Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 4

අපේ රජු ගැන කියා දෙන චාම් සැමරීමක්

අපේ රජු ගැන කියා දෙන චාම් සැමරීමක්

‘මෙයින් නියෝජනය වන්නේ මගේ ශරීරයයි. මෙයින් නියෝජනය වන්නේ මගේ රුධිරයයි. ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.’—මතෙ. 26:26-28.

ගීතිකාව 16 යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න

මේ ලිපියෙන් *

1-2. (අ) ඔහුගේ මරණය සිහි කරන්න යේසුස් චාම් සැමරීමක් හඳුන්වලා දුන්න එක ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි? (ආ) යේසුස් පෙන්නපු මොන ගුණාංග ගැනද අපි බලන්න යන්නේ?

වාර්ෂිකව පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමේදී වෙන්නේ මොනවාද කියලා ඇහුවොත් අපෙන් වැඩිදෙනෙකුට ඒක විස්තර කරන්න පුළුවන්. මොකද ඒක හරිම සරල, චාම් සැමරීමක්. කිසිම සංකීර්ණ දෙයක් එදාට වෙන්නේ නැහැ. ඒත් ඒ තරම් වැදගත් සිද්ධියක් ඇයි එච්චර සරලව සිහි කරන්නේ?

2 යේසුස් ප්‍රසිද්ධ වුණේ බයිබල් සත්‍යයන් හරිම සරලව, පැහැදිලිව, හැමෝටම තේරුම්ගන්න පුළුවන් විදිහට උගන්වන කෙනෙක් හැටියට. (මතෙ. 7:28, 29) එහෙමනම් ඔහුගේ මරණය සිහි කරන අවස්ථාවත් සරලව ඒත් අර්ථවත්ව පවත්වන්නේ කොහොමද කියලා යේසුස් පෙන්නලා දුන්න එක පුදුමයක්ද! ඒ සැමරීම * ගැනත් ඒක හඳුන්වලා දීපු අවස්ථාවේ යේසුස් කියපු කරපු දේවල් ගැනත් අපි බලමු. එතකොට අපිට පුළුවන් වෙයි ඔහු පෙන්නපු නිහතමානිකම, ධෛර්යය, ආදරේ ගැන තව වැඩියෙන් තේරුම්ගන්න. ඔහුව තවත් කිට්ටුවෙන් ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

යේසුස් නිහතමානියි

සිහි කිරීමේදී සංකේත විදිහට පාවිච්චි කරන රොටි සහ වයින්වලින් යේසුස් ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් දුන්නා කියන එකත් දැන් ඔහු අපේ රජු කියන එකත් අපිට මතක් කරනවා (3-5 ඡේද බලන්න)

3. මතෙව් 26:26-28 වාර්තා වෙලා තියෙන විදිහට යේසුස් හඳුන්වලා දුන්න සැමරීම සරලයි කියන්නේ ඇයි? ඔහු පාවිච්චි කරපු දේවල් දෙකෙන් නියෝජනය වුණේ මොනවාද?

3 යේසුස් ඔහුගේ මරණය සිහි කරන විදිහ හඳුන්වලා දෙද්දී ඔහුත් එක්ක හිටියේ විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනා විතරයි. පාස්කු උත්සවය සමරලා ඉතුරු වෙලා තිබුණ මුහුන් නොදැමූ රොටි සහ වයින් යොදාගෙනයි ඔහු ඒ සැමරීම පැවැත්තුවේ. (මතෙව් 26:26-28 කියවන්න.) ඒ දේවල් දෙකෙන් එයාලා වෙනුවෙන් පූජා කරන්න යන තමන්ගේ පරිපූර්ණ ශරීරය සහ රුධිරය නියෝජනය වෙනවා කියලා ඔහු නියෝජිතයන්ට කිව්වා. මේ අලුත් සැමරීම හරිම සරල, චාම් එකක් වුණ එක ගැන නියෝජිතයන් පුදුම වෙන්න නැතුව ඇති. ඒ ඇයි?

4. සිහි කිරීම යේසුස් සරලව පැවැත්තුවේ ඇයි කියලා තේරුම්ගන්න ඔහු මාර්තාට දීපු උපදෙස අපිට උදව් වෙන්නේ කොහොමද?

4 මාස කීපයකට කලින් ඒ කියන්නේ යේසුස් පොළොවේ සේවය කරපු තුන්වෙනි අවුරුද්දේ වෙච්ච දෙයක් බලන්න. යේසුස් හිටියේ ඔහුගේ කිට්ටු මිතුරන් වුණ ලාසරුස්, මාර්තා සහ මරියාගේ ගෙදර. යේසුස් එයාලට උගන්වමින් හිටියා. ඒත් මාර්තා යේසුස්ට ලොකු කෑම වේලක් පිළියෙල කරන්න මහන්සි වෙවී හිටිය නිසා යේසුස් උගන්වපු දේවලට එයා එච්චර අවධානයක් දුන්නේ නැහැ. ඒක දැක්ක යේසුස් මාර්තාට ආදරෙන් කිව්වා හැම වෙලේම ලොකු කෑම වේලක් ඕනෙ නැහැ කියලා. (ලූක් 10:40-42) මාර්තාට දුන්න ඒ උපදෙස තමන්ගේ ජීවිතේ පූජා කරන්න පැය ගාණකට කලින් යේසුස්ම අදාළ කරගත්තා. ඔහු ඒක කළේ ඔහුගේ මරණය සැමරීම සරලව පවත්වන විදිහ පෙන්නලා දීලයි. ඒකෙන් යේසුස් ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5. චාම් සැමරීමක් හඳුන්වලා දුන්න එකෙන් යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? ෆිලිප්පි 2:5-8 සඳහන් දෙයින් ඒක තවත් පැහැදිලි වෙන්නේ කොහොමද?

5 යේසුස් කියපු කරපු හැම දේකින්ම ඔහු නිහතමානී කෙනෙක් කියලා පැහැදිලි වුණා. ඔහු පොළොවේ ගත කරපු අන්තිම රාත්‍රියේදීත් නිහතමානීව වැඩ කළා. (මතෙ. 11:29) ඔහු ඔප්පු කරන්න යන පූජාව මිනිස් ඉතිහාසයේ ඔප්පු කරන ශ්‍රේෂ්ඨතම පූජාව කියලත් දෙවියන් ඔහුව නැවත නැඟිටුවලා ස්වර්ගයේ උසස් තත්වයක් ලබා දෙනවා කියලත් යේසුස් දැනන් හිටියා. ඒ වුණත් ඔහු කිව්වේ නැහැ ඔහුගේ මරණය සිහි කරන්න ලොකු ලොකු දේවල් කරන්න කියලා. මොකද අනිත් අයගේ අවධානය තමන්ට ඇදගන්න ඔහුට ඕනෙ වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ හැම අවුරුද්දකම චාම් විදිහට ඒ සැමරීම කරලා ඔහුව සිහි කරන්න කියලයි. (යොහ. 13:15; 1 කොරි. 11:23-25) ඒ වගේ චාම් සැමරීමක් හඳුන්වලා දුන්න එකෙන් තේරෙනවා යේසුස් නිහතමානී කෙනෙක් කියලා. ඒක අපේ රජුගේ කැපීපේන ගුණාංගයක්.—ෆිලිප්පි 2:5-8 කියවන්න.

6. දුෂ්කරතා අද්දකිද්දී යේසුස්ගේ නිහතමානිකම ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

6 යේසුස්ගේ නිහතමානිකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අපේ අවශ්‍යතාවලට වඩා අනිත් අයගේ අවශ්‍යතාවලට මුල් තැන දීලා අපිට ඒක කරන්න පුළුවන්. (ෆිලි. 2:3, 4) යේසුස් පොළොවේ ගත කරපු ඒ අන්තිම රාත්‍රිය ගැන හිතන්න. පැය කීපයකින් හුඟක් වේදනාකාරී මරණයක් අද්දකින්න තමන්ට වෙනවා කියලා ඔහු දැනන් හිටියා. ඒත් ඔහු ඒ වෙලාවේ හිතුවේ ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් ගැනයි. මොකද ඔහුගේ මරණය ගැන එයාලා හුඟක් දුක් වෙනවා කියලා ඔහු දැනන් හිටියා. ඒ නිසා ඔහු එයාලට ඕනෙ කරන මඟ පෙන්වීම්, දිරිගැන්වීම් දෙමින් ඒ රාත්‍රිය එයාලා එක්කම හිටියා. (යොහ. 14:25-31) තමන් ගැන හිතනවාට වඩා යේසුස් නිහතමානීව අනිත් අයගේ යහපත ගැන හිතුවා.

යේසුස් ධෛර්යවන්තයි

7. මරණය සිහි කිරීම හඳුන්වා දුන්නාට පස්සේ යේසුස් ධෛර්යවන්තයි කියලා පැහැදිලි වුණේ කොහොමද?

7 මරණය සිහි කිරීම හඳුන්වලා දීලා ටික වෙලාවකට පස්සේ යේසුස් ධෛර්යවන්ත කෙනෙක් කියලා හොඳින්ම පැහැදිලි වුණා. ඒ කොහොමද? දෙවියන්ට අපහාස කරන්නෙක් කියන චෝදනාව මත නින්දාසහගත මරණයක් අද්දකින්න වෙනවා කියලා දැනන් හිටියත් යේසුස් ඔහුගේ පියා බලාපොරොත්තු වුණ දේ කරන්න කැමති වුණා. (මතෙ. 26:65, 66; ලූක් 22:41, 42) දෙවියන්ගේ නමට ගෞරවයක් ගේන්නත් පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය තහවුරු කරන්නත් පසුතැවිලි වන මිනිසුන්ට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නත් ඔහුට තිබුණ කැමැත්ත නිසා යේසුස් හැම අතින්ම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒ වගේම තමන්ගේ අනුගාමිකයන්ට ඉස්සරහට මුහුණ දෙන්න වෙන දේවලටත් ඔහු එයාලව සූදනම් කළා.

8. (අ) විශ්වාසවන්ත නියෝජිතයන්ට යේසුස් කිව්වේ මොනවාද? (ආ) යේසුස්ගේ අනුගාමිකයන් ඔහු පෙන්නපු ධෛර්යය ආදර්ශයට ගත්තේ කොහොමද?

8 යේසුස් තමන්ට දැනෙන පීඩනය ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව නියෝජිතයන්ට උදව් කරන්න වැඩි අවධානයක් දුන්න එකෙනුත් ඔහු ධෛර්යවන්තයි කියලා පැහැදිලි වුණා. යූදස්ව පිටත් කරලා යැව්වාට පස්සේ යේසුස් හඳුන්වලා දීපු ඒ සැමරීම අභිෂේක ලබන අයට මතක් කරලා දෙනවා යේසුස් වගුරපු රුධිරය නිසා එයාලා මොන තරම් ප්‍රයෝජන ලබනවාද කියලා. ඒ වගේම තමන් අලුත් ගිවිසුමට පංගුකාරයන් වෙනවා කියන දේත් ඒකෙන් එයාලට මතක් කරලා දෙනවා. (1 කොරි. 10:16, 17) යේසුස්ට ඕනෙ වුණා අභිෂේක ලබන අයට උදව් කරන්න දිගටම විශ්වාසවන්තව ඉඳලා එයාලට හිමි තෑග්ග ලබාගන්න. ඒ නිසා යේසුස් සහ යෙහෝවා දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඔහු ඒ වෙලාවේ එයාලට කිව්වා. (යොහ. 15:12-15) නියෝජිතයන්ට ඉස්සරහට මුහුණ දෙන්න වෙන පීඩා ගැනත් යේසුස් ඒ වෙලාවේ කතා කළා. ඊටපස්සේ ඔහු වගේ ධෛර්යවන්තව වැඩ කරන්න කියලා ඔහු එයාලව දිරිගැන්නුවා. (යොහ. 16:1-4අ, 33) යේසුස් ඒක කියලා අවුරුදු ගාණක් ගත වුණාට පස්සෙත් ඔහුගේ අනුගාමිකයන් ඔහු වගේ ධෛර්යවන්තව වැඩ කළා. තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව පීඩාවලදී එකිනෙකාට උදව් කරලා එයාලා ඒක පෙන්නුවා.—හෙබ්‍රෙ. 10:33, 34.

9. යේසුස් පෙන්නපු ධෛර්යය ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

9 අපිත් යේසුස් වගේ ධෛර්යවන්තව වැඩ කරනවා. උදාහරණෙකට දෙවියන්ට ළැදිව ඉන්න නිසා පීඩා විඳින අපේ සහෝදරයන්ට උදව් කරන්න අපිට ලොකු ධෛර්යයක් ඕනේ. සමහර අවස්ථාවලදී අපේ සහෝදරයන්ව අසාධාරණ විදිහට සිරගත කරනවා. ඒ වෙලාවලදී එයාලට උදව් කරන්න අපිට පුළුවන් හැම දේම අපි කරන්න ඕනේ. එයාලා වෙනුවෙන් කතා කරන්න වුණත් අපි බය නැහැ. (ෆිලි. 1:14; හෙබ්‍රෙ. 13:19) ශුභාරංචිය “නිර්භීතව” දේශනා කරන එකත් ධෛර්යය පෙන්නන්න පුළුවන් තව විදිහක්. (ක්‍රියා 14:3) විරුද්ධවාදිකම්, පීඩා මැද වුණත් අත් නෑර දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අපි දේශනා කරනවා. ඒත් සමහර වෙලාවලදී අපිට තියෙන ධෛර්යය අඩු වෙලා කියලා අපිට දැනෙයි. එතකොට මොනවාද කරන්න පුළුවන්?

10. සිහි කිරීමට කලින් සතිවල අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

10 යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට ලැබිලා තියෙන බලාපොරොත්තුව ගැන හිතන එක අපේ ධෛර්යය වැඩි කරගන්න පුළුවන් විදිහක්. (යොහ. 3:16; එෆී. 1:7) සිහි කිරීමට කලින් සතිවල අපිට පුළුවන් යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය තව වැඩි කරගන්න දේවල් කරන්න. ඒ කාලේදී සිහි කිරීමට අදාළ බයිබල් කොටස් කියවන්න. යේසුස්ගේ මරණය ළං වෙලා තියෙද්දී සිදු වුණ දේවල් ගැන කාලේ අරන් හිතන්න. එතකොට සිහි කිරීමට සහභාගි වෙද්දී රොටිවලින් සහ වයින්වලින් කොයි තරම් වටිනා දෙයක් නියෝජනය වෙනවාද කියලත් ඒ පූජාවට සම කරන්න කිසිම දෙයක් නැහැ කියලත් අපිට තවත් හොඳින් තේරෙයි. යේසුස් සහ යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරපු දේ තේරුම්ගද්දී, ඒකෙන් අපිටත් අපි ආදරේ කරන අයටත් ලැබිලා තියෙන ප්‍රයෝජන ගැන හිතද්දී අනාගතය ගැන අපේ බලාපොරොත්තුව තවත් ශක්තිමත් වෙනවා. අවසානය දක්වාම ධෛර්යවන්තව විඳදරාගන්නත් අපි පෙලඹෙනවා.—හෙබ්‍රෙ. 12:3.

11-12. මේ වෙන කල් අපි ඉගෙනගත්තේ මොනවාද?

11 යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවෙන් ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම ගැන විතරක් නෙමෙයි නිහතමානිකම සහ ධෛර්යය වගේ ඔහු පෙන්නපු ලස්සන ගුණාංග ගැන අපිට මතක් කරලා දෙනවා. අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන උත්තම පූජකයා විදිහට ඒ ලස්සන ගුණාංග දිගටම පෙන්නන එක ගැන අපි යේසුස්ව කොයි තරම් අගය කරන්න ඕනෙද! (හෙබ්‍රෙ. 7:24, 25) ඒ අගය පෙන්නන්න නම් අපි දිගටම යේසුස් කියපු විදිහට ඔහුගේ මරණය සිහි කරන්න ඕනේ. (ලූක් 22:19, 20) අවුරුද්දේ වැදගත්ම දවස වන නීසාන් 14වෙනිදා අපි ඒ අගය පෙන්නමු.

12 අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න යේසුස් තුළ පෙලඹීමක් ඇති කරපු තවත් ගුණාංගයක් ගැන මේ චාම් සැමරීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. මොකක්ද ඒ ගුණාංගය?

යේසුස්ගේ ආදරේ

13. යොහන් 15:9 සහ 1 යොහන් 4:8-10 යෙහෝවා දෙවියන් සහ යේසුස් පෙන්නපු ආදරේ විස්තර කරලා තියෙන්නේ කොහොමද? ඒ දෙන්නා පෙන්නපු ආදරෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?

13 යෙහෝවා දෙවියන්ගේ හිතේ අපි ගැන තියෙන ආදරේ යේසුස් වැඩ කරපු විදිහෙන් හොඳින්ම පෙන්නුවා. (යොහන් 15:9; 1 යොහන් 4:8-10 කියවන්න.) යේසුස් අපිට ආදරේ පෙන්නපු විශේෂම විදිහ තමයි අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතේ කැමැත්තෙන්ම පූජා කරපු එක. ඒ වටිනා පූජාව දීලා යෙහෝවා දෙවියනුත් යේසුත් පෙන්නපු ආදරෙන් අභිෂේක ලත් අය වගේම වෙනත් බැටළුවනුත් මොන තරම් ප්‍රයෝජන ලබනවාද! (යොහ. 10:16; 1 යොහ. 2:2) සිහි කිරීමේදී පාවිච්චි කරන සංකේතවලින් යේසුස්ට තමන්ගේ අනුගාමිකයන් ගැන තිබුණ ආදරේ පැහැදිලි වෙනවා. ඒ කොහොමද?

ඔහුගේ මරණය සිහි කරන්න යේසුස් හඳුන්වා දුන්නේ සියවස් ගාණක් පුරා, අමාරු තත්වයන් යටතේ වුණත් පවත්වන්න පුළුවන් චාම් සැමරීමක් (14-16 ඡේද බලන්න) *

14. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ආදරේ පෙන්නුවේ කොහොමද?

14 යේසුස්ගේ මරණය සමරන්න සංකීර්ණ දේවල් කරන්න කියනවා වෙනුවට කරන්න කියපු සරල දෙයිනුත් අභිෂේක ලත් අනුගාමිකයන් ගැන ඔහුට තිබුණ ආදරේ පැහැදිලි වුණා. අභිෂේක ලත් අය හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරන්න ඕනේ. සිරගත වීම ඇතුළු විවිධ අභියෝග, බාධාවන් මැද ඒ සැමරීම කරන්න එයාලට සිද්ධ වෙයි. (එළි. 2:10) ඒ බාධා මැද වුණත් එයාලා යේසුස්ට කීකරු වුණාද? ඔව්.

15-16. අමාරු තත්වයන් මැද වුණත් සමහරු යේසුස්ගේ මරණය සමරලා තියෙන්නේ කොහොමද?

15 මුල් සියවසේ ඉඳන් අද වෙන කල්ම සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ගේ මරණය සිහි කරන්න වෑයමක් දරලා තියෙනවා. මොන බාධා ආවත් යේසුස් පෙන්නපු විදිහටම ඒ සැමරීම කරන්න එයාලා පුළුවන් උපරිමය කරලා තියෙනවා. මේ අද්දැකීම බලන්න. චීනයේ හුදෙකලා සිරකුටියක හිටපු සහෝදර හැරල්ඩ් කිංට සිද්ධ වුණා යේසුස්ගේ මරණය සිහි කරන්න විදිහක් හොයාගන්න. එයා හොරෙන් එයා ළඟ තිබුණ දේවලින් සිහි කිරීමට අවශ්‍ය සංකේත හදාගත්තා. එයා දවස් ගණන් කරලා සිහි කිරීම පවත්වන දවස එයාට පුළුවන් විදිහට හොයාගත්තා. ඒ දවස උදා වුණාම තනියම සිරකුටියේ ඉඳන් ගීතිකා කියලා යාච්ඤා කරලා දේශනයක් දීලා එයා ඒ සැමරීම කළා.

16 මේ අද්දැකීමත් බලන්න. දෙවෙනි ලෝක යුද්ධ කාලේ ගාල් කඳවුරක හිටපු අපේ සහෝදරියන් කීපදෙනෙක් යේසුස්ගේ මරණය සමරන්න එයාලගේ ජීවිත පරදුවට තිබ්බා. ඒ සැමරීම සංකීර්ණ නැති නිසා අනිත් අයගේ අවධානය ඇදගන්නේ නැතුව ඒක පවත්වන්න එයාලට පුළුවන් වුණා. එයාලා මෙහෙම කිව්වා. “සුදු රෙද්දක් දාපු පොඩි මේසයක් උඩ වයින් සහ රොටි තියලා අපි ටිකදෙනා ඒ වටේ හිටගත්තා. ලයිට් දැම්මොත් අනිත් අයගේ අවධානය අපි දිහාවට යොමු වෙන්න පුළුවන් නිසා අපි ඒ සැමරීම කළේ ඉටිපන්දමක එළියෙන්. දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් කරන්න අපේ මුළු ශක්තියම යොදවනවා කියලා අපි ඒ වෙලාවේ ආයෙත් දෙවියන්ට පොරොන්දු වුණා.” එයාලට තිබුණේ ශක්තිමත් විශ්වාසයක්. අමාරු තත්වයන් යටතේ වුණත් සිහි කිරීම පවත්වන්න පුළුවන් විදිහට ඒක හඳුන්වලා දීලා යේසුස් අපිට පෙන්නුවේ මොන තරම් ලොකු ආදරයක්ද!

17. අපි අපෙන්ම අහගන්න ඕනෙ ප්‍රශ්න මොනවාද?

17 සිහි කිරීම පවත්වන දවස ළං වෙද්දී අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘යේසුස්ව ආදර්ශයට අරන් තව වැඩියෙන් අනිත් අයට ආදරේ පෙන්නන්න මට පුළුවන් කොහොමද? මං මගේ අවශ්‍යතාවලට වඩා වැඩියෙන් මගේ සහෝදර සහෝදරියන්ගේ අවශ්‍යතා ගැන හිතනවාද? එයාලට පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මං එයාලගෙන් දේවල් බලාපොරොත්තු වෙනවාද? නැත්නම් මං එයාලගේ සීමාවන් තේරුම් අරන්ද ඉන්නේ?’ අපිත් හැම වෙලේම යේසුස්ව ආදර්ශයට අරන් අනිත් අයට අනුකම්පාව පෙන්නමු.—1 පේතෘ. 3:8.

මේ පාඩම් අමතක කරන්න එපා

18-19. (අ) අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද? (ආ) ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

18 යේසුස්ගේ මරණය සැමරීම තව වැඩි කාලයක් කරන්න යන්නේ නැහැ. මහත් පීඩාව අතරතුරේදී යේසුස් ‘ඇවිත්’ ඔහු “තෝරාගත් අයව” ස්වර්ගයට රැස් කරගත්තාට පස්සේ ඒ සැමරීම තවදුරටත් පවත්වන්නේ නැහැ.—1 කොරි. 11:26; මතෙ. 24:31.

19 යේසුස්ගේ මරණය සිහි කිරීම නතර කළාට පස්සෙත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟට ඒ චාම් සැමරීම ගැන අමතක වෙන එකක් නැහැ. ඒ සැමරීම ගැන හිතන හැම අවස්ථාවකදීම යේසුස් පෙන්නපු නිහතමානිකම, ධෛර්යය සහ ආදරේ ගැන අපිට මතක් වෙයි. ඒ සැමරීමට සහභාගි වෙලා තියෙන අය ඒ කාලේ ජීවත් වෙන අයට ඒ ගැන කියයි. සිහි කිරීමෙන් දැන් ප්‍රයෝජන ලබන්න නම් යේසුස් පෙන්නපු නිහතමානිකම, ධෛර්යය සහ ආදරේ ආදර්ශයට ගන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙම කරනවා නම් යෙහෝවා දෙවියන් දෙන ත්‍යාගය ලබාගන්න අපිට පුළුවන් වෙයි.—2 පේතෘ. 1:10, 11.

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

^ 5 ඡේ. තව ටික දවසකින් යේසුස්ගේ මරණය සිහි කරන්න අපි හැමෝම රැස් වෙනවා. ඒ සරල, චාම් සැමරීමෙන් ඔහුගේ නිහතමානිකම, ධෛර්යය සහ ආදරේ ගැන අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔහු පෙන්නපු ඒ ලස්සන ගුණාංග ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: සමරනවා කියන්නේ වැදගත් අවස්ථාවක් හෝ කෙනෙක්ව සිහි කරන්න එහෙම නැත්නම් කෙනෙක්ට ගෞරවය පෙන්නන්න කරන විශේෂ දෙයක්.

^ 56 ඡේ. පින්තූරවල අදහස: මුල් සියවසේදී, 1800 ගණන්වල අගභාගයේදී, නාට්සි කඳවුරකදී සහ උණුසුම් කාලගුණයක් තියෙන දකුණු ඇමරිකාවේ නමස්කාර මධ්‍යස්ථානයකදී සිහි කිරීම පවත්වන විදිහ රඟ දක්වලා පෙන්නනවා.