Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 15

යේසුස් කරපු ආශ්චර්යයන්වල සැඟවුණු පාඩම්

යේසුස් කරපු ආශ්චර්යයන්වල සැඟවුණු පාඩම්

“යේසුස් දේශය පුරාම ගමන් කරමින් යහපත් ක්‍රියා කළා.”—ක්‍රියා 10:38.

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

මේ ලිපියෙන් a

1. යේසුස් ඔහුගේ පළවෙනි ආශ්චර්යය කළේ මොන වගේ අවස්ථාවකදීද?

 මේ ක්‍රි.ව. 29 ගිම්හානයයි. මේ වෙද්දී යේසුස් සේවේ පටන් අරන් වැඩි දවසක් නැහැ. ඔය කාලේදීම යේසුස්ටයි, ඔහුගේ අම්මා වුණ මරියාටයි, ගෝලයන් කීපදෙනෙක්ටයි කානා නුවරේ තිබ්බ විවාහ උත්සවයකට ආරාධනාවක් ලැබුණා. මරියා මේ මනාල යුවළගේ කිට්ටු යාළුවෙක්. ඒ නිසා ඇවිල්ලා ඉන්න අමුත්තන්ට සංග්‍රහ කරන්න මරියාත් උදව් කරන්න ඇති. උත්සවය අතරතුරේදී හදිස්සියේම අමුත්තන්ට දෙන්න තිබුණ වයින් ඉවර වුණා. b සමහරවිට එහෙම වෙන්න ඇත්තේ හිතුවාටත් වඩා අමුත්තෝ ගාණක් ආපු නිසා වෙන්න ඇති. හැබැයි ඒ කොහොම වුණත් ඒකෙන් මනාල යුවළට විතරක් නෙවෙයි පවුලේ හැමෝටම වෙන්නේ ලොකු ලැජ්ජාවක්. ඉතින් මේක දැනගත්ත ගමන්ම මරියා ඉක්මනට යේසුස් ගාවට ගිහිල්ලා ඔහුට කිව්වා “වයින් ඉවරයි” කියලා. (යොහ. 2:1-3) ඒ වෙලාවේ යේසුස් මොකද කළේ? ඔහු ආශ්චර්යයවත් විදිහට නිකම්ම නිකම් වතුර ඉස්තරම්ම වයින්වලට හැරෙව්වා.—යොහ. 2:9, 10.

2-3. (අ) යේසුස් දෙවිගේ බලය පාවිච්චි කළේ මොනවාටද? (ආ) යේසුස් කරපු ආශ්චර්යයන් ගැන හිතන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

2 යේසුස් සේවේ කරපු කාලේ පුරාම ගොඩක් ආශ්චර්යයන් කළා. c ඔහු ඒවා කළේ දසදහස් ගාණක් මිනිස්සුන්ට උදව් කරන්නයි. උදාහරණෙකට, එක අවස්ථාවක ඔහු පුරුෂයන් 5,000දෙනෙක්ගෙයි, තවත් අවස්ථාවක පුරුෂයන් 4,000දෙනෙක්ගෙයි බඩගින්න නිව්වා. හැබැයි එතන හිටපු ස්ත්‍රීන්වයි, දරුවන්වයි ඇතුළත් කළා නම් ඔක්කොම මිනිස්සු 27,000කටත් වඩා වැඩියෙන් ඉන්න ඇති. (මතෙ. 14:15-21; 15:32-38) ඔහු ඒ අවස්ථා දෙකේ එයාලාගේ බඩ කට පිරෙව්වා විතරක් නෙවෙයි අසනීපත් හොඳ කළා. (මතෙ. 14:14; 15:30, 31) හිතන්න, ඒ වගේ පුදුමාකාර ආශ්චර්යයන් දකිද්දී එයාලට කොහොම හිතෙන්න ඇද්ද කියලා.

3 ඒ ආශ්චර්යයන්වල අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් ගොඩක් සැඟවිලා තියෙනවා. ඒවායින් අපේ විශ්වාසය ශක්තිමත් වෙන විදිහ අපි මේ ලිපියෙන් බලමු. යේසුස් වගේ නිහතමානී වෙන්න, අනිත් අයට දයානුකම්පාවෙන් සලකන්න ඒවා අපිට උදව් වෙයි.

යෙහෝවා දෙවියන් සහ යේසුස් ගැන පාඩම්

4. යේසුස් කරපු ආශ්චර්යයන්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් කවුරු ගැනද? ඒ ඇයි?

4 යේසුස් කරපු ආශ්චර්යයන්වලින් ඔහු ගැන විතරක් නෙවෙයි ඔහුගේ තාත්තා ගැනත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද ඒ හැම දේම කරන්න යේසුස්ට බලය ලැබුණේ යෙහෝවා දෙවියන්ගෙන්. යෙහෝවා තමයි ඒ අතිමහත් බලයේ උල්පත. ඒ නිසයි ක්‍රියා 10:38 මෙහෙම කියන්නේ. “දෙවි [යේසුස්ව] තම බලයෙන් අභිෂේක කර ඔහුට මහත් බලයක්ද ලබා දුන්නා. ඉන්පසු යේසුස් දේශය පුරාම ගමන් කරමින් යහපත් ක්‍රියා කළ අතර යක්ෂයාගේ පීඩා හා හිරිහැරවලට ලක් වූ සියලුදෙනාටම සුවයක් ගෙන දුන්නා. ඔහු ඒ දේවල් කළේ දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබුණු නිසයි.” ආශ්චර්යයන් ඇතුළු යේසුස් කරපු කියපු ඒ හැම දේකින්ම යෙහෝවා හිතන විදිහ, ඔහුට හැඟෙන විදිහ පැහැදිලි වුණා. (යොහ. 14:9) දැන් අපි යේසුස් කරපු ආශ්චර්යයන්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් තුනක් ගැන බලමු.

5. යේසුස් ආශ්චර්යයන් කරන්න පෙලඹුණේ ඇයි? (මතෙව් 20:30-34)

5 (1) යේසුයි, යෙහෝවායි අපිට ගොඩක් ආදරෙයි. යේසුස් මේ පොළොවේ ඉද්දී ගොඩක් ආශ්චර්යයන් කළේ වේදනාවෙන් දුක් විඳින මිනිස්සුන්ට සහනය දෙන්න. මිනිස්සු ගැන යේසුස්ගේ හිතේ තිබුණ ආදරේ තරම ඒකෙන් පැහැදිලි වුණා. දවසක් අන්ධ මිනිස්සු දෙන්නෙක් අඬඅඬා කෑගහලා යේසුස්ගෙන් උදව් ඉල්ලුවා. (මතෙව් 20:30-34 කියවන්න.) ඊටපස්සේ මොකද වුණේ? බයිබලේ කියනවා එයාලව දැකලා යේසුස්ට “මහත් අනුකම්පාවක් ඇති වුණා” කියලා. ඊටපස්සේ ඔහු එයාලව සුව කළා. එතන “මහත් අනුකම්පාවක් ඇති වුණා” කියන ග්‍රීක ක්‍රියා පදයෙන් අදහස් කරන්නේ හදවතේ ගැඹුරින්ම යේසුස්ට වේදනාවක් දැනුණා කියන එකයි. අන්න ඒ හැඟීමම තමයි හුඟදෙනෙක්ගේ බඩගින්න නිවන්න, ලාදුරු රෝගියෙක්ව සුව කරන්න යේසුස්ව පෙලඹුවේ. (මතෙ. 15:32; මාක් 1:41) මොකක්ද ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ? “අතිමහත් දයානුකම්පාවක්” පෙන්නන යෙහෝවා දෙවියන් සහ ඔහුගේ පුතා අපිට ගොඩක් ආදරෙයි. අපි අද අමාරුවෙන් උහුලගන්න හැම දුකක්ම එයාලට හොඳට තේරෙනවා. (ලූක් 1:78; 1 පේතෘ. 5:7) ඒ නිසා අපිට වේදනාවක් ගේන හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න එයාලා ඉන්නේ ඇඟිලි ගැනගැන.

6. දෙවියන් යේසුස්ට දුන්නේ මොන වගේ බලයක්ද?

6 (2) මිනිස්සුන්ගේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න බලය යෙහෝවා දෙවියන් යේසුස්ට දුන්නා. මිනිස්සුන්ට කවදාවත් තනියම විසඳගන්න බැරි ප්‍රශ්න වුණත් යේසුස්ට විසඳන්න පුළුවන් කියලා ඔහු කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වුණා. උදාහරණෙකට ඔහුට පුළුවන් අසනීප, මරණය ඇතුළුව අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම මුල් වුණ හේතුව ඒ කියන්නේ පාපය වුණත් අයින් කරලා දාන්න. (මතෙ. 9:1-6; රෝම 5:12, 18, 19) “සියලු ආකාර” අසනීප හොඳ කරන්න පුළුවන් කියලා යේසුස් ඔප්පු කරලා පෙන්නුවා. (මතෙ. 4:23) කොටින්ම කිව්වොත් කෙනෙක් මැරුණාම එයාව මරණයෙන් නැඟිට්ටවන්නත් යේසුස්ට බලය තියෙනවා. (යොහ. 11:43, 44) ඒ විතරක් නෙවෙයි බිහිසුණු කුණාටු නිහඬ කරන්න, දරුණු භූතයන්ව මෙල්ල කරන්න ඔහුට පුළුවන්. (මාක් 4:37-39; ලූක් 8:2) යෙහෝවා දෙවියන් යේසුස්ට ඒ තරම් බලයක් දුන්නා නම් යේසුස් අපේ හැම ප්‍රශ්නයක්ම විසඳයිද කියලා අපි සැකයක් තියාගන්න ඕනෙද?

7-8. (අ) යේසුස් කරපු ආශ්චර්යයන් නිසා අපිට ලැබෙන සහතිකය මොකක්ද? (ආ) අනාගතයේදී මොන ආශ්චර්යය වෙනවා දකින්නද ඔයා බලාගෙන ඉන්නේ?

7 (3) දේවරාජ්‍යයෙන් පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා අපිට සහතික වෙන්න පුළුවන්. යේසුස් ඒ හැම ආශ්චර්යයක්ම කළේ මනුෂ්‍යයෙක් විදිහට ඉද්දී. එහෙමනම් දේවරාජ්‍යයේ රජ විදිහට ඔහු ඉස්සරහට ඊට වඩා කොච්චර දේවල් කරයිද! ඒ කාලේදී ලෙඩ දුක් නැහැ. කිසිම ගෙදරක ශාරීරික වගේම මානසික ආබාධ තියෙන අය ඉන්නේ නැහැ. (යෙසා. 33:24; 35:5, 6; එළි. 21:3, 4) කිසිම කෙනෙක් බඩගින්නේ දුක් විඳින්නේ නැහැ. (යෙසා. 25:6) ස්වාභාවික විපත් නිසා අසරණ වෙන්නේ නැහැ. (මාක් 4:41) එදාට ආදරේ කරපු අය “සොහොන් ගෙවල්වලින්” නැවත නැඟිටලා එද්දී දැනෙන සතුට විස්තර කරන්න බැරි වෙයි! (යොහ. 5:28, 29) ඔයා ආසාවෙන් බලන් ඉන්නේ ඒ මොන ආශ්චර්යය වෙනවා දකින්නද?

8 යේසුස් කරපු ආශ්චර්යයන්වලින් ඔහු කොච්චර නිහතමානීද, ඔහු අනිත් අයට දයානුකම්පාව පෙන්නුවේ කොහොමද කියලා පේනවා. අපි දැන් සිද්ධි දෙකක් අරන් අපිට ඒ ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් කොහොමද කියලා බලමු. මුලින්ම අපි කානා නුවරේ තිබුණ විවාහ උත්සවයට ආයෙත් පොඩ්ඩක් යමුද?

නිහතමානිකම ගැන පාඩමක්

9. විවාහ උත්සවයේදී යේසුස් ආශ්චර්යයක් කරන්න පෙලඹුණේ ඇයි? (යොහන් 2:6-10)

9 යොහන් 2:6-10 කියවන්න. විවාහ උත්සවය මැදදී වයින් ඉවර වුණා කියලා ඒ වෙනුවෙන් දෙයක් කරන්න යේසුස් බැඳිලා හිටියාද? නැහැ. මොකද යේසුස් එතනට ආපු අමුත්තෙක් විතරයි. අනික කිසිම අනාවැකියක සඳහන් වෙලා නැහැ ගැලවුම්කරු වතුර වයින් කරනවා කියලා. එහෙනම් ඇයි යේසුස් ඒ වගේ දෙයක් කළේ? ඒක තේරුම්ගන්න, හිතන්න ඔයාගේ විවාහ උත්සවයේදී ඒ වගේ දෙයක් වුණා කියලා. එහෙම වුණොත් නම් ඔයාට ලොකු අසරණකමක් දැනෙයි නේද? ඒ වෙලාවේ යේසුස්ටත් දැනුණා ඒ පවුලේ අයගේ අසරණකම. විශේෂයෙන්ම මනමාල යුවළට ඒකෙන් වෙන ලැජ්ජාව ඔහු තේරුම්ගත්තා. අන්න ඒ නිසයි යේසුස් ඒ ආශ්චර්යය කළේ. ඒ වෙලාවේ ඔහු වතුර ලීටර් 390ක් (ගැලුම් 103ක්) විතර ඉස්තරම්ම වයින්වලට හැරෙව්වා. ඇයි එච්චර ගොඩක්? සමහරවිට යේසුස් හිතන්න ඇති ඉතුරු වුණ වයින් උත්සවය ඉවර වුණාට පස්සේ එයාලා ප්‍රයෝජනයට ගනියි කියලා. එහෙම නැත්නම් ඒ වයින් විකුණලා අලුත් ජීවිතේ වෙනුවෙන් යම් මුදලක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කොහොම වුණත් ඒ වෙලාවේ යේසුස් කරපු දේ ඒ යුවළට ලොකු සහනයක් වෙන්න ඇති.

අපි යේසුස් වගේ නිහතමානී නම් අපි කරපු දේවල් ගැන උජාරුවෙන් කතා කරන්නේ නැහැ (10-11 ඡේද බලන්න) e

10. යොහන් 2වෙනි පරිච්ඡේදයේ තියෙන වාර්තාවෙන් අපිට හොයාගන්න පුළුවන් වැදගත් තොරතුරු මොනවාද? (පින්තූරයත් බලන්න.)

10 අපි දැන් යොහන් 2වෙනි පරිච්ඡේදය ටිකක් බලමු. ඒකේ ලේසියෙන් මඟහැරෙන්න පුළුවන් ඒත් හරිම වැදගත් තොරතුරු කීපයක්ම අපිට හොයාගන්න පුළුවන්. ඒ වාර්තාවේ කියන විදිහට ඒ භාජනවලට වතුර පිරෙව්වේ යේසුස් නෙවෙයි. ඔහු ඒක කරන්න කියලා කිව්වේ සේවකයන්ට. යේසුස් එහෙම කරපු එකෙන් තමන්ටම අනවශ්‍ය අවධානයක් ඇදගත්තේ නැහැ. (6, 7 පද) ඒ වගේම වතුර වයින් කළාට පස්සේ උත්සවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන කෙනාට ඒ වයින් ගිහින් දුන්නෙත් යේසුස් නෙවෙයි. ඒකටත් ඔහු යැව්වේ සේවකයෙක්ව. (8 පදය) ඒ විතරක් නෙවෙයි යේසුස් වයින් ටිකක් අරගෙන අමුත්තෝ මැද්දට ගිහින් “මෙන්න මේ දැන් මං හදපු අලුත්ම වයින්! ඔයාලම බලලා කියන්නකෝ රහද කියලා” කියලා කිව්වෙත් නැහැ.

11. ඒ ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 යේසුස් කරපු ඒ ආශ්චර්යයෙන් අපිට නිහතමානිකම ගැන වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. යේසුස් කවදාවත් තමන් කරපු දෙයක් ගැන මහ උජාරුවෙන් අනිත් අය ඉස්සරහා කතා කළේ නැහැ. ඒ වෙනුවට ඒකට ලැබෙන්න ඕනෙ ගෞරවය, ප්‍රශංසාව ඔහු දුන්නේ ඔහුගේ තාත්තාට. (යොහ. 5:19, 30; 8:28) අපිත් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අපි කරන කිසිම දෙයක් ගැන, කොටින්ම කිව්වොත් සංවිධානයෙන් ලැබිලා තියෙන පැවරුමක් ගැන වුණත් තැන තැන ගිහිල්ලා මහ ලොකුවට කියවන්නේ නැහැ. අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ අපිට ඒ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ යෙහෝවාගෙන් කියලා. (යෙරෙ. 9:23, 24) ඒ නිසා අපිට ලකුණු දාගන්නවා වෙනුවට ඒ ලකුණු යෙහෝවාට දෙමු. මොකද ඔහුගේ උදව් නැතුව අපිට කවදාවත් කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැ.—1 කොරි. 1:26-31.

12. යේසුස්ගේ නිහතමානිකම ආදර්ශයට ගන්න පුළුවන් තව විදිහක් මොකක්ද? උදාහරණයක් කියන්න.

12 අපිට යේසුස්ගේ නිහතමානිකම ආදර්ශයට ගන්න පුළුවන් තව විදිහක් තියෙනවා. ඒක තේරුම්ගන්න මේ සිද්ධියට අවධානය දෙන්න. එක වැඩිමහල්ලෙක් තරුණ සහායක සේවකයෙක්ට එයාගේ පළවෙනි බයිබල් දේශනය ලෑස්ති වෙන්න උදව් කළා. ඒ නිසා මේ සහායක සේවකයාට පුළුවන් වෙනවා එයාගේ දේශනය හරිම ලස්සනට දෙන්න. සභාවේ හැමෝමත් ඒක අහලා ගොඩක් දිරිගැන්වෙනවා. ඉතින් රැස්වීම ඉවර වුණාට පස්සේ කෙනෙක් ඇවිල්ලා ඒ වැඩිමහල්ලාට කියනවා “එයා දේශනය හරිම ලස්සනට දුන්නා නේද බ්‍රදර්” කියලා. ඒ වෙලාවේ ඒ වැඩිමහල්ලා මොනවා කියයිද? “නැතුව නැතුව, ඒක අහන්නත් දෙයක්ද! මංනේ ඉතින් එයාට උදව් කළේ.” එයා එහෙම කියයිද? නැත්නම් “ඔව්, හරි ෂෝක් කතාව නේද! මටත් හරිම සතුටුයි” කියලා කියයිද? අපි අනිත් අය වෙනුවෙන් කියපු කරපු දේවල් ප්‍රසිද්ධ කරලා කාගෙවත් ගෞරවය ලබාගන්න අපිට ඕනෙ නැහැ. ඒ දේවල් යෙහෝවා දැක්කොත් ඒ හොඳටම ඇති. (මතෙ. 6:2-4; හෙබ්‍රෙ. 13:16) ඒ විදිහට අපි යේසුස් වගේ නිහතමානී වෙද්දී ඒ ගැන යෙහෝවා දෙවියන් ගොඩක් සතුටු වෙයි.—1 පේතෘ. 5:6.

දයානුකම්පාව ගැන පාඩමක්

13. නායින් නුවර ළඟින් යද්දී යේසුස් දැක්කේ මොකක්ද? ඊටපස්සේ ඔහු කළේ මොකක්ද? (ලූක් 7:11-15)

13 ලූක් 7:11-15 කියවන්න. දවසක් යේසුස් නායින් නුවරට ගියා. ඒක තිබුණේ ෂුනෙම් නගරය කිට්ටුව. සමහරවිට ඔයාලට මතක ඇති ඊට අවුරුදු 900කට විතර කලින් එලිෂා ෂුනෙම් නගරයේදී තමයි එක ස්ත්‍රියකගේ පුතෙක්ව නැවත නැඟිට්ටෙව්වේ. (2 රාජා. 4:32-37) ඉතින් යේසුස් මේ නගරයේ දොරටුව ළඟට එද්දී ඔහු දැක්කා කට්ටියක් මැරුණ කෙනෙක්ගේ දේහයක් අරන් යනවා. ඒක ගොඩක් දුක්බර අවස්ථාවක්. මොකද ඒ නැති වෙලා හිටියේ වැන්දඹුවකට හිටපු එකම පුතා. ඒ වෙලාවේ ඒ වැන්දඹුව තනියෙන් නෙවෙයි හිටියේ. එයාත් එක්ක තව ලොකු සෙනඟක් හිටියා. ඉතින් යේසුස් එතනට ගිහින් එයාලව නතර කළා. ඊටපස්සේ ඒ අම්මා හීනෙකින්වත් හිතපු නැති විදිහට යේසුස් එයාගේ පුතාව නැවත නැඟිට්ටෙව්වා. සුවිශේෂ වාර්තාවල සඳහන් වෙන යේසුස් කරපු නැවත නැඟිටීම්වලින් පළවෙනි එක තමයි ඒ.

වියෝදුකෙන් ඉන්න අයට යේසුස් වගේ දයානුකම්පාව පෙන්නන්න (14-16 ඡේද බලන්න)

14. ලූක් 7වෙනි පරිච්ඡේදයෙන් අපිට හොයාගන්න පුළුවන් මොන වගේ වැදගත් කරුණුද? (පින්තූරයත් බලන්න.)

14 දැන් අපි ලූක් 7වෙනි පරිච්ඡේදයේ සැඟවිලා තියෙන වටිනා කරුණු කීපයක් එළියට ගමු. ඒ වාර්තාවේ කියනවා යේසුස් ඒ අම්මාව ‘දුටු විගස ඇය ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා’ කියලා. (13 පදය) යේසුස් දකින්න ඇති ඒ අසරණ අම්මා බිම බලාගෙන ඉකිගගහා පුතාගේ මිනිය ඉස්සරහෙන් ඇවිදගෙන යන හැටි. ඒ අම්මාගේ වේදනාව දැකලා යේසුස්ට වාවගන්න බැරි වුණා. ඒ නිසයි ඔහුගේ හදවත අනුකම්පාවෙන් පිරිලා ගියේ. ඒත් යේසුස් එතනින් නතර වුණේ නැහැ. ඔහුගේ හිතට දැනුණ අනුකම්පාව ඔහුව පෙලඹුවා එයා වෙනුවෙන් දෙයක් කරන්න. ඔහු ඒ අම්මා ළඟට ගිහිල්ලා හරිම ආදරෙන් හිත සැනසෙන විදිහට “අඬන්න එපා” කියලා කියපු විදිහ ඔයාට හිතින් මවාගන්න පුළුවන්ද? ඊටපස්සේ යේසුස් ඒ මැරුණ පුතාව නැඟිට්ටලා “අම්මාට භාර දුන්නා.”—14, 15 පද.

15. ඒ ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 ඒ වාර්තාවෙන් අනිත් අයව සනසන විදිහ ගැන, දයානුකම්පාව පෙන්නන විදිහ ගැන වටිනා පාඩමක් ඉගෙනගන්න අපිට පුළුවන්. ඇත්ත, යේසුස්ට වගේ කාවවත් නැවත නැඟිට්ටවන්න අපිට බලය නැහැ. හැබැයි වියෝදුකෙන් ඉන්න අයව සනසන්න අපිට පුළුවන්. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට ඇත්තටම එයාලට ඕනෙ මොනවාද කියලා හොඳ අවධානයකින් ඉන්න. d (හිතෝ. 17:17; 2 කොරි. 1:3, 4; 1 පේතෘ. 3:8) මොකද ඔයා කරන කියන පුංචිම දේකින් වුණත් හදවතක තියෙන ලොකු වේදනාවක් තුනී කරන්න ඔයාට පුළුවන්.

16. මේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද? (රඟ දැක්වීමක් ඇතුළත් පින්තූරය බලන්න.)

16 මීට අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් අපි දැන් බලමු. දවසක් රැස්වීමේ ගීතිකා කියකිය ඉද්දී එක සහෝදරියක් දැක්කා ශාලාවේ එහා පේළියේ හිටපු අම්මා කෙනෙක් හොඳටම අඬනවා. මොකද ඒ ගීතිකාවේ තිබ්බේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන. ඒ වෙද්දී එයාගේ දුව මැරිලා වැඩි දවසක් ගිහින් තිබ්බේ නැහැ. ඉතින් මේ සහෝදරිය පුළුවන් තරම් ඉක්මනට එයා ගාවට ගියා. ඊටපස්සේ එයාව බදාගෙන තමයි ගීතිකාවේ ඉතුරු ටික කිව්වේ. ඒ අම්මා කොච්චර දුකෙන් හිටියත් එදා රැස්වීම් ගිය එක ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද එයා කියනවා “එතන තමයි මට ඕන සහනය තියෙන්නේ. එදා මගේ සහෝදර සහෝදරියන් ගැන මට පුදුම සෙනෙහසක් දැනුණේ” කියලා. ඒ සහෝදරිය ඒ අම්මා වෙනුවෙන් කළේ හරිම පුංචි දෙයක්. ඒ නිසා අපිත් මේ දේ මතක තියාගමු. “තැළුණු හදවත්” වෙනුවෙන් අපි කරන පුංචිම දෙයක් වුණත් යෙහෝවා දකිනවා, ඒවා ඔහුට ගොඩක් වටිනවා.—ගීතා. 34:18.

අධ්‍යයනයට කියාපු විෂයක්!

17. මේ ලිපියෙන් අපි ඉගෙනගත්තේ මොනවාද?

17 යේසුස් කරපු ආශ්චර්යයන්වලින් අපි ඉගෙනගත්තේ මොනවාද? (1) යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට ගොඩක් ආදරෙයි. (2) මිනිස්සුන්ගේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න තරම් බලයක් යේසුස්ට තියෙනවා. (3) දේවරාජ්‍යයෙන් ආශීර්වාද ලැබෙන දවස වැඩි ඈතක නැහැ. යේසුස් කරපු ආශ්චර්යයන් ගැන අධ්‍යයනය කරද්දී ඔහුව ආදර්ශයට අරන් අපේ ගුණාංග ඔප දාගන්නේ කොහොමද කියලා හිතලා බලන එකත් ගොඩක් වටිනවා. ඉතින් පෞද්ගලික අධ්‍යයනයේදී, පවුලේ නමස්කාරයේදී යේසුස් කරපු ආශ්චර්යයන් ගැන අධ්‍යයනය කළොත් නරකද? එහෙම කළොත් ඒ වාර්තා අතර සැඟවිලා තියෙන ගොඩක් පාඩම් හොයාගන්න ඔයාට පුළුවන්. ඒවා අනිත් අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා. හිතලා බලන්න, ඒ වගේ රසවත් කතාබහක් කොච්චර දිරිගැන්වෙන එකක් වෙයිද!—රෝම 1:11, 12.

18. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

18 මේ පොළොවේ සේවේ කරපු කාලේදී යේසුස් කරපු නැවත නැඟිටුවීම් තුනක් ගැන බයිබලේ වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් තුන්වෙනි එක විශේෂයි. මොකද ඒකේදී යේසුස් නැවත නැඟිට්ටුවේ ඔහුගේ කිට්ටුම යාළුවෙක්ව. ඒකත් එයා මැරිලා දවස් හතරකට පස්සේ! ඒ ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තව ශක්තිමත් කරගන්න ඒක අපිට උදව් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 20 දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!

a ඔහු භයානක කුණාටු නිහඬ කළා. අසනීප සුව කළා. මැරුණ අයට පණ දුන්නා. ඇත්තටම යේසුස් කරපු ආශ්චර්යයන් ගැන කල්පනා කරද්දී අපිට පුදුමත් හිතෙනවා. හැබැයි ඒවා වාර්තා කරලා තියෙන්නේ නිකම්ම කියවලා රස විඳින්න නෙවෙයි, ඒවායින් පාඩම් ඉගෙනගන්න. යේසුස් කරපු ආශ්චර්යයන් ගැන හිතද්දී අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. ඔහු ගැන, යෙහෝවා දෙවියන් ගැන තව හොඳින් දැනගන්න අවස්ථාව ලැබෙනවා. දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්නත් ඒවා උදව්වක්.

b බයිබල් විශාරදයෙක් මෙහෙම කියනවා. “ඒ කාලේ මැදපෙරදිග සංස්කෘතියේ ආගන්තුක සත්කාරයට හරිම වැදගත් තැනක් හිමි වෙලා තිබුණා. එයාලා ආවාට ගියාට අමුත්තන්ට සැලකුවේ නැහැ. ගාණට මිම්මට මැනලා සංග්‍රහ කළෙත් නැහැ. ඒ වෙනුවට කෑම බීම පිරිලා ඉතිරිලා යන තරමට දුන්නොත් තමයි එයාලාගේ හිතට සතුටක් දැනුණේ. හැබැයි විවාහ උත්සවයකදී ඊටත් වඩා වැඩියෙන් එයාලා අමුත්තන්ට සංග්‍රහ කළා.”

c සුවිශේෂ වාර්තාවල යේසුස් කරපු ආශ්චර්යයන් 30කට වඩා නිශ්චිතවම සඳහන් කරලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ඔහු එකම වෙලාවේ ආශ්චර්යයන් කීපයක්ම කළා. උදාහරණෙකට, එක අවස්ථාවකදී ඔහු “මුළු නුවරෙම” හිටපු “විවිධ රෝගවලින් පෙළුණු බොහෝදෙනෙකුව සුව කළා.”—මාක් 1:32-34.

d වියෝදුකෙන් ඉන්න කෙනෙක්ව සනසන්න පුළුවන් විදිහ ගැන තවත් තොරතුරු දැනගන්න 2010 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “වියෝ දුකෙන් පෙළෙන්නන්ව සනසන්න” කියන ලිපිය බලන්න.

e පින්තූරයේ අදහස: මනාල යුවළයි, උත්සවයට ආපු අයයි යේසුස් දුන්න ඉස්තරම්ම වයින් රස විඳින අතරතුරේදී යේසුස් පැත්තකින් ඇවිදගෙන යනවා.