Skip to content

පටුනට යන්න

වෙනස දකින්න

වෙනස දකින්න

‘ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.’—මලා. 3:18.

ගීතිකා: 127, 101

1, 2. දෙවිගේ සේවකයන්ට මේ කාලේ ජීවත් වෙන්න අමාරු ඇයි? (ලිපියේ මුල් පින්තූර බලන්න.)

ගොඩක් වෛද්‍යවරු, හෙදියන් බෝ වෙන රෝග වැලඳුණු රෝගීන්ට ප්‍රතිකාර කරනවා. එයාලට ඕනෙ ඒ රෝගීන්ව කොහොමහරි සනීප කරන්නයි. හැබැයි එහෙම කරද්දී එයාලත් ඒ රෝගවලින් ආරක්ෂා වෙන්න ඕනේ. යෙහෝවා දෙවිට සේවය කරන අය විදිහට අද අපි මුහුණ දෙන්නෙත් ඒ වගේ තත්වයකට. අපි ජීවත් වෙන්නේ, වැඩ කරන්නේ දෙවිගේ ගුණාංගවලට හාත්පසින්ම වෙනස් ගුණාංග තියෙන මිනිසුන් එක්ක. ඒක අපිට ලොකු අභියෝගයක්.

2 අන්තිම කාලේ ජීවත් වෙන, දෙවිට ආදරේ කරන්නේ නැති මිනිසුන් හරි වැරැද්ද ගැන දෙවි දීලා තියෙන ප්‍රමිති පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. එයාලට තියෙන ගතිපැවතුම් ගැන පාවුල් තිමෝතිට ලියපු ලිපියේ සඳහන් කළා. මේ සමාජයේ අවසානයට ළං වෙන්න වෙන්න මිනිසුන් තුළ ඒ නරක ගති තවත් වැඩියෙන් දකින්න ලැබෙනවා කියලා පාවුල් කිව්වා. (2 තිමෝති 3:1-5, 13 කියවන්න.) මිනිසුන් හැසිරෙන විදිහ දකිද්දී අපි පුදුම වුණාට දන්නෙම නැතුව එයාලගේ ආකල්ප, එයාලා කතා කරන විදිහ, වැඩ කරන විදිහ අපිට බලපාන්න පුළුවන්. (හිතෝ. 13:20) දෙවිගේ සෙනඟ ක්‍රියා කරන විදිහත් මේ ලෝකේ වැඩිදෙනෙක් ක්‍රියා කරන විදිහත් අතර තියෙන වෙනස අපි මේ ලිපියෙන් බලනවා. දෙවි ගැන දැනගන්න මිනිසුන්ට උදව් කරන අතරේ එයාලගේ නරක ගතිපැවතුම්වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලත් අපි බලනවා.

3. 2 තිමෝති 3:2-5 කතා කරන්නේ කවුරු ගැනද?

3 අන්තිම කාලය “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” කියලා කිව්වාට පස්සේ ඒ කාලේ ජීවත් වෙන අය තුළ දකින්න තියෙන නරක ගතිපැවතුම් 19ක් ගැන පාවුල් සඳහන් කළා. ඒ නරක ගති පාවුල් රෝම 1:29-31 සඳහන් කරපු ගතිපැවතුම්වලට සමානයි. ඒත් ඒකේ සඳහන් වෙන සමහර වචන ග්‍රීක ලියවිල්ලේ වෙන කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. අවසාන කාලේ ජීවත් වෙන “මිනිසුන්” හැමෝම ගැනද පාවුල් ඒ ලැයිස්තුවේ විස්තර කරන්නේ? නැහැ. මොකද සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රියා කරන්නේ ඊට වඩා හුඟක් වෙනස් විදිහට.—මලාකි 3:18 කියවන්න.

ඔයා ගැන ඔයා වුවමනාවට වඩා හිතනවාද?

4. අහංකාර කෙනෙක් මොන වගේද?

4 තමන් ගැනම හිතන, මුදලට ලොල් වුණ අය ගැන කිව්වාට පස්සේ පාවුල් පුරසාරම් දොඩන, උඩඟු, අහංකාර අය ගැන සඳහන් කළා. ඒ වගේ ගති තියෙන අය හිතන්නේ තමන්ගේ පෙනුම, හැකියාවන්, තමන්ට තියෙන දේවල් නැත්නම් සමාජයේ තමන්ට තියෙන තත්වය නිසා අනිත් අයට වඩා තමන් උසස් කියලා. අනිත් අය එයාලව වර්ණනා කරනවාට එයාලා හරිම කැමතියි. එක විශාරදයෙක් කියන්නේ ඒ වගේ අය “හිතින් තමාටම නමස්කාර කරගන්නවා” කියලයි. උඩඟුකම කොච්චර පිළිකුල් ගතියක්ද කියනවා නම් සමහරු කියනවා තව කෙනෙක් උඩඟු විදිහට වැඩ කරද්දී උඩඟු කෙනෙක් වුණත් ඒකට කැමති නැහැ කියලා.

5. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පවා උඩඟුකම කියන උගුලට අහු වුණේ කොහොමද?

5 දෙවි උඩඟුකම පිළිකුල් කරනවා. ඒකයි දෙවි ද්වේෂ කරන කාරණා අතරට “උඩඟු ඇස්” ඇතුළත් කරලා තියෙන්නේ. (හිතෝ. 6:16, 17) උඩඟු කෙනෙක්ට දෙවිට ළං වෙන්න බැහැ. (ගීතා. 10:4) මොකද ඒක සාතන්ගේ ගතිලක්ෂණයක්. (1 තිමෝ. 3:6) දෙවිගේ සමහර විශ්වාසවන්ත සේවකයන් පවා ඒ උගුලට අහු වෙලා තියෙනවා. උසියා රජ අවුරුදු ගාණක් දෙවිට විශ්වාසවන්තව හිටියා. ඒත් “ඔහු බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළා. කොතරම් උඩඟු වූවාද කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළා.” එයා දේවමාලිගාවට ඇතුල් වෙලා පූජාසනයේ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළා. එහෙම කරන්න එයාට අයිතියක් තිබුණේ නැහැ. උසියා විතරක් නෙමෙයි හෙසකියා රජත් කාලයක් උඩඟු විදිහට වැඩ කළා.—2 ලේක. 26:16; 32:25, 26.

6. දාවිත්ට ඕනෙ නම් උඩඟු වෙන්න තිබුණ හේතු මොනවාද? ඒත් එයා දිගටම නිහතමානීව වැඩ කළේ ඇයි?

6 සමහරු පෙනුම නිසා, ප්‍රසිද්ධිය නිසා, සංගීතයට දක්ෂ නිසා, එයාලට තියෙන ශක්තිය නිසා, අනිත් අයගෙන් ලැබෙන ප්‍රශංසාව නිසා උඩඟු වෙනවා. දාවිත්ට ඒ හැම දේම තිබුණත් එයා කවදාවත් උඩඟු වුණේ නැහැ. ගොලියත්ව මැරුවාට පස්සේ සාවුල් රජ දාවිත්ට කිව්වා එයාගේ දුවව විවාහ කරගන්න කියලා. එතකොට දාවිත් මෙහෙම කිව්වා. “මගේ පියාගේ පවුලේ අයයි මගේ නෑදෑයනුයි ඊශ්‍රායෙල් දේශයේ ඒ තරම් වැදගත් මිනිසුන් නෙවෙයි. ඉතින් මම කොහොමද රජ්ජුරුවන්ගේ බෑනා වෙන්නේ?” (1 සාමු. 18:18) දිගටම නිහතමානීව වැඩ කරන්න එයාට උදව් වුණේ මොකක්ද? දාවිත් දැනන් හිටියා එයාට තිබුණ හැම දේම එයාට ලැබුණේ යෙහෝවා දෙවි යටහත්පහත්ව එයාට උදව් කරපු නිසයි කියලා.—ගීතා. 113:5-8; 1 කොරින්ති 4:7 බලන්න.

7. නිහතමානී වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

7 මේ විශ්වයේ උසස්ම කෙනා වන යෙහෝවා දෙවි මොන තරම් යටහත්පහත්ද කියලා දැනගෙන ඉන්න එක නිහතමානී වෙන්න අපිව පොලඹවන්න ඕනේ. (ගීතා. 18:35) “ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න” අපි හැමදාම උත්සාහ කරන්නේ ඒ නිසයි. (කොලො. 3:12) අපි දන්නවා දෙවිට ආදරේ කරන කෙනෙක් කවදාවත් ‘තමා ගැන පුරසාරම් දොඩන්නේවත් අහංකාරයෙන් ක්‍රියා කරන්නේවත් නැහැ’ කියලා. (1 කොරි. 13:4) අපි නිහතමානීව වැඩ කරනවා අනිත් අය දකිද්දී දෙවි ගැන දැනගන්න එයාලටත් ආසාවක් ඇති වෙයි. දෙවිට නමස්කාර නොකරන සැමියෙක්ව දෙවිට ළං කරන්න බිරිඳගේ යහපත් හැසිරීම උදව් වෙනවා වගේ දෙවිගේ සේවකයන් යටහත්පහත්ව වැඩ කරද්දී මිනිසුන්ව දෙවිට ළං කරන්න ඒක උදව් වෙනවා.—1 පේතෘ. 3:1.

අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද?

8. (අ) දරුවන් දෙමාපියන්ට අකීකරු වෙන එක ගැන අද ඉන්න සමහරුන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) බයිබලේ දරුවන්ට කරන්න කියන්නේ මොකක්ද?

8 අන්තිම කාලේ ජීවත් වෙන මිනිසුන් අනිත් අයට සලකන විදිහ ගැන පාවුල් සඳහන් කළා. පාවුල් කිව්වා දරුවන් දෙමාපියන්ට අකීකරු වෙනවා කියලා. අද තියෙන ගොඩක් පොත්වල, චිත්‍රපටිවල, නාට්‍යවල පෙන්නන්නේ දෙමාපියන්ට අකීකරු වෙන එක සාමාන්‍ය දෙයක් විදිහටයි. ඒත් අකීකරුකම නිසා පවුලේ අය අතරේ තියෙන බැඳීම් පලුදු වෙනවා. ඒක මුළු සමාජයටම බලපාන්න පුළුවන් දෙයක්. අතීතයේ ඉඳන්ම මිනිසුන් ඒ දේ පිළිගත්තා. උදාහරණෙකට පුරාණ ග්‍රීසියේ කවුරු හරි කෙනෙක් දෙමාපියන්ට අත ඉස්සුවොත් සමාජය තුළ එයාට තිබුණ අයිතිවාසිකම් එයාට අහිමි වෙනවා. රෝම නීතියට අනුව තමන්ගේ පියාට පහර දීපු කෙනෙක්ව සැලකුවේ මිනී මරුවෙක් විදිහට. හෙබ්‍රෙව් ලියවිල්ලේ වගේම ග්‍රීක ලියවිල්ලෙත් දරුවන්ට දිරිගන්වලා තියෙන්නේ දෙමාපියන්ට ගෞරව කරන්න කියලයි.—නික්. 20:12; එෆී. 6:1-3.

9. දෙමාපියන්ට කීකරු වෙන්න දරුවන්ට උදව් වෙන්නේ මොනවාද?

9 දිගටම දෙමාපියන්ට කීකරු වෙන්න දරුවන්ට උදව් වෙන්නේ මොනවාද? දෙමාපියන් තමන් වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම හිතද්දී එයාලා ගැන තියෙන අගය වැඩි වෙනවා. ඒක දෙමාපියන්ට කීකරු වෙන්න උදව්වක්. අපි හැමෝගෙම තාත්තා වන යෙහෝවා දෙවිත් දරුවන් දෙමාපියන්ට කීකරු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දරුවන් එයාලගේ යාළුවන් එක්ක තමන්ගේ දෙමාපියන්ගේ හොඳ ගුණාංග ගැන කතා කරද්දී ඒ යාළුවන්ට එයාලගේ දෙමාපියන් ගැන තියෙන ගෞරවය තව වැඩි වෙයි. ඇත්ත, සමහර දෙමාපියන්ට තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැහැ. ඒ වගේ දෙමාපියන්ට කීකරු වෙන එක ලේසි නැහැ. දරුවෙක්ට දැනෙනවා නම් එයාගේ දෙමාපියන් එයාට ඇත්තටම ආදරෙයි කියලා අමාරු අවස්ථාවලදී වුණත් කීකරු වෙන්න එයා පෙලඹෙනවා. යෞවන වයසේ ඉන්න ඔස්ටින් මෙහෙම කියනවා. “තාත්තා කරන්න එපා කියපු දෙයක් කරන්න හිතුණු වෙලාවල් තියෙනවා. ඒත් එයාලා දාලා තිබුණ නීති අසාධාරණ නැහැ. ඒවා දාන්න හේතුත් එයාලා පැහැදිලි කළා. මට ඕන වෙලාවක නිදහසේ එයාලා එක්ක කතා කරන්න පුළුවන්කමත් තිබුණා. ඒ දේවල් එයාලට කීකරු වෙන්න මට උදව් වුණා. එයාලා මට කොච්චර ආදරෙයිද කියලා මට දැනුණා. ඒ නිසා මං පෙලඹුණා එයාලා සතුටු වෙන දේ කරන්න.”

10, 11. (අ) මිනිසුන්ට අනිත් අය ගැන ආදරයක් නැහැ කියලා පේන්නේ එයාලා තුළ තියෙන මොන නරක ගති නිසාද? (ආ) අපි අනිත් අයට ආදරේ කරන්න ඕනෙ කොහොමද?

10 පාවුල් ඊළඟට සඳහන් කරන ගතිපැවතුම්වලිනුත් පේන්නේ මිනිසුන්ට අනිත් අය ගැන ආදරයක් නැහැ කියලයි. “දෙමාපියන්ට අකීකරු වන” අය ගැන කිව්වාට පස්සේ පාවුල් සඳහන් කරන්නේ ස්තුතිවන්ත නොවන අය ගැන. ස්තුතිවන්ත නොවන කෙනෙක්ට අනිත් අය එයා වෙනුවෙන් කරන දේවල් ගැන කිසිම අගයක් නැහැ. පාවුල් කිව්වා ගොඩක් අය ද්‍රෝහිකම් කරනවා කියලා. කිසිම දෙයක් ගැන එකඟ නොවන අය ගැනත් එයා කිව්වා. ඒ කියන්නේ එයාලට අනිත් අය එක්ක සමාදාන වෙන්න කිසිම වුවමනාවක් නැහැ කියන එකයි. දෙවිට අපහාස කරන, අනුන්ව පාවා දෙන අයත් ඉන්නවා. එයාලා මිනිසුන් ගැන විතරක් නෙමෙයි දෙවි ගැනත් දුෂ්ට, හානිකර දේවල් කියනවා. අනිත් අයට නින්දා කරන අයත් ඉන්නවා. එයාලා බොරු දේවල් පතුරුවලා චරිත ඝාතනය කරනවා. *

11 අද සමාජයේ ඉන්න වැඩිදෙනෙක්ට වඩා යෙහෝවා දෙවිගේ සෙනඟ ගොඩක් වෙනස්. මොකද එයාලා අනිත් අයට අවංකවම ආදරේ කරනවා. ඒක ඉස්සර ඉඳන්ම එයාලා තුළ දකින්න තියෙනවා. යේසුස් කිව්වේ අනිත් අයට ආදරේ කරන්න කියන ආඥාව දෙවෙනි වෙන්නේ දෙවිට ආදරේ කරන්න කියන ආඥාවට විතරයි කියලා. (මතෙ. 22:38, 39) ඔහුගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනගන්න පුළුවන් වෙන්නෙත් එයාලා එකිනෙකාට පෙන්නන ආදරෙන් කියලා යේසුස් කිව්වා. (යොහන් 13:34, 35 කියවන්න.) දෙවිගේ සේවකයන් සතුරන්ට පවා ආදරේ කරනවා.—මතෙ. 5:43, 44.

12. යේසුස් අනිත් අයට ආදරෙයි කියලා පෙන්නුවේ කොහොමද?

12 මිනිසුන් ගැන යේසුස්ගේ හිතේ තිබුණ ආදරේ ඔහු ක්‍රියා කරපු විදිහෙන් පෙනුණා. ඔහු ගමෙන් ගමට ගිහින් දේවරාජ්‍යය ගැන හැමෝටම දේශනා කළා. අන්ධ, කොර, බිහිරි අයව සහ ලාදුරු රෝගීන්ව සුව කළා. මැරුණු අයව නැවත නැඟිට්ටෙව්වා. (ලූක් 7:22) හැමෝම වෙනුවෙන් ඒ කියන්නේ ඔහුට වෛර කරපු අය වෙනුවෙන් පවා ඔහුගේ ජීවිතේ දුන්නා. යේසුස් ඔහුගේ පියා පෙන්නපු ආදරේ 100%ක් අනුකරණය කළා. ලෝකේ වටේම ඉන්න සාක්ෂිකරුවන් යේසුස්ව ආදර්ශයට අරන් අනිත් අයට ආදරේ කරනවා.

13. අපි අනිත් අයට පෙන්නන ආදරේ දෙවිට ළං වෙන්න එයාලට උදව් වෙන්නේ කොහොමද?

13 අපි අනිත් අයට ආදරේ කරද්දී යෙහෝවා දෙවි ගැන දැනගන්න එයාලත් පෙලඹෙනවා. මේ අද්දැකීම බලන්න. තායිලන්තයේ හිටපු කෙනෙක් එහේ තිබුණ සමුළුවකට ගියා. එතන හිටපු සහෝදර සහෝදරියන් පෙන්නපු ආදරේ එයාගේ හිතට තදින්ම වැදුණා. සමුළුව ඉවර වෙලා එයා ගෙදර ආවට පස්සේ සතියකට දෙසැරයක් සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න එයා කැමති වුණා. නෑදෑයන් එක්කත් එයා දෙවි ගැන කතා කළා. මාස හයකින් එයා එයාගේ පළවෙනි බයිබල් කියවීම ඉදිරිපත් කළා. අපිත් අනිත් අයට ආදරෙන් සලකනවාද කියලා දැනගන්න මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං මගේ පවුලේ අයට, සභාවේ අයට, සේවේදී හම්බ වෙන අයට උදව් කරන්න පුළුවන් උපරිමය කරනවාද? මං අනිත් අය දිහා බලන්නේ යෙහෝවා දෙවි එයාලා දිහා බලන විදිහටද?’

වෘකයන් සහ බැටළුවන්

14, 15. ගොඩක් අය ළඟ තියෙන්නේ මොන වගේ නරක ගතිගුණද? සමහරු එයාලගේ පෞද්ගලිකත්වය වෙනස් කරගෙන තියෙන්නේ කොහොමද?

14 සැබෑ ක්‍රිස්තියානීන් පරෙස්සම් වෙන්න ඕනෙ තවත් ගතිලක්ෂණ තියෙනවා. අද ඉන්න ගොඩක් අය යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන අය. එයාලා හොඳ දේවල් පිළිකුල් කරනවා විතරක් නෙමෙයි ඒ දේවලට විරුද්ධව වැඩ කරනවා. එයාලට තමන්වම පාලනය කරගන්න බැහැ. හරිම දරුණු විදිහටයි දේවල් කරන්නේ. තවත් අය හරිම හිතුවක්කාරයි. එයාලා අනිත් අය ගැන හිතන්නේ නැහැ. තමන්ට හිතුණ දේ කරනවා.

15 ඒත් දරුණු වනසතුන් වගේ හැසිරුණු ගොඩක් අය එයාලගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තියෙනවා. ඒ ගැන බයිබලේ කලින්ම කියලා තිබුණා. (යෙසායා 11:6, 7 කියවන්න.) ඒ අනාවැකියේ කියනවා වෘකයෝ, සිංහයෝ වගේ දරුණු වනසතුන් බැටළුවන්, වසු පැටවුන් වගේ හීලෑ සතුන් එක්ක සාමයෙන් එකට ඉන්නවා කියලා. ඒකට හේතුව ගැන බයිබලේ මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.’ (යෙසා. 11:9) ඒත් සතුන්ට දෙවි ගැන ඉගෙනගන්න බැහැ. එහෙමනම් එතන කතා කරන්නේ සංකේතාත්මක දෙයක් ගැන. ඒ කලින් දරුණු විදිහට වැඩ කරපු මිනිසුන් තමන්ගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න විදිහ ගැනයි.

බයිබලේ තියෙන ඉගැන්වීම් අදාළ කරගද්දී ජීවිත වෙනස් වෙනවා (16 ඡේදය බලන්න)

16. පෞද්ගලිකත්වය වෙනස් කරගන්න බයිබලේ උදව් වෙලා තියෙන්නේ කොහොමද?

16 කලින් දරුණු ගතිලක්ෂණ තිබුණ හුඟදෙනෙක් එයාලගේ ජීවිත වෙනස් කරගෙන දැන් දෙවිගේ සෙනඟ අතරේ සාමයෙන් ජීවත් වෙනවා. jw.org වෙබ් අඩවියේ පළ වෙන “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපිවලින් එයාලගේ අද්දැකීම් ගැන කියවන්න ඔයාට පුළුවන්. එයාලා ‘අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන’ තියෙනවා. “එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය.” (එෆී. 4:23, 24) ඒත් අද ඉන්න වැඩිදෙනෙක් මිනිසුන්ට පෙනෙන්න දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් එයාලා ඇත්තටම ඒ භක්තියට පටහැනිව ක්‍රියා කරනවා. යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුට සේවය කරන අය ඒ අය වගේ නෙමෙයි. මොකද කෙනෙක් දෙවි ගැන ඉගෙනගද්දී ඔහුගේ ප්‍රතිපත්ති රකින්න ඕනෙ කියලා එයා තේරුම්ගන්නවා. ඒක එයාට උදව් වෙනවා එයාගේ විශ්වාසයන්, එයා හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න. ඒ වගේ වෙනස්කම් කරන එක ලේසි නැහැ. ඒත් දෙවිව සතුටු කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ඒ වෙනස්කම් කරගන්න දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් උදව් කරනවා.

“එවැනි අයගෙන් අහක්ව සිටින්න”

17. නරක ගති තියෙන මිනිසුන්ගේ බලපෑමට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

17 දෙවිට සේවය කරන සහ නොකරන මිනිසුන් අතර තියෙන වෙනස එන්න එන්නම පැහැදිලි වෙනවා. අපි පරෙස්සම් වුණේ නැත්නම් දෙවිට සේවය කරන්නේ නැති අයගේ නරක ගති අපිටත් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා 2 තිමෝති 3:2-5 සඳහන් ගතිලක්ෂණ තියෙන මිනිසුන්ගෙන් අහක්ව ඉන්න කියලා දෙවි දීලා තියෙන මඟ පෙන්වීමට අපි කීකරු වෙන එක වැදගත්. ඇත්ත, ඒ වගේ නරක ගති තියෙන හැම කෙනෙක්ගෙන්ම ඈත් වෙලා ඉන්න අපිට බැහැ. ඒ වගේ අය අපි රැකියාව කරන තැන ඉන්නවා. ඉස්කෝලේ ඉන්නවා. නැත්නම් අපිට ඒ වගේ අය එක්ක ජීවත් වෙන්න වෙනවා. හැබැයි එහෙමයි කියලා එයාලා හිතන විදිහට, වැඩ කරන විදිහට අපි හුරු වෙන්න හොඳ නැහැ. එහෙම නොකර ඉන්න නම් දෙවිත් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට බයිබලේ අධ්‍යයනය කරන එකත් දෙවිට ආදරේ කරන අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන එකත් උදව්වක්.

18. අපි කරන කියන දේවල් දෙවිට ළං වෙන්න අනිත් අයට උදව් වෙන්නේ කොහොමද?

18 අනිත් අයට යෙහෝවා දෙවි ගැන දැනගන්න උදව් කරන එකත් අපේ වගකීමක්. ඒ නිසා දෙවි ගැන සාක්ෂි දරන්න සුදුසු අවස්ථා හොයන්න. හරි වෙලාවට හරි දේ කියන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හැමෝටම අපි කියන්න ඕනේ. එහෙම කළොත් අපි කරන හොඳ දේවල් නිසා අපිටම ගෞරවයක් ලබාගන්නවා වෙනුවට ඒ ගෞරවය දෙවිට දෙන්න අපිට පුළුවන්. ‘දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා හා පව්කාර ආශාවන් ප්‍රතික්ෂේප කරන’ විදිහ ගැනත් ‘පවතින මේ සමාජය තුළ හොඳ සිහිකල්පනාවෙන්, ධර්මිෂ්ඨකමින් හා දේවභක්තියෙන් ජීවත් වෙන විදිහ’ ගැනත් දෙවි අපිට උගන්වලා තියෙනවා. (තීත. 2:11-14) අපි දෙවිව අනුකරණය කරද්දී, දෙවි කැමති විදිහට වැඩ කරද්දී අනිත් අය ඒක දකිනවා. එතකොට එයාලගෙන් සමහරදෙනෙක් මෙහෙම කියයි. “දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.”—සෙක. 8:23.

^ 10 ඡේ. “අපහාස කරන්නා” නැත්නම් “චෝදනා කරන්නා” හැටියට පරිවර්තනය කරලා තියෙන “ඩයාබොලොස්” කියන ග්‍රීක වචනය බයිබලේ පාවිච්චි කරන්නේ දෙවිට අපහාස කරන සාතන් ගැන කතා කරද්දීයි.