Skip to content

පටුනට යන්න

සියවසකට පෙර 1918

සියවසකට පෙර 1918

“මේ අවුරුද්දේ මොනවා වෙයිද?” 1918 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාව පටන් අරන් තිබුණේ ඒ වචනවලින්. ඒ වෙද්දීත් යුරෝපයේ යුධ ගිනිදැල් ඇවිලෙමිනුයි තිබුණේ. ඒත් අවුරුද්දේ මුල සිද්ධ වුණු දේවල් නිසා ලෝකයට වගේම බයිබල් ශිෂ්‍යයන්ටත් හොඳ කාලයක් එයි කියලා හුඟක් අය හිතුවා.

සාම සාකච්ඡා

1918 ජනවාරි 8වෙනිදා එක්සත් ජනපදයේ ජනාධිපති වුඩ්රෝ විල්සන් කළ කතාවක “සාකච්ඡා මාර්ගයෙන් ස්ථිර සාමයක් ඇති කරගන්න” උදව් වෙන දේවල් 14ක් ගැන සඳහන් කළා. එයාගේ යෝජනා අතරට ජාතීන් අතර විවෘත කතාබහක් ඇති කරන එක, අවි නිෂ්පාදනය අඩු කරන එක, “ලොකු කුඩා ජාතීන්ගේ” ප්‍රයෝජනය වෙනුවෙන් “හැම ජාතියක්ම නියෝජනය කරන සංගමයක්” පිහිටුවන එක වගේ දේවල් ඇතුළත් වුණා. 1වෙනි ලෝක මහා යුද්ධය අවසන් කරන්න පාර කැපුව වර්සයි ගිවිසුම ඇති කරන්නත් ජාතීන්ගේ සංගමය පිහිටුවන්නත් ඒ “යෝජනා 14” උදව් වුණා.

විරුද්ධවාදීන් පරාජයට පත් වෙයි

කලින් අවුරුද්දේ * නොසන්සුන් වාතාවරණයක් තිබුණත් මේ අවුරුද්දේ සාමකාමී කාලයක් උදා වෙයි කියලා බයිබල් ශිෂ්‍යයන් හිතුවා. එහෙම හිතුවේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි එකේ වාර්ෂිකව පවත්වපු රැස්වීමේ වුණු දේවල් නිසයි.

1918 ජනවාරි 5වෙනිදා පවත්වපු ඒ රැස්වීමේදී කලින් වගකීම් දරපු, බෙතෙල් එකෙන් අයින් කරපු කිහිපදෙනෙක් සංවිධානයේ කටයුතු එයාලගේ අතට ගන්න උත්සාහ කළා. රැස්වීම පටන්ගත්තේ චාරිකා සේවකයෙක් වුණු රිචඩ් එච්. බාබර් කළ යාච්ඤාවකින්. කලින් අවුරුද්දේ වැඩකටයුතු ගැන සඳහන් වාර්තාවක් මුලින්ම සලකලා බැලුවා. ඊටපස්සේ සුපුරුදු විදිහට අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරගන්න ඡන්දයක් පැවැත්තුවා. ඒ තනතුරු සඳහා ජෝසෆ් රදෆර්ඩ් ඇතුළු සහෝදරයන් 7දෙනෙක්ව සහෝදර බාබර් යෝජනා කළා. විරුද්ධවාදීන්ට සහාය දුන් නීතිඥයෙක් බෙතෙල් එකෙන් අයින් කරපු අය ඇතුළු වෙනත් 7දෙනෙක්ව යෝජනා කළා. වැඩිදෙනෙක්ගේ ඡන්දයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වුණේ ජෝසෆ් රදෆර්ඩ් ඇතුළු විශ්වාසවන්ත සහෝදරයන් 7දෙනාවයි.

“පවත්වපු රැස්වීම්වලින් දෙවිගේ ආශීර්වාදය වැඩියෙන්ම ලැබුණේ මේ රැස්වීමටයි” කියලා වැඩිදෙනෙක් කිව්වා. ඒත් ඒ සතුට වැඩි කල් තිබුණේ නැහැ.

‘අභිරහස හෙළි කිරීම’ කියන පොතට ලැබුණු ප්‍රතිචාරය

බයිබල් ශිෂ්‍යයන් මාස කිහිපයක් තිස්සෙම ‘අභිරහස හෙළි කිරීම’ කියන පොත බෙදාහැරියා. බයිබලයේ තියෙන සත්‍යයන් දැනගන්න කැමති වුණු හුඟදෙනෙක් ඒ පොත කියෙව්වේ හරිම ආසාවෙන්.

ඒ පොත කියවලා සති පහක් යන්නත් කලින් සත්‍යය පිළිගත්ත යුවළක් ගැන කැනඩාවේ චාරිකා සේවකයෙක් වුණු ඊ. එෆ්. ක්‍රිස්ට් මෙහෙම කිව්වා. “ඒ දෙන්නාම මුළු හදවතින්ම දෙවිට කැප වෙලයි ඉන්නේ. සභාවේ වැඩකටයුතුවලට එයාලා හරිම උනන්දුවෙන් හවුල් වෙනවා.”

එක් කෙනෙක් ඒ පොත ලැබුණු ගමන්ම යාළුවන්ටත් ඒ ගැන කිව්වා. එයා මෙහෙම කියනවා. “දවසක් මං පාරේ ඇවිදන් යද්දී ගඩොලක් වගේ දෙයක් මගේ උරහිසට වැටුණා වගේ මට දැනුණා. බැලින්නම් ඒක ගඩොලක් නෙමෙයි පොතක්. ඒකේ නම ‘අභිරහස හෙළි කිරීම.’ මං අකුරක් නෑර ඒ පොත කියෙව්වා. . . . පූජකයෙක් හරිම කේන්තියෙන් ජනේලයකින් ඒ පොත විසි කරලා තියෙනවා. එතකොටම තමයි මාත් එතැනින් ගිහින් තියෙන්නේ. . . . ඒ පූජකයාගේ එක දේශනයකින්වත් කරන්න බැරි වුණු දෙයක් එදා ඒ පොත විසි කරපු එකෙන් සිද්ධ වුණා. එයා කරපු දේ නිසා හුඟක් අය සත්‍යයට ආවා. . . . එයාට කේන්ති ගිය නිසයි අද අපි දෙවිට ප්‍රශංසා කරන්නේ.”

රජයට සහ යුද්ධයට විරුද්ධව අදහස් පළ කරලා තියෙනවා කියන චෝදනාව මත 1918 පෙබරවාරි 12වෙනිදා කැනඩාවේ ඒ පොත තහනම් කළා. ඒ කාලෙම වගේ එක්සත් ජනපදයේ නිලධාරීන් සංවිධානයේ මූලිකත්වය අරන් කටයුතු කරපු සහෝදරයන්ට විරුද්ධව සාක්ෂි හොයන්න පටන්ගත්තා. නිලධාරීන් නිව් යෝර්ක්වල තිබුණු බෙතෙල් නිවසත් පෙන්සිල්වේනියාවේ සහ කැලිෆෝර්නියාවේ තිබුණු කාර්යාලයනුත් පීරලා සාක්ෂි හෙව්වා. ඒ අය චෝදනා කළේ රජයේ යුධ මෙහෙයුම්වලට විරුද්ධ අදහස් ඒ පොතේ තියෙනවා කියලයි. ඒ නිසා ඒ පොත මුද්‍රණය කරන එකෙන් සහ බෙදාහරින එකෙන් රහස් ඔත්තු පනත උල්ලංගනය වෙනවා කියලා එයාලා කිව්වා. අන්තිමේදී එක්සත් ජනපදයේ අධිකරණය 1918 මාර්තු 14වෙනිදා පොත තහනම් කළා.

සිරදඬුවම් ලැබෙයි

1918 මැයි 7වෙනිදා අධිකරණයෙන් ජියෝවාන්නි ඩෙචෙකා, ජෝර්ජ් ෆිෂර්, ඇලෙක්සැන්ඩර් මැක්මිලන්, රොබට් මාටින්, ෆ්‍රෙඩ්රික් රොබිසන්, ජෝසෆ් රදෆර්ඩ්, විලියම් වැන් ඇම්බර්ග්, ක්ලේටන් වුඩ්වර්ත් කියන අයව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කළා. “ආණ්ඩුවට විරුද්ධව කැරලිගහන්න උසිගැන්වීම, රට පාවා දීම සහ එක්සත් ජනපදයේ හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම” වගේ චෝදනායි එයාලට විරුද්ධව එල්ල කළේ. 1918 ජූනි 5වෙනිදා එයාලගේ නඩුව විභාග කරන්න පටන්ගත්තා. එයාලා ඒකෙන් පැරදෙනවා කියලයි හැමෝටම හිතුණේ. ඒ ඇයි?

එක්සත් ජනපදයේ නීතිපති, රහස් ඔත්තු පනත හැඳින්නුවේ “බොරු ප්‍රචාරණයන් වළක්වන්න උදව් වෙන සාර්ථක ආයුධයක්” විදිහටයි. 1918 මැයි 16වෙනිදා ඒ පනත සංශෝධනය කරන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වුණත් ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ සංශෝධනය අනුමත වුණා නම් “හොඳ චේතනාවකින් ඇත්ත තොරතුරු මුද්‍රණය කරන අයට ආරක්ෂාව ලැබෙනවා.” ඒ යෝජනාව ගැන කළ සාකච්ඡාවේදී ඒකට විරුද්ධ වුණු අය නිතරම වගේ ‘අභිරහස හෙළි කිරීම’ කියන පොත ගැන සඳහන් කළා. නිලවාර්තාවල ඒ ගැන සඳහන් වුණේ මෙහෙමයි. “භයානක විදිහට බොරු ප්‍රචාර පතුරුවන එකට හොඳම උදාහරණය තමයි ‘අභිරහස හෙළි කිරීම’ කියන පොත. . . . ඒක කියෙව්වොත් අපේ සොල්දාදුවන් සටන් කරන එක නතර කරයි. . . . හමුදාවට බඳවාගන්න එකටත් රට වැසියන් විරුද්ධ වෙයි.”

1918 ජූනි 20වෙනිදා සහෝදරයන් 8දෙනා සියලුම චෝදනාවලට වැරදිකරුවන් කියලා ජූරි සභාව තීරණය කළා. ඊළඟ දවසේ විනිසුරු නඩුවේ තීන්දුව දෙමින් මෙහෙම කිව්වා. “විත්තිකරුවන් ආගමික ප්‍රචාරයන්වලට දුන්නේ ලොකු සහයෝගයක්. . . . ඒ ප්‍රචාරයන් ජර්මන් හමුදාවටත් වඩා භයානකයි. . . . ඒ නිසා එයාලට ලොකු දඬුවමක් දෙන්න ඕනේ.” සති දෙකකට පස්සේ සහෝදරයන් 8දෙනාව ජොර්ජියාවේ ඇට්ලන්ටාවල තියෙන හිරකඳවුරකට යැව්වා. ඒ අයට අවුරුදු 10ත් 20ත් අතර සිරදඬුවම් ලැබුණා.

අත් නෑර දේශනා කළා

බයිබල් ශිෂ්‍යයන්ට දරුණු විරුද්ධවාදිකම්වලට ඒ කාලයේ මුහුණ දෙන්න වුණා. ඇමරිකාවේ අපරාධ විමර්ශන අංශය (FBI) එයාලගේ වැඩකටයුතු ගැන හොඳ අවධානයකිනුයි හිටියේ. ඒ ගැන පිටු ගාණක වාර්තාත් සකස් කළා. ඒවාවලින් තහවුරු වෙනවා සහෝදරයන් දිගටම උද්‍යෝගයෙන් දේශනා කළා කියලා.

ෆ්ලොරිඩාවේ ඔර්ලැන්ඩෝවල තැපැල් ස්ථානාධිපති FBI එකට ලියපු ලියුමක මෙහෙම සඳහන් කරලා තිබුණා. “[බයිබල් ශිෂ්‍යයන්] ගෙයින් ගෙට ගිහින් දේශනා කරන වැඩේ දිගටම කරගෙන යනවා. එයාලා වැඩිදෙනෙක් ඒක කරන්නේ රෑට. . . . එයාලා ලේසියෙන් මේ සටන අත්හරින එකක් නැහැ වගේ.”

පස්සේ කාලෙක පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව්. ෆ්‍රාන්ස් ගැන හමුදාවේ නිලධාරියෙක් විමර්ශන අංශයට මෙහෙම ලියලා යැව්වා. “එෆ්. ඩබ්ලිව්. ෆ්‍රාන්ස් ‘අභිරහස හෙළි කිරීම’ කියන පොතේ පිටපත් දාහකටත් වඩා බෙදාහැරලා තියෙනවා.”

දරුණු පීඩාවලට මුහුණ දෙන්න වුණු තවත් කෙනෙක් තමයි පස්සේ කාලෙක පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු චාල්ස් ෆෙකල්. ‘අභිරහස හෙළි කිරීම’ කියන පොත බෙදාහැරපු නිසා නිලධාරීන් එයාව අත්අඩංගුවට ගත්තා. හිරේ ඉද්දී එයා ලියපු වගේම එයාට ලැබුණු ලියුමුත් එයාලා පරීක්ෂා කළා. එයාව “ඕස්ට්‍රියාවෙන් ආපු හතුරෙක්” විදිහට හංවඩු ගසමින් මාසයකට මේරිලෑන්ඩ්වල හිරකඳවුරකටත් දැම්මා. නඩු විභාගයේදී වුණත් සාක්ෂි දරන්න එයා බය වුණේ නැහැ. ‘ශුභාරංචිය ප්‍රකාශ කළේ නැත්නම් ඒක මට ලොකු දුකක්’ කියලා 1 කොරින්ති 9:16 තියෙන පාවුල්ගේ වදන් ඒ වෙලාවේ එයා මතක් කරගත්තා. *

නිර්භීතව සාක්ෂි දරන අතරතුරේදී බයිබල් ශිෂ්‍යයන් ඇට්ලන්ටාවල සිරදඬුවම් විඳින සහෝදරයන්ව නිදහස් කරන්න කියලා පෙත්සමකුත් සකස් කළා. ඒ ගැන ඇනා කේ. ගාඩ්නර් මෙහෙම කියනවා. “අපිත් නිකන් හිටියේ නැහැ. පෙත්සමට අත්සන් ගන්න ගෙයක් ගෙයක් ගානේ ඇවිද්දා. අත්සන් දහස් ගාණක් එකතු කරගන්න අපිට පුළුවන් වුණා. අපි හැම කෙනෙක්ටම කිව්වා ඒ සහෝදරයන් සැබෑ ක්‍රිස්තියානීන් මිසක් හිරේ දාන්න තරම් වරදක් කරපු අපරාධකාරයන් නෙමෙයි කියලා.”

සමුළු

පීඩා දරාගෙන දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන සමුළු දිගටම පැවැත්තුවා. ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. ‘මේ අවුරුද්දේ සමුළු 40කටත් වඩා පවත්වලා තියෙනවා. ඒ හැම සමුළුවකින්ම දිරිගැන්වෙන වාර්තා ලැබුණා. කලින් සමුළු පැවැත්තුවේ අවුරුද්දට දෙපාරක් විතර. ඒත් දැන් හැම මාසෙකම සමුළු පවත්වනවා.’

අවංක හදවත් තිබුණු අය ශුභාරංචිය කැමැත්තෙන්ම පිළිගත්තා. ක්ලීව්ලන්ඩ්වල පවත්වපු සමුළුවකට 1,200දෙනෙක් සහභාගි වුණු අතර 42දෙනෙක් බව්තීස්ම වුණා. ඒ අතරේ දෙවිට ගොඩක් ආදරේ කරපු, වැඩිහිටියන්ටත් වඩා ලොකු කැපවීමකින් දේවසේවයේ හවුල් වුණු දරුවෙකුත් හිටියා.

ඊළඟට වුණේ මොකක්ද?

1918 අවසන් වෙද්දී හුඟක් අය හිතුවේ ඉස්සරහට මොනා වෙයිද කියලයි. බෘක්ලින්වල තිබුණු සමහර ගොඩනැඟිලි විකුණුවා. ශාඛා කාර්යාලයත් පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්වලට මාරු කළා. වගකීම් දරපු සහෝදරයන් හිරේ ඉද්දී 1919 ජනවාරි 4වෙනිදා ඊළඟ වාර්ෂික රැස්වීම පවත්වන්න සැලසුම් කළා.

සහෝදරයන් දිගටම වැඩකටයුතු කරගෙන ගියා. 1919 වාර්ෂික පදය සඳහා “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත” කියන පදයයි එයාලා යොදාගත්තේ. (යෙසා. 54:17) දෙවිගේ උපකාරය දිගටම ලැබෙනවා කියන එක ගැන එයාලට කොයි තරම් විශ්වාසයක් තිබුණාද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. හැම දේම පුදුම විදිහට වෙනස් වුණා. ඒ නිසා එයාලගේ විශ්වාසයත් ශක්තිමත් වුණා. ඒ වගේම ඉදිරියට කරන්න තිබුණු වැඩවලට අවශ්‍ය ධෛර්යයත් ලැබුණා.

^ 22 ඡේ. චාල්ස් ෆෙකල්ගේ ජීවිත කතාව 1969 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ තියෙනවා. (සිංහලෙන් නැහැ.)