පාඩම් ලිපිය 18
රැස්වීම්වලදී එකිනෙකාව දිරිගන්වන්න
‘අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් එකිනෙකාව දිරිගන්වමු.’—හෙබ්‍රෙ. 10:24, 25.
ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න
මේ ලිපියෙන් a
1. රැස්වීම්වලදී අපි උත්තර දෙන්නේ ඇයි?
ඇයි අපි රැස්වීම් යන්නේ? යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න. (ගීතා. 26:12; 111:1) ඒක තමයි අපි රැස්වීම් යන ප්‍රධානම හේතුව. ඒ වගේම රැස්වීම්වලට යන එකෙන් ප්‍රශ්න ගැටලු එක්ක පොරබදින අපේ සහෝදරයන්ව දිරිගන්වන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. (1 තෙස. 5:11) ඉතින් ඔයා රැස්වීම්වලදී අත උස්සලා උත්තර දෙද්දී ඔයාට ඒ දෙකම කරන්න අවස්ථාව ලැබෙනවා.
2. ඔයාට උත්තර දෙන්න ලැබෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?
2 හැම සතියකම රැස්වීම්වලදී උත්තර දෙන්න අපි හැමෝටම අවස්ථාව ලැබෙනවා. උදාහරණෙකට ‘මුරටැඹ’ සාකච්ඡාවේදී වගේම සති මැද රැස්වීමේ තියෙන දේවවචනයෙන් මැණික් කියන කොටසේදී, සභා බයිබල් පාඩමේදී සහ සාකච්ඡා කරන්න තියෙන අනිත් කොටස්වලදී අදහස් දෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.
3. ඔයාට එන්න පුළුවන් මොන අභියෝගද? ඒවායින් ගොඩ එන්න හෙබ්‍රෙව් 10:24, 25 අපිට උදව් වෙන්නේ කොහොමද?
3 රැස්වීමේ උත්තර දෙද්දී සමහර වෙලාවට ඔයාට ලැජ්ජාවක්, බයක් දැනෙන්න පුළුවන්. නැත්නම් හොඳට ලෑස්ති වෙලා ඇවිත් අත ඉස්සුවත් ඔයා හිතපු තරම් ඔයාගෙන් උත්තර ගන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාටත් ඒ වගේ අභියෝග තියෙනවාද? එහෙමනම් ඒවායින් ගොඩ එන්න ඔයාට පුළුවන් කොහොමද? ඒකට පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ තියෙන දේවල් ඔයාට උදව් වෙයි. රැස්වීම් යන එකේ වැදගත්කම ගැන කතා කරද්දී පාවුල් එයාලට කිව්වා “එකිනෙකාව දිරිගන්වන්න” කියලා. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) ඉතින් උත්තරයක් දෙන්න ඔයාට බයක්, චකිතයක් දැනෙනවා නම් එක දෙයක් මතක තියාගන්න. පුංචිම උත්තරයකින් වුණත් ඔයා ඔයාගේ විශ්වාසය ගැන කියද්දී අනිත් අයට ඒක ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. අනිත් අතට ඔයාට උත්තරයක් දෙන්න අවස්ථාවක් ලැබුණේ නැතත් ඒ අවස්ථාව තව කෙනෙක්ට ලැබුණ එක ගැන සතුටු වෙන්න ඔයාට පුළුවන්.—1 පේතෘ. 3:8.
4. අපි මේ ලිපියෙන් බලන්නේ මොන පැති තුන ගැනද?
4 ඔයා ඉන්නේ පුංචි සභාවක නම් ඔයාගේ උත්තරවලින් අනිත් අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද? ඔයා ඉන්නේ ලොකු සභාවක නම් ඒක කරන්නේ කොහොමද? ඔයාගේ උත්තරේට ඇතුළත් කරන දේවල්වලින් අනිත් අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද? ඒ පැති තුන ගැන අපි මේ ලිපියෙන් බලමු.
පුංචි සභාවකදී
5. ඔයා ඉන්නේ පොඩි සභාවක නම් එකිනෙකාව දිරිගන්වන්න ඔයාට පුළුවන් කොහොමද?
5 පොඩි සභාවක නැත්නම් කණ්ඩායමක උත්තර දෙන්න එච්චර කට්ටිය නැහැ. සමහර වෙලාවට කෙනෙක් අත උස්සන කල් කොටස මෙහෙයවන කෙනාට ඔහේ බලන් ඉන්න වෙයි. එහෙම වුණොත් නම් රැස්වීම ඇදිඇදී යනවා වගේ දැනෙයි. කිසිම සතුටක්, උද්යෝගයක් දැනෙන එකකුත් නැහැ. ඒ වගේ වෙලාවට ඔයාට කරන්න පුළුවන් මොනවාද? ටිකක් වැඩිපුර උත්තර දෙන්න ලෑස්ති පිට ඉන්න. එහෙම කරද්දී අනිත් අයත් පෙලඹෙයි වැඩිපුර උත්තර දෙන්න.
6-7. උත්තර දෙන්න තියෙන ලැජ්ජාව, බය අඩු කරගන්න පුළුවන් කොහොමද?
6 උත්තර දෙන එක ගැන හිතද්දීත් ඔයාගේ අත පය හීතල වෙලා, හීන් දාඩිය දානවාද? ඔයාට විතරක් නෙවෙයි තව හුඟදෙනෙක්ටත් එහෙම වෙනවා. එහෙමනම් උත්තර දෙද්දී දැනෙන ලැජ්ජාව, බය අඩු කරගන්න පුළුවන් විදිහ ගැන හිතන්න. මොකද එහෙම කරද්දී ඔයාගෙම ආදරණීය සහෝදර සහෝදරියන්ට ඒක ලොකු දිරිගැන්වීමක් වෙයි. ඒත් කොහොමද ඒක කරන්නේ?
7 පහුගිය ‘මුරටැඹ’ ලිපිවල තියෙන යෝජනා පොඩ්ඩක් ආයේ මතක් කරගන්න එක ඒක කරන්න ඔයාට උදව් වෙයි. b ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි හොඳට ලෑස්ති වෙන එක. (හිතෝ. 21:5) සාකච්ඡා කරන කොටස ඔයා තේරුම්ගන්න තරමට උත්තර දෙන්න ඔයාට තියෙන බයත් අඩු වෙයි. කරන්න පුළුවන් තව දෙයක් තමයි කෙටි උත්තර දෙන එක. (හිතෝ. 15:23; 17:27) මොකද උත්තරේ කෙටි වෙන තරමට ඔයාට දැනෙන පීඩනයත් අඩුයි. අනික වාක්‍යයකින්, දෙකකින් දෙන උත්තරේක වැල්වටාරම් නැති නිසා ඒක තේරුම්ගන්නත් ලේසියි. උත්තරේ කෙටි වුණත් ඒක ඔයාගෙම වචනවලින් කියන්න. ඒකෙන් පේනවා ඔයා ඒ කොටසට හොඳට සූදානම් වෙලා තියෙනවා කියලා. ඒ වගේම සාකච්ඡා කරන දේවල් ඔයා හොඳට තේරුම් අරන් ඉන්නවා කියලා.
8. අපි අපේ උපරිමය කරද්දී යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?
8 ඒ හැම යෝජනාවක්ම අදාළ කරගත්තාට පස්සෙත් උත්තරේකට, දෙකකට වඩා දීගන්න ලොකු බයක් දැනෙනවාද? එහෙමනම් ඔයා ඒ වෙනුවෙන් ගන්න පුංචි මහන්සියක් පවා යෙහෝවා ගොඩක් අගය කරනවා කියලා අමතක කරන්න එපා. (ලූක් 21:1-4) ඇත්ත, උත්තර දෙන්න ඔයා ඔයාගේ උපරිමය කරන්න ඕනේ. හැබැයි ඒක පීඩනයක් කරගන්න එපා. මොකද ඔයාගේ සීමාවෙන් එහාට ගිහින් ඒක කරයි කියලා යෙහෝවා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ෆිලි. 4:5) ඒ නිසා ඉස්සෙල්ලාම ඔයාට කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න. ඊටපස්සේ ඉලක්කයක් තියාගන්න. උත්තරයක් දෙද්දී සන්සුන්ව ඒක දෙන්න උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. ඔයා උත්තරයක් දෙන්න ගොඩක් බය කෙනෙක් නම් මුලදී එක පුංචි උත්තරයක් දුන්නත් ඇති.
ලොකු සභාවකදී
9. ලොකු සභාවක ඉද්දී තියෙන අභියෝගය මොකක්ද?
9 ඔයා ඉන්නේ ගොඩක් ප්‍රචාරකයන් ඉන්න සභාවක නම් ඔයාට තියෙනවා ඇත්තේ වෙනමම අභියෝගයක්. සමහරවිට උත්තර දෙන්න සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් අත උස්සන නිසා නිතරම වගේ ඔයාගේ අත මඟ හැරෙනවා ඇති. සහෝදරි ඩැනියෙල්ගේ අද්දැකීම බලන්න. c එයා රැස්වීම්වලදී උත්තර දෙන එකෙන් ලොකු සතුටක් ලබනවා. එයා ඒක සලකන්නේ යෙහෝවාට නමස්කාර කරන්න, අනිත් අයව දිරිගන්වන්න සහ විශ්වාසය ශක්තිමත් කරගන්න ලැබෙන අවස්ථාවක් විදිහට. හැබැයි එයා ලොකු සභාවකට මාරු වුණාම කලින් වගේ එයාට උත්තර දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. සමහර දවස්වල එයාට එක උත්තරයක්වත් දෙන්න හම්බ වුණේ නැහැ. එයා ඒ ගැන මෙහෙම කියනවා. “මං හොඳටම කලකිරුණා. මට දැනුණේ වටිනා වරප්‍රසාදයක් මට නැති වුණා වගේ. ආයේ ආයේ ඒකම වෙද්දී මට හිතුණා කොටස කරන සහෝදරයා මේක කරන්නේ ඕනකමින්ද කියලා.”
10. උත්තරයක් දෙන්න වැඩි ඉඩකඩක් ලැබෙන්නේ අපි මොනවා කළොත්ද?
10 ඔයාටත් කවදා හරි ඩැනියෙල්ට වගේ දැනිලා තියෙනවාද? එහෙනම් ඔයාටත් හිතිලා ඇති ‘මං රැස්වීම් ගිහින් ඔහේ අහන් ඉඳලා එනවා’ කියලා. හැබැයි එහෙම හිතලා අදහස් දෙන්නේ නැතුව ඉන්න එපා. එහෙමනම් මොනවාද ඔයාට කරන්න පුළුවන්? උත්තරේකට, දෙකකට නෙවෙයි කීපයකටම ලෑස්ති වෙලා යන්න. එතකොට පාඩම මුලදී උත්තරයක් දෙන්න බැරි වුණත් ඒ අවස්ථාව පස්සේ හරි හම්බ වෙයි. ‘මුරටැඹ’ ලිපිය ලෑස්ති වෙද්දී හැම ඡේදයක්ම ප්‍රධාන තේමාවට සම්බන්ධ වෙන විදිහ ගැන හිතන්න. එතකොට ඕනම ඡේදයකදී හොඳ අදහසක් දෙන්න ඔයාට පුළුවන් වෙයි. ඊට අමතරව ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ගැඹුරු කාරණා ගැන සාකච්ඡා කරන ඡේදවලට වැඩිපුර ලෑස්ති වෙන්න. (1 කොරි. 2:10) ඒ ඇයි? මොකද ඒ වගේ ඡේදවලදී වැඩිදෙනෙක් අත් උස්සන්නේ නැති නිසා ඔයාගෙන් උත්තරේ අහන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් ඒ ඔක්කොම කරලත් රැස්වීම් කීපයකදීම එක දිගට ඔයාගෙන් අදහසක් ගත්තේ නැත්නම්? ඒත් ඔයාට කරන්න දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් රැස්වීම පටන්ගන්න කලින් කොටස මෙහෙයවන සහෝදරයාව හම්බ වෙලා “මං මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කැමතියි” කියලා එයාට කලින්ම කියන්න.
11. ෆිලිප්පි 2:4 අපිව දිරිගන්වන්නේ මොනවාටද?
11 ෆිලිප්පි 2:4 කියවන්න. දෙවිගේ බලයේ උදව්වෙන් පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගැන්නුවා එකිනෙකාට පෞද්ගලික සැලකිල්ල දක්වන්න කියලා. ඒ උපදෙස රැස්වීම්වලදී අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඒක කරන්න නම් අපි මතක තියාගන්න ඕනෙ අපි වගේම අනිත් අයත් උත්තර දෙන්න ගොඩක් ආසයි කියලා.
12. රැස්වීම්වලදී අනිත් අයව දිරිගන්වන්න පුළුවන් හොඳ විදිහක් මොකක්ද? (පින්තූරයත් බලන්න.)
12 හිතන්න යාළුවෝ කට්ටියක් එක්ක ඉද්දී ඔයාම විතරක් කතා කරනවාද? නැහැනේ. අපි අනිත් අයටත් කතා කරන්න අවස්ථාව දෙනවා. ඒ වගේ තමයි අපේ රැස්වීමුත්. රැස්වීමේදී අපිම උත්තර දෙනවා වෙනුවට අනිත් අයටත් එයාලාගේ විශ්වාසය ගැන කියන්න අපි අවස්ථාව දෙන්න ඕනේ. (1 කොරි. 10:24) ඒක එයාලව දිරිගන්වන්න පුළුවන් හොඳ විදිහක්. ඒත් ඒක කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.
13. හුඟදෙනෙක්ට අවස්ථාව දෙන්න අපිට පුළුවන් කොහොමද?
13 ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි පුළුවන් තරම් කෙටියෙන් උත්තර දෙන එක. මොකද එහෙම කරද්දී තව හුඟදෙනෙක්ට උත්තර දෙන්න අවස්ථාව ලැබෙනවා. වැඩිමහල්ලන්ට සහ අද්දැකීම් තියෙන ප්‍රචාරකයන්ට පුළුවන් ඒ ගැන හොඳ ආදර්ශයක් තියන්න. කෙටි උත්තරයක් දෙද්දීත් මේ දේ මතක තියාගන්න. ඒකට ගොඩක් කරුණු ඇතුළත් කරන්න එපා. ඔයා ඡේදේ තියෙන හැම අදහසක්ම ඔයාගේ උත්තරේට එබුවොත් අනිත් අයට දෙන්න දෙයක් නැති වෙයි. උදාහරණෙකට මේ ඡේදේ ගැන හිතන්න. මේකේ අපිට අදාළ කරගන්න පුළුවන් යෝජනා දෙකක් දීලා තියෙනවා. (1) කෙටි උත්තර දෙන්න. (2) ඒ උත්තරේට ගොඩක් කරුණු ඇතුළත් කරන්න එපා. ඉතින් මේ ඡේදේට මුල්ම උත්තරේ දෙන්න ඔයාට අවස්ථාව ලැබුණොත් ඒ කරුණු දෙකෙන් එකක් කියන එක නේද හොඳ?
14. ප්‍රශ්න කීයකට අත උස්සනවාද කියලා තීරණය කරන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
14 ප්‍රශ්නෙකට අත උස්සන්න කලින් හිතලා බලන්න ඕනෙ දේකුත් තියෙනවා. ඔයා රැස්වීමේදී ඉන්නේ අත උස්සගත්ත ගමන්ම නම් ඒක කොටස මෙහෙයවන කෙනාටත් බලපාන්න පුළුවන්. ඒ වෙද්දීත් උත්තර දුන්නේ නැති අය අත උස්සන් හිටියත් ඔයාගෙන්ම අහන්න ඕනෙ කියලා එයාට පීඩනයක් දැනෙයි. ඒකෙන් අනිත් අයත් අධෛර්යය වෙයි.—දේශ. 3:7.
15. (අ) උත්තරයක් ගත්තේ නැත්නම් මොකද කරන්නේ? (ආ) හැමෝ ගැනම සැලකිලිමත් වෙනවා කියලා පාඩම මෙහෙයවන කෙනාට පෙන්නන්න පුළුවන් කොහොමද? (“ කොටස මෙහෙයවන්නේ ඔයා නම් . . . ” කියන කොටුව බලන්න.)
15 හුඟක් අය අත උස්සද්දී සමහරවිට අපි හිතපු තරම් උත්තර දෙන්න බැරි වෙයි. සමහර දවස්වලට කොටස මෙහෙයවන කෙනාට ඔයාගෙන් එක උත්තරයක්වත් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කලකිරෙන්න එපා. එයා ඒක කළේ හිතාමතාමයි කියලා හිතන්න ඉක්මන් වෙන්නත් එපා.—දේශ. 7:9.
16. උත්තර දෙන අනිත් අයව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද?
16 සමහරවිට කොච්චර හොඳට ලෑස්ති වෙලා ගියත් හිතේ හැටියට උත්තර දෙන්න ඔයාට අවස්ථාව නොලැබෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට දුක් වෙන්න එපා. ඒ වෙනුවට අනිත් අය දෙන අදහස්වලට හොඳට ඇහුම්කන් දෙන්න. ඊටපස්සේ රැස්වීම් ඉවර වුණාම ඒ ගැන එයාලව අගය කරන්න. කෙනෙක්ව අගය කරන එක උත්තරයක් දෙනවා වගේ තමයි. මොකද ඒ දෙකෙන්ම වෙන්නේ ඔයා ඔයාගේ සහෝදරයාව දිරිගන්වන එකයි.—හිතෝ. 10:21.
දිරිගන්වන්න පුළුවන් තවත් පැති
17. (අ) උත්තරයක් දෙන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (ආ) වීඩියෝ එකේ පෙන්නන විදිහට උත්තරයක් ලෑස්ති වෙන්න උදව් වෙන පියවර හතර මොකක්ද? (පාදසටහනත් බලන්න.)
17 රැස්වීම්වලදී අනිත් අයව දිරිගන්වන්න පුළුවන් තවත් විදි මොනවාද? ඔයාට දරුවෝ ඉන්නවා නම් එයාලාගේ වයසට ගැළපෙන විදිහට උත්තර දෙන්න එයාලව කලින්ම සූදානම් කරන්න. (මතෙ. 21:16) සමහරවිට අපි සාකච්ඡා කරන ලිපිවල විවාහක යුවළයන් අතර තියෙන ප්‍රශ්න, සදාචාර ප්‍රමිති වගේ බැරෑරුම් විෂයන් ගැන එනවා. ඒ වගේ ලිපිවල වුණත් දරුවාට උත්තර දෙන්න පුළුවන් ඡේදයක්, දෙකක් තියෙයි. ඒත් එයා අත උස්සන හැම වෙලේම මෙහෙයවන කෙනාට එයාගෙන් උත්තරයක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට එයාගෙන් උත්තරයක් ගන්න බැරි වුණේ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒ ගැන දුක් වෙනවා වෙනුවට එයාට අවස්ථාව ලැබුණේ නැතත් අනිත් අය උත්තර දුන්න එක ගැන හිතලා සතුටු වෙන්න එයාට පුළුවන්.—1 තිමෝ. 6:18. d
18. උත්තර දෙද්දී අපිටම අවධානය ඇදගන්න එකෙන් වළකින්න පුළුවන් කොහොමද? (හිතෝපදේශ 27:2)
18 හොඳට සූදානම් වෙලා උත්තර දෙද්දී යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න, සහෝදරයන්ව දිරිගන්වන්න අපි ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. (හිතෝ. 25:11) ඒ වගේම ඉඳලා හිටලා උත්තරවලට අපේ අද්දැකීමුත් කෙටියෙන් සම්බන්ධ කරන්න අපිට පුළුවන්. හැබැයි එහෙම කරද්දී අපි අපි ගැනම ලොකුවට කියව කියව පම්පෝරි ගහන්න හොඳ නැහැ. (හිතෝපදේශ 27:2 කියවන්න; 2 කොරි. 10:18) ඒ වෙනුවට අද්දැකීමක් කියද්දී වුණත් යෙහෝවාට, ඔහුගේ වචනයට සහ ඔහුගේ සෙනඟට තමයි අපි අවධානය දෙන්න ඕනේ. (එළි. 4:11) සමහර වෙලාවට මුද්‍රිත ප්‍රශ්නෙන්ම අහනවා අපේ පෞද්ගලික අද්දැකීමක් කියන්න කියලා. ඒ වගේ වෙලාවට ඔයා අද්දැකපු දෙයක් කියන එකේ කිසිම වරදක් නැහැ. ඔන්න ඒක කරන්න ඔයාට ඊළඟ ඡේදේම අවස්ථාව ලැබෙනවා.
19. (අ) හැමෝ ගැනම සැලකිලිමත් වෙද්දී ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද? (රෝම 1:11, 12) (ආ) උත්තර දෙන්න ලැබෙන අවස්ථාව ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?
19 උත්තර දෙන්න ඕනෙ මෙන්න මෙහෙමයි කියලා ලොකු නීති මාලාවක් අපිට දීලා නැහැ. හැබැයි අපි ඕනම කෙනෙක්ට පුළුවන් මුළු හදවතින්ම උත්තර දීලා හැමෝවම දිරිගන්වන්න. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් එක දෙයක් තමයි ටිකක් වැඩිපුර උත්තර දෙන එක. අනිත් අතට ඔයාට දෙන්න පුළුවන් වුණේ උත්තරයක්, දෙකක් විතරක් නම් ඒ ගැනත් සෑහීමට පත් වෙන්න. මොකද අනිත් අයගේ අදහස් අහන එකෙනුත් ලොකු සතුටක් ලැබෙනවා. ඒ වගේම අපි දන්නවා අපි වගේම එයාලත් උත්තර දෙන එක ලොකු වරප්‍රසාදයක් විදිහට සලකනවා කියලා. ඒ විදිහට අපි සභාවේ ඉන්න හැමෝම ගැන සැලකිලිමත් වෙනවා නම් “එකිනෙකාව දිරිගන්වන්න” අපි හැමෝටම අවස්ථාව ලැබෙයි.—රෝම 1:11, 12 කියවන්න.
ගීතිකාව 93 රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු
a රැස්වීම්වලදී උත්තර දීලා අනිත් අයව දිරිගන්වන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. හැබැයි සමහරුන්ට උත්තර දෙන්න ලොකු ලැජ්ජාවක්, බයක් දැනෙනවා. තවත් අයට හිතෙනවා ‘මගෙන් මීට වඩා තව උත්තර ගත්තා නම්’ කියලා. ඒත් අනිත් අය ගැන සැලකිලිමත් කියලා පෙන්නලා එයාලට දිරිගැන්වීමක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ වගේම ප්‍රේමය පෙන්වන්න සහ යහපත් ක්‍රියා කරන්න එකිනෙකාව පොලඹවන විදිහට උත්තර දෙන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.
b 2019 ජනවාරි ‘මුරටැඹ’ පාඩම් කලාපයේ 8-13 පිටුවල සහ 2003 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 19-22 පිටුවල හොඳ යෝජනා තියෙනවා.
c නම වෙනස් කර ඇත.
d jw.org වෙබ් අඩවියේ තියෙන ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - උත්තරයක් දෙන්න ලෑස්ති වෙමු’ කියන වීඩියෝ එක බලන්න.
f පින්තූරයේ අදහස: ලොකු සභාවක ඉන්න සහෝදරයෙක් දැනටමත් උත්තර දීලායි තියෙන්නේ. ඒ නිසා අත උස්සන්නේ නැතුව එයා අනිත් අයට අවස්ථාව දෙනවා.