Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 19

පාරාදීසේ ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න

පාරාදීසේ ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න

‘යෙහෝවා දෙවියන් යමක් කීවොත් එය ඉටු කරන්නේය.’—ගණන්. 23:19.

ගීතිකාව 142 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

මේ ලිපියෙන් a

1-2. පාරාදීසේ එන කල් බලන් ඉන්න අතරතුරේදී අපි කරන්න ඕනෙ මොනවාද?

 මේ දුෂ්ට සමාජය විනාශ කරලා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් ඇති කරනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (2 පේතෘ. 3:13) ඒ පොරොන්දුව අපිට නිධානයක් වගේ වටිනවා. ඒත් මේ පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි ඒ දේ සිද්ධ වෙන්න තව වැඩි දවසක් නැහැ කියලා සාක්ෂිවලින් පේනවා.—මතෙ. 24:32-34, 36; ක්‍රියා 1:7.

2 කොච්චර කාලයක් සත්‍යයේ හිටියත් අපි හැමෝම ඒ පොරොන්දුව ගැන අපිට තියෙන විශ්වාසය හැම දවසකම ශක්තිමත් කරගන්න ඕනේ. ඒ ඇයි? මොකද යකඩ වගේ ශක්තිමත් විශ්වාසයක් වුණත් කාලයත් එක්ක මලකඩ කන්න පුළුවන්. පාවුල් ඒ වගේ දුර්වල විශ්වාසයක් හැඳින්නුවේ “අපව පහසුවෙන් හසු කරගන්නා පාපය” කියලා. (හෙබ්‍රෙ. 12:1) ඒ විදිහට අපි අපේ විශ්වාසය දුර්වල වෙන්න දෙන්නේ නැතුව ඒකට දිගටම පණ පොවන්න ඕනේ. ඒකට අපි පාරාදීසේ ඇත්තක් කියන්න තියෙන සාක්ෂි ගැන හැම දවසකම ගැඹුරින් හිතන්න ඕනේ.—හෙබ්‍රෙ. 11:1.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 පාරාදීසේ ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න අපි කරන්න ඕන දේවල් තුනක් ගැන අපි බලනවා. (1) ජීවිත පූජාව ගැන ගැඹුරින් හිතන එක. (2) යෙහෝවා දෙවියන්ගේ අතිමහත් බලය ගැන හිතන එක. (3) නමස්කාරයේ දේවල්වලින් අපේ ජීවිතේ පුරවගන්න එක. ඒ වගේම අපි බලමු දෙවියන් හබක්කුක්ට කියපු දේකින් අද අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද කියලා. හැබැයි ඒ ඔක්කොටම කලින් පාරාදීසේ ගැන අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනෙ මොන වගේ දේවල්වලට මුහුණ දෙද්දීද කියලා අපි බලලා ඉමු.

විශ්වාසය නැතුවම බැරි අවස්ථා

4. අපිට ශක්තිමත් විශ්වාසයක් ඕනෙ මොන වගේ තීරණ ගන්න වෙද්දීද?

4 හැම දවසකම අපිට තීරණ ගන්න වෙනවා. ඒ අතරින් සමහර ඒවා ගන්න අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ආශ්‍රය, විනෝදය, අධ්‍යාපනය, විවාහය, දරුවන්, රස්සාව වගේ දේවල් ගැන තීරණ ගන්න වෙද්දී. ඒ නිසයි අපි මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න ඕනේ. ‘මේ දුෂ්ට සමාජය ළඟදීම නැති වෙලා පොළොව පාරාදීසයක් වෙනවා. ඒ ගැන මට තියෙන විශ්වාසය මං ගන්න තීරණවලින් පේනවාද? එහෙම නැත්නම් මාත් ජීවත් වෙන්නේ “අද කාලා බීලා හෙට මැරිලා යමු” කියලා හිතාගෙන ඉන්න මේ ලෝකේ මිනිස්සු වගේද?’ (මතෙ. 6:19, 20; ලූක් 12:16-21) පාරාදීසේ අත ළඟයි කියන විශ්වාසය අපි තව තවත් ශක්තිමත් කරගන්නවා නම් හොඳ තීරණ ගන්න අපිටත් පුළුවන්.

5-6. ප්‍රශ්න එද්දී අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනෙ ඇයි කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.

5 කාලෙන් කාලෙට අපිට විරුද්ධවාදිකම්, බරපතළ අසනීප වගේ අධෛර්යය කරවන දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. මුලදී නම් අපි හිතන්නේ කොහොමහරි ඒක ජයගන්නවා කියලා. හැබැයි හුඟක් වෙලාවට ඒ ප්‍රශ්න අපි හිතනවාට වඩා කල් ඇදෙනවා. එතකොට ඒවා දිගටම විඳදරාගන්න, යෙහෝවාට සතුටින් සේවේ කරන්න අපිට ශක්තිමත් විශ්වාසයක් ඕනෙමයි.—රෝම 12:12; 1 පේතෘ. 1:6, 7.

6 අපි ප්‍රශ්නෙක හිර වෙලා ඉද්දී සමහර වෙලාවට අපිට හිතෙනවා පාරාදීසේ පේන තෙක් මානෙකවත් නැහැ කියලා. ඒත් එහෙම හිතෙන්නේ විශ්වාසය අඩු නිසාද? නැහැ. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. සති ගාණක් තිස්සේ එක දිගට ධාරානිපාත වැස්සක් කඩා හැලෙනවා. ඒ වගේ වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ‘මේ වැස්ස නං නවතින පාටක් නෑ’ කියලා. හැබැයි වැස්සක් වැස්සොත් ඉර පායන දවසක් අනිවාර්යයෙන්ම එනවා. සමහර වෙලාවට අපිත් ප්‍රශ්න නිසා අධෛර්යය වෙලා ඉද්දී අපිටත් හිතෙන්න පුළුවන් ‘ඔය කිව්වාට පාරාදීසේ දැම්මම නං එන පාටක් නෑ’ කියලා. හැබැයි ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් අපි දන්නවා යෙහෝවා පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරනවාමයි කියලා. (ගීතා. 94:3, 14, 15; හෙබ්‍රෙ. 6:17-19) ප්‍රශ්න මැද වුණත් දෙවියන්ට කරන නමස්කාරයට මුල් තැන දීලා ඔහුට සතුටින් සේවේ කරන්න ඒ විශ්වාසය අපිට ලොකු තල්ලුවක්!

7. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොකකින්ද?

7 සේවේ කරද්දීත් අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනේ. මොකද හුඟදෙනෙක් “ශුභාරංචිය” පිළිගන්නේ නැහැ. (මතෙ. 24:14) එයාලා හිතන්නේ පාරාදීසේ කියන්නේ කවදාවත් එන්නේ නැති දෙයක් කියලා. (එස. 33:32) ඒ වගේ සැකයන් අපේ හිත්වලට රිංගන්න අපි කිසිම ඉඩක් දෙන්න හොඳ නැහැ. ඒකට අපි අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් විදි තුනක් ගැන දැන් අපි බලමු.

ජීවිත පූජාව ගැන ගැඹුරින් හිතන්න

8-9. ජීවිත පූජාව ගැන හිතන එක අපේ විශ්වාසයට බලපාන්නේ කොහොමද?

8 අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් එක විදිහක් තමයි යේසුස්ගේ ජීවිත පූජාව ගැන ගැඹුරින් හිතන එක. මොකද ඒක තමයි යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන්න අපිට තියෙන සහතිකය. ඉතින් යෙහෝවා තමන්ගේ ආදරණීය පුතාව අපි වෙනුවෙන් දුන්නේ ඇයි කියලා හිතන්න. දෙවියන් ඒ වෙනුවෙන් මොන තරම් ලොකු කැප කිරීමක් කළාද කියලත් හිතන්න. මොකද අපි ඒ ගැන හිතන තරමටම අනාගතේ ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැනත් අපිට ලොකු නිසැකකමක් ඇති වෙනවා. ඇයි එහෙම කියන්නේ?

9 යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් දුන්නේ ඔහුගේ කුලුඳුල් පුතාව. ඔහුගේ හදවතට කිට්ටුම කෙනාව. ඔව්, ඔහු යේසුස්ව පරිපූර්ණ කෙනෙක් විදිහට මේ පොළොවට එව්වා. යේසුත් පොළොවේ හිටපු කාලේදී ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නා. අන්තිමේදී හුඟක් වේදනා විඳලා අපි වෙනුවෙන් මැරුණා. එහෙම බලද්දී යෙහෝවා අපි වෙනුවෙන් යේසුස්ව දීලා තියෙන්නේ ලොකු දුකක් උහුලගෙන. යෙහෝවා එච්චර ලොකු කැප කිරීමක් කළේ අපිට අවුරුදු 60ක්, 70ක් වගේ කෙටි කාලෙකට විතරක් හොඳ ජීවිතයක් දෙන්න කියලා හිතන්න පුළුවන්ද? (යොහ. 3:16; 1 පේතෘ. 1:18, 19) එහෙම බලද්දී සදාකාල ජීවිතේ සැක කරන්න අපිට කිසිම හේතුවක් නැහැ.

දෙවිගේ බලය ගැන ගැඹුරින් හිතන්න

10. එෆීස 3:20 කියන විදිහට යෙහෝවා දෙවියන්ට කරන්න පුළුවන් මොනවාද?

10 අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන දෙවෙනි දේ තමයි යෙහෝවා දෙවියන්ගේ අතිමහත් බලය ගැන හොඳට හිතන එක. යෙහෝවා කියන්නේ ඕනම පොරොන්දුවක් ඉටු කරන්න තරම් බලයක් තියෙන දෙවි කෙනෙක්. ඇත්ත, මිනිස් කෝණයෙන් බැලුවොත් නම් පාරාදීසයක් ඇවිල්ලා, අපේ ප්‍රශ්න විසඳිලා, අපිට හැමදාම ජීවත් වෙන්න ලැබෙන එක දවල් හීනයක් වගේ. හැබැයි යෙහෝවා අතීතයේ ඉඳන්ම දීලා තියෙන්නේ ඒ වගේ හිතාගන්න බැරි පොරොන්දු තමයි. මොකද ඔහු සියලු බලැති දෙවියන්. (යෝබ් 42:2; මාක් 10:27) ඒ වගේ දෙවි කෙනෙක් එසේ මෙසේ පොරොන්දු දෙයි කියලා හිතන්න පුළුවන්ද?—එෆීස 3:20 කියවන්න.

11. යෙහෝවා දීලා තියෙන හිතාගන්න බැරි පොරොන්දුවලින් එකක් කියන්න. (“ හිතාගන්න බැරි පොරොන්දු” කියන කොටුවත් බලන්න.)

11 අපි දැන් දෙවියන් අතීතයේ හිටපු ඔහුගේ සේවකයන්ට දීපු පොරොන්දු කීපයක් බලමු. ඒවාත් මිනිස් කෝණයෙන් බලද්දී කවදාවත්ම වෙන්නේ නැහැ කියලා හිතෙන ඒවා. උදාහරණෙකට ආබ්‍රහම්ටයි, සාරාටයි දෙවියන් කිව්වා එයාලට පුතෙක් ලැබෙනවා කියලා. එතකොට එයාලා හුඟක් වයසයි. (උත්. 17:15-17) ඒ වගේම ඔහු කිව්වා ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට කානාන් දේශය උරුමයක් විදිහට දෙනවා කියලා. හැබැයි අවුරුදු ගාණක් යන කල්ම ආබ්‍රහම්ගෙන් පැවතෙන අය, ඒ කියන්නේ ඊශ්‍රායෙල්වරු හිටියේ ඊජිප්තුවේ වහල්ලු විදිහට. ඉතින් බැලූ බැල්මට ඒ පොරොන්දු ඉටු වෙන එකක් නැහැ කියලයි පේන්න තිබ්බේ. හැබැයි දෙවියන් කියපු විදිහටම ඒවා වුණා. පස්සේ කාලෙක දෙවියන් එලිසබෙත්ට පොරොන්දුවක් දුන්නා එයාට පුතෙක් හම්බ වෙනවා කියලා. ඒ වෙද්දී එයාත් හිටියේ වයසට ගිහිල්ලා. ඒ වගේම කන්‍යාවක් වුණ මරියාට දෙවියන් කිව්වා ඔහුගේ පුතාව බිහි කරන්නේ එයා කියලා. ඒ පොරොන්දුව ඉටු වුණ එකෙන් ඊට අවුරුදු දහස් ගාණකට කලින් යෙහෝවා ඒදන් උයනේදී දීපු තව පොරොන්දුවකුත් ඉටු වුණා. (උත්. 3:15) ඒ හැම දේකින්ම පැහැදිලියි යෙහෝවා වචනයක් දුන්නොත් ඒක ඉටු කරනවාමයි කියලා.

12. දෙවිගේ බලය ගැන අපිට තේරුම්ගන්න පුළුවන් මොකක්ද? (යොෂුවා 23:14; යෙසායා 55:10, 11)

12 යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දු ඔහු දැනටමත් ඉටු කරලා තියෙන විදිහ ගැන හිතද්දී ඔහුට කොයි තරම් බලයක් තියෙනවාද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. එතකොට පාරාදීසය ගැන දීලා තියෙන පොරොන්දුවත් තව තවත් විශ්වාස කරන්න අපි පෙලඹෙනවා. (යොෂුවා 23:14; යෙසායා 55:10, 11 කියවන්න.) ඒක අපිට උදව් වෙනවා පාරාදීසය කියන්නේ නිකම්ම හිතින් මවාගත්ත දෙයක් නෙවෙයි කියලා අනිත් අයගේ හිත්වලත් විශ්වාසයක් ඇති කරන්න. අලුත් අහස, අලුත් පොළොව ගැන කතා කරද්දී යෙහෝවාම කියලා තියෙනවා “එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියලා.—එළි. 21:1, 5.

නමස්කාරයේ දේවල්වලින් ජීවිතේ පුරවගන්න

රැස්වීම්

මේ දේවල් ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කොහොමද? (13 ඡේදය බලන්න)

13. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න රැස්වීම් උදව් වෙන්නේ කොහොමද? පැහැදිලි කරන්න.

13 විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන තුන්වෙනි දේ මොකක්ද? ඒ නමස්කාර දේවල් උද්‍යෝගයෙන් කරන එක. අපේ නමස්කාරයට ඇතුළත් වෙන එක වැදගත් දෙයක් තමයි රැස්වීම්. දශක ගාණක් පුරා පූර්ණකාලීන සේවේ කරලා තියෙන සහෝදරි ඇනා ඒ ගැන කියන දේ බලන්න. “මගේ විශ්වාසය හෙල්ලෙන්නේ නැතුව තියාගන්න රැස්වීම් මට ගොඩක් උදව් වෙලා තියෙනවා. සමහර වෙලාවට දේශන දෙන සහෝදරයන් උගන්වන්න ඒ තරම් දක්ෂ අය නෙවෙයි. ඒ වගේම හුඟක් වෙලාවට ඒ දේශනවල කියන දේවල් මං කවදාවත් අහලා නැති දේවලුත් නෙවෙයි. ඒත් ඒ හැම එකක්ම සත්‍යය ගැන තියෙන අවබෝධය තව ටිකක් හරි ඔප දාගන්න මට උදව් වෙලා තියෙනවා. ඒ නිසා මගේ විශ්වාසයටත් අලුත් පණක් ලැබෙනවා.” b රැස්වීම්වලදී සහෝදරයෝ දෙන අදහස්වලින් ඔයාගේ විශ්වාසයත් දවසින් දවස අලුත් වෙනවා කියලා කිසිම සැකයක් නැහැ.—රෝම 1:11, 12; 10:17.

සේවය

මේ දේවල් ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කොහොමද? (14 ඡේදය බලන්න)

14. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න සේවය උදව් වෙන්නේ කොහොමද?

14 අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන තව දෙයක් තමයි සේවය. (හෙබ්‍රෙ. 10:23) ඒ ගැන අවුරුදු 70කට වඩා වැඩි කාලයක් විශ්වාසවන්තව සේවේ කරපු සහෝදරි බාබ්රා මෙහෙම කියනවා. “මට නම් සේවේ කරද්දී ලොකු ප්‍රබෝධයක් ලැබෙනවා. අනිත් අයට යෙහෝවාගේ පොරොන්දු ගැන කතා කරන්න කතා කරන්න මගේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා.”

පෞද්ගලික අධ්‍යයනය

මේ දේවල් ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කොහොමද? (15 ඡේදය බලන්න)

15. පෞද්ගලික අධ්‍යයනය අපේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)

15 අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන තව දෙයක් බලමු. ඒ තමයි පෞද්ගලික අධ්‍යයනය. සහෝදරි සූසන් පෞද්ගලික අධ්‍යයනය වෙනුවෙන් කාලසටහනක් හදාගත්තා. එයා මෙහෙම කියනවා. “මං ඉරිදාට තමයි ඊළඟ සතියේ තියෙන ‘මුරටැඹට’ ලෑස්ති වෙන්නේ. සඳුදායි, අඟහරුවාදායි සති මැද රැස්වීමට ලෑස්ති වෙනවා. ඉතුරු දවස් ටිකේ විෂයක් තෝරගෙන ඒ ගැන අධ්‍යයනය කරනවා.” ඒ විදිහට කාලසටහනකට අනුව වරද්දන්නේ නැතුව පෞද්ගලික අධ්‍යයනය කරන එකෙන් සහෝදරි සූසන්ගේ විශ්වාසය ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා. සහෝදරි අයිරින් කියන්නේ දශක ගාණක් පුරා ලෝක මූලස්ථානයේ සේවේ කරන සහෝදරියක්. විශ්වාසය ශක්තිමත් කරගන්න එයාට ගොඩක්ම උදව් වෙලා තියෙන්නේ බයිබල් අනාවැකි. එයා මෙහෙම කියනවා. “අනාවැකිවල තියෙන පුංචිම පුංචි දේවලුත් අකුරටම ඉටු වෙලා තියෙනවා. ඒ ගැන හිතද්දීත් පුදුම හිතෙනවා.” c

“නියමිත කාලයේදී එය අනිවාර්යයෙන්ම ඉටු වෙයි”

16. යෙහෝවා දෙවියන් හබක්කුක්ට කියපු දේ අපිට ශක්තියක් වෙන්නේ කොහොමද? (හෙබ්‍රෙව් 10:36, 37)

16 දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක් මේ දුෂ්ට සමාජයේ විනාශය එන කල් අවුරුදු ගාණක් තිස්සේ ඇඟිලි ගැනගැන බලන් ඉන්නවා. මිනිස් කෝණයෙන් බලද්දී නම් යෙහෝවා පොරොන්දු ඉටු කරන්න ප්‍රමාදයි වගේ පේන්නේ. හබක්කුක්ටත් එහෙම හිතුණා. හැබැයි බලන්න දෙවියන් හබක්කුක්ට කියපු දේ. “දර්ශනය ඉටු වීමට නියමිත කාලයක් තිබේ. ඒ නියමිත කාලය ඉක්මනින්ම පැමිණෙන්නේය. දර්ශනය කිසිවිටෙක බොරුවක් නොවන්නේය. එය ඉටු වීමට ප්‍රමාද වන්නේයයි පෙනුණද ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද එය ප්‍රමාද නොවන්නේය. නියමිත කාලයේදී එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.” (හබ. 2:3) දෙවියන් කියපු ඒ දේ හබක්කුක්ට වගේම අපිටත් ලොකු ශක්තියක්. ඒ නිසයි යෙහෝවා කියපු ඒ වචන ඔහුගේ මඟ පෙන්වීමෙන් පාවුල් ක්‍රිස්තියානීන්ටත් අදාළ කළේ. මොකද එයාලත් දේවරාජ්‍යයේ ආශීර්වාද ලැබෙන කල් බලාගෙන ඉන්නවා. (හෙබ්‍රෙව් 10:36, 37 කියවන්න.) ඉතින් ගැලවීම ලැබෙන දවස පරක්කුයි කියලා පෙනුණත් ඒක ප්‍රමාද වෙන්නේ නැහැ. “නියමිත කාලයේදී ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.”

17. දෙවියන් හබක්කුක්ට කියපු දේ එක සහෝදරියක් අදාළ කරගත්තේ කොහොමද?

17 ‘බලාපොරොත්තුවෙන් ඉන්න’ කියලා දෙවියන් හබක්කුක්ට කියපු දේ දශක ගාණක් පුරා දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා. ලුයිස් කියන්නේ ඒ වගේ සහෝදරියක්. එයා යෙහෝවාට සේවේ කරන්න පටන්ගත්තේ 1939දී. බලන්න එයා කියන දේ. “මං ඒ කාලේ හිතුවේ ඉස්කෝලේ ගිහින් ඉවර වෙන්නත් කලින් හර්–මගෙදොන් එයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. අවුරුදු ගාණක් තිස්සේ මං තාම බලන් ඉන්නවා. හැබැයි එහෙම ඉන්න මට උදව් වුණේ නෝවා, ආබ්‍රහම්, යෝසෙප් වගේ අයගේ ආදර්ශ. මොකද එයාලත් දෙවියන්ගේ පොරොන්දුවල ඉටු වීම දකින්න සෑහෙන කාලයක් බලාගෙන හිටියා. සමහරවිට දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන්න පරක්කුයි කියලා හිතෙයි. හැබැයි ඒ ගැන දිගටම බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ. මොකද ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ මට විතරක් නෙවෙයි. දේවරාජ්‍යය ළඟයි කියන විශ්වාසය වැඩි කරගන්න ඒක අනිත් අයටත් උදව්වක්.” සහෝදරි ලුයිස්ගේ විතරක් නෙවෙයි තව හුඟක් අයගේ අද්දැකීමත් ඒකමයි.

18. විශ්වාසය වැඩි කරගන්න දෙවියන්ගේ නිර්මාණ ගැන හිතන එක උදව් වෙන්නේ කොහොමද?

18 ඇත්ත, පාරාදීසේ තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඒක එනවා කියලා පිළිගන්න අපි අවට ඕන තරම් සාක්ෂි තියෙනවා. ටිකකට තරු, ගස් කොළන්, සත්තු, මිනිස්සු ගැන හිතන්න. ඒවා හිතෙන් මවාගත්ත දේවල් කියලා කවුරුත් තර්ක කරන්නේ නැහැ. මොකද ඒවා අපේ ඇස් ඉස්සරහා දකින්න තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒවාත් නැති කාලයක් තිබුණා. යෙහෝවා ඒවා නිර්මාණය කරපු නිසා තමයි දැන් ඒවා තියෙන්නේ. (උත්. 1:1, 26, 27) ඒ යෙහෝවා දෙවියන්මයි පාරාදීසයක් ගේනවා කියලා පොරොන්දු වෙන්නේ. ඔහු අනිවාර්යයෙන්ම ඒක ඉටු කරනවා. එදාට හැමෝටම ලෙඩක් දුකක් නැති, නිමක් නැති ජීවිතයක් භුක්ති විඳින්න අවස්ථාව ලැබෙනවා. දෙවියන් නියම කරපු ඒ දවස උදා වුණාම ඉර හඳ, ගහ කොළ වගේ පාරාදීසයත් යථාර්ථයක් වෙයි.—යෙසා. 65:17; එළි. 21:3, 4.

19. විශ්වාසය තව ශක්තිමත් කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

19 විශ්වාසය ශක්තිමත් කරගන්න ඔයාට ලැබෙන හැම පුංචි අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. ජීවිත පූජාව ගැන ඔයාට තියෙන අගය දවසින් දවස වැඩි කරගන්න. යෙහෝවාගේ අති මහත් බලය ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඔයාගේ ජීවිතය නමස්කාරයේ දේවල්වලින් පුරවගන්න. එහෙම කරනවා නම් “විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අය” අතරේ ඔයාත් ඉඳියි.—හෙබ්‍රෙ. 6:11, 12; රෝම 5:5.

ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න

a අද ඉන්න හුඟක් අයට පාරාදීසය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව විශ්වාස නැහැ. එයාලා හිතන්නේ ඒක නිකම්ම නිකම් සුරංගනා කතාවක් කියලා. හැබැයි අපිට නම් යෙහෝවා දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දුව සීයට සීයක් විශ්වාසයි. හැබැයි ඒ විශ්වාසය නිකන් තියලා බැහැ. ඒකට දිගටම පණ පොවන්න ඕනෙ, ඒක ශක්තිමත් කරගන්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

b සමහර නම් වෙනස් කර ඇත.

c ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ “අනාවැකි” කියන කොටස යටතේ බයිබල් අනාවැකි ගැන තියෙන ගොඩක් ලිපි හොයාගන්න පුළුවන්. උදාහරණෙකට 2008 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “යෙහෝවා දෙවි පවසන දේ ඉටු වෙනවාමයි” කියන ලිපිය බලන්න.