Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 4

කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්!

කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්!

“මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.”—ලූක් 22:19.

ගීතිකාව 20 දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!

මේ ලිපියෙන් *

1-2. (අ) මරණය නිසා අපෙන් වෙන් වුණ අයව අපිට විශේෂයෙන්ම මතක් වෙන්නේ මොන දවසටද? (ආ) මරණයට කලින් දවසේ රාත්‍රියේ යේසුස් හඳුන්වලා දුන්නේ මොකක්ද?

 අපි ආදරේ කරන කෙනෙක් මරණය නිසා අපෙන් වෙන් වෙලා කොච්චර කාලයක් ගියත් අපිට එයාව අද වගේ මතකයි. විශේෂයෙන්ම එයා මැරුණ දවසේදී එයා ගැන අපේ හිතේ තියෙන සොඳුරු මතකයන් ආයෙත් අලුත් වෙනවා.

2 අපි ගොඩක් ආදරේ කරන ඒ වගේ කෙනෙක්ගේ මරණය සිහි කරන්න හැම අවුරුද්දකම ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් එකට එකතු වෙනවා. ඒ වෙන කාගෙවත් නෙවෙයි යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයයි. (1 පේතෘ. 1:8) ඔහු තමයි අපිව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න තමන්ගේ ජීවිතේ පූජා කළේ. (මතෙ. 20:28) යේසුස්ගේ අනුගාමිකයන් තමන්ගේ මරණය සිහි කරනවා දකින්න යේසුස්ටත් ඕන වුණා. ඒ නිසයි මරණයට කලින් දවසේ රාත්‍රියේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දීලා යේසුස් මේ වගේ දෙයක් කිව්වේ. “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.”—ලූක් 22:19.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 සිහි කිරීමට සහභාගි වන ටිකදෙනෙක්ට තියෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුව. හැබැයි ඒකට සහභාගි වෙන මිලියන ගාණක් අය බලාගෙන ඉන්නේ මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න. අපි මේ ලිපියෙන් බලමු මේ දෙගොල්ලෝම හැම අවුරුද්දකම සිහි කිරීමට සහභාගි වෙන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ ඇයි කියලා. ඒ වගේම ඒකට සහභාගි වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් බලමු.

අභිෂේක ලත් අය සහභාගි වෙන්නේ ඇයි?

4. සිහි කිරීමේ දවසේදී අභිෂේක ලත් අය රොටි කන්නෙත් වයින් බොන්නෙත් ඇයි?

4 අභිෂේක ලත් අය හැම අවුරුද්දකදීම යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙලා රොටි සහ වයින් ගන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඒ ඇයි? ඒකට හේතුව දැනගන්න යේසුස්ගේ මරණයට කලින් දවසේ රාත්‍රියේදී සිද්ධ වුණේ මොකක්ද කියලා අපි ටිකක් බලමු. පාස්කුව සැමරුවාට පස්සේ යේසුස් තමන්ගේ ගෝලයන්ට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දුන්නා. ඒ වෙලාවේ යේසුස් තමන්ගේ විශ්වාසවන්ත ගෝලයන් 11දෙනා අතිනත රොටි සහ වයින් යවලා රොටි කන්න කියලත් වයින් බොන්න කියලත් එයාලට කිව්වා. ඊටපස්සේ යේසුස් ගෝලයන් එක්ක ගිවිසුම් දෙකක් ගැන කතා කළා. ඒ තමයි අලුත් ගිවිසුම සහ රාජ්‍යයක් සඳහා ඇති කරගත්ත ගිවිසුම. * (ලූක් 22:19, 20, 28-30) ඒ ගිවිසුම් දෙක නිසා එතන හිටපු ගෝලයන් 11දෙනාටත් තවත් සීමිත පිරිසකටත් රජවරුන් සහ පූජකයන් විදිහට ස්වර්ගයේ සේවේ කරන්න දොර විවෘත වුණා. (එළි. 5:10; 14:1) සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්නේ ඒ ගිවිසුම් දෙකට ඇතුළත් වෙන පොළොවේ ඉතිරි වෙලා ඉන්න අභිෂේක ලත් ක්‍රිස්තියානීන් විතරයි.

5. අභිෂේක ලත් අයට තියෙන බලාපොරොත්තුව ගැන එයාලා තේරුම් අරන් ඉන්නේ මොනවාද?

5 අභිෂේක ලත් අය සිහි කිරීමට සහභාගි වෙන්න ආසාවෙන් බලන් ඉන්න තව හේතුවක් මොකක්ද? සිහි කිරීමට සහභාගි වෙන එකෙන් තමන්ට තියෙන බලාපොරොත්තුව ගැන ගැඹුරින් හිතන්න අභිෂේක ලත් අයට අවස්ථාව ලැබෙනවා. යෙහෝවා දෙවියන් එයාලා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන්නේ හරිම පුදුමාකාර දෙයක්. ස්වර්ගයේදී එයාලට ලැබෙන්නේ කිසිදා දිරා නොයන අමරණීය ජීවිතයක්. ඒ වගේම නැවත නැඟිටුණු යේසුස් එක්ක සහ 1,44,000ට අයිති ඉතුරු අයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන් ඉදිරියේ සේවය කරන්න එයාලට අවස්ථාව ලැබෙනවා. (1 කොරි. 15:51-53; 1 යොහ. 3:2) ඒ වටිනා වරප්‍රසාදය කොච්චර ප්‍රීතිමත් එකක්ද කියලා අභිෂේක ලත් අය තේරුම් අරන් ඉන්නවා. ඒත් ඒ තෑග්ග ලබාගන්න නම් එයාලා අන්තිම හුස්ම හෙළන කල්ම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඕනේ. (2 තිමෝ. 4:7, 8) සිහි කිරීමේ දවසේ තමන්ට ලැබෙන ඒ ලස්සන බලාපොරොත්තුව ගැන හිතන්න අභිෂේක ලත් අයට අවස්ථාව ලැබෙනවා. (තීත. 2:13) එතකොට “වෙනත් බැටළුවන්” ගැන කියන්න පුළුවන් මොනවාද? (යොහ. 10:16) යේසුස්ගේ මරණය සිහි කිරීමට එයාලා සහභාගි වෙන්නේ ඇයි?

වෙනත් බැටළුවන් සහභාගි වෙන්නේ ඇයි?

6. හැම අවුරුද්දකම වෙනත් බැටළුවන් යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්නේ ඇයි?

6 වෙනත් බැටළුවන් සිහි කිරීමේදී රොටි කන්නෙවත් වයින් බොන්නෙවත් නැහැ. ඒ වෙනුවට එයාලා අභිෂේක ලත් අයත් එක්ක මේ සැමරීමට හවුල් වෙන අය විතරයි. 1938දී තමයි පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මුල්ම වතාවට සිහි කිරීමට සහභාගි වෙන්න කියලා නිශ්චිතවම ආරාධනා කළේ. ඒ ගැන 1938 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම කියලා තිබුණා. “යේසුස්ගේ මරණය සිහි කිරීමට අභිෂේක ලත් අයත් එක්ක වෙනත් බැටළුවන් සහභාගි වෙන එකේ කිසිම වරදක් නැහැ. මේ අවස්ථාවට සහභාගි වෙලා අභිෂේක ලත් අය වගේම සතුටු වෙන්න එයාලටත් පුළුවන්.” එයාලා හරියට විවාහ උත්සවයකට සහභාගි වෙන අමුත්තන් වගේ. මොකද විවාහයක් සිදු වෙන්නේ දෙන්නෙක් අතර වුණත් ඒකට සහභාගි වෙන හැමෝම ඒ අවස්ථාවෙන් ලොකු සතුටක් ලබනවා.

7. සිහි කිරීමේ දේශනයට ඇහුම්කන් දෙන්න වෙනත් බැටළුවන් ආසාවෙන් ඉන්නේ ඇයි?

7 තමන්ට තියෙන බලාපොරොත්තුව ගැන ගැඹුරින් හිතන්න වෙනත් බැටළුවන්ටත් යේසුස්ගේ මරණය සිහි කිරීම උදව් වෙනවා. එදාට තියෙන සිහි කිරීමේ දේශනයට ඇහුම්කන් දෙන්න මිලියන ගාණක් දෙනා බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. මොකද යේසුස් සහ 1,44,000දෙනා දහස් අවුරුදු පාලනය යටතේ දෙවියන්ට විශ්වාසවන්ත මිනිස්සු වෙනුවෙන් කරන්න යන හුඟක් දේවල් ඒ දේශනයෙන් පැහැදිලි කරනවා. යේසුස්ගේ නායකත්වය යටතේ අභිෂේක ලත් අය මේ පොළොව පාරාදීසයක් කරනවා. ඒ වගේම මිනිසුන්ට පරිපූර්ණත්වයට ළඟා වෙන්නත් උදව් කරනවා. එදාට යෙසායා 35:5, 6; 65:21-23 සහ එළිදරව් 21:3, 4 තියෙන පොරොන්දු තමන්ගේ ඇස් පනා පිටම ඉටු වෙන විදිහ දකින්න වෙනත් බැටළුවන්ට පුළුවන්. තමන් ආදරය කරන අයත් එක්ක පාරාදීසයේ ජීවත් වෙන විදිහ හිතින් මවාගන්නත් දිගටම විඳදරාගෙන පීඩා අතරින් පාරාදීසේ දකින්නත් ඒ දේශනය එයාලට උදව් වෙනවා. ඒකෙන් එයාලට තියෙන බලාපොරොත්තු වගේම දෙවියන්ට දිගටම සේවය කරන්න එයාලා අරන් තියෙන අධිෂ්ඨානයත් තව තවත් ශක්තිමත් වෙනවා.—මතෙ. 24:13; ගලා. 6:9.

8. යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න වෙනත් බැටළුවන්ට තියෙන තව හේතුවක් මොකක්ද?

8 වෙනත් බැටළුවන් සිහි කිරීමට සහභාගි වෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි අභිෂේක ලත් අයට තමන්ගේ ආදරය පෙන්නන්න සහ එයාලට සහයෝගය දක්වන්න. අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් අතර හරිම කිට්ටු බැඳීමක් තියෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා. ඒ කොහොමද? ඒ ගැන දැන් අපි බලමු.

9. වෙනත් බැටළුවන්ට අභිෂේක ලත් අය ගැන හිතෙන විදිහ සෙකරියා 8:23 සඳහන් අනාවැකියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

9 සෙකරියා 8:23 කියවන්න. ඒ අනාවැකියේ අභිෂේක ලත් සහෝදර සහෝදරියන් ගැන වෙනත් බැටළුවන්ට හැඟෙන විදිහ හරිම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. එතන “යුදෙව් ජාතිකයා” සහ “ඔබ” කියලා හඳුන්වලා තියෙන්නේ මේ පොළොවේ ඉතිරි වෙලා ඉන්න අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. (රෝම 2:28, 29) ඒ වගේම ඒ අනාවැකියේ “සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක්” ගැනත් කතා කරනවා. එයාලගෙන් නියෝජනය වෙන්නේ වෙනත් බැටළුවන්වයි. ඒ මිනිස්සු දහදෙනා ‘යුදෙව්වාගේ වස්ත්‍රය අල්ලාගෙන’ ඉන්නවා. ඒකෙන් පෙන්නන්නේ වෙනත් බැටළුවන් සහ අභිෂේක ලත් අය අතර තියෙන කිට්ටු බැඳීමයි. ඒ දෙගොල්ලොම එකට එකතු වෙලා දෙවියන්ට පවිත්‍ර නමස්කාරයක් කරනවා. යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන එකෙන් අභිෂේක ලත් අය ගැන තමන්ගේ හිතේ කොච්චර ආදරයක් තියෙනවාද කියලා වෙනත් බැටළුවන් පෙන්නනවා.

10. එසකියෙල් 37:15-19, 24, 25 තියෙන අනාවැකිය යෙහෝවා දෙවියන් ඉටු කළේ කොහොමද?

10 එසකියෙල් 37:15-19, 24, 25 කියවන්න. අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් අතර කඩන්න බැරි බැඳීමක් ඇති කරලා යෙහෝවා දෙවියන් ඒ අනාවැකිය ඉටු කළා. ඒ අනාවැකියේ ගහක අතු දෙකක් ගැන කතා කරනවා. “යූදා” කියලා ලියන්න කියපු අත්තෙන් ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන අභිෂේක ලත් අයව නියෝජනය වුණා. (ඊශ්‍රායෙලයේ රජවරුන්ව තෝරාගත්තේ යූදා ගෝත්‍රයෙන්.) “එෆ්‍රායිම්” කියලා ලියන්න කියපු අත්තෙන් මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෙනත් බැටළුවන්ව නියෝජනය වුණා. * යෙහෝවා දෙවියන් මේ දෙගොල්ලන්ව එකට එකතු කරලා “එක අත්තක්” කළා. ඒ කියන්නේ අපේ රජ වන යේසුස් ක්‍රිස්තුස් යටතේ එයාලා එක්සත්ව එකට සේවය කරනවා කියන එකයි. හැම අවුරුද්දකම එයාලා යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්නේ කණ්ඩායම් දෙකක් විදිහට නෙවෙයි. ඒ වෙනුවට “එක එඬේරෙක්” යටතේ ඉන්න “එක රැළක්” විදිහටයි.—යොහ. 10:16.

11. මතෙව් 25:31-36, 40 සඳහන් “බැටළුවන්” ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට සහයෝගය දෙන්නේ කොහොමද?

11 මතෙව් 25:31-36, 40 කියවන්න. ඒ අනාවැකියේ සඳහන් ‘බැටළුවන්ගෙන්’ නියෝජනය වුණේ අන්තිම කාලේදී මේ පොළොවේ ජීවත් වෙන ධර්මිෂ්ඨ අයවයි. එයාලා තමයි මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෙනත් බැටළුවන්. අභිෂේක ලත් අයට සම්පූර්ණ සහයෝගයක් දක්වන්න වෙනත් බැටළුවන් මූලිකවම කරන්නේ මොකක්ද? එයාලා අභිෂේක ලත් අයට පැවරිලා තියෙන අති දැවැන්ත කාර්යය ඉටු කරන්න සහය දෙනවා. ඒ තමයි ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා කරන සහ යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩේ.—මතෙ. 24:14; 28:19, 20.

12-13. යේසුස්ගේ සහෝදරයන්ට වෙනත් බැටළුවන් සහයෝගය දෙන තවත් විදි මොනවාද?

12 හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කිරීම ළං වෙද්දී වෙනත් බැටළුවන් යේසුස්ගේ සහෝදරයන්ට සහයෝගය දෙන්න එයාලගේ උපරිමය කරනවා. විශේෂයෙන්ම එයාලා ඒක කරන්නේ ලෝක ව්‍යාප්තව සංවිධානය කරලා තියෙන විශේෂ වැඩසටහනට හවුල් වෙලා පුළුවන් තරම් දෙනෙක්ට මේ සැමරීමට ආරාධනා කරන එකෙනුයි. (“ මෙදා සැරේ සිහි කිරීමට ඔයාත් ලෑස්තිද?” කියන කොටුව බලන්න.) ඒ වගේම තමන්ගේ සභාවේ අභිෂේක ලත් අය හිටියේ නැතත් මේ සැමරීම හොඳින් සංවිධානය කරන්න වෙනත් බැටළුවෝ එයාලගේ උපරිමය කරනවා. අභිෂේක ලත් අයට සහයෝගය දෙන එකෙන් වෙනත් බැටළුවන්ට දැනෙන්නේ ලොකු සතුටක්. මොකද එයාලා දන්නවා ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට සහයෝගය දක්වන එකෙන් එයාලා ඇත්තටම කරන්නේ යේසුස්ට සහයෝගය දෙන එකයි කියලා.—මතෙ. 25:37-40.

13 අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන එක වුණත් පොළොවේ ජීවත් වෙන එක වුණත් යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න අපිට තියෙන තවත් හේතු මොනවාද?

අපි හැමෝම සහභාගි වෙන්න ඕනෙ ඇයි?

14. යෙහෝවා දෙවියන් සහ යේසුස් එයාලගේ ආදරේ අපිට පෙන්නලා තියෙන්නේ කොහොමද?

14 යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට පෙන්නපු ආදරේට ස්තුති කරන්න අවස්ථාව ලැබෙනවා. යෙහෝවා දෙවියන් අපිට ගොඩක් විදිවලින් ආදරය පෙන්නලා තියෙනවා. හැබැයි ඒවායින් එක විදිහක් හරිම විශේෂයි. ටිකක් හිතන්න, ඔහු අපි වෙනුවෙන් දුන්නේ ඔහුට තියෙන වටිනාම දේ. අපිව පාපයෙන් මුදවාගන්න ඔහුගේ පුතා දුක් විඳින විදිහ, මැරෙන විදිහ බලන් ඉන්නත් යෙහෝවාට සිද්ධ වුණා. (යොහ. 3:16) යේසුස්ටත් අපි ගැන කොච්චර ආදරයක් තිබුණාද කියනවා නම් තමන්ගේ ජීවිතේ කැමැත්තෙන්ම පූජා කරන්න ඔහු දෙසැරයක් හිතුවේ නැහැ. (යොහ. 15:13) යෙහෝවා දෙවියන් සහ යේසුස් කරපු ඒ දේවල්වලට අපි සදා ණයගැතියි. කවදාවත් අපිට ඒ ණය ගෙවලා ඉවර කරන්න බැහැ. හැබැයි හැම දවසකම ජීවත් වෙන විදිහෙන් අපි ඒ දේවලට ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න අපිට පුළුවන්. (කොලො. 3:15) අපි සිහි කිරීමට සහභාගි වෙද්දී යෙහෝවා දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කරපු දේවල් මතක් කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්නත් අපිට පුළුවන් වෙනවා.

15. අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් යේසුස්ගේ ජීවිත පූජාව අනර්ඝ තෑග්ගක් විදිහට සලකන්නේ ඇයි?

15 ජීවිත පූජාව අපිට ලැබුණු මිල කරන්න බැරි තෑග්ගක්. (මතෙ. 20:28) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ජීවිත පූජාව ගොඩාක් වටින තෑග්ගක් විදිහට සලකනවා. මොකද ඒ පූජාව නිසයි එයාලගේ බලාපොරොත්තුවට පණ ලැබෙන්නේ. යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාස කරද්දී දෙවියන් එයාලව ධර්මිෂ්ඨයන් විදිහට ප්‍රකාශ කරනවා. ඒ වගේම දෙවියන්ගේ දරුවන් විදිහට පිළිගන්නවා. (රෝම 5:1; 8:15-17, 23) අභිෂේක ලත් අයට වගේම වෙනත් බැටළුවන්ටත් ජීවිත පූජාව ගැන තියෙන්නේ ලොකු අගයක්. මොකද මරණය දක්වාම විශ්වාසවන්තව ඉඳලා යේසුස් හෙළපු ඒ රුධිරය නිසයි එයාලට දෙවියන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්න ලැබෙන්නේ. ඒ වගේම දෙවියන්ට පරිශුද්ධ සේවයක් කරන්න පුළුවන් වෙන්නෙත් “මහත් පීඩාවෙන් බේරිලා” ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ලැබෙන්නෙත් ඒ නිසයි. (එළි. 7:13-15) ඉතින් යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන හැම අවස්ථාවකදීම අභිෂේක ලත් අයට වගේම වෙනත් බැටළුවන්ටත් ජීවිත පූජාව ගැන එයාලගේ හිතේ තියෙන අගය පෙන්නන්න අවස්ථාවක් ලැබෙනවා.

16. සිහි කිරීමට සහභාගි වෙන්න තියෙන තවත් හේතුවක් මොකක්ද?

16 යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන එකෙන් අපි යේසුස්ට කීකරු වෙනවා කියලත් පෙන්නනවා. තමන්ගේ මරණයට කලින් දවසේ රාත්‍රියේ යේසුස් මෙහෙම කිව්වා. “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.” (1 කොරි. 11:23, 24) අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන එක වුණත් පොළොවේ ජීවත් වෙන එක වුණත් අපිට ඕනෙ යේසුස් දුන්න ඒ ආඥාවට කීකරු වෙන්න.

සිහි කිරීමට සහභාගි වෙද්දී ලැබෙන ප්‍රයෝජන

17. යෙහෝවාට ළං වෙන්න සිහි කිරීම අපිට උදව් වෙන්නේ කොහොමද?

17 අපි යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙනවා. (යාකො. 4:8) අපි බලපු විදිහට සිහි කිරීමේදී අපිට අවස්ථාව ලැබෙනවා යෙහෝවා දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව ගැන, ඔහු අපිට පෙන්නලා තියෙන සදා නොමියන ආදරේ ගැන ගැඹුරින් හිතන්න. (යෙරෙ. 29:11; 1 යොහ. 4:8-10) ඒ දේවල් ගැන හිතන්න හිතන්න යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරෙත් තව තවත් වැඩි වෙනවා. ඒ වගේම එහෙම කරද්දී යෙහෝවා දෙවියන් සහ අපි අතර ඇති වෙන්නේ කිසිම දේකට කඩන්න බැරි බැඳීමක්!—රෝම 8:38, 39.

18. යේසුස්ගේ ආදර්ශය ගැන ගැඹුරින් හිතද්දී අපි පෙලඹෙන්නේ මොනවා කරන්නද?

18 යේසුස්ව කිට්ටුවෙන් ආදර්ශයට ගන්න පෙලඹෙනවා. (1 පේතෘ. 2:21) සිහි කිරීම ළං වෙද්දී යේසුස් මේ පොළොවේ ගත කරපු අන්තිම දවස් කීපය ගැන, ඔහුගේ මරණය ගැන සහ ඔහුගේ නැවත නැඟිටීම ගැන බයිබලේ තියෙන වාර්තා අපි ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඒ වගේම යේසුස් අපිට කොච්චර ආදරෙයිද කියලා සිහි කිරීමේ දේශනයේදී අපිට මතක් කරලා දෙනවා. (එෆී. 5:2; 1 යොහ. 3:16) යේසුස් අපි වෙනුවෙන් කැමැත්තෙන්ම කරපු දේවල් ගැන, ඔහුගේ ආදර්ශය ගැන ගැඹුරින් හිතන්න හිතන්න ‘යේසුස් ජීවත් වුණ විදිහටම ජීවිතේ ගත කරන්න’ අපිත් පෙලඹෙනවා.—1 යොහ. 2:6.

19. දිගටම දෙවියන්ගේ ආදරය ලබාගන්න අපිට පුළුවන් කොහොමද?

19 යෙහෝවාගේ ආදරේ දිගටම ලබාගන්න අපිට තියෙන අධිෂ්ඨානය ශක්තිමත් වෙනවා. (යූද් 20, 21) යෙහෝවාගේ ආදරේ දිගටම ලබන්න නම් අපි හැම දේකදීම ඔහුට කීකරු වෙන්න ඕනේ. ඔහුගේ නම ගෞරවයට පත් කරන්න ඕනේ. ඒ වගේම ඔහුගේ හිත සතුටු වෙන විදිහට ජීවත් වෙන්නත් ඕනේ. (හිතෝ. 27:11; මතෙ. 6:9; 1 යොහ. 5:3) සිහි කිරීමට සහභාගි වෙන හැම අවස්ථාවකදීම යෙහෝවාගේ ආදරේ හැම දවසකම ලබන්න අපිට තියෙන අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වෙනවා.

20. සිහි කිරීමට සහභාගි වෙන්න අපි හැමෝටම තියෙන හේතු මොනවාද?

20 අපි ස්වර්ගයේ සදාකල් ජීවත් වෙන්න බලාගෙන හිටියත් මේ පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාගෙන හිටියත් අපි හැමෝටම යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න ගොඩක් හේතු තියෙනවා. යේසුස් තමන්ගේ වටිනා ජීවිතේ පූජා කරලා අපිට පෙන්නපු ආදරේ අපි එදාට සිහි කරනවා. ඒ හැම දේටම වඩා එදාට අපි ඒ ජීවිත පූජාව පිටිපස්සේ තියෙන සදා නොමියෙන යෙහෝවාගේ ආදරේ සිහි කරනවා. මේ අවුරුද්දේ යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්නේ 2022 අප්‍රියෙල් 15වෙනි සිකුරාදා. යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් අපි ගොඩක් ආදරෙයි. ඒ නිසා යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙනවා ඇරෙන්න එදාට ඊටත් වඩා වැදගත් දෙයක් අපිට තියෙන්න පුළුවන්ද?

ගීතිකාව 16 යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න

^ අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන එක වුණත් පොළොවේ ජීවත් වෙන එක වුණත් හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න අපි ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් අපි සිහි කිරීමට සහභාගි වෙන්න ඕනෙ ඇයි? ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද? සිහි කිරීමට සහභාගි වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ අලුත් ගිවිසුම සහ රාජ්‍යයක් සඳහා ඇති කරගත්ත ගිවිසුම ගැන වැඩි විස්තර දැනගන්න 2014 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” කියන ලිපිය යටතේ 15-17 පිටු බලන්න.

^ 2016 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ 31වෙනි පිටුවේ තියෙන “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන කොටස බලන්න.