Skip to content

පටුනට යන්න

“දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි”

“දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි”

2018 වාර්ෂික පදය: “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය.”—යෙසා. 40:31.

ගීතිකා: 3, 47

1. අපි මුහුණ දෙන සමහර ප්‍රශ්න මොනවාද? දෙවි ඔහුගේ සේවකයන් ගැන සතුටු වෙන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූර බලන්න.)

මේ අන්තිම කාලේ ජීවත් වෙන එක ලේසි නැහැ. අපි දන්නවා ඔයාලගෙන් ගොඩක් අය බරපතළ අසනීප නිසා දුක් විඳිනවා කියලා. මැදි වියේ ඉන්න ඔයාලගෙන් සමහරදෙනෙක් මහලු වයසේ ඉන්න දෙමාපියන්ව බලාගන්න ලොකු වෙහෙසක් දරනවා. තවත් අය පවුලේ අයගේ අවශ්‍යතා ඉටු කරන්න හැම දවසකම ලොකු සටනක් කරනවා. ඔයාලගෙන් හුඟදෙනෙක් ඒ එක ප්‍රශ්නයක් එක්ක විතරක් නෙමෙයි, ප්‍රශ්න කීපයක් එක්ක එකම සැරේ පොරබදිනවා. ඒ වෙනුවෙන් ඔයාලගේ කාලය, ශක්තිය, මුදල් ගොඩක් වැය වෙනවා ඇති. ඒත් යෙහෝවා දෙවිගේ උදව් ලැබෙනවා කියලා ඔයාට කිසිම සැකයක් නැහැ. අනාගතය ගැන දෙවි දීලා තියෙන පොරොන්දු ඔහු ඉටු කරනවා කියලා ඔයාට විශ්වාසයි. ඒ නිසයි ඔයා අත්හරින්නේ නැතුව විඳදරාගන්නේ. ඔයාගේ විශ්වාසය දකිද්දී යෙහෝවා දෙවි කොච්චර සතුටු වෙනවා ඇද්ද!

2. යෙසායා 40:29 අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? ඒත් කෙනෙක් කොහොම හිතන්න පෙලඹෙන්න පුළුවන්ද?

2 සමහර වෙලාවට ඔයාට හිතෙනවාද ‘තවත් නම් මේ ප්‍රශ්න දරාගන්න බැහැ’ කියලා? අධෛර්යය වෙන්න එපා. අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ටත් එහෙම හිතුණ වෙලාවල් තිබුණා. (1 රාජා. 19:4; යෝබ් 7:7) එයාලා දිගටම විඳදරාගත්තේ කොහොමද? ඒක කරන්න එයාලට පුළුවන් වුණේ යෙහෝවා දෙවිගේ ශක්තියෙන්. බයිබලේ කියන්නේ “දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි” කියලා. (යෙසා. 40:29) ඒක මොන තරම් ආශීර්වාදයක්ද! ඒත් අද ඉන්න සමහරු හිතන්නේ දෙවිට කරන සේවය ලොකු බරක් කියලයි. ප්‍රශ්න එද්දී දෙවිට සේවය කරන එක ටික කාලෙකට නතර කළොත් ඒවා දරාගන්න ලේසි වෙයි කියලා එයාලා හිතනවා. එහෙම හිතලා බයිබලේ කියවන එක, රැස්වීම්, සේවයේ යන එක එයාලා නවත්තනවා. සාතන්ට ඕනෙත් ඒ දේ වෙනවා දකින්නයි.

3. (අ) අපිව දුර්වල කරන්න සාතන්ට ඉඩ නොදී ඉන්න පුළුවන් කොහොමද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 සාතන් දන්නවා අපි පුළුවන් උපරිමයෙන් නමස්කාර වැඩවලට හවුල් වෙද්දී අපි ශක්තිමත් වෙනවා කියලා. එයා ආස නැහැ අපි ශක්තිමත්ව ඉන්නවා දකින්න. ඔයාව දුර්වල කරන්න සාතන්ට ඉඩ දෙන්න එපා. ශාරීරිකව හෙම්බත් වෙද්දී, මානසිකව වැටෙද්දී දෙවිගෙන් ඈත් වෙනවා වෙනුවට දෙවිට තව ළං වෙන්න. එතකොට “දෙවි, ඔබව ස්ථිර කර ශක්තිමත් කරනු ඇත.” (1 පේතෘ. 5:10; යාකො. 4:8) අපිව ශක්තිමත් කරන්න දෙවිට තියෙන හැකියාව ගැන යෙසායා 40:26-31 පදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම දෙවිට කරන සේවය අඩු කරන්න හේතු වෙන්න පුළුවන් දේවල් 2ක් ගැනත් ඒවා විඳදරාගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් අපි බලනවා.

යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය

4. යෙසායා 40:26 ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

4 යෙසායා 40:26 කියවන්න. විශ්වයේ තියෙන තරු හරියටම ගණන් කරන්න කාටවත් බැහැ. අපේ මන්දාකිනියේ විතරක් තරු බිලියන 400ක් විතර තියෙනවා කියලා විද්‍යාඥයන් කියනවා. යෙහෝවා දෙවි ඒ හැම තරුවකටම නමක් දීලා තියෙනවා. පණ නැති තරු ගැන දෙවි ඒ තරම් උනන්දුයි නම් ඔයා ගැන දෙවි කොච්චර සැලකිලිමත් වෙනවා ඇද්ද! ඔයා දෙවිට සේවය කරන්නේ කරන්න ඕන නිසාම නෙමෙයි දෙවිට තියෙන ආදරේ නිසයි කියලා දෙවි දකිනවා. (ගීතා. 19:1, 3, 14) ඔයා ගැන හැම දෙයක්ම අපේ ආදරණීය තාත්තා දන්නවා. බයිබලේ කියන්නේ ‘ඔබේ සියලුම හිසකෙස් පවා ඔහු ගණන් කර තිබෙනවා’ කියලයි. (මතෙ. 10:30) ‘නිර්දෝෂ අයගේ ක්‍රියාවන්’ නැත්නම් එයාලා මුහුණ දෙන දේවල් ගැන අපේ දෙවි හොඳින්ම දන්නවා. (ගීතා. 37:18) ඔයාගේ හැම ප්‍රශ්නයක්ම දෙවිට පේනවා විතරක් නෙමෙයි ඒවා දරාගන්න අවශ්‍ය ශක්තිය දෙන්නත් දෙවිට පුළුවන්.

5. අපිව ශක්තිමත් කරන්න දෙවිට පුළුවන් කියලා අපිට ස්ථිර ඇයි?

5 යෙසායා 40:28 කියවන්න. හැම ශක්තියකම උල්පත යෙහෝවා දෙවියි. හිරුගේ ශක්තිය ගැන හිතන්න. විද්‍යා ලේඛකයෙක් කියන විදිහට හැම තත්පරයකම හිරුගෙන් නිකුත් වෙන ශක්තිය පරමාණු බෝම්බ බිලියන ගාණක් පුපුරද්දී නිකුත් වෙන ශක්තියට සමානයි. තවත් පර්යේෂකයෙක් කියනවා ලෝකේ ඉන්න හැමෝටම අවුරුදු 2,00,000ක් ජීවත් වෙන්න හිරු එක තත්පරයකදී නිපදවන ශක්තිය ප්‍රමාණවත් කියලා. ඒ තරම් ශක්තියක් හිරුට ලබා දෙන්න දෙවිට පුළුවන් නම් ඔයා මුහුණ දෙන ප්‍රශ්න විඳදරාගන්න ඕන කරන ශක්තිය ඔයාට දෙන්න දෙවිට බැරිද?

6. යේසුස්ගේ වියගහ පහසුයි කියන්නේ ඇයි? ඒක දැනගෙන ඉන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද?

6 යෙසායා 40:29 කියවන්න. යෙහෝවා දෙවිට සේවය කරලා ලොකු සතුටක් ලබන්න අපිට පුළුවන්. යේසුස් මෙහෙම කිව්වා. ‘මා ඔබ පිට තබන වියගහ පිළිගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.’ (මතෙ. 11:28-30) සමහර දවස්වලට රැස්වීම්, සේවයේ යන්න බැරි තරම් ඔයා හෙම්බත් වෙලා කියලා ඔයාට දැනෙනවා ඇති. ඒත් කොහොමහරි ඔයා ගිහිල්ලා ආයෙත් එද්දී ඔයාට ලොකු ප්‍රබෝධයක් දැනෙන්නේ නැද්ද? ප්‍රශ්න තව හොඳින් දරාගන්න අවශ්‍ය ශක්තිය ලැබුණා කියලා දැනෙන්නේ නැද්ද? යේසුස්ගේ වියගහ පහසුයි කියන එක මොන තරම් ඇත්තක්ද!

7. මතෙව් 11:28-30 කියන දේ ඇත්තක් කියලා පෙන්නන අද්දැකීමක් කියන්න.

7 මේ සහෝදරියගේ අද්දැකීම බලන්න. නිතරම ඇඟට ලොකු තෙහෙට්ටුවක් දැනෙන බරපතළ අසනීපයක් එයාට තියෙනවා. මානසික අවපීඩනය සහ ඉරුවාරදය කියන රෝගවලිනුත් එයා පීඩා විඳිනවා. ඒ නිසා සමහර දවස්වලට එයාට රැස්වීම්වලට යන්න බැරි වුණා. ඒත් දවසක් එයා වෑයමක් දරලා රැස්වීමට ගියා. ඒ ගැන එයා කියන්නේ මෙහෙමයි. “බයිබල් දේශනයේ කතා කළේ අධෛර්යය වෙන එක ගැන. ඒක ඉදිරිපත් කළේ මගේ තත්වයට බැහැලා මං ගැන සැලකිලිමත් වෙලා කියලා මට දැනුණා. ඒක අහගෙන ඉද්දී මගේ ඇස්වලට කඳුළුත් ආවා. අත් නෑර රැස්වීම් යන එක ගොඩක් වැදගත් කියලා එදා මගේ හිතට ආයෙත් කාවැදුණා.”

8, 9. “මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි” කියලා පාවුල් කිව්වේ ඇයි?

8 යෙසායා 40:30 කියවන්න. අපිට විවිධ හැකියාවන් තියෙන්න පුළුවන්. ඒත් අපේ ශක්තියෙන් කරන්න පුළුවන් දේවල් සීමිතයි. පාවුල් ගැන හිතන්න. එයා හරිම දක්ෂ කෙනෙක්. ඒත් එයාට කරන්න ඕනෙ වුණ හැම දෙයක්ම කරන්න එයාට පුළුවන්කම තිබුණේ නැහැ. ඒ ගැන පාවුල් දෙවිට කිව්වාම දෙවි කිව්වේ මෙහෙමයි. “ඔබේ දුර්වලකම තුළින් මගේ බලය සම්පූර්ණයෙන්ම දැකගත හැක.” දෙවි ඒකෙන් අදහස් කරපු දේ තේරුම්ගත්ත පාවුල් මෙහෙම කිව්වා. “මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.”—2 කොරි. 12:7-10.

9 තමන්ගේ හැකියාවෙන් කරන්න පුළුවන් දේවල් සීමිත නිසා එයාට වඩා ගොඩක් බලවත් කෙනෙක්ගේ උදව් ඕනෙ කියලා පාවුල් තේරුම්ගත්තා. දේවල් කරන්න එයාගේ ශක්තිය මදි කියලා දැනෙද්දී දෙවිගේ බලය ඒ අඩුව පිරෙව්වා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් එයාට කරන්න පුළුවන් දේට වඩා වැඩි දෙයක් කරන්න දෙවිගේ බලය නිසා එයාට පුළුවන් වුණා. අපිටත් ඒ දේම අද්දකින්න පුළුවන්.

10. ප්‍රශ්න විඳදරාගන්න දෙවි දාවිත්ට උදව් කළේ කොහොමද?

10 දෙවිගේ බලය තමන්ට ශක්තියක් වුණ විදිහ දාවිත් අද්දැක්කා. එයා මෙහෙම කිව්වා. “ඔබේ උපකාරය ඇතුව මට සේනාවකට විරුද්ධව වුවත් නැඟී සිටිය හැක. මාගේ දෙවිගේ උපකාරය ඇතුව මට මහා පවුරකට වුවත් නැඟිය හැක.” (ගීතා. 18:29) අපි මුහුණ දෙන සමහර ප්‍රශ්නත් හරියට නඟින්න බැරි විශාල පවුරක් වගේ. ඒවා අපේම ශක්තියෙන් විසඳගන්න බැහැ. දෙවිගේ උදව් අපිට ඕනෙමයි.

11. ප්‍රශ්න විඳදරාගන්න දෙවිගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද?

11 යෙසායා 40:31 කියවන්න. රාජාලීන් අහසේ රැඳිලා ඉන්නේ උන්ගෙම ශක්තියෙන් විතරක් නෙමෙයි. ඒකට ඌ ඉහළ නඟින උණුසුම් වායු ධාරා ප්‍රයෝජනයට ගන්නවා. ඒ නිසා ශක්තිය ඉතුරු කරගෙන ගොඩක් දුර පියාඹන්න ඌට පුළුවන්. දරාගන්න අමාරු ප්‍රශ්නෙකට ඔයා මුහුණ දෙද්දී රාජාලීන්ව මතක් කරගන්න. ප්‍රශ්නේ දරාගන්න තව ශක්තිය දෙන්න කියලා යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්න. දෙවි ඔහුගේ බලය දීලා ඔයාට උපකාර කරයි. (යොහ. 14:26) ඕනෑම වෙලාවක දෙවිගේ බලය ඉල්ලන්න අපිට පුළුවන්. සභාවේ කෙනෙක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා කියලා හිතන්න. විශේෂයෙන්ම ඒ වගේ වෙලාවලදී දෙවිගේ උදව් අපිට ඕනේ. ඒත් අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි?

12, 13. (අ) අපි අතර මතභේද ඇති වෙන්නේ ඇයි? (ආ) යෝසෙප්ගේ සිද්ධියෙන් අපිට දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 අපි හැමෝටම පාපය උරුම වෙලා තියෙන නිසා අපි අතරේ මතභේද ඇති වෙනවා. අනිත් අය කරන කියන දේවල් නිසා අපිට කේන්ති යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කරන දෙයක් නිසා තව කෙනෙක්ට තරහ යන්න පුළුවන්. ඒක දරාගන්න අමාරු වුණත් යෙහෝවා දෙවිට අපි කොච්චර ළැදිද කියලා පෙන්නන්න ඒක හොඳ අවස්ථාවක්. එහෙම කියන්නේ ඇයි? එයාලා අතින් අඩුපාඩුකම් වුණත් දෙවි තාමත් එයාලට ආදරෙයි. අපිත් එයාලගේ අඩුපාඩුකම් පැත්තකට දාලා එකමුතුව වැඩ කරන්න ඉගෙනගන්නවා නම් අපි ළැදි දෙවිටයි කියලා පෙන්නන්න පුළුවන්.

යෙහෝවා දෙවි යෝසෙප්ව අත්හැරියේ නැහැ. දෙවි ඔයාව අත්හරින්නෙත් නැහැ (13 ඡේදය බලන්න)

13 අපිට එන ප්‍රශ්න දෙවි අපෙන් අයින් කරන්නේ නැහැ. යෝසෙප්ගේ සිද්ධියෙන් ඒක පැහැදිලියි. යෞවන වයසේ හිටපු යෝසෙප්ට ඊර්ෂ්‍යා කරපු එයාගේ සහෝදරයන් එයාව වහලෙක් විදිහට විකුණුවා. (උත්. 37:28) තමන්ගේ විශ්වාසවන්ත යාළුවා මුහුණ දීපු ඒ හැම අසාධාරණයක්ම දෙවි දැක්කා විතරක් නෙමෙයි ඒ ගැන දෙවිට ලොකු දුකක් දැනෙන්න ඇති. ඒත් දෙවි ඒවා නතර කළේ නැහැ. පස්සේ කාලෙකදී පොතිෆර්ගේ බිරිඳව දූෂණය කරන්න හැදුවා කියන බරපතළ චෝදනාව නිසා යෝසෙප්ව හිරේ දැම්මා. ඒ වෙලාවේදීත් දෙවි එයාව බේරගත්තේ නැහැ. ඒ කියන්නේ දෙවි එයාව අත්හැරියාද? නැහැ. ඒ හැම අවස්ථාවකම දෙවි එයාත් එක්ක හිටියා. මොකද බයිබලේ කියන්නේ ‘යෙහෝවා දෙවි යෝසෙප්ට ආශීර්වාද කළ නිසා යෝසෙප් කළ සියල්ල සාර්ථක වුණා’ කියලයි.—උත්. 39:21-23.

14. කෝප නොවී ඉන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

14 දාවිත් මුහුණ දුන්නා වගේ අසාධාරණකම්වලට වැඩිදෙනෙක් මුහුණ දීලා නැහැ. ඒත් දෙවිගේ යාළුවෙක් වුණ දාවිත් කේන්ති අරන් වැඩ කළේ නැහැ. එයා මෙහෙම කිව්වා. “කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න. මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය.” (ගීතා. 37:8) කෝප වෙන එකෙන් “වළකින්න” ඕනෙ ඇයි? ප්‍රධානම හේතුව අපිට දෙවිව ආදර්ශයට ගන්න ඕනෙ නිසයි. දෙවි කේන්ති අරන් වැඩ කරන්නේ නැහැ. බයිබලේ කියන්නේ දෙවි ‘අප කළ වැරදිවලට ලැබිය යුතු දඬුවම අපට දුන්නේ නැහැ’ කියලයි. (ගීතා. 103:10) කෝප වෙන එකෙන් වැළකෙද්දී ප්‍රයෝජනත් තියෙනවා. නිතරම කේන්ති යන කෙනෙක්ට අධික රුධිර පීඩනය, ශ්වසන රෝග ඇති වෙන්න පුළුවන්. අක්මාවට, අග්න්‍යාශයට වගේම ආහාර ජීර්ණ පද්ධතියටත් ඒකෙන් හානි වෙන්න පුළුවන්. කේන්ති ගිය වෙලාවට හොඳට හිතලා බලලා දේවල් කරන්න බැරි නිසා අපි කියන කරන දේවලින් තව කෙනෙක්ගේ හිත රිදෙන්නත් පුළුවන්. අපි අතින් එහෙම දෙයක් වුණොත් කාලයක් යන කල් ඒක අපේ මනසට ලොකු බරක් වෙයි. ඒ නිසා හොඳම දේ ප්‍රශ්නයක් වුණාම සන්සුන්ව ඉන්න එකයි. “සන්සුන් මනසක් ගතට සුවයක්” කියලා බයිබලේ කියනවා. (හිතෝ. 14:30) කෙනෙක් අපේ හිත රිද්දුවොත් කරන්න පුළුවන් මොනවාද? එයාත් එක්ක සමාදාන වෙන්න පුළුවන් කොහොමද? බයිබල් ප්‍රතිපත්ති ඒකට උදව් වෙයි.

සහෝදරයෙක් අපේ හිත රිද්දුවොත්

15, 16. කෙනෙක් අපේ හිත රිද්දුවොත් කරන්න ඕනෙ මොනවාද?

15 එෆීස 4:26 කියවන්න. යෙහෝවා දෙවිට සේවය නොකරන කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කළොත් ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. ඒත් අපේ සහෝදර සහෝදරියන් නැත්නම් පවුලේ කෙනෙක් එහෙම කළොත් ඒක දරාගන්න අමාරුයි. වෙච්ච දේ අමතක කරන්න බැරි නම් මොකද කරන්නේ? ප්‍රශ්නේ වෙලා අවුරුදු ගාණක් යන කල් වුණත් ඔයා ඒක හිතේ තියාගෙන ඉන්නවාද? නැත්නම් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ඒක ඉක්මනින්ම විසඳගන්නවාද? ප්‍රශ්නේ විසඳගන්න එක අපි කල් දාන තරමටම එයාත් එක්ක සාමය ඇති කරගන්නත් අපිට අමාරුයි.

16 සාමය ඇති කරගන්න ඔයාට මොනවාද කරන්න පුළුවන්? ඉස්සෙල්ලාම ඒ ගැන යෙහෝවා දෙවිට කියන්න. සාමය ඇති කරගන්න විදිහට එයාත් එක්ක කතා කරන්න උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න. ඒ සහෝදරයාත් දෙවිගේ යාළුවෙක්. (ගීතා. 25:14) දෙවි එයාට ආදරෙයි. දෙවි ඔහුගේ යාළුවන් එක්ක වැඩ කරන්නේ ආදරෙන්, කරුණාවෙන්. අපිත් එහෙම කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (හිතෝ. 15:23; මතෙ. 7:12; කොලො. 4:6) එයාත් එක්ක කතා කරන්නේ මොනවාද කියලත් හිතන්න. එයා වුවමනාවෙන්ම ඔයාව රිද්දන්න හැදුවා කියලා හිතන්න එපා. සමහරවිට ඒක එච්චර හිතන්නේ නැතුව කරපු දෙයක් වෙන්න ඇති. නැත්නම් වෙච්ච දේ ඔයා වැරදියට තේරුම්ගත්තා වෙන්න ඇති. ප්‍රශ්නේ ඇති වෙන්න ඔයා කරපු දේකුත් හේතු වෙන්න ඇති කියන දේ පිළිගන්න සූදානමින් ඉන්න. එයා එක්ක කතා කරද්දී මේ විදිහට කියන්න පුළුවන්. “සමහරවිට මං ඕනෑවට වඩා මේ ගැන හිතනවා ඇති. ඒත් ඔයා ඊයේ කියපු දේ නිසා මට දැනුණේ . . . ” එයාත් එක්ක කතා කළාට පස්සෙත් ප්‍රශ්නේ විසඳගන්න බැරි වුණොත් ‘ආයේ නම් කතා කරලා වැඩක් නැහැ’ කියලා හිතන්න එපා. සාමය ඇති කරගන්න දිගටම උත්සාහ කරන්න. එයා වෙනුවෙන් යාච්ඤා කරන්න. එයාට ආශීර්වාද කරන්න කියලත් එයාගේ හොඳ ගුණාංග දකින්න ඔයාට උදව් කරන්න කියලත් දෙවිගෙන් ඉල්ලන්න. එයාත් එක්ක සමාදානයෙන් ඉන්න ඔයා ගන්න වෑයම ගැන යෙහෝවා දෙවි ගොඩක් සතුටු වෙනවා.

වුණ වරදක් ගැන හිතහිත දුක් වෙද්දී

17. අපි අතින් වරදක් වුණාම දෙවිත් එක්ක තියෙන බැඳීම ආයෙත් ශක්තිමත් කරගන්න දෙවි උදව් කරන්නේ කොහොමද? ඒ උදව් පිළිගන්න ඕනෙ ඇයි?

17 බරපතළ වරදක් කරපු කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙවිට සේවය කරන්න තමන් වටින්නේ නැහැ කියලා. වරදක් ගැන හිතහිත දුක් වෙන එකෙන් හිතේ සාමය නැති වෙන්න පුළුවන්. ඒක අපේ මනසට ලොකු බරක්. දාවිත් රජටත් ඒ දේම වුණා. එයා කිව්වේ මෙහෙමයි. “මාගේ වරද ගැන මා නිහඬව සිටි කාලයේදී දවස පුරා මට දැනුණු වේදනාව නිසා මාගේ ඇටකටු දිරා ගියේය. ඔබේ අප්‍රසාදයට මා ලක් වූ නිසා එය දිවා රෑ දෙකේම මාගේ සිතට මහත් බරක් විය.” ඒත් දාවිත් හිතට ධෛර්යය අරන් දෙවිගෙන් සමාව ලබාගන්න අවශ්‍ය පියවර ගත්තා. ඒ ගැන එයා මෙහෙම කිව්වා. ‘අවසානයේදී මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි. එවිට ඔබ මාගේ පාප කමා කළෙහිය.’ (ගීතා. 32:3-5) ඔයා අතිනුත් බරපතළ වරදක් වෙලා තියෙනවා නම් දෙවි ඔයාටත් සමාව දෙන්න සූදානමින් ඉන්නවා. දෙවිට ඕනෙ ඔහුත් එක්ක ඔයාට තියෙන බැඳීම ආයෙත් ශක්තිමත් කරගන්න ඔයාට උදව් කරන්නයි. ඒකට ඔයා වැඩිමහල්ලන් මාර්ගයෙන් දෙවි දෙන උදව් පිළිගන්න ඕනේ. (හිතෝ. 24:16; යාකො. 5:13-15) උදව් ගන්න කල් දාන්න එපා! ඔයාට සදාකාල ජීවනය ලැබෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ ඔයා ගන්න පියවර මතයි. ඒත් වරදට සමාව ලැබුණාට පස්සෙත් කරපු වරද ගැන හිත වධ දෙනවා නම් මොකද කරන්නේ?

18. දෙවිට සේවය කරන්න තමන් වටින්නේ නැහැ කියලා හිතෙන කෙනෙක්ට පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

18 අතීතයේ කරපු වැරදි නිසා පාවුලුත් අධෛර්යය වුණ අවස්ථා තිබුණා. “යේසුස්ගේ නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා මමය. මා දෙවිගේ සභාවට පීඩා කළ නිසා නියෝජිතයෙකු කියා හැඳින්වීමටවත් මා වටින්නේ නැත” කියලා එයා කිව්වේ ඒ නිසයි. ඒත් එයා ඊටපස්සේ කිව්ව දේ බලන්න. “අද මා මේ තත්වයේ සිටින්නේ දෙවිගේ මහත් කරුණාව නිසාය.” (1 කොරි. 15:9, 10) පාවුල් අතින් වැරදි වෙනවා කියලා දෙවි දන්නවා. ඒත් දෙවි එයාව තමන්ගේ සේවකයෙක් විදිහට පිළිගත්තා. දෙවිට ඕනෙ වුණේ පාවුලුත් ඒක තේරුම්ගන්නවාටයි. කරපු වරද ගැන ඔයා අවංකවම පසුතැවිලි වුණා නම්, ඒ ගැන දෙවිට කිව්වා නම්, වරදේ බරපතළකම අනුව වැඩිමහල්ලන්ට ඒ ගැන කිව්වා නම් යෙහෝවා දෙවි ඔයාට අනිවාර්යයෙන්ම සමාව දෙනවා. දෙවි ඔයාට සමාව දුන්නා කියලා විශ්වාස කරන්න. දෙවි දෙන සමාව පිළිගන්න.—යෙසා. 55:6, 7.

19. 2018 වාර්ෂික පදය මොකක්ද? ඒක හොඳින්ම ගැළපෙන්නේ ඇයි?

19 මේ සමාජයේ අවසානයට කිට්ටු වෙන්න වෙන්න අපිට තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. ඒත් ‘විඩාවට පත් වූ අයට සවිය දෙන, හෙම්බත් වූ අයව බොහෝ සෙයින් ශක්තිමත් කරන’ දෙවිට පුළුවන් ඔයාටත් ශක්තිය දෙන්න. දෙවිට විශ්වාසවන්තව ඉන්න දෙවි අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි. (යෙසා. 40:29; ගීතා. 55:22; 68:19) 2018 අවුරුද්ද පුරාම රැස්වීම්වලට සහභාගි වෙන හැම අවස්ථාවකම ඒ දේ මතක් කරගන්න මේ වාර්ෂික පදය අපිට උදව් වෙයි. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය.”යෙසා. 40:31.