ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මැඩගස්කරය
“ප්‍රචාරකයන් අඩු පැතිවලට ගිහින් සේවේ කරපු මගේ යාළුවන්ගේ අද්දැකීම් ගැන අහද්දී ඒ සේවේ රස බලන්න මටත් ආස හිතුණා. ඒත් මට බයක් දැනුණා මං වගේ කෙනෙක් කොහොමද ඒ සේවේ කරන්නේ කියලා.” එහෙම කිව්වේ අවුරුදු 20 ගණන්වල ඉන්න සිල්වියානා.
ඔයාටත් සිල්වියානාට හැඟුණා වගේ හැඟිලා තියෙනවාද? ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න ආසාවෙන් හිටියත් ඒක ඔයාට කවදාවත් කරන්න බැරි වෙයි කියලා හිතෙනවාද? අධෛර්යය වෙන්න එපා. යෙහෝවා දෙවිගේ උදව්වෙන් සහෝදර සහෝදරියන් දහස් ගාණක් සේවය වැඩියෙන් කරන්න එයාලට තිබුණ බාධා ජය අරන් තියෙනවා. දැන් අපි මැඩගස්කරයේ සේවය කරන ඒ වගේ සහෝදර සහෝදරියන් කීපදෙනෙක්ගේ අද්දැකීම් බලමු.
මැඩගස්කරය කියන්නේ ලෝකේ 4වෙනියට තියෙන ලොකුම දූපත. මේ දූපතේ ඉන්න හුඟදෙනෙක් බයිබලේට ගොඩක් ගරු කරනවා. දේවරාජ්‍යය ගැන පණිවිඩය දූපතේ අස්සක් මුල්ලක් නෑර පතුරුවන්න පහුගිය අවුරුදු 10 ඇතුළත රටවල් 11කින් * පුරෝගාමීන් සහ ප්‍රචාරකයන් 70කට වඩා වැඩිදෙනෙක් මෙහෙට ඇවිත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඉන්න සමහර ප්‍රචාරකයනුත් පුරෝගාමීන් අඩු පැතිවලට ගිහින් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා.
දැනුණ බයෙන් ගොඩ ආවා
ප්‍රංශයෙන් මැඩගස්කරයට ආපු ලුයී සහ පෙරීන් වයස 30 ගණන්වල ඉන්න යුවළක්. එයාලා අවුරුදු ගාණක් තිස්සේ වෙනත් රටකට ගිහින් සේවය කරන එක ගැන හිතුවා. ඒත් පෙරීන් මෙහෙම කියනවා. “පවුලේ අය, සභාවේ අය, අපේ පුංචි ගේ, අපිට හුරු පුරුදු හැම දෙයක්ම අත්හැරලා අපි කවදාවත් ගිහින් නැති තැනකට යන එක ගැන මට බයක් දැනුණා. ඒක තමයි මට තිබුණ ලොකුම අභියෝගේ.” ඒත් ඒ බයෙන් ගොඩ ආපු පෙරීන්, 2012දී ලුයී එක්ක මැඩගස්කරයට ගියා. ඒ තීරණය ගැන අද එයාට හැඟෙන්නේ කොහොමද? “යෙහෝවා දෙවි අපිත් එක්කම ඉඳලා අපිට උදව් කරපු විදිහ අපි පෞද්ගලිකව අද්දැක්කා. ඒකෙන් අපේ විශ්වාසය පුදුම විදිහට ශක්තිමත් වුණා” කියලා පෙරීන් කියනවා. ලුයී මෙහෙම කියනවා. “මෙහෙට ආවාට පස්සේ තිබුණ පළවෙනි සිහි කිරීමට අපිත් එක්ක පාඩම් කරපු 10දෙනෙක්ම ආවා. අපිට
කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද?”ප්‍රශ්න එද්දී අධෛර්යය වෙලා පැවරුම අත්හරින්නේ නැතුව ඉන්න එයාලට උදව් වුණේ මොකක්ද? එයාලා උදව් ඉල්ලලා යෙහෝවා දෙවිට කන්නලව් කළා. (ෆිලි. 4:13) ලුයී මෙහෙම කියනවා. “‘දෙවි ලබා දෙන සමාදානය’ අද්දකිද්දී යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නා කියලා අපිට ස්ථිර වුණා. ප්‍රශ්න තිබුණත් ඒවා ගැනම හිතන්නේ නැතුව සේවෙන් ලැබෙන සතුට ගැන වැඩියෙන් හිතන්න අපිට පුළුවන් වුණා. ප්‍රංශයේ හිටපු අපේ යාළුවොත් ඊ-මේල්, ලියුම් එවලා සේවේ දිගටම කරගෙන යන්න අපිව දිරිගැන්නුවා.”—ෆිලි. 4:6, 7; 2 කොරි. 4:7.
ලුයී සහ පෙරීන් කරපු කැප කිරීම්වලට යෙහෝවා දෙවි ආශීර්වාද කළාද? ඒ ගැන ලුයී කියන්නේ මෙහෙමයි. “2014 ඔක්තෝබර් මාසේ ප්‍රංශයේ තිබුණ විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලට * සහභාගි වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒක අපිට දෙවිගෙන් ලැබුණ වටිනා තෑග්ගක්. ඒ පුහුණුව අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.” ඒ පාසැලේ පුහුණුවෙන් පස්සේ ඒ දෙන්නාට ආයෙත් මැඩගස්කරයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා.
“ඒක අපිටත් ලොකු සතුටක්!”
මැදි වියේ හිටපු ඩිඩියේ සහ නාඩීන් සේවය කරන්න 2010දී මැඩගස්කරයට ආවා. එයාලත් ප්‍රංශ ජාතිකයන්. ඩිඩියේ මෙහෙම කියනවා. “තරුණ කාලේ අපි දෙන්නා පුරෝගාමි සේවේ කළා. ඒත් ඊටපස්සේ අපි දරුවෝ තුන්දෙනෙක්ව ඇතිදැඩි කළා. එයාලා වැඩිහිටි වයසට ආවාම වෙන රටකට ගිහින් සේවේ කරන එක ගැන අපි හිතුවා.” නාඩීන්ට හැඟුණ විදිහ ගැන එයා කිව්වේ මෙහෙමයි. “ළමයින්ගෙන් ඈත් වෙන එක ගැන හිතද්දී මට දැනුණේ ලොකු දුකක්. ඒත් එයාලා අපිට කිව්වා ‘ඔයාලා වෙන රටකට ගිහින් සේවේ කළොත් ඒක අපිටත් ලොකු සතුටක්’ කියලා. තීරණයක් ගන්න එයාලා කියපු ඒ දේ අපිට ලොකු හයියක් වුණා. දැන් අපි ඉන්නේ දරුවන්ගෙන් ගොඩක් ඈත වුණත් අපි නිතරම වගේ එයාලත් එක්ක කතාබහ කරනවා. ඒක අපිට සතුටක්.”
ඩිඩියේට සහ නාඩීන්ට මැලගැසි භාෂාව ඉගෙනගන්න එකත් අභියෝගයක් වුණා. “දැන් අපි වයසයිනේ. ඉතින් භාෂාවක් ඉගෙනගන්න එක ලේසි නෑ” කියලා නාඩීන් කියනවා. එයාලා ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද? මැඩගස්කරයට ආපු ගමන්ම එයාලා ගියේ ප්‍රංශ භාෂාව කතා කරන සභාවකට. මෙහෙට ටිකක් හුරු වුණාට පස්සේ තමයි එයාලා මැලගැසි භාෂාව කතා කරන සභාවකට ගියේ. “සේවේදී අපිට හම්බ වෙන ගොඩක් අය බයිබලේ ඉගෙනගන්න හරිම ආසයි. අපි එයාලගේ ගෙවල්වලට එන එක එයාලා හුඟක් අගය කරනවා. අපේ පණිවිඩේ එයාලා පිළිගන්න විදිහ දකිද්දී මුලදී මට හිතුණේ ‘මං මේ දකින්නේ හීනයක්’ කියලා. පුරෝගාමි සේවේ කරන්න මෙහේ නියමයි. හැම දවසකම මං උදේ නැඟිටින්නේ සේවේ යන්න ලොකු ආසාවකින්” කියලා නාඩීන් කියනවා.
මැලගැසි භාෂාව ඉගෙනගන්න පටන්ගත්ත කාලේ වෙච්ච දෙයක් ගැන ඩිඩියේ මෙහෙම කියනවා. “මට රැස්වීමේ කොටසක් කරන්න වුණා. ඒත් සභාවේ අය දීපු කිසිම උත්තරයක් මට තේරුණේ නෑ. මං දැනං හිටියේ ‘තැන්ක් යූ’ කියන්න විතරයි. එක සහෝදරියක් දීපු උත්තරෙට මං ‘තැන්ක් යූ’ කිව්වාම එයාට පිටිපස්සෙන් ඉඳන් හිටපු කීපදෙනෙක්ම මට ඇඟෙව්වා එයා දීපු උත්තරේ වැරදියි කියලා. ඒ නිසා මං ඉක්මනින්ම හරි උත්තරේ දෙන්න තව සහෝදරයෙක්ට අවස්ථාව දුන්නා.”
එයා හරිම ආසාවෙන් එන්න කැමති වුණා
2005 සමුළුවේදී තිමෝති ගැන තිබුණ “දෙවිව ගෞරවයට පත් කරන අයුරින් අනාගතය ගොඩනඟමු” කියන නාට්‍යය බැලුවාට පස්සේ තියෙරිටයි, නාඩියාටයි ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න ආසාවක් ඇති වුණා. තියෙරි මෙහෙම කියනවා. “නාට්‍යය ඉවර වෙලා අත්පුඩි ගහද්දී මං නාඩියාගෙන් ඇහුවා ‘සේවේ කරන්න අපි කොහෙද යන්නේ’ කියලා. එයාත් ඒ ගැනමයි හිතුවේ කියලා එතකොට එයා කිව්වා.” එයාලා දේවල් ඉක්මනින්ම සැලසුම් කරන්න පටන්ගත්තා. “අපිට තිබුණ හැම දෙයක්ම වගේ අපි විකුණුවා. සූට්කේස් 4කට දාන්න පුළුවන් බඩු ප්‍රමාණයක් විතරයි අන්තිමට ඉතුරු වුණේ “ කියලා නාඩියා කියනවා.
2006දී එයාලා මැඩගස්කරයට ආවා. ආපු දවසේ ඉඳලාම එයාලා හුඟක් සතුටින් සේවය කළා. නාඩියා මෙහෙම කියනවා. “මිනිස්සු අපේ පණිවිඩේ ඇහුවේ හරිම ආසාවෙන්. ඒකෙන් අපේ සේවේ තවත් රසවත් වුණා.”
අවුරුදු 6කට පස්සේ හිතපු නැති දේකට මුහුණ දෙන්න ඒ දෙන්නාට සිද්ධ වුණා. නාඩියාගේ අම්මා, මාරි මැඩලෙන් වැටිලා අතක් කැඩුණා. ඔළුවත් බරපතළ විදිහට තුවාළ වුණා. එයාගේ අසනීප තත්වය ගැන දොස්තර එක්ක කතා කළාට පස්සේ නාඩියායි, තියෙරියි අම්මාට මැඩගස්කරයට එන්න කියලා කිව්වා. ඒ වෙද්දී එයාට වයස 80ක් වුණත් එයා හරිම ආසාවෙන් එන්න කැමති වුණා. ප්‍රංශය අත්හැරලා වෙනත් රටක ජීවත් වෙන එක ගැන මාරි මැඩලෙන් මෙහෙම කියනවා. “සමහර වෙලාවට අලුත් දේවලට හුරු වෙන එක ලේසි නෑ. මට දුවලා පැනලා දේවල් කරන්න බැරි වුණත් සභාව වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි දේවල් ගැන මං සතුටු වෙනවා. මං ගොඩක්ම සතුටු වෙන්නේ මං මෙහෙට ආපු නිසා මගේ දරුවන්ට දිගටම එයාලගේ සේවේ කරගෙන යන්න පුළුවන් වෙන එක ගැනයි.”
“යෙහෝවා දෙවි උදව් කළා කියලා මට දැනුණා”
වයස 20 ගණන්වල ඉන්න රින්, හැදී වැඩුණේ නැඟෙනහිර මැඩගස්කරයේ සශ්‍රීක පැත්තක් වුණ අලාට්‍රා මැන්ගෝරෝවල. රින්ට ඕනෙ වුණේ ඉහළටම ඉගෙනගන්න. ඒත් බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ ඒ අදහස වෙනස් වුණා. රින් මෙහෙම කියනවා. “මට ඕනෙ වුණේ ඉක්මනටම ඉස්කෝලේ ගිහින් ඉවර කරන්න. ඒ නිසා අන්තිම විභාගේ කලින්ම ලියන්න මං හිතුවා. විභාගේ පාස් වුණොත් පුරෝගාමි සේවේ පටන්ගන්නවා කියලා මං යෙහෝවා දෙවිට පොරොන්දු වුණා.” ඉස්කෝලේ ගිහින් ඉවර වුණාම එයා සතියට දවස් කීපයක් වැඩ කරන්න පුළුවන් රස්සාවක් හොයාගෙන පුරෝගාමි සේවය පටන්ගත්තා. “ඒක තමයි මං ජීවිතේ ගත්ත හොඳම තීරණේ” කියලා රින් කියනවා.
රින්ගේ පවුලේ අය නම් එයා ගත්ත තීරණය ගැන සතුටු වුණේ නැහැ. රින් මෙහෙම කියනවා. “පවුලේ හැමෝම මට කිව්වේ තව ඉගෙනගන්න කියලයි. ඒත් ඒ කිසිම දෙයක් නිසා පුරෝගාමි සේවේ අත්හරින්න මං කැමති වුණේ නෑ.” ඔහොම ටික දවසක් යද්දී රින්ට ආස හිතුණා ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න. ඒ වගේ ආසාවක් එයාට ඇති වුණේ ඇයි? “දවසක් අපේ ගෙදරට හොරු පැනලා මගේ බඩු ගොඩක් අරන් ගිහින් තිබුණා. ‘ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න’ කියලා යේසුස් උනන්දු කළේ ඇයි කියලා එතකොට මට තේරුණා. ඒ නිසා තව වැඩියෙන් යෙහෝවා දෙවි වෙනුවෙන් කාලේ දෙන්න මං තීරණේ කළා” කියලා රින් කියනවා. (මතෙ. 6:19, 20) රින් ගෙදර ඉඳන් කි.මී. 1,300ක් එහායින් තියෙන දුෂ්කර පැත්තකට සේවය කරන්න ගියා. ඒ පැත්තේ ඉන්නේ ඇන්ටන්ඩ්‍රොයි ජාතිකයන්. සේවය කරන්න රින් ඒ පැත්තම තෝරගත්තේ ඇයි?
ගෙදරට හොරු පනින්න මාසෙකට කලින් ඇන්ටන්ඩ්‍රොයි ජාතිකයන් දෙන්නෙක් එක්ක රින් පාඩමක් පටන් අරන් තිබුණා. එයාලගේ භාෂාවේ වචන කීපයකුත් එයා ඉගෙනගත්තා. බයිබලේ තියෙන පණිවිඩය අහපු නැති ඇන්ටන්ඩ්‍රොයි ජාතිකයන් තව කීදෙනෙක් නම් ඉන්නවා ඇද්ද කියලා රින් කල්පනා කළා. එයා කියනවා “සේවේ කරන්න ටන්ඩ්‍රොයි භාෂාව කතා කරන පැත්තට යන්න මට උදව් කරන්න කියලා මං යෙහෝවා දෙවිට යාච්ඤා කළා” කියලා.
රින්ට තිබුණ අභියෝගය මොකක්ද? එයාට ඒ පැත්තේ රස්සාවක් හොයාගන්න බැරි වුණා. කෙනෙක් එයාට කිව්වා “ඔයා මොකටද මෙහෙට ආවේ? මෙහේ ඉන්න අයත් රස්සාවල් හොයාගන්න ඔයාලගේ පැත්තටනේ යන්නේ” කියලා. රින් එහෙට ගිහින් සති 2කට පස්සේ සමුළුවකට සහභාගි වෙන්න ගියා. එයාගේ අතේ සතයක්වත් තිබුණේ නැහැ. සමුළුවේ අන්තිම දවසේ සහෝදරයෙක් ඇවිත් එයාගේ සාක්කුවට මොනවාදෝ දැම්මා. ඒක අරන් බලද්දී එයාට ආපහු යන්නත් ගිහින් පොඩි ව්‍යාපාරයක් පටන්ගන්නත් ඇති තරම් සල්ලි එතන තිබුණා. රින් කියන්නේ මෙහෙමයි. “ඕන කරපු වෙලාවේ යෙහෝවා දෙවි උදව් කළා කියලා මට දැනුණා. යෙහෝවා දෙවි ගැන දන්නේ නැති අයට දිගටම උදව් කරන්න ඒකෙන් මට පුළුවන් වුණා.” රින්ට සභාවේ කරන්නත් ගොඩක් වැඩ තිබුණා. “මට සතියක් ඇර සතියක් බයිබල් දේශනයක් දෙන්න වුණා. යෙහෝවා දෙවි සංවිධානය මාර්ගයෙන් මට හොඳ
පුහුණුවක් දුන්නා” කියලා රින් කියනවා. රින් තවමත් සේවය කරන්නේ ඒ පැත්තෙමයි.“විශ්වාසවන්ත දෙවිගෙන්” ආශීර්වාද
‘මිහිපිට ජීවත් වන කවරෙකු වුවද විශ්වාසවන්ත දෙවිගෙන් ආශීර්වාද අයැදිනවා’ නම් ආශීර්වාද කරනවා කියලා දෙවි පොරොන්දු වෙනවා. (යෙසා. 65:16) වැඩියෙන් සේවය කරන්න බැරි වෙන විදිහේ බාධාවලට අපි මුහුණ දෙයි. ඒත් ඒවා ජය ගන්න අපි වෑයමක් දරනවා නම් දෙවි අනිවාර්යයෙන්ම අපිට ආශීර්වාද කරනවා. මුලින්ම සඳහන් කරපු සිල්වියානාව මතකද? ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න එයා වගේ කෙනෙක්ට බැහැ කියලයි එයාට හැඟුණේ. එයාට එහෙම හැඟුණේ ඇයි? එයා මෙහෙම කියනවා. “මගේ වම් කකුල දකුණු කකුලට වඩා අඟල් 3 1/2ක් කොටයි. මං ඇවිදින්නේ කොරගගහා. ඒ නිසා මට ඉක්මනින් මහන්සි දැනෙනවා.”
2014දී සිල්වියානා එයාගේ සභාවේ හිටපු යෞවන පුරෝගාමි සහෝදරියක් වුණ සිල්වී ඈන් එක්ක කි.මී. 85ක් දුරින් තිබුණ පුංචි ගමක සේවය කරන්න ගියා. අභියෝග ජය අරන් එයා ආසාවෙන් හිටපු දේ කරන්න සිල්වියානාට පුළුවන් වුණා. වැඩි කල් යන්න කලින් එයාගේ වෑයමට දෙවිගේ ආශීර්වාදය ලැබුණා. “මෙහෙට ඇවිත් අවුරුද්දකට පස්සේ මාත් එක්ක පාඩම් කරපු ඩෝරටින් බව්තීස්ම වුණා” කියලා සිල්වියානා සතුටින් කියනවා.
‘මම ඔබට පිහිට වන්නෙමි’
ප්‍රචාරකයන් අඩු පැතිවලට ගිහින් සේවය කරන ඒ අයගේ අද්දැකීම්වලින් අපි මොනවාද ඉගෙනගන්නේ? බාධාව මොකක් වුණත් ඒක ජය අරන් දෙවිට වැඩි සේවයක් කරන්න වෑයම් කරද්දී යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම උදව් කරනවා. දෙවි කියන්නේ “මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි” කියලා. ඒ පොරොන්දුව අද්දකින්න ඔයාටත් පුළුවන්. (යෙසා. 41:10) එතකොට ඔයා යෙහෝවා දෙවිට තවත් ළං වෙයි. ඒ විතරක් නෙමෙයි ඔයා ඉන්න ප්‍රදේශයෙම නැත්නම් වෙනත් රටකට ගිහින් සේවය කරන්න ඔයා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන එකෙන් පාරාදීසයේදී ලැබෙන පැවරුම් කරන්න ඔයාට හොඳ පුහුණුවක් ලැබෙනවා. ඩිඩියේ මෙහෙම කියනවා. “ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරන එක අනාගතයට හොඳ පුහුණුවක්.” අපි දිරිගන්වන්නේ පුළුවන් හැම කෙනෙක්ටම ඒ පුහුණුව ලබන්න කියලයි.
^ 4 ඡේ. කැනඩාවෙන්, චෙක් ජනරජයෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන්, ග්වාඩෙලුප්වලින්, ලක්සම්බර්ග්වලින්, නව කැලිඩෝනියාවෙන්, ස්වීඩනයෙන්, ස්විට්සර්ලන්තයෙන්, එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදයෙන් ප්‍රචාරකයන් ආවා.
^ 8 ඡේ. ඒ වෙනුවට දැන් තියෙන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලයි. වෙනත් රටවලට ගිහින් සේවය කරන පූර්ණකාලීන සේවකයන්ට සුදුසුකම් තියෙනවා නම් තමන්ගෙම රටේ නැත්නම් වෙනත් රටක තමන්ගෙම මව් භාෂාවෙන් පවත්වන ඒ පාසැලට සහභාගි වෙන්න අයදුම් කරන්න පුළුවන්.