Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 1

“කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය”

“කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය”

“භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි.”—යෙසා. 41:10.

ගීතිකාව 7 යෙහෝවා දෙවි අපේ ශක්තියයි

මේ ලිපියෙන් *

1-2. (අ) සහෝදරි යොෂිකෝට යෙසායා 41:10 උදව් වුණේ කොහොමද? (ආ) ඒ පදය ලියන්න දෙවියන් මඟ පෙන්නුවේ කාගේ ප්‍රයෝජනය සඳහාද?

යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු යොෂිකෝට නරක ආරංචියක් අහන්න ලැබුණා. එයාට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව මාස කීපයක් විතරයි කියලා එයාගේ දොස්තර කිව්වා. ඒක ඇහුවාම යොෂිකෝ එයාගේ ආසම බයිබල් පදය වුණ යෙසායා 41:10 (කියවන්න.) මතක් කරගත්තා. ඊටපස්සේ එයා දොස්තරට කිව්වා යෙහෝවා දෙවියන් එයාගේ අතින් අල්ලන් ඉන්න නිසා එයාට බයක් දැනෙන්නේ නැහැ කියලා. * යෙහෝවා දෙවියන් ගැන සම්පූර්ණ විශ්වාසය තියන්න ඒ බයිබල් පදයේ සඳහන් වචන යොෂිකෝට උදව් වුණා. ජීවිතේ අමාරු තත්වයන්ට මුහුණ දෙද්දී සන්සුන්ව ඉන්න ඒ වචන අපිටත් උදව් වෙයි. ඒ කොහොමද? ඒක තේරුම්ගන්න දෙවියන් ඒ වචන ලියන්න යෙසායාට කිව්වේ ඇයි කියලා බලමු.

2 යෙහෝවා දෙවියන් යෙසායා ලවා ඒ වචන වාර්තා කළේ පස්සේ කාලෙක වහලුන් හැටියට බැබිලෝනියට අරන් යන යුදෙව්වන්ව සනසන්නයි. ඒත් එයාලට විතරක් නෙමෙයි එදා ඉඳන් මේ වෙන කල් ජීවත් වුණ සහ අද ඉන්න යෙහෝවා දෙවියන්ගේ සේවකයන් හැමෝගෙම ප්‍රයෝජනය සඳහා දෙවියන් ඒ වචන ආරක්ෂා කරලා තියෙනවා. (යෙසා. 40:8; රෝම 15:4) අද අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” නිසා වෙන කවරදාකටත් වඩා යෙසායා පොතේ තියෙන දිරිගන්වන වචන අපිට අවශ්‍යයි.—2 තිමෝ. 3:1.

3. (අ) 2019 වාර්ෂික පදය වන යෙසායා 41:10 සඳහන් වෙන පොරොන්දු මොනවාද? (ආ) ඒ පොරොන්දු අපිට වැදගත් ඇයි?

3 අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන පොරොන්දු තුනක් යෙසායා 41:10 සඳහන් වෙනවා. (1) යෙහෝවා දෙවියන් අපිත් එක්කම ඉන්නවා. (2) ඔහු අපේ දෙවියන්. (3) ඔහුගේ උදව් අපිට ලැබෙනවා. දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දු * අපිට ලොකු ශක්තියක්. මොකද සහෝදරි යොෂිකෝ වගේ අපිත් අභියෝගවලට මුහුණ දෙනවා. මේ ලෝකේ සිද්ධ වෙන නරක දේවල් නිසාත් අපි දුෂ්කරතා අද්දකිනවා. අපෙන් සමහරදෙනෙක්ට බලවත් ආණ්ඩුවලින් එන දරුණු පීඩා විඳදරාගන්න වෙලා තියෙනවා. දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දු තුන ගැන දැන් අපි බලමු.

“මම ඔබ සමඟ සිටින්නෙමි”

4. (අ) අපි බලන පළවෙනි පොරොන්දුව මොකක්ද? (පාදසටහනත් බලන්න.) (ආ) යෙහෝවා දෙවියන්ට අපි ගැන හැඟෙන්නේ කොහොමද? (ඇ) දෙවියන් කියලා තියෙන දේවල් ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවියන් මුලින්ම අපිව සනසන්නේ මේ පොරොන්දුව දීලා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි.” * දෙවියන් අපිත් එක්ක ඉන්නවා කියලා පෙන්නන්නේ කොහොමද? ඔහුගේ සම්පූර්ණ අවධානය අපිට දීලා, ඔහුගේ ආදරේ අපිට දැනෙන්න සලස්වලා දෙවියන් ඒක පෙන්නනවා. අපි ගැන ඔහුට තියෙන සෙනෙහස ඔහු විස්තර කරන්නේ මෙහෙමයි. “ඔබ මට ඉතා අගනා වස්තුවකි. මම ඔබට බොහෝ සෙයින් ප්‍රේම කර ඉතා ගෞරවයෙන් සලකමි.” (යෙසා. 43:4) තමන්ගේ සේවකයන්ට ආදරේ කරන එකෙන් දෙවියන්ව වළක්වන්න පුළුවන් කිසිම බලයක් මේ විශ්වයේ නැහැ. ඒ ආදරේ කවදාවත් නැති වෙන්නේ නැහැ. (යෙසා. 54:10) ඔහුගේ ආදරේ නිසාත් ඔහුත් එක්ක තියෙන මිත්‍රත්වය නිසාත් අපිට ඇති වෙන්නේ ලොකු ධෛර්යයක්. තමන්ගේ යාළුවෙක් වුණ ආබ්‍රහම්ට දෙවියන් කිව්වා “භය නොවන්න. මම ඔබට පලිහක් මෙන් වන්නෙමි” කියලා. (උත්. 15:1) ආබ්‍රහම්ව ආරක්ෂා කළා වගේ දෙවියන් අපිවත් ආරක්ෂා කරනවා.

ජල ධාරා, ගිනි ජාලා වගේ ප්‍රශ්න මැදින් ගමන් කරන්න වුණත් දෙවියන්ගේ උදව්වෙන් ඒක කරන්න අපිට පුළුවන් (5 සහ 6 ඡේද බලන්න) *

5-6. (අ) අපි දුෂ්කරතා අද්දකිද්දී දෙවියන්ට ඕනෙ අපිට උදව් කරන්න කියලා අපි දන්නේ කොහොමද? (ආ) යොෂිකෝගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?

5 අපි එක් එක් කෙනා පෞද්ගලිකව අමාරු තත්වයන්ට මුහුණ දෙද්දී දෙවියන්ට ඕනෙ අපිට උදව් කරන්න කියලා අපි දන්නවා. මොකද දෙවියන් ඔහුගේ සෙනඟට මෙහෙම පොරොන්දු වුණා. “ඔබ ජල ධාරා මැදින් ගියත් මම ඔබ සමඟ සිටිමි. ඔබ ගංගා මැදින් ගියත් ඔබට ගිලෙන්න ඉඩ නොදෙමි. ඔබ ගිනි ජාලා මැදින් ගමන් කළත් මම ඔබට කිසි හානියක් වීමට ඉඩ නොදෙමි.” (යෙසා. 43:2) ඒකෙන් අදහස් කළේ මොකක්ද?

6 අපිට මුහුණ දෙන්න වෙන අමාරු තත්වයන් නැති කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙන්නේ නැහැ. දෙවියන් කියන්නේ ‘ගංගාවක්’ වගේ එන ප්‍රශ්නවලින් අපිව ගිලිලා යන්නවත් “ගිනි ජාලා” වගේ දරුණු පීඩාවලින් අපිට සදහටම හානියක් වෙන්නවත් දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කියලා. අපිට බයක් දැනුණත් ඒ බයෙන් යටපත් නොවී ඉන්න ඔහු අපිට උදව් කරනවා. එතකොට මරණයට වුණත් බය නොවී දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්. (යෙසා. 41:13) යොෂිකෝ ඒක අද්දැක්කා. එයාගේ දුව මෙහෙම කියනවා. “අපේ අම්මා සන්සුන්ව හිටපු විදිහ හරිම පුදුමයි. එහෙම ඉන්න අම්මාට පුළුවන් වුණේ යෙහෝවා දෙවියන් නිසයි. මැරෙන දවස වෙන කල්ම ඉස්පිරිතාලේ හිටපු නර්ස්ලා එක්කයි, අනිත් ලෙඩ්ඩු එක්කයි යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් අම්මා කතා කළා.” යොෂිකෝගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? “මම ඔබ සමඟ සිටින්නෙමි” කියන දෙවියන්ගේ පොරොන්දුව අපි විශ්වාස කරනවා නම් අපිටත් පුළුවන් ධෛර්යවන්තව, ශක්තිමත්ව එන ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න.

“ඔබේ දෙවි මමය”

7-8. (අ) අපි බලන දෙවෙනි පොරොන්දුව මොකක්ද? ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (ආ) වහලුන් හැටියට යන යුදෙව්වන්ට “කලබල නොවන්න” කියලා දෙවියන් කිව්වේ ඇයි? (ඇ) දෙවියන්ගේ සෙනඟට බය නොවී ඉන්න උදව් වෙන්න ඇත්තේ යෙසායා 46:3, 4 සඳහන් මොන වචනද?

7 යෙසායා සඳහන් කරන දෙවෙනි පොරොන්දුව බලන්න. “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය.” මුල් භාෂාවේ ‘කලබල වෙනවා’ කියන්න එතන පාවිච්චි කරලා තියෙන වචනය ඇහෙද්දී “භයානක දේකින් හෝ කෙනෙකුගෙන් අනතුරක් වෙයි කියන බයට නිතරම පිටිපස්ස හැරිහැරී බලන කෙනෙක්ව” මනසට ආවා.

8 වහලුන් හැටියට බැබිලෝනියට යන යුදෙව්වන්ට “කලබල නොවන්න” කියලා දෙවියන් කිව්වේ ඇයි? මොකද බය හිතෙන දේකට ඒ දේශයේ අය මුහුණ දෙන්න යනවා කියලා දෙවියන් දැනන් හිටියා. එයාලට බයක් දැනෙන්නේ මොකක් නිසාද? යුදෙව්වන් බැබිලෝනියේ ගත කරන අවුරුදු 70 අවසන් වෙද්දී බලවත් මේද-පර්සියානු හමුදාව බැබිලෝනියට පහර දෙන්න නියමිතව තිබුණා. තමන්ගේ සෙනඟව බැබිලෝනියෙන් නිදහස් කරන්න දෙවියන් යොදාගන්නේ ඒ හමුදාවයි. (යෙසා. 41:2-4) මේද-පර්සියානු හමුදාව ළඟ ළඟම එනවා කියලා දැනගත්තාම බැබිලෝනිවරුනුත් අනිත් ජාතීනුත් “ශක්තිමත් වෙන්න” කියලා එකිනෙකාට කියාගත්තා. එයාලා තව තවත් දෙවිවරුන්ගේ රූප හදාගෙන ඒ දෙවිවරුන් එයාලව ආරක්ෂා කරයි කියලා බලන් හිටියා. (යෙසා. 41:5-7) ඔය අතරේ යෙහෝවා දෙවියන් යුදෙව්වන්ගේ බිය සැක දුරු කළේ මේ පොරොන්දුව දීලයි. ‘ඊශ්‍රායෙල්, [අනිත් ජාතීන් වගේ නෙමෙයි] ඔබ මාගේ සේවකයාය. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය.’ (යෙසා. 41:8-10) දැක්කාද යෙහෝවා දෙවියන් කිව්වේ “ඔබේ දෙවි මමය” කියලයි. ඔහු එහෙම කිව්වේ තමන්ගේ සෙනඟව ඔහුට අමතක වෙලා නැහැ කියලා එයාලට මතක් කරන්නයි. තාමත් එයාලගේ දෙවියන් ඔහුයි. ඔහුගේ සෙනඟ එයාලයි. දෙවියන් කිව්වා ‘මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි. ඔබව ගලවාගන්නෙමි’ කියලා. ඒ වචනවලින් යුදෙව්වන් මොන තරම් ශක්තියක් ලබන්න ඇද්ද!—යෙසායා 46:3, 4 කියවන්න.

9-10. බය වෙන්න අපිට කිසිම හේතුවක් නැත්තේ ඇයි? උදාහරණයක් දෙන්න.

9 ලෝකේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන නිසා වෙන කවරදාකටත් වඩා මිනිසුන් අද ඉන්නේ ලොකු බයකින්, කනස්සල්ලකින්. ඒ තත්වය අපිටත් බලපානවා. ඒත් අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද “ඔබේ දෙවි මමය” කියලා ඔහු අපිට මතක් කරනවා. කලබල නොවී සන්සුන්ව ඉන්න ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?

10 මේ උදාහරණේ බලන්න. ජිම් සහ බෙන් ගමන් කරන ගුවන් යානය එකපාරටම කුණාටුවකට අහු වෙනවා. කුණාටුව නිසා ගුවන් යානය ගැස්සෙන්න පටන්ගන්නවා. එතකොට මයික්‍රෆෝනයෙන් කෙනෙක් කතා කරලා මෙහෙම කියනවා. “දිගටම ආසන පටි පැළඳගෙන ඉන්න. අපි යන්නේ කුණාටුවක් මැදින්.” ඒක අහලා ජිම් හොඳටම කලබල වෙනවා. ඒ එක්කම මයික්‍රෆෝනයෙන් කතා කරපු කෙනා මෙහෙමත් කියනවා. “ඔයාලා කිසි දේකට කලබල වෙන්න එපා. මේ කතා කරන්නේ ඔයාලගේ ගුවන් නියමුවා.” එතකොට ජිම් කියනවා “කලබල වෙන්න එපා කියලා එයා කියන්නේ කොහොමද” කියලා. හැබැයි බෙන් කලබල වෙන්නේ නැහැ. ඒක දැකලා ජිම් අහනවා “ඔයාට බය නැද්ද” කියලා. එතකොට බෙන් මෙහෙම කියනවා. “නැහැ. මොකද මේ ගුවන් නියමුවාව මං හොඳට දන්නවා. එයා මගේ තාත්තා. දන්නවාද එයා දක්ෂ ගුවන් නියමුවෙක්. එයා ගැන මං ඔයාට කියන්නම්. එතකොට ඔයාගේ බයත් නැති වෙයි.”

11. මඟීන් දෙන්නාගේ උදාහරණෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 ඒ උදාහරණෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? බෙන් වගේ අපිත් කලබල වෙන්නේ නැහැ. මොකද අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් ගැන අපි හොඳට දන්නවා. මේ අවසාන දවස්වල කුණාටු වගේ ප්‍රශ්න ආවත් ඒවා දරාගන්න දෙවියන් අපිට උදව් කරනවා කියලා අපි දන්නවා. (යෙසා. 35:4) මිනිසුන් බයෙන් කැලඹුණත් දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය නිසා අපි ඉන්නේ සන්සුන්ව. (යෙසා. 30:15) බෙන් වගේ අපිත් අපේ තාත්තා ගැන විශ්වාසය තියන්න පුළුවන් ඇයි කියලා අනිත් අයට කියලා දෙනවා. එතකොට මොන ප්‍රශ්න ආවත් දෙවියන් එයාලත් එක්ක ඉන්නවා කියන විශ්වාසය එයාලටත් ඇති වෙයි.

“මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි”

12. (අ) අපි බලන තුන්වෙනි පොරොන්දුව මොකක්ද? (ආ) යෙහෝවා දෙවියන්ගේ හස්තය ගැන සඳහන් දෙයින් අපිට මතක් කරලා දෙන්නේ මොකක්ද?

12 යෙසායා සඳහන් කරලා තියෙන තුන්වෙනි පොරොන්දුව මේකයි. “මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි.” ඒක කියන්න කලින් යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව ශක්තිමත් කරන විදිහ ගැන යෙසායා මෙහෙම කිව්වා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බලවන්තයෙකු මෙන් පැමිණෙන්නේය. ඔහු තම හස්ත බලයෙන් සියල්ල යටත් කරගන්නේය.” (යෙසා. 40:10) දෙවියන් තම “හස්ත බලයෙන්” සියල්ල යටත් කරගන්නවා කියද්දී ඒකෙන් අපිට මතක් කරලා දෙනවා ඔහු බලවත් රජ කෙනෙක් කියලා. දෙවියන්ගේ බලයට සමාන කරන්න කිසිම බලයක් නැහැ. අතීතයේදී දෙවියන් ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කරන්න, ආරක්ෂා කරන්න ඒ බලය යොදාගත්තා. ඔහුව විශ්වාස කරලා වැඩ කරන අය වෙනුවෙන් ඔහු අදත් ඒ දේම කරනවා.—ද්වි. 1:30, 31; යෙසා. 43:10.

දෙවියන් තම බලවත් හස්තයෙන් අපිට දෙන ආරක්ෂාව වළක්වන්න කිසිම ආයුධයකට බැහැ (12-16 ඡේද බලන්න) *

13. (අ) දෙවියන් විශේෂයෙන්ම අපිව ශක්තිමත් කරන්නේ මොන වගේ අවස්ථාවලදීද? (ආ) අපි තුළ නිසැකකමක් ඇති කරන්නේ දෙවියන් කියලා තියෙන මොන දේද?

13 විශේෂයෙන්ම අපේ සතුරන් අපිට පීඩා කරද්දී “මම ඔබව ශක්තිමත් කරන්නෙමි” කියන පොරොන්දුව දෙවියන් ඉටු කරනවා. සමහර රටවල අපි කරන දේශනා කිරීමේ කාර්යය නවත්තන්න නැත්නම් අපේ සංවිධානයේ වැඩකටයුතු තහනම් කරන්න අපේ සතුරන් උත්සාහ කරනවා. ඒත් ඒ වගේ දේවල් ගැන අපි ඕනෑවට වඩා කලබල වෙන්නේ නැහැ. මොකද යෙහෝවා දෙවියන් අපිට මෙහෙම කියනවා. “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැහැ.” (යෙසා. 54:17) ඒකෙන් අපිට වැදගත් කාරණා 3ක් මතක් කරලා දෙනවා.

14. දෙවියන්ගේ සතුරන් අපිට පහර දෙන එක ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි?

14 (1) අපි යේසුස්ගේ අනුගාමිකයන් නිසා අනිත් අයගේ වෛරයට ලක් වෙනවා කියලා අපි දන්නවා. (මතෙ. 10:22) අවසාන කාලේදී තමන්ගේ අනුගාමිකයන්ට දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා යේසුස් කලින්ම කිව්වා. (මතෙ. 24:9; යොහ. 15:20) (2) යෙසායාගේ අනාවැකියේ කියන්නේ සතුරන් අපිට වෛර කරනවාට වඩා දෙයක් කරනවා කියලයි. අපිට පහර දෙන්න එයාලා විවිධ ආයුධ යොදාගන්න යනවා. කපටි විදිහට අපිව රවට්ටන්න හදන එක, අපි ගැන බොරු ප්‍රචාරය කරන එක, අපිට දරුණු විදිහට හිරිහැර කරන එක ඒ ආයුධවලට ඇතුළත්. (මතෙ. 5:11) අපිට විරුද්ධව සටන් කරන්න ඒ ආයුධ පාවිච්චි කරන්න සතුරන්ට ඉඩ දෙන්නේ නැහැ කියලා දෙවියන් කියන්නේ නැහැ. (එෆී. 6:12; එළි. 12:17) ඒත් අපි බය වෙන්න ඕනෙ නැහැ. ඒ ඇයි?

15-16. (අ) අපි මතක තියාගන්න ඕනෙ තුන්වෙනි කරුණ මොකක්ද? ඒ කාරණය යෙසායා 25:4, 5 සඳහන් දෙයින් තවත් ස්ථිර වෙන්නේ කොහොමද? (ආ) අපිට විරුද්ධව සටන් කරන අයට අන්තිමේදී වෙන දේ ගැන යෙසායා 41:11, 12 කියන්නේ මොකක්ද?

15 (3) දෙවියන් කිව්වේ අපිට “විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැහැ” කියලයි. දරුණු කුණාටුවකින් අපිව ආරක්ෂා කරන්න ලොකු පවුරකට පුළුවන් වගේ “දරුණු ලෙස ඇද හැළෙන වැස්සක් මෙන් පහර දෙන කෲරයන්ගෙන්” අපිව ආරක්ෂා කරන්න දෙවියන්ට පුළුවන්. (යෙසායා 25:4, 5 කියවන්න.) අපිට සදාකාලෙටම හානියක් වෙන දෙයක් කරන්න අපේ සතුරන්ට කවදාවත් බැහැ.—යෙසා. 65:17.

16 ‘අපිට වෛර කරන සියලුදෙනාටම’ අවසානයේදී වෙන දේ ගැන සඳහන් කරලා ඔහු ගැන අපේ හිතේ තියෙන විශ්වාසය තව වැඩි කරගන්න දෙවියන් උදව් කරනවා. (යෙසායා 41:11, 12 කියවන්න.) අපේ සතුරන් මොන තරම් ශක්තියක් යොදලා අපිට විරුද්ධව සටන් කළත් ඒ යුද්ධය මොන තරම් දරුණු වුණත් අවසාන ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. අවසානයේදී සතුරන් අනිවාර්යයෙන්ම ‘විනාශ වෙනවා.’

යෙහෝවා දෙවියන් ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න

බයිබලේ නිතිපතා කියවලා යෙහෝවා දෙවියන් ගැන තව තවත් දැනුවත් වෙද්දී ඔහු ගැන අපේ විශ්වාසය වැඩි වෙනවා (17 සහ 18 ඡේද බලන්න) *

17-18. (අ) දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න බයිබලේ කියවන එක උදව් වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න. (ආ) 2019 වාර්ෂික පදය ගැන කල්පනා කරන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

17 යෙහෝවා දෙවියන්ව තව තවත් හොඳින් හඳුනගද්දී ඔහු ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් වෙනවා. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි බයිබලේ කියවලා කියවන දේ ගැන හොඳට හිතන එක. අතීතයේදී දෙවියන් ඔහුගේ සෙනඟව ආරක්ෂා කරපු විදි ගැන හුඟක් වාර්තා බයිබලේ තියෙනවා. ඒ වාර්තා කියවද්දී ඔහු අදත් අපිව ඒ විදිහටම බලාගන්නවා කියන නිසැකකම අපිට ඇති වෙනවා.

18 උදාහරණෙකට බලන්න යෙහෝවා දෙවියන් අපිව ආරක්ෂා කරන විදිහ තේරුම්ගන්න යෙසායා අපේ හිතේ අඳින මේ පින්තූරය. එයා දෙවියන්ව එඬේරෙක්ටත් ඔහුගේ සෙනඟව බැටළුවන්ටත් සමාන කරලා මෙහෙම කියනවා. “දෙවි බැටළු පැටවුන්ව වඩාගෙන තම තුරුලට ගන්නේය.” (යෙසා. 40:11) යෙහෝවා දෙවියන් ඔහුගේ බලවත් හස්තයෙන් අපිව තුරුලු කරගද්දී අපිට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක්. සන්සුන්කමක්. මොන ප්‍රශ්න ආවත් සන්සුන්ව ඉන්න උදව්වක් විදිහට විශ්වාසවන්ත නුවණ ඇති දාසයා 2019 වාර්ෂික පදය විදිහට තෝරගෙන තියෙන්නේ යෙසායා 41:10 තියෙන මේ වචන. “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය.” ඒ වචන ගැන හොඳට හිතන්න. ඉස්සරහට එන අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න ඒ වචන ඔයාට ලොකු ශක්තියක් වෙයි.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

^ 5 ඡේ. ලෝකේ නරක දේවල් සිද්ධ වුණත් අපි පෞද්ගලිකව අමාරුකම් අද්දැක්කත් කලබල නොවී සන්සුන්ව ඒවාට මුහුණ දෙන්න උදව් වෙන හේතු තුනක් 2019 වාර්ෂික පදයෙන් අපිට හොයාගන්න පුළුවන්. ඒ හේතු මේ ලිපියේ විස්තර කරනවා. යෙහෝවා දෙවියන්ව තව වැඩියෙන් විශ්වාස කරලා වැඩ කරන්න ඒවා අපිට උදව් වෙන්නේ කොහොමද කියලා බලන්න. වාර්ෂික පදය ගැන හොඳට හිතන්න. ඒක මතක තියාගන්න. ඉස්සරහට එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ඒක ඔයාට ශක්තියක් වෙයි.

^ 3 ඡේ. පැහැදිලි කිරීමක්: යෙහෝවා දෙවියන් දෙන පොරොන්දුවක් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. අපිට ජීවිතේ මොන ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වුණත් දෙවියන් දීලා තියෙන පොරොන්දු නිසා ඕනෑවට වඩා කනස්සලු නොවී ඉන්න අපිට පුළුවන්.

^ 4 ඡේ. “භය නොවන්න” කියන වචන යෙසායා 41:10, 13 සහ 14 තුන් වතාවක් සඳහන් වෙලා තියෙනවා. ඒ පදවලම “මම ඔබ සමඟ සිටින්නෙමි,” “ඔබේ දෙවි මමය” සහ “ඔබට මම උපකාර කරන්නෙමි” කියලා දෙවියන් කියනවා. ඒකෙන් තේරෙන්නේ මොකක්ද? යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තිබ්බොත් විතරයි අපිට බය නොවී සන්සුන්ව ඉන්න පුළුවන් වෙන්නේ.

^ 52 ඡේ. පින්තූරයේ අදහස: පවුලක සාමාජිකයන් රැකියා කරන ස්ථානයේදී, සේවයේදී, පාසැලේදී සහ සෞඛ්‍යය හා සම්බන්ධ කාරණයකදී අභියෝගවලට මුහුණ දෙනවා.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: ගෙදරක රැස්වීම් පවත්වමින් ඉද්දී පොලීසියෙන් එතනට කඩාපනිනවා. ඒත් සහෝදර සහෝදරියන් කලබල වෙන්නේ නැහැ.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: හැම සතියකම කරන පවුලේ නමස්කාරය දේවල් විඳදරාගන්න අපිට ලොකු ශක්තියක් වෙනවා.