Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 42

ඔයා විශ්වාස කරන දේ සත්‍යයයි කියලා ස්ථිර කරගන්න

ඔයා විශ්වාස කරන දේ සත්‍යයයි කියලා ස්ථිර කරගන්න

“සෑම දෙයක්ම සෝදිසි කර බලා යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න.”—1 තෙස. 5:21.

ගීතිකාව 142 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

මේ ලිපියෙන් *

1. අද ඉන්න හුඟක් අයට සත්‍යය හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ ඇයි?

මේ වෙද්දී ක්‍රිස්තියානි කියලා කියාගන්න ආගම් දහස් ගාණක් තියෙනවා. ඒ හැමෝම කියන්නේ එයාලගේ ආගම තමයි හරි කියලා. ඒ නිසා හුඟක් අයට ඇත්ත ආගම මොකක්ද කියලා තේරුම්ගන්න අමාරු වෙලා තියෙනවා. “තියෙන්නේ එක සත්‍ය ආගමක් විතරයිද? දෙවියන් හැම ආගමක්ම පිළිගන්නවාද?” වගේ ප්‍රශ්න එයාලා අහනවා. සත්‍යය උගන්වන්නේ, යෙහෝවා පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන්නේ සාක්ෂිකරුවන් විතරයි කියලා අපිට විශ්වාසයිද? ඒ දේවල් සහතික කරගන්න තියෙන සාක්ෂි ගැන දැන් අපි බලමු.

2. පාවුල් විශ්වාස කරපු දේවල් සත්‍යයයි කියලා එයාට තහවුරු වුණේ කොහොමද? (1 තෙසලෝනික 1:5)

2 පාවුල්ට එයා විශ්වාස කරපු දේවල් සත්‍යයයි කියලා කිසිම සැකයක් තිබුණේ නැහැ. (1 තෙසලෝනික 1:5 කියවන්න.) පාවුල් ඒ ඉගැන්වීම් විශ්වාස කළේ ඒවා අහද්දී එයාට සතුටක් දැනුණ නිසාම විතරක් නෙවෙයි. ඒ වෙනුවට එයා දෙවියන්ගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කරලා ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියවිලා තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන්’ කියලා ස්ථිර කරගත්තා. (2 තිමෝ. 3:16) බයිබලය අධ්‍යයනය කරපු නිසා යේසුස් තමයි මෙසියස් කියලා ඔප්පු කරන්න ඕන තරම් සාක්ෂි තියෙනවා කියලා පාවුල් දැනගත්තා. හැබැයි ඒ කාලේ හිටපු ආගමික නායකයන් ඒ සාක්ෂි දැක දැකත් යේසුස්ව ප්‍රතික්ෂේප කළා. කුහක විදිහට වැඩ කරපු එයාලා මිනිසුන්ට දෙවියන් ගැන සත්‍යය කියලා දෙනවා කියලා කිව්වත් ඇත්තටම කළේ දෙවියන් අකමැති දේවල්. (තීත. 1:16) ඒ ආගමික නායකයන් දෙවියන්ගේ ඉගැන්වීම්වලින් එයාලා කැමති ඒවා විතරක් තෝරගෙන අනිත් ඒවා අයින් කළා. හැබැයි පාවුල් එයාලා වගේ වැඩ කළේ නැහැ. එයා ‘දෙවියන්ගේ කැමැත්ත ගැන හැම දෙයක්ම’ පිළිපදින්නත් අනිත් අයට උගන්වන්නත් සූදානමින් හිටියා.—ක්‍රියා 20:27.

3. සත්‍යය ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න නම් අපිට තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න ඕනෙද? (“ යෙහෝවා කරලා තියෙන දේවල් සහ ඔහුගේ සැලසුම් ‘ගණන් කිරීමට බැරි තරම් බොහෝය’” කියන කොටුව බලන්න.)

3 සමහර අය හිතනවා හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න පුළුවන් නම් විතරයි ඒක සත්‍ය ආගම වෙන්නේ කියලා. බයිබලේ කෙළින්ම උත්තර දීලා නැති ප්‍රශ්නවලටත් ඒ ආගමෙන් උත්තර දෙන්න ඕනෙ කියලා එයාලා බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණයිද? උදාහරණෙකට පාවුල් ගැන ටිකකට හිතන්න. ‘සෑම දෙයක්ම සෝදිසි කර බලන්න’ කියලා පාවුල් අනිත් ක්‍රිස්තියානීන්ට දිරිගැන්නුවා. හැබැයි එයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා කියලත් එයා පිළිගත්තා. (1 තෙස. 5:21) එයා මෙහෙම කිව්වා. “අපිට පූර්ණ දැනුමක් නැත.” “දැනට අප දකින දේ අපැහැදිලිය. එය ලෝහ කැඩපතකින් යමක් දෙස බලනවා හා සමානය.” (1 කොරි. 13:9, 12) පාවුල්ට හැම දෙයක්ම තේරුම්ගන්න බැරි වුණත් යෙහෝවා දෙවියන් ගැන මූලික සත්‍යයන් එයා තේරුම් අරගෙන හිටියා. එයා විශ්වාස කරපු දේ සත්‍යයයි කියලා තහවුරු කරගන්න ඒ දැනුම එයාට ප්‍රමාණවත් වුණා.

4. අපි ඉන්නේ සත්‍යයේ කියලා අපිටම ස්ථිර කරගන්න පුළුවන් කොහොමද? සැබෑ ක්‍රිස්තියානීන් ගැන අපි බලන්න යන්නේ මොනවාද?

4 අපි ඉන්නේ සත්‍යයේ කියලා තහවුරු කරගන්න පුළුවන් එක විදිහක් තමයි දෙවියන්ට නමස්කාර කරන්න යේසුස් කියලා දුන්න විදිහයි සාක්ෂිකරුවන් අද දෙවියන්ට නමස්කාර කරන විදිහයි සන්සන්දනය කරන එක. සැබෑ ක්‍රිස්තියානීන් (1) රූපවලට නමස්කාර කරන්නේ නැහැ. (2) යෙහෝවාගේ නමට ගෞරව කරනවා. (3) සත්‍ය ඉගැන්වීම් ගැන ලොකු අගයක් තියෙනවා. (4) අනිත් අයට මුළු හදවතින්ම ආදරය කරනවා. අද මේ දේවල් ඇත්තටම කරන්නේ කවුද කියලා අපි මේ ලිපියෙන් බලමු.

අපි රූපවලට නමස්කාර කරන්නේ නැහැ

5. දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ විදිහ ගැන අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒකට කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද?

5 යේසුස් යෙහෝවාට ගොඩක් ආදරේ කරපු නිසා ස්වර්ගයේ ඉද්දිත් පොළොවේ ඉද්දිත් නමස්කාර කළේ දෙවියන්ට විතරයි. (ලූක් 4:8) ඔහු එහෙම කරන්න කියලා ගෝලයන්ටත් කියලා දුන්නා. යේසුස්වත් යේසුස්ගේ ගෝලයන්වත් කවදාවත් රූප පාවිච්චි කරලා නමස්කාර කළේ නැහැ. මනුෂ්‍යයන්ට දෙවියන්ව දකින්න බැරි නිසා ඔහුට සමාන දෙයක් හදන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. (යෙසා. 46:5) එතකොට සාන්තුවරුන් වගේ අයගේ රූප හදාගෙන එයාලට යාච්ඤා කරන එක ගැන මොනවාද කියන්න පුළුවන්? යෙහෝවා මෝසෙස්ට දුන්න දසපනතේ දෙවෙනි පනතේ ඒකට උත්තරේ තියෙනවා. එතන මෙහෙම කියනවා. ‘රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න.’ (නික්. 20:4, 5) දෙවියන්ට නමස්කාර කරන්න රූප පාවිච්චි කරනවාට ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා ඇත්තටම දෙවියන්ට ආදරේ අය තේරුම්ගන්නවා.

6. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර කරන්නේ කාට විතරයිද? පැහැදිලි කරන්න.

6 ඉතිහාසය ගැන හදාරන අය කියනවා මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් නමස්කාර කළේ දෙවියන්ට විතරයි කියලා. නමස්කාර කරන තැන්වල රූප තියන්න කියලා මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට කවුරු හරි කිව්වා නම් “එයාලා ඒකට කොහොමටවත් කැමති වෙන එකක් නැහැ” කියලා එක පොතක කියනවා. (History of the Christian Church) අද ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් දෙවියන්ට නමස්කාර කරන්නේ මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් කරපු විදිහටමයි. අපි සාන්තුවරුන්ගේවත් දේවදූතයන්ගේවත් රූප හදාගෙන ඒවාට යාච්ඤා කරන්නේ නැහැ. අඩුම තරමේ යේසුස්ටවත් යාච්ඤා කරන්නේ නැහැ. ඒ වගේම අපි ජාතික කොඩිය වගේ දේශපාලනයට සම්බන්ධ සංකේතවලට ආචාර කරන්නෙත් නැහැ. මොකද එහෙම කරන එකත් හරියට නමස්කාරයක් වගේ. කවුරු අපිට ඒ දේවල් කරන්න කියලා බල කළත් “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි” කියලා යේසුස් කියපු දේට අපි කීකරු වෙනවා.—මතෙ. 4:10.

7. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ මොන විදිවලින්ද?

7 අද ගොඩක් අය වැඩ කරන්නේ ප්‍රසිද්ධ ආගමික නායකයන් කියන විදිහට. දෙවියන්ට දෙන්න ඕනෙ තැන මිනිස්සු එයාලට දෙනවා. ඒ ආගමික නායකයන්ගේ දේවස්ථානවලට යන්න, ඒගොල්ලන් විකුණන පොත් පත් ගන්න ඒ මිනිස්සු පොරකනවා. ඒ වගේම ඒ ආගමික නායකයන් කියන ඕන දේකට සල්ලි දෙන්න හුඟක් අය දෙපාරක් හිතන්නේ නැහැ. සමහර මිනිස්සු එයාලා කියන හැම දෙයක්ම විශ්වාස කරනවා. අද ඉන්න ආගමික නායකයන්ට මිනිස්සු පෙන්නන තරම් භක්තියක් යේසුස් පොළොවට ආවත් එයාලා පෙන්නන එකක් නැහැ. හැබැයි දෙවියන් පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන අය ඊට වඩා කොච්චර වෙනස්ද! අපි අතරේ පූජකයන් නැහැ. අපි පෙරමුණ ගන්න අයට ගෞරව කළත් “ඔබ සියලුදෙනාම සහෝදරයෝයි” කියලා යේසුස් කියපු දේ අපි හිතට ගන්නවා. (මතෙ. 23:8-10) අපි ආගමික නායකයන්ට, දේශපාලන නායකයන්ට නමස්කාර කරන්නේවත් එයාලා කරන දේවල්වලට හවුල් වෙන්නේවත් නැහැ. ඒ වගේ විදිවලින් අපි ක්‍රිස්තියානි කියාගන්න ආගම්වලට වඩා ගොඩක් වෙනස්.—යොහ. 18:36.

අපි යෙහෝවාගේ නමට ගෞරව කරනවා

යෙහෝවා ගැන අනිත් අයට කියලා දෙන්න තමන්ට ලැබුණු අවස්ථාව සැබෑ ක්‍රිස්තියානීන්ට ගොඩක් වටිනවා (8-10 ඡේද බලන්න) *

8. යෙහෝවා ඔහුගේ නම ගෞරවයට පත් වෙනවාටත් හැමෝම ඒක දැනගන්නවාටත් කැමතියි කියලා අපි දන්නේ කොහොමද?

8 යේසුස් එක අවස්ථාවකදී “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න” කියලා යාච්ඤා කළා. ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ම ස්වර්ගයේ ඉඳන් කතා කරලා ඔහුගේ නම ගෞරවයට පත් කරනවා කියලා පොරොන්දු වුණා. (යොහ. 12:28) යේසුස් දේශනා කරපු කාලේ පුරාවටම ඔහුගේ තාත්තාගේ නම ගෞරවයට පත් කළා. (යොහ. 17:26) ඉතින් සැබෑ ක්‍රිස්තියානීනුත් දෙවියන්ගේ නම පාවිච්චි කරන්නත් ඒක ගැන අනිත් අයට කියලා දෙන්නත් ලැබිලා තියෙන අවස්ථාව සලකන්නේ ලොකු ගෞරවයක් විදිහට.

9. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එයාලා දෙවියන්ගේ නමට ගෞරව කරනවා කියලා පෙන්නුවේ කොහොමද?

9 මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව පිහිටුවලා ටික කාලෙකට පස්සේ ‘වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි පියවර ගත්තා. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි’ කියලා බයිබලේ කියනවා. (ක්‍රියා 15:14) ඒ කාලේ හිටපු ක්‍රිස්තියානීන් දේශනා කරද්දී, බයිබලේ පොත් ලියද්දී දෙවියන්ගේ නම පාවිච්චි කළා. * ඒකෙන් පැහැදිලි වුණා ඒ නම පාවිච්චි කරන්නත් ඒක ගැන අනිත් අයට කියලා දෙන්නත් එයාලට ලැබුණ අවස්ථාව එයාලා ලොකු ගෞරවයක් විදිහට සැලකුවා කියලා. ඒ විදිහට වැඩ කරන එකෙන් එයාලා පෙන්නුවා දෙවියන්ගේ නාමය දරන එකම සෙනඟ එයාලයි කියලා.—ක්‍රියා 2:14, 21.

10. යෙහෝවාගේ නම අනිත් අයට දැනුම් දෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියලා කියන්න පුළුවන් ඇයි?

10 දෙවියන්ගේ නම ගැන අනිත් අයට දැනුම් දෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද? අද ඉන්න ගොඩක් ආගමික නායකයන් දෙවියන්ට නමක් තියෙනවා කියන එක හංගන්න එයාලට පුළුවන් හැම දේම කරනවා. එයාලා බයිබල් පරිවර්තනවලින් දෙවියන්ගේ නම අයින් කරලා තියෙනවා. සමහර අය එයාලගේ පල්ලිවල දෙවියන්ගේ නම පාවිච්චි කරන එක තහනම් කරලා. * දෙවියන්ගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන එකම කණ්ඩායම සාක්ෂිකරුවන් විතරයි. වෙන කිසිම ආගමකට වඩා අපි යෙහෝවාගේ නම ගැන අනිත් අයට දැනුම් දෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නමට අනුව ජීවත් වෙන්න අපි අපේ උපරිමය කරනවා. (යෙසා. 43:10-12) අනිත් පරිවර්තකයන් දෙවියන්ගේ නම බයිබලෙන් අයින් කළත් අපි ඒ නම බයිබලේ තියෙන්න ඕන තැන්වලට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ පිටපත් මිලියන 240කටත් වඩා වැඩියෙන් අපි මුද්‍රණය කරලා තියෙනවා. ඒ වගේම භාෂා 1,000ටත් වඩා වැඩියෙන් තියෙන අපේ බයිබලය මත පදනම් ප්‍රකාශනවල අපි දෙවියන්ගේ නම පාවිච්චි කරනවා.

සත්‍යය ගැන අපිට ලොකු අගයක් තියෙනවා

11. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එයාලට සත්‍යය ගැන ලොකු අගයක් තියෙනවා කියලා පෙන්නුවේ කොහොමද?

11 දෙවියන් ගැන, ඔහුගේ අරමුණු ගැන තියෙන සත්‍යයන් යේසුස් දැනගෙන හිටියා. යේසුස්ගේ හිතේ ඒවා ගැන ලොකු අගයක් තිබුණා. ඒක නිසා ඔහු ඒවාට අනුව ජීවත් වුණා. ඒ විතරක් නෙවෙයි අනිත් අයටත් ඒවා කියලා දුන්නා. (යොහ. 18:37) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ටත් ඒ සත්‍යයන් ගැන ලොකු අගයක් තියෙනවා. (යොහ. 4:23, 24) පේතෘස් ක්‍රිස්තියානියෙක් වෙන එක ‘සත්‍ය මාර්ගයේ ගමන් කරන’ එකට සමාන කළේ ඒ නිසයි. (2 පේතෘ. 2:2) මුල් ක්‍රිස්තියානීන්ට සත්‍යය ගැන තිබුණු අගය නිසා බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි වුණ ආගමික, සංස්කෘතික සහ පුද්ගලික අදහස් එයාලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. (කොලො. 2:8) ඒ වගේ අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීනුත් ‘සත්‍ය ඉගැන්වීම්වලට විශ්වාසවන්තව ඇලිලා ඉන්න’ එයාලට පුළුවන් හැම දේම කරනවා. එයාලා ජීවත් වෙන්නේ, එයාලගේ විශ්වාසයන් ගොඩනැඟිලා තියෙන්නේ බයිබලේ තියෙන සත්‍යයන්වලට අනුවයි.—3 යොහ. 3, 4.

12. අපි අවබෝධ කරගෙන ඉන්න දේවල් වෙනස් කරන්න ඕනෙ කියලා පෙරමුණ ගන්න අය තේරුම්ගත්තාම එයාලා මොකද කරන්නේ? එහෙම කරන්නේ ඇයි?

12 අපි බයිබලේ තියෙන හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන ඉවරයි කියලා අපි කියන්නේ නැහැ. බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන පැහැදිලි කරද්දී, සංවිධානයේ වැඩ කටයුතු වෙන විදිහ ගැන යම් මඟ පෙන්වීම් දෙද්දී සාක්ෂිකරුවන් අතිනුත් සමහර අවස්ථාවලදී වැරදි වෙලා තියෙනවා. ඒක ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද අපිට සත්‍යය ගැන නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ ක්‍රමක්‍රමයෙන් කියලා බයිබලේ කියනවා. (කොලො. 1:9, 10) ඉතින් යෙහෝවා දෙවියන් බයිබලේ තියන සත්‍යයන් අපිට අවබෝධ කරලා දෙන කල් අපි ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. (හිතෝ. 4:18) බයිබලේ තියෙන ඉගැන්වීමක් ගැන අපිට තියෙන අවබෝධය වෙනස් කරන්න ඕනෙ කියලා සංවිධානයේ පෙරමුණ ගන්න සහෝදරයන් තේරුම්ගත්තාම එයාලා අදිමදි නොකර අවශ්‍ය වෙනස්කම් කරනවා. අද ඉන්න ක්‍රිස්තියානි කියාගන්න හුඟක් ආගම් එයාලගේ ඉගැන්වීම්වල වෙනස්කම් කරන්නේ එයාලගේ සාමාජිකයන්ගේ එහෙමත් නැත්නම් අනිත් මිනිසුන්ගේ හිත් දිනාගන්නයි. හැබැයි යෙහෝවාගේ සංවිධානය යම් වෙනස්කම් කරන්නේ යේසුස් කියලා දුන්න විදිහට දෙවියන්ට නමස්කාර කරලා දෙවියන්ට තවත් ළං වෙන්න එයාලට ඕනෙ නිසයි. (යාකො. 4:4) අපි අපේ ඉගැන්වීම්වල යම් වෙනස්කම් කරන්නේ කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන ලෝකේ අදහස්වලට අනුව නෙවෙයි. ඒ වෙනුවට අපි එහෙම කරන්නේ බයිබලේ තියෙන සත්‍යයන් ගැන අපිට තියෙන අවබෝධය තවත් පැහැදිලි වෙන නිසයි. අපේ හිතේ ඇත්තටම සත්‍යය ගැන තියෙන්නේ ලොකු අගයක්.—1 තෙස. 2:3, 4.

අපි අනිත් අයට මුළු හදවතින්ම ආදරය කරනවා

13. සැබෑ ක්‍රිස්තියානීන්ට තියෙන්න ඕනම ගුණාංගය මොකක්ද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඒක තියෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

13 “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා යේසුස් කිව්වා. (යොහ. 13:34, 35) යේසුස් කිව්වා වගේම මුල් ක්‍රිස්තියානීන් අතර තිබුණ ගුණාංගවලින් වැඩිපුරම කැපිලා පෙනුණේ එයාලා අතර තිබුණ ආදරේ. අද මුළු ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් ආදරෙන් බැඳුණු එකමුතු පවුලක් වගෙයි. ජාතිය, කුලය, සමාජ මට්ටම වගේ දේවල් නිසා අද මුළු ලෝකෙම බෙදිලා හිටියත් සාක්ෂිකරුවන් අතර කිසිම බෙදීමක් නැහැ. අපේ රැස්වීම්වලදී, සමුළුවලදී අපි අතර කොච්චර ලොකු ආදරයක් තියෙනවාද කියලා හැමෝටම පැහැදිලි වෙනවා. යෙහෝවා පිළිගන්න විදිහට නමස්කාර කරන්නේ අපි විතරයි කියලා කියන්න ඒකත් හොඳ සාක්ෂියක්.

14. කොලොස්සි 3:12-14 අනුව අනිත් අයට ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් මොකක්ද?

14 “එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” කියලා බයිබලේ අපිව දිරිගන්වලා තියෙනවා. (1 පේතෘ. 4:8) අපි අතර තියෙන ඒ ආදරේ පෙන්නන්න පුළුවන් එක විදිහක් තමයි අනිත් අය අතින් අඩුපාඩුකම් වෙද්දී ඉවසලා එයාලට මුළු හදවතින්ම සමාව දෙන එක. අපි සභාවේ ඉන්න හැමෝටම ආගන්තුක සත්කාරය පෙන්නන්න, ත්‍යාගශීලී වෙන්න උත්සාහ කරනවා. කෙනෙක් අපේ හිත රිදෙව්වා කියලා අපි ඒක එයාලට නොකර ඉන්නේ නැහැ. (කොලොස්සි 3:12-14 කියවන්න.) අපි අනිත් අයට ඒ වගේ ආදරයක් පෙන්නද්දී අපි තමයි සැබෑ ක්‍රිස්තියානීන් කියලා ඔප්පු වෙනවා.

“අපගේ විශ්වාසයට ඇත්තේ එක පදනමක්ය”

15. අපි පළවෙනි සියවසේ ඉන්න ක්‍රිස්තියානීන්ට සමාන වෙන්නේ තවත් මොන වගේ විදිවලින්ද?

15 අපි තවත් හුඟක් විදිවලින් පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට සමාන වෙනවා. උදාහරණෙකට අපේ සංවිධානයේ චාරිකා සේවකයන්, වැඩිමහල්ලන්, සහායක සේවකයන් ඉන්නවා. පළවෙනි සියවසේ ක්‍රිස්තියානීනුත් සංවිධානය වෙලා හිටියේ ඒ විදිහටමයි. (ෆිලි. 1:1; තීත. 1:5) විවාහය සහ ලිංගික කාරණා ගැන, රුධිරය පරිශුද්ධ දෙයක් විදිහට සලකන එක ගැන සහ පසුතැවිලි නොවී දිගින් දිගටම වැරදි කරන අයගෙන් සභාව ආරක්ෂා කරගන්න එක ගැන අද අපිට තියෙන්නෙත් එදා හිටපු ක්‍රිස්තියානීන්ට තිබුණු ප්‍රතිපත්තිමයි.—ක්‍රියා 15:28, 29; 1 කොරි. 5:11-13; 6:9, 10; හෙබ්‍රෙ. 13:4.

16. එෆීස 4:4-6 කියන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 යේසුස් කිව්වා හුඟදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් කියලා කියාගත්තත් ඒ හැමෝම ඔහුගේ සැබෑ අනුගාමිකයන් වෙන්නේ නැහැ කියලා. (මතෙ. 7:21-23) ඒ වගේම අන්තිම කාලේ ඉන්න මිනිස්සු ‘අනිත් අයට පේන්න දෙවියන් සඳහා භක්තියකින් වැඩ කරනවා’ කියලා බයිබලයේ අනතුරු අඟවලා තියෙනවා. (2 තිමෝ. 3:1, 5) බයිබලේ පැහැදිලිවම කියනවා අපේ “විශ්වාසයට ඇත්තේ එක පදනමක්” කියලා. ඒ කියන්නේ දෙවියන් පිළිගන්නේ බයිබලේ තියෙන විදිහටම ඔහුට නමස්කාර කරන අයව විතරයි.—එෆීස 4:4-6 කියවන්න.

17. යේසුස් කියපු විදිහටම දෙවියන්ට නමස්කාර කරන්නේ කවුරු විතරයිද?

17 දෙවියන්ට නමස්කාර කරන විදිහ ගැන යේසුස් කියපු දේවලුත් මුල් සියවසේ ක්‍රිස්තියානීන් දෙවියන්ට නමස්කාර කරපු විදිහ ගැනත් අපි මේ ලිපියෙන් බැලුවා. ඒ විදිහටම අද කාලේ දෙවියන්ට නමස්කාර කරන්නේ කවුද? ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියලා මේ ලිපිය පුරා අපි බලපු සාක්ෂිවලින් හොඳටම පැහැදිලියි. යෙහෝවා දෙවියන් සහ ඔහු අරමුණු කරලා තියෙන දේවල් ගැන සත්‍යය දැනගන්න ලැබුණ එක ගැනත් ඔහුගේ තෝරගත්ත සෙනඟ වෙන්න ලැබුණ එක ගැනත් අපි කොච්චර සතුටු වෙනවාද! ඒ නිසා අපිට ලැබිලා තියෙන මේ වටිනා සත්‍යය කවදාවත් අත් නොහැර ඉන්න අපි අධිෂ්ඨාන කරගමු.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

^ 5 ඡේ. දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ විදිහ ගැන යේසුස් කියලා දුන්නේ මොනවාද කියලත් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ඒකට කීකරු වුණේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. දෙවියන් පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියලා පැහැදිලි වෙන සාක්ෂිත් අපි මේ ලිපියෙන් බලමු.

^ 9 ඡේ. 2010 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ 6වෙනි පිටුවේ තියෙන “මුල් ක්‍රිස්තියානීන් දෙවිගේ නම භාවිත කළාද?” කියන කොටුව බලන්න.

^ 10 ඡේ. උදාහරණෙකට 2008දී XVIවෙනි බෙනඩික්ට් පාප්වරයා “කතෝලික පූජාවලදීවත් ගීතිකාවලදීවත් යාච්ඤාවලදීවත් දෙවියන්ගේ නම පාවිච්චි කරන්න එපා” කියලා ප්‍රකාශයක් නිකුත් කළා.

^ 63 ඡේ. පින්තූරයේ අදහස: යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ‘නව ලොව පරිවර්තනය’ භාෂා 200කටත් වඩා වැඩියෙන් මුදාහැරලා තියෙන නිසා හුඟදෙනෙක්ට දෙවියන්ගේ නම සඳහන් වෙන බයිබලයක් තමන්ගේම භාෂාවෙන් කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවා.