Skip to content

පටුනට යන්න

ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න

ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න

“විශ්වාසය යනු . . . තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.”—හෙබ්‍රෙ. 11:1.

ගීතිකා: 54, 125

1. දෙවි අපේ හිත්වල විශ්වාසය ඇති කරලා තියෙන එක ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

කෙනෙක්ට විශ්වාසය තියෙනවා නම් ඒක හුඟක් වටින දෙයක්. මොකද බයිබලේ කියන්නේ “සියලුදෙනා තුළ විශ්වාසය නැත” කියලා. (2 තෙස. 3:2) ඒත් දෙවිට නමස්කාර කරන හැමෝටම දෙවිගේ පොරොන්දු ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. එයාලගේ හිත්වල ඒ විශ්වාසය ඇති කරන්නේ යෙහෝවා දෙවි. (රෝම 12:3; ගලා. 5:22) විශ්වාසය ඇති කරගන්න දෙවි උදව් කරන එක ගැන අපිට මොන තරම් අගයක් තියෙන්න ඕනෙද!

2, 3. (අ) විශ්වාසය තියෙන කෙනෙක් අද්දකින ප්‍රයෝජන මොනවද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

2 යෙහෝවා දෙවි ඔහුගේ ආදරණීය පුතා යේසුස්ව මිනිසුන් වෙනුවෙන් දුන්නේ ඔහුගේ ජීවිත පූජාව ගැන විශ්වාස කරන හැමෝටම පව්වලට සමාව ලබාගන්න අවස්ථාව දෙන්නයි. දෙවිගේ යාළුවන් වෙලා හැමදාටම ජීවත් වෙන්න අපිට අවස්ථාව තියෙන්නේ ඒ නිසයි. (යොහ. 6:44, 65; රෝම 6:23) පාපය උරුම කරගෙන ඉපදෙන නිසා අපි සුදුසු මැරෙන්න. ඒත් හරි දේ කරන්න අපිට පුළුවන් කියලා දෙවි දන්නවා. (ගීතා. 103:10) යේසුස් ගැනත් ඔහුගේ ජීවිත පූජාව ගැනත් ඉගෙනගන්න දෙවි අපිට උදව් කළා. යේසුස් ගැන විශ්වාසයක් ඇති වෙද්දී ඔහුව ආදර්ශයට ගන්න අපි පෙලඹුණා. සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව අපේ හිතේ ඇති වුණේ ඒ නිසයි.—1 යොහන් 4:9, 10 කියවන්න.

3 දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන දේවල්, ඉදිරියේදී කරන්න යන දේවල් ගැන දැනගෙන ඉන්නවා කියන්නේ අපිට විශ්වාසය තියෙනවා කියන එකද? නැත්නම් විශ්වාසයට ඇතුළත් වෙන තවත් දේවල් තියෙනවද? ඒ ගැන දැන් බලමු.

‘මුළු හදවතින්ම පිළිගෙන විශ්වාස කරන්න’

4. අපිට විශ්වාසය තියෙනවා නම් අපි පෙලඹෙන්නේ මොනවා කරන්නද?

4 අපිට විශ්වාසය තියෙනවා නම් යෙහෝවා දෙවි සහ යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල්, කරන්න යන දේවල් ගැන දැනගෙන විතරක් නතර වෙන්නේ නැහැ. දෙවි සහ යේසුස් බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න අපි ලොකු වෑයමක් දරනවා. අනිත් අයට දෙවි ගැන, යේසුස් ගැන උනන්දුවෙන් කියලා දෙනවා. පාවුල් මෙහෙම කිව්වා. “යේසුස් ස්වාමීන් බව ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. එලෙසම දෙවි ඔහුව මරණයෙන් නැඟිටෙවූ බව ඔබ ඔබේ මුළු හදවතින්ම පිළිගෙන ඒ කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඔබ එසේ කළොත් ඔබව ගලවනු ලැබේ. කෙනෙකු විශ්වාසය ඇති කරගන්නේ ඔහුගේ හදවතින්ය. ඒ විශ්වාසය නිසා ඔහු ධර්මිෂ්ඨයෙක් වෙයි. නමුත් ඔහු ගැලවීම ලබන්නේ ඒ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙනි.”—රෝම 10:9, 10; 2 කොරි. 4:13.

5. ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න එක වැදගත් ඇයි? ඒක කරන්නේ කොහොමද? උදාහරණයක් කියන්න.

5 පාරාදීසයේ සදහටම ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නේ දෙවිගේ පොරොන්දු ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගෙන ඒක දිගටම රැකගත්තොත් විතරයි. අපි තුළ තියෙන විශ්වාසය හරියට පැළයක් වගේ. මැළ වෙන්නේ නැතුව, පැළේ හොඳට වැඩෙන්න නම් අපි නිතිපතා ඒකට වතුර දාන්න ඕනේ. අපේ විශ්වාසය දිගටම රැකගන්න නම් අපිත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න ඕනේ.—ලූක් 22:32; 2 තෙස. 1:3; තීත. 2:2; හෙබ්‍රෙ. 3:12.

විශ්වාසය ගැන බයිබලේ කියන දේ

6. විශ්වාසය තියෙන කෙනෙක්ව හෙබ්‍රෙව් 11:1 විස්තර කරන්නේ කොහොමද?

6 හෙබ්‍රෙව් 11:1 (කියවන්න.) විශ්වාසය තියෙන කෙනෙක්ව පැති 2කින් විස්තර කරනවා. (1) එහෙම කෙනෙක් “තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැහැ.” දෙවි අනාගතයේදී කරන්න යන දේවල් අපි ‘බලාපොරොත්තු වන දේවලට’ ඇතුළත්. උදාහරණෙකට දුෂ්ටකම් නැති කරලා දෙවි පොළොව පාරාදීසයක් කරනවා කියලා අපිට නිසැකයි. (2) විශ්වාසය තියෙන කෙනෙක් “තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගන්නවා.” උදාහරණෙකට යෙහෝවා දෙවිව, යේසුස්ව, දේවදූතයන්ව අපිට නොපෙනුණත් ඔවුන් ඉන්නවා කියලා අපිට සැකයක් නැහැ. දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවලා තියෙනවා කියලත් අපිට ස්ථිරයි. (හෙබ්‍රෙ. 11:3) දෙවිගේ පොරොන්දු ගැන, නොපෙනෙන දේවල් ගැන අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ඒක අපි කරන කියන දේවලින් පැහැදිලි වෙනවා.

7. විශ්වාසය ගැන තේරුම්ගන්න නෝවාගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 විශ්වාසය ගැන නෝවාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? නෝවා ගැන පාවුල් කිව්වේ “ඒ වන තුරු නුදුටු දේවල් ගැන දෙවිගෙන් අනතුරු ඇඟවීමක් ලැබූ විට ඔහු දේවගරුබිය පෙන්වමින් තම පවුලට අයත් අයගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය” කියලා. (හෙබ්‍රෙ. 11:7) යෙහෝවා දෙවි කියපු දේවල් මුළු හදවතින්ම විශ්වාස කරපු නෝවා විශාල නැවක් හැදුවා. ‘ඇයි ඔයා මේක හදන්නේ’ කියලා අහළ පහළ අය එයාගෙන් අහන්න ඇති. නෝවා මුකුත් නොකියා හිටියේ නැහැ කියලා අපි දන්නවා. මොකද එයා “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළා.” (2 පේතෘ. 2:5) දෙවි කිව්ව මේ දේ ගැන එයා මිනිසුන්ට අනතුරු අඟවන්න ඇති. ‘ජීවත් වන සියල්ලන්ව විනාශ කිරීමට කාලය පැමිණ ඇත. මන්ද ඔවුන් නිසා මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින් පිරී තිබේ. මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි. මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව විනාශ කරන පිණිසයි. මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.’ ජලගැල්මෙන් බේරෙන්න නම් දෙවි අණ කරපු විදිහට ‘නැවට ඇතුල් විය යුතුයි’ කියලත් නෝවා එයාලට කියන්න ඇති.—උත්. 6:13, 17, 18.

8. විශ්වාසය ගැන යාකොබ් කිව්වේ මොනවද?

8 විශ්වාසය ගැන කතා කරපු තවත් කෙනෙක් යාකොබ්. එයා කිව්වේ “ක්‍රියා නැතුව ඔබ තුළ තිබෙන විශ්වාසය මට පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මා තුළ තිබෙන විශ්වාසය ඔබට පෙන්වමි” කියලයි. (යාකො. 2:18) දෙවිට නමස්කාර කරන අය තුළ තියෙන විශ්වාසය නිකම්ම වචනවලට සීමා වුණ විශ්වාසයක් නෙමෙයි, ඒක එයාලා ජීවත් වෙන විදිහෙන් දකින්න ඕනෙ කියලයි යාකොබ් කිව්වේ. උදාහරණෙකට දෙවි ඉන්නවා කියලා භූතයනුත් විශ්වාස කරනවා. ඒත් එයාලා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්නේ නැහැ. එයාලා කරන්නේ දෙවිට විරුද්ධව කැරලිගහන එකයි. (යාකො. 2:19, 20) ඒත් දෙවි ගැන විශ්වාසය තියලා දේවල් කරන කෙනෙක් ඒ වගේ නෙමෙයි. ආබ්‍රහම් ගැන හිතන්න. යාකොබ් එයා ගැන කිව්වේ මෙහෙමයි. “අපගේ පියා වූ ආබ්‍රහම් ධර්මිෂ්ඨයෙකු බව ප්‍රකාශ කරනු ලැබුවේ ඔහු තම පුත් ඊසාක්ව පූජාසනයක් මත ඔප්පු කළ අවස්ථාවේදී නොවේද? එසේ වූයේ ඔහු කළ ඒ ක්‍රියාව නිසා නොවේද? ඔහු තුළ තිබූ විශ්වාසය ඔහුගේ ක්‍රියා සමඟ දක්නට ලැබුණු බවත් ඔහුගේ විශ්වාසය ඔහුගේ ක්‍රියාවලින් සම්පූර්ණ කරනු ලැබූ බවත් පැහැදිලිය.” ඒ කාරණය තවත් කාවද්දන්න යාකොබ් මෙහෙම කිව්වා. “පණ නැති ශරීරයක් මැරුණු ශරීරයකි. ඒ හා සමානව ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයකි.”—යාකො. 2:21-23, 26.

9, 10. පුත්‍රයා ගැන විශ්වාසය තියන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

9 යාකොබ් ඒ දේවල් ලියලා අවුරුදු 30කටත් වඩා වැඩි කාලයක් ගියාට පස්සේ යොහන් තමන්ගේ නම දරන සුවිශේෂය සහ ලිපි 3 ලිව්වා. විශ්වාසය කියන්නේ නිකම්ම හිතේ තියෙන දෙයක් නෙමෙයි, ඒකට ක්‍රියාව සම්බන්ධයි කියලා යොහන්ටත් හොඳ අවබෝධයක් තිබුණා. එයා ‘විශ්වාසය’ ගැන සඳහන් කරද්දී ඒකත් එක්ක ග්‍රීක ක්‍රියා පදයක් හුඟක් තැන්වල යොදාගෙන තියෙනවා. ඒක සමහර තැන්වල පරිවර්තනය කරලා තියෙන්නේ ‘විශ්වාසය තබන්න’ හැටියටයි.

10 යොහන් කියන මේ දේ බලන්න. “පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර ඔහුට ජීවනයද අහිමි වෙයි.” (යොහ. 3:36) පුත්‍රයා ගැන විශ්වාසය තියනවා කියන්නේ යේසුස්ට කීකරු වෙන එකයි. දෙවි ගැනත් යේසුස් ගැනත් විශ්වාසය තියලා වැඩ කරන එක දිගටම කරන්න ඕන දෙයක් කියලා යේසුස් නිතරම කිව්වා. ඔහු කියපු ඒ දේවල් යොහන් එයාගේ වාර්තාවල ඇතුළත් කළා.—යොහ. 3:16; 6:29, 40; 11:25, 26; 14:1, 12.

11. දෙවි අපිට උගන්වලා තියෙන දේවල් අපි අගය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවි ගැන, යේසුස් ගැන සත්‍යය තේරුම්ගන්නත් ඒ දෙන්නා ගැන විශ්වාසයක් ඇති කරගන්නත් දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් අපිට උදව් කළා. (ලූක් 10:21 කියවන්න.) ඒක අපි අගය කරන්න ඕනේ. දෙවි යේසුස්ව අපි වෙනුවෙන් දුන්නේ අපිට දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අවස්ථාව දෙන්නයි. “අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා වන යේසුස්ව” දුන්න එක ගැන අපි දෙවිට හැමදාම ස්තුති කරමු. (හෙබ්‍රෙ. 12:2) ඒ හැම දේම අපි අගය කරනවා නම් දෙවිට යාච්ඤා කරලා, නිතිපතා බයිබලේ අධ්‍යයනය කරලා විශ්වාසය තව ශක්තිමත් කරගන්න අපි වෑයම් කරනවා.—එෆී. 6:18; 1 පේතෘ. 2:2.

ලැබෙන හැම අවස්ථාවකදීම අනිත් අයට ශුභාරංචිය කියලා ඔයාගේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න (12 ඡේදය බලන්න)

12. දෙවිගේ පොරොන්දු ගැන අපිට විශ්වාසයි නම් අපි කරන්නේ මොනවද?

12 යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන අපිට ස්ථිර විශ්වාසයක් තියෙනවා කියලා අපි කරන කියන දේවලින් පැහැදිලිව පේන්න ඕනේ. අපි අත් නෑර දේවරාජ්‍යය ගැන දේශනා කරන්නෙත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්නෙත් අපිට තියෙන විශ්වාසය නිසයි. “සියලුදෙනාටම, විශේෂයෙන්ම අප හා සමාන විශ්වාසයක් ඇති අපේ සහෝදර සහෝදරියන්ට යහපත් දේවල්” කරන්නෙත් ඒ නිසයි. (ගලා. 6:10) අපිට ඕනේ දෙවි එක්ක තියෙන බැඳීම හැමදාටම රැකගන්නයි. අපේ “පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කරන්න” අපි ලොකු සටනක් කරන්නේ ඒ නිසයි.—කොලො. 3:5, 8-10.

දෙවි ගැන විශ්වාසය නැතුවම බැහැ

13. ‘දෙවි ගැන විශ්වාසය’ පෙන්නන එක කොච්චර වැදගත්ද? බයිබලේ ඒක පැහැදිලි කරන්නේ කොහොමද? ඒ ඇයි?

13 බයිබලේ මෙහෙම කියනවා. “යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක. මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.” (හෙබ්‍රෙ. 11:6) “දෙවි කෙරෙහි විශ්වාසය පෙන්වන” එක යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන කෙනෙක් මුලින්ම කරන දෙයක්. ඒ නිසයි ඒක අපේ ‘අත්තිවාරමේ’ කොටසක් හැටියට බයිබලේ හඳුන්වන්නේ. (හෙබ්‍රෙ. 6:1) ඒත් දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම රැකගන්න නම් විශ්වාසයට අමතරව තව වටිනා ගුණාංග අපි වර්ධනය කරගන්න ඕනේ.—2 පේතෘස් 1:5-7 කියවන්න; යූද් 20, 21.

14, 15. විශ්වාසය විතරක් මදි ආදරෙත් තියෙන්න ඕනෙ කියන්නේ ඇයි?

14 බයිබල් ලේඛකයන් අනිත් හැම ගුණාංගයකටම වඩා වැඩියෙන් කතා කළේ විශ්වාසය ගැනයි. ඒකෙන් අදහස් කරන්නේ අපිට තියෙන්න ඕන වැදගත්ම ගුණාංගය විශ්වාසය කියන එකද?

15 පාවුල් මෙහෙම කිව්වා. “මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත් මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.” (1 කොරි. 13:2) දෙවිට ආදරේ කරන එක “නීතියේ උතුම්ම ආඥාව” කියලා යේසුස් කිව්වා. (මතෙ. 22:35-40) දෙවි සතුටු වෙන හුඟක් ගුණාංග වර්ධනය කරගන්න අපිට උදව් වෙන්නේ ආදරේ. ඒ ගුණාංගවලට විශ්වාසයත් ඇතුළත්. බයිබලේ කියන්නේ ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා සියල්ල විශ්වාස කරයි’ කියලයි. ඒ කියන්නේ බයිබලේ තියෙන හැම දෙයක්ම විශ්වාස කරන්න අපිට උදව් වෙන්නේ දෙවිට තියෙන ආදරෙයි.—1 කොරි. 13:4, 7.

16, 17. ආදරේ සහ විශ්වාසය ගැන බයිබලේ කියන්නේ මොනවද? ඒ දෙකෙන් වඩා වැදගත් ගුණාංගය මොකක්ද? ඒ ඇයි?

16 ආදරේ සහ විශ්වාසය කියන ගුණාංග දෙකම හරිම වැදගත්. බයිබල් ලේඛකයන් ඒ ගුණාංග දෙකම එකට සඳහන් කරපු අවස්ථා හුඟක් තියෙනවා. පාවුල් උනන්දු කළේ “විශ්වාසය සහ ප්‍රේමය” කියන ළයවැස්ම පැළඳගන්න කියලයි. (1 තෙස. 5:8) පේතෘස් යේසුස් ගැන මේ වගේ දෙයක් කිව්වා. “ඔබ ක්‍රිස්තුස්ව කිසිදාක දුටුවේ නැතත් ඔබට ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇත. දැන් ඔබට ඔහුව නොපෙනුණත් ඔබට ඔහු කෙරෙහි විශ්වාසයක් ඇත.” (1 පේතෘ. 1:8) යාකොබ් අභිෂේක ලත් අයට කිව්වේ මෙහෙමයි. “දෙවි තෝරාගත්තේ මේ ලෝකය විසින් දිලිඳු ලෙස සලකනු ලබන අයව නොවේද? දෙවි එවැනි අයව තෝරාගත්තේ ඔවුන් තුළ ඇති විශ්වාසය මගින් ඔවුන්ව ධනවත් කිරීම සඳහාය. එසේම දෙවිට ප්‍රේම කරන අයට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමයක් ලබා දීම සඳහාය.” (යාකො. 2:5) යොහන් මෙහෙම කිව්වා. ‘අප ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර දෙවි අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.’—1 යොහ. 3:23.

17 පාවුල් තවත් අවස්ථාවක කිව්වා “දිගටම පවතින්නේ විශ්වාසය, බලාපොරොත්තුව හා ප්‍රේමයයි. නමුත් ඒවායින් උතුම්ම එක වන්නේ ප්‍රේමය” කියලා. (1 කොරි. 13:13) ටිකක් හිතන්න, පාරාදීසයේදී දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසයෙන් ඉන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ වෙද්දී ඒ හැම පොරොන්දුවක්ම ඉටු වෙලා. එදාට අපි අද්දකිමින් ඉන්නේ දෙවි පොරොන්දු වුණ ජීවිතේ. ඒත් ආදරේ සදහටම තියෙනවා. යෙහෝවා දෙවිට, අනිත් අයට අපි හැමදාටම ආදරේ කරන්න ඕනේ. ඒ ආදරේ තව තව වැඩි වෙන්න ඕනේ.

විශ්වාසය නිසා ආශීර්වාද ලබයි

18, 19. දෙවිගේ සෙනඟ පෙන්නන විශ්වාසය නිසා එයාලා අද්දකින්නේ මොනවද? ඒකට ගෞරවය ලැබෙන්න ඕනෙ කාටද?

18 යේසුස්ගේ අනුගාමිකයන්ට දේවරාජ්‍යය සැබෑ ආණ්ඩුවක් කියලා විශ්වාසයි. ඒ නිසා එයාලා ඒකට සම්පූර්ණ සහය දෙනවා. ඒ වගේම දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන්න එයාලා ලොකු වෑයමක් දරනවා. (ගලා. 5:22, 23) ඒ නිසා ලෝකෙ කොහේ ජීවත් වුණත් එයාලා එක පවුලක් වගේ. එයාලා අතරේ ආදරේ, එක්සත්කම තියෙනවා.

19 ඒ හැම දේටම ගෞරවය ලැබෙන්න ඕනෙ යෙහෝවා දෙවිටයි. මොකද දෙවිගේ උදව් නැතුව ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. (යෙසා. 55:13) ‘විශ්වාසයක් ඇතුව ඉන්න අයට’ ගැලවීම සඳහා මාර්ගය විවෘත කරලා දුන්න යෙහෝවා දෙවි ගැන අපිට කොයි තරම් අගයක් තියෙන්න ඕනෙද! (එෆී. 2:8) දෙවි ගැන විශ්වාසයක් ඇති කරගන්න දෙවි තව හුඟදෙනෙකුට උදව් කරයි. පරිපූර්ණ, ධර්මිෂ්ඨ, සතුටින් දෙවිට සේවය කරන අයගෙන් මේ පොළොවම පිරෙන කාලය අත ළඟයි. ඒ නිසා දෙවිගේ පොරොන්දු ගැන අපිට විශ්වාසයි කියලා ජීවත් වෙන විදිහෙන් ඔප්පු කරමු.