Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස් මැරෙන්න ටිකකට කලින් ගීතාවලිය 22:1 සඳහන් දේ කිව්වේ ඇයි?

යේසුස් මිය යන්න ටිකකට කලින් මෙහෙම කිව්වා. “මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි?” (මතෙ. 27:46; මාක් 15:34) යේසුස් එහෙම කියපු එකෙන් ගීතාවලිය 22:1 දාවිත් කියපු අනාවැකිය ඉටු වුණා. යේසුස් එහෙම කිව්වේ යෙහෝවා දෙවියන් ගැන කලකිරුණු නිසා කියලවත් දෙවියන් ගැන තිබුණ විශ්වාසය අඩු වුණ නිසා කියලවත් කියන්න බැහැ. මොකද යේසුස් හොඳින්ම දැනගෙන හිටියා තමන්ට මැරෙන්න වෙන්නේ ඇයි කියලා. ඒකට ඔහු ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මයි. (මතෙ. 16:21; 20:28) ඒ වගේම යේසුස් දැනගෙන හිටියා “ආරක්ෂක පවුරක්” වගේ දෙවියන් ඔහුට දීලා තිබුණු රැකවරණය මිය යන්න කලින් දෙවියන් ඔහුගෙන් ඉවත් කරනවා කියලා. (යෝබ් 1:10) එහෙම කරපු එකෙන් යෙහෝවා දෙවියන් යේසුස්ට ඉඩහැරියා මොන තරම් වේදනාකාරී මරණයකට මුහුණ දෙන්න වුණත් ඔහු අන්තිමය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා කියලා ඔප්පු කරන්න.—මාක් 14:35, 36.

එහෙනම් මැරෙන්න ටිකකට කලින් ගීතාවලිය 22:1 සඳහන් දේ යේසුස් කිව්වේ ඇයි? ඒකට උත්තරේ හරියටම දන්නේ නැති වුණත් ඒකට හේතු වෙන්න පුළුවන් කාරණා කීපයක් අපි බලමු. *

සමහරවිට යේසුස් එහෙම කියන්න ඇත්තේ යෙහෝවා දෙවියන් මැදිහත් වෙලා තමන්ව මරණයෙන් ගලවාගන්නේ නැහැ කියලා කාවද්දන්න වෙන්න ඇති. ‘මිනිසුන් හැමෝම වෙනුවෙන් යේසුස්ට තමන්ගේ ජීවිතය පූජා කරන්න’ වුණා. (හෙබ්‍රෙ. 2:9) මිනිසෙක් විදිහට ඔහුට ඒක කරන්න වුණේ දෙවියන්ගේ උපකාරය නැතුව.

සමහරවිට යේසුස් ඒ දේ කියන්න ඇත්තේ දාවිත් ලියපු මුළු ගීතිකාවටම අවධානය යොමු කරන්න වෙන්න ඇති. ඒ කාලේ හිටපු යුදෙව්වන් ගීතාවලිය පොතේ තිබුණු හුඟක් ගීතිකා කටපාඩම් කරගෙන තිබුණා. ඒ නිසා එක පදයක් කිව්වාම එයාලට මුළු ගීතිකාවම මතක් වුණා. සමහරවිට යේසුස් ඒක කියන්න ඇත්තේ 22වෙනි ගීතිකාවේ ඔහුගේ මරණය ගැන තියෙන අනාවැකි අනුගාමිකයන්ට මතක් කරලා දෙන්න වෙන්න ඇති. (ගීතා. 22:7, 8, 15, 16, 18, 24) ඒ වගේම යෙහෝවා දෙවියන්ගේ පාලනය පොළොව පුරාම ව්‍යාප්ත වෙනවා කියන ප්‍රීතිමත් අනාවැකිය ඒ ගීතිකාව අවසානයේ සඳහන් වෙනවා කියලත් එයාලට මතක් වෙන්න ඇති.—ගීතා. 22:27-31.

සමහරවිට යේසුස් ඒ දේ කියන්න ඇත්තේ තමන් නිර්දෝෂයි කියලා අඟවන්න වෙන්න ඇති. යේසුස් මැරෙන්න කලින් ඔහු දෙවියන්ට අපහාස කළා කියන බොරු චෝදනාව මත පවත්වපු නඩු විභාගයකට පෙනී ඉන්න යේසුස්ට සිද්ධ වුණා. (මතෙ. 26:65, 66) මහා රෑ පවත්වපු ඒ නඩු විභාගය සම්පූර්ණයෙන්ම නීති විරෝධී එකක්. (මතෙ. 26:59; මාක් 14:56-59) සමහරවිට යේසුස් එදා ඒ දේ කියන්න ඇත්තේ තමන්ට නියම වුණු මරණ දඬුවම ලබන්න තරම් වරදක් ඔහු කළේ නැහැ කියලා අඟවන්න වෙන්න ඇති.

යේසුස් එහෙම කියන්න ඇත්තේ 22වෙනි ගීතිකාව ලියපු දාවිත්ට දුක් විඳින්න වුණේ දෙවියන්ගේ අනුමැතිය අහිමි වුණ නිසා නෙවෙයි කියලා මතක් කරන්න වෙන්න ඇති. දාවිත් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ දෙවියන් ගැන එයාට තිබුණු විශ්වාසය අඩු වුණ නිසයි කියලා කියන්න බැහැ. මොකද යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා කියන එක ගැනත් එයාලට දිගටම ආශීර්වාද කරනවා කියන එක ගැනත් දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා කියලා එයා ඊළඟට කියපු දේවලින් පැහැදිලි වෙනවා. (ගීතා. 22:23, 24, 27) ඒ වගේ “දාවිත්ගේ පුත්‍රයා” විදිහට හඳුන්වපු යේසුස්ට වධකණුවක මිය යන්න සිද්ධ වුණත් එහෙම වුණේ ඔහුට දෙවියන්ගේ අනුමැතිය අහිමි වුණ නිසයි කියලා කියන්න බැහැ.—මතෙ. 21:9.

යේසුස් එහෙම කියන්න ඇත්තේ යෙහෝවා දෙවියන් ඔහුට දීපු රැකවරණය අයින් කරපු එක ගැන දැනුණු වේදනාව නිසා වෙන්න ඇති. යේසුස්ට මැරෙන්න සිද්ධ වුණේ ආදම් සහ ඒව දෙවියන්ට විරුද්ධව කැරලිගහපු නිසයි. යේසුස් මැරෙන එක දෙවියන්ගේ මුල් අරමුණට ඇතුළත් වුණේ නැහැ. යේසුස් කිසි වරදක් කළේ නැතත් ඔහුට දුක් විඳලා මැරෙන්න සිද්ධ වුණේ සාතන් නඟපු චෝදනාව බොරුයි කියලා ඔප්පු කරන්න සහ ආදම් නිසා මිනිසුන්ට අහිමි වුණ සදාකල් ජීවිතය ආපහු ලබා දෙන්න වන්දියක් ඕන වුණ නිසයි. (මාක් 8:31; 1 පේතෘ. 2:21-24) යේසුස්ට ඒක කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවියන් ඔහුට දුන්නු රැකවරණය මුල්ම වතාවට අයින් කරපු නිසයි.

යේසුස් එහෙම කියන්න ඇත්තේ තමන්ට වධකණුවක මිය යන්න යෙහෝවා දෙවියන් ඉඩහැරියේ ඇයි කියලා තේරුම්ගන්න තමන්ගේ අනුගාමිකයන්ට උදව් කරන්න වෙන්න ඇති. * අපරාධකාරයෙක් වගේ තමන්ට වධකණුවක මිය යන්න සිද්ධ වෙන එක ගැන හුඟදෙනෙක් බාධාවට පත් වෙයි කියලා යේසුස් දැනගෙන හිටියා. (1 කොරි. 1:23) හැබැයි යේසුස්ට මැරෙන්න වෙන්නේ ඇයි කියලා ඔහුගේ අනුගාමිකයන් තේරුම්ගත්තොත් ජීවිත පූජාවේ වටිනාකම තේරුම්ගන්න එයාලට පුළුවන් වෙනවා. (ගලා. 3:13, 14) යේසුස්ව අපරාධකාරයෙක් විදිහට දකිනවා වෙනුවට ඔහු ගැලවුම්කරු කියලා තේරුම්ගන්න ඒක එයාලට උදව් වෙනවා.

ගීතාවලිය 22:1 තියෙන වචන යේසුස් කිව්වේ මොන හේතුවක් නිසා වුණත් තමන්ට වධකණුවක මිය යන්න සිද්ධ වෙන එක යෙහෝවා දෙවියන්ගේ කැමැත්තට එකඟයි කියලා ඔහු හොඳින්ම දැනගෙන හිටියා. යේසුස් ඒ දේ කියලා ටික වෙලාවකට පස්සේ “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියලා කිව්වේ ඒ නිසයි. (යොහ. 19:30; ලූක් 22:37) යෙහෝවා දෙවියන් යේසුස්ව පොළොවට එවපු අරමුණ සම්පූර්ණයෙන්ම ඉටු කරන්න යේසුස්ට පුළුවන් වුණේ අන්තිම මොහොතේ දෙවියන් යේසුස්ට දීලා තිබුණු රැකවරණය අයින් කරපු නිසයි කියලා පැහැදිලියි නේද? ඒ විතරක් නෙවෙයි “මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත්” යේසුස් ගැන කියලා තිබුණු හැම අනාවැකියක්ම ඔහුට ඉටු කරන්න පුළුවන් වුණේ ඒ නිසයි.—ලූක් 24:44.

^ 2 ඡේ. “යේසුස් අන්තිමට කියපු දේවලින් වටිනා පාඩම් ඉගෙනගමු” කියන ලිපියේ 9 සහ 10 ඡේද බලන්න.

^ 4 ඡේ. සමහර අවස්ථාවල යේසුස් යම් දේවල් ගැන කිව්වේ, ප්‍රශ්න ඇහුවේ, ඒ දේවල් ගැන තමන්ට හැඟෙන විදිහ පැහැදිලි කරන්න නෙවෙයි. ඒ වෙනුවට ඒ ගැන තමන්ගේ අනුගාමිකයන්ට හැඟෙන්නේ කොහොමද කියලා දැනගන්නයි.—මාක් 7:24-27; යොහ. 6:1-5. 2010 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 4-5 පිටු බලන්න.