Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 5

රැස්වීම්වලට යන්න අපිව පොලඹවන ගුණාංග

රැස්වීම්වලට යන්න අපිව පොලඹවන ගුණාංග

‘ස්වාමීන් එන තාක් කල් ඔහුගේ මරණය ගැන ප්‍රකාශ කරන්න.’—1 කොරි. 11:26.

ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

මේ ලිපියෙන් *

1-2. (අ) මිලියන ගාණක් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙද්දී යෙහෝවා දෙවියන් එයාලව දකින්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.) (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

යේසුස්ගේ මරණය සිහි කරන්න ලෝකේ පුරාම මිලියන ගාණක් රැස් වෙලා ඉද්දී යෙහෝවා දෙවියන් ඒ පිරිසව දකින්නේ කොහොමද? දෙවියන් එයාලව දකින්නේ නිකම්ම විශාල පිරිසක් හැටියට නෙමෙයි. ඒ වෙනුවට ඒ රැස්වීමට සහභාගි වෙන එක් එක් පුද්ගලයාව දෙවියන් දකිනවා. උදාහරණෙකට හැම අවුරුද්දකම විශ්වාසවන්තව සිහි කිරීමට සහභාගි වෙන අයව දෙවියන් දන්නවා. ඒ අය අතරේ දරුණු විරුද්ධවාදිකම් මැද එන අයත් ඉන්නවා. තවත් සමහරු අපේ රැස්වීම්වලට නිතිපතා සහභාගි වෙන්නේ නැහැ. ඒත් එයාලා හිතනවා සිහි කිරීම අතපසු කරන්න බැහැ කියලා. මේ රැස්වීමේදී මොනවාද වෙන්නේ කියලා දැනගන්න තියෙන කුතුහලය නිසා මුල්ම වතාවට ඒකට එන අයවත් දෙවියන් දකිනවා.

2 විශාල පිරිසක් සිහි කිරීමට සහභාගි වෙනවා දැක්කාම දෙවියන්ට ලොකු සතුටක් දැනෙනවා කියලා කිසිම සැකයක් නැහැ. (ලූක් 22:19) ඒ වුණත් දෙවියන්ට වැදගත් ඒකට සහභාගි වෙන සංඛ්‍යාව නෙමෙයි. එයාලා ඒකට සහභාගි වෙන හේතුවයි. අවුරුද්දකට වතාවක් පැවැත්වෙන සිහි කිරීමට විතරක් නෙමෙයි දෙවියන්ට ආදරේ කරන අය වෙනුවෙන් ඔහු සතිපතා සූදානම් කරන රැස්වීම්වලට අපි යන්නේ ඇයි කියලා මේ ලිපියෙන් බලමු.

ලෝකේ පුරා මිනිසුන් මිලියන ගාණක්ව යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට ආදරෙන් පිළිගන්නවා (1-2 ඡේද බලන්න)

නිහතමානිකම

3-4. (අ) ඇයි අපි රැස්වීම්වලට යන්නේ? (ආ) රැස්වීම්වලට සහභාගි වෙන එකෙන් අපි ගැන තේරෙන්නේ මොකක්ද? (ඇ) 1 කොරින්ති 11:23-26 සඳහන් වෙන විදිහට අපි සිහි කිරීම අතපසු කරන්න හොඳ නැත්තේ ඇයි?

3 අපි රැස්වීම්වලට සහභාගි වෙන ප්‍රධානම හේතුව ඒක අපේ නමස්කාරයේ කොටසක් නිසයි. රැස්වීම්වලදී යෙහෝවා දෙවියන් අපිට උගන්වනවා. රැස්වීම්වලට යන්න ඒකත් හේතුවක්. උඩඟු අය හිතන්නේ එයාලට කාගෙන්වත් කිසිම දෙයක් ඉගෙනගන්න අවශ්‍ය නැහැ කියලා. (3 යොහ. 9) ඒත් අපි ආසයි යෙහෝවා දෙවියන්ගෙන් සහ ඔහුගේ සංවිධානයෙන් මඟ පෙන්වීම්, උපදෙස් ලබාගන්න.—යෙසා. 30:20; යොහ. 6:45.

4 රැස්වීම්වලට සහභාගි වෙද්දී ඒකෙන් පේන්නේ අපි නිහතමානී, ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න අය කියලා. යේසුස්ගේ මරණය සිහි කිරීමට අපි සහභාගි වෙන්නේ ඒක වැදගත් රැස්වීමක් කියලා අපි දන්න නිසා විතරක් නෙමෙයි “මාව සිහි කිරීම සඳහා මේ දේ නොකඩවා කරන්න” කියලා යේසුස් දුන්න උපදෙසට කීකරු වෙන නිසයි. (1 කොරින්ති 11:23-26 කියවන්න.) ඒ රැස්වීමෙන් අනාගතේ ගැන අපිට තියෙන බලාපොරොත්තුව තව ශක්තිමත් වෙනවා වගේම යෙහෝවා දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියලා මතක් කරලා දෙනවා. ඒත් දෙවියන් දන්නවා අවුරුද්දකට වතාවක් ඒ විදිහට අපිව ශක්තිමත් කරලා මදි කියලා. ඒ නිසයි ඔහු සතිපතා රැස්වීම් සූදානම් කරලා ඒවාට සහභාගි වෙන්න කියලා අපිට කියන්නේ. අපි නිහතමානියි නම් ඒකට කීකරු වෙනවා. හැම සතියකම රැස්වීම්වලට සූදානම් වෙන්න, ඒවාට සහභාගි වෙන්න අපි වැය කරන කාලය ගැන අපිට සතුටුයි.

5. යෙහෝවා දෙවියන් ආරාධනා කරද්දී නිහතමානී අය ඒක පිළිගන්නේ ඇයි?

5 ඇවිත් තමන්ගෙන් ඉගෙනගන්න කියලා හැම අවුරුද්දකම යෙහෝවා දෙවියන් කරන ආරාධනය නිහතමානී හුඟදෙනෙක් පිළිගන්නවා. (යෙසා. 50:4) එයාලා මුලින්ම සිහි කිරීමට සහභාගි වෙලා ඊටපස්සේ සතිපතා පවත්වන රැස්වීම්වලට එන්න පටන්ගන්නවා. (සෙක. 8:20-23) ‘අපිට උපකාර කරන, අපිට ගැලවීම සලසා දෙන’ යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න ලැබුණ එක එයාලා වගේම අපිත් සලකන්නේ වටිනා අවස්ථාවක් විදිහටයි. (ගීතා. 40:17) යෙහෝවා දෙවියනුත් ඔහුගේ පුතාත් එයාලගෙන් ඉගෙනගන්න එන්න කියලා කරන ආරාධනාව පිළිගන්න එක තරම් වටිනා දෙයක් තවත් තියෙනවාද?—මතෙ. 17:5; 18:20; 28:20.

6. සිහි කිරීමට සහභාගි වෙන්න නිහතමානිකම කෙනෙක්ට උදව් වුණේ කොහොමද?

6 යේසුස්ගේ මරණය සිහි කිරීමට එන්න කියලා පුළුවන් තරම් දෙනෙක්ට ආරාධනා කරන්න හැම අවුරුද්දකම අපි උපරිම වෑයමක් ගන්නවා. ඒ ආරාධනාව පිළිගත්ත හුඟදෙනෙක් ප්‍රයෝජන ලබලා තියෙනවා. මේ අද්දැකීම බලන්න. අවුරුදු කීපයකට කලින් සහෝදරයෙක් සිහි කිරීමට කෙනෙක්ට ආරාධනා කළා. ඒත් ඒ කෙනා සහෝදරයාට කිව්වා එයාට එන්න වෙන්නේ නැහැ කියලා. ඒත් සිහි කිරීමේ දවසේදී එයා රැස්වීමට ආවා. සහෝදර සහෝදරියන් එයාත් එක්ක සුහදව කතාබහ කරපු විදිහ එයාගේ හිතට කොච්චර කාවැදුණාද කියනවා නම් එයා දිගටම රැස්වීම් එන්න පටන්ගත්තා. ඒ අවුරුද්දේ එයාට රැස්වීම්වලට එන්න බැරි වුණේ තුන් පාරක් විතරයි. දිගටම රැස්වීම්වලට එන්න එයාට උදව් වුණේ මොකක්ද? රැස්වීමට එන්නේ නැහැ කියලා එයා මුලින් ගත්ත තීරණය වෙනස් කරගන්න තරම් එයා නිහතමානී වුණ එක. දෙවියන්ට නමස්කාර කරන්න එයාගේ හිතේ ආසාවක් ඇති කළේ යෙහෝවා දෙවියන් කියලා අපිට සැකයක් නැහැ. දැන් එයා අපේ සහෝදරයෙක්.—2 සාමු. 22:28; යොහ. 6:44.

7. රැස්වීම්වලදී අපි ඉගෙනගන්න දේවල් සහ බයිබලෙන් අපි කියවන දේවල් නිහතමානී වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

7 අපි රැස්වීම්වලින් ඉගෙනගන්න දේවල් සහ බයිබලෙන් කියවන දේවල් නිහතමානී අය වෙන්න අපිට උදව් කරනවා. සිහි කිරීමට කලින් සතිවල පවත්වන රැස්වීම්වලදී යේසුස්ගේ ආදර්ශය ගැනත් ඔහුගේ ජීවිතේ පූජා කරලා ඔහු පෙන්නපු නිහතමානිකම ගැනත් වැඩිපුර කතා කරනවා. සිහි කිරීමට කලින් දවස්වලදී යේසුස්ගේ මරණය සහ ඔහුගේ නැවත නැඟිටීම ගැන බයිබලේ සඳහන් වාර්තා කියවන්න කියලා අපිට උනන්දු කරනවා. අපි ඉගෙනගන්න, කියවන ඒ දේවල් නිසා යේසුස් අපි වෙනුවෙන් කරපු පරිත්‍යාගය ගැන අපිට තියෙන අගය තව වැඩි වෙනවා. ඒ අගය අපිව පොලඹවනවා මොන අමාරුකම් මැද වුණත් යේසුස් වගේ නිහතමානීව දෙවියන්ගේ කැමැත්ත කරන්න.—ලූක් 22:41, 42.

ධෛර්යය

8. යේසුස් ධෛර්යවත්ව වැඩ කළේ කොහොමද?

8 යේසුස් පෙන්නපු ධෛර්යය ආදර්ශයට ගන්නත් අපිට පුළුවන්. මරණයට කලින් දවස්වලදී ඔහු පෙන්නපු ධෛර්යය ගැන හිතන්න. සතුරන් ඔහුට නින්දා කරලා, පහර දීලා, ඔහුව මරලා දානවා කියලා යේසුස් දැනන් හිටියා. (මතෙ. 20:17-19) ඒත් ඔහු බය නැතුව ඒකට මුහුණ දුන්නා. සතුරන් ඇවිත් කියලා දැනගත්තාම ගෙත්සෙමන උයනේ ඔහු එක්ක හිටපු නියෝජිතයන්ට ඔහු කිව්වා “නැඟිටින්න, අපි යමු. මෙන්න! මාව පාවා දෙන තැනැත්තා ළඟටම ඇවිත්” කියලා. (මතෙ. 26:36, 46) මැර පිරිස ආයුධ අරන් ඔහුව අල්ලගන්න ආවාම ඔහු බය නැතුව ඉදිරියට ගිහින් එයාලා හොයන්නේ තමන්ව කියලත් නියෝජිතයන්ට යන්න දෙන්න කියලත් සොල්දාදුවන්ට කිව්වා. (යොහ. 18:3-8) අද ඉන්න අභිෂේක ලත් අයත් වෙනත් බැටළුවනුත් යේසුස් වගේ ධෛර්යවන්තව වැඩ කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ කොහොමද?

රැස්වීම්වලට සහභාගි වෙන්න ඔයා පෙන්නන ධෛර්යය අනිත් අයට ශක්තියක් (9 ඡේදය බලන්න) *

9. (අ) නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන්න අපිට ධෛර්යය ඕනෙ ඇයි? (ආ) සිරගත කරලා ඉන්න සහෝදරයන්ට අපේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද?

9 දුෂ්කරතා අද්දකිද්දී වුණත් අත් නෑර රැස්වීම්වලට සහභාගි වෙන්න අපිට ධෛර්යය ඕනේ. සමහර සහෝදර සහෝදරියන් හිතේ ලොකු දුකක් දරාගෙන, අධෛර්යය වීම්, අසනීප මැද අත්හරින්නේ නැතුව රැස්වීම්වලට සහභාගි වෙනවා. තවත් සමහරු පවුලේ අයගේ එහෙම නැත්නම් උසස් බලධාරීන්ගේ දරුණු විරුද්ධවාදිකම් මැද රැස්වීම්වලට එනවා. දෙවියන්ට ළැදිව ඉන්න නිසා සිරගත කරලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට අපි පෙන්නන ධෛර්යය උදව් වෙන විදිහ ගැන ටිකක් හිතන්න. (හෙබ්‍රෙ. 13:3) මොන පීඩා ආවත් අපි දිගටම විශ්වාසවන්තව දෙවියන්ට සේවය කරනවා කියලා දැනගද්දී ඒක එයාලට ලොකු හයියක්. දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒකෙන් එයාලා තවත් දිරිගැන්වෙයි. රෝමයේ සිරගත කරලා ඉද්දී පාවුල් ඒක අද්දැක්කා. සහෝදර සහෝදරියන් දිගටම විශ්වාසවන්තව දෙවියන්ට සේවය කරනවා කියලා දැනගත්තාම එයා ඒකෙන් හුඟක් දිරිගැන්වුණා. (ෆිලි. 1:3-5, 12-14) එයාව නිදහස් කරන්න ටික කාලෙකට කලින් නැත්නම් නිදහස් කරලා ටික දවසකට පස්සේ පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ එයාලට උනන්දු කළා “දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න” කියලා. (හෙබ්‍රෙ. 13:1) ඒ වගේම එකට රැස් වෙන්න තියෙන අවස්ථා අතපසු කරන්න එපා කියලත් එයා කිව්වා.—හෙබ්‍රෙ. 10:24, 25.

10-11. (අ) සිහි කිරීමට අපි ආරාධනා කරන්න ඕනෙ කාටද? (ආ) එෆීස 1:7 පෙන්නන විදිහට අපි එහෙම කරන්නේ ඇයි?

10 සිහි කිරීමට සහභාගි වෙන්න කියලා නෑදෑයන්ට, රැකියා ස්ථානයේ අයට, අසල්වාසීන්ට ආරාධනා කරන්නත් අපිට ධෛර්යය ඕනේ. එයාලට අපි ආරාධනා කරන්නේ ඇයි? යෙහෝවා දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කරපු දේ ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නම් අපි එයාලට ආරාධනා නොකර ඉන්නේ නැහැ. යේසුස්ගේ ජීවිත පූජාව දීලා දෙවියන් පෙන්නපු “මහත් කරුණාවෙන්” ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද කියලා එයාලත් ඉගෙනගන්නවා දකින්න අපි ආසයි.—එෆීස 1:7 කියවන්න; එළි. 22:17.

11 අපි ධෛර්යවන්තව රැස්වීම්වලට සහභාගි වෙද්දී අපිට තියෙන තවත් ගුණාංගයක් පැහැදිලි වෙනවා. ඒක යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ කැපීපේන ගුණාංගයක්.

ආදරේ

12. (අ) රැස්වීම්වලට සහභාගි වෙද්දී යෙහෝවා දෙවියන් සහ යේසුස් ගැන අපිට තියෙන ආදරේ වැඩි වෙන්නේ කොහොමද? (ආ) 2 කොරින්ති 5:14, 15 අපිට උනන්දු කරන්නේ යේසුස් වගේ මොකක් කරන්න කියලාද?

12 යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් අපේ හිතේ තියෙන ආදරේ අපිව පොලඹවනවා අත් නෑර රැස්වීම්වලට යන්න. රැස්වීම්වලින් ඉගෙනගන්න දේවල් නිසා ඒ ආදරේ තවත් වැඩි වෙනවා. මොකද ඒ දෙන්නා අපි වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙනවාද කියලා රැස්වීම්වලදී අපිට නිතරම මතක් කරනවා. (රෝම 5:8) විශේෂයෙන්ම යේසුස්ගේ මරණය සිහි කිරීමේදී දෙවියනුත් යේසුත් පෙන්නලා තියෙන ආදරේ ගැන අපිට මතක් කරනවා. යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම තාමත් තේරුම් අරන් නැති අයටත් ඒ දෙන්නා ආදරේ පෙන්නනවා. ඒ ආදරේ ගැන අපිට තියෙන අගය නිසා අපි උත්සාහ කරන්නේ හැම දවසකම යේසුස්ව ආදර්ශයට ගන්නයි. (2 කොරින්ති 5:14, 15 කියවන්න.) ඊට අමතරව දෙවියන්ට ප්‍රශංසා කරන්නත් අපි පෙලඹෙනවා. ඒක කරන්න පුළුවන් එක විදිහක් රැස්වීම්වලදී අදහස් දක්වලා.

13. යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ට අපි කොයි තරම් ආදරෙයිද කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? පැහැදිලි කරන්න.

13 යෙහෝවා දෙවියන් සහ යේසුස් වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් කරන්න කැමති වෙන එකෙනුත් ඒ දෙන්නා ගැන අපිට කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා පෙන්නන්න පුළුවන්. අපේ රැස්වීම්වලට සහභාගි වෙන්න අපිට විවිධ කැප කිරීම් කරන්න වෙනවා. හුඟක් සභාවල සති මැද රැස්වීම තියෙන්නේ රැකියාව ඉවර වෙලා අපි මහන්සියෙන් ඉන්න වෙලාවක. අනිත් රැස්වීම තියෙන්නේ හුඟදෙනෙක් විවේකයෙන් ඉන්න සති අන්තයේ. අපි මහන්සියෙන් හිටියත් රැස්වීම්වලට එන්න අපි දරන වෑයම යෙහෝවා දෙවියන් දකිනවාද? ඔව්. දෙවියන් වෙනුවෙන් අපි කරන කැප කිරීම් ඔහු දකිනවා විතරක් නෙමෙයි ඔහු ඒවා හුඟක් අගය කරනවා.—මාක් 12:41-44.

14. තමන් ගැන හිතන්නේ නැතුව ආදරේ පෙන්නන එක සම්බන්ධයෙන් යේසුස් හොඳම ආදර්ශය තැබුවේ කොහොමද?

14 තමන් ගැන හිතන්නේ නැතුව අනිත් අයට ආදරේ කරන්නේ කොහොමද කියලා යේසුස් හොඳින්ම පෙන්නුවා. අනුගාමිකයන් වෙනුවෙන් ඔහු ජීවිතේ දුන්නා විතරක් නෙමෙයි එයාලත් එක්ක හිටපු කාලේ පුරාම ඔහු වැඩියෙන්ම සැලකිලිමත් වුණේ එයාලගේ අවශ්‍යතා ගැන. උදාහරණෙකට මහන්සියෙන් ඉද්දී, ලොකු පීඩනයකින් ඉද්දී වුණත් එයාලා වෙනුවෙන් ඔහු කාලේ දුන්නා. (ලූක් 22:39-46) අනිත් අයගෙන් දේවල් ලබාගන්නවා වෙනුවට එයාලා වෙනුවෙන් ඔහුට දෙන්න පුළුවන් දේටයි ඔහු වැඩි අවධානයක් දුන්නේ. (මතෙ. 20:28) ඒ වගේ ආදරයක් අපිට යෙහෝවා දෙවියන් ගැනත් අපේ සහෝදරයන් ගැනත් තියෙනවා නම් යේසුස්ගේ මරණය සිහි කිරීමට වගේම අනිත් හැම රැස්වීමකටම සහභාගි වෙන්න අපි අපේ උපරිමය කරනවා.

15. අපි විශේෂයෙන්ම උදව් කරන්න ඕනෙ කාටද?

15 සැබෑ ක්‍රිස්තියානීන් වන අපි එකම පවුලක සාමාජිකයන් වගේ. අපේ පවුලේ සාමාජිකයන් වෙන්න කියලා අපි අනිත් අයටත් ආරාධනා කරන්නේ හරිම සතුටෙන්. ඒත් අපි විශේෂයෙන් උනන්දු වෙන්න ඕනෙ “අප හා සමාන විශ්වාසයක් ඇති” දැන් අක්‍රියාශීලීව ඉන්න අයට උදව් කරන්න. (ගලා. 6:10) රැස්වීම්වලට විශේෂයෙන්ම සිහි කිරීමට සහභාගි වෙන්න කියලා එයාලව දිරිගන්වලා එයාලා ගැන අපිට තියෙන ආදරේ පෙන්නමු. අපේ ආදරණීය එඬේරා වන යෙහෝවා දෙවියන් ළඟට එයාලා ආයෙත් එද්දී දෙවියන්ට සහ යේසුස්ට වගේම අපිට දැනෙන්නෙත් ලොකු සතුටක්.—මතෙ. 18:14.

16. (අ) එකිනෙකාව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද? අපේ රැස්වීම් අපිට උදව් වෙන්නේ කොහොමද? (ආ) යොහන් 3:16 සඳහන් යේසුස්ගේ වචන මතකයේ තියාගන්න මේක හොඳ කාලයක් කියන්නේ ඇයි?

16 2019 අප්‍රියෙල් 19වෙනි සිකුරාදා පැවැත්වෙන යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න කියලා ඉදිරි සතිවලදී පුළුවන් තරම් දෙනෙක්ට අපි ආරාධනා කරමු. (“ ඔයා ආරාධනා කරනවාද?” කියන කොටුව බලන්න.) ඒ වගේම යෙහෝවා දෙවියන් අපිට සපයන රැස්වීම්වලට නිතිපතා සහභාගි වෙලා එකිනෙකාව දිරිගන්වමු. මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න නිහතමානිකම, ධෛර්යය, ආදරේ වගේ ගුණාංග තව වැඩි කරගන්න රැස්වීම් අපිට ඕනෙමයි. (1 තෙස. 5:8-11) අපිට මේ තරම් ආදරයක් පෙන්නලා තියෙන යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ පුතාටත් අපේ හිතේ තියෙන අගය පෙන්නමු.—යොහන් 3:16 කියවන්න.

ගීතිකාව 126 අවදිව, ස්ථිරව සිටිමු

^ 5 ඡේ. 2019 අප්‍රියෙල් 19වෙනි සිකුරාදා පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීම තමයි මේ අවුරුද්දේ අපිට තියෙන වැදගත්ම රැස්වීම. ඒ රැස්වීමට අපි සහභාගි වෙන්නේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න අපිට තියෙන ආසාව නිසයි. සිහි කිරීමට වගේම සතිපතා පවත්වන අපේ රැස්වීම්වලට සහභාගි වෙන්න අපිව පොලඹවන්නේ මොන ගුණාංගද කියලා අපි මේ ලිපියෙන් බලමු.

^ 52 ඡේ. පින්තූරවල අදහස: දෙවියන්ට ළැදිව ඉන්න නිසා සිරගත කරලා ඉන්න සහෝදරයෙක් ගෙදරින් ආපු ලියුමක් කියවලා දිරිගැන්වෙනවා. එයාව අමතක වෙලා නැහැ කියලත් දේශපාලන ගැටුම් මැද වුණත් එයාගේ පවුලේ අය දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා කියලත් දැනගන්න ලැබුණ එක ගැන එයා සතුටු වෙනවා.