරන එක. සාතන් සහ භූතයන් තමයි අපේ ප්‍රධානම සතුරන්. ඒ සතුරන් ගැන යෙහෝවා දෙවියන් අපිට අනතුරු අඟවනවා වගේම එයාලට විරුද්ධව සටන් කරන්නේ කොහොමද කියලත් ඔහු අපිට කියලා දෙනවා. (එෆීස 6:10-13 කියවන්න.) අපි දෙවියන්ගේ උදව් පිළි අරන් ඔහු ගැන සම්පූර්ණ විශ්වාසය තියලා වැඩ කරනවා නම් සාතන්ට විරුද්ධව ඉන්න අපිට පුළුවන්. ‘දෙවි අපගේ පැත්තේ නම් අපිට විරුද්ධව ඉන්න’ කාටවත් බැහැ.—රෝම 8:31.

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි වැඩි අවධානයක් දෙන්නේ යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගෙන ඔහුට කරන සේවයට මිසක් සාතන් සහ භූතයන් කරන දේවලට නෙමෙයි. (ගීතා. 25:5) ඒත් සාතන්ගේ කපටි උගුල්වලට අහු නොවී ඉන්න නම් සාතන් කරන දේවල් ගැන අපි යම් දුරකට දැනුවත් වෙලා ඉන්න ඕනේ. (2 කොරි. 2:11) සාතන් සහ භූතයන් මිනිසුන්ව රවට්ටන ප්‍රධාන විදිහක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. එයාලට විරුද්ධව අපිට සටන් කරන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

භූතයන් මිනිසුන්ව නොමඟ යවන්නේ කොහොමද?

3-4. (අ) භූතවාදය කියන්නේ මොකක්ද? (ආ) භූතවාදය කොයි තරම් දුරට පැතිරිලාද?

3 සාතන් සහ භූතයන් මිනිසුන්ව නොමඟ යවන්න පාවිච්චි කරන ප්‍රධානම දෙයක් තමයි භූතවාදය. භූතවාදයේ යෙදෙන අය කියනවා සාමාන්‍යයෙන් මිනිසුන්ට දැනගන්න බැරි දේවල් දැනගන්න, මිනිසුන්ට කරන්න බැරි දේවල් කරන්න එයාලට පුළුවන් කියලා. උදාහරණෙකට සමහරු කියනවා පේන කීම හෝ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය මාර්ගයෙන් අනාගතය ගැන දැනගන්න එයාලට පුළුවන් කියලා. තවත් අය මැරුණු අය එක්ක තමන්ට කතා කරන්න පුළුවන් කියලා කියනවා. සමහරු වෙන අයට හූනියම් කරන්න මායා බන්ධන ක්‍රියා, මැජික් වගේ දේවල් පාවිච්චි කරනවා. *

4 භූතවාදය කොයි තරම් දුරට පැතිරිලාද? ලතින් ඇමරිකාවට සහ කැරිබියන්වලට අයිති රටවල් 18ක කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ඒකට සහභාගි වුණ පිරිසගෙන් තුනෙන් එකක්ම මැජික්, මායා බන්ධන ක්‍රියා හෝ මන්තර ගුරුකම් විශ්වාස කරනවා කියලා. ඒ හා සමාන පිරිසක් මිය ගිය අය එක්ක කතා කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අප්‍රිකාවේ රටවල් 18ක කරපු තවත් සමීක්ෂණයකින් ඔප්පු වුණේ ඒකට හවුල් වුණ අයගෙන් භාගයකට වැඩි පිරිසක් මායා බන්ධන ක්‍රියාවන් විශ්වාස කරනවා කියලා. අපි කොහේ ජීවත් වුණත් භූතවාදය කියන උගුලට අහු නොවී ඉන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. මොකද සාතන් උත්සාහ කරන්නේ “මුළු පොළොවම” නොමඟ යවන්නයි.—එළි. 12:9.

5. භූතවාදය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

5 “සත්‍යතාවේ දෙවි” වන යෙහෝවා භූතවාදය පිළිකුල් කරනවා. (ගීතා. 31:5) ඔහු ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි. පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.” (ද්වි. 18:10-12) ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියට ක්‍රිස්තියානීන් යටත් නැහැ. ඒත් භූතවාදය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන විදිහ වෙනස් වෙලා නැහැ කියලා අපි දන්නවා.—මලා. 3:6.

6. (අ) මිනිසුන්ට හානි කරන්න සාතන් භූතවාදය පාවිච්චි කරන්නේ කොහොමද? (ආ) දේශනාකාරයා 9:5 පෙන්නන විදිහට කෙනෙක් මිය ගියාම මොකද වෙන්නේ?

6 සාතන් මිනිසුන්ට හානි කරන්න භූතවාදය යොදාගන්නවා කියලා යෙහෝවා දෙවියන් දන්න නිසා ඔහු අපිට ඒ ගැන අනතුරු අඟවනවා. මැරුණු අය වෙන තැනක ජීවත් වෙනවා කියන බොරුව ඇතුළු තවත් බොරු පතුරුවන්න සාතන් භූතවාදය යොදාගන්නවා. (දේශනාකාරයා 9:5 කියවන්න.) ඒ විතරක් නෙමෙයි මිනිසුන්ව බය කරලා තමන් යටතේ තියාගන්නත් දෙවියන්ගෙන් මිනිසුන්ව ඈත් කරන්නත් සාතන් ඒක පාවිච්චි කරනවා. සාතන්ට ඕනෙ මිනිසුන් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියෙනවා වෙනුවට භූතයන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා දකින්නයි.

භූතයන්ට විරුද්ධව සටන් කරන්න

7. යෙහෝවා දෙවියන් අපිට කියලා දෙන්නේ මොනවාද?

7 කලින් කිව්වා වගේ සාතන්ගේ සහ භූතයන්ගේ උගුල්වලට අහු නොවී ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවා දෙවියන් අපිට කියලා දෙනවා. සාතන්ට සහ භූතයන්ට විරුද්ධව සටන් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා අපි බලමු.

8. (අ) සාතන්ට සහ භූතයන්ට විරුද්ධව සටන් කරන්න අපිට උදව් වෙන ප්‍රධානම දේ මොකක්ද? (ආ) මැරුණාට පස්සේ වෙන දේ ගැන සාතන් පතුරුවලා තියෙන්නේ බොරුවක් කියලා ගීතාවලිය 146:4 පැහැදිලි වෙන්නේ කොහොමද?

8 බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතන්න. සාතන් සහ භූතයන් පතුරුවන බොරු ප්‍රතික්ෂේප කරන්න අපිට උදව් වෙන ප්‍රධානම දේ ඒකයි. දේවවචනය හරියට මුවහත් කඩුවක් වගේ. (එෆී. 6:17) කඩුවකින් දේවල් දෙබෑ කරනවා වගේ දේවවචනය සත්‍යය බොරුවෙන් වෙන් කරනවා. උදාහරණෙකට සාතන් පතුරුවලා තියෙන අදහසක් තමයි ජීවත් වෙන අය එක්ක කතා කරන්න මැරුණු අයට පුළුවන් කියන දේ. ඒත් ඒක බොරුවක් කියලා බයිබලේ පැහැදිලිවම කියනවා. (ගීතාවලිය 146:4 කියවන්න.) අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි කියලත් බයිබලේ කියලා තියෙනවා. (යෙසා. 45:21; 46:10) අපි බයිබලේ හැමදාම කියවලා ඒ ගැන හොඳට හිතනවා නම් සාතන්ගේ බොරු ඉක්මනින්ම ප්‍රතික්ෂේප කරන්න අපිට පුළුවන්.

9. භූතවාදයට සම්බන්ධ මොන වගේ දේවලටද අපි හවුල් වෙන්නේ නැත්තේ?

9 භූතවාදයට සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන්න එපා. සැබෑ ක්‍රිස්තියානීන් භූතවාදයට සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන්නේ නැහැ. උදාහරණෙකට අපි මායාකාරයන්ගෙන් උදව් ලබාගන්නේවත් මැරුණු අය එක්ක වෙනත් විදිවලින් කතා කරන්න හදන්නේවත් නැහැ. කලින් ලිපියේ කතා කළා වගේ මැරුණු අය කොහේ හරි ජීවත් වෙනවා කියන බොරු විශ්වාසය මත පදනම් වුණ චාරිත්‍රවලට අපි කිසිම විදිහකින් හවුල් වෙන්නෙත් නැහැ. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් අනාගතය ගැන දැනගන්න අපි උත්සාහ කරන්නෙත් නැහැ. (යෙසා. 8:19) ඒ හැම දෙයක්ම හරිම භයානකයි. ඒවාට හවුල් වෙද්දී අපි කරන්නේ සාතන් සහ භූතයන් එක්ක කෙළින්ම සම්බන්ධ වෙන එකයි.

අද්භූත දේවලට සම්බන්ධ හැම දේකින්ම අයින් වෙලා මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ව ආදර්ශයට ගන්න (10-12 ඡේද බලන්න)

10-11. (අ) සත්‍යය ගැන දැනගත්තාම පළවෙනි සියවසේ හිටපු සමහරු කළේ මොනවාද? (ආ) 1 කොරින්ති 10:21 අනුව අපි එයාලව ආදර්ශයට ගන්න ඕනෙ ඇයි? ඒක කරන්නේ කොහොමද?

10 අද්භූත දේවලට සම්බන්ධ හැම දෙයක්ම අයින් කරන්න. මුල් සියවසේ එෆීසයේ ජීවත් වුණ සමහරු භූතවාදයට සම්බන්ධ දේවල නියැලුණා. ඒත් එයාලා සත්‍යය දැනගත්තාම ඒ හැම දේකින්ම අයින් වෙන්න පියවර ගත්තා. “මන්තර ගුරුකම්වල නියැලී සිටි බොහෝදෙනෙක් ගුරුකම් සඳහා භාවිත කළ පොත් පත් ගෙනැවිත් සියලුදෙනා ඉදිරියෙහි පුලුස්සා දැම්මා.” (ක්‍රියා 19:19) ඒ පොත් හුඟක් මිල අධික ඒවා. ඒත් ඒවාවල ගාණ ගැන හිතලා වෙන අයට ඒවා දෙනවා හෝ විකුණනවා වෙනුවට එයාලා ඒවා විනාශ කරලා දැම්මා. මොකද එයාලට ඕනෙ වුණේ යෙහෝවා දෙවියන් සතුටු වෙන දේ කරන්නයි.

11 එයාලව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? අද්භූත දේවලට සම්බන්ධ ඕනෙම දෙයක් ඉක්මනින්ම අයින් කරලා දාන එක තමයි ඥානවන්තම දේ. ඒවාට යන්ත්‍ර, සුර හෝ භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න මිනිසුන් පළඳින, ළඟ තියාගන්න වෙනත් ඕනෙම දෙයක් ඇතුළත්.—1 කොරින්ති 10:21 කියවන්න.

12. විනෝදය සඳහා තෝරගන්න දේවල් ගැන අපි අපෙන්ම අහලා බලන්න ඕනෙ ප්‍රශ්න මොනවාද?

12 විනෝදය සඳහා ඔයා තෝරගන්න දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගෙන්ම මෙහෙම අහලා බලන්න. ‘අද්භූත දේවල් ගැන තියෙන පොත්, සඟරා, ඉන්ටර්නෙට් එකේ පළ වෙන ලිපි මං කියවනවාද? මං අහන සංගීතය, බලන චිත්‍රපටි හෝ TV වැඩසටහන්, ගහන ගේම්ස් යම් විදිහකින් භූතවාදයට සම්බන්ධයිද? විනෝදය සඳහා මං කරන මොකක් හරි දෙයක් භූතවාදයට සම්බන්ධයිද? ඒවාවල වැම්පයර්ලා, ඇවිදින මළ මිනී, අද්භූත බලයන් තියෙන අයගේ චරිත ඇතුළත්ද? ඒවාවල පෙන්නන්නේ මැජික්, හූනියම්, මන්තර වගේ දේවල කිසි හානියක් නැහැ කියලාද?’ ඇත්ත, සුරංගනා කතා හෝ මනඃකල්පිත කතා හැම එකක්ම භූතවාදයට සම්බන්ධ නැහැ. ඒත් විනෝදය සඳහා ඔයා තෝරගන්න දේවල් ගැන හිතද්දී යෙහෝවා දෙවියන් පිළිකුල් කරන දේවලට පුංචි හරි විදිහකින් සම්බන්ධ නොවී ඉන්න අදිටන් කරගන්න. අපිට ඕනෙ “කිසි වරදක් කර නැති බව දෙවි ඉදිරියේ කියන්න පුළුවන්” වෙන තීරණ ගන්නයි.—ක්‍රියා 24:16. *

13. අපි වළකින්න ඕනෙ මොනවා කරන එකෙන්ද?

13 භූතයන් ගැන කතා පතුරුවන්න එපා. ඒ කාරණයේදී අපි යේසුස්ව ආදර්ශයට ගන්න ඕනේ. (1 පේතෘ. 2:21) පොළොවට එන්න කලින් යේසුස් ස්වර්ගයේ ජීවත් වුණ නිසා සාතන් සහ භූතයන් ගැන හුඟක් තොරතුරු ඔහු දැනන් හිටියා. ඒත් භූතයන් කරපු දේවල් ගැන කතන්දර යේසුස් මිනිසුන්ට කිව්වේ නැහැ. යේසුස්ට ඕනෙ වුණේ යෙහෝවා දෙවියන් ගැන මිනිසුන්ට උගන්වන්න මිසක් සාතන් ගැන උගන්වන්න නෙමෙයි. අපිටත් පුළුවන් භූතයන් ගැන හැදුණු කතන්දර මිනිසුන් අතර පතුරුවන්නේ නැතුව ඉන්න. ඒ වෙනුවට අපේ කතාබහෙන් තේරෙන්න ඕනෙ අපේ ‘හිත පිරිලා තියෙන්නේ හොඳ ආරංචියකින්’ ඒ කියන්නේ සත්‍ය තොරතුරුවලින් කියලා.—ගීතා. 45:1.

භූතයන්ට අපි පොඩ්ඩක්වත් බය වෙන්න ඕනෙ නැහැ. යෙහෝවා දෙවියන්, යේසුස් සහ දේවදූතයන් භූතයන්ට වඩා ගොඩක් බලවත් (14 සහ 15 ඡේද බලන්න) *

14-15. (අ) ඇයි අපි භූතයන්ට බය වෙන්න ඕනෙ නැත්තේ? (ආ) යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා කියලා කියන්න පුළුවන් ඇයි?

14 භූතයන්ට බය වෙන්න එපා. මේ සමාජයේ ජීවත් වෙද්දී නරක, නපුරු දේවලට මුහුණ දෙන්න අපිට වෙයි. අනතුරකට, බරපතළ අසනීපයකට එහෙම නැත්නම් හදිසි මරණයකට වුණත් අපි ගොදුරු වෙන්න පුළුවන්. ඒත් ඒවා වෙන්නේ භූතයන් නිසයි කියලා අපි හිතන්න හොඳ නැහැ. බයිබලේ කියනවා “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” අපි ඕනෙම කෙනෙක්ට වෙන්න පුළුවන් කියලා. (දේශ. 9:11) අනික යෙහෝවා දෙවියන් භූතයන්ට වඩා හුඟක් බලවත් කියලා දෙවියන් පෙන්නලා තියෙනවා. උදාහරණෙකට යෝබ්ව මරන්න යෙහෝවා දෙවියන් සාතන්ට ඉඩ දුන්නේ නැහැ. (යෝබ් 2:6) ඊජිප්තුවේ හිටපු මන්තර ගුරුකම් කරපු පූජකයන්ට වඩා තමන් බලවත් කියලා දෙවියන් පෙන්නුවා. (නික්. 8:18; 9:11) පස්සේ කාලෙකදී දෙවියන් සාතන් සහ භූතයන්ව යටත් කරගන්න බලය යේසුස්ට දුන්නා. ඒ නිසයි යේසුස් ඒ අයව ස්වර්ගයෙන් පොළොවට හෙළුවේ. ළඟදීම සාතන්ව සහ භූතයන්ව අගාධයට දානවා. එතකොට අනිත් අයට කිසිම හානියක් කරන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ.—එළි. 12:9; 20:2, 3.

15 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා කියන දේට සාක්ෂි අපිට ඕනෙ තරම් දකින්න තියෙනවා. මේ ගැන හිතන්න. සත්‍ය ඉගැන්වීම් අපි ලෝකේ අස්සක් මුල්ලක් නෑර හැම තැනම දේශනා කරනවා, උගන්වනවා. (මතෙ. 28:19, 20) ඒකෙන් සාතන්ගේ නපුරු ක්‍රියා හෙළි වෙනවා. සාතන්ට පුළුවන්කමක් තිබුණා නම් අපි කරන වැඩේ එයා නවත්තන්නේ නැතුව ඉඳියිද? ඒත් ඒක කරන්න එයාට බැහැ. ඒ නිසා අපි භූතයන්ට බය වෙන්න ඕනෙ නැහැ. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි” කියලා අපි දන්නවා. (2 ලේක. 16:9) අපි යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා නම් සදහටම අපිට හානියක් වෙන දෙයක් කරන්න භූතයන්ට බැහැ.

යෙහෝවා දෙවියන්ගේ උදව් පිළිගන්න අයට ආශීර්වාද ලැබේ

16-17. සාතන්ට සහ භූතයන්ට විරුද්ධව සටන් කරන්න අපිට ධෛර්යය ඕනෙ කියලා පැහැදිලි වෙන අද්දැකීමක් කියන්න.

16 භූතවාදය ප්‍රතික්ෂේප කරන්න අපිට ලොකු ධෛර්යයක් ඕනේ. විශේෂයෙන්ම අපි ඒවාට සම්බන්ධ වෙන්නේ නැති නිසා අපිට හානියක් වෙයි කියලා හිතලා අපේ යාළුවෝ, නෑදෑයන් ඒවාට හවුල් වෙන්න කියලා බල කරද්දී අපිට ධෛර්යය ඕනේ. ඒ වගේ ධෛර්යයක් පෙන්නන අයට දෙවියන් ආශීර්වාද කරනවා. ඝානාවල ජීවත් වෙන එරිකාගේ අද්දැකීම බලන්න. සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගද්දී එයාට වයස 21යි. එයාගේ තාත්තා මන්තර ගුරුකම් කරන පූජකයෙක්. තාත්තා එයාගෙන් බලාපොරොත්තු වුණා මිය ගිය මුතුන්මිත්තන්ට ඔප්පු කරපු මස් කෑමට ගන්න චාරිත්‍රයට එරිකා හවුල් වෙයි කියලා. එරිකා ඒක කරන්න බැහැ කිව්වාම එයාගේ පවුලේ අය ඒක සැලකුවේ මුතුන්මිත්තන්ට කරපු නින්දාවක් විදිහටයි. ඒ අය එයාලට දඬුවම් කරයි කියලා එයාලා බය වුණා.

17 පවුලේ අය කොච්චර බල කළත් එරිකා ඒකට හවුල් වුණේ නැහැ. ඒ නිසා එයාට ගෙදරින් යන්න වුණා. ඒත් සාක්ෂිකාර පවුල් කීපයක්ම එරිකාව එයාලගේ ගෙවල්වලට පිළිගත්තා. (මාක් 10:29, 30) එයාගේ පවුලේ අය එයාව පවුලෙන් අයින් කරලා එයාගේ හැම දෙයක්ම පුච්චලා දැම්මා. ඒත් එරිකා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා බව්තීස්ම වුණා. එයා දැන් ස්ථාවර පුරෝගාමි සේවය කරනවා. එයා භූතයන්ට බය නැහැ. එයා මෙහෙම කියනවා. “මං මගේ පවුලේ අය වෙනුවෙන් හැමදාම දෙවියන්ට යාච්ඤා කරනවා. යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගෙන ඔහුට සේවය කරද්දී දැනෙන නිදහස අද්දකින්න එයාලටත් උදව් කරන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා.”

18. යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කළොත් ලැබෙන ආශීර්වාද මොනවාද?

18 අපි හැමෝගෙම විශ්වාසය ඒ විදිහටම සෝදිසි වෙන එකක් නැහැ. ඒත් අපි හැමෝටම සිද්ධ වෙනවා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා භූතයන්ට විරුද්ධව සටන් කරන්න. අපි එහෙම කරද්දී හුඟක් ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන් වගේම සාතන්ගේ බොරුවලට අහු නොවී ඉන්න අපිට පුළුවන්. භූතයන්ට බය වෙලා දෙවියන්ට කරන සේවය අපි අත්හරින්නෙත් නැහැ. ඒ හැම දේටම වඩා යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම තව වැඩි කරගන්නත් පුළුවන්. යාකොබ් කියපු මේ දේ හිතට ගමු. “දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි. දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකො. 4:7, 8.

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

^ 5 ඡේ. සාතන් සහ භූතයන් ගැනත් එයාලගෙන් වෙන්න පුළුවන් හානිය ගැනත් යෙහෝවා දෙවියන් අපිට අනතුරු අඟවලා තියෙනවා. භූතයන් මිනිසුන්ව රවට්ටන්නේ කොහොමද? එයාලට විරුද්ධව සටන් කරන්න අපිට පුළුවන් කොහොමද? භූතයන්ට රැවටෙන්නේ නැතුව ඉන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

^ 3 ඡේ. පැහැදිලි කිරීමක්: භූතයන්ට සම්බන්ධ ඕනෙම විශ්වාසයක්, එයාලා එක්ක සම්බන්ධ වෙලා කරන ඕනෙම දෙයක් භූතවාදය හැටියට හඳුන්වන්න පුළුවන්. කෙනෙක් මිය ගියත් නොමැරී ජීවත් වෙන ආත්මයක් තියෙනවා කියන විශ්වාසයත් කට්ටඩියෙක් මාර්ගයෙන් ජීවත් වෙලා ඉන්න අය එක්ක කතා කරන්න ඒ ආත්මයට පුළුවන් කියන විශ්වාසයත් භූතවාදයට ඇතුළත්. ඒ වගේම මායා බන්ධන ක්‍රියාවන් සහ පේන කීම භූතවාදයට ඇතුළත්. මේ ලිපියේ මැජික් ගැන කතා කරද්දී ඒක යොමු දක්වන්නේ අද්භූත බලයන් යොදාගෙන කරන දේවලටයි. ඒකට කොඩිවින, හදි හූනියම් කරන එක, ඒවා අයින් කරන්න කරන දේවල් ඇතුළත් වෙන්න පුළුවන්. ඒත් කාඩ්වලින් හෝ වෙනත් දේවල් පාවිච්චි කරලා විනෝදය සඳහා කරන ඇස්බැන්දුම් ඒකට ඇතුළත් නැහැ.

^ 12 ඡේ. විනෝදය සඳහා තෝරගන්න ඕනෙ මොනවාද කියලා නීති දාන්න වැඩිමහල්ලන්ට අයිතියක් නැහැ. ඒක බයිබලේ මත පුහුණු කරපු තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව එක් එක් කෙනා ගන්න ඕනෙ තීරණයක්. පවුලේ මූලිකයන්ට පුළුවන් පවුලේ අයට උදව් කරන්න විනෝදය සඳහා දේවල් තෝරගද්දී බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ තේරීම් කරන්න.—jw.org® වෙබ් අඩවියේ අපි ගැන > නිතර අසන ප්‍රශ්න යටතේ පළ වුණ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර චිත්‍රපටි, පොත් හෝ සිංදු තම සාමාජිකයන්ට තහනම් කරනවද” කියන ලිපිය බලන්න.

^ 54 ඡේ. පින්තූරේ අදහස: දේවදූත සේනාවකට නායකත්වය දෙන අපේ බලවත් රජ වන යේසුස්. ඊට ඉහළින් තියෙන්නේ යෙහෝවා දෙවියන්ගේ සිංහාසනය.