Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 16

“ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි!”

“ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි!”

‘යේසුස් මාර්තාට මෙසේ කීවේය. “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි.”’—යොහ. 11:23.

ගීතිකාව 151 දෙවි හඬගසයි

මේ ලිපියෙන් a

1. නැවත නැඟිටීම ගැන කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලා පුංචි පුතෙක් පෙන්නුවේ කොහොමද?

 මැතිව් කියන්නේ දරුණු අසනීපයක් එක්ක සටන් කරපු පුංචි පුතෙක්. ඒ නිසා එයාට ඔපරේෂන් කීපයක්ම කරන්න වුණා. එයා අවුරුදු හතේදී දවසක් එයාගේ පවුලේ අයත් එක්ක බ්‍රෝඩ්කාස්ටිං බලබල හිටියා. ඒකේ මියුසික් වීඩියෝ එකේ තිබුණේ පාරාදීසේදී නැවත නැඟිටින අයව පිළිගන්න විදිහ ගැනයි. b ඉතින් ඒක බලලා ඉවර වුණාට පස්සේ මේ පුංචි මැතිව් අම්මායි, තාත්තායි ළඟට ගිහින් එයාලාගේ අත් තද කරගෙන මෙහෙම කිව්වා. “මැරුණත් මං නැවත නැඟිටලා එනවානේ. ඒ නිසා අඬන්න එපා. මං එන කල් බලං ඉන්න.” ඒ පුංචි හිතට නැවත නැඟිටීම කොච්චර ඇත්තක් වෙලා තිබුණාද!

2-3. නැවත නැඟිටීමේ පොරොන්දුව ගැන හිතන එක වැදගත් ඇයි?

2 කාලෙන් කාලෙට නැවත නැඟිටීමේ පොරොන්දුව ගැන හොඳට හිතන එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. (යොහ. 5:28, 29) මොකද හෙට අපිට මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. සමහරවිට අපිට හදිස්සියේ මාරාන්තික අසනීපයක් හැදෙන්න පුළුවන්. අපි ආදරේ කරන කෙනෙක් මැරෙන්නත් පුළුවන්. (දේශ. 9:11; යාකො. 4:13, 14) ඒ වගේ දේවල් දරාගන්න නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපිට ශක්තියක්. (1 තෙස. 4:13) ඒත් මැරුණ කෙනෙක්ට ජීවිතේ දෙන්න නම් එයාගේ පෞද්ගලිකත්වය ඇතුළු එයාගේ හැම විස්තරයක්ම දෙවියන් දැනගෙන ඉන්න ඕනේ. බයිබලේ අපිට සහතික කරනවා යෙහෝවා අපි ගැන හැම දෙයක්ම දන්නවා, ඔහු අපිට ගොඩක් ආදරෙයි කියලා. (ලූක් 12:7) ඒ නිසයි ඔහු අපිට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නේ. අපි මැරුණත් ඔහුට පුළුවන් අපිව නැවත නැඟිට්ටලා හරි ඒ තෑග්ග දෙන්න.

3 අපි මුලින්ම බලන්නේ නැවත නැඟිටීමේ පොරොන්දුව අපිට විශ්වාස කරන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේම “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි” කියන මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදය අරන් තියෙන වාර්තාව ගැනත් අපි බලමු. (යොහ. 11:23) ඊටපස්සේ ඒ බලාපොරොත්තුව අපේ හිතේ තව තවත් දල්වගන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

නැවත නැඟිටීමේ පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන් ඇයි?

4. පොරොන්දුවක් විශ්වාස කරන්න නම් අපි තහවුරු කරගන්න ඕනෙ මොනවාද? උදාහරණයක් දෙන්න.

4 පොරොන්දුවක් විශ්වාස කරන්න නම් ඒක දීපු කෙනාට ඒක ඉටු කරන්න ලොකු ආසාවක් තියෙනවාද, ඒකට එයාට හැකියාව, බලය තියෙනවාද කියලා අපි මුලින්ම තහවුරු කරගන්න ඕනේ. මෙහෙම හිතන්න. දරුණු කුණාටුවක් ඇවිල්ලා ඔයාගේ ගේ කඩන් වැටෙනවා. එතකොට ඔයාගේ කිට්ටු යාළුවෙක් ඔයාට කියනවා “බය වෙන්න එපා, මං ඔයාගේ ගේ තිබ්බ විදිහටම හදලා දෙන්නං” කියලා. ඔයාගේ යාළුවා අවංක කෙනෙක්. ඒ වගේම එයා ඔයාට ගොඩක් ආදරෙයි. ඒ නිසා ඔයා දන්නවා ඒ පොරොන්දුව ඉටු කරන්න එයාට ලොකු ආසාවක් තියෙනවා කියලා. ඒ වගේම එයා ගෙවල් හදන්න දන්න කෙනෙක් නම්, එයා ළඟ උපකරණත් තියෙනවා නම් ඔයා දන්නවා ඒ පොරොන්දුව ඉටු කරන්න එයාට හැකියාවත් තියෙනවා කියලා. ඒ නිසා ඔයාට ඒ ගැන කිසිම සැකයක් නැහැ. එතකොට නැවත නැඟිටීමේ පොරොන්දු දුන්නේ කවුද? යෙහෝවා දෙවියන්. ඒක ඉටු කරන්න ඔහුට ආසාවක්, හැකියාවක් තියෙනවාද?

5-6. මැරුණ අයව නැවත නැඟිට්ටවන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා කියලා අපි දන්නේ කොහොමද?

5 මැරුණ අයට ජීවිතේ දෙන්න යෙහෝවාට ආසාවක් තියෙනවාද? ඔව්. ඒකයි නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන ලියන්න ඔහු බයිබල් ලේඛකයන් කීපදෙනෙක්ටම මඟ පෙන්නුවේ. (යෙසා. 26:19; හොෂෙ. 13:14; එළි. 20:11-13) අපි දන්නවා දෙවියන් පොරොන්දුවක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා. (යොෂු. 23:14) ඒ වගේම ඔහු මැරුණු අයට නිකම්ම ජීවිතේ දෙනවා නෙවෙයි. ඒක කරන්න ඔහුට ඕනකමකුත් තියෙනවා. කොහොමද අපි ඒක දන්නේ?

6 යෝබ් ගැන හිතන්න. එයා දැනන් හිටියා එයා මැරුණත් දෙවියන් එයාව නැවත නැඟිට්ටවන්න ආසාවෙන් ඉන්නවා කියලා. (යෝබ් 14:14, 15) යෝබ්ට විතරක් නෙවෙයි මරණ නින්දේ ඉන්න යෙහෝවාගේ හැම යාළුවෙක්ටම ජීවිතේ දෙන්න ඔහු ඉන්නේ දවස් ගැනගැන. ඔහුට ඕනෙ එයාලව නැවත නැඟිට්ටවලා සතුටින් පිරුණු, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් දෙන්න. ඒත් දෙවියන්ව දැනගන්න කලින් මැරුණ බිලියන ගාණක් දෙනා ගැන කියන්න පුළුවන් මොනවාද? යෙහෝවා එයාලවත් නැවත නැඟිට්ටවන්න බලාගෙන ඉන්නවා. (ක්‍රියා 24:15) මොකද ඔහුට ඕනෙ එයාලත් ඔහුගේ යාළුවන් වෙලා සදාකල් ජීවත් වෙනවා දකින්න.—යොහ. 3:16.

7-8. නැවත නැඟිට්ටවන්න දෙවියන්ට බලය තියෙනවා කියලා කියන්නේ ඇයි?

7 නැවත නැඟිට්ටවන්න දෙවියන්ට බලය තියෙනවාද? ඔව්, ඔහු තමයි ‘සියලු බලැති දෙවියන්.’ (එළි. 1:8) මේ ලෝකේ ඉන්න ඕනම සතුරෙක්, කොටින්ම කිව්වොත් මරණය පවා ඔහුට යටයි. (1 කොරි. 15:26) ඒ ගැන දැනන් ඉන්න එක ලොකු සහනයක්! අපි දැන් සහෝදරි එමා ආනෝල්ඩ්ගේ අද්දැකීම බලමු. දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේ එයාලා ගොඩක් පීඩාවලට මුහුණ දුන්නා. එයාලට කිට්ටු හුඟ දෙනෙක්ව ගාල් කඳවුරේදී මැරුවා කියලා දැනගත්තාම එයාගේ දුවට ඒක දරාගන්න බැරි වුණා. ඉතින් එයා දුවට මෙහෙම කිව්වා. “දුවේ, මරණය කියන දේ සදාකාලිකයි නං ඒක යෙහෝවාට වඩා බලවත් වෙන්න ඕනේ. එහෙම වෙන්න පුළුවන්ද?” ඇත්තටම යෙහෝවාට වඩා බලවත් වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. හිතන්න, මිනිස්සුන්ට ජීවිතේ දෙන්න ඔහුට පුළුවන් වුණා නම් ඒක නැති වුණොත් ආයෙත් ජීවිතේ දෙන්න ඔහුට බැරිද?

8 අපිට ආයේ ජීවිතේ දෙන්න යෙහෝවාට පුළුවන් කියලා විශ්වාස කරන්න තව හේතුවක් තියෙනවා. ඒ ඔහුගේ අසීමිත මතක ශක්තිය. ඔහුට පුළුවන් විශ්වයේ තියෙන හැම තරුවකටම නම කියලා අඬගහන්න. (යෙසා. 40:26) ඒ විතරක් නෙවෙයි මේ වෙන කල් මැරුණ හැම කෙනෙක්වමත් ඔහුට මතකයි. (යෝබ් 14:13; ලූක් 20:37, 38) නැවත නැඟිටුවන අයගේ හැඩහුරුකම්, ගතිගුණ, එයාලා මුහුණ දීපු දේවල්, එයාලාගේ මතකයන් වගේ පුංචි තොරතුරු පවා ඔහුට මතකයි.

9. නැවත නැඟිටීම ගැන ඔයාට විශ්වාස ඇයි?

9 අපි බැලුවා දෙවියන්ට අපිව නැවත නැඟිට්ටවන්න ආසාවක් වගේම ලොකු බලයක් තියෙනවා කියලා. ඒත් ඒ පොරොන්දුව විශ්වාස කරන්න අපිට තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි යෙහෝවා ඒක දැනටමත් කරලා තියෙන එක. ඔහු එහෙම කළේ මැරුණ අයට ආයේ ජීවිතේ දෙන්න යේසුස්ට වගේම තව කීපදෙනෙක්ටම ඔහුගේ බලය දීලා.

කිට්ටු යාළුවෙක්ගේ වියෝව

10. යේසුස් සේවේ කරකර ඉද්දී වුණේ මොකක්ද? ඊටපස්සේ ඔහු මොකද කළේ? (යොහන් 11:1-3)

10 යොහන් 11:1-3 කියවන්න. ක්‍රි.ව. 32 අගභාගයේදී බෙතානියේ වුණ දෙයක් බලමු. එහේ තමයි යේසුස්ගේ යාළුවන් වන ලාසරුස්, මාර්තා, මරියා ජීවත් වුණේ. (ලූක් 10:38-42) හදිස්සියේම ලාසරුස් හොඳටම අසනීප වෙනවා. ඒ ගැන මාර්තායි, මරියායි ඉන්නේ ගොඩක් දුකෙන්. මේ වෙද්දී යේසුස් ඉන්නේ යොර්දාන් ගඟෙන් එගොඩ. ඉතින් එයාලා යේසුස්ට ඉක්මනින්ම පණිවිඩයක් යවනවා ලාසරුස් අසනීපෙන් කියලා. බෙතානියේ ඉඳන් යොර්දාන් ගඟේ එගොඩට මේ පණිවිඩේ යන්න දවස් දෙකක්වත් ගත වෙන්න ඇති. (යොහ. 10:40) ඔය අතරේ යේසුස් දැනගන්නවා ලාසරුස් මැරුණා කියලා. හැබැයි බෙතානියට යනවා වෙනුවට යේසුස් තව දවස් දෙකක් නැවතිලා ඉන්නවා. ඒකයි සොහොන ගාවට යද්දී ලාසරුස් මැරිලා දවස් හතරක් ගෙවිලා තිබුණේ. යේසුස් එහෙම කළේ හොඳ හේතුවක් ඇතුව. ඔහු දැන් තමන්ගේ යාළුවා වෙනුවෙන් පුදුමාකාර දෙයක් කරන්නයි යන්නේ. ඒකෙන් යෙහෝවාගේ නමත් ගෞරවයට පත් වෙනවා.—යොහ. 11:4, 6, 11, 17.

11. සැබෑ මිතුදම් ගැන මේ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 මේ වාර්තාවෙන් සැබෑ මිතුදම් ගැනත් ඉගෙනගන්න දෙයක් තියෙනවා. මාර්තායි, මරියායි යේසුස්ට පණිවිඩයක් යැව්වේ ඔහුට එන්න කියලා නෙවෙයි. ඒ වෙනුවට එයාලට ඕන වුණේ යාළුවා අසනීපෙන් කියලා යේසුස්ට දන්වන්න විතරයි. (යොහ. 11:3) ඕනෙ නම් යේසුස්ටත් තිබුණා හිටපු තැන ඉඳන්ම ලාසරුස්ව නැඟිට්ටවන්න. හැබැයි යේසුස් තීරණය කරනවා බෙතානියට ඇවිල්ලා මාර්තාවයි, මරියාවයි සනසන්න. ඔයාටත් ඉන්නවාද උදව් ඉල්ලන්නත් කලින් දුවන් එන ඒ වගේ යාළුවෙක්? එහෙමනම් කවුරු නැතත් “විපතකදී” එයා ඔයා ළඟින්ම ඉඳියි. (හිතෝ. 17:17) අපිටත් ඕනෙ ඒ වගේ යාළුවෙක් වෙන්න. දැන් අපි ආයෙත් ලාසරුස්ගේ සිද්ධියට යමු. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.

12. යේසුස් මාර්තාට වුණ පොරොන්දුව මොකක්ද? ඒක පුහු පොරොන්දුවක් නෙවෙයි කියලා කියන්නේ ඇයි? (යොහන් 11:23-26)

12 යොහන් 11:23-26 කියවන්න. යේසුස්ව හම්බ වුණ ගමන් මාර්තා මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.” (යොහ. 11:21) ඇත්ත, යේසුස් එයාලා එක්ක හිටියා නම් ලාසරුස්ව බේරගන්න තිබුණා. හැබැයි දැන් යේසුස් කරන්න යන්නේ ඊටත් වඩා පුදුම දෙයක්. ඔහු මාර්තාට පොරොන්දු වෙනවා “ඔයාගේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි” කියලා. ඒත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද? බලන්න, ඔහු මාර්තාට දෙන සහතිකය. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.” ඔව්, මරණය පරද්දන්න තරම් බලයක් දෙවියන් යේසුස්ට දීලයි තිබුණේ. මේ සිද්ධිය වෙන්න කලින් යේසුස් පුංචි දුවෙක්ව නැවත නැඟිට්ටෙව්වා. හැබැයි ඒ, එයා මැරිලා වැඩි වෙලාවක් යන්න කලින්. (ලූක් 8:49-55) ඒ වගේම තරුණයෙක්වත් නැවත නැඟිට්ටෙව්වා. ඒ, එයා මැරුණ දවසෙමයි. (ලූක් 7:11-15) හැබැයි ලාසරුස් මැරිලා දැන් දවස් හතරක්ම ගිහින්! මේ වෙද්දී එයාගේ ශරීරය කුණු වෙන්නත් පටන් අරන්. ඒ වගේ කෙනෙක්ව නැඟිට්ටවන්න යේසුස්ට පුළුවන් වෙයිද?

“ලාසරුස්, පිටතට එන්න!”

යාළුවන්ට දැනුණ දුක යේසුස්ටත් දැනුණා (13-14 ඡේද බලන්න)

13. මරියා සහ අනිත් අය හඬා වැලපෙනවා දකිද්දී ඒක යේසුස්ට බලපෑවේ කොහොමද? (යොහන් 11:32-35) (පින්තූරයත් බලන්න.)

13 යොහන් 11:32-35 කියවන්න. මරියාත් යේසුස්ව හම්බ වෙලා මෙහෙම කියනවා. “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.” ඊටපස්සේ මරියායි, එයාත් එක්ක හිටපු අයයි ගොඩක් වේදනාවෙන් ඉකිගගහා අඬන්න පටන්ගන්නවා. ඇස්වලින් වැටෙන ඒ කඳුළු දකිද්දී, එයාලා ඉකිගහන හඬ ඇහෙද්දී යේසුස්ට හදවත පැළෙන තරම් වේදනාවක් දැනෙනවා. ඔහුටත් නොදැනිම ඔහුගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. කිට්ටු කෙනෙක් මැරෙද්දී දැනෙන වේදනාව යේසුස් හොඳට දන්නවා. ඒ නිසා ඒ වේදනාවට හේතු වුණ දේ අයින් කරන්න ඔහු හිටියේ නොඉවසිල්ලෙන්.

14. මේ සිද්ධියෙන් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

14 අපි කලින් ලිපියේ බලපු විදිහට යේසුස්, දෙවියන්ට හැඟෙන විදිහ, දෙවියන් හිතන විදිහ ඒ විදිහටම අනුකරණය කළා. (යොහ. 12:45) තමන්ගේ යාළුවෝ වියෝදුකෙන් ඉද්දී යේසුස්ගේ හිත උණු වුණා නම් අපි වේදනාවෙන් ඉද්දී යෙහෝවාගේ හිත උණු නොවී තියෙයිද? (ගීතා. 56:8) මොකද ඔහු දයානුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්. ඒ ගැන හිතද්දී සෙනෙහසින් පිරුණු යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙන්න ඔයා පෙලඹෙන්නේ නැද්ද?

මරණය පරද්දන්න තරම් බලයක් යේසුස්ට තියෙනවා (15-16 ඡේද බලන්න)

15. යොහන් 11:41-44 කියන විදිහට ලාසරුස්ගේ සොහොන ළඟ වුණේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

15 යොහන් 11:41-44 කියවන්න. යේසුස් ලාසරුස්ගේ සොහොන ගාවට ඇවිල්ලා ඒක වහලා තිබුණ ගල අයින් කරන්න කියලා කිව්වා. හැබැයි මාර්තා ඒකට කැමති වුණේ නැහැ. එයා කිව්වා දැන් මිනිය “ගඳ ගහනවත් ඇති” කියලා. හැබැයි යේසුස් කිව්වා “ඔබ විශ්වාස කළොත් දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබ දකින බව මම ඔබට කිව්වා නේද” කියලා. (යොහ. 11:39, 40) ඊටපස්සේ යේසුස් ස්වර්ගය දිහා බලලා හැමෝටම ඇහෙන්න යාච්ඤා කළා. ඔහුට ඕනෙ වුණේ ඔහු ඊළඟට කරන්න යන දේ වෙනුවෙන් සම්පූර්ණ ගෞරවය යෙහෝවාට දෙන්න. ඊටපස්සේ ඔහු කෑගහලා කිව්වා “ලාසරුස්, පිටතට එන්න” කියලා. ඒ ගමන්ම ලාසරුස් එළියට ආවා! යේසුස් කළේ අදහාගන්න බැරි දෙයක්. c

16. අපේ බලාපොරොත්තුව ස්ථිර කරගන්න යොහන් 11වෙනි පරිච්ඡේදය උදව් වෙන්නේ කොහොමද?

16 යොහන් 11වෙනි පරිච්ඡේදයේ තියෙන සිද්ධිය කියවද්දී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තවත් ස්ථිර වෙනවා. මතකද යේසුස් මාර්තාට කිව්වා “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි” කියලා. (යොහ. 11:23) ඒකෙන් පේනවා යෙහෝවාට වගේම යේසුස්ටත් ඒ පොරොන්දුව ඉටු කරන්න ආසාවක් වගේම ලොකු බලයකුත් තියෙනවා කියලා. යේසුස්ගේ ඇස්වලින් වැටුණ හැම කඳුළකින්ම පැහැදිලි වෙනවා මරණය සහ මරණය නිසා ඇති වෙන හැම වේදනාවක්ම නැති කරන්න ඔහුට කොච්චර ඕනකමක් තියෙනවාද කියලා. ඒ වගේම ලාසරුස් සොහොන් ගෙයින් එළියට ආපු වෙලාවේ යේසුස් ආයෙත් ඔප්පු කළා මරණය පාගලා දාන්න තරම් බලයක් ඔහුට තියෙනවා කියලා. “ඔබ විශ්වාස කළොත් දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබ දකිනවා” කියලා යේසුස් මාර්තාට කියපු දේත් අපි මතක තියාගන්න ඕනේ. (යොහ. 11:40) එහෙම බලද්දී නැවත නැඟිටීම ගැන විශ්වාස කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා.

බලාපොරොත්තුව ස්ථිර කරගන්න

17. නැවත නැඟිටීම ගැන වාර්තා කියවද්දී අපි ගැඹුරින් හිතන්න ඕනෙ මොනවා ගැනද?

17 අතීතයේදී වුණ නැවත නැඟිටීම් ගැන කියවලා ගැඹුරින් හිතන්න. බයිබලේ තියෙන නැවත නැඟිටීම් නවයෙන් අටකම සඳහන් වෙන්නේ නැවත නැඟිට්ටාට පස්සේ ආයෙත් මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව ලැබුණ අය ගැන. d ඒ වාර්තා වුවමනාවෙන් අධ්‍යයනය කරන්න. ඒවා නිකම්ම නිකම් ගොතපු කතා නෙවෙයි. එයාලා මීට අවුරුදු ගාණකට කලින් මේ පොළොවේ පය ගහලා හිටපු පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන්. ඒ නිසා ඒ වාර්තාවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න. ඒවා කියවද්දී අපිට ආයෙත් ජීවිතේ දෙන්න දෙවියන්ට කොච්චර ආසාවක් තියෙනවාද, කොච්චර බලයක් තියෙනවාද කියලා දකින්න. හැබැයි ඒ හැම එකකටම වඩා යේසුස්ගේ නැවත නැඟිටීම විශේෂයි. ඒ ගැනත් ගැඹුරින් හිතන්න. ඒ සිද්ධිය ඇත්තක් කියන්න සිය ගාණක් ඇසින් දුටු සාක්ෂිකරුවන් හිටියා. ඉතින් නැවත නැඟිටීම විශ්වාස කරන්න ඊටත් වඩා සාක්ෂියක් ඕනෙද!—1 කොරි. 15:3-6, 20-22.

18. නැවත නැඟිටීම ගැන තියෙන ගීතිකාවලින්, සින්දුවලින් ඔයාට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? (පාදසටහනත් බලන්න.)

18 නැවත නැඟිටීම ගැන තියෙන “ගීතිකා,” සින්දු අහන්න. e (එෆී. 5:19) ඒවාට පුළුවන් ඔයාගේ බලාපොරොත්තුවට පණ පොවන්න. ඒ නිසා නිතරම ඒවා අහන්න. ඒවා කියන්න පුරුදු වෙන්න. ඒවායේ තේරුම පවුලේ නමස්කාරයේදී සාකච්ඡා කරන්න. ඒ පද මාලා ඔයාගේ හදවතේ, මනසේ රඳවාගන්න. එතකොට හිතපු නැති විදිහට ජීවිතේ අවධානමක වැටෙද්දී, ආදරේ කරන කෙනෙක් නැති වෙද්දී ඒ වචන ඔයාට මතක් කරලා දෙන්න යෙහෝවාට පුළුවන්. එතකොට ඔයාට ලොකු සහනයක්, ශක්තියක් දැනෙයි.

19. නැවත නැඟිටීමේදී සිද්ධ වෙන මොන දේවල් ගැනද අපිට හිතින් මවාගන්න පුළුවන්? (“ ඔයා මොනවාද එයාලාගෙන් අහන්නේ?” කියන කොටුව බලන්න.)

19 හිතින් මවාගන්න. පාරාදීසේ හිතින් මවාගන්න යෙහෝවා අපිට පුදුමාකාර හැකියාවක් දීලා තියෙනවා. බලන්න එක සහෝදරියක් ඒ ගැන කියන දේ. “මං හරි ආසයි මනසින් පාරාදීසෙට ගිහින් ගොඩක් වෙලා එහේ ගත කරන්න. කොච්චරද කියනවා නම් මං පාරාදීසේ ඉඳන් රෝස මල්වල සුවඳ පවා විඳිනවා!” අපිට කරන්න පුළුවන් තව දෙයක් තමයි අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන්ව හම්බ වෙන විදිහ ගැන හිතන එක. ඔයා ආස කාව හම්බ වෙන්නද? එයාගෙන් අහන්න හිතාගෙන ඉන්නේ මොනවාද? ඒ වගේම ඔයා ආදරේ කරන අය නැවත නැඟිටලා එන විශේෂ මොහොත ගැනත් හිතන්න. එයාලව දැක්ක ගමන් ඔයා මොනවා අහයිද? එයාලව ආදරෙන් බදාගද්දී ඔයාගේ ඇස්වලින් උණු කඳුළු ගලාගෙන යන විදිහත් හිතින් මවාගන්න.

 

20. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

20 නැවත නැඟිටීමේ පොරොන්දුව මිල කරන්න බැරි එකක්. ඒක දුන්නාට අපි දෙවියන්ට කොච්චර ස්තුති කරන්න ඕනෙද! ඒ පොරොන්දුව අනිවාර්යයෙන් ඉටු වෙනවාමයි. මොකද ඒක කරන්න යෙහෝවාට ලොකු ඕනකමක් වගේම බලයක් තියෙනවා. ඒ නිසා ඒ ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න අධිෂ්ඨාන කරගමු. එහෙම කරද්දී අපේ ආදරණීය දෙවි පියාණන්ට අපි තව තවත් ළං වෙනවා. ඔහු අපිටත් පොරොන්දු වෙනවා ‘ඔයා ආදරේ කරන අයත් අනිවාර්යයෙන්ම නැඟිටියි’ කියලා.

ගීතිකාව 147 සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

a ඔයාගේ හදවතට ගොඩක් කිට්ටු කෙනෙක් මරණය නිසා ඔයාගෙන් ඈත් වෙලා තියෙනවාද? එහෙමනම් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඔයාට ලොකු සහනයක් වෙයි. ඒත් ඔයා ඒක විශ්වාස කරන්නේ ඇයි කියලා තව කෙනෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද? ඒ වගේම ඒ ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න පුළුවන් කොහොමද? ඒක කරන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

b 2016 නොවැම්බර් බ්‍රෝඩ්කාස්ටිං එකේ ආපු “හරිම ළඟයි” කියන මියුසික් වීඩියෝ එක.

c 2008 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ 31වෙනි පිටුවේ තියෙන “ලාසරුස්ගේ සොහොන් ගෙය වෙත පැමිණෙන්න යේසුස්ට දින හතරක් ගත වුණේ ඇයි?” කියන ලිපිය බලන්න.

d 2015 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 4වෙනි පිටුවේ තියෙන “නැවත නැඟිටුණු අටදෙනෙක්” කියන කොටුව බලන්න.

e “ප්‍රීතිමත් හඬින් ගයමු” පොතේ තියෙන “පාරාදීසය සිතින් මවාගන්න” (අංක 139), “යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත” (අංක 144) සහ “දෙවි හඬගසයි” (අංක 151) ගීතිකා බලන්න. jw.org එකේ ‘අපේ සින්දු’ කියන කොටසේ තියෙන “හරිම ළඟයි,” “සිටිමි ඔබ හා පාරාදීසේ” සහ “එන්න මා හා මිතුරේ” කියන සින්දුත් බලන්න.