Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 17

යෙහෝවා දෙවියන්ට ඔයාව හුඟක් වටිනවා!

යෙහෝවා දෙවියන්ට ඔයාව හුඟක් වටිනවා!

“යෙහෝවා දෙවි තම සෙනඟ ගැන සතුටු වන්නේය.”—ගීතා. 149:4.

ගීතිකාව 108 දෙවිගේ සදාතනික ප්‍රේමය

මේ ලිපියෙන් *

යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනා ගැන ‘සතුටු වෙනවා’ (1 ඡේදය බලන්න)

1. දෙවියන්ගේ සෙනඟ ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් තම සෙනඟ ගැන ‘සතුටු වෙනවා.’ (ගීතා. 149:4) ඒ ගැන හිතද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා නේද? මොකද ඒකෙන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවියන් අපේ හොඳ ගතිගුණ දකිනවා, අපිට හොඳ පුද්ගලයන් වෙන්න පුළුවන් කියලා ඔහු විශ්වාස කරනවා සහ ඔහුගේ යාළුවෙක් වෙන්න ඔහු අපිට උදව් කරනවා කියන එකයි. ඔහුට අපි විශ්වාසවන්තව ඉන්න තාක් කල් ඔහු කවදාවත් අපිව අත්හරින්නේ නැහැ.—යොහ. 6:44.

2. යෙහෝවා දෙවියන් තමන්ට ආදරේ කරනවා කියලා සමහරුන්ට විශ්වාස කරන්න අමාරු ඇයි?

2 සමහරවිට කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ආදරෙයි තමයි. හැබැයි ඔහු මට ආදරෙයි කියලා විශ්වාස කරන්නේ කොහොමද?’ පුංචි කාලේ හුඟක් නරක අද්දැකීම්වලට මුහුණ දුන්නු ඔක්සානා * කියන දේ බලන්න. “මං බව්තීස්ම වෙලා පුරෝගාමි සේවය පටන්ගත්ත කාලේ මං හිටියේ හරිම සතුටින්. හැබැයි ඊට අවුරුදු 15කට පස්සේ පුංචි කාලේ වෙච්ච දේවල් මට මතක් වෙන්න පටන්ගත්තා. ඒ නිසා යෙහෝවා දෙවියන් මට ආදරේ නෑ, ඔහුගේ ආදරේ ලබන්න මං වටින්නේ නෑ කියලා මට හිතුණා.” පුංචි කාලය ගැන අමිහිරි මතකයන් තියෙන පුරෝගාමි සහෝදරියක් වන යූවා මෙහෙම කියනවා. “මං බව්තීස්ම වුණේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න. හැබැයි ඔහු මට ආදරේ කරයි කියලා මං කවදාවත් විශ්වාස කළේ නැහැ.”

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 කලින් සඳහන් කරපු විශ්වාසවන්ත සහෝදරියන් දෙන්නා වගේ යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක් ඔයාට තිබුණත් ‘යෙහෝවා දෙවියන් ඔයාට ආදරේ නැහැ’ කියලා හිතෙනවාද? අපි එක් එක් කෙනාට යෙහෝවා දෙවියන් ආදරෙයි කියන එක ගැන අපි සහතික කරගන්න එක වැදගත් ඇයි? දෙවියන් මට ආදරෙයිද කියලා සැකයක් ඇති වෙද්දී ඒ සැකය නැති කරගන්න අපිට කරන්න පුළුවන් මොනවාද? අපි දැන ඒ ප්‍රශ්නවලට උත්තර බලමු.

සැකය හරිම භයානකයි

4. යෙහෝවා දෙවියන් මට ඇත්තටම ආදරෙයිද කියලා සැක කරන එක භයානක ඇයි?

4 ඕනම දෙයක් කරන්න අපිව පොලඹවන්න ආදරේට පුළුවන්. යෙහෝවා දෙවියන් අපිට ආදරෙයි, අපිට උදව් කරනවා කියලා විශ්වාස කරද්දී මොන අභියෝග ආවත් දිගටම ඔහුට සේවය කරන්න අපි පෙලඹෙනවා. හැබැයි අනිත් අතට දෙවියන් අපිට ආදරෙයිද කියලා සැකයක් ඇති වුණොත් අපේ ‘ශක්තිය හීන වෙනවා.’ (හිතෝ. 24:10) ඒ වගේම දෙවියන්ගේ ආදරේ ගැන දිගටම සැක කළොත් අපිට විරුද්ධව ගේන සාතන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා වෙන්න අපිට බැරි වෙයි.—එෆී. 6:16.

5. දෙවියන් මට ආදරේ කරන්නේ නැහැ කියලා හිතන එක සමහර අයට බලපාලා තියෙන්නේ කොහොමද?

5 සමහර සහෝදරයන් දෙවියන්ගේ ආදරේ දිගින් දිගටම සැක කරපු නිසා එයාලගේ විශ්වාසය දුර්වල වෙලා තියෙනවා. ඒ ගැන වැඩිමහල්ලෙක් වන ජේම්ස් මෙහෙම කියනවා. “මං ඉන්නේ බෙතෙල් එකේ. වෙනත් භාෂාවක් කතා කරන සභාවකට මං උදව් කරන්නේ හරිම සතුටින්. ඒත් මං කරන සේවය යෙහෝවා දෙවියන්ට වටිනවාද කියලා මට හිතුණා. යෙහෝවා දෙවියන් මගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද කියලත් මං සැක කරන්න පටන්ගත්තා.” පූර්ණකාලීන සේවය කරන සහෝදරි ඊවා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන්ගේ ආදරේ ගැන සැක කරන්න පටන්ගත්තොත් නමස්කාරයට සම්බන්ධ කිසිම දෙයක් ආසාවෙන් කරන්න බැරි වෙයි. ඔයාගේ සතුටත් නැති වෙයි. අන්තිමේදී යෙහෝවා දෙවියන්ට කරන සේවයත් ඔයා නතර කරයි.” ස්ථාවර පුරෝගාමි සේවය කරන වැඩිමහල්ලෙක් වන මයිකල් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් ඔයාට ආදරේ නැහැ කියලා හිතුවොත් ඔයා ටිකෙන් ටික ඔහුගෙන් ඈත් වෙයි.”

6. යෙහෝවා දෙවියන් මට ආදරේ නැහැ කියලා හිතුණොත් අපි කරන්න ඕනෙ මොනවාද?

6 ‘දෙවියන් මට ආදරේ නැහැ’ කියලා හිතන එක කොච්චර භයානකයිද කියලා ඒ අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා. එහෙනම් ‘දෙවියන් මට ආදරේ නැහැ’ කියලා හිතෙද්දී අපි කරන්න ඕනෙ මොනවාද? එහෙම හිතෙද්දිම අපි ඒ ගැන හිතන එක නතර කරන්න ඕනේ. “හිතට වධ දෙන” ඒ වගේ දේවල් ගැන හිතනවා වෙනුවට ‘හදවතත් මනසත් ආරක්ෂා කරගෙන සන්සුන්ව ඉන්න’ යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ඕනේ. (ගීතා. 139:23; ෆිලි. 4:6, 7) අතීතයේ හිටපු දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයනුත් සමහර වෙලාවලදී අධෛර්යය කරවන සිතුවිලි එක්ක පොරබැඳලා තියෙනවා. ඒ වගේ කෙනෙක් තමයි පාවුල්. එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි දැන් බලමු.

පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7. පාවුල් මුහුණ දුන්නේ මොන වගේ ප්‍රශ්නවලටද?

7 ඔයාට ගොඩක් වගකීම් තියෙන නිසා ඒ හැම වගකීමක්ම උපරිමයෙන්ම කරගන්න බැහැ කියලා ඔයාට හිතිලා තියෙනවාද? පාවුල්ටත් එහෙම හිතුණා. එක සභාවක් ගැන විතරක් නෙවෙයි, ‘හැම සභාවක් ගැනම ලොකු බරක් එයාගේ හිතට දැනුණා.’ (2 කොරි. 11:23-28) මොකක් හරි අසනීපයක් නිසා ඔයාගේ සතුට නැති වෙලාද? පාවුලුත් කිව්වා ශරීරයට ‘ඇනී තියෙන කටුවක්’ හා සමාන පීඩාවකට එයා මුහුණ දෙනවා කියලා. සමහරවිට එයා එහෙම කියන්න ඇත්තේ කාලයක් තිස්සේ එයාට තිබුණු සෞඛ්‍ය ගැටලුවක් ගැන වෙන්න ඇති. (2 කොරි. 12:7-10) ඔයා අතින් වුණු අඩුපාඩු ගැන ඔයා අධෛර්යය වෙලාද ඉන්නේ? පාවුල්ටත් එහෙම වුණා. එක වෙලාවක එයා කිව්වා, “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද” කියලා. එයා එහෙම කිව්වේ උරුම වෙලා තිබුණු පව්කාරකම නිසා හරි දේ කරන්න දිගටම එයාට සටනක් කරන්න සිද්ධ වුණ නිසයි.—රෝම 7:21-24.

8. ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න පාවුල්ට උදව් වුණේ මොනවාද?

8 පාවුල් අධෛර්යය කරවන දේවලට මුහුණ දුන්නත් එයා දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කළා. එහෙම කරන්න එයාට පුළුවන් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව ගැන ස්ථිර විශ්වාසයක් එයාට තිබුණ නිසයි. ‘යේසුස් කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ටම සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙනවා’ කියලා යේසුස් දුන්න පොරොන්දුව ගැන එයා දැනගෙන හිටියා. (යොහ. 3:16; රෝම 6:23) බරපතළ පාපයක් කරලා තියෙන කෙනෙක් වුණත් ඒ ගැන අවංකව පසුතැවිලි වෙනවා නම් එයාට සමාව දෙන්න යෙහෝවා දෙවියන් කැමැත්තෙන් ඉන්නවා කියන එක ගැන පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.—ගීතා. 86:5.

9. ගලාති 2:20 පාවුල් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 යෙහෝවා දෙවියන් තමන්ට ගොඩක් ආදරේ කරනවා කියන එක ගැන පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. (ගලාති 2:20 කියවන්න.) එයා කියපු මේ වචනවලින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. එයා කිව්වේ, “මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබමි” කියලයි. ‘මගේ සහෝදරයන්ට දෙවියන් ආදරේ කළත් මං වගේ පව්කාරයෙක්ට නම් දෙවියන් ආදරේ කරන එකක් නැහැ’ කියලා පාවුල් හිතුවේ නැහැ. එයා රෝමවරුන්ට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය.” (රෝම 5:8) ඔව්, යෙහෝවා දෙවියන් අපිට ආදරේ කරන්න අපේ පව්කාරකම බාධාවක් කරගන්නේ නැහැ.

10. රෝම 8:38, 39 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 රෝම 8:38, 39 කියවන්න. ‘දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න’ කිසිම දේකට බැහැ කියලා පාවුල් කිව්වා. ඒ ගැන එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. මොකද එයා දැනන් හිටියා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් එක්ක කොච්චර ඉවසීමෙන් වැඩ කළාද කියලා. ඒ වගේම යෙහෝවා දෙවියන් එයාට මොන තරම් දයාවක් පෙන්නලා තියෙනවාද කියලත් එයා තේරුම් අරන් හිටියා. එහෙම බලද්දී පාවුල් කියපු දේ අපිට මේ විදිහට කියන්නත් පුළුවන්. ‘යෙහෝවා දෙවියන් ඔහුගේ පුත්‍රයාව මං වෙනුවෙන් දුන්නා. එහෙනම් ඇයි මං ඔහුගේ ආදරේ ගැන සැක කරන්නේ?’—රෝම 8:32.

යෙහෝවා දෙවියන් අවධානය දෙන්නේ අපි දැන් සහ අනාගතයේදී කරන දේවල්වලට මිසක් අතීතයේදී අපි අතින් වුණු වැරදිවලට නෙවෙයි (11 ඡේදය බලන්න) *

11. 1 තිමෝති 1:12-15 සඳහන් වැරදි පාවුල් අතින් සිද්ධ වෙලා තිබුණත් දෙවියන්ගේ ආදරේ ගැන එයාට ස්ථිර විශ්වාසයක් තිබුණේ ඇයි?

11 1 තිමෝති 1:12-15 කියවන්න. සමහර වෙලාවට පාවුල් කලින් කරපු වැරදි ගැන හිතහිතා ගොඩක් දුක් වෙන්න ඇති. එයා එයාවම හැඳින්නුවේ “ප්‍රධානතම” පව්කාරයා විදිහටයි. මොකද පාවුල් සත්‍යයට එන්න කලින් එයා නගරයෙන් නගරයට ගිහින් ක්‍රිස්තියානීන්ට පීඩා කළා. සමහර අයව හිරේ දාලා තවත් සමහර අයව මරන්න එයාගේ අනුමැතිය දුන්නා. (ක්‍රියා 26:10, 11) හිතලා බලන්න, පාවුල් සභාවකට ගිය වෙලාවක ඒ සභාවේ හිටපු දරුවෙක්ගේ දෙමාපියන්ව මරන්න අනුමැතිය දුන්නේ තමන් කියලා දැනගත්තාම එයාට කොහොම හැඟෙන්න ඇද්ද කියලා. පාවුල් දැනන් හිටියා එයාගේ අතීතය එයාට වෙනස් කරන්න බැහැ කියලා. යේසුස් මැරුණේ එයා වෙනුවෙන් කියලා පාවුල් දැනන් හිටියා. ඒ නිසයි ලොකු විශ්වාසෙකින් එයා මෙහෙම කිව්වේ. “අද මා මේ තත්වයේ සිටින්නේ දෙවිගේ මහත් කරුණාව නිසාය.” (1 කොරි. 15:3, 10) මොකක්ද පාඩම? යේසුස් මැරුණේ ඔයා වෙනුවෙන් කියලත් ඒ නිසා ඔයාට යෙහෝවා දෙවියන්ගේ කිට්ටු යාළුවෙක් වෙන්න පුළුවන් කියලත් ඔයා විශ්වාස කරන්න ඕනේ. (ක්‍රියා 3:19) යෙහෝවා දෙවියන් අවධානය දෙන්නේ අපි දැන් සහ අනාගතයේදී කරන දේවල්වලට මිසක් අතීතයේදී අපි අතින් වුණු වැරදිවලට නෙවෙයි. අපි අතින් ඒ වැරදි වෙද්දී අපි සාක්ෂිකරුවෙක් වෙලා හිටියත් නැතත් යෙහෝවා දෙවියන් දැනටමත් ඒ වැරදිවලට සමාව දීලා ඉවරයි.—යෙසා. 1:18.

12. කාගෙවත් ආදරේ ලබන්න ඔයා වටින්නේ නැහැ කියලා හිතුණොත් 1 යොහන් 3:19, 20 කියන දේ උදව් වෙන්නේ කොහොමද?

12 යේසුස් ඔයාගේ පව් වෙනුවෙන් මැරුණා කියන එක ගැන හිතද්දී සමහර වෙලාවට ඔයාට හිතෙයි, ‘ඒ වගේ දෙයක් ලබන්න තරම් මම වටින්නේ නැහැනෙ’ කියලා. ඔයාට එහෙම හිතෙන්න පුළුවන් ඇයි? අපි පාපය උරුම කරගෙන ඉන්න නිසා සමහර වෙලාවට අපේ හිත ඕනෑවටත් වැඩිය අපිට දොස් කියයි. කාගෙවත් ආදරේ ලබන්න අපි වටින්නේ නැහැ කියලා හැඟෙන්න සලස්වයි. (1 යොහන් 3:19, 20 කියවන්න.) ඒ වගේ වෙලාවට “අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නවා” කියලා අපි මතක් කරගන්න ඕනේ. ඔව්, යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරෙයි. අපේ වැරදිවලට සමාව දෙන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා. යෙහෝවා දෙවියන් අපිට ආදරෙයි කියලා අපි අපිටම තහවුරු කරගන්න ඕනේ. ඒක කරන්න දිගටම බයිබලේ අධ්‍යයනය කරන එක, නොකඩවා යාච්ඤා කරන එක සහ දෙවියන්ගේ සෙනඟව ආශ්‍රය කරන එක අපිට ගොඩක් උදව් වෙයි.

බයිබල් අධ්‍යයනය, යාච්ඤාව සහ විශ්වාසවන්ත යාළුවන්

13. බයිබල් අධ්‍යයනය අපිට උදව් වෙන්නේ කොහොමද? (“ බයිබල් අධ්‍යයනය උදව් වෙලා තියෙන විදිහ” කියන කොටුව බලන්න.)

13 හැම දවසකම බයිබලය අධ්‍යයනය කරන්න. යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් දැන හඳුනා ගන්නත් දෙවියන් ඔයාට කොච්චරක් ආදරෙයිද කියලා තේරුම්ගන්නත් ඒක ඔයාට උදව් වෙයි. හැම දවසකම බයිබලෙන් කොටසක් කියවලා ඒ ගැන හොඳට හිතද්දී දෙවියන් කැමති විදිහට ඔයාගේ සිතුවිලි සකස් කරගන්නත් ඔයාට පුළුවන් වෙයි. (2 තිමෝ. 3:16) වැඩිමහල්ලෙක් වන කෙවින්ට කොයි වෙලෙත් හිතුණේ එයාගේ කිසි වටිනාකමක් නැහැ කියලා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ගීතාවලිය 103 කියවලා ඒ ගැන හොඳට හිතපු එක මට උදව් වුණා මං හිතන විදිහ වෙනස් කරගෙන යෙහෝවා දෙවියන් මං ගැන හිතන විදිහට හිතන්න.” කලින් සඳහන් කරපු ඊවා මෙහෙම කියනවා. “හැම දවසකම නිදාගන්න කලින් යෙහෝවා දෙවියන් කාරණා ගැන හිතන විදිහ තේරුම්ගන්න මං උත්සාහ කරනවා. සන්සුන් මනසක් ඇතුව ඉන්නත් මගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් ඒක මට උදව් වෙනවා.”

14. යාච්ඤාව අපිට උදව් වෙන්නේ කොහොමද?

14 නොකඩවා යාච්ඤා කරන්න. (1 තෙස. 5:17) කෙනෙක් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න නම් එයාත් එක්ක නිතරම කතා කරන එකත් අපිට හැඟෙන විදිහ එයාට කියන එකත් හරිම වැදගත්. යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නම් අපිත් ඒ දේම කරන්න ඕනේ. නිතරම ඔහුට යාච්ඤා කරන එකෙන් අපි පෙන්නන්නේ යෙහෝවා දෙවියන්ව අපිට විශ්වාසයි, ඔහු අපිට ගොඩක් ආදරෙයි කියලා අපි දන්නවා කියන එකයි. (ගීතා. 94:17-19; 1 යොහ. 5:14, 15) කලින් සඳහන් කරපු යූවා මෙහෙම කියනවා. “මං යාච්ඤා කරද්දී ආයතනයක ඉන්න ප්‍රධානියෙක්ට දවසේ වෙච්ච දේ ගැන වාර්තාවක් ඉදිරිපත් කරනවා වගේ දේවල් කියන්නේ නැහැ. ඒ වෙනුවට මගේ හිතේ තියෙන හැම දෙයක්ම මං කියනවා. එහෙම කරන එකෙන් යෙහෝවා දෙවියන්ව ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දකින්න මට පුළුවන් වෙලා තියෙනවා.”—“ ඔයා කියවලා තියෙනවාද?” කියන කොටුව බලන්න.

15. යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්නේ කොහොමද?

15 දෙවියන්ගේ සෙනඟව ඇසුරු කරන්න. මොකද එයාලා යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබුණු වටිනා තෑගි. (යාකො. 1:17) ආදරෙන් වැඩ කරන සහෝදර සහෝදරියන්ව අපිට දීලා තියෙන එකෙන් යෙහෝවා දෙවියන් අපි ගැන පෞද්ගලිකව සැලකිලිමත් වෙනවා කියලා පෙන්නලා තියෙනවා. (හිතෝ. 17:17) පාවුල් කොලොස්සිවරුන්ට ලියපු ලිපියේ විවිධ සහෝදර සහෝදරියන් එයාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වුණා කියලා සඳහන් කළා. (කොලො. 4:10, 11) යේසුස්ටත් සමහර අවස්ථාවලදී උදව් ඕනෙ වුණා. ඒ වගේ වෙලාවල දේවදූතයන්ගෙනුත් ඔහුගේ අනිත් යාළුවන්ගෙනුත් ලැබුණු උදව් යේසුස් ගොඩක් අගය කළා.—ලූක් 22:28, 43.

16. යෙහෝවා දෙවියන්ට ළං වෙන්න විශ්වාසවන්ත යාළුවන් අපිට උදව් වෙන්නේ කොහොමද?

16 සභාවේ ඉන්න යාළුවන්ගෙන් ඔයා උදව් ගන්නවාද? අපේ ප්‍රශ්නයක් ගැන අවබෝධයෙන් වැඩ කරන යාළුවෙක් එක්ක කතා කරන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපේ විශ්වාසය දුර්වල වෙලා කියලා. උදාහරණෙකට කලින් සඳහන් කරපු ජේම්ස් කියන දේ බලන්න. “අවබෝධයෙන් වැඩ කරන යාළුවන්ගෙන් මට ගොඩක් උදව් ලැබිලා තියෙනවා. මොකක් හරි දෙයක් නිසා මං අධෛර්යය වුණාම මං කියන දේවල් එයාලා හරිම ඉවසීමෙන් අහගෙන ඉන්නවා. ඒකෙන් මට දැනෙනවා එයාලා මට කොච්චර ආදරෙයිද කියලා. ඒ විතරක් නෙවෙයි ඒකෙන් යෙහෝවා දෙවියන්ගේ ආදරෙත් මට දැනෙනවා.” අවබෝධයෙන් වැඩ කරන සහෝදර සහෝදරියන්ව අපේ කිට්ටු යාළුවන් කරගන්න එක කොච්චර වැදගත්ද කියලා පැහැදිලියි නේද?

දිගටම දෙවියන්ගේ ආදරේ ලබන්න

17-18. අපි ඇහුම්කන් දෙන්න ඕනෙ කාටද? ඒ ඇයි?

17 හරි දේ කරන්න අපි දරන වෑයම නතර කරනවා දකින්නයි සාතන්ට ඕනේ. ඒ නිසා ‘යෙහෝවා දෙවියන් අපිට ආදරේ නැහැ, ගැලවීම ලබන්න තරම් අපි වටින්නේ නැහැ’ කියලා හිතන්න අපිව පොලඹවන්න සාතන් උත්සාහ කරනවා. සාතන්ට රැවටෙන්න එපා.

18 යෙහෝවා දෙවියන් ඔයාට ගොඩක් ආදරෙයි. ඔහුට ඔයාව ගොඩක් වටිනවා. ඔයා දෙවියන්ට දිගටම කීකරු වුණොත් ඔහුගේ ආදරේ හැමදාටම ලබන්න ඔයාට පුළුවන්. (යොහ. 15:10) ඒ නිසා සාතන්ටවත් ඔයාගේ පව්කාර හිතටවත් ඇහුම්කන් දෙන්න එපා. ඒ වෙනුවට අපි එක් එක් කෙනාගේ හොඳ දකින යෙහෝවා දෙවියන්ට ඇහුම්කන් දෙන්න. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ ගැන සතුටු වෙනවා කියලා කවදාවත් අමතක කරන්න එපා.

ගීතිකාව 141 ජීවිතය සැබෑම ත්‍යාගයක්

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනාට ආදරේ කරනවා කියලා පිළිගන්න සමහර සහෝදර සහෝදරියන්ට ලේසි වෙලා නැහැ. ඇත්තටම යෙහෝවා දෙවියන් හැම කෙනෙක්ටම ආදරෙයි කියලා විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද? ‘යෙහෝවා දෙවියන් මට ආදරෙයිද’ කියලා සැකයක් ඇති වුණොත් ඒ සැකය නැති කරගන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 67 ඡේ. පින්තූරයේ අදහස: පාවුල් කලින් ක්‍රිස්තියානීන්ට හුඟක් පීඩා කළා. යේසුස් එයා වෙනුවෙන් කරපු දේවල් තේරුම්ගත්තාට පස්සේ එයා වෙනස් වෙලා ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්න පටන්ගත්තා. එයා දිරිගන්වපු අය අතරේ කලින් එයා පීඩා කරපු අයගේ නෑදෑයනුත් ඉන්න ඇති.