පාඩම් ලිපිය 43
සැබෑ ප්‍රඥාවේ හඬ ඔයාට ඇහෙනවාද?
“සැබෑ ප්‍රඥාව සියල්ලන්ට ඇසෙන පරිදි වීථිවලද ප්‍රධාන මංසන්ධිවලද ශබ්ද නඟා කතා කරන්නීය.”—හිතෝ. 1:20.
ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න
මේ ලිපියෙන් *
1. බයිබලේ තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් ගැන හුඟක් අය හිතන්නේ කොහොමද? (හිතෝපදේශ 1:20, 21)
වීථි පුරා යන එන අයට සාක්ෂිකරුවන් හරිම සතුටින් සඟරා, පොත් පත් දෙන විදිහ අපිට නුහුරු දෙයක් නෙවෙයි. ඔයාත් කවදා හරි ඒ සේවේ කරලා තියෙනවාද? එහෙමනම් ඔයාටත් හිතෝපදේශ පොතේ කියන මේ දේ මතක් වෙන්න ඇති. ‘සැබෑ ප්‍රඥාව වීථිවලත් මංසන්ධිවලත් හඬ නඟනවා.’ (හිතෝපදේශ 1:20, 21 කියවන්න.) දෙවියන්ගෙන් ලැබෙන ඒ “සැබෑ ප්‍රඥාව” තමයි බයිබලේ සහ අපේ ප්රකාශනවල තියෙන්නේ. සදාකාල ජීවනයට යන පාරට අඩිය තියන්න නම් ඒ ප්‍රඥාව ලබාගන්නම ඕනේ. ඒ නිසයි කෙනෙක් අපේ ප්‍රකාශන කියවන්න කැමති වෙද්දී අපිට ලොකු සතුටක් දැනෙන්නේ. හැබැයි හැමෝම ඒකට කැමති නැහැ. සමහරු අපේ පණිවිඩය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා. තවත් අය සමච්චලේට හිනා වෙනවා. තවත් සමහරු හිතන්නේ බයිබලේ තියෙන්නේ ආදි කාලේ දේවල් කියලා. ඒ වගේම ‘බයිබලේ තියෙන සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන කෙනෙක් ඕනෑවට වඩා ධර්මිෂ්ඨ වෙන්න යනවා, එයාලා අනිත් අයගේ නිදහසටත් ඇඟිලි ගහනවා’ කියලා හිතන අයත් ඉන්නවා. ඒ මොනවා වුණත් දෙවියන් හරිම ආදරෙන් සැබෑ ප්‍රඥාව ලබාගන්න හැමෝටම අවස්ථාව දෙනවා.
2. සැබෑ ප්‍රඥාව ලබාගන්න පුළුවන් කොහෙන්ද? ඒත් හුඟක් අය කරන්නේ මොනවාද?
2 සැබෑ ප්‍රඥාවේ හඬ ඇහෙන එක තැනක් තමයි බයිබලය. දැන් ඕනම කෙනෙක්ට වගේ එයාලගෙම භාෂාවෙන් ඒ හඬ අහන්න අවස්ථාව තියෙනවා. එතකොට අපේ ප්‍රකාශන? දෙවියන්ගේ උදව්වෙන් ඒවාත් දැන් භාෂා 1,000කට වඩා වැඩි ගාණකින් තියෙනවා. කෙනෙක් බයිබලේ සහ ප්රකාශනවල තියෙන දේවල් ඉගෙනගෙන ඒවා ජීවිතේට අදාළ කරගද්දී ලැබෙන ප්‍රයෝජන කියලා නිම කරන්න බැහැ. හැබැයි හුඟක් අය ඒ ප්‍රඥාවේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා ඇහුම්කන් දෙන්නේ එයාලගෙම හිතට. එහෙම නැත්නම් තව කෙනෙක් කියන දේකට. අපි බයිබලේ තියෙන දේවල්වලට අනුව ජීවත් වෙද්දී එයාලා අපිවත් සලකන්නේ පහත් කරලා. මිනිස්සු එහෙම හැසිරෙන්නේ ඇයි කියලා අපි බලමු. හැබැයි ඊට කලින් දෙවියන්ගේ ප්‍රඥාව ලබාගන්න අපිට පුළුවන් කොහොමද කියලා අපි බලමු.
යෙහෝවා ගැන දැනුම ප්‍රඥාවට මඟ පාදයි
3. ප්‍රඥාවන්ත වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?
3 ප්‍රඥාව කියන්නේ අපිට තියෙන දැනුම පාවිච්චි කරලා හොඳ තීරණ ගන්න තියෙන හැකියාවට. හැබැයි සැබෑ ප්‍රඥාවට ඊට වඩා වැඩි දෙයක් ඇතුළත්. ඒ ගැන බයිබලේ කියන දේ බලන්න. “ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි. අවබෝධය යනු අතිශුද්ධ තැනැත්තාණන්ව දැන හඳුනා ගැනීමයි.” (හිතෝ. 9:10) අපි වැදගත් තීරණයක් ගන්න කලින් “අතිශුද්ධ තැනැත්තාණන්ව දැන හඳුනා ගන්න” ඕනේ. ඒ කියන්නේ දෙවියන් හිතන විදිහ හොඳට තේරුම්ගන්න ඕනේ. ඒකට බයිබලේ සහ අපේ ප්‍රකාශන හොඳින් අධ්‍යයනය කරන එක උදව් වෙනවා. එතකොට අපිටත් පුළුවන් ප්‍රඥාවන්ත අය වෙන්න.—හිතෝ. 2:5-7.
4. සැබෑ ප්‍රඥාව දෙන්න පුළුවන් එකම කෙනා යෙහෝවා දෙවියන් කියලා කියන්නේ ඇයි?
4 යෙහෝවා දෙවියන්ට විතරයි පුළුවන් අපිට සැබෑ ප්‍රඥාව දෙන්න. (රෝම 16:27) ඇයි එහෙම කියන්නේ? (1) ඔහු තමයි අපේ නිර්මාතෘ. ඔහුගේ නිර්මාණ ගැන ඔහුට අසීමිත අවබෝධයක් තියෙනවා. (ගීතා. 104:24) (2) දෙවියන් කරන හැම දේකින්ම ඔහු කොච්චර ප්‍රඥාවන්තද කියලා පේනවා. (රෝම 11:33) (3) යෙහෝවාගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩ කළොත් කවදාවත් වරදින්නේ නැහැ. (හිතෝ. 2:10-12) ප්‍රඥාවන්ත අය වෙන්න නම් අපිත් ඒ දේවල් පිළිගන්න ඕනේ. ඒ වගේම, දෙයක් කරන්න කලින් ඒ ගැන දෙවියන් හිතන්නේ මොනවාද කියලා හිතලා බලන්නත් ඕනේ.
5. යෙහෝවා දෙවියන් තමයි ප්‍රඥාවේ උල්පත කියලා පිළිගන්නේ නැති අයට වෙන්නේ මොනවාද?
5 සේවේදී හම්බ වෙන හුඟක් අය පිළිගන්නවා අපි අවට තියෙන දේවල් හරිම පුදුමාකාරයි කියලා. හැබැයි ඒ පිටිපස්සේ නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා එයාලා පිළිගන්නේ නැහැ. එයාලා කියන්නේ හැම දේම ඇති වුණේ පරිණාමයෙන් කියලා. තවත් අය දෙවි කෙනෙක්ව විශ්වාස කළත් බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න කැමැති නැහැ. මොකද එයාලා කියන්නේ ඒවා අද කාලෙට ගැළපෙන්නේ නැහැ කියලා. ඒ නිසා එයාලා එයාලගෙම ප්‍රඥාවට අනුවයි වැඩ කරන්නේ. එයාලා සාර්ථක වෙලා තියෙනවාද? දෙවියන්ගේ හඬට පිටුපාලා මේ ලෝකේ හොඳ තැනක් කරන්න එයාලට පුළුවන් වෙලා තියෙනවාද? එයාලගේ ජීවිතේට සතුටක්, බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවාද? කවදාවත් නැහැ. බයිබලේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.” (හිතෝ. 21:30) ඒකෙන් පැහැදිලියි දෙවියන්ගේ ප්‍රඥාව ලබාගන්න එක කොච්චර වැදගත්ද කියලා. හැබැයි හුඟක් අය ඒකට කැමති නැහැ. ඒ ඇයි?
සැබෑ ප්‍රඥාවේ හඬට කන් දෙන්නේ නැත්තේ ඇයි?
6. හිතෝපදේශ 1:22-25 කියන විදිහට සැබෑ ප්‍රඥාවේ හඬට කන් දෙන්නේ නැත්තේ කවුද?
6 සැබෑ ප්‍රඥාව කොච්චර ‘හයියෙන් හඬ නැඟුවත්’ හුඟක් අය කන්වල අගුල් දාගෙන ඉන්නවා. ඒ වගේ කණ්ඩායම් තුනක් ගැන බයිබලේ කියනවා. ඒ තමයි “අනුවණයන්” ඒ කියන්නේ අද්දැකීම් අඩු අය, “සමච්චල් කරන්නන්” සහ “අඥානයන්.” (හිතෝපදේශ 1:22-25 කියවන්න.) ඒත් එයාලා දෙවියන්ගේ ප්‍රඥාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඒ අය වගේ නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? දැන් අපි ඒ ගැන ටිකක් බලමු.
7. ‘අද්දැකීම් අඩු අය’ සැබෑ ප්‍රඥාව ලබාගන්න අකමැති වෙන්න පුළුවන් ඇයි?
7 සාමාන්‍යයෙන් ‘අද්දැකීම් අඩු කෙනෙක්’ අනිත් අය කියන ඕනම දෙයක් විශ්වාස කරනවා. (හිතෝ. 14:15) ඒ වගේ අයව අපිට සේවෙදීත් හම්බ වෙනවා. ආගමික නායකයන්ගේ, දේශපාලනඥයන්ගේ බොරුවලට අද කීදෙනෙක් නම් රැවටෙනවාද! හැබැයි ඇත්ත දැනගත්තාම එයාලගෙන් සමහරු ඒ ගැන කලකිරෙනවා. හිතෝපදේශ 1:22 අද්දැකීම් අඩු අය කියලා කියන්නේ ඒ වගේ අයට නම් නෙවෙයි. එතන කතා කරන්නේ බයිබලේ තියෙන දේවල් හොයලා බලලා ජීවිතේ වෙනස්කම් කරගන්න ආස නැති අය ගැන. එයාලා හිතාමතාමයි දෙවියන් අකමැති දේවල් කරන්නේ. (යෙරෙ. 5:31) එයාලා කරන දේවල් ගැන කවදා හරි ගණන් දෙන්න වෙනවා කියලවත් එයාලා තේරුම්ගන්නේ නැහැ. දවසක් සාක්ෂිකරුවෙක් කැනඩාවේ ක්විබෙක්වල ඉන්න කාන්තාවකට අපේ පණිවිඩේ කිව්වා. එතකොට එයා කියපු දේ බලන්න. “පූජකයා අපිව රවට්ටනවා නං අපි මොනා කරන්නද! එයාට තමයි දෙවියන්ට ගණන් දෙන්න වෙන්නේ.” ඒකෙන් පැහැදිලියි ඇත්ත දැනගෙන වෙනස්කම් කරන්න එයාට කිසිම වුවමනාවක් නැහැ කියලා. ඒ වගේ අනුවණ විදිහට වැඩ කරන්න අපි ආස නැහැ.—හිතෝ. 1:32; 27:12.
8. අද්දැකීම් ලබාගෙන අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න අපිට පුළුවන් කොහොමද?
8 බයිබලේ අපිව දිරිගන්වනවා දිගටම අද්දැකීම් අඩු අය විදිහට ඉන්නේ නැතුව “වැඩිහිටියෙක් මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න” කියලා. (1 කොරි. 14:20) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගද්දී ජීවිතේට අද්දැකීම් එකතු කරගන්න අපිට පුළුවන්. ඒ කොහොමද? මොකද එහෙම කරද්දී ප්‍රශ්න මඟහැර ගන්නත් හොඳ තීරණ ගන්නත් පුළුවන් කියලා අපි අද්දැකීමෙන්ම තේරුම්ගන්නවා. අපි හැමෝටම පුළුවන් අපි දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට අනුවද තීරණ ගන්නේ කියලා කාලෙන් කාලෙට අපිවම සෝදිසි කරලා බලන්න. ඔයා කාලයක් තිස්සේ බයිබලේ අධ්‍යයනය කරන, රැස්වීම්වලට සහභාගි වෙන කෙනෙක්ද? එහෙමනම් ‘මං තාම දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණේ නැත්තේ ඇයි’ කියලා හිතලා බලන්න. ඔයා දැනටමත් බව්තීස්ම වුණ කෙනෙක්ද? එහෙමනම් මේ ගැන හිතන්න. ‘සේවේ මීට වඩා දක්ෂ වෙන්න මට පුළුවන්ද? මගේ තීරණවලින් පේනවාද මං බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා කියලා? මට හොඳ ගුණාංග තියෙනවා කියලා අනිත් අයත් එක්ක වැඩ කරන විදිහෙන් පේනවාද?’ ඒ එක පැත්තකින් හරි තව දියුණු වෙන්න ඕනෙ කියලා හිතුණොත් යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්න. මොකද ඔහුට පුළුවන් “අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ලබා දෙන්න.”—ගීතා. 19:7.
9. “සමච්චල් කරන්නන්” දෙවියන්ගේ ප්‍රඥාව ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද?
9 දෙවියන්ගේ ප්‍රඥාව ප්‍රතික්ෂේප කරන තවත් කට්ටියක් තමයි “සමච්චල් කරන්නන්.” ඒ වගේ අයවත් අපිට සේවේදී හම්බ වෙනවා. එයාලා අනිත් අයට අපහාස කරලා විනෝදයක් ලබනවා. (ගීතා. 123:4) බයිබලේ කියනවා අන්තිම කාලේදී ඒ වගේ හුඟදෙනෙක් ඉන්නවා කියලා. (2 පේතෘ. 3:3, 4) එයාලත් හරියට ලොත්ගේ බෑනලා වගේ. දෙවියන්ගේ අනතුරු ඇඟවීම් කනකටවත් ගන්නේ නැහැ. (උත්. 19:14) එයාලා මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවා මදිවට ඒවා පිළිපදින අයටත් සමච්චල් කරනවා. බයිබලේ කියනවා ‘එයාලා උත්සාහ කරන්නේ දෙවියන්ට අගෞරවයක් ගේන ආශාවන් තෘප්තිමත් කරගන්න’ කියලා. (යූද් 7, 17, 18) සමච්චල් කරන අයට සත්‍යයට විරුද්ධව කැරලි ගහන අය වගේම යෙහෝවාව ප්‍රතික්ෂේප කරන අයත් ඇතුළත්.
10. ගීතාවලිය 1:1 කියන විදිහට සමච්චල් කරන්නන් වගේ නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?
10 සමච්චල් කරන අය වගේ නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි අනිත් අයගේ වැරදි හොයන, අනිත් අයව පහත් කරන අයව ආශ්‍රය නොකර ඉන්න එක. (ගීතාවලිය 1:1 කියවන්න.) සත්‍යය අත්හැරලා ගිය අය කියන දේවල්, එයාලා පළ කරන තොරතුරු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන එකත් ඒකට ඇතුළත්. එහෙම නොකළොත් සමහරවිට දෙවියන් ගැන, සංවිධානය ගැන අපේ හිතේ සැක මතු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් අපෙන්ම මේ වගේ ප්‍රශ්න අහගන්න. ‘සංවිධානයෙන් අලුත් මඟ පෙන්වීමක් ගැන, අලුත් අවබෝධයක් ගැන කියද්දී මං එකපාරටම පෙලඹෙන්නේ ඒකේ වැරැද්දක් හොයන්නද? මං හැම වෙලේම පෙරමුණ අරන් වැඩ කරන අයගේ වැරදි හොයනවාද?’ ඒ පැතිවලින් පුංචි හරි දෙයක් හදාගන්න ඕනෙ කියලා ඔයාට තේරුණොත් කල් දාන්න එපා. ඉක්මනටම පියවර ගන්න. එහෙම කළොත් යෙහෝවා දෙවියන් ඔයා ගැන හුඟක් සතුටු වෙයි.—හිතෝ. 3:34, 35.
11. යෙහෝවා දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති ගැන “අඥානයන්” හිතන්නේ මොනවාද?
11 දෙවියන්ගේ ප්‍රඥාවට ඇහුම්කන් දෙන්නේ නැති තුන්වෙනි කණ්ඩායම තමයි “අඥානයන්.” යෙහෝවාගේ උසස් සදාචාර ප්‍රමිති රකිනවා වෙනුවට එයාලට හරියි කියලා හිතෙන විදිහට ජීවත් වෙන නිසයි එයාලට අඥානයන් කියන්නේ. (හිතෝ. 12:15) ඒ වගේ අය සැබෑ ප්‍රඥාවේ උල්පත වන යෙහෝවා දෙවියන්වත් ප්‍රතික්ෂේප කරනවා. (ගීතා. 53:1) සේවේදී අපිට ඒ වගේ අයවත් හම්බ වෙනවා. එයාලා බයිබල් ප්‍රතිපත්ති පහත් කරනවා විතරක් නෙවෙයි ඒ අනුව ජීවත් වෙන අපිවත් පහත් කරනවා. හැබැයි එයාලා දිහා බැලුවාම පේනවා ඒ ජීවිත අවුල් ජාලාවක් කියලා. ඒ නිසයි බයිබලේ මෙහෙම කියන්නේ. “මෝඩයාට සැබෑ ප්‍රඥාව අත් කරගත නොහැකිය. ඔහු කිසිවිටක නුවර දොරටුව අසලදී තම මුඛය නාරින්නේය.” (හිතෝ. 24:7) අඥානයෝ බයිබලේ තියෙන මඟ පෙන්වීම් පිළිපදින්නෙත් නැහැ. ඒ වගේම කටක් ඇරලා හරි මඟ පෙන්වීමක් දෙන්නත් එයාලට බැහැ. එහෙම බලද්දී “අඥානයන්ගෙන් ඈත් වෙන්න” කියලා යෙහෝවා අපිට අනතුරු අඟවලා තියෙන එක පුදුමයක්ද!—හිතෝ. 14:7.
12. අඥානයන් නොවී ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද?
12 අපි බලපු විදිහට සමහරු දෙවියන්ගේ මඟ පෙන්වීම් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. හැබැයි දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති ඇතුළුව ඔහුගේ හැම මඟ පෙන්වීමක් ගැනම අපි අපේ හිතේ අගයක් ඇති කරගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද? ඒකට දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිපදින අයයි, පිළිපදින්නේ නැති අයයි අතර වෙනස ගැන හිතලා බලන්න අපිට පුළුවන්. අද මිනිස්සු අඥාන විදිහට දෙවියන්ගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරන නිසා කොච්චර අමිහිරි ප්‍රතිඵල අද්දකිනවාද! ඒත් අපි ඒවාට කීකරු වෙන එකෙන් කොච්චර ප්‍රයෝජන ලබනවාද!—ගීතා. 32:8, 10.
13. දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න කියලා ඔහු අපිට බල කරනවාද?
13 සැබෑ ප්‍රඥාවේ හඬට ඇහුම්කන් දෙන්න දෙවියන් හැම කෙනෙක්ටම අවස්ථාව දීලා තියෙනවා. හැබැයි ඔහු කාටවත් බල කරන්නේ නැහැ. ඒත් ඒ ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් නොසලකා හරින අයට අන්තිමේදී වෙන්නේ මොනවාද කියලා ඔහු කියලා තියෙනවා. (හිතෝ. 1:29-32) සැබෑ ප්‍රඥාවට පයින් ගහන අයට අනිවාර්යයෙන්ම ‘එයාලගේ ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න සිද්ධ වෙනවා.’ සමහරවිට ඒක ඉක්මනටම වුණේ නැතත් කවදා හරි එයාලා ගත්ත අනුවණ තීරණවල අමිහිරි ප්‍රතිඵල විඳින්න වෙනවාමයි. අන්තිමේදී එයාලට අත් වෙන්නේ විනාශය විතරයි. ඊට වෙනස්ව යෙහෝවාට ඇහුම්කන් දෙන අයට අන්තිමේදී වෙන දේ ගැන ඔහු මෙහෙම කියනවා. “මට සවන් දෙන තැනැත්තා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය.”—හිතෝ. 1:33.
සැබෑ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි
14-15. හිතෝපදේශ 4:23 අපි ඉගෙනගන්නේ මොනවාද?
14 අපි දෙවියන්ගේ ප්‍රඥාවන්ත උපදෙස් අදාළ කරගද්දී හැම වෙලේම ප්‍රයෝජන ලැබෙනවා. කලිනුත් බැලුවා වගේ ඔහු ඒවා ලබාගන්න ඕනම කෙනෙක්ට අවස්ථාව දීලා තියෙනවා. උදාහරණෙකට අද කාලෙට ගැළපෙන හුඟක් මඟ පෙන්වීම් අපිට හිතෝපදේශ පොතෙන් හොයාගන්න පුළුවන්. ඒවා අදාළ කරගද්දී අපේ ජීවිත සාර්ථක වෙනවා. අපි දැන් ඒ වගේ මඟ පෙන්වීම් හතරක් ගැන බලමු.
15 හිත ආරක්ෂා කරගන්න. බයිබලේ මෙහෙම කියනවා. “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය.” (හිතෝ. 4:23) හිතන්න, අපේ හෘදය වස්තුව ආරක්ෂා කරගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? ඒකට පෝෂ්‍යදායි කෑම ගන්න එක, හොඳට ව්‍යායාම් කරන එක සහ නරක පුරුදුවලින් ඈත් වෙලා ඉන්න එක වැදගත්. ඒ වගේම දෙයක් තමයි හිත ආරක්ෂා කරද්දීත් කරන්න ඕනේ. ඒකට අපි හැමදාම දේවවචනයෙන් පෝෂණය වෙන්න ඕනේ. රැස්වීම්වලට හොඳට ලෑස්ති වෙන එක, රැස්වීම් යන එක වගේම රැස්වීමේදී හොඳින් අදහස් දක්වන එකත් වැදගත්. අපි නොකඩවා සේවේ හවුල් වෙන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි පහත් විනෝදාංශ, නරක ආශ්‍රය වගේ අපේ මනස දූෂණය කරලා අපිව නරක පුරුදුවලට ඇදලා දාන හැම දේකින්ම ඈත් වෙන්නත් ඕනේ.
16. හිතෝපදේශ 23:4, 5 තියෙන උපදෙස් අද කාලෙට ගැළපෙන්නේ ඇයි?
16 තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න. බයිබලේ මෙහෙම කියනවා. ‘පොහොසත් වීමට වෙහෙස නොවන්න. සුළු මොහොතකින් නැති වී යන වස්තුව කෙරෙහි ඔබේ සිත ඇදී ගොස් ඇද්ද? ඔබ බලා සිටියදීම එය රාජාලියෙකු මෙන් තටු විහිදා ඈතින් ඈතට පියඹා යයි.’ (හිතෝ. 23:4, 5) ධන සම්පත් හැමදාම තියෙන දෙයක් නෙවෙයි. හැබැයි අද දුප්පත්, පෝසත් හැමෝම ඒවාට වහ වැටිලා ඒවා පස්සේ දුවනවා. ඒ නිසා හුඟක් අය එයාලගේ නම කැත කරගෙන තියෙනවා. බැඳීම් පළුඳු කරගෙන තියෙනවා. ඒ වගේම ගොඩක් අසනීප වෙලාත් තියෙනවා. (හිතෝ. 28:20; 1 තිමෝ. 6:9, 10) හැබැයි ධන සම්පත් ගැන හරි විදිහට හිතන්න දෙවියන්ගේ ප්‍රඥාව අපිට උදව් වෙනවා. ඒ නිසා ඒවාට කෑදර වෙන්නේ නැතුව තියෙන දෙයින් සෑහීමට පත් වෙලා නියම සතුට විඳින්න අපිට පුළුවන්.—දේශ. 7:12.
17. හිතෝපදේශ 12:18 කියන විදිහට ‘ප්‍රඥාවන්තව’ කතා කරන්න අපිට පුළුවන් කොහොමද?
17 කතා කරන්න කලින් හිතන්න. පරෙස්සම් වුණේ නැත්නම් අපි කියන දේවල්වලින් අනිත් අයට හානියක් වෙන්න පුළුවන්. බලන්න ඒ ගැන බයිබලේ කියන දේ. “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි. නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.” (හිතෝ. 12:18) ඒ වගේම තමයි අපි අනිත් අය ගැන ඕපාදූප පතුරුවනවා නම් අපි අතර තියෙන බැඳීම් කැඩිලා බිඳිලා යන්න පුළුවන්. (හිතෝ. 20:19) කෙනෙක්ව රිද්දනවා වෙනුවට අපේ වචනවලින් එයාට සුවයක් වෙන්නයි අපිට ඕනේ. ඒකට අපි හැමදාම දෙවියන්ගේ මඟ පෙන්වීම්වලින් අපේ හිත පෝෂණය කරගන්න එක වැදගත්. (ලූක් 6:45) දෙවියන්ගේ “ප්‍රඥාව දිය උනන උල්පතක්” වගේ. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා නම් අනිත් අයව ප්‍රබෝධවත් කරන්න අපිටත් පුළුවන්.—හිතෝ. 18:4.
18. සේවේ දක්ෂ විදිහට කරන්න හිතෝපදේශ 24:6 අපිට උදව් වෙන්නේ කොහොමද?
18 සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. බයිබලේ මෙහෙම කියනවා. “යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න. උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම ඇත.” (හිතෝ. 24:6) දේශනා කරද්දී, උගන්වද්දී ඒ ප්‍රතිපත්තිය අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඒකට අපි අපිට ඕන ඕන විදිහට උගන්වනවා වෙනුවට හැම වෙලේම සංවිධානයෙන් දෙන මඟ පෙන්වීමට කීකරු වෙන්න ඕනේ. ඒ වගේ මඟ පෙන්වීම් රැස්වීම්වලින්, දේශනවලින්, සාකච්ඡාවකට යෝජනාවලින් අපිට ඕන තරම් ලැබෙනවා. ඊට අමතරව සේවේට උදව් වෙන ප්‍රකාශන, වීඩියෝ සංවිධානයෙන් ඕන තරම් දීලා තියෙනවා. කෙනෙක්ගේ හදවතේ දෙවියන්ගේ පණිවිඩය තැන්පත් කරන්න ඔයා ඒවා පාවිච්චි කරනවාද?
19. යෙහෝවා දෙවියන් දෙන ප්‍රඥාව ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? (හිතෝපදේශ 3:13-18)
19 හිතෝපදේශ 3:13-18 කියවන්න. සැබෑ ප්‍රඥාව යෙහෝවා දෙවියන් තමන්ගේ වචනයේ ගබඩා කරලා තියෙන එක ගැන අපි කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! හිතන්න, ඒ ප්‍රඥාව ලැබුණේ නැත්නම් අද අපේ ජීවිතවලට මොනවා වෙලා තියෙයිද කියලා. අපි මේ ලිපියෙන් බැලුවා හිතෝපදේශ පොතේ තියෙන අද කාලෙට ගැළපෙන ඒ වගේ මඟ පෙන්වීම් කීපයක් ගැන. ඒ පොතේ විතරක් නෙවෙයි බයිබලේ හැම පිටුවක් අතරෙම ඒ වගේ මඟ පෙන්වීම් ඕන තරම් තියෙනවා. ඒ නිසා දිගටම ඒ සැබෑ ප්‍රඥාවට කන් යොමු කරන්න අපි අධිෂ්ඨාන කරගමු. මේ ලෝකේ අය ඒ ප්‍රඥාව ගැන හිතන විදිහ අපිට වැඩක් නැහැ. මොකද අපි දන්නවා අපි ඒ ‘ප්‍රඥාව අත් කරගෙන තදින් අල්ලගෙන හිටියොත් ඒකෙන් අනිවාර්යයෙන්ම අපිට සන්තෝෂය ලැබෙනවා’ කියලා.
ගීතිකාව 36 අපේ සිත ආරක්ෂා කරගමු
^ යෙහෝවා දෙවියන් දෙන ප්‍රඥාව මේ ලෝකේ තියෙන කිසිම දේකට සමාන කරන්න බැහැ. හිතෝපදේශ පොතේ ඒ ප්‍රඥාව වීථිවල සහ මංසන්ධිවල නැඟෙන හඬකට සමාන කරලා තියෙනවා. ඒත් ඒ ප්‍රඥාව ලබාගන්න පුළුවන් කොහොමද? සමහරු ඒ හඬ ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ ඇයි? ඒ ප්‍රඥාවට ඇහුම්කන් දෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.