Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 44

බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්න

බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්න

“යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.”—ගීතා. 27:14.

ගීතිකාව 144 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත

මේ ලිපියෙන් *

1. දෙවියන් අපිට දීලා තියෙන බලාපොරොත්තුව මොකක්ද?

 සදාකල් ජීවත් වෙන්න යෙහෝවා දෙවියන් අපට දීලා තියෙන බලාපොරොත්තුව මිල කරන්න බැහැ. සමහරු ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ගත කරන්න බලන් ඉන්නවා. (1 කොරි. 15:50, 53) හැබැයි ගොඩක් අය බලන් ඉන්නේ මේ පොළොවේ හැමදාටම සතුටින් ජීවත් වෙන්නයි. (එළි. 21:3, 4) අපේ බලාපොරොත්තුව මොකක් වුණත් ඒක අපිට හුඟක් වටිනවා.

2. අපේ බලාපොරොත්තුව ගැන අපිට කිසි සැකයක් නැත්තේ ඇයි?

2 “බලාපොරොත්තුව” කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන හොඳ දේවල් ගැන ආසාවෙන් බලාගෙන ඉන්න එකට. අපේ ජීවිතේට බලාපොරොත්තුවක් දීලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. (රෝම 15:13) ඒ නිසයි අපිට ඒ බලාපොරොත්තුව ගැන සැකයක් නැත්තේ. මොකද ඔහු කවදාවත් දීපු පොරොන්දු කඩ කරලා නැහැ. (ගණන්. 23:19) ඒ පොරොන්දු ඉටු කරන්න ඔහුට ලොකු ආසාවක් වගේම අසීමිත බලයකුත් තියෙනවා. ඒ නිසා අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්.

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවාද? (ගීතාවලිය 27:14)

3 දෙවියන් අපිට ගොඩක් ආදරෙයි. ඔහුට ඕනෙ අපි මුළු හදවතින්ම ඔහුව විශ්වාස කරනවා දකින්න. (ගීතාවලිය 27:14 කියවන්න.) ඔහු දිහා විශ්වාසයෙන් බලන් ඉන්නවා නම් ඕනම දේකට බය නැතුව, සතුටින් මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒත් බලාපොරොත්තුව නැංගුරමක් සහ හිස්වැස්මක් වගේ කියන්නේ ඇයි? බලාපොරොත්තුව අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද? ඒක ශක්තිමත්ව තියාගන්න අපිට පුළුවන් කොහොමද? අපි බලමු.

නැංගුරමක් වගේ

4. බලාපොරොත්තුව නැංගුරමක් වගේ කියලා කියන්න පුළුවන් ඇයි? (හෙබ්‍රෙව් 6:19)

4 පාවුල් බලාපොරොත්තුව නැංගුරමකට සමාන කළා. (හෙබ්‍රෙව් 6:19 කියවන්න.) මුහුදු ගමන් කියන්නේ පාවුල්ට නුහුරු දෙයක් නෙවෙයි. එයා දැනන් හිටියා නැවක් ගහගෙන යන එක වළක්වන්න නැංගුරමක් තියෙන්නම ඕනෙ කියලා. දවසක් පාවුල් නැවක ඉද්දී දරුණු කුණාටුවක් ආවා. ඒ වෙලාවේ නැව මුහුදුබත් වෙන එක වළක්වාගන්න ඒකේ හිටපු අය නැංගුරම් මුහුදට දැම්මා. (ක්‍රියා 27:29, 39-41) කුණාටු වගේ පීඩා එද්දී යෙහෝවාගෙන් ඈතට ගහගෙන යන්නේ නැතුව ස්ථිරව ඉන්න අපිට උදව් කරන්නේ අපේ බලාපොරොත්තුව කියන නැංගුරමයි. යේසුස් කිව්වා අපිට අනිවාර්යයෙන්ම පීඩා එනවා කියලා. (යොහ. 15:20) හැබැයි ඒ පීඩා හැමදාටම තියෙන්නේ නැහැ, ඒ හැම දෙයක්ම ළඟදීම හොඳ අතට හැරෙනවා. ඒ නිසා දෙවියන් දෙන්න යන ලස්සන කාලය ගැන අපි දිගටම හිතමු. මොකද කිසිම දේකට සැලෙන්නේ නැතුව දිගටම දෙවියන්ට සේවේ කරන්න ඒක උදව් වෙනවා.

5. මැරෙන්න වුණත් දිගටම ස්ථිරව ඉන්න බලාපොරොත්තුව යේසුස්ට උදව් වුණේ කොහොමද?

5 වේදනාත්මක මරණයක් අබියස වුණත් දිගටම ස්ථිරව ඉන්න යේසුස්ට බලාපොරොත්තුව උදව් වුණේ කොහොමද? ඒක තේරුම්ගන්න පේතෘස් ගීතාවලිය පොතෙන් උපුටලා දක්වපු අනාවැකියක් අපිට උදව් වෙනවා. ඒකේ මෙහෙම කියනවා. ‘මාගේ ජීවිතය ගැන මම බලාපොරොත්තුවෙන් සිටිමි. මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත. ඔබට පක්ෂපාතව සිටින තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත. ඔබ ඉදිරියේ සිටින විට මට සැමදා සතුට ලැබෙන්නේය.’ (ක්‍රියා 2:25-28; ගීතා. 16:8-11) මරණයට මුහුණ දෙන්න වුණත් යේසුස් සන්සුන්ව හිටියා. මොකද මැරුණත් දෙවියන් ඔහුව නැවත නැඟිට්ටනවා කියලත් ආයෙත් තාත්තා ළඟට යන්න පුළුවන් කියලත් යේසුස්ට ස්ථිර විශ්වාසයක් තිබුණා.—හෙබ්‍රෙ. 12:2, 3.

6. බලාපොරොත්තුව ගැන එක සහෝදරයෙක් කිව්වේ මොකක්ද?

6 පීඩා විඳදරාගන්න හුඟක් සහෝදරයන්ට බලාපොරොත්තුව උදව් වෙලා තියෙනවා. අපි දැන් සහෝදර ලෙනාඩ් චින්ගේ අද්දැකීම බලමු. පළවෙනි ලෝක මහා යුද්ධ කාලේදී හමුදාවට බැඳෙන්න අකමැති වුණ නිසා එයාව මාස දෙකක්ම හුදෙකලා කුටියක හිර කළා. ඊටපස්සේ එයාට බරපතළ වැඩ දුන්නා. නිදහස් වෙලා ආවට පස්සේ එයා මෙහෙම කිව්වා. “බලාපොරොත්තුවක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා මං ඉගෙනගත්තා. යේසුස්, නියෝජිතයන්, අනාගතවක්තෘවරුන් වගේ විශ්වාසවන්තව හිටපු ගොඩක් ආදර්ශ අපිට ඉන්නවා. බයිබලේ තියෙන බලාපොරොත්තුවත් පීඩා දරාගන්න අපිට ලොකු ශක්තියක්.” සහෝදර ලෙනාඩ් කළා වගේ අපිටත් පුළුවන් බලාපොරොත්තුව අපේ ජීවිතේ නැංගුරම කරගන්න.

7. පීඩා එද්දී බලාපොරොත්තුව තවත් ශක්තිමත් වෙන්නේ කොහොමද? (රෝම 5:3-5; යාකොබ් 1:12)

7 පීඩාවලට මුහුණ දෙනකොට දෙවියන් අපිට උදව් කරන විදිහ අපි දකිනවා. ඔහු අපි ගැන සතුටු වෙනවා කියලා දැනෙනවා. ඒ විදිහට ලොකු ලොකු පීඩාවලට මුහුණ දුන්නාම අපිට තේරෙයි අපි සත්‍යය පිළිගත්ත දවසට වඩා අපේ බලාපොරොත්තුව ශක්තිමත් වෙලා කියලා. (රෝම 5:3-5; යාකොබ් 1:12 කියවන්න.) සාතන්ට ඕනෙ පීඩා ගෙනල්ලා අපිව බයෙන් යටපත් කරන්න. ඒත් යෙහෝවාගේ උදව්වෙන් ඒ හැම එකක්ම ජය ගන්න අපිට පුළුවන්.

හිස්වැස්මක් වගේ

8. බලාපොරොත්තුව හිස්වැස්මකට සමාන කරන්න පුළුවන් ඇයි? (1 තෙසලෝනික 5:8)

8 බලාපොරොත්තුව හිස්වැස්මකටත් සමාන කරන්න පුළුවන්. (1 තෙසලෝනික 5:8 කියවන්න.) සතුරෙක් එක්ක සටන් කරද්දී සොල්දාදුවෙක් එයාගේ ඔළුව ආරක්ෂා කරගන්න හිස්වැස්මක් දානවා. අපිත් අද කරන්නේ සටනක්. ඒ සාතන් එක්ක. අපිව වරදකට පොලඹවන්න, අපේ මනස අවුල් කරන්න සාතන් නොකරන දෙයක් නැහැ. හුස්මක් කටක්වත් ගන්න දෙන්නේ නැතුව එයා අපිට එක පිට එක පරීක්ෂා ගේනවා. හැබැයි බලාපොරොත්තුව කියන හිස්වැස්ම දාගෙන සිතුවිලි ආරක්ෂා කරගත්තොත් අපිටත් පුළුවන් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න.

9. බලාපොරොත්තුවක් නැති අයට වෙන්නේ මොනවාද?

9 සදාකල් ජීවිතය ගැන ශක්තිමත් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඥානවන්ත තීරණ ගන්න ඒක උදව් වෙනවා. හැබැයි පරෙස්සම් වුණේ නැත්නම් මේ ලෝකේ අයගේ සිතුවිලි අපේ හිතටත් රිංගන්න පුළුවන්. එහෙම වුණොත් අපේ බලාපොරොත්තුව බොඳ වෙලා යයි. කොරින්ති සභාවේ හිටපු අයටත් ඒ වගේ දෙයක් වුණා. කාලයක් යද්දී දෙවියන් දීලා තියෙන වැදගත්ම පොරොන්දුවක් ඒ කියන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන එයාලගේ විශ්වාසය නැති වුණා. (1 කොරි. 15:12) පාවුල් එයාලට පෙන්නලා දුන්නා බලාපොරොත්තුවක් නැති අය හැම වෙලේම හදන්නේ එයාලගෙම ආශාවන් ඉටු කරගන්න කියලා. (1 කොරි. 15:32) අදත් වැඩිපුරම ඉන්නේ ඒ වගේ අය. හැබැයි අපි ඊට වඩා වෙනස්. මොකද දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන අපිට 100%ක් විශ්වාසයි. ඒ පොරොන්දු ගැන අපිට තියෙන බලාපොරොත්තුව හිස්වැස්මක් වගේ අපේ සිතුවිලි ආරක්ෂා කරනවා. ඒ වගේම අපේ ආශාවන්වලට වහල් වෙලා දෙවියන් එක්ක තියෙන බැඳීම පළුදු කරගන්නේ නැතුව ඉන්නත් ඒක උදව් වෙනවා.—1 කොරි. 15:33, 34.

10. අධෛර්යය කරවන සිතුවිලි අයින් කරන්න බලාපොරොත්තුව උදව් වෙන්නේ කොහොමද?

10 අධෛර්යය කරවන සිතුවිලිවලින් ආරක්ෂා වෙන්න බලාපොරොත්තුව උදව් වෙනවා. උදාහරණෙකට කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මට සදාකාල ජීවිතේ ලැබෙන්නේ නෑ. මොකද මට කවදාවත් යෙහෝවාව සතුටු කරන්න බෑ. ඒ නිසා කොච්චර කළත් වැඩක් නෑ.’ යෝබ්ගේ යාළුවා එලිෆස් කිව්වෙත් ඒ වගේම දෙයක්. “දූවිලි වැනි වූ මිනිසා පවිත්‍ර විය හැක්කේ කෙසේද? දෙවිට තම දූතයන් කෙරෙහිවත් විශ්වාසයක් නැත. ස්වර්ගයත් ඔහු සලකන්නේ අපවිත්‍ර ස්ථානයක් ලෙසය.” (යෝබ් 15:14, 15) මොන තරම් අමූලික බොරුවක්ද! අපි ඒ විදිහට හිතනවා දකින්න කැමති වෙන කවුරුත් නෙවෙයි සාතන්. මොකද දිගින් දිගටම අධෛර්යය වෙන දේවල් ගැන හිතුවොත් අපේ බලාපොරොත්තුවත් නැති වෙලා යනවා කියලා එයා දන්නවා. ඒ නිසා සාතන්ගේ බොරුවලට හිතේ කොනකවත් රැඳෙන්න ඉඩ දෙන්න එපා. දෙවියන් ඔයාට දීලා තියෙන පොරොන්දු ගැන හිතන්න. ඔයා හැමදාටම සතුටින් ජීවත් වෙනවා දකින්නයි ඔහු කැමති. ඒකට ඔයාට ඕනෙ කරන හැම උදව්වක්ම දෙන්න ඔහු ආසාවෙන් ඉන්නවා.—1 තිමෝ. 2:3, 4.

බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න

11. බලාපොරොත්තුව ඉටු වෙන කල් අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕනෙ ඇයි?

11 ඇත්ත, අපේ බලාපොරොත්තුව හැමදාම ශක්තිමත්ව තියාගන්න ලේසි නැහැ. දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කල් බලන් ඉඳලා ඉඳලා තවත් නම් ඉන්න බැහැ කියලා හිතෙන අවස්ථා එන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ යෙහෝවා දෙවියන් සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන කෙනෙක් කියලා. ඒ නිසා අපිට අවුරුදු ගාණක් ඔහුට හරිම සුළු කාලයක්. (2 පේතෘ. 3:8, 9) අපි හිතන වෙලාවට ඔහු පොරොන්දු ඉටු කළේ නැතත් හරිම වෙලාවට, හොඳම විදිහට ඒක කරයි කියලා අපිට විශ්වාසයි. ඒ වෙන කල් ඉවසීමෙන් බලන් ඉන්න ගමන් බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්න උදව් වෙන්නේ මොකක්ද?—යාකො. 5:7, 8.

12. බලාපොරොත්තුව සහ විශ්වාසය අතර තියෙන සම්බන්ධය මොකක්ද? (හෙබ්‍රෙව් 11:1, 6)

12 අපි දෙවියන්ට ළං වෙන තරමටම අපේ බලාපොරොත්තුවත් ශක්තිමත් වෙනවා. මොකද ඒ බලාපොරොත්තුව ඉටු කරන්නේ ඔහුයි. බයිබලේ කියනවා අපිට බලාපොරොත්තුවක් තියෙන්න නම් යෙහෝවා දෙවියන් ඉන්නවා කියලත් “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරනවා” කියලත් අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕනෙ කියලා. (හෙබ්‍රෙව් 11:1, 6 කියවන්න.) ඒ ගැන අපිට 100%ක් විශ්වාස නම් ඔහු දීලා තියෙන පොරොන්දු ගැනත් අපිට අංශුමාත්‍රයකවත් සැකයක් නැහැ. ඒත් යෙහෝවාට තව කිට්ටු වෙලා අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

යාච්ඤාව සහ ගැඹුරින් කල්පනා කරන එක අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරනවා (13-15 ඡේද බලන්න) *

13. දෙවියන්ට තව ළං වෙන්න පුළුවන් කොහොමද?

13 යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න, බයිබලේ කියවන්න. දෙවියන්ව පේන්නේ නැති වුණත් ඔහුට ළං වෙන්න අපිට පුළුවන්. යාච්ඤාවෙන් ඔහුට කතා කරන්න පුළුවන්. ඔහු අපේ යාච්ඤා අහනවා කියලා අපිට විශ්වාසයි. (යෙරෙ. 29:11, 12) අනිත් අතට, බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතද්දී අපි කරන්නේ ඔහුට ඇහුම්කන් දෙන එක. දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අයව ඔහු ආදරෙන් බලාගත්ත විදිහ ගැන කියවද්දී අපේ බලාපොරොත්තුවත් ශක්තිමත් වෙනවා. එහෙම බලද්දී බයිබලේ තියෙන මේ දේ කොච්චර ඇත්තක්ද! “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.”—රෝම 15:4.

14. අනිත් අය වෙනුවෙන් දෙවියන් කරලා තියෙන දේවල් ගැන අපි හිතන්න ඕනෙ ඇයි?

14 යෙහෝවා දෙවියන් පොරොන්දු ඉටු කරලා තියෙන විදිහ ගැන හිතන්න. දෙවියන් පොරොන්දු වුණා ආබ්‍රහම්ටයි, සාරාටයි දරුවෙක් දෙනවා කියලා. (උත්. 18:10) ඒ වෙලාවේ ආබ්‍රහම් කළේ මොනවාද? බයිබලේ මෙහෙම කියනවා. ‘ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියා වන බව දෙවි පවසද්දී ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක්ද තිබිණ.’ (රෝම 4:18) බැලූ බැල්මට මේක වෙන්න බැරි දෙයක්. මොකද ආබ්‍රහමුයි, සාරායි හිටියේ දරුවෝ හදන වයසක නෙවෙයි. හැබැයි දෙවියන් පොරොන්දුවක් දුන්නොත් ඒක අකුරටම ඉටු කරනවා කියලා ආබ්‍රහම්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය දෙවියන් කඩ කළේ නැහැ. (රෝම 4:19-21) මොකක්ද පාඩම? අපේ මනසින් කවදාවත් වෙන්න බැහැ කියලා හිතෙන දේවල් වුණත් ඉටු කරන එක යෙහෝවාට මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා ඔහු ගැන බලාපොරොත්තු තියන්න අපිට ඕන තරම් හේතු තියෙනවා.

15. දෙවියන් ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතන්න ඕනෙ ඇයි?

15 දෙවියන් ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතන්න. බයිබලේ තියෙන පොරොන්දුවලින් ඔයා දැනටමත් ප්‍රයෝජන ලබලා තියෙන විදිහ ගැන හිතන්න. උදාහරණෙකට, ජීවිතේට අත්‍යවශ්‍ය හැම දේම යෙහෝවා දෙවියන් ඔයාට දෙනවා කියලා යේසුස් පොරොන්දු වුණා. (මතෙ. 6:32, 33) දෙවිගේ බලය ඉල්ලද්දී ඒකත් දෙවියන් නොඅඩුව දෙනවා කියලා යේසුස් කිව්වා. (ලූක් 11:13) ඒ හැම පොරොන්දුවක්ම දෙවියන් ඉටු කරලා තියෙනවා නේද? ඒ විතරක් නෙවෙයි ඔහු ඔයා වෙනුවෙනුත් පෞද්ගලිකව ගොඩක් දේවල් පොරොන්දු වෙලා තියෙනවා. උදාහරණෙකට ඔයාගේ වැරදිවලට සමාව දෙනවා කියලා, පීඩාවලදී ඔයාව සනසනවා කියලා, ඔහුට ළං වෙලා ඉන්න අවශ්‍ය පෝෂණය දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (මතෙ. 6:14; 24:45; 2 කොරි. 1:3) ඒ පොරොන්දු දැනටමත් ඉටු කරලා තියෙන විදිහ ගැන හිතද්දී ඉස්සරහට ඔහු ඉටු කරන පොරොන්දු ගැනත් ඔයාට තියෙන විශ්වාසය තව ශක්තිමත් වෙයි.

බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න

16. බලාපොරොත්තුව අපිට හුඟක් වටින්නේ ඇයි?

16 සදාකාලයටම ජීවත් වෙන්න අපිට දීලා තියෙන බලාපොරොත්තුව දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. ඒක ඉටු වෙන කල් අපි ආසාවෙන් බලන් ඉන්නවා. පීඩා එද්දී කොටින්ම කිව්වොත් මරණය අබියසදී වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒ බලාපොරොත්තුව නැංගුරමක් වගේ අපිට ශක්තියක් වෙනවා. ඒ වගේම අපේ සිතුවිලි ආරක්ෂා කරගන්න, දිගටම හරි දේ කරන්න ඒක හිස්වැස්මක් වගේ අපිට උදව් වෙනවා. අපේ බලාපොරොත්තුව නිසා අපි දෙවියන්ට දවසින් දවස ළං වෙනවා. මොකද යෙහෝවා අපිට බලාපොරොත්තුවක් දීලා ඔහුගේ හිතේ අපි ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා පෙන්නලා තියෙනවා. එහෙනම් බලාපොරොත්තුව දිගටම ශක්තිමත්ව තියාගන්න එක කොච්චර වැදගත්ද!

17. සතුටින් ඉන්න බලාපොරොත්තුව උදව් වෙන්නේ කොහොමද?

17 “බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න” කියලා පාවුල් දිරිගැන්නුවා. (රෝම 12:12) දිගටම විශ්වාසවන්තව හිටියොත් තමන්ට ස්වර්ගයේ සදාකාල ජීවනය ලැබෙනවා කියලා පාවුල් දැනන් හිටියා. ඒ ගැන එයා ගොඩක් සතුටු වුණා. දෙවියන් පොරොන්දු වෙලා තියෙන හැම දෙයක්ම ඉටු කරනවා කියලා අපිටත් විශ්වාසයි නම් අපිටත් පුළුවන් සතුටින් ඉන්න. ඒකයි ගීතිකාකරු මෙහෙම කිව්වේ. ‘යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්. මොකද යෙහෝවා සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නේය.’—ගීතා. 146:5, 6.

ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න

^ අනාගතේ ගැන යෙහෝවා දෙවියන් අපිට ලස්සන බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව අපේ ජීවිතේට එළියක්. කොච්චර දරුණු පීඩා ආවත් ඒවා ගැනම හිතහිත ළත වෙන්නේ නැතුව දිගටම විශ්වාසවන්තව ඉන්න ඒක අපිට ලොකු හයියක්. ඒ වගේම අධෛර්යය කරවන සිතුවිලිවලට රැවටෙන්නේ නැතුව ඉන්නත් ඒක අපිට උදව් වෙනවා. අපේ බලාපොරොත්තුව දිගටම ශක්තිමත්ව තියාගන්න එකේ වැදගත්කම ගැන අපි මේ ලිපියෙන් බලනවා.

^ පින්තූරේ අදහස: හිස්වැස්මකින් සොල්දාදුවෙක්ගේ ඔළුව ආරක්ෂා වෙනවා. නැංගුරමකින් නැවක් ගහගෙන යන එක වළක්වනවා. ඒ වගේ, බලාපොරොත්තුවට පුළුවන් අපේ සිතුවිලි ආරක්ෂා කරන්න. පීඩා එද්දී විඳදරාගන්න ශක්තිය දෙන්න. සහෝදරියක් ලොකු විශ්වාසෙකින් යෙහෝවාට යාච්ඤා කරනවා. ආබ්‍රහම්ට දීපු පොරොන්දු දෙවියන් අකුරක් නෑර ඉටු කරපු විදිහ ගැන සහෝදරයෙක් හිතනවා. තවත් සහෝදරයෙක් දෙවියන් තමන්ට ආශීර්වාද කරලා තියෙන විදිහ ගැන හිතනවා.