Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 3

සිත ආරක්ෂා කරගමු

සිත ආරක්ෂා කරගමු

“සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න.”—හිතෝ. 4:23.

ගීතිකාව 36 අපේ සිත ආරක්ෂා කරගමු

මේ ලිපියෙන් *

1-3. (අ) යෙහෝවා දෙවියන් සලමොන්ට ආදරේ කළේ ඇයි? සලමොන්ට ලැබුණ ආශීර්වාද මොනවාද? (ආ) මේ ලිපියෙන් අපි බලන ප්‍රශ්න මොනවාද?

සලමොන්ට රජකම ලැබෙද්දී එයා හුඟක් තරුණයි. එයා පාලනය කරපු මුල් කාලේ යෙහෝවා දෙවියන් සිහිනෙකින් එයාට පෙනිලා කිව්වා “ඔබට අවශ්‍ය දෙයක් ඇත්නම් එය මගෙන් ඉල්ලන්න” කියලා. එතකොට සලමොන් මෙහෙම කිව්වා. ‘මට මේ වගකීම් දරන්න අද්දැකීම් නැහැ. මම තරුණයෙක්. ඒ නිසා ඔබේ සෙනඟව විනිශ්චය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔබ ලබා දෙන විට ඒවා පිළිගැනීමට ඔබේ සේවකයාට කීකරු හදවතක් ලබා දෙන්න.’ (1 රාජා. 3:5-10) සලමොන් ඉල්ලුවේ “කීකරු හදවතක්” දෙන්න කියලයි. ඒක ඇත්තටම යටහත්පහත් ඉල්ලීමක්. යෙහෝවා දෙවියන් එයාට ආදරේ කරපු එක පුදුමයක්ද! (2 සාමු. 12:24) තරුණ සලමොන්ගේ ඉල්ලීම ගැන දෙවියන් සතුටු වෙලා එයාට “ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද” දුන්නා.—1 රාජා. 3:12.

2 සලමොන් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටපු තාක් කල් එයාට ඔහුගෙන් හුඟක් ආශීර්වාද ලැබුණා. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනෙන” දේවමාලිගාවක් හදන්නත් එයාට පුළුවන් වුණා. (1 රාජා. 8:20) එයාට තිබුණ ප්‍රඥාව ගැන ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණා. දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් එයා කියපු දේවල් බයිබලේ පොත් තුනක සඳහන් වෙලා තියෙනවා. හිතෝපදේශ පොත ඒවාවලින් එකක්.

3 හිතෝපදේශ පොතේ සිත ගැන 70 වතාවක් විතර කතා කරලා තියෙනවා. උදාහරණෙකට හිතෝපදේශ 4:23 මෙහෙම කියනවා. “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න.” එතන “සිත” කියද්දී අදහස් කළේ මොකක්ද? ඒකට උත්තරේ අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම සාතන් අපේ සිත දූෂ්‍ය කරන්න හදන්නේ කොහොමද කියලත් අපේ සිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලන්න යනවා. දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න එක වැදගත්.

“සිත” කියද්දී අදහස් කරන්නේ මොකක්ද?

4-5. (අ) “සිත” කියද්දී අදහස් කරන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ගීතාවලිය 7:9 උදව් වෙන්නේ කොහොමද? (ආ) අපේ හදවත ගැන සැලකිලිමත් වෙන එක වැදගත් කියලා අපිට තේරෙන්නේ කොහොමද?

4 හිතෝපදේශ 4:23 “සිත” කියද්දී අදහස් වෙන්නේ අපි ඇතුළාන්තයෙන් මොන වගේ අයද කියන දේ. (ගීතාවලිය 7:9 කියවන්න.) වෙන විදිහකින් කියනවා නම් කෙනෙක්ගේ සිතුවිලි, හැඟීම්, චේතනා, ආශාවන් සිතෙන් නියෝජනය වෙනවා. ඒ කියන්නේ පිටින් පේන පුද්ගලයාට වඩා වැඩි දෙයක්.

5 හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වගන්න ගුණදායක ආහාර ගන්න එක, නිතිපතා ව්‍යායාම් කරන එක වැදගත්. අපේ සිත නිරෝගීව තියාගන්නත් අපි ඒ දේවල්ම කරන්න ඕනේ. දෙවියන් ලබා දෙන පෝෂණය නිතිපතා ගන්න ඕනෙ වගේම ඔහු ගැන අපිට තියෙන විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න ඕනේ. විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නනවා කියන්නේ අපි ඉගෙනගන්න දේවල් අදාළ කරගෙන අපේ විශ්වාසයන් ගැන අනිත් අය එක්ක කතා කරන්න ඕනෙ කියන එකයි. ඒක හරියට ව්‍යායාම් කරනවා වගේ. (රෝම 10:8-10; යාකො. 2:26) සමහර වෙලාවට පිටත පෙනුම දිහා බලලා අපිට හිතෙයි අපි නිරෝගියි කියලා. ඒත් ඇඟ ඇතුළේ අපි නොදන්න ලෙඩක් තියෙනවා වෙන්න පුළුවන්. අපේ සිතේ තත්වයත් ඒ වගේ වෙන්න බැරිද? නමස්කාරයට සම්බන්ධ දේවල් අපි හොඳට කරගෙන යන නිසා අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා හිතෙයි. ඒත් දන්නෙම නැතුව වැරදි ආශාවන් අපේ සිතේ දලු ලා වැඩෙමින් තියෙනවා ඇති. (1 කොරි. 10:12; යාකො. 1:14, 15) සාතන්ට ඕනෙ අපේ සිත දූෂ්‍ය කරලා ඔහු හිතන විදිහට හිතන්න අපිව පොලඹවන්නයි. ඔහු ඒක කරන්න හදන්නේ කොහොමද? ඒ උගුල්වලින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන් කොහොමද?

සාතන් අපේ සිත දූෂ්‍ය කරන්න හදන්නේ කොහොමද?

6. සාතන්ගේ අරමුණ මොකක්ද? එයා ඒ අරමුණ ඉටු කරගන්න හදන්නේ කොහොමද?

6 සාතන්ට ඕනෙ අපිත් එයා වගේ දෙවියන්ගේ ප්‍රමිති පැත්තකට දාලා ආත්මාර්ථකාමී චේතනාවෙන් වැඩ කරනවා දකින්නයි. ඒත් ඒක බලෙන් අපි ලවා කරවගන්න සාතන්ට බැහැ. ඒ නිසා එයා වෙනත් ක්‍රම පාවිච්චි කරලා එයාගේ අරමුණ ඉටු කරගන්න හදනවා. උදාහරණෙකට දැනටමත් එයාගේ අදහස්වලට අහු වෙලා ඉන්න අයව ඒක කරන්න එයා පාවිච්චි කරනවා. (1 යොහ. 5:19) නරක ආශ්‍රය නිසා අපේ හොඳ පුරුදු නැති වෙලා යනවා කියලා අපි දැනන් හිටියත් සාතන් ආසාවෙන් බලාගෙන ඉන්නවා අපි ඒ වගේ අයව ආශ්‍රය කරන්න තෝරගනියි කියලා. (1 කොරි. 15:33) සලමොන් රජුව දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් පාවිච්චි කළෙත් ඒ ක්‍රමයමයි. සලමොන් වෙනත් ජාතීන්වල කාන්තාවන් හුඟදෙනෙක්ව විවාහ කරගත්ත නිසා එයාලා “ක්‍රමක්‍රමයෙන් සලමොන්ගේ සිත දෙවි වෙතින් වෙනතකට හරවාගත්තා.”—1 රාජා. 11:3.

සාතන් එයාගේ අදහස් ඔයාගේ සිතට දාන්න හදද්දී ඒවායින් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (7 ඡේදය බලන්න) *

7. තමන්ගේ අදහස් පතුරුවන්න සාතන් යොදාගන්න තවත් ක්‍රමයක් මොකක්ද? ඒකෙන් අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

7 චිත්‍රපටි, ටෙලි නාට්‍යය යොදාගෙනත් සාතන් එයාගේ අදහස් පතුරුවනවා. කතන්දරවලින් නිකම්ම විනෝදයක් ලබනවාට වඩා දෙයක් වෙනවා කියලා එයා දන්නවා. අපි හිතන්න ඕනෙ, අපිට හැඟෙන්න ඕනෙ සහ අපි ක්‍රියා කරන්න ඕනෙ කොහොමද කියලා ඒවාවලින් අපිට උගන්වනවා. ඒ ඉගැන්වීම් ක්‍රමය යේසුස් යොදාගත්තා. යහපත් සමරිතානුවරයාගේ සහ අකීකරු පුත්‍රයාගේ කතාවලින් ඔහු වැදගත් පාඩම් ඉගැන්නුවා. (මතෙ. 13:34; ලූක් 10:29-37; 15:11-32) ඒත් සාතන්ගේ අදහස්වලට අහු වුණ අයට පුළුවන් කතන්දර යොදාගෙන අපේ සිත දූෂ්‍ය කරන්න. හැම චිත්‍රපටියකින්ම, ටෙලි නාට්‍යයකින්ම කරන්නේ සාතන්ගේ සිතුවිලි අපේ සිතට දාන එක කියලා කියන්න බැහැ. සමහර ඒවාවලින් විනෝදයක්, දැනුමක් ලබන්න අපිට පුළුවන්. ඒත් අපි පරෙස්සම් වෙන්න ඕනේ. විනෝදයට දේවල් තෝරගද්දී අපි මෙහෙම අහගමු. ‘මේකෙන් පෙන්නන්න හදන්නේ වැරදි ආශාවන් ඉටු කරගත්තාට කමක් නැහැ කියලාද?’ (ගලා. 5:19-21; එෆී. 2:1-3) ඔයාට තේරුණොත් ඔයා බලන ටෙලි නාට්‍යයෙන් පෙන්නන්නේ සාතන්ගේ අදහස් වැරදි නැහැ කියලා නම් ඔයා මොකක්ද කරන්න ඕනේ? ඉක්මනින්ම ඒක බලන එක නවත්තන්න.

8. සිත ආරක්ෂා කරගන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

8 දෙමාපියෙනි, සාතන්ගේ අදහස්වලින් ඔයාලගේ දරුවන්ගේ සිත් ආරක්ෂා කරගන්න වගකීම ඔයාලට තියෙනවා. දරුවන්ව අසනීපවලින් ආරක්ෂා කරගන්න ඔයාලා කොයි තරම් නම් දේවල් කරනවාද! ගෙදරදොර පිරිසිදුව තියාගන්වා. දරුවන්ව අසනීප වෙන්න හේතු වෙන ඕනෙම දෙයක් ඉක්මනින්ම වීසි කරලා දානවා. දරුවන්ගේ සිත් ආරක්ෂා කරගන්නත් ඒ වගේම පියවර ගන්න. සාතන්ගේ අදහස්වලින් දරුවන්ගේ සිත් පුරවන චිත්‍රපටි, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ගේම්ස්, වෙබ් අඩවි ගැන සැලකිලිමත් වෙන්න. යෙහෝවා දෙවියන්ගේ යාළුවන් වෙන්න දරුවන්ට උදව් කරන එක ඔයාලගේ වගකීමක්. (හිතෝ. 1:8; එෆී. 6:1, 4) ඒ නිසා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ නීති දරුවන්ට දාන්න බය වෙන්න එපා. එයාලට බලන්න අවසර තියෙන්නේ මොනවාද නැත්තේ මොනවාද කියලත් ඒ නීති දාන්න හේතුවත් එයාලට කියලා දෙන්න. (මතෙ. 5:37) දරුවන් ටික ටික තරුණ වයසට එද්දී යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති අදාළ කරගෙන විනෝදයට සුදුසු, නුසුදුසු මොනවාද කියන තීරණ ගන්න එයාලව පුහුණු කරන්න. (හෙබ්‍රෙ. 5:14) ඔයා කියලා දෙන දේවලින් දරුවන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා. හැබැයි ඊට වඩා වැඩියෙන් ඔයා කරන දේවල් දිහා බලලා එයාලා ඉගෙනගන්නවා.—ද්වි. 6:6, 7; රෝම 2:21.

9. සාතන් පතුරුවන අදහස්වලින් එකක් මොකක්ද? ඒක භයානක ඇයි?

9 සාතන් අපේ සිත් දූෂ්‍ය කරන්න හදන තව විදිහක් තමයි යෙහෝවා දෙවියන් හිතන විදිහට වඩා මිනිසුන් හිතන විදිහ හරියි කියලා හිතන්න අපිව පොලඹවන එක. (කොලො. 2:8) ජීවිතේ වැදගත්ම ඉලක්කය වෙන්න ඕනෙ පොහොසත් වෙන එකයි කියන අදහස සාතන් මිනිසුන් අතරේ ජනප්‍රිය කරලා තියෙනවා. එහෙම හිතන අය සමහරවිට පොහොසත් වෙයි. බැරි වෙන අයත් ඉන්නවා. ඒ දෙකෙන් කොයි දේ වුණත් එයාලා ඉන්නේ අනතුරක. මොකද එයාලා ජීවිතේ මුල් තැන දෙන්නේ මුදල් පස්සේ යන එකට. ඒ වෙනුවෙන් ශරීර සෞඛ්‍යය, පවුල් බැඳීම් විතරක් නෙමෙයි දෙවියන් එක්ක තියෙන බැඳීමත් එයාලා කැප කරනවා. (1 තිමෝ. 6:10) සල්ලිවලට ජීවිතේ දෙන්න ඕනෙ තැන තේරුම්ගන්න දෙවියන් අපිට උදව් කරලා තියෙන එක කොච්චර වටිනවාද!—දේශ. 7:12; ලූක් 12:15.

සිත ආරක්ෂා කරගන්නේ කොහොමද?

අතීතයේ හිටපු මුරකරුවන් සහ දොරටු පාලකයන් වගේ විමසිල්ලෙන් ඉඳලා සිත දූෂ්‍ය කරන දේවලට ඇතුල් වෙන්න ඉඩ නොදී ඉක්මනින් පියවර ගන්න (10 සහ 11 ඡේද බලන්න) *

10-11. (අ) අපිව ආරක්ෂා කරගන්න අපි කරන්න ඕනෙ මොකක්ද? (ආ) අතීතයේදී මුරකරුවන් කළේ මොකක්ද? අපේ හෘදය සාක්ෂිය මුරකරුවෙක් වගේ කියන්නේ ඇයි?

10 අපේ සිත ආරක්ෂා කරගන්න නම් ඒකට අනතුරක් වෙන දේවල් හඳුනගෙන ඒවාවලින් ආරක්ෂා වෙන්න ඉක්මනින් පියවර ගන්න ඕනේ. හිතෝපදේශ 4:23 “ආරක්ෂා කරගන්න” හැටියට පරිවර්තනය කරලා තියෙන වචනය කියද්දී මතක් වෙන්නේ මුරකාරයෙක්ව. සලමොන් රජුගේ කාලේදී මුරකරුවන් හිටියේ නුවරක පවුරු උඩ. ඈත තියාම අනතුරක් දැක්කාම එයාලා ඉක්මනින්ම ශබ්දයක් නඟලා අනතුරු ඇඟෙව්වා. සාතන් අපේ සිත දූෂ්‍ය කරන්න හද්දී අපි කරන්න ඕනෙත් ඒ වගේම දෙයක්.

11 අතීතයේදී මුරකරුවන් සහ දොරටු පාලකයන් සහයෝගයෙන් වැඩ කළා. (2 සාමු. 18:24-26) ඒ දෙගොල්ලෝ එකට වැඩ කරපු නිසා සතුරන් ඈත තියාම එනවා දැක්කාම නගරේ දොරටු වහලා ඒක ආරක්ෂා කරගන්න එයාලට පුළුවන් වුණා. (නෙහෙ. 7:1-3) බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරපු හෘදය සාක්ෂියකට * පුළුවන් සාතන් අපේ හිතට රිංගන්න හදද්දී හරියට මුරකරුවෙක් වගේ ඒ ගැන අපිට අනතුරු අඟවන්න. ඒ කියන්නේ සාතන් අපේ සිතුවිලි, හැඟීම්, චේතනාවන් සහ ආශාවන්වලට බලපෑම් කරන්න හදද්දී අපේ හෘදය සාක්ෂිය ඒ ගැන අනතුරු අඟවනවා. අපි ඉක්මනින්ම ඒකට සවන් දීලා හරියට නගරේ දොරටු වහනවා වගේ ඒ අනතුරෙන් වළකින්න පියවර ගන්න ඕනේ.

12-13. අපිට පෙලඹීමක් එන්න පුළුවන් මොනවා කරන්නද? ඒත් අපි කරන්න ඕනෙ මොකක්ද?

12 සාතන් ගේන පෙලඹීම්වලින් සිත ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද කියලා අපි උදාහරණෙකින් තේරුම්ගමු. ‘වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි’ කියලා දෙවියන් අපිට උගන්වලා තියෙනවා. (එෆී. 5:3) රැකියා ස්ථානයේ අය හෝ ඉස්කෝලේ ළමයි කාමුක දේවල් ගැන කතා කරන්න පටන්ගත්තොත් අපි මොකද කරන්නේ? ‘දෙවියන්ට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා හා පව්කාර ආශාවන් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ’ කියලා අපි දන්න නිසා අපේ හෘදය සාක්ෂිය මුරකරුවෙක් වගේ ඒ ගැන අපිට අනතුරු අඟවයි. (තීත. 2:12; රෝම 2:15) ඒත් අපි ඒ අනතුරු ඇඟවීමට සවන් දෙනවාද? සමහරවිට එයාලා කියන දේවල් අහගෙන ඉන්න, එයාලා හුවමාරු කරගන්න පින්තූර බලන්න අපිටත් ආසාවක් ඇති වෙයි. ඒත් නගරේ දොරටු වහන්න වෙලාව ඇවිත්. ඒ කියන්නේ සාකච්ඡා කරන විෂය මාරු කරන්න නැත්නම් එතනින් අයින් වෙලා යන්න පියවර ගන්න වෙලාව ඇවිත්.

13 වැරදි දේවල් ගැන හිතන්න එහෙම නැත්නම් ඒවා කරන්න කියලා අපේ යාළුවන්ගෙන් එන පීඩනයට අහු නොවී ඉන්න අපිට ලොකු ධෛර්යයක් ඕනේ. ඒ වෙනුවෙන් අපි දරන වෙහෙස දෙවියන් දකිනවා. ඒ වගේම අපිට ඕනෙ කරන ශක්තිය, ප්‍රඥාව ඔහු දෙනවා. (2 ලේක. 16:9; යෙසා. 40:29; යාකො. 1:5) ඒත් සිත ආරක්ෂා කරගන්න අපිට තව මොනවාද කරන්න පුළුවන්?

සූදානමින් ඉන්න

14-15. (අ) අපේ සිතට ඇතුල් වෙන්න අපි ඉඩ දෙන්න ඕනෙ මොනවාටද? ඒක කරන්න අපිට පුළුවන් කොහොමද? (ආ) බයිබලේ කියවද්දී තව වැඩියෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් විදි තේරුම්ගන්න හිතෝපදේශ 4:20-22 උදව් වෙන්නේ කොහොමද? (“ කියවපු දේ ගැන හිතන්න” කියන කොටුව බලන්න.)

14 අපේ සිත ආරක්ෂා කරගන්න නම් වැරදි අදහස්වලට ඇතුල් වෙන්න ඉඩ නොදී තියාගන්නවා වගේම හොඳ දේවල් සිතට ඇතුල් කරගන්නත් ඕනේ. පවුරුවලින් වට වුණ නගරයක් ගැන ආයෙත් හිතන්න. සතුරන් එද්දී දොරටු පාලකයා දොරටු වහනවා. ඒත් නුවරේ අයට අවශ්‍ය කෑම බීම සහ වෙනත් අත්‍යවශ්‍ය දේවල් ගේද්දී එයා දොරටු අරිනවා. දොරටු කවදාවත් ඇරියේ නැත්නම් නගරේ අයට වෙන්නේ හාමතේ ඉන්නයි. ඒ වගේ අපිත් දෙවියන් හිතන විදිහට හිතන්න උදව් වෙන තොරතුරු නිතරම අපේ සිතට ඇතුල් කරගන්න ඕනේ.

15 බයිබලේ තියෙන්නේ ඒ වගේ තොරතුරු. බයිබලේ කියවන හැම වෙලාවකම අපි කරන්නේ අපි හිතන විදිහ, අපිට හැඟෙන විදිහ, අපි දේවල් කරන විදිහ සකස් කරන්න දෙවියන්ට ඉඩ දෙන එකයි. බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් කියවන්න කලින් යාච්ඤා කරන එක අත්‍යවශ්‍ය දෙයක්. එක සහෝදරියක් මෙහෙම කියනවා. “බයිබලේ කියවන්න කලින් මං දෙවියන්ට යාච්ඤා කරලා කියනවා ඔහුගේ වචනයේ තියෙන ලස්සන තොරතුරු තේරුම්ගන්න මට උදව් කරන්න කියලා.” (ගීතා. 119:18) කියවපු දේ ගැන හොඳට හිතන එකත් අත්‍යවශ්‍යයි. අපි යාච්ඤා කරලා, බයිබලේ කියවලා, කියවපු දේ ගැන හොඳට හිතනවා නම් දෙවියන්ගේ වචනය අපේ “සිතෙහි සුරැකිව තබාගන්නත්” දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙන්නත් අපිට පුළුවන්.—හිතෝපදේශ 4:20-22 කියවන්න; ගීතා. 119:97.

16. JW බ්‍රෝඩ්කාස්ටිං එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

16 දෙවියන් හිතන විදිහට හිතන්න අපිට උදව් කරන තව දෙයක් තමයි JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන තොරතුරු. යුවළක් මෙහෙම කියනවා. “මාසික වැඩසටහන් ඇත්තටම අපේ යාච්ඤාවලට පිළිතුරක්. දුකක්, තනිකමක් දැනුණ වෙලාවලදී ඒකේ තොරතුරුවලින් අපිට ලොකු ශක්තියක්, දිරිගැන්වීමක් ලැබුණා. ඒකේ තියෙන අපේ සින්දුවලටත් අපි හරි ආසයි. ගෙදරදොරේ වැඩ කරද්දී, තේ එකක් බොද්දී අපි ඒවා අහනවා.” බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන තොරතුරු නිසා සාතන් හිතන විදිහට හිතන්නේ නැතුව දෙවියන් හිතන විදිහට හිතන්න අපි පුරුදු වෙනවා. අපේ සිත ආරක්ෂා කරගන්න ඒක ලොකු උදව්වක්.

17-18. (අ) 1 රාජාවලිය 8:61 පෙන්නලා තියෙන විදිහට යෙහෝවා දෙවියන් උගන්වන දේවල් අදාළ කරගන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද? (ආ) හෙසකියා රජුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ඇ) ගීතාවලිය 139:23, 24ට අනුව අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

17 අපි හරි දේ කරලා හොඳ ප්‍රතිඵල ලබන හැම වෙලාවකම අපේ විශ්වාසය තව ශක්තිමත් වෙනවා. (යාකො. 1:2, 3) ‘මේ ඉන්නේ මගේ දරුවන්’ කියලා අපි ගැන සතුටින් කියන්න දෙවියන්ට පුළුවන් වුණ එක ගැන අපිට දැනෙන්නේ සතුටක්. ඔහුව සතුටු කරන්න අපිට තියෙන ආසාව ඒකෙන් තව වැඩි වෙනවා. (හිතෝ. 27:11) පීඩාවකට මුහුණ දෙද්දී අපි ඒක දකින්නේ අපි දෙවියන්ට සේවය කරන්නේ දෙගිඩියාවෙන් නෙමෙයි මුළු හදවතින්මයි කියලා පෙන්නන්න ලැබෙන අවස්ථාවක් හැටියට.—ගීතා. 119:113; 1 රාජාවලිය 8:61 කියවන්න.

18 අපිට පාපය උරුම වෙලා තියෙන නිසා හැම වෙලේම හරි දේ කරන්න අපිට බැරි වෙයි. එහෙම වෙලාවට හෙසකියාව මතක් කරගන්න. එයා අතිනුත් වැරදි වුණා. ඒත් එයා පසුතැවිලි වෙලා දිගටම “මුළු හදවතින්ම” දෙවියන්ට සේවය කළා. (යෙසා. 38:3-6; 2 ලේක. 29:1, 2; 32:25, 26) එහෙමනම් සාතන් එයාගේ අදහස් අපේ සිතට දාන්න හදද්දී අපි ඒවා ප්‍රතික්ෂේප කරමු. “කීකරු හදවතක්” ඇති කරගන්න උදව් කරන්න කියලා දිගටම දෙවියන්ට යාච්ඤා කරමු. (1 රාජා. 3:9; ගීතාවලිය 139:23, 24 කියවන්න.) අනිත් හැම දේටම වඩා අපේ සිත ආරක්ෂා කරගන්නවා නම් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්.

ගීතිකාව 54 “යා යුතු හරි මඟ”

^ 5 ඡේ. අපි දෙවියන්ට විශ්වාසවන්තව ඉඳියිද? නැත්නම් දෙවියන්ගෙන් අපිව ඈත් කරන්න අපි සාතන්ට ඉඩ දෙයිද? ඒක තීරණය වෙන්නේ අපි අද්දකින දුෂ්කරතා අනුව නෙමෙයි. අපි කොච්චර හොඳින් අපේ සිත ආරක්ෂා කරගන්නවාද කියන දේ මතයි. “සිත” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? අපේ සිත දූෂ්‍ය කරන්න සාතන් හදන්නේ කොහොමද? සිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලමු.

^ 11 ඡේ. පැහැදිලි කිරීමක්: අපේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් සෝදිසි කරලා ඒවා හරිද වැරදිද කියලා තීරණය කරන්න පුළුවන් හැකියාව දෙවියන් අපිට දීලා තියෙනවා. බයිබලේ ඒ හැකියාව හඳුන්වන්නේ හෘදය සාක්ෂිය කියලයි. (රෝම 2:15; 9:1) බයිබල් ප්‍රතිපත්ති මත පුහුණු කරපු හෘදය සාක්ෂියක් කියන්නේ අපි හිතන, කියන, කරන දේවල් බයිබලේ සඳහන් වෙන යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිතිවලට එකඟද නැද්ද කියලා අපිට මතක් කරලා දෙන එකටයි.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: බව්තීස්ම වුණ සහෝදරයෙක් TV බලබල ඉද්දී නුසුදුසු දසුනක් දිස් වෙනවා. ඊළඟට කරන දේ එයා තීරණය කරන්න ඕනේ.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: අතීතයේ හිටපු මුරකරුවෙක් ඈත තියා එන අනතුරක් දැකලා දොරටු පාලකයන්ට ඒ ගැන කියනවා. එයාලා ඉක්මනින්ම දොරටු වහලා ඒවාට අගුල් දානවා.