Skip to content

පටුනට යන්න

හැම දෙයක්ම අයිති දෙවිට අපි දෙන දේ වටිනවාද?

හැම දෙයක්ම අයිති දෙවිට අපි දෙන දේ වටිනවාද?

“අපේ දෙවියනි, අපි ස්තුති කරන්නේ ඔබටයි. අපි ප්‍රශංසා කරන්නේ ඔබේ ශ්‍රේෂ්ඨ නාමයටයි.”—1 ලේක. 29:13.

ගීතිකා: 80, 50

1, 2. යෙහෝවා දෙවි ත්‍යාගශීලී වෙලා තියෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවි තරම් ත්‍යාගශීලී කෙනෙක් තවත් නැහැ. අපිට තියෙන හැම දේම අපිට ලැබිලා තියෙන්නේ ඔහුගෙන්. පොළොවේ තියෙන හැම වටිනා දේකම අයිතිකරු වන ඔහු, ජීවය පවත්වාගෙන යන්න කිසිම ලෝභකමක් නැතුව ඒ දේවල් ලබා දෙනවා. (ගීතා. 104:13-15; හග්. 2:8) ඔහුට අයිති ඒ වටිනා දේවල් ආශ්චර්යවත් විදිහට යොදාගෙන ඔහුගේ සෙනඟව පෝෂණය කරපු අවස්ථා බයිබලෙන් හොයාගන්න පුළුවන්.

2 දෙවි අවුරුදු 40ක් පුරා ඊශ්‍රායෙල් සෙනඟට මන්නා සහ වතුර දීලා එයාලව බලාගත්ත නිසා එයාලට කිසිම දේකින් අඩුවක් වුණේ නැහැ. (නික්. 16:35; නෙහෙ. 9:20, 21) තවත් අවස්ථාවක දෙවි වැන්දඹුවකටත් එයාගේ පුතාලටත් උදව් කළා. දෙවි ඒක කළේ ආශ්චර්යවත් විදිහට එයාලා ළඟ තිබුණ තෙල් ටික වැඩි කරලයි. එහෙම කරපු නිසා ණය ගෙවන්නත් ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල් හොයාගන්නත් එයාලට පුළුවන් වුණා. (2 රාජා. 4:1-7) යේසුත් යෙහෝවා දෙවිගේ උදව්වෙන් කෑම අවශ්‍ය අයට කෑමත් මුදල් අවශ්‍ය වෙලා තිබුණ වෙලාවක මුදලුත් ලබා දුන්නා.—මතෙ. 15:35-38; 17:27.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 දෙවිට තමන් සතු ඕනෑම දෙයක් පාවිච්චි කරලා ඔහුගේ නිර්මාණ ඒ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට කාගෙන්වත් කිසිම දෙයක් ඔහුට ඕනෙ නැහැ. ඒත් ඔහුගේ සංවිධානයේ වැඩකටයුතු වෙනුවෙන් පුළුවන් විදිවලින් සහය දෙන්න කියලා දෙවි ඔහුගේ සේවකයන්ට ආරාධනා කරනවා. (නික්. 36:3-7; හිතෝපදේශ 3:9 කියවන්න.) අපිට තියෙන වටිනා දේවලින් යම් දෙයක් ආපහු දෙවිට දෙයි කියලා දෙවි බලාපොරොත්තු වෙන්නේ ඇයි? අතීතයේ හිටපු දෙවිගේ සෙනඟ නමස්කාර වැඩවලට සහය දුන්නේ කොහොමද? දෙවිගේ සංවිධානය ලැබෙන සම්මාදම් පාවිච්චි කරන්නේ කොහොමද? ඒ ගැන දැන් අපි බලමු.

දෙවිට අපි දේවල් දෙන්නේ ඇයි?

4. දෙවිගේ වැඩේට සහය දෙද්දී අපි පෙන්නන්නේ මොකක්ද?

4 අපිට තියෙන දේවල් අපි යෙහෝවා දෙවිට දෙන්නේ ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ, අගය නිසයි. දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම හිතද්දී ඒ ආදරේ, අගය තවත් වැඩි වෙනවා. දේවමාලිගාව හදන්න ඕන කරන දේවල් සූදානම් කරද්දී දාවිත් දෙවිට මෙහෙම කිව්වා. “මේ හැම දෙයක්ම අපිට ලැබී තිබෙන්නේ ඔබගෙන්. ඇත්තෙන්ම අපි ඔබට පරිත්‍යාග කරන්නේ ඔබේම දේවල්.” අපිට හැඟෙන්නෙත් ඒ විදිහට නෙමෙයිද?—1 ලේකම් 29:11-14 කියවන්න.

5. කැමැත්තෙන්ම දේවල් දෙන එක සැබෑ නමස්කාරයට ඇතුළත් දෙයක් කියලා බයිබලෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

5 අපිට තියෙන වටිනා දේවල් දෙවිට දෙන එක අපි ඔහුට කරන නමස්කාරයට ඇතුළත් දෙයක් කියලත් අපි දන්නවා. යොහන් දැක්ක දර්ශනයකදී ස්වර්ගයේ ඉන්න දෙවිගේ සේවකයන් මෙහෙම කියනවා එයාට ඇහුණා. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය.” (එළි. 4:11) ඇත්තටම යෙහෝවා දෙවි හැම ගෞරවයක්ම, ප්‍රශංසාවක්ම ලබන්න වටිනවා. අපිටත් ඕනෙ අපේ හොඳම දේ ඔහුට දෙන්න. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා අවුරුද්දට තුන් වතාවක් දෙවි වෙනුවෙන් උත්සව පවත්වන්න කියලා. ඒ උත්සවවලදී දෙවිට කරන නමස්කාරයක් හැටියට දෙවිට දේවල් දෙන එක එයාලගෙන් බලාපොරොත්තු වුණා. ‘කිසිවෙකු හිස් අතින් දෙවි ඉදිරියට නොපැමිණිය යුතුයි’ කියලා සෙනඟට කියලා තිබුණේ ඒ නිසයි. (ද්වි. 16:16) කැමැත්තෙන්ම දේවල් දෙන එක අදත් දෙවිට කරන නමස්කාරයට ඇතුළත් වැදගත් අංගයක්. එහෙම කරද්දී දෙවිගේ සංවිධානය අපි අගය කරනවා කියලත් ඒකට සහය දෙන්න අපි කැමතියි කියලත් පේනවා.

6. දේවල් දෙන එකෙන් අපිට යහපතක් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

6 හිතන්න, කෙනෙක්ට හැම තිස්සෙම දේවල් ලැබෙනවා කියලා. ඒත් එයා කාටවත් දේවල් දෙන්නේ නැහැ. එහෙම කෙනෙක්ගේ හිතේ තමන්ට තියෙන දේවල් ගැන අගයක් නැහැ. (හිතෝපදේශ 29:21 කියවන්න.) ඒත් හිතන්න, පුංචි දරුවෙක් එයාගේ වියදමට ලැබෙන පොඩි මුදලෙන් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා දෙමාපියන්ට තෑග්ගක් අරන් දෙනවා කියලා. නැත්නම් දෙමාපියෝ යටතේ ඉන්න තරුණ පුරෝගාමියෙක් ගෙදර වියදමට දෙමාපියන්ට පොඩි මුදලක් දෙනවා කියලා. දෙමාපියෝ ඒ දේවල් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැතත් දරුවා දෙන දේ සතුටින් භාරගන්නවා. මොකද ඒක දෙමාපියන් එයා වෙනුවෙන් කරන දේවලට එයාගේ අගය පෙන්නන විදිහක් කියලා දෙමාපියෝ දන්නවා. අපේ වටිනා දේවල් දෙවි වෙනුවෙන් දෙන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙන්නේ ඒ හේතුව නිසාමයි.

දෙවිගේ සෙනඟ නමස්කාර වැඩවලට සහය දුන්න විදි

7, 8. අතීතයේ හිටපු දෙවිගේ සෙනඟ (අ) නිශ්චිත කාර්යයන් සඳහා (ආ) නමස්කාර වැඩ සඳහා සම්මාදම් කරපු විදිහ අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?

7 නමස්කාර වැඩවලට සහය දෙන්න අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් පරිත්‍යාගයන් කරපු අවස්ථා ගැන බයිබලේ සඳහන් වෙනවා. නිශ්චිත කාර්යයන් වෙනුවෙන් පරිත්‍යාග කරපු අවස්ථාත් ඒ අතරේ තියෙනවා. උදාහරණෙකට ශුද්ධ කූඩාරම හදන්න ඕන කරන දේවල් පරිත්‍යාග කරන්න කියලා මෝසෙස් කිව්වාම ඊශ්‍රායෙල්වරු කැමැත්තෙන්ම ඒ දේවල් දුන්නා. පස්සේ කාලෙක දේවමාලිගාව හදන්නත් දාවිත් රජ ඒ වගේ ඉල්ලීමක් කළා. (නික්. 35:5; 1 ලේක. 29:5-9) යෙහෝයාෂ් රජුගේ කාලේදී පූජකයන් දේවමාලිගාව අලුත්වැඩියා කළේ ඒ වෙනුවෙන් සෙනඟ දීපු සම්මාදම්වලින්. (2 රාජා. 12:4, 5) පළවෙනි සියවසේ යුදයේ සාගතයක් ඇති වුණා කියලා දැනගත්තාම එහේ හිටපු සහෝදරයන්ට උදව් කරන්න අනිත් සහෝදරයන් තමන්ට පුළුවන් විදිහට දේවල් පරිත්‍යාග කළා.—ක්‍රියා 11:27-30.

8 දෙවිගේ සේවයේ පෙරමුණ අරන් වැඩ කරපු අය වෙනුවෙනුත් දෙවිගේ සේවකයන් පරිත්‍යාගයන් කළා. උදාහරණෙකට මෝසේට දුන්න නීතියේ තිබුණා අනිත් ගෝත්‍රවලට ලැබෙනවා වගේ උරුමයක් ලෙවීවරුන්ට ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා අනිත් ගෝත්‍රවල අය තමන්ට තිබුණ දේවලින් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙනුවෙන් පරිත්‍යාග කළා. ශුද්ධ කූඩාරමේ වැඩවලට සම්පූර්ණ අවධානය දෙන්න ඒකෙන් ලෙවීවරුන්ට පුළුවන් වුණා. (ගණන්. 18:21) සමහර ස්ත්‍රීන් කරපු පරිත්‍යාගයන් යේසුස්ට සහ ඔහුගේ නියෝජිතයන්ට දේශනා කිරීමේ වැඩේ කරගෙන යන්න ගොඩක් උදව් වුණා.—ලූක් 8:1-3.

9. අතීතයේ හිටපු අය පරිත්‍යාගයන් කළේ කොහොමද?

9 අතීතයේ හිටපු අය විවිධ විදිවලින් පරිත්‍යාගයන් කළා. ශුද්ධ කූඩාරම හදන්න ඊශ්‍රායෙල්වරුන් දේවල් පරිත්‍යාග කරද්දී ඊජිප්තුවෙන් එයාලා ගෙනාපු වටිනා දේවලුත් දෙන්න ඇති. (නික්. 3:21, 22; 35:22-24) පළවෙනි සියවසේ හිටපු සමහර සහෝදරයන් එයාලගේ ඉඩකඩම් ගෙවල් දොරවල් වගේ දේවල් විකුණලා ඒ මුදල් නියෝජිතයන්ට දුන්නා. උදව් අවශ්‍ය සහෝදර සහෝදරියන් වෙනුවෙන් නියෝජිතයන් ඒ මුදල් යොදාගත්තා. (ක්‍රියා 4:34, 35) තවත් අය තමන්ට ලැබුණ මුදලින් යම් ප්‍රමාණයක් සේවයේ වැඩ වෙනුවෙන් පරිත්‍යාග කරන්න නිතිපතා වෙන් කරලා තිබ්බා. (1 කොරි. 16:2) ඒ විදිහට දුප්පත් පොහොසත් හැමෝම එයාලට පුළුවන් උපරිමයෙන් පරිත්‍යාග කළා.—ලූක් 21:1-4.

අපි කරන පරිත්‍යාගයන්

10, 11. (අ) අතීතයේ හිටපු ත්‍යාගශීලී අයව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (ආ) දේවරාජ්‍යයේ වැඩවලට සහය දෙන්න ලැබුණ එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

10 අදත් නිශ්චිත කාර්යයක් සඳහා සම්මාදම් කරන්න කියලා අපෙන් ඉල්ලන්න පුළුවන්. සමහරවිට ඔයාලගේ නමස්කාර මධ්‍යස්ථානය අලුත්වැඩියා කරන්න නැත්නම් අලුතින් එකක් හදන්න සභාව සැලසුම් කරනවා ඇති. නැත්නම් ඔයාගේ රටේ ශාඛා කාර්යාලය අලුත්වැඩියා කරන්න සැලසුම් කරනවා ඇති. සමුළුවේ වියදම් පියවගන්න සම්මාදම් කරන්නත් ආපදාවලට ලක් වුණ සහෝදරයන් වෙනුවෙන් සම්මාදම් කරන්නත් අපිට පුළුවන්. මිෂනාරිවරුන්ට, විශේෂ පුරෝගාමීන්ට, චාරිකා සේවකයන්ට, ලෝක මූලස්ථානයේ සහ ශාඛා කාර්යාලවල සේවය කරන අයට එයාලගේ සේවය දිගටම කරගෙන යන්නත් අපේ සම්මාදම් උදව් වෙනවා. ලෝක ව්‍යාප්ත නමස්කාර මධ්‍යස්ථාන සහ සමුළු ශාලා ඉදි කිරීමේ සැලැස්ම වෙනුවෙන් ඔයාලගේ සභාවෙන් මාස්පතා යම් මුදලක් යවනවත් ඇති.

11 අපි හැමෝටම පුළුවන් පුංචි විදිහකින් හරි සම්මාදම් කරලා මේ අන්තිම දවස්වල දෙවිගේ සංවිධානයේ වැඩවලට සහය දෙන්න. නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන සම්මාදම් පෙට්ටියට කීයක් දැම්මාද නැත්නම් jw.org හරහා කොච්චර ප්‍රමාණයක් පරිත්‍යාග කළාද කියලා අපි වෙන අයට කියන්නේ නැහැ. ඒත් ඔයාට හිතෙනවාද ඔයා දාන මුදල එච්චර වටින්නේ නැහැ කියලා? ඔයා දන්නවාද සංවිධානයට ලැබෙන සම්මාදම්වලින් වැඩි හරියක් ලැබෙන්නේ විශාල පරිත්‍යාගවලින් නෙමෙයි පොඩි පොඩි සම්මාදම් හුඟක් එකතු වෙලයි කියලා? ඒ තරම් වත්කමක් නැති අපේ සහෝදරයන් හරියට මැසිඩෝනියාවේ හිටපු ක්‍රිස්තියානීන් වගේ. එයාලා “දුගී තත්වයක” හිටියත් පරිත්‍යාග කරන්න එයාලටත් අවස්ථාව දෙන්න කියලා මහත් ඕනෑකමින් ඉල්ලුවා.—2 කොරි. 8:1-4.

12. සම්මාදම් නාස්ති කරන්නේ නැතුව හොඳින් පාවිච්චි කරන්න සංවිධානය වගබලා ගන්නේ කොහොමද?

12 පාලක මණ්ඩලය ලැබෙන සම්මාදම් පාවිච්චි කරන්නේ විශ්වාසවන්තව වගේම නුවණැතිව. (මතෙ. 24:45) එයාලා ඥානවන්ත තීරණ ගන්න දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරනවා. ඊටපස්සේ ලැබෙන මුදල් පරෙස්සමින් පාවිච්චි කරන්න සැලසුම් කරනවා. (ලූක් 14:28) අතීතයේදී සම්මාදම් භාරව හිටපු අය ඒ සම්මාදම් නාස්ති නොකර නමස්කාර වැඩවලට විතරක් පාවිච්චි කරන්න වගබලා ගත්තා. එස්රා ඒ වගේ කෙනෙක්. එයා යෙරුසලමට ආවේ පර්සියාවේ රජ පරිත්‍යාග කරපු රන්, රිදී වගේ හුඟක් වටින දේවල් අරගෙනයි. ඒවාවල අද කාලේ වටිනාකම ඩොලර් මිලියන 100කටත් වැඩියි. එස්රා ඒ පරිත්‍යාගයන් සැලකුවේ යෙහෝවා දෙවිට දුන්න පරිත්‍යාගයන් හැටියටයි. ඒ නිසා යෙරුසලමට යන ගමනේදී ඒවා ආරක්ෂාකාරීව ගෙනියන්න එයා පියවර ගත්තා. (එස්රා 8:24-34) යුදයේ හිටපු සහෝදරයන් වෙනුවෙන් සම්මාදම් එකතු කරපු පාවුල්ට ඕන වුණේ ඒවා අරන් ගිය අය ‘යෙහෝවා දෙවි ඉදිරියේ පමණක් නොව මිනිසුන් ඉදිරියෙත් අවංකව කටයුතු කරනවා’ දකින්නයි. (2 කොරින්ති 8:18-21 කියවන්න.) එස්රා සහ පාවුල් වගේ අපේ සංවිධානයත් ලැබෙන සම්මාදම් පරෙස්සමින් පාවිච්චි කරනවා.

13. සංවිධානය මෑත කාලේදී යම් වෙනස්කම් කරලා තියෙන්නේ ඇයි?

13 උපයන මුදලට වඩා වියදම් නොකර ඉන්න ඕන නිසා යම් පැතිවලින් වෙනස්කම් කරගන්න පවුලක් තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි සේවයක් කරන්න තියෙන ආසාව නිසා ජීවිතේ තව සරල කරගන්න තීරණය කරන්නත් පුළුවන්. දෙවිගේ සංවිධානයත් ඒ වගේ. ළඟදී දෙවිගේ සංවිධානය අලුත් ව්‍යාපෘති කීපයක්ම පටන්ගත්තා. සමහර ඒවාට ලැබුණ මුදලට වඩා වියදම් වෙලා තියෙනවා. ඒ නිසා මුදල් ඉතුරු කරගන්න වගේම දේවල් තව සරලව කරන්න සංවිධානය ලොකු වෑයමක් දරනවා. විවිධ වෙනස්කම් කරලා තියෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒ වෙනස්කම් නිසා ඔයාලා දෙන සම්මාදම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඔයාගේ සම්මාදම් නිසා ලැබෙන ප්‍රයෝජන

ඔයා කැමැත්තෙන් දෙන සම්මාදම් දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට ලොකු උදව්වක් (14-16 ඡේද බලන්න)

14-16. (අ) ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන්නේ මොනවාටද? (ආ) ඒවායින් ඔයා ලබලා තියෙන ප්‍රයෝජන මොනවාද?

14 කාලයක් තිස්සේ සත්‍යයේ ඉන්න අය කියන දෙයක් තමයි වෙන කවදාටත් වඩා මේ කාලේදී සංවිධානයෙන් හුඟක් වටිනා දේවල් ලැබෙනවා කියන දේ. jw.org වෙබ් අඩවිය, JW බ්‍රෝඩ්කාස්ටිං, භාෂා ගාණකින් තියෙන ‘නව ලොව පරිවර්තනය,’ ජාත්‍යන්තර සමුළු ඒවායින් කීපයක්. 2014දී සහ 2015දී ලෝකේ පුරා නගර 14ක ජාත්‍යන්තර සමුළු පැවත්තුවා. “නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන ඒ තුන්දින සමුළුවට සහභාගි වුණ අය හුඟක් සතුටු වුණා.

15 යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ලැබිලා තියෙන ඒ වටිනා තෑගිවලට හුඟදෙනෙක් එයාලගේ අගය පළ කරලා තියෙනවා. උදාහරණෙකට ආසියාවේ සේවය කරන යුවළක් මෙහෙම ලියලා එව්වා. “අපි සේවේ කරන්නේ පුංචි නගරෙක නිසා සමහර වෙලාවට අපි තනි වෙලා කියලා අපිට දැනෙනවා. ඒත් JW බ්‍රෝඩ්කාස්ටිං එක බලද්දී අපිට මතක් වෙනවා අපි ලෝකේ පුරාම ඉන්න ලොකු පවුලක සාමාජිකයන් කියලා. අපේ සභාවේ අය බ්‍රෝඩ්කාස්ටිං එක බලන්න හරිම ආසයි. ඒ වැඩසටහන නිසා එයාලා පාලක මණ්ඩලයේ සහෝදරයන්ට තවත් ළං වුණා කියලා එයාලා නිතරම කියනවා. දෙවිගේ සංවිධානයේ ඉන්න ලැබුණ එක එයාලා දැන් කලින්ටත් වඩා අගය කරනවා.”

16 ලෝකේ පුරාම නමස්කාර මධ්‍යස්ථාන 2,500ක් විතර මේ වෙනකොට අලුතින් හදනවා නැත්නම් අලුත්වැඩියා කරනවා. හොන්ඩ්‍යුරාස් රටේ තියෙන සභාවක අය කාලයක් තිස්සේ ආසාවෙන් බලාගෙන හිටියේ තමන්ටම කියලා නමස්කාර මධ්‍යස්ථානයක් ලැබෙන කල්. දැන් එයාලගේ සිහිනේ සැබෑ වෙලා. එයාලා ඒ ගැන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ සංවිධානයේ සාමාජිකයන් වෙන්න ලැබුණ එකත් ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදරයන්ගේ ආදරේ ලැබෙන එකත් මොන තරම් ආශීර්වාදයක්ද!” තමන්ගෙම භාෂාවෙන් බයිබලය ලැබෙද්දී පොත් පත් ලැබෙද්දී, ආපදාවකදී සහෝදරයන්ගේ උදව් ලැබෙද්දී, පොදු සේවයෙන් නැත්නම් විශේෂ පොදු සේවයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙද්දී හුඟක් අයට දැනෙන්නෙත් ඒ සහෝදරයන්ට දැනුණා වගේමයි.

17. යෙහෝවා දෙවිගේ උදව් ඔහුගේ සංවිධානයට ලැබෙනවා කියලා අපි දන්නේ කොහොමද?

17 කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලින් අපේ සංවිධානය මෙච්චර ලොකු වැඩ කොටසක් කරන්නේ කොහොමද කියලා සාක්ෂිකරුවන් නොවන අයට හිතාගන්න අමාරුයි. ආයතනයක විධායක නිලධාරියෙක් අපේ මුද්‍රණාලයක් බලන්න ආවා. එතන වැඩ කරන හැම කෙනෙක්ම ස්වේච්ඡා සේවකයන් කියලත් හැම දේම වෙන්නේ කැමැත්තෙන් දෙන සම්මාදම්වලින් කියලත් මුදල් එකතු කරන වැඩසටහන් අපි සැලසුම් කරන්නේ නැහැ කියලත් දැනගත්තාම එයා පුදුම වුණා. එයා කිව්වා ඒක නම් වෙන්න බැරි දෙයක් කියලා. ඔව්, යෙහෝවා දෙවිගේ උදව් ලැබුණේ නැත්නම් ඒක වෙන්න බැරි දෙයක් කියලා අපිත් පිළිගන්නවා.—යෝබ් 42:2.

කැමැත්තෙන්ම දෙවිට දෙද්දී ලැබෙන ආශීර්වාද

18. (අ) දේවරාජ්‍යයේ වැඩ වෙනුවෙන් අපි සම්මාදම් කරද්දී අපිට ලැබෙන ආශීර්වාද මොනවාද? (ආ) දෙවි වෙනුවෙන් දේවල් දෙන එකේ වැදගත්කම තේරුම්ගන්න දරුවන්ටත් අලුත් අයටත් උදව් කරන්න පුළුවන් කොහොමද?

18 දේවරාජ්‍යයේ වැඩවලට සහය දෙන්න දෙවි අපිට අවස්ථාව දීලා තියෙන එක මොන තරම් ගෞරවයක්ද! ඒ වැඩකටයුතු වෙනුවෙන් අපි පරිත්‍යාග කරද්දී අපිට ආශීර්වාද කරනවා කියලා දෙවි පොරොන්දු වෙනවා. (මලා. 3:10) කැමැත්තෙන්ම දේවල් දෙද්දී අපිට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා කියලා ඔහු සහතික වෙනවා. (හිතෝපදේශ 11:24, 25 කියවන්න.) ඒ වගේම “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියන දේ අද්දකින්නත් අපිට පුළුවන්. (ක්‍රියා 20:35) දෙවි වෙනුවෙන් දේවල් දෙන්න අපි දරන වෑයම දකිද්දී, ඒකෙන් ලැබෙන ආශීර්වාද ගැන කතා කරද්දී අපේ දරුවෝ, අලුත් අය දෙවිට කැමැත්තෙන්ම දේවල් දෙන්න පෙලඹෙයි.

19. මේ ලිපිය ඔයාට උදව් වුණේ කොහොමද?

19 අපිට තියෙන හැම දේම අපිට ලැබිලා තියෙන්නේ යෙහෝවා දෙවිගෙන්. ඒ දේවල් කැමැත්තෙන්ම දෙවිට දීලා අපි ඔහුට ආදරේ කරනවා කියලත් ඔහු කරලා තියෙන හැම දේම අගය කරනවා කියලත් පෙන්නන්න අපිට පුළුවන්. (1 ලේක. 29:17) එදා ඊශ්‍රායෙල්වරු දේවමාලිගාව හදන්න ‘බොහෝ දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරලා ලොකු සතුටක් අද්දැක්කා.’ මොකද එයාලා ‘ඒ හැම දෙයක්ම යෙහෝවා දෙවිට පරිත්‍යාග කළේ මුළු හදවතින්මයි.’ (1 ලේක. 29:9) දෙවි අපිට දීලා තියෙන දේවල් ආයෙත් දෙවිට දීලා අපිත් සතුට, තෘප්තිය අද්දකිමු.