Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 16

මරණය ගැන බයිබලේ සඳහන් දේ ඔයාට විශ්වාසයි කියලා පෙන්නන්න

මරණය ගැන බයිබලේ සඳහන් දේ ඔයාට විශ්වාසයි කියලා පෙන්නන්න

‘සැබෑ වන්නේ කවර පණිවිඩයද කියාත් බොරු වන්නේ කවර පණිවිඩයද කියාත් අප හඳුනනවා.’—1 යොහ. 4:6.

ගීතිකාව 73 දෙනු මැන නිර්භීතකම

මේ ලිපියෙන් *

දෙවියන් අකමැති චාරිත්‍රවලට හවුල් වෙනවා වෙනුවට වියෝදුකින් ඉන්න නෑදෑයන්ව සනසන්න (1 සහ 2 ඡේද බලන්න) *

1-2. (අ) සාතන් මිනිසුන්ව නොමඟ යවලා තියෙන්නේ කොහොමද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

“බොරුවේ පියා” වන සාතන් මිනිසුන්ව නොමඟ යවලා තියෙන්නේ මිනිස් ඉතිහාසයේ මුල ඉඳන්මයි. (යොහ. 8:44) මිනිසුන්ව නොමඟ යවන්න එයා කියලා තියෙන බොරුවලට මරණය ගැන කියපු බොරුව සහ මැරුණාට පස්සේ ජීවිතයක් තියෙනවා කියන ඉගැන්වීම ඇතුළත්. ඒ ඉගැන්වීම් නිසා මිය ගිය අය ගැන මිනිසුන්ට තියෙන්නේ බයක්. අද තියෙන ගොඩක් චාරිත්‍රවලට, විශ්වාසයන්ට පදනම ඒ බය. මේ ලෝකේ ඉන්න වැඩිදෙනෙක් සාතන්ගේ බොරුවලින් නොමඟ ගිහින් ඉන්න නිසා අපේ සහෝදර සහෝදරියන්ට සිද්ධ වෙනවා එයාලා “විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න.” තමන්ගේ පවුලේ කෙනෙක් හෝ අසල්වැසියෙක් මිය ගියාම ඒ සටන විශේෂයෙන්ම අමාරුයි.—යූද් 3.

2 ඔයාටත් ඒ වගේ පීඩනයකට මුහුණ දෙන්න වුණොත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? (එෆී. 6:11) ඒ වගේ පීඩනයකට මුහුණ දෙන සහෝදරයෙකුට හෝ සහෝදරියකට සහනයක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ වගේ වෙලාවකදී අපිට අදාළ කරගන්න පුළුවන් මඟ පෙන්වීම් ගැන මේ ලිපියේ කතා කරනවා. මුලින්ම අපි බලමු මරණය ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා.

කෙනෙක් මැරුණාම ඇත්තටම මොකද වෙන්නේ?

3. මුල්ම බොරුව නිසා සිද්ධ වුණේ මොකක්ද?

3 යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ මැරෙන්න නෙමෙයි. ඒත් සදහටම ජීවත් වෙන්න නම් ආදම් සහ ඒව දෙවියන්ට කීකරු වෙන්න ඕනෙ වුණා. දෙවියන් එයාලට මෙහෙම කිව්වා. “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” (උත්. 2:16, 17) ඒත් සාතන් සර්පයෙක් මාර්ගයෙන් කතා කරලා ඒවට කිව්වා “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ” කියලා. ඒව ඒ බොරුව විශ්වාස කරලා පලතුර කෑවා. පස්සේ එයාගේ සැමියාත් ඒ පලතුර කෑවා. (උත්. 3:4, 6) පාපයේ සහ මරණයේ පටන්ගැන්ම ඒකයි.—රෝම 5:12.

4-5. සාතන් මිනිසුන්ව නොමඟ යවලා තියෙන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවියන් කිව්වා වගේම ආදම් සහ ඒව මැරුණා. ඒත් සාතන් එයා කිව්ව බොරුවට තවත් දේවල් එකතු කරන්න පටන්ගත්තා. ඒ වගේ එක බොරුවක් තමයි කෙනෙක්ගේ ශරීරය මැරුණත් එයා ආත්මයක් හැටියට දිගටම ජීවත් වෙනවා කියන බොරුව. ඒ බොරුව විවිධ විදිවලින් මිනිසුන් අතරට ගිහින් තියෙනවා. මිලියන ගාණක් ඒ බොරුව විශ්වාස කරනවා.—1 තිමෝ. 4:1.

5 ඇයි එච්චර දෙනෙක් ඒකට රැවටෙන්නේ? යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කළේ හැමදාටම ජීවත් වෙන්න නිසා අපි කවුරුත් මැරෙන්න කැමති නැහැ. (දේශ. 3:11) මරණය අපිට සතුරෙක්. (1 කොරි. 15:26) සාතන් ඒක දන්න නිසා මිනිසුන්ව නොමඟ යවන්න එයා ඒක පාවිච්චි කරනවා.

6-7. (අ) මරණය ගැන සත්‍යය දිගටම වසං කරන්න සාතන්ට පුළුවන් වුණාද? පැහැදිලි කරන්න. (ආ) මිය ගිය අයට බය නොවී ඉන්න බයිබලේ සඳහන් සත්‍යයන් උදව් වෙන්නේ කොහොමද?

6 සාතන් කොච්චර උත්සාහ කළත් මරණය ගැන සත්‍යය දිගටම වසං කරන්න එයාට බැහැ. කෙනෙක් මැරුණාම වෙන දේ සහ මිය ගිය අය ගැන තියෙන බලාපොරොත්තුව ගැන බයිබලේ සඳහන් සත්‍යය දැන් හුඟදෙනෙක් දන්නවා. එයාලා ඒ සත්‍යයන් තවත් අයට කියනවා. (දේශ. 9:5, 10; ක්‍රියා 24:15) ඒ සත්‍ය ඉගැන්වීම් නිසා අපිට දැනෙන්නේ ලොකු සහනයක්. උදාහරණෙකට මැරුණු අය අපිට හානියක් කරයි කියලවත් එයාලා කොහේ හරි දුක් විඳිනවා ඇති කියලවත් අපි ඉන්නේ බයෙන් නෙමෙයි. නොමැරි ජීවත් වෙන ආත්මයක් නැහැ කියලා අපි දන්නවා. අපිට හානියක් කරන්න එයාලට බැහැ. මොකද එයාලා ඉන්නේ තද නින්දක. (යොහ. 11:11-14) ඒ වගේම කාලය ගත වෙනවා මැරුණු අයට දැනෙන්නේ නැහැ කියලත් අපි දන්නවා. ඒ නිසා සියවස් ගාණකට කලින් මැරුණු කෙනෙක්ව වුණත් නැවත නැඟිටුවද්දී එයාට දැනෙන්නේ ගෙවිලා තියෙන්නේ සුළු මොහොතක් කියලයි.

7 සාතන් කියලා තියෙන සංකීර්ණ බොරු වගේ නෙමෙයි මරණය ගැන බයිබලේ සඳහන් සත්‍යය හරිම පැහැදිලියි, සරලයි, තර්කානුකූලයි. සාතන්ගේ බොරු නිසා මිනිසුන් නොමඟ ගිහින් වගේම එයාලගේ හිත්වල අපේ නිර්මාතෘ ගැන ඇඳිලා තියෙන්නේ වැරදි පින්තූරයක්. ඒ බොරු නිසා කොයි තරම් හානියක් වෙලා තියෙනවාද කියලා තේරුම්ගන්න අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු. (1) සාතන්ගේ බොරු නිසා මිනිසුන්ගේ හිතේ දෙවියන් ගැන වැරදි පින්තූරයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? (2) ඒ බොරු නිසා යේසුස්ගේ ජීවිත පූජාව වැඩක් නැහැ කියන හැඟීම මිනිසුන්ට ඇති වෙලා තියෙන්නේ ඇයි? (3) සාතන්ගේ බොරු නිසා මිනිසුන් අද්දකින දුක තවත් වැඩි වෙලා තියෙන්නේ කොහොමද?

සාතන්ගේ බොරු නිසා වෙලා තියෙන හානිය

8. යෙරෙමියා 19:5 පෙන්නන විදිහට සාතන්ගේ බොරු නිසා යෙහෝවා දෙවියන්ව නින්දාවට පත් වෙන්නේ කොහොමද?

8 සාතන්ගේ බොරු නිසා යෙහෝවා දෙවියන් ගැන වැරදි පින්තූරයක් දෙනවා. සාතන් පතුරපු බොරුවලින් එකක් තමයි මැරුණු අය නිරයක පිච්චි පිච්චි ඉන්නවා කියන බොරුව. ඒ ඉගැන්වීම නිසා ප්‍රේමයේ උල්පත වන දෙවියන්ව නින්දාවට පත් වෙනවා. (1 යොහ. 4:8) මොකද ඒ බොරුව නිසා මිනිසුන් විශ්වාස කරනවා සාතන්ට තියෙන නපුරු ගතිලක්ෂණ දෙවියන්ටත් තියෙනවා කියලා. දෙවියන්ට කරන නින්දාව ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? ඒ ගැන යෙහෝවා දෙවියන්ට කොහොම හැඟෙනවා ඇද්ද? යෙහෝවා දෙවියන් කියන්නේ ඕනෙම විදිහේ කුරිරුකමක් හෙළාදකින දෙවි කෙනෙක්.—යෙරෙමියා 19:5 කියවන්න.

9. සාතන්ගේ බොරු නිසා යොහන් 3:16 සහ 15:13 කතා කරලා තියෙන යේසුස්ගේ ජීවිත පූජාව ගැන මිනිසුන්ට හැඟෙන්නේ කොහොමද?

9 සාතන්ගේ බොරු නිසා යේසුස්ගේ ජීවිත පූජාව වැඩක් නැහැ කියන හැඟීම ඇති කරනවා. (මතෙ. 20:28) සාතන්ගේ තවත් බොරුවක් තමයි මිනිසුන්ට අමරණීය ආත්මයක් තියෙනවා කියන එක. ඒක එහෙමනම් හැමෝම සදාකාලෙටම ජීවත් වෙනවා. ඒ කියන්නේ අපිට සදාකාලෙටම ජීවත් වෙන්න අවස්ථාව දෙන්න යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය නැහැ කියන එකයි. ඒත් අමතක කරන්න එපා දෙවියන් සහ යේසුස් මිනිසුන්ට ආදරේ පෙන්නපු උතුම්ම විදිහ යේසුස්ගේ ජීවිත පූජාවයි කියලා. (යොහන් 3:16; 15:13 කියවන්න.) ඒ තරම් වටිනා තෑග්ගක් කිසි වැඩක් නැහැ කියලා හැඟෙන්න සලස්වන බොරු ඉගැන්වීම් ගැන යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් කොහොම හැඟෙනවා ඇද්ද?

10. සාතන්ගේ බොරු නිසා මිනිසුන් අද්දකින දුක තවත් වැඩි වෙලා තියෙන්නේ කොහොමද?

10 සාතන්ගේ බොරු නිසා මිනිසුන් අද්දකින දුක තවත් වැඩි වෙනවා. දරුවෙකුගේ මරණය නිසා දුකෙන් ඉන්න දෙමාපියන්ට සමහරු කියයි දේවදූතයෙක්ව ඕනෙ වුණ නිසා දෙවියන් දරුවාව ගන්න ඇති කියලා. ඒකෙන් දෙමාපියන්ගේ දුක අඩු වෙනවාද නැත්නම් වැඩි වෙනවාද? නිරාගින්න ගැන ඉගැන්වීම සමහරු නිදහසට කරුණක් කරගෙන තියෙනවා අනිත් අයට වධ හිංසා කරන්න. උදාහරණෙකට පල්ලිවල ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරපු අයව කණුවල ගැටගහලා පණපිටින් පුච්චන්න එයාලා ඒ ඉගැන්වීම පාවිච්චි කළා. එක පොතක සඳහන් වෙන විදිහට මිනිසුන්ව පණපිටින් පුච්චපු අය විශ්වාස කරලා තියෙනවා පල්ලියේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරපු අයව පුච්චද්දී නිරයේ හැමදාටම එයාලට විඳින්න වෙන වේදනාව තේරුම් අරන් එයාලා මැරෙන්න කලින් පසුතැවෙයි කියලා. එතකොට නිරාගින්නෙන් බේරෙන්න එයාලට පුළුවන් කියලා ඒ මිනිසුන් හිතුවා. හුඟක් රටවල අය මිය ගිය එයාලගේ මුතුන්මිත්තන්ට නමස්කාර කරනවා. එහෙම කරන්නේ එයාලගෙන් ආශීර්වාද ලබාගන්න හෝ මිය ගිය අය දඬුවම් කරයි කියන බය නිසයි. සාතන්ගේ බොරු පදනම් කරගෙන ගොඩනැඟිලා තියෙන විශ්වාසයන් නිසා මිනිසුන්ට සහනයක් ලැබෙනවා වෙනුවට එයාලා අද්දකින දුක, බය තවත් වැඩි වෙලා තියෙනවා.

බයිබලේ සඳහන් සත්‍යයට පක්ෂව ඉන්න

11. බයිබලේ සඳහන් ඉගැන්වීම්වලට එකඟ නැති දේවල් කරන්න අපේ යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන් බලපෑමක් එන්න පුළුවන් කොහොමද?

11 මිය ගිය අය වෙනුවෙන් කරන චාරිත්‍රවලට හවුල් වෙන්න කියලා අපේ නෑදෑයන් හෝ යාළුවන් අපිට බල කරද්දී යෙහෝවා දෙවියන් ගැනත් දේවවචනය ගැනත් අපිට තියෙන ආදරේ අපිව පොලඹවයි දෙවියන්ට කීකරු වෙන්න. අපි ඒ චාරිත්‍රවලට හවුල් නොවී ඉද්දී සමහරවිට එයාලා කියයි මිය ගිය කෙනා ගැන අපිට ආදරයක්, ගෞරවයක් නැහැ කියලා. එහෙම නැත්නම් මිය ගිය කෙනාට කේන්ති ගිහින් ජීවත් වෙලා ඉන්න අයට යම් විදිහකින් හානියක් කරයි කියලා එයාලා කියයි. ඒ වගේ වෙලාවලදී සත්‍ය ඉගැන්වීම්වලට පක්ෂව ඉන්න අපිට පුළුවන් කොහොමද? මේ බයිබල් ප්‍රතිපත්ති බලන්න.

12. බයිබලේ සඳහන් ඉගැන්වීම්වලට කොහොමටවත් එකඟ නැත්තේ මොන වගේ විශ්වාසයන් සහ චාරිත්‍රද?

12 බයිබලේට එකඟ නැති විශ්වාසයන්ගෙන්, චාරිත්‍රවලින් ‘වෙන් වෙලා ඉන්න’ අදිටන් කරගන්න. (2 කොරි. 6:17) කැරිබියන් රටක ඉන්න හුඟදෙනෙක් විශ්වාස කරනවා කෙනෙක් මැරුණාම එයාට හොඳට සැලකුවේ නැති අයට කරදර කරන්න එයා හොල්මනක් විදිහට එනවා කියලා. කෙනෙක් මැරුණාම එයාගේ ගෙදර තියෙන කණ්ණාඩි වහන එක, ඡායාරූප බිත්තිය පැත්තට හරවන එක අප්‍රිකාවේ තියෙන චාරිත්‍රයක්. එයාලා එහෙම කරන්නේ මැරුණු කෙනාට තමන්ගේ රූපය දකින්න බැරි වෙන්නයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි සාතන්ගේ බොරු මත ගොඩනැඟිලා තියෙන ඒ වගේ මිථ්‍යා දේවල් විශ්වාස කරන්නේවත්, චාරිත්‍රවලට කිසිම විදිහකින් හවුල් වෙන්නේවත් නැහැ.—1 කොරි. 10:21, 22.

තොරතුරු හොඳින් හොයලා, සාක්ෂිකරුවන් නොවන නෑදෑයන්ට ඔයාගේ විශ්වාසයන් ගැන කාරුණිකව පැහැදිලි කරනවා නම් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් (13 සහ 14 ඡේද බලන්න) *

13. යම් චාරිත්‍රයක් ගැන ඔයාට සැකයක් තියෙනවා නම් යාකොබ් 1:5 සඳහන් වෙන විදිහට ඔයා කරන්න ඕනෙ මොනවාද?

13 යම් චාරිත්‍රයක් ගැන ඔයාට සැකයක් තියෙනවා නම් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ප්‍රඥාව ඉල්ලන්න. (යාකොබ් 1:5 කියවන්න.) ඊළඟට අපේ ප්‍රකාශනවලින් තොරතුරු ගවේෂණය කරන්න. අවශ්‍ය වුණොත් වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න. ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා එයාලා කියයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒත් ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති එයාලා මතක් කරලා දෙයි. ඒ විදිහට කරද්දී “වටහාගැනීමේ හැකියාව” දියුණු කරගෙන “හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට” ඔයාට පුළුවන් වෙයි.—හෙබ්‍රෙ. 5:14.

14. අනිත් අය ගැන අපි සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

14 ‘සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න. අනිත් අයට හානියක් විය හැකි දෙයක් කිරීමෙන් වළකින්න.’ (1 කොරි. 10:31, 32) යම් චාරිත්‍රයකට හවුල් වෙන්න කලින් හිතන්න එහෙම කරන එකෙන් අනිත් අයගේ විශේෂයෙන්ම සභාවේ අයගේ හෘදය සාක්ෂියට හානියක් වෙයිද කියලා. කාගෙවත් විශ්වාසයට හානියක් වෙන දෙයක් කරන්න අපිට ඕනෙ නැහැ. (මාක් 9:42) ඒ එක්කම යෙහෝවා දෙවියන්ට නමස්කාර නොකරන අය එක්ක කිසිම තේරුමක් නැති රණ්ඩුවලට පැටලෙන එකෙන් අපි වළකින්න ඕනේ. අපිට එයාලා ගැන ආදරයක් තියෙනවා නම් අපි එයාලවවත් එයාලගේ චාරිත්‍රවත් පහත් කරන්නේ නැහැ. එයාලට ගෞරවයෙන් සලකනවා. ඒකෙන් යෙහෝවා දෙවියන් ගෞරවයට පත් වෙනවා. ආදරෙන් දේවල් කරද්දී මිනිසුන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියලා මතක තියාගන්න.

15-16. (අ) ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට කලින්ම කියන එක ඥානවන්ත දෙයක් වෙන්නේ ඇයි? අද්දැකීමක් කියන්න. (ආ) පාවුල් රෝම 1:16 කියපු දේ අපිට අදාළ වෙන්නේ කොහොමද?

15 ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා නෑදෑයන්ට, අසල්වැසියන්ට කියන්න. (යෙසා. 43:10) ඔයාගේ පවුලේ කෙනෙක් මිය ගියාම ඔයා සමහර චාරිත්‍රවලට හවුල් වෙන්නේ නැහැ කියලා නෑදෑයන්, අසල්වැසියන් දකිද්දී එයාලට ඒ ගැන කේන්තියක් ඇති වෙයි. ඒත් ඔයාගේ විශ්වාසයන් ගැන ඔයා කලින්ම එයාලට කියලා තිබුණා නම් ඒ වගේ අවස්ථාවකදී ඒකට මුහුණ දෙන්න ඔයාට ටිකක් විතර පහසු වෙයි. මොසැම්බික්වල ජීවත් වෙන ෆ්‍රැන්සිස්කෝ මෙහෙම කියනවා. “මමයි, මගේ බිරිඳ කැරොලිනායි සත්‍යය දැනගත්තාට පස්සේ අපි අපේ පවුලේ අයට කිව්වා මිය ගිය අයට නමස්කාර කරන එක අපි නතර කරනවා කියලා. කැරොලිනාගේ අක්කා මැරුණ වෙලාවේ අනිත් අයගෙන් අපිට ලොකු පීඩනයක් ආවා. මේ පැත්තේ චාරිත්‍රය තමයි ආගමික වතාවන් කරන අතරතුරේ මිය ගිය කෙනාගේ සිරුර හෝදන එක. ඒ වතුර අරන් ගිහින් හළන තැන එයාගේ කිට්ටුම නෑදෑයෙක් රෑ තුනක් නිදාගන්නවා. මැරුණු කෙනාගේ ආත්මය සනසන්නයි එහෙම කළේ. කැරොලිනා ඒ චාරිත්‍රය කරයි කියලා පවුලේ අය බලාපොරොත්තු වුණා.”

16 ෆ්‍රැන්සිස්කෝ සහ එයාගේ බිරිඳ මොකද කළේ? ෆ්‍රැන්සිස්කෝ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන ආදරේ නිසා අපිට ඕනෙ වුණේ ඔහු සතුටු වෙන දේ කරන්න. ඒ නිසා ඒ චාරිත්‍රයට හවුල් වෙන්න අපිට බැහැ කියලා අපි කිව්වා. කැරොලිනාගේ පවුලේ අයට ඒ ගැන හුඟක් කේන්ති ගියා. මැරුණ කෙනාට අපි අගෞරව කරනවා කියලා එයාලා අපිට දොස් කිව්වා. එයාලා අපිව පවුලෙන් අයින් කරනවා කියලත් කිව්වා. අපි අපේ විශ්වාසයන් ගැන කලින්ම එයාලට කියලා තිබුණ නිසා එයාලා කේන්තියෙන් හිටපු වෙලාවේ අපි ඒ ගැන මුකුත් කතා කළේ නැහැ. සමහර නෑදෑයන් අපේ පැත්තට කතා කරලා කිව්වා අපි ඒ ගැන කලින්ම කියලා තිබුණා කියලා. කාලයත් එක්කම කැරොලිනාගේ නෑදෑයන්ට තිබුණ කේන්තිය අඩු වෙලා ගියා. සමහරු ඇවිත් අපේ ප්‍රකාශනත් ඉල්ලුවා.” මිය ගිය අය ගැන සත්‍යය අපි දන්න නිසා අපි ලැජ්ජා නොවී ඒ සත්‍යයට පක්ෂව ඉමු!—රෝම 1:16 කියවන්න.

වියෝදුකින් ඉන්න අයව සනසන්න, එයාලට හයියක් වෙන්න

සැබෑ මිතුරන් වියෝදුකින් ඉන්න කෙනෙක්ව සනසලා, එයාට හයියක් වෙනවා (17-19 ඡේද බලන්න) *

17. වියෝදුකින් ඉන්න කෙනෙක්ට සැබෑ මිතුරෙක් වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

17 අපේ සහෝදරයෙක්ගේ පවුලේ කෙනෙක් හෝ යාළුවෙක් මිය ගියාම එයාට සැබෑ මිතුරෙක් වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. බයිබලේ කියන්නේ සැබෑ මිතුරෙක් ‘විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙක්’ කියලයි. (හිතෝ. 17:17) දෙවියන් අසතුටු වෙන චාරිත්‍ර කරන්න කියලා වියෝදුකින් ඉන්න කෙනාට අනිත් අය බලපෑම් කරනවා නම් එයාට හොඳ යාළුවෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද? මේ බයිබල් ප්‍රතිපත්ති 2 බලන්න.

18. යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියේ ඇයි? ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

18 “හඬන අයත් සමඟ හඬන්න.” (රෝම 12:15) වියෝදුකින් ඉන්න කෙනෙක්ව සනසන්න කියන්න ඕනෙ මොනවාද කියලා සමහර වෙලාවලදී අපිට හිතාගන්න බැරි වුණත් එයා එක්ක අඬන එකෙන් එයාට දැනෙයි අපි එයාට ආදරෙයි කියලා. යේසුස්ගේ යාළුවෙක් වුණ ලාසරුස් මිය ගිය වෙලාවේ මරියා, මාර්තා ඇතුළු හුඟදෙනෙක් ඇඬුවා. ලාසරුස්ව නැවත නැඟිටුවනවා කියලා යේසුස් දැනන් හිටියත් ඒ වෙලාවේ ඔහුටත් ඇඬුණා. (යොහ. 11:17, 33-35) යේසුස් අඬපු එකෙන් ලාසරුස්ගේ මරණය ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණ විදිහ පැහැදිලි වුණා. ඒ වගේම යේසුස් අඬනවා දැක්කාම ලාසරුස්ගේ පවුලේ අය තේරුම්ගත්තා ඔහු එයාලට කොච්චර ආදරෙයිද කියලා. ඒක එයාලට ලොකු සහනයක් වෙන්න ඇති. වියෝදුකින් ඉන්න සහෝදරයන්ට අපේ ආදරේ, සැලකිල්ල දැනෙද්දී එයාලා තනි වෙලා නැහැ කියලා එයාලට තේරෙයි.

19. වියෝදුකින් ඉන්න කෙනෙක්ව සනසද්දී දේශනාකාරයා 3:7 කියන දේ අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

19 “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත.” (දේශ. 3:7) වියෝදුකින් ඉන්න කෙනෙක්ව සනසන්න පුළුවන් තවත් විදිහක් තමයි එයා කතා කරද්දී එයාට ඇහුම්කන් දෙන එක. එයාට හැඟෙන විදිහ කියන්න ඉඩ දෙන්න. ‘වියරු වැටුණු කෙනෙක් වගේ එයා කතා කළත්’ ඒ ගැන අමනාප වෙන්න එපා. (යෝබ් 6:2, 3) සත්‍යයේ නැති නෑදෑයන්ගෙන් එල්ල වෙන පීඩනය නිසා සමහරවිට එයා ඉන්නේ මානසිකව වැටිලා වෙන්න ඇති. එයා එක්ක යාච්ඤා කරන්න. එයාට ශක්තිය දෙන්න කියලත් හොඳට හිතලා තීරණ ගන්න උදව් කරන්න කියලත් ‘යාච්ඤා අසන තැනැත්තාණන්ගෙන්’ ඉල්ලන්න. (ගීතා. 65:2) පුළුවන් නම් එයා එක්ක බයිබලෙන් කොටසක් කියවන්න. එහෙම නැත්නම් එයාගේ තත්වයට ගැළපෙන ලිපියක් සමහරවිට ජීවිත කතාවක් එයාත් එක්ක කියවන්න.

20. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

20 කෙනෙක් මැරුණාම වෙන දේ ගැනත් අනාගතයේදී එයාලට ලැබෙන ආශීර්වාද ගැනත් අපිට දැනගන්න ලැබුණ එක මොන තරම් සහනයක්ද! (යොහ. 5:28, 29) ඒ නිසා මරණය ගැන බයිබලේ සඳහන් දේ අපිට විශ්වාසයි කියලා අපි කියන, කරන දේවලින් පෙන්නමු. ඒ සත්‍යය අනිත් අයට කියමු. සාතන් මිනිසුන්ව නොමඟ යවන්න යොදාගන්න තවත් උගුලක් තමයි භූතවාදය. භූතවාදයට සම්බන්ධ හැම දේකින්ම අපි වැළකෙන්න ඕනෙ ඇයි කියලා ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 24 එන්න දෙවිගේ කන්දට

^ 5 ඡේ. කෙනෙක් මැරුණාට පස්සේ වෙන දේ ගැන බොරු දේවල් කියලා සාතන් සහ භූතයන් මිනිසුන්ව රවට්ටලා තියෙනවා. ඒ බොරු නිසා බයිබලේට එකඟ නැති චාරිත්‍රවල හුඟදෙනෙක් යෙදෙනවා. ඒ වගේ චාරිත්‍රවලට හවුල් වෙන්න කියලා අනිත් අය ඔයාට බල කරද්දී ඒවාට අහු නොවී දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මේ ලිපිය ඔයාට උදව් කරයි.

^ 55 ඡේ. පින්තූරයේ අදහස: වියෝදුකින් ඉන්න නෑදෑයෙක්ව සාක්ෂිකරුවන් දෙන්නෙක් සනසනවා.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: සාක්ෂිකරුවෙක් යම් චාරිත්‍රයක් ගැන තොරතුරු හොයලා බැලුවාට පස්සේ එයාගේ විශ්වාසයන් ගැන සාක්ෂිකරුවන් නොවන නෑදෑයන්ට කාරුණිකව පැහැදිලි කරනවා.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: වියෝදුකින් ඉන්න සහෝදරයෙක්ව වැඩිමහල්ලන් සනසනවා.