Skip to content

පටුනට යන්න

අපේ නායකයා වන ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන්න

අපේ නායකයා වන ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන්න

“ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්.”—මතෙ. 23:10.

ගීතිකා: 16, 14

1, 2. මෝසෙස් මිය ගියාට පස්සේ යොෂුවාට පැවරුණේ මොන බැරෑරුම් කාර්යයද?

අවුරුදු 40කට කිට්ටු කාලයක් මෝසෙස්ගේ සේවකයා විදිහට හිටපු යොෂුවාට යෙහෝවා දෙවි මෙහෙම කිව්වා. ‘මාගේ සේවකයා වූ මෝසෙස් මිය ගියා. දැන් ඔබත් මේ මුළු සෙනඟත් යොර්දාන් ගඟෙන් එගොඩ වී මා දෙන දේශයට ඇතුල් වන්න.’—යොෂු. 1:1, 2.

2 අවුරුදු ගාණක්ම ඊශ්‍රායෙල්වරුන් අතර පෙරමුණ අරන් වැඩ කළේ මෝසෙස්. ඒත් දැන් ඒ බැරෑරුම් වගකීම යොෂුවාට පැවරිලා. සෙනඟ තමන්ව නායකයා විදිහට පිළිගන්න කැමති වෙයිද කියලා සමහරවිට යොෂුවාට හිතෙන්න ඇති. (ද්වි. 34:8, 10-12) යොෂුවා 1:1, 2 තියෙන අදහස ගැන පොතක මෙහෙම කියනවා. “කාලයක් නායකත්වයේ හිටපු කෙනෙක් වෙනුවට අලුත් නායකයෙක් පත් වෙලා ගත වෙන මුල් කාලය සෙනඟට අමාරු කාලයක්.”

3, 4. දෙවිව විශ්වාස කරපු නිසා යොෂුවාට ආශීර්වාද ලැබුණේ කොහොමද? අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නයද?

3 යොෂුවාට අලුත් පැවරුම ගැන බයක් දැනෙන්න ඇති. ඒත් එයා දෙවිව විශ්වාස කරලා ඔහු දුන්න මඟ පෙන්වීම් ඉක්මනින්ම අදාළ කරගත්තා. (යොෂු. 1:9-11) ඒ නිසා දෙවි යොෂුවාට ආශීර්වාද කළා. දේවදූතයෙක් මාර්ගයෙන් එයාටයි, සෙනඟටයි මඟ පෙන්නුවා. ඒ දේවදූතයා වචනය කියලා හඳුන්වන දෙවිගේ කුලුඳුල් පුතා කියලා හිතන්න පුළුවන්.—නික්. 23:20-23; යොහ. 1:1.

4 නායකත්වය මෝසෙස්ගෙන් යොෂුවාට මාරු වුණාම ඒක සෙනඟට ලොකු වෙනසක් වුණා. ඒත් ඒ වෙනසට හුරු වෙන්න යෙහෝවා දෙවි එයාලට උදව් කළා. අදත් ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. සමහරවිට අපිට මෙහෙම හිතෙයි. ‘දෙවිගේ සංවිධානය වෙනස්කම් කරමින් වේගයෙන් ඉදිරියට යද්දී අපේ නායකයා වන යේසුස් ගැන විශ්වාස තියලා වැඩ කරන්න අපිට තියෙන හේතු මොනවාද?’ (මතෙව් 23:10 කියවන්න.) ඒකට උත්තර දැනගන්න කලින් දෙවිගේ සෙනඟ වෙනස්කම්වලට මුහුණ දුන්න කාලවලදී දෙවි එයාලට මඟ පෙන්නුවේ කොහොමද කියලා අපි බලමු.

පොරොන්දු දේශයට සෙනඟව අරන් ගියේ කවුද?

5. යෙරිකෝව අසලදී යොෂුවා මුහුණ දුන්න සිද්ධිය විස්තර කරන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

5 ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟ තරණය කරලා යෙරිකෝව අසල ඉද්දී කඩුවක් අතින් ගත්ත කෙනෙක්ව යොෂුවාට හම්බ වුණා. යොෂුවා එයාගෙන් ඇහුවා “ඔබ අපේ මිත්‍රයෙක්ද නැත්නම් සතුරෙක්ද” කියලා. “මම යෙහෝවා දෙවිගේ සේනාවේ අධිපති” කියලා ඒ කෙනා කිව්වාම යොෂුවා පුදුම වුණා. එයා ඉදිරියේ හිටියේ දෙවිගේ සෙනඟ වෙනුවෙන් සටන් කරන්න ආපු දේවදූතයා. (යොෂුවා 5:13-15 කියවන්න.) බයිබල් වාර්තාවේ යොෂුවා එක්ක යෙහෝවා දෙවි කතා කළා කියලා සඳහන් වුණත් ඇත්තටම දෙවි එයා එක්ක කතා කළේ ඒ දේවදූතයා මාර්ගයෙන්. තව අවස්ථාවලදීත් ඒ දේවදූතයා දෙවි වෙනුවෙන් කතා කළා.—නික්. 3:2-4; යොෂු. 4:1, 15; 5:2, 9; ක්‍රියා 7:38; ගලා. 3:19.

6-8. (අ) දේවදූතයා දුන්න සමහර මඟ පෙන්වීම් ටිකක් අමුතු ඒවා වගේ පෙනුණේ ඇයි? (ආ) ඒ මඟ පෙන්වීම් ඥානවන්ත ඒවා කියලත් ඒවා දුන්නේ සුදුසුම වෙලාවෙදී කියලත් අපි දන්නේ කොහොමද? (පාදසටහනත් බලන්න.)

6 යෙරිකෝව යටත් කරගන්න මොනවාද කරන්න ඕනෙ කියලා දේවදූතයා යොෂුවාට පැහැදිලිව කිව්වා. බැලූ බැල්මට දේවදූතයා දීපු සමහර මඟ පෙන්වීම් ටිකක් අනුවණයි වගේ පේන්න තිබුණේ. උදාහරණෙකට දේවදූතයා යොෂුවාට කිව්වා හැම සෙබළෙක්වම චර්මච්ඡේදනය කරන්න කියලා. එහෙම කළාම සෙබළුන්ට දවස් කීපයක් යන කල් සටන් කරන්න බැහැ. ඒ වෙලාවේ ඒ වගේ දෙයක් කරන එක ඇත්තටම ඥානවන්තද?—උත්. 34:24, 25; යොෂු. 5:2, 8.

7 ‘සතුරන් පහර දුන්නොත් අපි අපේ පවුල්වල අයව ආරක්ෂා කරන්නේ කොහොමද’ කියලා ඒ සෙබළුන් හිතන්න ඇති. ඒත් වුණේ හිතුවේවත් නැති දෙයක්. යෙරිකෝවේ සෙනඟ ඊශ්‍රායෙල්වරුන්ට බය වුණා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “යෙරිකෝවේ වැසියන් ඊශ්‍රායෙල්වරුන්ට බියෙන් සිටි නිසා නගරයේ ආරක්ෂාව තර කර තිබිණ.” (යොෂු. 6:1) ඒක ආරංචි වුණාම දෙවිගේ මඟ පෙන්වීම් තව වැඩියෙන් විශ්වාස කරන්න ඊශ්‍රායෙල්වරුන් පෙලඹෙන්න ඇති.

8 ඊශ්‍රායෙල්වරු යෙරිකෝවට පහර දෙන්න ඕනෙ නැහැ කියලා දේවදූතයා යොෂුවාට කිව්වා. ඒ වෙනුවට දවසට එක වතාව ගාණේ දවස් හයකුත් හත්වෙනි දවසේ හත් වතාවකුත් යෙරිකෝව වටේ යන්න කියලා ඔහු කිව්වා. ‘අපරාදේ කාලෙයි, මහන්සියයි’ කියලා සෙබළුන්ට හිතෙන්න ඇති. ඒත් යොෂුවා මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නපු එයාලගේ සැබෑ නායකයා දැනන් හිටියා කරන්න ඕනෙ මොකක්ද කියලා. දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව දේවල් කරද්දී ඊශ්‍රායෙල්වරුන්ගේ විශ්වාසය තව ශක්තිමත් වුණා වගේම යෙරිකෝවේ සෙබළුන් එක්ක සටන් නොකරම ඒක යටත් කරගන්නත් එයාලට පුළුවන් වුණා.—යොෂු. 6:2-5; හෙබ්‍රෙ. 11:30. *

9. දෙවිගේ සංවිධානයෙන් ලැබෙන ඕනෙම මඟ පෙන්වීමකට අපි කීකරු වෙන්න ඕනෙ ඇයි? උදාහරණයක් දෙන්න.

9 ඒ වාර්තාවෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? දෙවිගේ සංවිධානය සමහර වෙලාවට දේවල් අලුත් විදිහට කරනවා. ඒ ඇයි කියලා සමහරවිට අපිට තේරෙන එකක් නැහැ. උදාහරණෙකට ෆෝන්, ටැබ් වගේ දේවල් අපේ පෞද්ගලික අධ්‍යයනයේදී, සේවයේදී, රැස්වීම්වලදී පාවිච්චි කරන එක හොඳ දෙයක්ද කියලා මීට අවුරුදු කීපයකට කලින් අපිට හිතෙන්න ඇති. ඒත් ඒක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා දැන් අපි දන්නවා. සංවිධානයෙන් කරන වෙනස්කම් නිසා ලැබෙන හොඳ ප්‍රතිඵල දකිද්දී අපේ විශ්වාසයත් අපි අතරේ තියෙන එක්සත්කමත් වැඩි වෙනවා.

මුල් ක්‍රිස්තියානීන්ට යේසුස් මඟ පෙන්නුවා

10. එදා හිටපු පාලක මණ්ඩලයට මඟ පෙන්නුවේ කවුද?

10 චර්මච්ඡේදනය නොවුණ වෙනත් ජාතියකට අයිති කෙනෙක් වුණ කොර්නේලියස් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් වෙලා අවුරුදු 13ක් ගත වෙලා තිබුණත් තාමත් සමහර යුදෙව්වන් කිව්වේ ක්‍රිස්තියානීන් අනිවාර්යයෙන්ම චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියලයි. (ක්‍රියා 15:1, 2) අන්තියෝකියේ හිටපු සහෝදරයන් අතරේ ඒ ගැන විවාදයකුත් ඇති වුණා. ඒ ප්‍රශ්නය නිරාකරණය කරගන්න පාවුල්ව යෙරුසලමේ හිටපු පාලක මණ්ඩලය හම්බ වෙන්න යැව්වා. “මා එසේ ගියේ යේසුස් ක්‍රිස්තුස් මට යමක් එළිදරව් කළ නිසාය” කියලා පාවුලුත් කිව්වා. සභාවේ ඇති වුණ ප්‍රශ්නෙට පාලක මණ්ඩලය මාර්ගයෙන් විසඳුමක් ලබා දෙන්න මඟ පෙන්නුවේ ක්‍රිස්තුස් කියලා ඒකෙන් පැහැදිලියි.—ගලා. 2:1-3.

මුල් ක්‍රිස්තියානීන්ට මඟ පෙන්නුවේ යේසුස් (10 සහ 11 ඡේද බලන්න)

11. (අ) ප්‍රශ්නය විසඳුවාට පස්සෙත් චර්මච්ඡේදනය ගැන සමහර යුදෙව්වන්ට හැඟුණේ කොහොමද? (ආ) වැඩිමහල්ලන් දීපු මඟ පෙන්වීමට තමන් කීකරු වෙනවා කියලා පාවුල් පෙන්නුවේ කොහොමද? (පාදසටහනත් බලන්න.)

11 යුදෙව් නොවන ක්‍රිස්තියානීන් චර්මච්ඡේදනය වෙන්න ඕනෙ නැහැ කියන තීරණය ගන්න යේසුස් එදා හිටපු පාලක මණ්ඩලයට මඟ පෙන්නුවා. ඒ තීරණය එයාලා සභාවන්ට දැන්නුවා. (ක්‍රියා 15:19, 20) ඒ තීරණය අරන් අවුරුදු ගාණකට පස්සෙත් හුඟක් යුදෙව් ක්‍රිස්තියානීන් එයාලගේ පිරිමි දරුවන්ව චර්මච්ඡේදනය කළා. ඔය අතරේ යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන්ට ආරංචි වුණා මෝසෙස් මාර්ගයෙන් දෙවි දීපු නීතියට පාවුල් ගරු කරන්නේ නැහැ කියලා සමහර සහෝදරයන් කතා වෙනවා කියලා. ඒ නිසා වැඩිමහල්ලන් පාවුල්ට කිව්වා පුරුෂයන් 4දෙනෙක් එක්ක දේවමාලිගාවට යන්න කියලා. * (ක්‍රියා 21:20-26) එයාලා එහෙම කිව්වේ පාවුල් නීතියට එකඟව වැඩ කරනවා කියලා එතකොට අනිත් අයට පැහැදිලි වෙන නිසයි. ඒ වෙලාවේ පාවුල්ට ඕනෙ නම් මෙහෙම කියන්න තිබුණා. ‘ඇයි ඔයාලා මට මේ වගේ දෙයක් කරන්න කියන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ චර්මච්ඡේදනය ගැන හරියට තේරුම්ගත්තේ නැති යුදෙව්න්ටනේ.’ ඒත් පාවුල් තේරුම්ගත්තා වැඩිමහල්ලන්ට ඕනෙ සභාවේ හැමෝම එක්සත්ව ඉන්නවා දකින්න කියලා. ඒ නිසා එයා නිහතමානීව වැඩිමහල්ලන් දුන්න ඒ මඟ පෙන්වීමට කීකරු වුණා. යේසුස්ගේ මරණයත් එක්කම නීතිය අවලංගු වෙලා තිබුණත් චර්මච්ඡේදනය ගැන ප්‍රශ්නය ඒ තරම් දිගු කාලයක් තිස්සේ ඇදිඇදී යන්න යේසුස් ඉඩ දුන්නේ ඇයි කියලා සමහරවිට අපිට හිතෙයි.—කොලො. 2:13, 14.

12. චර්මච්ඡේදනය ගැන ඇති වුණ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳන්න යේසුස් යම් කාලෙකට ඉඩ දුන්නේ මොකක් නිසා වෙන්න ඇද්ද?

12 යම් කාරණයක් ගැන තියෙන අවබෝධය තවත් පැහැදිලි කළාම ඒකට හැඩගැහෙන්න සමහරුන්ට කාලයක් යනවා. තමන් තවදුරටත් නීතියට යටත් වෙන්න ඕනෙ නැහැ කියන දේ තේරුම්ගන්න සමහර යුදෙව් ක්‍රිස්තියානීන්ටත් යම් කාලයක් ඕනෙ වුණා. (යොහ. 16:12) කාලයක් තිස්සේ එයාලා චර්මච්ඡේදනය සැලකුවේ දෙවි එක්ක තමන්ට විශේෂ බැඳීමක් තියෙනවා කියන දේට ලකුණක් විදිහට. ඒත් තවදුරටත් ඒක එහෙම නෙමෙයි කියලා පිළිගන්න එයාලට අමාරු වුණා. (උත්. 17:9-12) වෙනස්කම පිළිගත්තොත් අනිත් යුදෙව්වන්ගෙන් පීඩා එයි කියලා බයෙන් හිටපු පිරිසකුත් හිටියා. (ගලා. 6:12) කාලයත් එක්කම පාවුල් එවපු ලියුම් මාර්ගයෙන් යේසුස් ඒ ගැන තවත් පැහැදිලි මඟ පෙන්වීම් සභාවට දුන්නා.—රෝම 2:28, 29; ගලා. 3:23-25.

අදත් සභාවට මඟ පෙන්නන්නේ ක්‍රිස්තුස්

13. ක්‍රිස්තුස්ගේ නායකත්වය පිළිගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

13 සංවිධානයෙන් කරන යම් වෙනස්කමක් ගැන අපිට හරියටම තේරුම්ගන්න බැරි අවස්ථාවලදී යේසුස් අතීතයේදී දෙවිගේ සෙනඟට නායකත්වය දුන්න විදිහ ගැන හිතන එක ඒ වෙනස්කම පිළිගන්න අපිට උදව් වෙයි. යොෂුවාගේ කාලේදීත් නියෝජිතයන්ගේ කාලේදීත් යේසුස් එයාලට දුන්නේ ඥානවන්ත මඟ පෙන්වීම් නිසා දෙවිගේ සෙනඟට ආරක්ෂාවක් ලැබුණා. එයාලගේ විශ්වාසය ශක්තිමත් වුණා වගේම එයාලා අතරේ තිබුණ එක්සත්කමත් වැඩි වුණා.—හෙබ්‍රෙ. 13:8.

14-16. අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උදව් කරන්න යේසුස්ට ඕනෙ කියලා “දාසයා” දෙන මඟ පෙන්වීම්වලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

14 “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අද අපිට අවශ්‍ය මඟ පෙන්වීම් නියම වේලාවට දෙනවා. (මතෙ. 24:45) යේසුස් අපි ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා ඒ මඟ පෙන්වීම්වලින් පැහැදිලියි. දරුවන් 4දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වන මාක් මෙහෙම කියනවා. “සාතන්ට ඕනෙ පවුල්වල ප්‍රශ්න ඇති කරලා සභාවේ එක්සත්කම කඩන්න. ඒත් හැම සතියකම පවුලේ නමස්කාරය කරන්න අපිව උනන්දු කරලා තියෙන එකෙන් පවුලේ මූලිකයන්ට මතක් කරනවා පවුල ආරක්ෂා කරගන්න කියලා.”

15 යේසුස් අපිට මඟ පෙන්නන විදිහෙන් පැහැදිලියි ඔහුට ඕනෙ අපේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න අපිට උදව් කරන්න කියලා. එක වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “සති අන්තවල පොඩි කණ්ඩායම් හැටියට සේවේ යන්න රැස් වෙන්න කියලා ලැබුණ මඟ පෙන්වීමට මුලින් කට්ටිය එච්චර කැමති වුණේ නෑ. ඒත් යේසුස් සභාවේ හැම කෙනෙක් ගැනම සැලකිලිමත් කියලා ඒ වෙනස්කමෙන් පැහැදිලියි. ලැජ්ජාශීලී නිසා සේවේ එච්චර හවුල් වුණේ නැති අයත් දැන් සේවේ හවුල් වෙනවා. සේවේ යන්නේ පොඩි කණ්ඩායමක් නිසා එයාලගේ සහයත් කණ්ඩායමට ඕනෙ කියලා එයාලට දැනෙනවා.”

16 පොළොවේ අද කරන වැදගත්ම කාර්යය වන දේශනා සේවයට මුල් තැන දීලා වැඩ කරන්නත් යේසුස් අපිට උදව් කරනවා. (මාක් 13:10 කියවන්න.) ළඟදී වැඩිමහල්ලෙක් වුණ ඔන්ඩ්‍රේ හැම වෙලේම උත්සාහ කරන්නේ සංවිධානය දෙන ඕනෙම මඟ පෙන්වීමක් ඉක්මනින්ම අදාළ කරගන්න. එයා මෙහෙම කියනවා. “ශාඛා කාර්යාලවල සේවේ කරපු අයගේ ගාණ අඩු කරනවා දැක්කාම ඒකෙන් අපිට කාවැදුණා දැන් අපි වැඩි අවධානයක් දෙන්න ඕනෙ දේශනා සේවෙට කියලා.”

යේසුස්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න

17, 18. වෙනස්කම්වලට හැඩගැහෙද්දී ලැබෙන ප්‍රයෝජන ගැන අපි හිතන්න ඕනෙ ඇයි?

17 අපේ රජ වන යේසුස්ගෙන් අපිට ලැබෙන මඟ පෙන්වීම් අදටත් අනාගතයටත් ප්‍රයෝජනවත්. මෑතකදී සංවිධානයෙන් කරපු වෙනස්කම්වලට හැඩගැහුණ නිසා ඔයාට ලැබිලා තියෙන ප්‍රයෝජන ගැන හිතන්න. රැස්වීම්වල කරපු වෙනස්කම්, සේවය කරන්න ඕනෙ විදිහ ගැන කරපු වෙනස්කම් ඔයාගේ පවුලේ අයට ප්‍රයෝජනවත් වෙලා තියෙන විදිහ ගැන පවුලේ නමස්කාරයේදී කතා කරන්න.

දෙවිගේ සංවිධානයෙන් කරන වෙනස්කම්වලට හුරු වෙන්න පවුලේ අයටත් අනිත් අයටත් ඔයා උදව් කරනවාද? (17 සහ 18 ඡේද බලන්න)

18 දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා අපි මතක තියාගන්නවා නම් දිගටම කැමැත්තෙන්ම ඒවාට කීකරු වෙන්න අපිට පුළුවන්. උදාහරණෙකට අපි අලුත් තාක්ෂණය පාවිච්චි කරන නිසා කලින් තරම් දැන් ප්‍රකාශන මුද්‍රණය කරන්නේ නැහැ. ඒකෙන් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙන නිසා තව වැඩිදෙනෙක්ට ශුභාරංචිය දැනුම් දෙන්න ඒ සල්ලි පාවිච්චි කරන්න සංවිධානයට පුළුවන්. අපිටත් පුළුවන්ද මුද්‍රිත ප්‍රකාශන පාවිච්චි කරන එක අඩු කරලා ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් අපේ ප්‍රකාශන ලබාගන්න? ඒක අපේ සංවිධානයේ මුදල් ඥානවන්තව පාවිච්චි කරනවා දකින්න කැමති අපේ නායකයා වන යේසුස්ට සහය දෙන්න පුළුවන් විදිහක්.

19. ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙන්න ඕනෙ ඇයි?

19 යේසුස් දෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙනවා සහෝදර සහෝදරියන් දකිද්දී එයාලගේ විශ්වාසය ඒකෙන් ශක්තිමත් වෙනවා. අපේ එක්සත්කමත් ඒකෙන් වැඩි වෙනවා. ඔන්ඩ්‍රේ මෙහෙම කියනවා. “කලින් බෙතෙල් සේවය කරලා දැන් වෙනත් පැවරුමක් ලැබුණ අය ඒ වෙනස්කමට හුරු වුණ විදිහ දැක්කාම මට එයාලා ගැන ලොකු ගෞරවයක් ඇති වුණා. ඒකෙන් මගේ විශ්වාසයත් ශක්තිමත් වුණා. දෙන ඕනෙම පැවරුමක් සතුටින් භාර අරන් එයාලා පෙන්නන්නේ දෙවිගේ රථයත් එක්කම ඉදිරියට යන්න එයාලට ඕනෙ කියලයි.”

අපේ නායකයා ගැන විශ්වාසය තියන්න

20, 21. (අ) අපේ නායකයා වන ක්‍රිස්තුස්ව විශ්වාස කරන්න අපිට පුළුවන් ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්නය ගැනද?

20 අපේ නායකයා වන යේසුස් ළඟදීම “සම්පූර්ණ ජයග්‍රහණයක්” ලබනවා. (එළි. 6:2; ගීතා. 45:4) යේසුස් දැන් ඉඳන්ම අනාගතයේදී අපිට කරන්න තියෙන වැඩවලට ඒ කියන්නේ නැවත නැඟිටින අයට උගන්වන්න, පොළොව පාරාදීසයක් කරන්න අපිව පුහුණු කරනවා.

21 මොන වෙනස්කමට මුහුණ දෙන්න වුණත් අපි අපේ නායකයා සහ රජ වන යේසුස්ව විශ්වාස කරලා දේවල් කරනවා නම් ඔහු අපිව හරි තැනට අරන් යයි. (ගීතාවලිය 46:1-3 කියවන්න.) බලාපොරොත්තු නොවුණු විදිහේ වෙනස්කම් වෙද්දී ඒවාට හැඩගැහෙන එක ලේසි නැහැ. ඒ වගේ වෙලාවලදී මනසේ සාමය තියාගන්නත් දෙවි ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්නත් අපිට පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

^ 8 ඡේ. යෙරිකෝවේ නටඹුන් අතරින් ධාන්‍ය විශාල ප්‍රමාණයක් පුරාවිද්‍යාඥයන්ට හම්බ වෙලා තියෙනවා. ඒකෙන් තේරෙනවා ඊශ්‍රායෙල්වරුන් යෙරිකෝව වටලලා දිගු කාලයක් හිටියේ නැහැ කියලා. යෙරිකෝවේ තිබුණ ධාන්‍ය ආහාරයට ගන්න දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අවසර දුන්නේ නැති නිසා දේශය යටත් කරගන්න ඒක තමයි හොඳම කාලය වුණේ. මොකද ඒක අස්වැන්න නෙළන කාලය.—යොෂු. 5:10-12.

^ 11 ඡේ. 2003 මාර්තු 15 ‘මුරටැඹ’ කලාපයේ 24 පිටුවේ පළ වුණ “පරීක්ෂණයක් හමුවේ පාවුල්ගේ යටහත්පහත්කම” යන කොටුව බලන්න.