Skip to content

පටුනට යන්න

ඇත්තටම සතුටින් ඉන්නේ කවුද?

ඇත්තටම සතුටින් ඉන්නේ කවුද?

“ඇත්තටම සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.”—ගීතා. 144:15.

ගීතිකා: 111, 109

1. වෙන කවරදාකටත් වඩා අද අපි ජීවත් වෙන කාලේ වෙනස් කියන්නේ ඇයි?

ඉතිහාසයේ කවරදාකවත් සිදු වෙලා නැති දෙයක් අපේ කාලේ සිද්ධ වෙනවා. යෙහෝවා දෙවි මේ කාලේදී ‘සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් ජනයාගෙනුත් සියලු භාෂා කතා කරන අයගෙනුත් සමන්විත’ මහත් සමූහයක් එකතු කරමින් ඉන්නවා. ඒ මහත් සමූහයට මිලියන අටකටත් වඩා වැඩි පිරිසක් ඇතුළත්. ‘දිවා රෑ දෙකෙහි දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමමින්’ ඉන්න එයාලා “බලවත් ජාතියක්” වගේ. (එළි. 7:9, 15; යෙසා. 60:22) දෙවිටත් අනිත් අයටත් ආදරේ කරන ඒ තරම් පිරිසක් මීට කලින් කවදාවත් පොළොවේ ඉඳලා නැහැ.

2. දෙවිට ආදරේ කරන්නේ නැති අය තුළ දකින්න තියෙන්නේ මොන වගේ ගතිලක්ෂණද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2 දෙවි ගැන ආදරයක් නැති පිරිසක් ගැනත් බයිබලේ කතා කරලා තියෙනවා. එයාලා ‘තමන් ගැනම හිතන, මුදලට ලොල් වී සිටින, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය’ කියලා පාවුල් කිව්වා. (2 තිමෝ. 3:1-4) තමන් ගැනම හිතන එකෙන්, මුදල්වලට, විනෝදයට මුල් තැන දෙන එකෙන් නියම සතුට ලැබෙනවා කියලා හිතුවාට එයාලා අද්දකින්නේ සැබෑ සතුට නෙමෙයි. අද සමාජය මේ තරම් ආත්මාර්ථකාමී වෙලා තියෙන්නේ ඒ වගේ ගතිලක්ෂණ තියෙන අය නිසයි.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? ඒ ඇයි?

3 සැබෑ ක්‍රිස්තියානීන් වට වෙලා ඉන්නේ ආත්මාර්ථකාමී ගතිලක්ෂණ තියෙන අයගෙන් නිසා එයාලගේ ආකල්ප ක්‍රිස්තියානීන්ටත් බෝ වෙන්න පුළුවන් කියලා පාවුල් දැනගෙන හිටියා. එයාලගෙන් “අහක්ව සිටින්න” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (2 තිමෝ. 3:5) ඒත් අපිට මේ සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න බැහැ. එහෙමනම් ඒ වගේ ආකල්පවලට අහු නොවී දිගටම දෙවි සතුටු වෙන දේ කරන්න අපිට පුළුවන් කොහොමද? ඒක දැනගන්න අපි මුලින්ම දෙවිට ආදරේ කරන කෙනෙක් 2 තිමෝති 3:2-4 විස්තර කරන කෙනෙක්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට අපිට පුළුවන් වෙයි සැබෑ සතුට අද්දකින්න අපේ පැත්තෙන් තව දියුණු කරගන්න ඕනෙ පැති හඳුනගන්න.

වැඩියෙන් ආදරේ දෙවිටද තමන්ටද?

4. යම් දුරකට තමන් ගැන හිතන එක වැරදි නැත්තේ ඇයි?

4 පාවුල් කිව්වා ‘මිනිසුන් තමන් ගැනම සිතන අය වනු ඇත’ කියලා. ඒ කියන්නේ අපි ගැන හිතන එක වැරදිද? නැහැ. අපි අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඒ විදිහට. යේසුත් කිව්වේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියලා. (මාක් 12:31) අපි අපිටම ආදරේ කරන්නේ නැත්නම් අනිත් අයට ආදරේ කරන්න අපිට බැහැ. බයිබලේ මෙහෙමත් කියනවා. “ස්වාමිපුරුෂයන් තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි. තම භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරන බව කිව හැකියි. මන්ද කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.” (එෆී. 5:28, 29) ඒකෙන් තේරෙන්නේ යම් දුරකට අපි ගැන හිතන එකේ වරදක් නැහැ කියලයි.

5. තමන් ගැන ඕනෑවට වඩා හිතන කෙනෙක් මොන වගේද?

5 2 තිමෝති 3:2 කතා කරන්නේ වෙන කිසිම කෙනෙක්ට වඩා තමන්ට ආදරේ කරන කෙනෙක් ගැනයි. එයා හරිම ආත්මාර්ථකාමියි. වුවමනාවට වඩා තමන් ගැන හිතනවා. (රෝම 12:3 කියවන්න.) දෙයක් හරියට වුණේ නැති වුණාම එයා ඉක්මනින්ම වරද අනිත් අය පිට දානවා. බයිබල් විශාරදයෙක් කියන්නේ ඒ වගේ කෙනෙක් හරියට ඉත්තෑවෙක් වගේ කියලයි. ඉත්තෑවෙක් අනතුරක් දැක්කාම, සීතලක් දැනුණාම ඉක්මනට ගුලි වෙලා ආරක්ෂාවක්, උණුසුමක් ලබනවා. ගුලි වුණාම ඌට ආරක්ෂාවක්, උණුසුමක් ලැබුණාට පිටින් තියෙන්නේ තියුණු කූරු නිසා ඒක අනිත් අයට හානියක්. තමන් ගැනම විතරක් හිතන කෙනෙක්ට සැබෑ සතුට අද්දකින්න බැහැ.

6. දෙවිට ආදරේ කරන අය අද්දකින්නේ මොනවාද?

6 තමන් ගැනම හිතන අය ගැන පාවුල් මුලින්ම සඳහන් කළේ ඊටපස්සේ එයා සඳහන් කරන හැම ගතිලක්ෂණයක්ම ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන ඒවා නිසයි කියලා සමහර විශාරදයන් කියනවා. ඒත් දෙවිට ආදරේ කරන කෙනෙක් තුළ දකින්න තියෙන්නේ ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම වගේ හොඳ ගුණාංගයි. (ගලා. 5:22, 23) “ඇත්තටම සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය” කියලා බයිබලේ කියනවා. (ගීතා. 144:15) යෙහෝවා දෙවි සන්තෝෂවත් දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුගේ සෙනඟ ඉන්නෙත් සතුටින්. තමන් ගැන, තමන්ටම දේවල් ලබාගන්න එක ගැන විතරක් හිතන අය වගේ නෙමෙයි දෙවිගේ සෙනඟ අනිත් අයට දේවල් දෙන නිසාත් ලොකු සතුටක් අද්දකිනවා.—ක්‍රියා 20:35.

අපි ගැනම හිතන එකෙන් වළකින්න පුළුවන් කොහොමද? (7 ඡේදය බලන්න)

7. දෙවි ගැන අපිට තියෙන්නේ කොයි වගේ ආදරයක්ද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රශ්න මොනවාද?

7 දෙවි ගැන තියෙන ආදරේ යටපත් වෙන තරමටම අපි අපි ගැනම හිතන්න පටන් අරන්ද කියලා දැනගන්න පුළුවන් කොහොමද? බයිබලේ මෙහෙම කියනවා. “කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න. ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.” (ෆිලි. 2:3, 4) අපි අපෙන්ම මෙහෙම අහලා බලමු. ‘ඒ උපදෙස මං අදාළ කරගන්නවාද? දෙවි කැමති විදිහට ජීවත් වෙන්න මං උත්සාහ කරනවාද? සභාවේ අයට, සේවේදී හම්බ වෙන අයට ඕන වෙලාවක උදව් කරන්න මං ලෑස්තිද?’ අපේ කාලය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් පාවිච්චි කරන එක හැම වෙලේම ලේසි නැහැ. ඒ වෙනුවෙන් අපිට මහන්සි වෙන්න වෙයි, අපි ආස කරන දේවල් කැප කරන්න වෙයි. ඒත් එහෙම කරද්දී මුළු විශ්වයේම පාලකයා වන දෙවි අපි ගැන සතුටු වෙනවා. ඒක දැනගෙන ඉන්න එක මොන තරම් සතුටක්ද!

8. දෙවිට තියෙන ආදරේ නිසා සමහරු පෙලඹිලා තියෙන්නේ මොනවා කරන්නද?

8 දෙවිට තියෙන ආදරේ නිසා සමහරු රැකියාවේ ඉහළට යන්න තියෙන අවස්ථාවන් අත්හැරලා දෙවිට වැඩියෙන් සේවය කරන්න තෝරගෙන තියෙනවා. එරිකා ඒ වගේ කෙනෙක්. වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළට යනවා වෙනුවට එයා පුරෝගාමි සේවය තෝරගත්තා. ඒ නිසා එයාටයි, එයාගේ සැමියාටයි රටවල් කීපයකටම ගිහින් සේවය කරන්න අවස්ථාව ලැබුණා. එයා මෙහෙම කියනවා. “සේවයෙන් ලබපු අද්දැකීම්, සහෝදරයන් එක්ක ඇති කරගත්ත බැඳීම් අපේ ජීවිතවලට එකතු කළේ ලොකු සතුටක්.” එරිකා තාමත් වෛද්‍යවරියක් විදිහට වැඩ කරනවා. ඒත් එයා වැඩි කාලයක්, ශ්‍රමයක් යොදවන්නේ දෙවි ගැන අනිත් අයට කියලා දෙන්නයි. සහෝදර සහෝදරියන්ට උදව් කරන්නයි. “ඒකෙන් තමයි නියම සතුට, තෘප්තිය මං අද්දකින්නේ” කියලා එයා කියනවා.

වස්තුව ස්වර්ගයේද පොළොවේද?

9. මුදල්වලට ආස කරන කෙනෙක්ට සැබෑ සතුට අද්දකින්න බැරි ඇයි?

9 මිනිසුන් “මුදලට ලොල් වී සිටින අය වනු ඇත” කියලා පාවුල් කිව්වා. දවසක් සහෝදරයෙක් කෙනෙක්ට දෙවි ගැන කියද්දී ඒ කෙනා පර්ස් එක ඇරලා ඒකේ තිබුණ සල්ලි පෙන්නලා කිව්වා “මේ තමයි මගේ දෙවියෝ” කියලා. අද ඉන්න හුඟක් අය හිතන්නෙත් ඒ විදිහටමයි. එයාලා සල්ලිවලටත් ඒවාවලින් ගන්න පුළුවන් දේවලටත් දක්වන්නේ පුදුම ආසාවක්. ඒත් බයිබලේ කියන්නේ “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි” කියලයි. (දේශ. 5:10) සල්ලි පස්සේ යන කෙනෙක් ‘දැන් හම්බ කළා ඇති’ කියලා කවදාවත් හිතන්නේ නැහැ. තව තව සල්ලි හම්බ කරන්න එයා මුළු ජීවිතෙම වැය කරනවා. අන්තිමේදී එයාට වෙන්නේ “බොහෝ වේදනා” අද්දකින්නයි.—1 තිමෝ. 6:9, 10.

10. ආගුර් දුප්පත්කම සහ පොහොසත්කම ගැන කිව්වේ මොනවාද?

10 ජීවත් වෙන්න සල්ලි ඕනේ. ඒකෙන් අපිට යම් ආරක්ෂාවකුත් ලැබෙනවා. (දේශ. 7:12) ඒත් අපිට තියෙන්නේ එදිනෙදා අවශ්‍යතා සපුරගන්න ඇති තරම් මුදලක් විතරයි නම් අපිට සතුටු වෙන්න බැරිද? පුළුවන්. (දේශනාකාරයා 5:12 කියවන්න.) “මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදී, එදිනෙදා අවශ්‍ය ආහාර පාන විතරක් ලබා දෙන්න” කියලා යාකේගේ පුතා වුණ ආගුර් දෙවිට කිව්වා. එයා දුප්පත් වෙන්න අකමැති වුණේ දුප්පත්කම නිසා හොරකම් කරන්න පෙලඹුණොත් ඒකෙන් දෙවිට අගෞරවයක් වෙන නිසයි. ඒත් ඇයි එයා පොහොසත් වෙන්න අකමැති වුණේ? ඒ ගැන එයා කියන්නේ “මා ඕනෑවට වඩා තෘප්තියට පත් වී, ‘යෙහෝවා දෙවි කවුද? මා ඔහුව හඳුනන්නේ නැහැ’ යයි කියමින් ඔබව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ” කියලයි.—හිතෝ. 30:8, 9.

11. මුදල් ගැන යේසුස් කිව්වේ මොනවාද?

11 සල්ලි පස්සේ යන අයට දෙවිව සතුටු කරන්න බැහැ. ඒ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.” ඔහු මෙහෙමත් කිව්වා. “තවදුරටත් මෙලොවෙහි වස්තු රැස් කර නොගන්න. මන්ද කාවෝ සහ මලකඩ නිසා ඒවා නාස්ති වී යයි. සොරුන් ඇවිත් ඒවා සොරාගනියි. ඒ වෙනුවට ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න. එහිදී කාවන්ටවත් මලකඩවලටවත් ඒවා නාස්ති කරන්න බැහැ. සොරුන්ටවත් ඇවිත් ඒවා සොරා ගන්න බැහැ.”—මතෙ. 6:19, 20, 24.

12. සරල ජීවිතයක් ගත කරන එක දෙවිට සේවය කරන්න උදව් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

12 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් උත්සාහ කරන්නේ සරල ජීවිතයක් ගත කරන්න. ඒ නිසා යෙහෝවා දෙවිට වැඩියෙන් සේවය කරන්න එයාලට පුළුවන්. වෙනදාට වඩා ලොකු සතුටක් එයාලා ඒකෙන් අද්දකිනවා. ඇමරිකාවේ ජීවත් වෙන ජැක්ටත් ඕනෙ වුණා ජීවිතේ සරල කරගෙන පුරෝගාමි සේවය කරන්න. ඒ නිසා එයාලගේ ලස්සන ගේයි, ව්‍යාපාරයයි විකුණුවා. ජැක් මෙහෙම කියනවා. “වැඩපොළේ තිබුණ ප්‍රශ්න නිසා මං අවුරුදු ගාණක්ම වැඩ ඉවර වෙලා ගෙදර ආවේ ලොකු පීඩනයකින්. ඒත් මගේ බිරිඳ නම් හැම වෙලේම හිටියේ සතුටින්. එයා පුරෝගාමි සේවය කරපු නිසා එයා කිව්වේ ‘මං වැඩ කරන්නේ ඉන්න පුළුවන් හොඳම බොස්ට’ කියලයි. දැන් මාත් එයාත් එක්ක පුරෝගාමි සේවය කරන නිසා අපි දෙන්නාම ඉන්නේ සතුටින්. මොකද අපි සේවය කරන්නේ හොඳම කෙනාට.”

මුදල්වලට ඇල්මක් දක්වන එකෙන් වළකින්න පුළුවන් කොහොමද? (13 ඡේදය බලන්න)

13. අපේ ජීවිතේ සල්ලිවලට තියෙන්නේ මොන වගේ තැනක්ද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

13 අපේ ජීවිතේ සල්ලිවලට දීලා තියෙන්නේ මොන වගේ තැනක්ද කියලා දැනගන්න අපි අවංකවම මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න ඕනේ. ‘සල්ලි ගැන බයිබලේ කියලා තියෙන දේ මං විශ්වාස කරනවා කියලා මං ජීවත් වෙන විදිහෙන් පේනවාද? මගේ ජීවිතේ වැදගත්ම දේ වෙලා තියෙන්නේ සල්ලි හොයන එකද? දෙවි එක්කත් අනිත් අය එක්කත් තියෙන බැඳීම රැකගන්න එකට වඩා මට වටින්නේ බඩු මුට්ටු රැස් කරගන්න එකද? එදිනෙදා අවශ්‍යතා යෙහෝවා දෙවි සපයයි කියලා මට විශ්වාසද?’ යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන අයව දෙවි අත්හරින්නේ නැහැ කියලා අපිට ස්ථිරයි.—මතෙ. 6:33.

වැඩි ඇල්ම දෙවිටද විනෝදයටද?

14. විනෝදයට අපේ ජීවිතේ දෙන්න ඕනෙ තැන මොකක්ද?

14 මේ කාලේ ඉන්න මිනිසුන් ‘විනෝදයට ඇල්මක් දක්වන අය’ කියලත් පාවුල් කිව්වා. යම් ප්‍රමාණයකට අපි ගැන හිතන එකෙත් අවශ්‍යතා පිරිමහගන්න මුදල් හම්බ කරන එකෙත් වරදක් නැහැ වගේ විනෝද වෙන්න යම් කාලයක් වෙන් කරන එකෙත් වරදක් නැහැ. සමහරු හිතන්නේ කොහොමටවත් විනෝද වෙන එක සුදුසු නැහැ කියලයි. ඒත් යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට කියන්නේ “ගොස් ප්‍රීතියෙන් කෑම කන්න. සතුටින් වයින් බොන්න” කියලයි.—දේශ. 9:7.

15. විනෝදයට ඇල්මක් දක්වන කෙනෙක් කොයි වගේද?

15 2 තිමෝති 3:4 කියන්නේ විනෝදයට ඇල්මක් දක්වන අය “දෙවිට වඩා” ඒකට ඇලුම් කරනවා කියලයි. ඒකෙන් අදහස් කරනවාද ඒගොල්ලන්ගේ හිතේ දෙවි ගැනත් ආදරයක් තියෙනවා කියලා? ඒ ගැන විශාරදයෙක් කියන්නේ ඒ වගේ කෙනෙක් තුළ දෙවි ගැන පොඩි ආදරයක්වත් නැහැ කියලයි. විනෝදයට බර අයට ඒක ප්‍රබල අනතුරු ඇඟවීමක්. මොකද බයිබලේ කියන්නේ ඒ වගේ අය දන්නෙම නැතුව විනෝදයට තියෙන ආසාව නිසා ‘ගසාගෙන යනවා’ කියලයි.—ලූක් 8:14.

16, 17. යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 විනෝදයට දෙන්න ඕනෙ මොන වගේ තැනක්ද කියලා අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. යේසුස් ‘විවාහ උත්සවයකටත්’ ‘විශාල භෝජන සංග්‍රහයකටත්’ ගියා. (යොහ. 2:1-10; ලූක් 5:29) විවාහ උත්සවයේදී වයින් මදි වුණාම ඔහු ආශ්චර්යයක් කරලා වතුර වයින් කළා. තව අවස්ථාවකදී යේසුස් කන බොන විදිහ ගැන විවේචනය කරපු අයට ඔහු කිව්වේ එයාලා ඒ කාරණය ගැන සමබර විදිහට හිතන්නේ නැහැ කියලයි.—ලූක් 7:33-36.

17 ඒත් යේසුස් විනෝද වෙන එක ජීවිතේ වැදගත්ම දේ විදිහට සැලකුවේ නැහැ. ඔහු ජීවිතේ මුල් තැන දුන්නේ යෙහෝවා දෙවිට. අනිත් අයට උදව් කරන්න තමන්ට පුළුවන් හැම දේමත් ඔහු කළා. මිනිසුන්ව බේරගන්න වේදනාකාරී මරණයක් විඳින්න ඔහු කැමති වුණා. ඔහුව ආදර්ශයට ගන්න කැමති අයට ඔහු කිව්වේ මෙහෙමයි. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න. ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව මතක තබාගන්න.”—මතෙ. 5:11, 12.

විනෝදයට ඇල්මක් දක්වන එකෙන් වළකින්න පුළුවන් කොහොමද? (18 ඡේදය බලන්න)

18. අපි හිතන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?

18 විනෝදයට අපි දීලා තියෙන්නේ මොන වගේ තැනක්ද කියලා තේරුම්ගන්න උදව් වෙන මේ ප්‍රශ්න අපෙන්ම අහලා බලමු. ‘රැස්වීම්, දේවසේවයේ යන එකට වඩා මං ආස විනෝද වෙන්නද? මං ආස කරන දේවල් වුණත් කැප කරලා දෙවිගේ සේවයට මුල් තැන දෙන්න මං ලෑස්තිද? විනෝද වෙන්න මං දෙයක් තෝරගද්දී දෙවිට ඒ ගැන කොහොම හැඟෙයිද කියලා මං හිතනවාද?’ දෙවිට තියෙන ආදරේ නිසාත් දෙවිව සතුටු කරන්න තියෙන ආසාව නිසාත් වැරදියි කියලා අපි දන්න දේවලින් විතරක් නෙමෙයි දෙවි අසතුටු වෙයි කියලා අපි හිතන දේවලිනුත් අපි වළකිනවා.—මතෙව් 22:37, 38 කියවන්න.

සැබෑ සතුට

19. සැබෑ සතුට කවදාවත් අද්දකින්න බැරි කාටද?

19 සාතන්ගේ දුෂ්ට මිනිස් සමාජය නිසා අවුරුදු 6,000ක් තිස්සේ මිනිසුන් දුක් විඳිනවා. දැන් ඒකේ අවසානය ළඟටම ඇවිල්ලා. තමන් ගැනම හිතන, සල්ලි පස්සේ දුවන, විනෝදයට විතරක් මුල් තැන දෙන මිනිසුන්ගෙන් මේ ලෝකේ පිරිලා. එයාලා හිතන්නේ තමන්ට ලබාගන්න පුළුවන් දේවල් ගැන විතරයි. එයාලා මුල් තැන දීලා තියෙන්නේ තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගන්නයි. ඒත් ඒ වගේ අයට සැබෑ සතුට කවදාවත් අද්දකින්න බැහැ. එහෙමනම් සැබෑ සතුට අද්දකින්නේ කවුද? බයිබලේ කියන්නේ “උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය. තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය” කියලයි.—ගීතා. 146:5.

20. දෙවිට තියෙන ආදරේ නිසා ඔයා සතුට අද්දකින්නේ කොහොමද?

20 දෙවිගේ සේවකයන්ට දෙවි ගැන තියෙන ආදරේ දවස ගාණේ වැඩි වෙනවා. හැම අවුරුද්දකම විශාල පිරිසක් දෙවිව දැන හඳුන ගෙන ඔහුට ආදරේ කරන්න පටන්ගන්නවා. දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා කියලා ඒකෙන් ඔප්පු වෙනවා. ඒ රාජ්‍යය මේ පොළොව පාලනය කරන දවස වැඩි ඈතක නෙමෙයි. එදාට හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාද අපි අද්දකියි. දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ කරද්දී දෙවි අපි ගැන සතුටු වෙනවා කියලා අපි දන්නවා. ඒක දැනගෙන ඉන්න එක තරම් සතුටක් තවත් තියෙනවාද? දෙවිට ආදරේ කරන අය අද්දකින සතුට කවදාවත් අවසන් වෙන්නේ නැහැ. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මිනිසුන් කරන කියන දේවලට ආත්මාර්ථකාමී ගතිලක්ෂණ බලපාලා තියෙන්නේ කොහොමද කියලයි. දෙවිගේ සේවකයන් කරන කියන දේවල් ඊට වඩා කොච්චර වෙනස්ද කියලත් අපි බලනවා.