Skip to content

පටුනට යන්න

ඇත්ත කතා කරන්න

ඇත්ත කතා කරන්න

“එකිනෙකා සමඟ ඇත්ත කතා කළ යුතුයි.”—සෙක. 8:16.

ගීතිකා: 56, 124

1, 2. මිනිස් ජීවිතවලට දරුණුම විදිහට බලපාලා තියෙන්නේ මොකක්ද? ඒකට වග කියන්න ඕනෙ කවුද?

අපේ ජීවිතවලට බලපෑමක් කරන්න පුළුවන් වුණ හුඟක් දේවල් තියෙනවා. මිනිසුන් නිපදවපු ටෙලිෆෝන් එක, විදුලි බල්බ් එක, රථ වාහන, විදුලි උපකරණ වගේ දේවල් නිසා එදිනෙදා ජීවිතේ වැඩකටයුතු කරගන්න පහසු වෙලා තියෙනවා. ජීවිතවලට භයානක විදිහට බලපාපු දේවලුත් තියෙනවා. වෙඩි බෙහෙත්, බිම් බෝම්බ, පරමාණු බෝම්බ, සිගරට් වගේ මිනිසුන් නිපදවපු දේවල් නිසා කොයි තරම් නම් ජීවිත නාස්ති වෙලා තියෙනවාද! ඒත් මිනිස් ජීවිතවලට දරුණුම විදිහට බලපාලා තියෙන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද? ඒ තමයි බොරු කියන එක. මුල්ම බොරුව කිව්වේ කවුද? යේසුස් ඒකට උත්තරේ දුන්නා. ඔහු කිව්වේ ‘බොරුවේ පියා යක්ෂයා’ කියලා.—යොහන් 8:44 කියවන්න.

2 යක්ෂයා මුල්ම බොරුව කිව්වේ මීට අවුරුදු දහස් ගාණකට කලින් ඒදන් උයනේදී. පළවෙනි මිනිස් යුවළ වුණ ආදම් සහ ඒව දෙවි එයාලට දුන්න පාරාදීසයේ සතුටින් ජීවිතේ ගත කරමින් හිටියා. ඔය අතරේ යක්ෂයා එයාලගේ ජීවිතවලට ඇතුල් වුණා. “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන්” කන්න එපා කියලා දෙවි ආදම් සහ ඒවට කියලා තිබුණා කියලත් ඒකෙන් කෑවොත් ඒ දෙන්නා මිය යනවා කියලත් යක්ෂයා හොඳින්ම දැනන් හිටියා. ඒත් එයා සර්පයෙක් මාර්ගයෙන් ඒවට මෙහෙම කිව්වා. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”—උත්. 2:15-17; 3:1-5.

3. සාතන් බොරුව කිව්වේ දුෂ්ට අරමුණකින් කියන්නේ ඇයි? ඒ බොරුව නිසා වුණේ මොකක්ද?

3 සාතන් ඒ බොරුව කිව්වේ දුෂ්ට අරමුණකින්. මොකද එයා හොඳටම දැනන් හිටියා ඒව එයාව විශ්වාස කරලා පලතුර කෑවොත් ඒව මැරෙනවා කියලා. අන්තිමේදී වුණෙත් ඒ දේමයි. ආදම් සහ ඒව යෙහෝවා දෙවිට අකීකරු වුණා. ඒ නිසා එයාලා මිය ගියා. (උත්. 3:6; 5:5) එයාලා කරපු පාපයේ ප්‍රතිඵලයක් විදිහට “මරණය සියලුදෙනාටම උරුම වුණා.” ඇත්තටම ‘මරණය රජකම් කරන්න පටන්ගත්තා. ආදම් කළ පාපයට සමාන පව්කාර ක්‍රියා නොකළ අයට පවා මරණය උරුම වුණා.’ (රෝම 5:12, 14) යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ කිසිම අඩුවක් නැතුව හැමදාටම ජීවත් වෙන්න වුණත් දැන් අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සලකන්නේ හරිම ලොකු දෙයක් විදිහට. ඒ කෙටි ජීවිතයත් ‘කරදර, දුක් ගැහැටවලින් පිරිලා.’ (ගීතා. 90:10) සාතන් කියපු බොරුව නිසා මිනිසුන් විඳින ප්‍රතිඵල මොන තරම් දරුණුද!

4. (අ) අපි උත්තර දැනගන්න ඕනෙ මොන ප්‍රශ්නවලටද? (ආ) ගීතාවලිය 15:1, 2 කියන විදිහට යෙහෝවා දෙවිගේ යාළුවන් වෙන්න පුළුවන් කොයි වගේ අයට විතරද?

4 ‘යක්ෂයා වංචාවෙන් පිරිලා හිටපු නිසයි එයා සත්‍යයට ඇලී සිටියේ නැත්තේ’ කියලා යේසුස් කිව්වා. අදටත් සාතන් දන්නේ වංචා කරන්න විතරයි. එයා එයාගේ බොරුවලින් “මුළු පොළොවම නොමඟ යවමින්” ඉන්නවා. (එළි. 12:9) අපිට ඕනෙ නැහැ සාතන්ගේ බොරුවලට රැවටෙන්න. ඒ නිසා අපි මේ ප්‍රශ්න තුනට උත්තර දැනගන්න ඕනේ. (1) සාතන් මිනිසුන්ව නොමඟ යවන්නේ කොහොමද? (2) වැඩිදෙනෙක් අද බොරු කියන්නේ ඇයි? (3) යෙහෝවා දෙවි තමන්ගේ යාළුවන් විදිහට සලකන්නේ ඇත්ත කතා කරන අයව විතරක් නිසා අපි හැම වෙලාවෙම “සත්‍යය පවසන” අය කියලා ඔප්පු කරන්න පුළුවන් කොහොමද?—ගීතාවලිය 15:1, 2 කියවන්න.

සාතන් මිනිසුන්ව රවට්ටනවා

5. අද සාතන් මිනිසුන්ව නොමඟ යවන්නේ කොහොමද?

5 සාතන් “කොතරම් කපටි අන්දමින් ක්‍රියා කරනවාද කියා අපි හොඳින් දැන සිටින” නිසා සාතන්ට අහු නොවී ඉන්න අපිට පුළුවන්. (2 කොරි. 2:11) අසත්‍යය උගන්වන ආගම්, දූෂිත දේශපාලනය, කෑදර ව්‍යාපාර ලෝකය වගේ මේ දුෂ්ට සමාජයට අයිති හැම දේම තියෙන්නේ සාතන්ගේ පාලනය යටතේ කියලා අපි දන්නවා. (1 යොහ. 5:19) ඒ නිසා ‘බොරු පතුරුවන්න’ සාතන් සහ භූතයන් මේ ලෝකේ බලවත් පුද්ගලයන්ව යොදාගන්න එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. (1 තිමෝ. 4:1, 2) වෙළඳ දැන්වීම් මාර්ගයෙන් මිනිසුන්ව රවට්ටලා හානිදායක නිෂ්පාදන ඉදිරිපත් කරන විශාල ව්‍යාපාරිකයන් ඉන්නෙත් සාතන්ගේ බලපෑම යටතේ.

6, 7. (අ) ආගමික නායකයන් බරපතළ වරදකරුවන් කියන්නේ ඇයි? (ආ) ආගමික නායකයන් උගන්වන මොන බොරුද ඔයා අහලා තියෙන්නේ?

6 ආගමික නායකයන් බරපතළ වරදකරුවන්. මොකද එයාලගේ බොරු විශ්වාස කරන අයගේ අනාගතේ තියෙන්නේ අනතුරේ. එයාලා උගන්වන බොරු දෙයක් පිළිගන්න කෙනෙක් ගැන හිතන්න. එයා ඒ බොරුව විශ්වාස කරලා ඒ අනුව වැඩ කරනවා. ඒත් එයා කරන්නේ දෙවි පිළිකුල් කරන දෙයක්. ඒ නිසා සදාකාල ජීවිතය එයාට නැති වෙන්න පුළුවන්. (හොෂෙ. 4:9) යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයනුත් ඒ බරපතළ වරද කළා. ඒ නිසා යේසුස් එයාලට මෙහෙම කිව්වා. “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ එක් කෙනෙකුව හරවාගන්න මුහුදේ හා ගොඩබිමේ බොහෝ දුර ඈත ගමන් කරනවා. නමුත් ඔහුව හරවාගත් පසු ඔහුවත් ගෙහෙන්නාවට සුදුස්සෙක් කරනවා. එසේ ඔබ ඔහුව ඔබට වඩා දෙගුණයකින් ඒ සඳහා සුදුස්සෙක් කරනවා.” (මතෙ. 23:15) ඇත්තටම එයාලගේ ‘පියා මිනී මරුවෙක් වන යක්ෂයායි.’—යොහ. 8:44.

7 පාස්ට, පූජක තුමා, ස්වාමි නැත්නම් තවත් හුඟක් පදවි නම්වලින් තමන්ව හඳුන්වලා දෙන ආගමික නායකයන් අද ලෝකේ ඕනෙ තරම් ඉන්නවා. මුල් සියවසේ හිටපු ආගමික නායකයන් වගේ එයාලත් දේවවචනයේ තියෙන “සත්‍යය යටපත්” කරලා “දෙවි පිළිබඳ සත්‍යය පිළි නොගෙන බොරු දේවල් පසුපස” යනවා. (රෝම 1:18, 25) දැන්ම ගැලවීම ලබන්න පුළුවන්, අමරණීය ආත්මය, නැවත ඉපදීම වගේ ඉගැන්වීමුත් සමලිංගික හැසිරීම, සමලිංගික විවාහයන් දෙවි බරපතළ වැරදි හැටියට සලකන්නේ නැහැ කියන මෝඩ අදහසුත් එයාලා ප්‍රචලිත කරනවා.

8. ළඟදීම දේශපාලන නායකයන් කියන්න යන බොරුව මොකක්ද? ඒක ඇහෙද්දී අපි මොකක්ද කරන්න ඕනේ?

8 දේශපාලන නායකයනුත් එයාලගේ බොරුවලින් මිනිසුන්ව නොමඟ යවනවා. එයාලා කියන බොරුවලින් ලොකුම බොරුව ළඟදීම අපිට අහන්න ලැබෙයි. ඒ තමයි එයාලා “සාමය සහ සුරක්ෂිතභාවය” උදා කළා කියන බොරුව. ඒත් ඒක කියද්දී ‘නොදැනුවත්වම හදිසි විනාශයකට මුහුණ දෙන්න එයාලට සිද්ධ වෙනවා.’ මේ දුෂ්ට සමාජය තියෙන්නේ අනතුරුදායක තත්වයක කියන දේ වසං කරන්න එයාලා දරන උත්සාහයට අපි රැවටෙන්නේ නැහැ. මොකද අපි දන්නවා “යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන්නේ හරියටම රාත්‍රියේ පැමිණෙන සොරෙකු වගේ” කියලා.—1 තෙස. 5:1-4.

ඇයි හැමෝම වගේ බොරු කියන්නේ?

9, 10. (අ) මිනිසුන් බොරු කියන්නේ ඇයි? බොරු කියන නිසා වෙලා තියෙන්නේ මොකක්ද? (ආ) යෙහෝවා දෙවි ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

9 අලුතෙන් නිපදවන දෙයක් ජනප්‍රිය වුණොත් ඒක තව වැඩියෙන් නිෂ්පාදනය කරනවා. බොරු කියන එකට වෙලා තියෙන්නෙත් ඒ වගේම දෙයක්. ඒක අද සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා. බොරු කියලා අනිත් අයව රවට්ටන්නේ බලපුළුවන්කාර අය විතරක්ම නෙමෙයි. “බොරු කියන එක මිනිස් ගතියක් වෙලා” කියලා ලේඛකයෙක් කිව්වා. මිනිසුන් හුඟක් වෙලාවට බොරු කියන්නේ තමන්ගේ නම ආරක්ෂා කරගන්න නැත්නම් අනිත් අය අතරේ කැපීපේන්න. වැරදි වහගන්න, වාසි ප්‍රයෝජන ලබාගන්නත් මිනිසුන් බොරු කියනවා. කලින් සඳහන් කරපු ලේඛකයා කියනවා “අඳුරන්නේ නැති අයට, එකට වැඩ කරන අයට, යාළුවන්ට, ආදරේ කරන අයට හරිම ලේසියෙන් බොරු කියන්න පුළුවන් මිනිසුන් අපි අතරේ ඉන්නවා” කියලා.

10 වැඩිදෙනෙක් බොරු කියන නිසා වෙලා තියෙන්නේ මොකක්ද? එකිනෙකා අතරේ තියෙන විශ්වාසය බිඳිලා ගිහින්. බැඳීම් පලුදු වෙලා. උදාහරණෙකට බිරිඳක් එයාගේ අනියම් සම්බන්ධය වහගන්න නිසා සැමියාට බොරු කියනවා නම් ඒක කොයි තරම් කනගාටුදායකද? එහෙම නැත්නම් කවුරුත් නැති තැන බිරිඳට, දරුවන්ට වධ හිංසා කරන සැමියෙක් අනිත් අය ඉස්සරහා හොඳ සැමියෙක් විදිහට රඟපානවා නම් ඒක මොන තරම් කනගාටුදායකද? කාව රැවැට්ටුවත් එයාලට දෙවිව රවට්ටන්න බැහැ කියලා අපි මතක තියාගන්න ඕනේ. ‘දෙවි ඉදිරියේ සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබෙනවා.’—හෙබ්‍රෙ. 4:13.

11. අනනියස් සහ සෆීරාගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 සාතන්ට අහු වුණ නිසා දෙවිට බොරු කිව්ව යුවළක් මුල් සියවසේ හිටියා. ඒ අනනියස් සහ සෆීරා. එයාලට අයිති ඉඩමක් විකුණලා ඒකෙන් කොටසක් එයාලා ළඟ තියාගෙන ඉතිරි ටික නියෝජිතයන්ට දීලා එයාලා කිව්වා ඉඩම විකුණපු සම්පූර්ණ මුදල එතන තියෙනවා කියලා. එයාලට ඕනෙ වුණේ එයාලා සම්පූර්ණ මුදල පරිත්‍යාග කළා කියලා පෙන්නලා සභාවේ අය අතරේ කැපීපේන්න. ඒත් එයාලා කරපු දේ දෙවිගෙන් හංගන්න බැරි වුණා. දෙවි ඒ දෙන්නාටම දඬුවම් කළා.—ක්‍රියා 5:1-10.

12. දිගින් දිගටම බොරු කියන අයට වෙන්නේ මොකක්ද? ඒ ඇයි?

12 බොරු කියන එක ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද? සාතන්ටයි, එයාව අනුකරණය කරලා දිගින් දිගටම බොරු කියන අයටයි හිමි වෙන්නේ ‘ගින්නෙන් දැවෙන විලයි.’ (එළි. 20:10; 21:8; ගීතා. 5:6) මොකද බොරු කියන අය ගැන දෙවිට හැඟෙන්නේ දෙවි පිළිකුල් කරන “නින්දිත ක්‍රියාවල යෙදෙන” අය ගැන හැඟෙන විදිහටමයි.—එළි. 22:15.

13. අපි යෙහෝවා දෙවි ගැන දන්නේ මොනවාද? ඒ දැනුම අපිව පොලඹවන්නේ මොකක් කරන්නද?

13 ‘මනුෂ්‍යයන් බොරු කිව්වත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැහැ’ කියලත් ‘දෙවිට කිසි ලෙසකින්වත් බොරු කියන්න බැහැ’ කියලත් අපි දන්නවා. (ගණන්. 23:19; හෙබ්‍රෙ. 6:18) ‘බොරු කියන දිව යෙහෝවා දෙවි ද්වේෂ කරන දෙයක්.’ (හිතෝ. 6:16, 17) දෙවිගේ අනුමැතිය දිනාගන්න නම් අපි අපේ ජීවිතේ හැම කාරණයකදීම ඇත්ත කතා කරන්න ඕනේ. ඒ නිසයි අපි “එකිනෙකාට බොරු නොකියන්න” අධිෂ්ඨාන කරගෙන ඉන්නේ.—කොලො. 3:9.

අපි ‘එකිනෙකා සමඟ ඇත්ත කතා කරනවා’

14. (අ) අසත්‍යය උගන්වන ආගම්වල ඉන්න අයට වඩා අපි වෙනස් වෙන්නේ කොහොමද? (ආ) ලූක් 6:45 සඳහන් ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න.

14 අසත්‍යය උගන්වන ආගම්වල ඉන්න අයට වඩා තමන් වෙනස් කියලා සැබෑ ක්‍රිස්තියානීන් පැහැදිලිව පෙන්නන එක විදිහක් තමයි ‘එකිනෙකා එක්ක ඇත්ත කතා කරන එක.’ (සෙකරියා 8:16, 17 කියවන්න; 2 කොරි. 6:4, 7) යේසුස් කිව්වා “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි” කියලා. (ලූක් 6:45) යේසුස් ඒකෙන් අදහස් කළේ කෙනෙක්ගේ සිතුවිලි, චේතනා අවංකයි නම් එයා ඇත්ත කතා කරනවා කියන එකයි. ඒ වගේ කෙනෙක් අමුත්තන් එක්ක, එකට වැඩ කරන අය එක්ක, යාළුවන් එක්ක, එයා ආදරේ කරන අය එක්ක යම් දෙයක් ගැන කතා කරද්දී කවදාවත් බොරු කියන්නේ නැහැ. කාරණය පොඩි වුණත් බැරෑරුම් වුණත් එයා ඇත්ත කතා කරනවා. හැම කාරණයකදීම අපි අවංකව වැඩ කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන් කොහොමද කියලා උදාහරණ කීපයකින් බලමු.

මේ තරුණ සහෝදරිය ඉන්නේ මොන වගේ අනතුරකද කියලා ඔයාට පේනවාද? (15 සහ 16 ඡේද බලන්න)

15. (අ) දෙබිඩි ජීවිතයක් ගත කරන එක ඥානවන්ත දෙයක් නෙමෙයි කියන්නේ ඇයි? (ආ) යාළුවන්ගෙන් එන බලපෑම්වලට අහු නොවී ඉන්න යෞවනයන්ට උදව් වෙන්නේ මොනවාද? (පාදසටහන බලන්න.)

15 යෞවනයෙනි, ඔයාගේ වයසේ අය එක්ක ඉද්දී එයාලගේ පිළිගැනීම ලබන්න ඔයා ආසද? ඒ නිසාම සමහර යෞවනයන් දෙබිඩි ජීවිත ගත කරනවා. එයාලා පවුලේ අය, සභාවේ අය එක්ක ඉද්දී හොඳ කෙනෙක් හැටියට පෙනී හිටියත් දෙවිට සේවය නොකරන යාළුවන් එක්ක ඉද්දී, මිතුරු සමාජ වෙබ් අඩවි පාවිච්චි කරද්දී එයාලා වෙනස්ම චරිතයක්. එයාලා නරක වචන පාවිච්චි කරනවා. අවිනීත ඇඳුම් අඳිනවා. නුසුදුසු සංගීතයට ඇහුම්කන් දෙනවා. සීමාව ඉක්මවා මත්පැන් ගන්නවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. රහසින් ප්‍රේම සම්බන්ධතා පවත්වනවා. නැත්නම් ඊටත් වඩා බරපතළ දේවල් පවා කරනවා. එයාලගේ මුළු ජීවිතේම බොරුවක්. එයාලා දෙමාපියන්ට, සභාවේ අයට, දෙවිට කරන්නේ බොරුවක්. (ගීතා. 26:4, 5) අපි ‘තොල්වලින් දෙවිට ගෞරව කළත් අපේ සිත් තියෙන්නේ දෙවි වෙතින් බොහෝ ඈත්ව නම්’ දෙවි ඒක දන්නවා. (මාක් 7:6) ඒ නිසා “පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකරන්න. දවස මුළුල්ලේම යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න” කියන උපදෙස අදාළ කරගන්න එක කොච්චර වටිනවාද!—හිතෝ. 23:17. *

16. විශේෂ පූර්ණකාලීන සේවයට අයදුම් කරද්දී තමන් සත්‍යය පවසන කෙනෙක් කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

16 සමහරවිට ඔයා ස්ථාවර පුරෝගාමි සේවය කරන්න නැත්නම් බෙතෙල් සේවය වගේ විශේෂ පූර්ණකාලීන සේවයේ අංගයක හවුල් වෙන්න කැමැත්තෙන් ඉන්නවා ඇති. ඒකට අදාළ අයදුම්පත පුරවද්දී ඔයාගේ සෞඛ්‍යය ගැන, විනෝදය සඳහා ඔයා කරන දේවල් ගැන, ඔයාගේ සදාචාරය ගැන ඒකේ අහලා තියෙන හැම ප්‍රශ්නයකටම ඔයා අවංකවම පිළිතුරු ලියන්න ඕනේ. කිසිම තොරතුරක් හංගන්න හොඳ නැහැ. (හෙබ්‍රෙ. 13:18) ඔයා මොකක් හරි අපවිත්‍ර පුරුද්දකට ඇබ්බැහි වෙලා හිටියාද? නැත්නම් මොකක් හරි වැරදි දෙයක් කරලා තියෙනවාද? ඒ ගැන ඔයා වැඩිමහල්ලන්ට තාමත් කියලා නැත්නම් ඉක්මනින්ම එයාලගේ උදව් ඉල්ලන්න. එතකොට නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දෙවිට සේවය කරන්න ඔයාට පුළුවන් වෙයි.—රෝම 9:1; ගලා. 6:1.

17. සහෝදරයන් ගැන විරුද්ධවාදීන් අපෙන් තොරතුරු අහද්දී අපි මොනවාද කරන්න ඕනේ?

17 හිතන්න, ඔයා ඉන්නේ අපේ සේවය තහනම් කරපු රටක කියලා. සහෝදරයන් ගැන තොරතුරු කියන්න කියලා බලධාරීන් ඔයාට බල කරනවා නම් මොකද කරන්නේ? ඔයා දන්න හැම දේම එයාලට කියන්න ඕනෙද? රෝම ආණ්ඩුකාරයා අහපු හැම ප්‍රශ්නයකටම යේසුස් උත්තර දුන්නේ නැහැ කියලා ඔයාට මතක ඇති. ඒ වගේ වෙලාවලදී යේසුස් අදාළ කරගත්තේ “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත” කියන බයිබල් ප්‍රතිපත්තියයි. (දේශ. 3:1, 7; මතෙ. 27:11-14) බලධාරීන් ප්‍රශ්න කරන වෙලාවකදී සහෝදරයන් ගැන තොරතුරු නොකියා ඉන්න එක තමයි හොඳම දේ. එතකොට සහෝදරයන්ගේ ජීවිත අනතුරේ නොදා ඉන්න අපිට පුළුවන්.—හිතෝ. 10:19; 11:12.

නිහඬව ඉන්න ඕනෙ කොයි වෙලාවෙද, දන්න හැම දෙයක්ම කියන්න ඕනෙ කොයි වෙලාවෙද කියලා ඔයා තීරණය කරන්නේ කොහොමද? (17 සහ 18 ඡේද බලන්න)

18. සහෝදරයෙක් කරන වැරදි දෙයක් ගැන වැඩිමහල්ලන්ට කියද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

18 සභාවේ කෙනෙක් කරපු බරපතළ වරදක් ගැන ඔයා තොරතුරු දන්නවා නම් ඔයා මොනවාද කරන්න ඕනේ? සභාව පවිත්‍රව තියාගන්න වගකීම වැඩිමහල්ලන්ට තියෙන නිසා සමහරවිට එයාලා ඔයාගෙන් ඒ ගැන අහයි. වරද කරපු කෙනා ඔයාගේ හොඳ යාළුවෙක් නම් නැත්නම් පවුලේ කෙනෙක් නම් ඔයා මොකද කරන්නේ? බයිබලේ කියන්නේ “විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් සත්‍යය පවසයි” කියලා. (හිතෝ. 12:17; 21:28) තොරතුරු හළන්නේ නැතුව ඔයා දන්න හැම දෙයක්ම වැඩිමහල්ලන්ට කියන එක ඔයාගේ වගකීමයි. තොරතුරු අතින් දාලා කියන්නත් එපා. මොකද ඇත්ත දැනගන්න වැඩිමහල්ලන්ට අයිතියක් තියෙනවා. ඇත්ත තොරතුරු දැනගත්තොත් විතරයි වරද කරපු කෙනාට ආයෙත් දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් වෙන්නේ.—යාකො. 5:14, 15.

19. ඊළඟ ලිපියෙන් අපි ඉගෙනගන්නේ මොනවා ගැනද?

19 දාවිත් රජ යෙහෝවා දෙවිට මෙහෙම යාච්ඤා කළා. “ඔබ සතුටු වන්නේ මුළු හදවතින්ම, අවංකව කටයුතු කරන අය ගැනයි.” (ගීතා. 51:6) අවංකකම කියන්නේ මවාපාන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ඇතුළාන්තයෙන්ම එන්න ඕනෙ දෙයක් කියලා දාවිත් දැනන් හිටියා. අපි හැම කාරණයකදීම ‘එකිනෙකා සමඟ ඇත්ත කතා කරන්න’ ඕනේ. දෙවිගේ සෙනඟ අනිත් අයට වඩා වෙනස් කියලා පේන තව විදිහක් තියෙනවා. ඒ තමයි දේශනා සේවයේ ගිහින් දෙවි උගන්වලා තියෙන සත්‍යයන් අනිත් අයට කියලා දෙන එක. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 15 ඡේ. ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වන පොතේ “ළමයිගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?” කියන 15වෙනි පරිච්ඡේදයත් “ගෙදරට එකක් එළියට තව එකක් ප්‍රශ්නයක්ද?” කියන 16වෙනි පරිච්ඡේදයත් බලන්න.