Skip to content

පටුනට යන්න

කෙනත් කුක් සහ එයාගේ බිරිඳ ජේමි

පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්

පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්

2018 ජනවාරි 24වෙනිදා උදෑසන එක්සත් ජනපදයේ සහ කැනඩාවේ බෙතෙල් පවුලේ සාමාජිකයන්ට විශේෂ නිවේදනයක් කළා. ඒ සහෝදර කෙනත් කුක්ව යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට පත් කළා කියන නිවේදනය.

සහෝදර කෙනත් ඉපදුණෙත් හැදී වැඩුණෙත් එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා කියන ප්‍රාන්තයේ. එයාට සත්‍යය ලැබුණේ එයාගේ පන්තියේ යාළුවෙක්ගෙන්. ඒ පාසැල් අධ්‍යාපනය ඉවර කරන්න ටික කාලෙකට කලින්. එයා 1980 ජූනි 7වෙනිදා බව්තීස්ම වුණා. සහෝදර කෙනත් 1982 සැප්තැම්බර් 1වෙනිදා ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. අවුරුදු දෙකක් පුරෝගාමි සේවය කළාට පස්සේ 1984 ඔක්තෝබර් 12වෙනිදා එයාට වෝල්කිල් බෙතෙල් එකේ සේවය කරන්න පැවරුමක් ලැබුණා.

ඊටපස්සේ ගත වුණ අවුරුදු 25 ඇතුළත මුද්‍රණ අංශයෙත් බෙතෙල් කාර්යාලයෙත් විවිධ පැවරුම් කරන්න සහෝදර කෙනත්ට අවස්ථාව ලැබුණා. එයා 1996දී සහෝදරි ජේමි එක්ක විවාහ වුණා. ඊටපස්සේ එයාත් වෝල්කිල් බෙතෙල් එකේ සේවය කරන්න ආවා. 2009 දෙසැම්බර් මාසේ ඒ දෙන්නාට පැවරුමක් ලැබුණා පැටර්සන්වල තියෙන වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ සේවය කරන්න. එහෙදී සහෝදර කෙනත්ගේ පැවරුම වුණේ බයිබලය පිළිබඳ අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන අංශයේ සේවය කරන එකයි. 2016දී ඒ දෙන්නාට ආපහු වෝල්කිල් බෙතෙල් එකේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඊටපස්සේ එයාලව බෘක්ලින් බෙතෙල් එකට මාරු කළා. මාස පහකට පස්සේ වෝර්වික්වල ඉදි කරපු ලෝක මූලස්ථානයේ සේවය කරන්න එයාලට පැවරුමක් ලැබුණා. 2017 ජනවාරි මාසේ සහෝදර කෙනත් පාලක මණ්ඩලයේ ලේඛන කමිටුවට උපකාර කරන්නෙක් විදිහට සේවය කරන්න පටන්ගත්තා.