Skip to content

පටුනට යන්න

යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න

යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න

හැම අවුරුද්දකම යෙහෝවාගේ වටිනා බැටළුවන් ගොඩදෙනෙක් ආයෙත් සභාවන්වලට එකතු වෙනවා. ඒක දකින “ස්වර්ගයේ සිටින දේවදූතයන් කොතරම් ප්‍රීති වෙනවා” ඇද්ද! (ලූක් 15:7, 10) ඔයාත් ඒ විදිහට ආයෙත් සභාවට එකතු වුණ කෙනෙක් නම් ඔයා ගැන යෙහෝවා, යේසුස්, දේවදූතයන් ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඔයා ආයෙත් යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ගොඩනඟාගද්දී සමහර අභියෝගවලට මුහුණ දෙන්න ඔයාට සිද්ධ වෙයි. ඒ මොනවාද? ඒවා ජය ගන්න ඔයාට පුළුවන් කොහොමද?

අභියෝග මොනවාද?

සභාවට ආයෙත් එකතු වුණාට පස්සෙත් සමහර අයට තමන්ගෙන් කිසි වැඩක් නැහැ කියලා හිතෙනවා. එයාලට දැනෙන්නෙත් දාවිත්ට දැනුණා වගේ. එයා කරපු වැරදිවලට යෙහෝවාගෙන් සමාව ලැබිලා තියෙද්දීත් දාවිත් කිව්වා “මා කළ වැරදි මා පිට පැමිණියේය” කියලා. (ගීතා. 40:12; 65:3) කෙනෙක් වැරදි හදාගෙන යෙහෝවා ළඟට ආපහු ආවත් අවුරුදු ගාණක් යන කල්ම එයාට ලොකු ලැජ්ජාවක්, තමන් වටින්නේ නැහැ කියන හැඟීමක් තියෙන්න පුළුවන්. ඉසබෙල්ව අවුරුදු 20කටත් වඩා වැඩි කාලෙකට සභාවෙන් ඉවත් කරලා තිබුණා. * “යෙහෝවා මගේ වැරදිවලට සමාව දීලා කියලා පිළිගන්න මට ගොඩක් අමාරු වුණා” කියලා එයා කියනවා. ඔයා ඒ විදිහට අධෛර්යය වුණොත් යෙහෝවාත් එක්ක තියෙන ඔයාගේ බැඳීම ආයෙත් දුර්වල වෙයි. (හිතෝ. 24:10) එහෙම වෙන්න දෙන්න එපා.

සභාවෙන් ඉවත් කරලා හිටපු කෙනෙක්ට ආයෙත් යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ගොඩක් දේවල් කරන්න වෙනවා. ඒ හැම දේම කරන්න බැරි වෙයි කියලා හිතලා සමහර අය අධෛර්යය වෙනවා. “මං කලින් නමස්කාරයේ දේවල් කරපු විදිහ දැන් මට සම්පූර්ණයෙන්ම අමතක වෙලා” කියලා ඇන්ට්වාන් කියනවා. ඒ වගේ හැඟීම් නිසා සමහර අය යෙහෝවා වෙනුවෙන් එයාලගේ උපරිමය කරන්න අදිමදි කරනවා.

හිතන්න සුළි කුණාටුවක් නිසා කෙනෙක්ගේ ගෙයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියලා. ඒ ගෙය ආයෙත් අලුතෙන් ගොඩනඟන්න කොච්චර කාලයක්, මහන්සියක් දරන්න වෙනවාද කියලා හිතද්දී සමහරවිට එයා අධෛර්යය වෙයි. ඒ වගේ, බරපතළ පාපයක් කරපු නිසා යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීමට ලොකු හානියක් වෙලා තියෙනවා නම් ඒ බැඳීම ආයෙත් ගොඩනඟාගන්න ලොකු වෑයමක් දරන්න ඔයාට සිද්ධ වෙයි. ඒ ගැන හිතද්දී සමහරවිට ඔයාත් අධෛර්යය වෙන්න පුළුවන්. හැබැයි ඔයා තනි වෙලා නැහැ. ඔයාට උදව් කරන්න හුඟදෙනෙක් ඉන්නවා.

“ජනයෙනි, එන්න. අපි සාකච්ඡා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනිමු. නැවතත් මා සමඟ හොඳ සබඳතාවක් ඇති කරගන්නා ආකාරය මම ඔබට කියා දෙන්නෙමි” කියලා යෙහෝවා ඔයාට කියනවා. (යෙසා. 1:18) ඔයා දැනටමත් ඒ දේ කරන්න ලොකු වෑයමක් දරලා තියෙනවා. ඒක දෙවියන් ගොඩක් අගය කරනවා. ටිකකට මේ ගැන හිතලා බලන්න. ඔයා දැනටමත් කරලා තියෙන දේවල් නිසා සාතන් කරන චෝදනා බොරුයි කියලා ඔප්පු කරන්න යෙහෝවාට පුළුවන් වෙලා තියෙනවා.—හිතෝ. 27:11.

ඔයා දැනටමත් යෙහෝවාට ළං වෙන්න පියවර අරන් තියෙන නිසා දෙවියනුත් ඔයාට ළං වෙනවා. (යාකො. 4:8) ඔයා ආයෙත් සභාවට එකතු වුණ එක ගොඩක් හොඳයි. හැබැයි ඔයාගේ පැත්තෙන් කරන්න තවත් දේවල් තියෙනවා. ඔයා දිගටම ඔයාගේ ආදරණීය තාත්තාට තවත් ළං වෙන්නත් ඔහු එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නත් මහන්සි වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?

සාධාරණ ඉලක්ක තියාගන්න

සාධාරණ ඉලක්ක තියාගන්න. යෙහෝවා දෙවියන් ගැන, ඔහු දීලා තියෙන පොරොන්දු ගැන තියෙන ඉගැන්වීම් ඔයාට තාමත් මතක ඇති. හැබැයි සේවේ යන එක, සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරන එක වගේ ඔයා ඉස්සර කරපු දේවල් ආයෙත් කරන්න ඔයාට පුරුදු වෙන්න සිද්ධ වෙයි. ඔයාට මේ වගේ ඉලක්ක තියාගන්න පුළුවන්.

නිතරම යෙහෝවාට කතා කරන්න. ඔයාගේ හිත වධ දෙන නිසා යාච්ඤා කරන එක ලේසි නැහැ කියලා යෙහෝවා දන්නවා. (රෝම 8:26) ඔයාට එහෙම දැනුණත් ආයෙත් දෙවියන්ට ළං වෙන්න ඔයාට ඕනෙ කියලා ‘නොකඩවාම යාච්ඤා කරලා’ කියන්න. (රෝම 12:12) අන්ද්‍රේ මෙහෙම කියනවා. “මගේ හිත ගොඩක් වධ දුන්නා. ලොකු ලැජ්ජාවකුත් දැනුණා. හැබැයි යෙහෝවාට යාච්ඤා කරන්න කරන්න මට දැනුණ ඒ හැඟීම් ටික ටික අඩු වුණා. ඒක නිසා මට ලොකු සහනයක් දැනුණා.” යාච්ඤා කරද්දී කියන්න ඕනෙ මොනවාද කියලා ඔයාට තේරෙන්නේ නැත්නම් ගීතාවලිය පොතේ 51 සහ 65 ගීතිකාවල පසුතැවිලි වුණ දාවිත් රජ යාච්ඤාවෙන් කියපු දේවල් ඔයාට උදව් වෙයි.

හැම දවසකම බයිබලය අධ්‍යයනය කරන්න. එහෙම කරද්දී ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්නත් යෙහෝවා ගැන තියෙන ආදරය තවත් වැඩි කරගන්නත් ඔයාට පුළුවන්. (ගීතා. 19:7-11) ෆෙලීපේ මෙහෙම කියනවා. “කලින් මම යෙහෝවාගෙන් ඈත් වෙලා වැරදි කරන්න පෙලඹුණේ බයිබලය අධ්‍යයනය කරන එක වගේ දේවල් හරියට කළේ නැති නිසයි. හැබැයි මට ආයෙත් ඒ දේ වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා මං අතපසු කරන්නේ නැතුව බයිබලය අධ්‍යයනය කළා.” ඔයාටත් ඒ දේම කරන්න පුළුවන්. අධ්‍යයනය කරන්න ඕනෙ මොන වගේ මාතෘකා ගැනද කියලා ඔයා හරියටම දන්නේ නැත්නම් අද්දැකීම් තියෙන කෙනෙක්ගෙන් ඒ ගැන අහන්න.

සහෝදර සහෝදරියන්ට ආයෙත් ළං වෙන්න. සභාවට ආයෙත් එකතු වෙන සමහර අය හිතනවා සභාවේ අය එයාලත් එක්ක ඉන්නේ කේන්තියෙන් කියලා. ඒ ගැන ලැරිසා කියන්නේ මෙහෙමයි. “මං කරපු දේ නිසා සභාවේ අයට ලොකු දුකක් දැනුණා කියලා මං දැනන් හිටියා. ඒ නිසා කාලයක් යන කල්ම මට ලොකු ලැජ්ජාවක් දැනුණා.” ආයෙත් යෙහෝවාට ළං වෙන්න ඔයා උත්සාහ කරද්දී ඔයාට උදව් කරන්න වැඩිමහල්ලනුයි අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියනුයි ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා මතක තියාගන්න. (“ වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් මොනවාද?” කියන කොටුව බලන්න.) ඔයා ආයෙත් සභාවට ආපු එක ගැන එයාලට ගොඩක් සතුටුයි. එයාලා ආස ඔයා හැමදාටම සතුටින් ඉන්නවා දකින්න.—හිතෝ. 17:17.

සහෝදර සහෝදරියන්ට ආයෙත් ළං වෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? එයාලත් එක්ක එකතු වෙලා රැස්වීම්, සේවේ යන එක ඔයාට උදව් වෙයි. ඒ ගැන ෆීලික්ස් මෙහෙම කියනවා. “මං ආයෙත් එන කල් සභාවේ අය හරිම ආසාවෙන් බලාගෙන හිටියා. එයාලා මට ගොඩක් ආදරෙයි කියලත් මට දැනුණා. එයාලා කියපු කරපු දේවල් නිසා ආයෙත් මං ඒ පවුලේ කොටසක් කියලා මට දැනුණා. කලින් සිද්ධ වුණ දේවල් අමතක කරලා ආයෙත් දෙවියන්ට සේවය කරන්න ඒ නිසා මට පුළුවන් වුණා.”—“ ඔයාට කරන්න පුළුවන් මොනවාද?” කියන කොටුව බලන්න.

උත්සාහය අත්හරින්න එපා!

ඔයා යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න උත්සාහ කරද්දී සාතන් අනිවාර්යයෙන්ම තවත් සුළි කුණාටු වගේ පීඩා ගෙනෙයි. (ලූක් 4:13) ඒවාට හොඳින් මුහුණ දෙන්න දැන් ඉඳලාම යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න.

යෙහෝවා ඔහුගෙන් ඈත් වුණ ආදරණීය බැටළුවන්ට මේ පොරොන්දුව දීලා තියෙනවා. “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි. අයාලේ ගිය බැටළුවන්ව නැවත රැගෙන එන්නෙමි. උන්ගේ තුවාලවලට බෙහෙත් බැඳ සාත්තු කරන්නෙමි. ලෙඩ වූ බැටළුවන්ව සුව කර ශක්තිමත් කරන්නෙමි.” (එස. 34:16) ආයෙත් ඔහු ළඟට එන්න දෙවියන් හුඟදෙනෙක්ට උදව් කරලා තියෙනවා. යෙහෝවාත් එක්ක තියෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා කියලා අමතක කරන්න එපා.

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.