Skip to content

පටුනට යන්න

සිහි කිරීම දෙවිගේ සෙනඟව එක්සත් කරයි

සිහි කිරීම දෙවිගේ සෙනඟව එක්සත් කරයි

“සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!”—ගීතා. 133:1.

ගීතිකා: 18, 14

1, 2. 2018දී ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟව විශේෂ විදිහකින් එක්සත් කරන සැමරීම මොකක්ද? එහෙම කියන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2018 මාර්තු 31 ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟට විශේෂ දවසක්. ඒ දවසේ හිරු බැස ගියාට පස්සේ මිලියන ගාණක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් තවත් හුඟදෙනෙකුත් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. හැම අවුරුද්දකම පවත්වන ඒ සැමරීම තරම් ලෝකේ පුරා ඉන්න සෙනඟක්ව එක්සත් කරවන තවත් සැමරීමක් නැහැ.

2 එහෙම කියන්නේ ඇයි? බයිබලේ අනාවැකියක ‘සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද ඇතුළත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්’ ගැන කතා කරනවා. ඒ අය මහත් හඬින් “අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින අපගේ දෙවිගෙන් හා බැටළු පැටවාගෙන්ය” කියලා කියනවා. (එළි. 7:9, 10) සිහි කිරීමේ දවසේදී ලෝකේ අස්සක් මුල්ලක් නෑර ඉන්න මිලියන ගාණක් එකට රැස් වෙලා යෙහෝවා දෙවිත් යේසුත් තමන් වෙනුවෙන් කරපු දේ ගැන එයාලගේ හිතේ තියෙන අගය පෙන්නනවා. ඒක දකිද්දී යෙහෝවා දෙවිත් යේසුත් කොයි තරම් සතුටු වෙනවා ඇද්ද!

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 අපි මේ ලිපියෙන් ප්‍රශ්න 4කට උත්තර දැනගමු. (1) සිහි කිරීමෙන් පෞද්ගලිකව ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ ඔයා ඒකට කොයි විදිහට සූදානම් වුණොත්ද? (2) දෙවිගේ සෙනඟව එක්සත් කරන්න සිහි කිරීම උදව් වෙන්නේ මොන විදිවලින්ද? (3) එක්සත්කමට දායක වෙන්න මට පුළුවන් කොහොමද? (4) සිහි කිරීම පවත්වන එක කවදා හරි නතර වෙයිද? එහෙමනම් ඒ කවදාද?

සූදානම් වෙන එකත් සහභාගි වෙන එකත් හරිම වැදගත්

4. සිහි කිරීමට සහභාගි වෙන එක වැදගත් ඇයි?

4 සිහි කිරීමට සහභාගි වෙන එක හුඟක් වැදගත්. මොකද රැස්වීම්වලට යන එක අපි යෙහෝවා දෙවිට කරන නමස්කාරයේ කොටසක්. අවුරුද්දේ වැදගත්ම රැස්වීමට සහභාගි වෙන්න අපි අපේ පැත්තෙන් උපරිම උත්සාහයක් ගද්දී යෙහෝවා දෙවිත් යේසුත් ඒක දකිනවා. සහභාගි වෙන්න බැරිම තරම් ලොකු හේතුවක් තිබුණොත් මිසක් අපි ඒ අවස්ථාව නිකම්ම මඟහරිනවා නම් දෙවිටත් යේසුස්ටත් කොහොම හැඟෙයිද? රැස්වීම් යන එක අපි හුඟක් අගය කරනවා කියලා පෙන්නද්දී ‘දෙවිගේ මතකයේ සිටින අයගේ නම් ලියන ලියවිල්ලේ’ නැත්නම් සදාකාල ජීවිතය ලැබෙන අයගේ නම් ඇතුළත් “ජීවන ලියවිල්ලේ” අපේ නම දිගටම තියාගන්න දෙවිට ඒක තවත් හේතුවක් වෙයි.—මලා. 3:16; එළි. 20:15.

5. ‘ඔයා විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔයා ඇලී සිටිනවාද’ කියලා සිහි කිරීමට සති කීපයකට කලින් ඉඳන් සෝදිසි කරලා බලන්න පුළුවන් කොහොමද?

5 යාච්ඤා කරලා දෙවි එක්ක අපිට තියෙන බැඳීම ගැන හොඳින් හිතන්න සිහි කිරීමට සති කීපයකට කලින් ඉඳන් අපි කාලේ ගන්න එක වැදගත්. (2 කොරින්ති 13:5 කියවන්න.) මොකද පාවුල් කිව්වා “ඔයා විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටිනවාද කියලා නොකඩවා සෝදිසි කරලා බලන්න” කියලා. මේ ප්‍රශ්න ගැන හිතන එක ඒක කරන්න ඔයාට උදව් වෙයි. ‘දෙවි ඔහුගේ කැමැත්ත ඉටු කරන්න තෝරගෙන තියෙන්නේ මේ සංවිධානය කියලා මට විශ්වාසද? ශුභාරංචිය දේශනා කරන්න, උගන්වන්න මං උපරිමය කරනවාද? අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල කියලත් දුෂ්ට සමාජයේ අවසානය ළඟයි කියලත් මට විශ්වාසයි කියලා මං ජීවත් වෙන විදිහෙන් පේනවාද? දෙවි ගැනත් යේසුස් ගැනත් මුලදී මට ඇති වුණ විශ්වාසය තවමත් ශක්තිමත්ද?’ (මතෙ. 24:14; 2 තිමෝ. 3:1; හෙබ්‍රෙ. 3:14) ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් ඔයා සත්‍ය ඉගැන්වීම්වලට ඇලී ඉන්න කෙනෙක්ද කියලා ඔයාටම පැහැදිලි වෙයි.

6. (අ) අපිට සදාකාල ජීවිතේ ලැබෙන්නේ මොන දේ කළොත් විතරද? (ආ) වැඩිමහල්ලෙක් හැම අවුරුද්දකම සිහි කිරීමට සූදානම් වෙන්නේ කොහොමද? එයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

6 සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් එක විදිහක් තමයි ඒකේ වැදගත්කම ගැන පැහැදිලි කරන ලිපි කියවලා ඒවා ගැන හොඳට හිතන එක. (යොහන් 3:16; 17:3 කියවන්න.) අපිට සදාකාල ජීවිතේ ලැබෙන්නේ අපි දෙවිව හොඳින් දැන හඳුන ගෙන ඔහුගේ පුතා ගැන විශ්වාසය තියලා වැඩ කළොත් විතරයි. එහෙමනම් දෙවිටත් යේසුස්ටත් තව ළං වෙන්න උදව් වෙන තොරතුරු සිහි කිරීමට කලින් සතිවලදී අධ්‍යයනය කරන එක හොඳ දෙයක් නෙමෙයිද? එක වැඩිමහල්ලෙක් කරන දේ බලන්න. එයා සිහි කිරීම ගැනත් යෙහෝවා දෙවි සහ යේසුස් අපිට පෙන්නලා තියෙන ආදරේ ගැනත් සඳහන් වෙන ‘මුරටැඹ’ ලිපි අවුරුදු ගාණක් තිස්සේ එකතු කළා. සිහි කිරීමට කලින් සතිවලදී එයා ඒ ලිපි ආයෙත් කියවලා සිහි කිරීමේ වැදගත්කම ගැන කල්පනා කරනවා. අලුතින් එන ලිපිත් එයා ඒ ලිපි ගොන්නට එකතු කරගන්නවා. සිහි කිරීමට අදාළ බයිබල් කොටස් කියවලා ඒ ගැනත් හොඳට හිතනවා. ඒ විදිහට අධ්‍යයනය කරපු නිසා හැම අවුරුද්දකම අලුත් දේවල් ඉගෙනගන්න එයාට පුළුවන් වුණා කියලා එයා කියනවා. වැදගත්ම දේ වුණේ යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් එයාගේ හිතේ තිබුණ ආදරේ තවත් වැඩි වුණ එකයි. ඔයාත් ඒ විදිහට අධ්‍යයනය කළොත් දෙවිටත් යේසුස්ටත් ඔයාගේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙයි. ඒ දෙන්නා ඔයා වෙනුවෙන් කරපු දේ තව අගය කරන්න ඔයා පෙලඹෙයි. සිහි කිරීමෙන් ඔයා පෞද්ගලිකව ප්‍රයෝජන ගන්නවා කියලා කියන්න පුළුවන් එතකොටයි.

සිහි කිරීම දෙවිගේ සෙනඟව එක්සත් කරයි

7. (අ) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මුලින්ම පවත්වපු වෙලාවේ යේසුස් යාච්ඤා කළේ මොනවා ගැනද? (ආ) යෙහෝවා දෙවි යේසුස්ගේ යාච්ඤාවට පිළිතුරු දීලා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

7 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මුලින්ම පවත්වපු වෙලාවේ යේසුස් විශේෂ යාච්ඤාවක් කළා. ඔහුත් ඔහුගේ තාත්තා වන යෙහෝවා දෙවිත් අතරේ තියෙනවා වගේ එක්සත්කමක් ඔහුගේ අනුගාමිකයන් අතරෙත් ඇති වෙයි කියලා ඔහු කිව්වා. (යොහන් 17:20, 21 කියවන්න.) දෙවි ඒ යාච්ඤාවට ඇහුම්කන් දුන්නා. වෙන කිසිම රැස්වීමකට වඩා සාක්ෂිකරුවන් අතරේ තියෙන එක්සත්කම වැඩියෙන්ම පේන්නේ සිහි කිරීමේ දවසේදී. එදාට විවිධ රටවල ඉන්න විවිධ ජාතීන්ට අයත් මිලියන ගාණක් එකට එකතු වෙනවා. දෙවි ඔහුගේ පුතා වන යේසුස්ව මිනිසුන් වෙනුවෙන් දුන්නා කියන දේ තමන්ට විශ්වාසයි කියලා එයාලා පෙන්නනවා. සමහර රටවල ආගමික රැස්වීමක් වෙනුවෙන් විවිධ ජාතීන්ට අයත් අය එකට එකතු වෙන එක අසාමාන්‍ය දෙයක්. එහෙම රැස් වුණත් සමහරු හිතන්නේ ඒක සුදුසු දෙයක් නෙමෙයි කියලා. ඒත් ඒ එක්සත්කම යෙහෝවා දෙවිත් යේසුත් දකින්නේ අලංකාර දෙයක් විදිහට.

8. දෙවි එසකියෙල්ට කිව්වේ මොකක්ද?

8 අපි අතරේ තියෙන එක්සත්කම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද ඒ ගැන දෙවි එසකියෙල්ට කලින්ම කියලා තිබුණා. ඔහු එසකියෙල්ට කිව්වා දිගටි අතු දෙකක් අරන් එකක ‘යූදා සඳහා’ කියලත් අනිත් එකේ ‘යෝසෙප් සඳහා’ කියලත් සටහන් කරලා ඒ අතු දෙක එකට ළං කරන්න කියලා. එතකොට ඒ අතු දෙක එක අත්තක් වෙනවා කියලා දෙවි කිව්වා. (එසකියෙල් 37:15-17 කියවන්න.) ඒ ගැන 2016 ජූලි ‘මුරටැඹ’ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපියේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි එසකියෙල් මාර්ගයෙන් පොරොන්දු වුණේ ඊශ්‍රායෙල් ජාතියව ඔවුන්ගේ දේශයේදීම එක්සත් සෙනඟක් කරනවා කියලයි. අවසාන කාලයේදී දෙවි ඔහුගේ සෙනඟව එක්සත් කරන විදිහත් ඒ අනාවැකියෙන් නියෝජනය වෙනවා.”

9. එසකියෙල්ගේ අනාවැකියේ සඳහන් වුණ එක්සත්කම හැම අවුරුද්දකම සිහි කිරීමේදී අපි දකින්නේ කොහොමද?

9 1919 ඉඳන් යෙහෝවා දෙවි අභිෂේක ලත් අයව ආයෙත් සංවිධානය කරලා එක්සත් කළා. එයාලා හරියට ‘යූදා සඳහා’ කියන අත්ත වගේ. ඊටපස්සේ පොළොවේ සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව තියෙන අය එයාලට එකතු වෙන්න පටන්ගත්තා. එයාලා හරියට ‘යෝසෙප් සඳහා’ කියන අත්ත වගේ. ඒ අතු දෙක එකට ළං කරලා ‘එක අත්තක්’ කරනවා කියලා දෙවි පොරොන්දු වුණා. (එස. 37:19) අද අභිෂේක ලත් අයත් ‘වෙනත් බැටළුවනුත්’ “එක රැළක්” විදිහට එක්සත්ව දෙවිට සේවය කරනවා. (යොහ. 10:16; සෙක. 8:23) එයාලට ඉන්නේ එක රජෙක්. ඒ තමයි එසකියෙල්ගේ අනාවැකියේ දෙවිගේ “සේවක දාවිත්” විදිහට හඳුන්වන යේසුස්. (එස. 37:24, 25) හැම අවුරුද්දෙම යේසුස්ගේ මරණය සිහි කරද්දී ඒ කණ්ඩායම් දෙක අතර තියෙන එක්සත්කම පැහැදිලිව දකින්න තියෙනවා.

එක්සත්කමට දායක වෙන්න අපි එක් එක් කෙනාටත් පුළුවන්

10. දෙවිගේ සෙනඟ අතරේ තියෙන එක්සත්කමට දායක වෙන්න අපිට පුළුවන් කොහොමද?

10 දෙවිගේ සෙනඟ අතරේ තියෙන එක්සත්කමට දායක වෙන්න අපිට පුළුවන් 1වෙනි විදිහ තමයි නිහතමානී අය වෙන්න උපරිමයෙන් උත්සාහ කරන එක. තමන්ගේ අනුගාමිකයන් නිහතමානී වෙන්න ඕනෙ කියලා යේසුස් කිව්වා. (මතෙ. 23:12) අද සමාජයේ ඉන්න හුඟක් අය හිතන්නේ තමන් අනිත් අයට වඩා උසස් කියලයි. ඒත් අපි නිහතමානී වෙන්න ඕනේ. අපි නිහතමානී නම් සභාවේ පෙරමුණ අරන් වැඩ කරන අයගේ මඟ පෙන්වීම් සැහැල්ලුවට ගන්නේ නැහැ. එයාලට කීකරු වෙනවා. සභාවේ එක්සත්කම රැකගන්න ඒක අත්‍යවශ්‍යයි. වැදගත්ම දේ අපි නිහතමානී වෙද්දී යෙහෝවා දෙවි සතුටු වෙනවා. මොකද ඔහු “උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි” කියලා බයිබලයේ කියනවා.—1 පේතෘ. 5:5.

11. රොටී සහ වයින්වලින් නියෝජනය වන දේ ගැන හොඳට හිතන එක එක්සත්කමට දායක වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

11 එක්සත්කමට අපිට දායක වෙන්න පුළුවන් 2වෙනි විදිහ තමයි සිහි කිරීමේදී පාවිච්චි කරන රොටී සහ වයින්වලින් නියෝජනය වෙන දේ ගැන හොඳට හිතන එක. සිහි කිරීමට කලිනුත් සිහි කිරීම පවත්වන අවස්ථාවේදීත් ඒ ගැන හිතන එක වැදගත්. (1 කොරි. 11:23-25) රොටීවලින් නියෝජනය වෙන්නේ යේසුස් පූජා කරපු පරිපූර්ණ ශරීරය කියලත් වයින්වලින් ඔහුගේ රුධිරය නියෝජනය වෙනවා කියලත් අපි දන්නවා. ඒත් ඒ මූලික කාරණා ගැන නිකම්ම දැනගෙන ඉන්න එක විතරක් මදි. ඒ පූජාව දෙන්න යෙහෝවා දෙවි සහ යේසුස් අපි වෙනුවෙන් කරපු කැප කිරීම ගැන අපි හිතන්න ඕනේ. එතෙක් මෙතෙක් ආදරේ පෙන්නලා තියෙන උතුම්ම විදිහ ඒ පූජාවයි. යෙහෝවා දෙවි අපිට දුන්නේ ඔහුගේ එකම පුතාව. යේසුස් අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය දුන්නේ කැමැත්තෙන්මයි. එයාලා අපිට පෙන්නපු ආදරේ ගැන හිතන්න හිතන්න අපේ හිතේ ඒ දෙන්නා ගැන තියෙන ආදරේ තව වැඩි වෙනවා. අපි හැමෝගෙම හිත්වල දෙවි ගැන තියෙන ආදරේ වැඩි වෙන තරමට අපි අතර තියෙන එක්සත්කමත් වැඩි වෙනවා.

අනිත් අයට සමාව දෙද්දී අපි එක්සත්කමට දායක වෙනවා (12 සහ 13 ඡේද බලන්න)

12. අනිත් අයට සමාව දෙන එක යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා යේසුස් කිව්ව උපමාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

12 එක්සත්කමට දායක වෙන්න පුළුවන් 3වෙනි විදිහ තමයි අනිත් අයට කැමැත්තෙන්ම සමාව දෙන එක. එහෙම කරද්දී අපි පෙන්නන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපේ වැරදිවලට සමාව දෙන්න දෙවිට පුළුවන් වෙලා තියෙන එක අපි කොච්චර අගය කරනවාද කියලයි. සමාව දෙන එක වැදගත් ඇයි කියලා පෙන්නන්න රජ කෙනෙක් සහ දාසයන් දෙන්නෙක් ගැන යේසුස් උපමාවක් කිව්වා. මතෙව් 18:23-34 කියවලා මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘යේසුස් උගන්නපු පාඩම අදාළ කරගන්න මං කැමැත්තෙන් ඉන්නවාද? මගේ සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරද්දී මං ඉවසනවාද? මං එයාලව තේරුම්ගන්නවාද? මගේ හිත රිද්දපු කෙනෙක්ට සමාව දෙන්න මං ලෑස්තිද?’ ඇත්ත, සමහර වැරදි බරපතළයි. සමහර වැරදිවලට සමාව දෙන එක අපිට අමාරු වෙන්නත් පුළුවන්. ඒත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ යේසුස් ඒ උපමාවෙන් පැහැදිලි කළා. (මතෙව් 18:35 කියවන්න.) සමාව දෙන්න හොඳ හේතු තියෙද්දීත් එහෙම නොකර ඉන්නවා නම් යෙහෝවා දෙවි අපිටත් සමාව දෙන්නේ නැහැ. ඒක අපි බැරෑරුම්ව හිතන්න ඕන කාරණයක්. අපි අතර තියෙන එක්සත්කම රැකගන්න නම් යේසුස් ඉගැන්නුවා වගේ අපි අනිත් අයට කැමැත්තෙන්ම සමාව දෙන්න ඕනේ.

13. අපි අනිත් අයත් එක්ක සමාදානයෙන් ඉන්න වෑයම් කරද්දී එක්සත්කම රැකෙන්නේ කොහොමද?

13 අපි අනිත් අයට සමාව දෙද්දී අපේ සහෝදරයන් එක්ක සමාදානයෙන් ඉන්න අපිට පුළුවන්. එක්සත්කම රැකගෙන සමාදානයෙන් ඉන්න මහත් වෑයමක් දරන්න ඕනෙ කියලා පාවුල් කිව්වා. (එෆී. 4:3) ඒ නිසා ඔයා අනිත් අයට සලකන විදිහ ගැන සිහි කිරීමේ කාලේදීත් විශේෂයෙන්ම සිහි කිරීම පවත්වන අවස්ථාවේදීත් හිතලා බලන්න. ‘මට රිද්දන අය එක්ක මං කිසිම තරහක් තියාගන්නේ නැහැ කියලා මාව අඳුරන අය දන්නවාද? සාමය ඇති කරගන්න, එක්සත්කම රැකගන්න මට පුළුවන් හැම දේම මං කරනවා කියලා අනිත් අයට පේන්න තියෙනවාද?’ ඒ බැරෑරුම් ප්‍රශ්න ගැන හිතලා බලන එක වැදගත්.

14. ‘එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගන්න’ අපිට පුළුවන් කොහොමද?

14 එක්සත්කමට දායක වෙන්න පුළුවන් 4වෙනි විදිහ මොකක්ද? අපි අනිත් අයට සලකන්න ඕනෙ යෙහෝවා දෙවි එයාලට සලකන විදිහටයි. (1 යොහ. 4:8) ‘සහෝදරයන්ගේ දුර්වලකම් දරාගන්න ඕනෙ තමයි. ඒත් එයාලට අදරේ කරන්න ඕනෙ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැනේ’ කියලා කවදාවත් හිතන්න එපා. අපි එහෙම හිතනවා නම් ‘එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගන්න’ කියලා පාවුල් දුන්න උපදෙස අපි අදාළ කරගන්නේ නැහැ. (එෆී. 4:2) පාවුල් කිව්වේ ‘එකිනෙකාගේ දුර්වලකම් නිකම්ම දරාගන්න’ කියලා නෙමෙයි. ඒවා ‘ප්‍රේමණීය ලෙස’ දරාගන්න කියලයි. අපේ සභාවේ විවිධ පෞද්ගලිකත්වයන් තියෙන අය ඉන්නවා. ඒත් දෙවිට ළං වෙන්න ඒ හැම කෙනෙක්ගෙම හිතේ ආසාවක් ඇති කළේ දෙවියි. (යොහ. 6:44) ඔහු එහෙම කළේ එයාලට ආදරේ කරන්න ගොඩක් හේතු ඔහු දකින නිසයි. දෙවිගේ ආදරේ ලබන්න එයාලා වටිනවා නම් අපේ ආදරේ ලබන්න එයාලා වටින්නේ නැහැ කියන්න පුළුවන්ද? දෙවි බලාපොරොත්තු වෙන විදිහට එයාලට ආදරෙන් සලකන්න අපි ලොකු වෑයමක් දරමු.—1 යොහ. 4:20, 21.

අන්තිම සිහි කිරීම කවදාද?

15. සිහි කිරීම පවත්වන එක කවදා හරි නතර වෙයි කියන්නේ ඇයි?

15 දවසක අපි සහභාගි වෙන සිහි කිරීම අපි යන අන්තිම සිහි කිරීම වෙයි. එහෙම කියන්නේ ඇයි? ‘යේසුස්ගේ මරණය ගැන ප්‍රකාශ කරන්නේ ස්වාමීන් එන තාක් කල්’ කියලා පාවුල් අභිෂේක ලත් අයට කිව්වා. (1 කොරි. 11:26) යේසුත් ඔහුගේ ‘පැමිණීම’ ගැන කතා කළා. ඒ අවසාන කාලය ගැන අනාවැකිය කියද්දී. ළඟදීම එන මහත් පීඩාව ගැන කතා කරද්දී යේසුස් මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි. බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි. ඔහු [යේසුස්] මහත් හොරණෑ ශබ්දයක් පතුරුවමින් තම දූතයන්ව එවයි. ඔවුන් මුළු අහස්තලය යට තිබෙන පොළොවේ හතර දිගින්ම ඔහුගේ තෝරාගත් අයව රැස් කරයි.” (මතෙ. 24:29-31) යේසුස් ‘තෝරාගත් අයව රැස් කරනවා’ කියන්නේ පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට ගන්නවා කියන එකටයි. ඒක වෙන්නේ මහත් පීඩාව පටන්ගත්තාට පස්සේ ඒත් හර්–මගෙදොන් යුද්දෙට කලින් එක්තරා අවස්ථාවකදියි. ඒ යුද්දේදී යේසුස් 1,44,000දෙනා එක්ක එකතු වෙලා පොළොවේ රජවරුන් එක්ක සටන් කරලා ජය ගන්නවා. (එළි. 17:12-14) අභිෂේක ලත් අයව රැස් කරන්න යේසුස් ‘පැමිණෙන්න’ කලින් පවත්වන සිහි කිරීම තමයි අපි සහභාගි වෙන අන්තිම සිහි කිරීම.

16. මේ අවුරුද්දේ සිහි කිරීමට සහභාගි වෙන්න ඔයා උපරිම වෑයමක් දරන්නේ ඇයි?

16 2018 මාර්තු 31වෙනිදා පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න ඔයාත් උපරිම වෑයමක් ගන්න. ඒ වගේම දෙවිගේ සෙනඟ අතරේ තියෙන එක්සත්කමට දායක වෙන්න ඔයාගේ පැත්තෙන් වෙන්න ඕනෙ දේවල් කරන්න දෙවිගේ උදව් ඉල්ලන්න. (ගීතාවලිය 133:1 කියවන්න.) දවසක අපි අන්තිම සිහි කිරීමට සහභාගි වෙයි. ඒ දවස එන කල් දෙවිගේ සෙනඟව එක්සත් කරන සිහි කිරීම අපි ගොඩක් අගය කරනවා කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නමු.