Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 17

මොන දේ වුණත් යෙහෝවා ඔයාව තනි කරන්නේ නැහැ

මොන දේ වුණත් යෙහෝවා ඔයාව තනි කරන්නේ නැහැ

“ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය. නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.”—ගීතා. 34:19.

ගීතිකාව 44 අසරණයෙකුගේ අයැදීම

මේ ලිපියෙන් a

1. අපි දන්නේ මොනවාද?

 අපි දන්නවා යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරෙයි කියලා. ඔහුට ඕනෙ අපිට හොඳම ජීවිතේ දෙන්න, අපි සතුටින් ඉන්නවා දකින්න. (රෝම 8:35-39) ඒ වගේම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගද්දී ප්‍රයෝජන මිසක් කවදාත් පාඩුවක් නම් වෙන්නේ නැහැ කියලත් අපි දන්නවා. (යෙසා. 48:17, 18) ඒත් අපි හීනෙකින්වත් හිතපු නැති ප්‍රශ්නයක් ආවොත්?

2. සමහර වෙලාවට අපිට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද? ඒ වගේ වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මොකක්ද?

2 අපි යෙහෝවා දෙවියන්ගේ සේවකයන් වුණත් ප්‍රශ්න ගැටලුවලින් නම් අපිට කිසිම අඩුවක් නැහැ. උදාහරණෙකට පවුලේ කෙනෙක් කරපු දෙයක් නිසා ඔයා ගොඩක් දුක් වෙනවා ඇති. බරපතළ අසනීපයක් නිසා සමහර වෙලාවට හිතේ හැටියට සේවේ කරගන්න බැරුව ඇති. ස්වාභාවික විපතක් නිසා මුළු සන්තකේම නැති වෙලා ඇති. එහෙමත් නැත්නම් විශ්වාසය නිසා ගොඩක් පීඩා විඳිනවා ඇති. අපි ඒ වගේ දේවල්වලට මුහුණ දෙද්දී සමහරවිට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘ඇයි මටම මෙහෙම වෙන්නේ? මං මොනවා හරි වැරැද්දක්වත් කළාද? යෙහෝවාගේ ආශීර්වාදේ මට නැද්ද?’ ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? එහෙමනම් අධෛර්යය වෙන්න එපා. මොකද ඔයාට දැනෙන විදිහටම දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක්ටත් දැනිලා තියෙනවා.—ගීතා. 22:1, 2; හබ. 1:2, 3.

3. ගීතාවලිය 34:19න් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

3 ගීතාවලිය 34:19 කියවන්න. අපි මේ ගීතිකාවෙන් පාඩම් දෙකක් ඉගෙනගන්නවා. (1) ධර්මිෂ්ඨ අයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. (2) දෙවියන් එයාලව හැම ප්‍රශ්නෙකින්ම ගලවාගන්නවා. ඒත් කොහොමද ඔහු ඒක කරන්නේ? එක විදිහක් තමයි ඇත්ත ඇති සැටියෙන්ම දකින්න අපිට උදව් කරන එක. ඇත්ත, දෙවියන් අපිට පොරොන්දු වෙනවා ඔහුට සේවේ කරද්දී සැබෑ සතුට ලැබෙනවා කියලා. හැබැයි මේ කාලේදී අපිට ප්‍රශ්න නැති ජීවිතයක් දෙනවා කියලා ඔහු කියලා නැහැ. (යෙසා. 66:14) ඒ වෙනුවට ඔහු අපිට කියන්නේ අනාගතේ දිහා බලන්න කියලා. මොකද අනාගතේදී තමයි අපිට සදහටම දුක, වේදනාව නැති ජීවිතයක් දෙන්න ඔහු පොරොන්දු වෙන්නේ. (2 කොරි. 4:16-18) හැබැයි ඒ කාලේ එන කල් දවසින් දවස ප්‍රශ්නවලින් එගොඩ වෙන්න ඔහු අපිට උදව් කරනවා.—විලා. 3:22-24.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 අතීතයේ හිටපු, ඒ වගේම අද කාලේ ඉන්න යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශ කීපයක් අපි මේ ලිපියෙන් බලමු. මේ ලිපිය සාකච්ඡා කරද්දී අපිට තේරෙයි අපි හැමෝටම හිතපු නැති විදිහේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියලා. හැබැයි අපි යෙහෝවා මත රඳා ඉන්නවා නම් ඔහු කවදාවත් අපිට වැටෙන්න දෙන්නේ නැහැ. (ගීතා. 55:22) මේ ලිපියේ කතා කරන ආදර්ශ ගැන බලද්දී ඔයාගෙන්ම මේ ප්‍රශ්න අහගන්න. ‘එයාට වුණ දේ මට වුණා නං මං මොනවා කරයිද? විශ්වාසය ශක්තිමත් කරගන්න මේ බයිබල් චරිතය මට උදව් වෙන්නේ කොහොමද? මේ සිද්ධියෙන් මට අදාළ කරගන්න පුළුවන් පාඩම් මොනවාද?’

බයිබල් කාලේ ආදර්ශ

යාකොබ් අවුරුදු 20ක් පුරා කපටි ලාබන් වෙනුවෙන් වැඩ කළා. හැබැයි දෙවියන් යාකොබ්ට ආශීර්වාද කළා (5 ඡේදය බලන්න)

5. ලාබන් නිසා යාකොබ්ට මුහුණ දෙන්න වුණේ මොන වගේ දේවල්වලටද? (කවරයේ පින්තූරය බලන්න.)

5 අතීතයේ හිටපු අයත් හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේ කෙනෙක් තමයි යාකොබ්. එයාගේ තාත්තා එයාට කිව්වා ලාබන්ගේ දූවරුන්ගෙන් කෙනෙක්ව විවාහ කරගන්න කියලා. මොකද එයාලා දෙවියන්ට නමස්කාර කරපු අය. අනික එයාලා යාකොබ්ගේ නෑයෝ. තාත්තා යාකොබ්ට කිව්වා ඒ වගේ කෙනෙක්ව විවාහ කරගත්තොත් තමයි දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන්නේ කියලා. (උත්. 28:1-4) ඉතින් යාකොබ් ලොකු දුරක් ගෙවාගෙන ලාබන්ගේ ගෙදරට ගියා. යාකොබ් කළේ හරි දේ. ඒත් එයා හිතපු විදිහටම දේවල් වුණේ නැහැ. ඒ ඇයි? ලාබන්ට හිටියා ලෙයා සහ රාකෙල් කියලා දුවලා දෙන්නෙක්. යාකොබ් ආදරේ කළේ බාල දුව වන රාකෙල්ට. ඉතින් එයා වෙනුවෙන් අවුරුදු හතක්ම ලාබන් ගාව වැඩ කරන්න යාකොබ් කැමති වුණා. (උත්. 29:18) හැබැයි යාකොබ්ව රවට්ටලා ලාබන් එයාගේ වැඩිමල් දුව වන ලෙයාව තමයි යාකොබ්ට බන්දලා දුන්නේ. පස්සේ එයා කිව්වා සතියකින් රාකෙල්ව විවාහ කරලා දෙන්නම් කියලා. හැබැයි යාකොබ්ට සිද්ධ වුණා ඒ වෙනුවෙන් තව අවුරුදු හතක් වැඩ කරන්න. (උත්. 29:25-27) ලාබන් එතනින් නතර වුණේ නැහැ. ව්‍යාපාර කටයුතුවලදීත් යාකොබ්ට වංචා කළා. එහෙම බලද්දී ලාබන් අවුරුදු 20ක් තිස්සේ යාකොබ්ට අසාධාරණකම් කළා. එයාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.—උත්. 31:41, 42.

6. යාකොබ් මුහුණ දුන්න තව දේවල් මොනවාද?

6 යාකොබ්ගේ ප්‍රශ්න එතනින් නතර වුණේ නැහැ. එයාට ලොකු පවුලක් හිටියාට එයාගේ පුතාලා අතර කිසි එකමුතුකමක් තිබුණේ නැහැ. එයාලා එයාලාගේම මල්ලී වන යෝසෙප්ව දාසකමට වික්කා. පවුලේ අයටයි, යෙහෝවාටයි සිමියොන් සහ ලෙවී අවනම්බු කළා. ඒ විතරක් නෙවෙයි යාකොබ් වැඩියෙන්ම ආදරේ කරපු බිරිඳ වන රාකෙල් දෙවෙනි පුතා බිහි කරද්දී හදිස්සියේම මැරුණා. එච්චර කරදර වෙලත් අඩුම තරමේ වයසට ගියාමවත් යාකොබ්ට සැනසීමක් ලැබුණේ නැහැ. මොකද මහලු වයසේ ඉද්දීම එයාට සිද්ධ වුණා දරුණු සාගතයක් ආපු නිසා පවුලේ හැමෝමත් එක්ක දුර ඈත තිබුණ ඊජිප්තුවට යන්න.—උත්. 34:30; 35:16-19; 37:28; 45:9-11, 28.

7. යාකොබ්ට තමන්ගේ ආශීර්වාදය නැති වෙලා නැහැ කියලා යෙහෝවා පෙන්නුවේ කොහොමද?

7 මොන දේ වුණත් යාකොබ්ගේ හිතේ දෙවියන් ගැනයි, ඔහුගේ පොරොන්දු ගැනයි තිබුණ විශ්වාසය නම් අංශු මාත්‍රයකින්වත් අඩු වුණේ නැහැ. ඒ නිසා යෙහෝවාත් යාකොබ්ව අත්හැරියේ නැහැ. ඒ වගේම තමන්ගේ ආශීර්වාදය යාකොබ්ට තියෙනවාද කියලා සැක කරන්න ඔහු පුංචිවත් ඉඩක් තිබ්බේ නැහැ. උදාහරණෙකට ලාබන් යාකොබ්ට කොච්චර වංචා කළත් දෙවියන්ගේ ආශීර්වාදයෙන් යාකොබ් එන්න එන්නම දියුණු වුණා. ඒ වගේම අවුරුදු ගාණක් තිස්සේ මැරිලා කියලා හිතාගෙන හිටපු යෝසෙප්ව දෙවියන් ආයෙත් යාකොබ්ට මුණගස්සද්දී එයාට කොහොම දැනෙන්න ඇද්ද! මොන පීඩාව ආවත් ඒ හැම දේකින්ම එතෙර වෙන්න යාකොබ්ට පුළුවන් වුණේ යෙහෝවා එක්ක තිබුණ කිට්ටු බැඳීම නිසයි. (උත්. 30:43; 32:9, 10; 46:28-30) දෙවියන් එක්ක ඒ වගේ බැඳීමක් ඔයාටත් තියෙනවාද? එහෙමනම් කවදාවත් හිතපු නැති විදිහේ ප්‍රශ්නෙකට වුණත් සාර්ථකව මුහුණ දෙන්න ඔයාට පුළුවන්.

8. දාවිත් ආසාවෙන් හිටියේ මොනවා කරන්නද?

8 ආසාවෙන් හිටපු හැම දෙයක්ම යෙහෝවා දෙවියන් වෙනුවෙන් කරන්න දාවිත්ට අවස්ථාව ලැබුණේ නැහැ. සැරයක් දෙවියන් වෙනුවෙන් විශාල මාලිගාවක් හදන්න දාවිත්ට ඕන වුණා. ඒ ගැන එයා අනාගතවක්තෘ නාතන්ට කිව්වාම නාතන් එයාට කිව්වා “නිරතුරුවම සැබෑ දෙවි ඔබට ආශීර්වාද කරනවා. ඒ නිසා ඔබට හොඳයි කියා සිතෙන දෙයක් කරන්න” කියලා. (1 ලේක. 17:1, 2) ඒ වචන අහලා දාවිත් ගොඩක් දිරිගැන්වෙන්න ඇති. සමහර වෙලාවට එයා ඒ වෙලාවෙම දේවමාලිගාව හදන්න සැලසුම් කරන්නත් ඇති.

9. බලාපොරොත්තු වුණේ නැති විදිහේ ආරංචියක් ලැබුණාම දාවිත් කළේ මොනවාද?

9 හැබැයි වැඩි වෙලා යන්න කලින් යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරයා හිතුවේවත් නැති විදිහේ පණිවිඩයක් අරන් දාවිත් ළඟට ආවා. මොකද ‘එදා රෑම’ යෙහෝවා නාතන්ට කියලා තිබුණා දේවමාලිගාව හදන්නේ දාවිත් නෙවෙයි එයාගේ පුතා කියලා. (1 ලේක. 17:3, 4, 11, 12) බලාපොරොත්තු නොවුණ ඒ ආරංචිය ලැබුණාම එයා හැම දේම අත්හැරලා දැම්මේ නැහැ. ඒ වෙනුවට එයාට කරන්න පුළුවන් දේ කළා. දේවමාලිගාව හදන්න ඕනෙ කරන හැම දේම එයා සලමොන් වෙනුවෙන් ලෑස්ති කළා.—1 ලේක. 29:1-5.

10. දෙවියන් දාවිත්ට ආශීර්වාද කළේ කොහොමද?

10 දාවිත්ට දේවමාලිගාව හදන්න වෙන්නේ නැහැ කියලා කියපු වෙලාවේම යෙහෝවා එයාත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. දෙවියන් පොරොන්දු වුණා දාවිත්ගේ පෙළපතේ කෙනෙක් හැමදාටම රජකම් කරනවා කියලා. (2 සාමු. 7:16) ටිකක් හිතන්න, දාවිත් නැවත නැඟිටලා දහස් අවුරුදු පාලනයේ ආශීර්වාද භුක්ති විඳින කාලය ගැන. දේවරාජ්‍යයේ රජ වන යේසුස් ආවේ එයාගේ පෙළපතින් කියලා එදාට දැනගද්දී දාවිත්ට කොච්චර සතුටක් දැනෙයිද! දාවිත්ට වගේ අපිටත් සමහර වෙලාවට යෙහෝවා වෙනුවෙන් කරන්න ආසාවෙන් ඉන්න හැම දෙයක්ම මේ කාලේ කරගන්න බැරි වෙයි. හැබැයි අමතක කරන්න එපා අනාගතයේදී දෙවියන් අපි හිතුවේවත් නැති විදිහේ ආශීර්වාද ගොඩක් දෙන්න ආසාවෙන් බලන් ඉන්නවා කියලා.

11. මුල් ක්‍රිස්තියානීන් හිතපු වෙලාවේම දේවරාජ්‍යය ආවේ නැතත් යෙහෝවා දෙවියන් එයාලට ආශීර්වාද කළේ කොහොමද? (ක්‍රියා 6:7)

11 මුල් සියවසේ ක්‍රිස්තියානීනුත් හිතපු නැති දේවල්වලට මුහුණ දුන්නා. උදාහරණෙකට දේවරාජ්‍යය එන කල් එයාලා ආසාවෙන් බලන් හිටියා. හැබැයි ඒක ඇත්තටම එන්නේ කවදාද කියලා එයාලා හරියටම දැනන් හිටියේ නැහැ. (ක්‍රියා 1:6, 7) ඉතින් එයාලා මොනවාද කළේ? දිගටම මහන්සි වෙලා දේශනා කළා. මුළු ලෝකේ පුරාම ශුභාරංචිය පැතිරෙද්දී යෙහෝවා එයාලාගේ වෑයමට ආශීර්වාද කරන විදිහ එයාලා ඇස් දෙකෙන්ම දැක්කා.—ක්‍රියා 6:7 කියවන්න.

12. සාගතයක් ආවාම මුල් ක්‍රිස්තියානීන් කළේ මොනවාද?

12 මුල් සියවසේදී “ලොව පුරාම” දරුණු සාගතයක් පැතිරුණා. (ක්‍රියා 11:28) ක්‍රිස්තියානීන්ටත් ඒක තදින්ම බලපෑවා. එයාලා අතරේ හිටපු දෙමාපියෝ ගොඩක් කරදර වෙන්න ඇති දරුවන්ට කන්න බොන්න දෙන්නේ කොහොමද කියලා. සේවේ වැඩි කරන්න හිතන් හිටපු තරුණ තරුණියන්ට කොහොම හිතෙන්න ඇද්ද? ‘ඔහොම ඉඳලා සාගතේ ඉවර වුණාම සේවේ වැඩි කරනවා’ කියලා හිතන්න ඇතිද? නැහැ, ඒ වෙනුවට එයාලා අලුත් තත්වයට හැඩගැහුණා. පුළුවන් හැම වෙලාවේම දේශනා කළා. එයාලා ළඟ ගොඩක් දේවල් තිබ්බේ නැති වුණත් තිබ්බ ටික සහෝදරයන් එක්ක බෙදාගත්තා.—ක්‍රියා 11:29, 30.

13. යෙහෝවා මුල් ක්‍රිස්තියානීන්ට ආශීර්වාද කළේ කොහොමද?

13 සාගතේ තිබුණ කාලේම ක්‍රිස්තියානීන් අද්දැක්ක ආශීර්වාද මොනවාද? සහනාධාර ලබපු අය යෙහෝවා දෙවියන් එයාලව රැකබලා ගන්න විදිහ ඇස් දෙකෙන්ම දැක්කා. (මතෙ. 6:31-33) උදව් ඕනෙම වෙලාවේදී එයාලාගේ ළඟින් හිටපු සහෝදරයන්ට එයාලා තවත් කිට්ටු වෙන්නත් ඇති. හැබැයි ප්‍රයෝජන ලැබුවේ එයාලා විතරක් නෙවෙයි. අනිත් අයට සල්ලිවලින්, වෙනත් විදිවලින් උදව් කරපු අය සහ සහනාධාර බෙදපු අයත් දීමෙන් ලැබෙන සතුට අද්දැක්කා. (ක්‍රියා 20:35) අලුත් තත්වයන්වලට හැඩගැහුණ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් හැමෝටම යෙහෝවා මදි නොකියන්න ආශීර්වාද කළා.

14. පාවුල්ට සහ බානබස්ට වුණේ මොකක්ද? ඒකෙන් ලැබුණ හොඳ ප්‍රතිඵල මොනවාද? (ක්‍රියා 14:21, 22)

14 මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ගොඩක් පීඩාවලට මුහුණ දුන්නා. සමහර පීඩා ආවේ එයාලා හිතුවේවත් නැති වෙලාවලදී. පාවුල්ටයි, බානබස්ටයි ලිස්ත්‍රාවේදී වුණ දේ බලන්න. මුලින් නම් මිනිස්සු එයාලව සාදරෙන් පිළි අරන් එයාලට හොඳින් ඇහුම්කන් දුන්නා. ඒත් පස්සේ විරුද්ධකාරයෝ ඇවිල්ලා “සමූහයාව තමන්ගේ පැත්තට නම්මාගත්තා.” ඊටපස්සේ මිනිස්සු හොඳටම ඇවිස්සිලා පාවුල්ව මරන්න හිතාගෙන එයාට ගල් ගැහුවා. (ක්‍රියා 14:19) ඒත් පාවුල් සහ බානබස් බය වෙලා සේවේ නැවැත්තුවාද? නැහැ. එයාලා වෙන පැතිවලට ගිහින් සේවේ කළා. ඒ නිසා “සෑහෙන පිරිසක් යේසුස්ගේ ගෝලයන් වුණා.” ඒ වගේම එයාලාගේ දිරිගන්වනසුලු වචනවලින්, වටිනා ආදර්ශයෙන් සහෝදරයන් ගොඩක් ශක්තිමත් වුණා. (ක්‍රියා 14:21, 22 කියවන්න.) අපිත් යෙහෝවා අපිට භාර දීලා තියෙන වැඩේ පීඩා මැද වුණත් අත්හරින්නේ නැතුව දිගටම කරනවා නම් අපිටත් අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙයි.

අපේ කාලේ ආදර්ශ

15. සහෝදර මැක්මිලන්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

15 1914දී ක්‍රිස්තියානීන් හිටියේ බලාපොරොත්තු පොදිබැඳගෙන. ඒ කාලේ හිටපු හුඟදෙනෙක් වගේ සහෝදර ඒ. එච්. මැක්මිලනුත් හිතුවේ දෙවියන් එයාව ඉක්මනටම ස්වර්ගයට ගනියි කියලා. ඉතින් 1914 සැප්තැම්බර්වල දේශනයක් දෙද්දී එයා කිව්වා “ගොඩක් වෙලාවට මේක තමයි මං දෙන අන්තිම දේශනය” කියලා. හැබැයි එයා හිතපු දේ වුණේ නැහැ. පස්සේ කාලෙක එයා මෙහෙම ලිව්වා. “අපි නිගමනවලට එන්න ටිකක් හදිස්සි වුණා වැඩියි. ඒ නිසා තමයි එවෙලේම අපිව ස්වර්ගයට ගනියි කියලා අපි හිතං හිටියේ. ඒත් දැන් අපි තේරුම් අරන් ඉන්නවා අපිට කරන්න තියෙන්නේ ස්වාමීන්ගේ සේවේ මහන්සි වෙලා කරන එකයි කියලා.” කිව්වා වගේම සහෝදර මැක්මිලන් උද්‍යෝගයෙන් සේවේ හවුල් වුණා. විශ්වාසය නිසා හිරේ හිටපු සහෝදරයන් හුඟදෙනෙක්ව දිරිගන්වන්නත් එයාට අවස්ථාව ලැබුණා. එයා වයසට ගිහින් ගොඩක් දුර්වල වෙලා ඉද්දී වුණත් එක රැස්වීමක්වත් අතපසු කළේ නැහැ. ස්වර්ගයේ එයා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන තෑග්ග ලබාගන්න දවස එන කල් එයා උපරිමයෙන්ම දෙවියන්ට සේවේ කළා. ඒ නිසා මොනවාද ලබපු ආශීර්වාද? 1966දී මැරෙන්න කලින් එයා කිව්වා “මට දැනෙනවා වෙන කවදාටත් වඩා මගේ විශ්වාසය දැන් ගොඩක් ශක්තිමත් කියලා.” අපි හැමෝටම, විශේෂයෙන්ම කාලයක් පුරා ප්‍රශ්න දරාගෙන ඉන්න අයට සහෝදර මැක්මිලන් කොච්චර හොඳ ආදර්ශයක්ද!—හෙබ්‍රෙ. 13:7.

16. ජෙනිංස් යුවළ මුහුණ දුන්නේ මොන අභියෝගයටද? (යාකොබ් 4:14)

16 අපේ සහෝදරයන් හුඟදෙනෙක් හිතපු නැති විදිහට අසනීප වුණ නිසා වේදනා විඳිනවා. උදාහරණෙකට සහෝදර හර්බට් ජෙනිංස්ගේ b අද්දැකීම බලන්න. එයායි, එයාගේ බිරිඳයි සතුටින් ඝානාවේ මිශනාරි සේවේ කළා. හැබැයි පස්සේ කාලෙක සහෝදර හර්බට්ට දරුණු මානසික ලෙඩක් හැදුණා. යාකොබ් 4:14 කියනවා වගේ එයා ඒ කාලේ හැඳින්නුවේ “අපි නොහිතුව විදිහේ ‘හෙට දවසක්’” කියලා. (කියවන්න.) එයා මෙහෙම ලිව්වා. “යථාර්ථයට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. ඒ නිසා ඝානාවටයි, එහේ හිටපු අපේ යාළුවන්ටයි සමු දීලා ලෙඩේට බෙහෙත් කරන්න අපි ආපහු කැනඩාවට ආවා.” මොන දේ වුණත් දිගටම විශ්වාසවන්තව ඉන්න යෙහෝවා දෙවියන් මේ යුවළට උදව් කළා.

17. සහෝදර ජෙනිංස්ගේ අද්දැකීම අනිත් අයට ශක්තියක් වුණේ කොහොමද?

17 සහෝදර ජෙනිංස් හිතේ තිබුණ දේ අවංකවම එයාගේ ජීවිත කතාවේ ලියලා තිබුණා. ඒක හුඟක් අයට බලපෑවා. එක සහෝදරියක් මෙහෙම කියනවා. “වෙන කිසිම අද්දැකීමක් මගේ හිතට මෙච්චර දැනිලා නෑ. අසනීපේ නිසා සහෝදර ජෙනිංස්ට අසාවෙන් කරකර හිටපු පැවරුම අත්හරින්න වුණා. මටත් මගේ පැවරුම අත්හරින්න වුණා. එයාගේ අද්දැකීම තමයි මට උදව් වුණේ ඕනෑවට වඩා දුක් වෙන්නේ නැතුව ඒ දිහා හරි විදිහට බලන්න.” තව සහෝදරයෙක් මෙහෙම කිව්වා. “මං අවුරුදු දහයක් වැඩිමහල්ලෙක් විදිහට සේවේ කළා. හැබැයි මට තිබ්බ මානසික ලෙඩක් නිසා ඒ පැවරුම අත්හරින්න වුණා. මට හිතුණේ මං කිසි වැඩකට නැති කෙනෙක් කියලා. ඒ කාලේ සහෝදරයන්ගේ ජීවිත කතා කියවන්න මට ආස හිතුණෙම නෑ. මොකද ඒවාවල තිබුණේ එයාලා එක එක පැවරුම් කරලා සාර්ථකව යෙහෝවාට සේවේ කරපු විදිහ ගැන. ඒවා කියවද්දී මට මං ගැනම කලකිරුණා. හැබැයි සහෝදර ජෙනිංස්ගේ කතාව වෙනස්. මොන දේ වුණත් අත්හරින්නේ නැතුව දෙවියන්ට සේවේ කරන්න එයා ගත්ත උත්සාහය ගැන කියෙව්වාම මට පුදුම ශක්තියක් දැනුණේ.” මොකක්ද පාඩම? දරුණුම ප්‍රශ්නයක් මැද ඉද්දී වුණත් අනිත් අයට සහනයක් වෙන්න අපිට පුළුවන්. අපේ ජීවිතේ හැම දෙයක්ම අපි හිතන විදිහටම වෙන එකක් නැහැ. සමහර වෙලාවට බලන් ඉද්දීම අපේ ජීවිත උඩු යටිකුරු වෙයි. එහෙම වුණත් විශ්වාසය අතින්, විඳදරාගැනීම අතින් අනිත් අයට ආදර්ශයක් වෙන්න අපිට පුළුවන්.—1 පේතෘ. 5:9.

හිතපු නැති ප්‍රශ්න එද්දී යෙහෝවා මතම රඳා ඉන්නවා නම් ඒ ප්‍රශ්නවලට පුළුවන් අපිව ඔහුට තවත් ළං කරන්න (18 ඡේදය බලන්න)

18. නයිජීරියාවේ ඉන්න වැන්දඹු සහෝදරියගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (රඟ දැක්වීමක් ඇතුළත් පින්තූරය බලන්න.)

18 කොරෝනා වසංගතය වගේ විපත් නිසා අපේ සහෝදරයන් හුඟක් අමාරුකම්වලට මුහුණ දීලා තියෙනවා. නයිජීරියාවේ වැන්දඹු සහෝදරියකගේ අද්දැකීමක් අපි බලමු. එයා ගොඩක් දුප්පත්. දවසක් කෑම ටිකක් ගන්නවත් එයාගේ අතේ සල්ලි තිබ්බේ නැහැ. ගෙදරටම තිබුණේ හාල් මිටක් විතරයි. එදා උදේ එයාගේ දුව ඇහුවා “අම්මේ, ඒ හාල් ටිකත් ඉවර වුණාම අපි මොකද කරන්නේ” කියලා. ඒ සහෝදරිය කිව්වා “දුවේ, සාරෆෙත්වල හිටපු වැන්දඹුව මතකද? අපි යෙහෝවා ගැන විශ්වාසය තියලා දැනට තියෙන ටික කමු. යෙහෝවා මොනවා හරි කරයි.” (1 රාජා. 17:8-16) ඊටපස්සේ මොකද වුණේ? දවල් කෑම වෙලාව එන්නත් කලින් සහනාධාර බෙදන සහෝදරයෝ ඇවිල්ලා ලොකු බඩු මල්ලක් දුන්නා. ඒකේ සති දෙකකටත් වඩා ඇති වෙන්න කෑම තිබුණා. ඒ සහෝදරිය කියනවා “දුවට කියපු දේ යෙහෝවා එච්චර වුවමනාවෙන් අහන් හිටියා කියලා ඒ වෙලාවේ තමයි තේරුණේ” කියලා. අපි යෙහෝවා මතම රඳා ඉන්නවා නම් අපිට පුළුවන් අපිට එන ප්‍රශ්න යෙහෝවාට අපිව ළං කරවන පාලමක් කරගන්න.—1 පේතෘ. 5:6, 7.

19. සහෝදර ඇලෙක්ස්යේ යර්ෂොව් මුහුණ දුන්නේ මොන වගේ පීඩාවලටද?

19 මේ මෑත කාලවලදීත් හිටිහැටියෙම අපේ සහෝදරයන්ට විරුද්ධවාදිකම් ඇවිත් තියෙනවා. රුසියාවේ ඉන්න සහෝදර ඇලෙක්ස්යේ යර්ෂොව් ඒ වගේ කෙනෙක්. 1994දී එයා බව්තීස්ම වෙද්දී නම් රුසියාවේ සහෝදරයන්ට ටිකක් නිදහසේ සේවේ කරගෙන යන්න පුළුවන්කම තිබුණා. හැබැයි 2020දී බලධාරීන් හදිස්සියේම සහෝදර යර්ෂොව්ගේ ගෙදරට කඩා පැනලා මුළු ගේම සෝදිසි කළා. ඊටපස්සේ එයාට අයිති හුඟක් දේවල් රාජසන්තක කරගත්තා. මාස කීපයකට පස්සේ එයාව අපරාධකාරයෙක් විදිහට උසාවියට ඉදිරිපත් කළා. ඒ හැම දේටම වඩා එයාට දරාගන්න අමාරුම වුණේ උසාවියේදී එයාට විරුද්ධව සාක්ෂි විදිහට ඉදිරිපත් කරපු වීඩියෝ ටික. මොකද ඒවා හදලා තිබුණේ අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් එයාගෙන් බයිබලේ ඉගෙනගන්න උනන්දුයි කියලා බොරුවට මවාපාපු කෙනෙක්. ඒක කොච්චර ද්‍රෝහිකමක්ද!

20. සහෝදර යර්ෂොව් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගත්තේ කොහොමද?

20 සහෝදර යර්ෂොව් මුහුණ දීපු දේවල් නිසා මොකක් හරි හොඳක් වුණාද? ඔව්. ඒකෙන් යෙහෝවාත් එක්ක එයාට තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වුණා. එයා මෙහෙම කියනවා. “මගේ නෝනායි, මායි දැන් කලින්ටත් වඩා වැඩියෙන් යාච්ඤා කරනවා. යෙහෝවාගේ උදව් නැත්තං කවදාවත් මට මේක දරාගන්න බෑ කියලා මං දන්නවා. මනසින් වැටිලා ඉද්දී මං කරන්නේ තව තව ගැඹුරට බයිබලේ අධ්‍යයනය කරන එක. දරුණු පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්න අය ගැන ඕන තරම් බයිබලේ තියෙනවා. ඒ ආදර්ශ ගැන මං හොඳට හිතනවා. සන්සුන්ව ඉඳලා යෙහෝවාව විශ්වාස කරන එක කොච්චර වැදගත්ද කියලා ඒ චරිත මට මතක් කරලා දෙනවා.”

21. මේ ලිපියෙන් අපි ඉගෙනගත්තේ මොනවාද?

21 අපි මේ ලිපියෙන් ඉගෙනගත්තේ මොනවාද? හිතපු නැති විදිහේ ප්‍රශ්න හිතපු නැති වෙලාවක අපි ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඒත් අධෛර්යය වෙන්න එපා. මොකද මොන දේ වුණත් අපි යෙහෝවා මත රඳා ඉන්නවා නම් ඔහු කවදාවත් අපිව අත්හැරලා යන්නේ නැහැ. මතකද මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදය? “ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය. නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.” (ගීතා. 34:19) ඒ නිසා දුක් කරදර දිහා නෙවෙයි යෙහෝවා දෙවියන් ඔයාට බලය දෙන විදිහ දිහා බලන්න. එතකොට පාවුල් වගේ ඔයාටත් මෙහෙම කියන්න පුළුවන්. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලි. 4:13.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

a ජීවිතේ අපි මුහුණ දෙන සමහර දේවල් අපි හීනෙකින්වත් හිතපු නැති ඒවා. හැබැයි ඒ මොන දේ වුණත් යෙහෝවා දෙවියන් අපිව තනි කරන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි. මොකද ප්‍රශ්නවලට මුහුණ දෙද්දී දෙවියන් අතීතයේ හිටපු අය ළඟින් වගේම අද ඉන්න අය ළඟිනුත් ඉඳලා උදව් කරලා තියෙනවා. ඒකට උදාහරණ කීපයක් අපි මේ ලිපියෙන් බලමු. ඒවා අපිට උදව් වෙයි අපිත් ඔහු මතම රඳා ඉන්නවා නම් ඔහු අපිවත් කවදාවත් තනි කරන්නේ නැහැ කියන විශ්වාසය ශක්තිමත් කරගන්න.