Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 15

මනසේ සාමය රැකගන්න යේසුස්ට පුළුවන් වුණා

මනසේ සාමය රැකගන්න යේසුස්ට පුළුවන් වුණා

‘දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතට ආරක්ෂාවක් වේ.’—ෆිලි. 4:7.

ගීතිකාව 113 අප සතු සමාදානය

මේ ලිපියෙන් *

1-2. යේසුස් ලොකු පීඩනයකින් හිටියේ ඇයි?

මිනිසෙක් විදිහට යේසුස් ගත කරපු අන්තිම දවසේ ඔහු හිටියේ ලොකු පීඩනයකින්. දුෂ්ට මිනිසුන් ඔහුට වධ හිංසා දීලා ඔහුව මරණයට පත් කරනවා කියලා ඔහු දැනන් හිටියා. ඒත් ඔහු පීඩනයකින් හිටියේ ඒ නිසාම විතරක් නෙමෙයි. යේසුස් ඔහුගේ තාත්තාට ගොඩක් ආදරේ කළා. ඔහුට ඕනෙ වුණේ තාත්තාගේ හිත සතුටු කරන්නයි. යේසුස් ඉදිරියේ තිබුණ ඒ අමාරු පීඩාවට මුහුණ දෙද්දී ඔහු දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් දෙවියන්ගේ නාමය නිදොස් කරන්න දායක වෙන්න ඔහුට පුළුවන් කියලා යේසුස් දැනන් හිටියා. යේසුස් මිනිසුන්ටත් ආදරේ කළා. මිනිසුන්ට සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ලැබෙන්නේ මරණය දක්වාම තමන් විශ්වාසවන්තව හිටියොත් විතරයි කියලත් ඔහු දැනන් හිටියා.

2 යේසුස් ඒ තරම් පීඩනයකින් හිටියත් ඔහුගේ හිතට ලොකු සන්සුන්කමක් දැනුණා. “මගේ සමාදානය ඔබට දෙනවා” කියලා නියෝජිතයන්ට කියන්න ඔහුට පුළුවන් වුණේ ඒ නිසයි. (යොහ. 14:27) කෙනෙක්ට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙද්දී දැනෙන සන්සුන්කම ඒ කියන්නේ “දෙවි ලබා දෙන සමාදානය” යේසුස් අද්දැක්කා. කනස්සලු නොවී ඉන්න ඒ සමාදානය ඔහුට උදව් වුණා.—ෆිලි. 4:6, 7.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 අපි කාටවත් කවදාවත් යේසුස්ට මුහුණ දෙන්න වුණා වගේ පීඩනයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒත් යේසුස්ගේ අනුගාමිකයන් වන අපි හැමෝටම දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. (මතෙ. 16:24, 25; යොහ. 15:20) එතකොට අපිටත් පීඩනයක් දැනෙයි. ඒත් අනවශ්‍ය විදිහට කනස්සලු වෙලා හිතේ සාමය නැති කරගන්නේ නැතුව ඉන්න අපිට කරන්න පුළුවන් මොනවාද? යේසුස් දේවසේවය කරපු කාලේ කරපු දේවල් 3ක් ගැන අපි බලමු. පීඩාවලට මුහුණ දෙද්දී ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් බලමු.

යේසුස් නිතරම යාච්ඤා කළා

යාච්ඤා කරන එක හිතේ සාමය රැකගන්න උදව්වක් (4-7 ඡේද බලන්න)

4. යේසුස් මිනිසෙක් විදිහට ගත කරපු අන්තිම දවසේ 1 තෙසලෝනික 5:17 සඳහන් දේ ඔහු කළා කියලා කියන්න පුළුවන් ඇයි?

4 1 තෙසලෝනික 5:17 කියවන්න. යේසුස් මිනිසෙක් විදිහට ගත කරපු අන්තිම දවසේ නිතරම වගේ දෙවියන්ට යාච්ඤා කළා. ඔහුගේ මරණය සිහි කිරීම හඳුන්වා දුන්න වෙලාවේ රොටි සහ වයින් බෙදා දෙන්න කලින් ඔහු යාච්ඤා කළා. (1 කොරි. 11:23-25) පාස්කුව පවත්වපු ස්ථානයෙන් පිට වෙන්න කලිනුත් නියෝජිතයන් එක්ක ඔහු යාච්ඤා කළා. (යොහ. 17:1-26) එදා රෑ ඔහු නියෝජිතයන් එක්ක ඔලීව කන්දට ගියාට පස්සෙත් කීප සැරයක්ම යාච්ඤා කළා. (මතෙ. 26:36-39, 42, 44) යේසුස් අවසන් හුස්ම හෙළන්න කලින් කිව්වෙත් යාච්ඤාවක්. (ලූක් 23:46) ඒ අන්තිම දවසේ සිද්ධ වුණ හැම දෙයක් ගැනම යේසුස් දෙවියන් එක්ක කතා කළා.

5. නියෝජිතයන්ට ධෛර්යවත්ව වැඩ කරන්න බැරි වුණේ ඇයි?

5 ඒ අමාරු පීඩාව දරාගන්න යේසුස්ට උදව් වුණ එක දෙයක් තමයි ඔහු නිතරම යාච්ඤා කරලා දෙවියන්ගෙන් උදව් ඉල්ලපු එක. ඒත් නියෝජිතයන් එදා රෑ නොකඩවා දෙවියන්ට යාච්ඤා කළේ නැහැ. ඒ නිසයි එයාලට ධෛර්යවත්ව වැඩ කරන්න බැරි වුණේ. (මතෙ. 26:40, 41, 43, 45, 56) පීඩාවලට මුහුණ දෙද්දී අපිට දිගටම විශ්වාසවන්තව ඉන්න පුළුවන් වෙන්නේ යේසුස් වගේ අපිත් “නොකඩවා යාච්ඤා” කරනවා නම් විතරයි. අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

6. හිතේ සාමය නැති කරගන්නේ නැතුව ඉන්න විශ්වාසය අපිට උදව් වෙන්නේ කොහොමද?

6 “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න” කියලා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න අපිට පුළුවන්. (ලූක් 17:5; යොහ. 14:1) යේසුස්ව අනුගමනය කරන හැමෝගෙම විශ්වාසය සාතන් සෝදිසි කරන නිසා අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්නම ඕනේ. (ලූක් 22:31) එක පිට එක ප්‍රශ්න එද්දී හිතේ සාමය නැති කරගන්නේ නැතුව ඉන්න විශ්වාසය අපිට උදව් වෙන්නේ කොහොමද? දෙවියන් අපිට උදව් කරනවා කියලා අපිට විශ්වාසයි නම් අපි මුහුණ දෙන ප්‍රශ්නයෙන් ගොඩ එන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කළාට පස්සේ අපි ඒක දෙවියන්ට භාර දීලා ඒ ගැන තවත් කනස්සලු වෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රශ්නයට හොඳම විසඳුම දෙවියන් දෙනවා කියලා අපි දන්නවා. හිතේ සාමය දිගටම තියාගන්න ඒක උදව් වෙනවා.—1 පේතෘ. 5:6, 7.

7. රොබට් කියපු දේවලින් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

7 අපි මොන පීඩාවට මුහුණ දුන්නත් හිතේ සාමය දිගටම රැකගන්න යාච්ඤාව උදව් වෙනවා. වයස 80 ගණන්වල ඉන්න රොබට් කියන වැඩිමහල්ලාගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “මං ජීවිතේ හුඟක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ආර්ථික ප්‍රශ්න අද්දැක්කා. වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන්න මට තිබුණ පැවරුමත් ටික කාලෙකට නැති වුණා. ඒවා දරාගන්න ෆිලිප්පි 4:6, 7 තියෙන උපදෙස මට උදව් වුණා. මගේ හිතට කනස්සල්ලක් දැනෙද්දීම මං යාච්ඤා කරනවා. මං නිතර නිතර යාච්ඤා කරද්දී, ඒක ලොකු වුවමනාවකින් කරද්දී මගේ හිතට දැනුණ සාමයත් වැඩි වුණා.”

යේසුස් උද්‍යෝගයෙන් දේශනා කළා

දේශනා කරන එක හිතේ සාමය රැකගන්න උදව්වක් (8-10 ඡේද බලන්න)

8. යොහන් 8:29 සඳහන් වෙන විදිහට හිතේ සාමය රැකගන්න යේසුස්ට උදව් වුණ තවත් දෙයක් මොකක්ද?

8 යොහන් 8:29 කියවන්න. මිනිසුන් යේසුස්ට කෲර විදිහට සැලකුවත් ඔහු අද්දැක්ක සාමය නැති වුණේ නැහැ. මොකද යේසුස් දැනන් හිටියා ඔහුගේ විශ්වාසවන්තකම ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා කියලා. කොච්චර අමාරු වුණත් ඔහු දෙවියන්ට දිගටම කීකරු වුණා. ඔහුගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ දෙවියන්ට සේවය කරන එකයි. උදාහරණෙකට පොළොවට එන්න කලින් දෙවියන්ගේ “ප්‍රධාන සේවකයා” වුණේ ඔහුයි. (හිතෝ. 8:30) පොළොවේ ඉද්දීත් ඔහු දෙවියන් ගැන උද්‍යෝගයෙන් අනිත් අයට කියලා දුන්නා. (මතෙ. 6:9; යොහ. 5:17) ඒකෙන් ඔහු ලැබුවේ ලොකු සතුටක්.—යොහ. 4:34-36.

9. දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන එක මනසේ සාමය රැකගන්න උදව් වෙන්නේ කොහොමද?

9 යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරද්දී” අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව. (1 කොරි. 15:58) “ඉතා උද්‍යෝගයෙන්” දේශනා සේවයේ හවුල් වෙද්දී අපි මුහුණ දෙන ප්‍රශ්න දිහා වෙනස් විදිහකට බලන්න අපිට පුළුවන් වෙනවා. (ක්‍රියා 18:5) උදාහරණෙකට දේශනා සේවයේදී අපිට හම්බ වෙන සමහර අය අපිට වඩා බැරෑරුම් ප්‍රශ්න ගැටලු අද්දකිනවා. ඒත් එයාලා දෙවියන්ට ළං වෙද්දී, ඔහුගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී එයාලගේ ජීවිත යහපත් අතට හැරෙනවා. මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන විදිහ අපි දකින හැම වතාවකම දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් වෙනවා. හිතේ සාමය දිගටම රැකගන්න ඒක අපිට උදව් වෙනවා. තමන්ගෙන් කිසිම වැඩක් නැහැ කියලා හිතපු, මානසික අවපීඩනයෙන් පෙළුණ සහෝදරියක් මෙහෙම කියනවා. “මං සේවේ වැඩියෙන් හවුල් වෙද්දී මගේ හැඟීම් පාලනය කරගෙන සතුටින් ඉන්න මට පුළුවන් වුණා. මං හිතන්නේ එහෙම වුණේ මං සේවේ යද්දී යෙහෝවා දෙවියන් මං ළඟින්ම ඉන්නවා කියලා මට දැනුණ නිසයි.”

10. බ්‍රෙන්ඩා කියපු දේවලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

10 බ්‍රෙන්ඩා කියන සහෝදරියගේ අද්දැකීමත් බලන්න. එයායි, එයාගේ දුවයි දරුණු ස්නායු රෝගයකින් පීඩා විඳිනවා. ඒ රෝගය නිසා බ්‍රෙන්ඩාට ඇවිදින්න අමාරුයි. එයා එහේ මෙහේ යන්නේ රෝද පුටුවෙන්. සමහර දවස්වලදී එයා ගෙයින් ගෙට සේවයේ ගියත් එයා වැඩිපුරම සාක්ෂි දරන්නේ ලිපි මාර්ගයෙන්. එයා මෙහෙම කියනවා. “පාරාදීස පොළොව එන කල් මට මේ අසනීපෙන් ගොඩ එන්න බැහැ කියලා මං තේරුම්ගත්තාට පස්සේ සේවේට සම්පූර්ණ අවධානය දෙන්න මට පුළුවන් වුණා. දේශනා කරද්දී මට මගේ අසනීපේ අමතක වෙනවා. මොකද මං වැඩියෙන් හිතන්න ඕනෙ සාක්ෂි දරන අයට උදව් කරන විදි ගැනයි. අනිත් අයට දේශනා කරද්දී අනාගතේ ගැන මට තියෙන ලස්සන බලාපොරොත්තුව නිතරම මතක් වෙනවා.”

යාළුවන්ගෙන් ලැබුණ උදව් යේසුස් පිළිගත්තා

හොඳ යාළුවන්ව ආශ්‍රය කරන එක හිතේ සාමය රැකගන්න උදව්වක් (11-15 ඡේද බලන්න)

11-13. (අ) නියෝජිතයන් සහ තවත් අය යේසුස්ට හොඳ යාළුවන් වුණේ කොහොමද? (ආ) හොඳ යාළුවන් නිසා යේසුස්ට හැඟුණේ කොහොමද?

11 යේසුස් දේශනා කරපු කාලය පුරා විවිධ අභියෝගවලට මුහුණ දෙද්දී ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් ඔහුත් එක්කම හිටියා. ‘සහෝදරයන්ටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරන් සිටියි’ කියන දේ ඇත්තක් කියලා එයාලා ඔප්පු කරලා පෙන්නුවා. (හිතෝ. 18:24) ඒ වගේ යාළුවන්ව යේසුස් හුඟක් අගය කළා. යේසුස් දේශනා කරපු කාලේ ඔහුගේ සහෝදරයන් ඔහු ගැන විශ්වාසය තිබ්බේ නැහැ. (යොහ. 7:3-5) එක අවස්ථාවක යේසුස්ගේ නෑදෑයන් හිතුවා යේසුස්ට පිස්සු හැදිලා කියලා. (මාක් 3:21) ඒත් යේසුස් නියෝජිතයන් ගැන කිව්ව දේ බලන්න. ඔහු කිව්වේ “විවිධ දුෂ්කරතාවලට මා මුහුණ දුන් විට මාව අත්හරින්නේ නැතුව මා සමඟම සිටියේ ඔබයි” කියලා.—ලූක් 22:28.

12 නියෝජිතයන් යේසුස් බලාපොරොත්තු වුණ විදිහට දේවල් නොකරපු අවස්ථා තිබුණා. ඒත් එයාලගේ දුර්වලකම් දිහා බලනවා වෙනුවට යේසුස් අවධානය දුන්නේ එයාලගේ හිතේ යේසුස් ගැන කොච්චර විශ්වාසයක් තියෙනවාද කියන දේටයි. (මතෙ. 26:40; මාක් 10:13, 14; යොහ. 6:66-69) යේසුස්ව මරණයට පත් කරන්න කලින් රාත්‍රියේදී ඔහු එයාලට මෙහෙම කිව්වා. “මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි. මගේ පියාණන් මට කියා දුන් සෑම දෙයක්ම මම ඔබට කියා දුන්නේ ඒ නිසයි.” (යොහ. 15:15) යේසුස්ගේ කිට්ටු යාළුවන්ගෙන් ඔහුට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. දේශනා සේවය කරන්න එයාලගෙන් ලැබුණ සහය නිසා යේසුස් ගොඩක් සතුටු වුණා.—ලූක් 10:17, 21.

13 නියෝජිතයන්ට අමතරව යේසුස්ට තව යාළුවෝ හිටියා. ඒ අය අතරේ ගැහැනු, පිරිමි දෙගොල්ලන්ම හිටියා. එයාලා දේශනා සේවයටත් වෙනත් විදිවලිනුත් යේසුස්ට සහය දුන්නා. සමහරු එයාලගේ ගෙවල්වලට යේසුස්ට ආරාධනා කරලා කෑම බීම දුන්නා. (ලූක් 10:38-42; යොහ. 12:1, 2) තවත් අය යේසුස් විවිධ පළාත්වලට යද්දී ඔහුත් එක්ක ගිහින් එයාලට තිබුණ දේවල් ඔහුත් එක්ක බෙදාගත්තා. (ලූක් 8:3) යේසුස්ට ඒ තරම් හොඳ යාළුවෝ හිටියේ ඔහුත් එයාලට හොඳ යාළුවෙක් වුණ නිසයි. යේසුස් එයාලට උදව් කළා. එයාලට කරන්න බැරි දේවල් එයාලගෙන් කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. යේසුස් පරිපූර්ණ කෙනෙක් නිසා පාපය උරුම කරගත්ත අයගේ උදව් තමන්ට ඕනෙ නැහැ කියලා ඔහු හිතුවේ නැහැ. ඒ වෙනුවට එයාලගේ සහය ඔහු අගය කළා. හිතේ සාමය රැකගන්න එයාලගේ ආශ්‍රය යේසුස්ට අනිවාර්යයෙන්ම උදව් වුණා.

14-15. හොඳ යාළුවන්ව හොයාගන්න පුළුවන් කොහොමද? එයාලා අපිට උදව් කරන්නේ මොන පැතිවලින්ද?

14 හොඳ යාළුවන් අපිට උදව් කරනවා යෙහෝවා දෙවියන්ට ළැදිව ඉන්න. හොඳ යාළුවෝ හොයාගන්න නම් අපිත් හොඳ යාළුවෝ වෙන්න ඕනේ. (මතෙ. 7:12) බයිබලේ අපිට දිරිගන්වන්නේ අනිත් අයට විශේෂයෙන්ම “අගහිඟකම්වලින් පෙළෙන” අයට උදව් කරන්න අපේ කාලය සහ ශක්තිය යොදවන්න කියලයි. (එෆී. 4:28) ඔයාට උදව් කරන්න පුළුවන් ඔයාගේ සභාවේ ඉන්න කෙනෙක්ව ඔයාට මතක් වෙනවාද? මහලු වයස නිසා, අසනීපයක් නිසා ගෙදරින් එළියට යන්න බැරි කෙනෙක්ට අවශ්‍ය දේවල් කඩෙන් ගෙනත් දෙන්න ඔයාට පුළුවන්ද? ආර්ථික අපහසුතා අද්දකින පවුලකට කෑම වේලක් දෙන්න ඔයාට පුළුවන්ද? jw.org® වෙබ් අඩවිය, ‘JW ලයිබ්‍රරි’ ඇප් එක පාවිච්චි කරන්න ඔයා දන්නවා නම් ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා සභාවේ අයට කියලා දෙන්න ඔයාට පුළුවන්ද? ඒ විදිහට අනිත් අය වෙනුවෙන් අපි දේවල් කරද්දී අපිට ලොකු සතුටක් දැනෙයි.—ක්‍රියා 20:35.

15 අපි පීඩා, ප්‍රශ්න අද්දකිද්දී අපේ යාළුවෝ අපිත් එක්කම ඉඳලා අපිට හයියක් වෙනවා. හිතේ සාමය දිගටම රැකගන්න එයාලගේ ආදරේ අපිට උදව්වක්. යෝබ් එයා අද්දකින පීඩා ගැන කියද්දී එලිහු එයාට ඇහුම්කන් දුන්නා වගේ අපිත් අපේ හිතේ තියෙන දුක කියද්දී අපේ යාළුවෝ ඉවසීමෙන් අපිට ඇහුම්කන් දෙයි. ඒක කොච්චර සහනයක්ද! (යෝබ් 32:4) එයාලා අපි වෙනුවෙන් තීරණ ගනියි කියලා අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒත් එයාලා බයිබලෙන් යම් මඟ පෙන්වීම් දෙද්දී ඒවාට ඇහුම්කන් දෙන එක ඥානවන්ත දෙයක්. (හිතෝ. 15:22) දාවිත්ගේ යාළුවෝ එයාට උදව් කරද්දී එයා ඒවා පිළිගත්තා. අපිත් අපේ යාළුවෝ දෙන උදව් පිළිගන්නේ නැතුව ඉන්න තරම් උඩඟු වෙන්න හොඳ නැහැ. (2 සාමු. 17:27-29) හොඳ යාළුවෝ අපිට දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක්.—යාකො. 1:17.

හිතේ සාමය දිගටම රැකගන්න

16. ෆිලිප්පි 4:6, 7 අනුව හිතේ සාමය අද්දකින්න පුළුවන් කවුරු මාර්ගයෙන්ද? පැහැදිලි කරන්න.

16 ෆිලිප්පි 4:6, 7 කියවන්න. යෙහෝවා දෙවියන් ලබා දෙන සාමය අපිට අද්දකින්න පුළුවන් “ක්‍රිස්තුස් යේසුස් තුළින්” කියලා දෙවියන් කියන්නේ ඇයි? මොකද අපිට හිතේ සාමය ඇති කරගන්නත් ඒක දිගටම රැකගන්නත් පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න යේසුස් හවුල් වෙන විදිහ තේරුම් අරන් ඒ ගැන විශ්වාසය තිබ්බොත් විතරයි. උදාහරණෙකට යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපි අතින් වෙන ඕනෙම වරදකට සමාව ලබාගන්න අපිට පුළුවන්. (1 යොහ. 2:12) ඒ ගැන හිතද්දී අපිට මොන තරම් සහනයක් දැනෙනවාද! සාතන් සහ මේ දුෂ්ට සමාජය නිසා අපි අද්දකින හැම වේදනාකාරී දෙයක්ම දේවරාජ්‍යයේ රජු වන යේසුස් ඉදිරියේදී අයින් කරලා හැම දෙයක්ම ආයෙත් හොඳ තත්වයට ගේනවා. (යෙසා. 65:17; 1 යොහ. 3:8; එළි. 21:3, 4) ඒක මොන තරම් ලස්සන බලාපොරොත්තුවක්ද! යේසුස් අපිට භාර දීලා තියෙන්නේ කරන්න ලේසි කාර්යයක් නොවුණත් මේ අන්තිම දවස්වලදී ඔහු අපි එක්කම ඉඳලා අපිට සහය දෙනවා. (මතෙ. 28:19, 20) ඒක අපිට මොන තරම් ධෛර්යයක්ද! හිතේ සාමය දිගටම රැකගන්න යේසුස් නිසා අපිට ලැබෙන සහනය, බලාපොරොත්තුව සහ ධෛර්යය අත්‍යවශ්‍යයි.

17. (අ) හිතේ සාමය රැකගන්න පුළුවන් කොහොමද? (ආ) යොහන් 16:33 කියන විදිහට අපිට මොකක් කරන්න පුළුවන් වෙයිද?

17 එහෙමනම් දරුණු පීඩා, ප්‍රශ්න ගැටලු නිසා ඔයාට කනස්සල්ලක් දැනුණත් හිතේ සාමය දිගටම රැකගන්න පුළුවන් කොහොමද? යේසුස්ව ආදර්ශයට අරන් (1) දිගටම යාච්ඤා කරන්න, (2) කොච්චර අමාරු වුණත් දිගටම දෙවියන්ට කීකරු වෙලා උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වෙන්න සහ (3) යාළුවන්ගෙන් ලැබෙන උදව් පිළිගන්න. එතකොට දෙවියන් ලබා දෙන සමාදානය ඔයාගේ හදවතත් මනසත් ආරක්ෂා කරයි. යේසුස් වගේ ඕනෙම පීඩාවකට සාර්ථකව මුහුණ දෙන්න ඔයාටත් පුළුවන් වෙයි.—යොහන් 16:33 කියවන්න.

ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව

^ 5 ඡේ. හිතේ සාමය රැකගන්න අමාරු වෙන්න පුළුවන් විවිධ ප්‍රශ්න ගැටලුවලට අපි හැමෝම මුහුණ දෙනවා. දරාගන්න අමාරු ප්‍රශ්නවලට අපි මැදි වෙලා හිටියත් හිතේ සාමය දිගටම රැකගන්න යේසුස් කරපු දේවල් 3ක් අපිට උදව් වෙනවා. ඒවා ගැන මේ ලිපියේ කතා කරනවා.