Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 1

‘යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන අයට කිසිම අඩුවක් වෙන්නේ නැහැ’

‘යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන අයට කිසිම අඩුවක් වෙන්නේ නැහැ’

2022 වාර්ෂික පදය: “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.”—ගීතා. 34:10.

ගීතිකාව 4 “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

මේ ලිපියෙන් *

අමාරු කාලවල්වලදීත් තමන්ට ‘යහපත් දේකින් කිසිම අඩුවක්’ වුණේ නැහැ කියලා දාවිත් තේරුම්ගත්තා (1-3 ඡේද බලන්න) *

1. දාවිත්ට මුහුණ දෙන්න වුණේ මොන වගේ දේවලටද?

 සාවුල් බලවත් රජ කෙනෙක්. එයාට ඕන වුණේ කොහොමහරි කරලා දාවිත්ව මරන්න. සාවුල්ගෙන් බේරෙන්න දාවිත්ට පලා යන්න සිද්ධ වුණා. ඔහොම පලා යන අතරතුරේදී එයාට කන්නවත් දෙයක් තිබුණේ නැහැ. ඒ නිසයි දාවිත්ට නොබ් නුවරේ හිටපු පූජකයෙක් ගාවට ගිහින් රොටි 5ක් ඉල්ලන්න වුණේ. (1 සාමු. 21:1, 3) ඒ විතරක් නෙවෙයි දාවිත්ටයි, එයා එක්ක හිටපු මිනිස්සුන්ටයි නවතින්න වුණෙත් ගල් ගුහාවක. (1 සාමු. 22:1) දාවිත් ඒ තරම්ම අසරණ වුණේ ඇයි?

2. සාවුල් හිටියේ ලොකු අනතුරක කියලා කියන්න පුළුවන් ඇයි? (1 සාමුවෙල් 23:16, 17)

2 දාවිත්ට මිනිස්සු අතරේ හොඳ නමක් තිබුණා. ඒ වගේම එයා ගොඩක් යුධ ජයග්‍රහණ අත් කරගෙන තිබුණා. ඒ නිසා සාවුල් හිටියේ පුදුම ඊර්ෂ්‍යාවකින්. ඒ වගේම සාවුල් දැනගෙන හිටියා එයාගේ අකීකරුකම නිසා යෙහෝවා එයාව ප්‍රතික්ෂේප කරලා රජ විදිහට දාවිත්ව අභිෂේක කරලා තියෙනවා කියලා. (1 සාමුවෙල් 23:16, 17 කියවන්න.) හැබැයි දාවිත්ව අභිෂේක කරලා තිබුණත් ඒ වෙද්දීත් ඊශ්‍රායෙලයේ රජු වුණේ සාවුල්. ඒ නිසා එයාට ලොකු හමුදාවක් වගේම ගොඩක් අයගේ සහයෝගයත් තිබුණා. ඒක නිසයි ජීවිතේ බේරගන්න දාවිත්ට සාවුල්ගෙන් පලා යන්න සිද්ධ වුණේ. සාවුල් හිතන්න ඇතිද දෙවියන්ගේ තීරණයට ඉහළින් ගිහින් දාවිත් රජ වෙන එක වළක්වන්න එයාට පුළුවන් වෙයි කියලා? (යෙසා. 55:11) ඒ ගැන බයිබලේ හරියටම කියලා නැහැ. හැබැයි අපි එක දෙයක් දන්නවා. සාවුල් වැඩ කරපු විදිහෙන් එයා එයාවම ලොකු අනතුරක දාගත්තා. මොකද දෙවියන්ට විරුද්ධ වුණ කිසිම කෙනෙක් කවදාවත් දිනලා නැහැ.

3. අමාරු තත්වයන්ට දාවිත් මුහුණ දුන්නේ කොහොමද?

3 දාවිත් කියන්නේ ගොඩක් නිහතමානී කෙනෙක්. එයා කවදාවත් රජකම පස්සේ ගියේ නැහැ. යෙහෝවා දෙවියන් තමයි එයාව රජ විදිහට පත් කළේ. (1 සාමු. 16:1, 12, 13) කාලයත් එක්කම සාවුල් දාවිත්ව තමන්ගේ සතුරෙක් විදිහට දකින්න පටන්ගත්තා. ඒ නිසා දාවිත්ගේ ජීවිතේ තිබුණේ ලොකු අනතුරක. සාවුල්ගෙන් පලා යන්න සිද්ධ වුණ නිසා දාවිත්ට ජීවත් වෙන්න වුණේ ගුහාවක. හරිහමන් කෑමක්වත් එයාට ලැබුණේ නැහැ. හැබැයි මේ මොන දේ වුණත් දාවිත් කවදාවත් යෙහෝවාට වචනෙකින්වත් දොස් කිව්වේ නැහැ. යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරලා තේමා බයිබල් පදයේ සඳහන් මේ ලස්සන ගීතිකාව එයා ලියන්න ඇත්තේ ඒ ගුහාවේ ජීවත් වුණ කාලේ වෙන්න ඇති. “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.”—ගීතා. 34:10.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද? ඒවාට උත්තර දැනගන්න එක වැදගත් ඇයි?

4 අද අපෙන් හුඟදෙනෙක් අත්‍යවශ්‍ය දේවල් ගන්න ලොකු සටනක් කරනවා. * මේ වසංගතය මැද තත්වය තවත් දරුණු වෙලා. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ “මහත් පීඩාව” ළං වෙද්දී අපිට මීටත් වඩා අමාරු දේවල්වලට මුහුණ දෙන්න වෙයි කියලා. (මතෙ. 24:21) ඒ දේවල් මනසේ තියාගෙන අපි මේ ලිපියෙන් ප්‍රශ්න 4කට උත්තර බලමු. “යහපත් දෙයකින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ” කියලා දාවිත් කිව්වේ ඇයි? සෑහීමට පත් වෙන්න අපි ඉගෙනගන්න ඕනෙ ඇයි? යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම අපිව බලාගන්නවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි? අනාගතයේදී මුහුණ දෙන්න වෙන අභියෝගවලට දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න අපිට පුළුවන් කොහොමද?

“මට කිසි හිඟයක් නොවන්නේය”

5-6. දාවිත් කිව්වා “යහපත් දෙයකින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ” කියලා. ඒක තේරුම්ගන්න ගීතාවලිය 23:1-6 අපිට උදව් වෙන්නේ කොහොමද?

5 දාවිත් කිව්වා දෙවියන්ගේ සෙනඟට “යහපත් දෙයකින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ” කියලා. මොකක්ද එයා ඒකෙන් අදහස් කළේ? ඒක තේරුම්ගන්න දාවිත්ම ලියපු 23වෙනි ගීතිකාව අපිට උදව් වෙනවා. මොකද ඒ ගීතිකාවෙත් තියෙන්නේ ඒ වගේම අදහසක්. (ගීතාවලිය 23:1-6 කියවන්න.) ඒ ගීතිකාව පටන්ගන්නේ මේ වචනවලින්. “යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය.” දාවිත් යෙහෝවාව තමන්ගේ එඬේරා විදිහට සලකපු නිසා දෙවියන් එයාට ගොඩක් ආශීර්වාද කළා. ඒ ගැන එයා ඒ පරිච්ඡේදය පුරාම පැහැදිලි කරනවා. ඒක තමයි දාවිත්ට එයාගේ ජීවිතේ වටිනාම දේ වුණේ. දාවිත් කියනවා යෙහෝවා එයාව “ධර්මිෂ්ඨ මාවත්වල” ගෙන ගියා කියලා. ඒ විතරක් නෙවෙයි හොඳ කාලවලදී වගේම නරක කාලවලදීත් යෙහෝවා දෙවියන් දාවිත් ළඟින්ම හිටියා කියලා එයා කිව්වා. හැබැයි දාවිත් දැනන් හිටියා යෙහෝවා එයාව “සරු තණබිම්වලට” අරන් ගියත් එයාට තිබුණු ප්‍රශ්න නැති වෙන්නේ නැහැ කියලා. සමහර අවස්ථාවලදී එයා කොච්චර අධෛර්යය වුණාද කියනවා නම් එයාට දැනුණේ එයා “අඳුරු තැනිතලාවක” ඇවිදගෙන යනවා වගේ. ඒ වගේම එයාගේ සතුරෝ නිසාත් එයා ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. හැබැයි ඒ මොන දේ වුණත් එයාගේ එඬේරා එයා ළඟින්ම ඉන්නවා කියලා දාවිත් දැනන් හිටියා. ඒ නිසයි ‘මම කිසිම දේකට භය වෙන්නේ නැහැ’ කියලා දාවිත් කිව්වේ.

6 “යහපත් දෙයකින් කිසිම අඩුවක්” වුණේ නැහැ කියන දේ දාවිත් කිව්වේ ඇයි කියලා දැන් අපිට පැහැදිලියි. දාවිත්ට යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම දිගටම තියාගන්න අවශ්‍ය හැම දෙයක්ම ලැබුණා. ඒ වගේම යෙහෝවා දෙන ඕනම දෙයක් සතුටින් භාර අරන් සෑහීමට පත් වෙන්නත් එයා ඉගෙනගෙන හිටියා. එයාට සතුටින් ඉන්න ධන සම්පත් ඕන වුණේ නැහැ. ඒ වෙනුවට දාවිත්ගේ ජීවිතේ ලොකුම සම්පත වුණේ යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු ආශීර්වාද සහ ඔහුගෙන් ලැබුණු රැකවරණයයි.

7. ලූක් 21:20-24 කියන විදිහට මුල් සියවසේ යූදාවල හිටපු ක්‍රිස්තියානීන් මුහුණ දුන්නේ මොන අභියෝගයටද?

7 ධන සම්පත් ගැන අපි හිතන්න ඕනෙ කොහොමද කියලා දාවිත්ගේ වචනවලින් පැහැදිලි වෙනවා. ධන සම්පත් තියෙනවා නම් ඒවායින් ජීවිතේ සතුටු වෙන එක වරදක් නැහැ. හැබැයි ඒවා ඔයාගේ ජීවිතේ කරගන්න එපා. ඒක කොච්චර ඇත්තක්ද කියලා යුදයේ හිටපු ක්‍රිස්තියානීන් අද්දැක්කා. (ලූක් 21:20-24 කියවන්න.) යේසුස් එයාලට අනතුරු ඇඟෙව්වා “සේනාවන් ඇවිත් යෙරුසලම වටා කඳවුරු බැඳගෙන” ඉන්නවා දැක්කාම ජීවිතේ බේරගන්න “කඳුවලට පලා යන්න” කියලා. ජීවිතේ ගලවගන්න එයාලට තිබුණු හැම දේම වගේ අත්හරින්න එයාලට සිද්ධ වුණා. ඒ ගැන අවුරුදු කීපයකට කලින් පළ වුණ ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම කියනවා. “ගෙවල්වල තිබුණු වස්තුවත් එකතු කරගන්නේ නැතුව එයාලා වතුපිටි, නිවාස අත්හැරලා ගියා. යෙහෝවාගේ ආරක්ෂාව සහ උපකාරය ලැබෙනවා කියලා එයාලට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා වැදගත් කියලා පේන්න තිබුණ හැම දේටම වඩා එයාලා දෙවියන්ට කරන නමස්කාරය ඉදිරියෙන් තිබ්බා.”

8. යුදයේ හිටපු ක්‍රිස්තියානීන්ගෙන් අපි ඉගෙනගන්න වැදගත් පාඩම මොකක්ද?

8 යුදයේ හිටපු ක්‍රිස්තියානීන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම මොකක්ද? ඒ ගැන කලින් සඳහන් කරපු ‘මුරටැඹ’ සඟරාවෙම කියන දේ බලන්න. “ඉස්සරහට අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. අපි අපේ ජීවිතේ ධන සම්පත්වලට දීලා තියෙන්නේ මොන වගේ තැනක්ද කියලා එදාට පැහැදිලි වෙයි. වඩාත් වැදගත් වෙන්නේ ධන සම්පත්ද? නැත්නම් දෙවියන්ගේ පැත්තේ ඉඳලා ගැලවීම ලබන එකද? ඔව්, ගැලවීම ලබන්න අපිටත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. ගොඩක් දේවල් අහිමි කරගන්නත් වෙයි. ඒත් එදා කඳුවලට පලා ගිය විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් වගේ දෙවියන් කියන ඕනෑම දෙයක් කරන්න අපි සූදානමින් ඉන්න ඕනේ.” *

9. පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට දුන්න මඟ පෙන්වීම ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

9 ඔයා ජීවිත කාලේ පුරාම මහන්සියෙන් හම්බ කරපු හැම දේම අත්හැරලා ජීවිතේ මුල ඉඳන්ම පටන්ගන්න කියලා කිව්වොත් ඔයාට කොහොම දැනෙයිද? යුදයේ හිටපු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මුහුණ දෙන්න වුණෙත් ඒ වගේ දේකට. ඒත් ඒකට මුහුණ දෙන්න නම් දෙවියන් එයාලගේ හැම අවශ්‍යතාවක්ම බලාගනියි කියලා එයාලා විශ්වාස කරන්න ඕන වුණා. හැබැයි ඒ වගේ දේකට මුහුණ දෙන්න එයාලව කලින්ම ලෑස්ති කරලයි තිබ්බේ. ඇයි එහෙම කියන්නේ? රෝමවරු යෙරුසලම වටලන්න අවුරුදු පහකට කලින් පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මේ වගේ මඟ පෙන්වීමක් දීලා තිබුණා. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න. මන්ද, ‘මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි’ කියා දෙවි පවසා ඇත. එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන, ‘මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද’ කියා පවසමු.” (හෙබ්‍රෙ. 13:5, 6) පාවුල් කියපු ඒ වචන කලින්ම හිතට ගත්ත අයට නම් ජීවිතේ අලුතින්ම පටන් අරන් සරල ජීවිතේකට හැඩගැහෙන්න අනිත් අයට වඩා ලේසි වෙන්න ඇති. මොකද එයාලට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවා දෙවියන් එයාලට අවශ්‍ය හැම දේම දෙයි කියලා. ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න පාවුල් කියපු ඒ වචන අපිටත් ලොකු දිරිගැන්වීමක්.

“අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු”

10. පාවුල් කිව්ව “රහස” මොකක්ද?

10 පාවුල් ඒ වගේම මඟ පෙන්වීමක් තිමෝතිටත් දුන්නා. එයා මෙහෙම කිව්වා. “එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.” (1 තිමෝ. 6:8) ඒ කියන්නේ හොඳ හෝටලේකට ගිහිල්ලා රසවත් කෑම වේලක් ගන්න එක, හොඳ ගෙයක් දොරක් හදාගන්න එක, කාලෙන් කාලෙට අලුත් ඇඳුම් ගන්න එක වැරදියි කියලද? නැහැ. ඒ වගේ දේවල් කරලා ජීවිතේ සතුටින් ගෙවන එකේ වරදක් නැහැ. හැබැයි ටිකක් තිබුණත් ගොඩක් තිබුණත් තියෙන දේවලින් සතුටු වෙන්න කියලයි පාවුල් දිරිගැන්නුවේ. ඒ කියන්නේ අපිට තියෙන දෙයින් අපි සෑහීමට පත්වෙන්න ඕනෙ කියන එකයි. (ෆිලි. 4:12) ඒක තමයි පාවුල් කිව්ව “රහස.” අපේ ජීවිතේ වැදගත්ම දේ වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම. එහෙම නැතුව කන බොන දේවල්වත් ඇඳුම් පැළඳුම්වත් අපිට තියෙන අනිත් දේවල්වත් නෙවෙයි.—හබ. 3:17, 18.

අවුරුදු 40ක් පුරා පාළුකරයේ ජීවත් වුණ ඊශ්‍රායෙල්වරුන්ට ‘කිසිම දේකින් අඩුවක් වෙන්න’ යෙහෝවා දෙවියන් ඉඩ දුන්නේ නැහැ. අපිටත් පුළුවන්ද තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න? (11 ඡේදය බලන්න) *

11. සෑහීමට පත් වෙන එක ගැන මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කියපු දෙයින් අපි ඉගෙනගන්නේ මොනවාද?

11 අපිට ඕනෙ මොනවාද කියලා අපි හිතන දේයි, ඒ ගැන යෙහෝවා හිතන දේයි අතර ලොකු වෙනසක් තියෙනවා. අවුරුදු 40ක් පුරා පාළුකරයේ ජීවත් වුණු ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් කිව්ව දේ බලන්න. “ඔබේ දෙවි වූ යෙහෝවා වන මම මේ අවුරුදු හතළිහ පුරාම ඔබව රැකබලා ගත්තා. ඔබ මේ පාළුකරයේ ගමන් කළ කාලයේදී මම ඔබ සමඟ සිට ඔබ කළ හැම දෙයකටම ආශීර්වාද කළා. යෙහෝවා දෙවි වන මා ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්න ඉඩ තැබුවේ නැහැ.” (ද්වි. 2:7) අවුරුදු 40ක් පුරා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මන්නා දීලා එයාලගේ බඩගින්න නිව්වා. එයාලා ඊජිප්තුවෙන් එද්දී එයාලා ගාව තිබුණ ඇඳුම් ඒ අවුරුදු ගාණ පුරාම දිරලා ගියේ නැහැ. (ද්වි. 8:3, 4) යෙහෝවා දෙවියන් දුන්න දේවල් මදියි කියලා සමහර ඊශ්‍රායෙල්වරු මැසිවිලි නැඟුවත් මෝසෙස් එයාලට මතක් කළා දෙවියන් ඒ වෙනකොටත් ජීවත් වෙන්න අවශ්‍ය හැම දේම එයාලට දීලයි තියෙන්නේ කියලා. මොකක්ද අපි ඒකෙන් ඉගෙනගන්නේ? අපි තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න ඉගෙනගන්නවා නම් යෙහෝවා දෙවියන් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපිට යෙහෝවා දෙවියන්ගෙන් මොනවා ලැබුණාත් ඒක ආශීර්වාදයක් විදිහට සලකලා අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා දකින්නයි ඔහුට ඕනේ.

යෙහෝවා දෙවියන් ඔයාව බලාගන්නවා කියලා විශ්වාස කරන්න

12. තමන් ගැනම විශ්වාසය තියනවා වෙනුවට දාවිත් දෙවියන්ව විශ්වාස කළා කියලා කියන්න පුළුවන් ඇයි?

12 යෙහෝවාට ආදරය කරන, ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරන අයට ඔහුත් ගොඩක් ආදරෙයි. ඔහු එයාලව රැක බලා ගන්නවා. ඒ දේ දාවිත් හොඳටම දැනන් හිටියා. 34වෙනි ගීතිකාව ලියද්දී දාවිත්ගේ ජීවිතේ තිබුණේ ලොකු අනතුරක. හැබැයි ඒ මොනවා වුණත් යෙහෝවා එයාව ආරක්ෂා කරනවා කියන විශ්වාසය දාවිත්ට තිබුණා. ඒ නිසයි ‘යෙහෝවා දෙවිගේ දූතයා තමන්ගේ වටේ කඳවුරු බැඳගෙන ඉන්නවා’ කියලා එයාට දැනුණේ. (ගීතා. 34:7) ඒ දේ කියද්දී දාවිත්ගේ මනසේ තියෙන්න ඇත්තේ එළිමහන් තැනක කඳවුරු බැඳගෙන සතුරෝ එයිද කියලා හොඳ අවධානෙන් ඉන්න හේවායෙක්ව. මේ දේවදූතයාවත් දාවිත් දැක්කේ ඒ විදිහට වෙන්න ඇති. මෙහෙම හිතන්න. දාවිත් කියන්නේ අතිදක්ෂ රණශූරයෙක්. ඒ වගේම එයා තමයි දෙවියන් අභිෂේක කරපු රජ. හැබැයි දාවිත්ගේ ශක්තිය වුණේ තමන් ගාව තිබුණ ගල් පටියවත් කඩුවවත් නෙවෙයි. (1 සාමු. 16:13; 24:12) එයා ශක්තිය කරගත්තේ යෙහෝවා දෙවියන්වයි. ඒ නිසයි එයා කියන්නේ දෙවියන්ගේ දූතයා ‘දෙවියන් කෙරෙහි ගරුබිය ඇති අයව ගලවාගන්නේය’ කියලා. අද යෙහෝවා දෙවියන් ආශ්චර්යයන් කරලා අපිව ආරක්ෂා කරන්නේ නැහැ තමයි. හැබැයි අපි යෙහෝවා ගැන විශ්වාසය තියනවා නම්, ඔහුව අපේ ශක්තිය කරගන්නවා නම් දැන් අපේ ජීවිතේ උදුරගත්තාත් අපෙන් සදාකාල ජීවිතේ උදුරගන්න කිසිම කෙනෙක්ට බැහැ.

මහත් පීඩාව අතරතුරේදී මාගොග් දේශයේ ගොග්ගේ හමුදාව අපේ ගෙවල්වලටම ඇවිත් අපිට හිරිහැර කරයි. හැබැයි යේසුස් සහ ඔහුගේ දේවදූතයන් සිද්ධ වෙන හැම දෙයක් දිහාම බලාගෙන ඉඳලා අපිව ආරක්ෂා කරනවා. ඒක දැනගෙන ඉන්න එක අපිට ලොකු සහනයක් (13 ඡේදය බලන්න)

13. මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරයේදී සතුරන් ඉස්සරහා අපි අසරණයි කියලා පේන්න පුළුවන් ඇයි? හැබැයි අපිට සහතික වෙන්න පුළුවන් මොනවා ගැනද? (කවරේ පින්තූරය බලන්න.)

13 ළඟදීම යෙහෝවා දෙවියන් ගැන තියෙන අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන කාලයක් එනවා. මාගොග් දේශයේ ගොග්, ඒ කියන්නේ ජාතීන්ගේ එකතුව දෙවියන්ගේ සෙනඟට විරුද්ධ වෙද්දී සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අපේ ජීවිතේ තියෙන්නේ ලොකු අනතුරක කියලා. හැබැයි කවදාවත් අමතක කරන්න එපා යෙහෝවා දෙවියන් අපිත් එක්ක ඉඳලා අපිව ආරක්ෂා කරනවා කියන දේ. ඒ ජාතීන් නම් අපිව දකින්නේ කිසිම හව්හරණක් නැති අසරණ අය විදිහට. (එස. 38:10-12) මොකද අපි ගාව ආයුධ නැහැ. අපි යුද්ධ කරන්න ඉගෙනගෙනත් නැහැ. ඉතින් එයාලා හිතයි හරිම ලේසියෙන් අපිව විනාශ කරන්න පුළුවන් කියලා. ඒත් ඉස්සරහට වෙන්න යන්නේ එයාලා හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක්. එදාට දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් සටන් කරන්න දහස් ගාණක ස්වර්ගික සේනාවක් ලෑස්ති පිට ඉන්නවා කියලා එයාලා දන්නේ නැහැ. මොකද එයාලට යෙහෝවා දෙවියන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. අන්තිමේදී ජාතීන්ගේ එකතුව මේ අන්ත අසරණයි කියලා පේන දෙවියන්ගේ සෙනඟට විරුද්ධව එද්දීම ස්වර්ගික සේනාව එයාලා වෙනුවෙන් සටන් කරනවා. ඒ වෙලාවේදී මාගොග් දේශයේ ගොග් කොච්චර අසරණ වෙයිද!—එළි. 19:11, 14, 15.

දැන්ම ලෑස්ති වෙන්න

14. අනාගතයේදී එන පීඩාවලට මුහුණ දෙන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද?

14 අනාගතයේදී වෙන දේවලට ලෑස්ති වෙන්න අපිට දැන් කරන්න පුළුවන් මොනවාද? ධන සම්පත් ඔයාගේ ජීවිතේ අංක එක කරගන්න එපා. මොකද දවසක ඒ හැම දේම අත්හරින්න ඔයාට සිද්ධ වෙයි. ඒ වගේම අපි තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නත් ඉගෙනගන්න ඕනේ. මොකද අපේ ජීවිතේ සතුට වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්. යෙහෝවා දෙවියන්ව තව තවත් දැන හඳුනා ගද්දී ඔහුට ළං වෙද්දී ගොග්ගේ ප්‍රහාරයෙන් ඔහු අපිව ආරක්ෂා කරයි කියන විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.

15. දෙවියන් තමන්ව කවදාවත් තනි කරන්නේ නැහැ කියලා තේරුම්ගන්න දාවිත්ට උදව් වුණේ මොකක්ද?

15 අභියෝගවලට මුහුණ දෙන්න දාවිත්ට උදව් වුණ තව දෙයක් මොකක්ද? දාවිත් ඒ ගැන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය.” (ගීතා. 34:8) දෙවියන් තමන්ව ආරක්ෂා කරනවා කියලා දාවිත්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. මොකද එයා යෙහෝවාව “රස බලලා” දැනගෙනයි හිටියේ. දාවිත් තමන්ගේ මුළු ජීවිත කාලේ පුරාම අද්දැක්කා යෙහෝවා ගැන විශ්වාසය තියද්දී යෙහෝවා ඒ විශ්වාසය කවදාවත් බිඳින්නේ නැහැ කියන දේ. උදාහරණෙකට තරුණ කාලේදී දාවිත්ට ගොලියත් එක්ක සටන් කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ දාවිත් ඒ යෝධ රණශූරයාට කිව්ව දේ මතකද? “අද යෙහෝවා දෙවි මගේ අතට නුඹව හසු කර දෙන බව ස්ථිරයි.” (1 සාමු. 17:46) සාවුල් රජත් දාවිත්ව මරන්න හුඟ සැරයක් උත්සාහ කළා. හැබැයි ‘යෙහෝවා දෙවි දාවිත් ළඟින්ම හිටියා.’ (1 සාමු. 18:12) ජීවිත කාලේ පුරාම යෙහෝවා දෙවියන් තමන්ට උදව් කළා කියලා දාවිත් දැක්කා. ඒ නිසා ඉස්සරහට මුහුණ දෙන්න වෙන ඕනෑම අභියෝගයකදී යෙහෝවා දෙවියන් තමන්ව තනි කරන්නේ නැහැ කියලා දාවිත්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.

16. යෙහෝවා දෙවියන්ව “රස බලා දැනගන්න” අපිට පුළුවන් කොහොමද?

16 අපි යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරද්දී අනාගතයේදී ඔහු අපිව ආරක්ෂා කරනවා කියලා අපිට තියෙන විශ්වාසයත් ශක්තිමත් වෙනවා. හිතන්න ඔයාට ඕනෙ රැස්වීම්, සේවේ යන්න පුළුවන් විදිහට ඔයාගේ රස්සාවේ වැඩ කරන වෙලාව වෙනස් කරගන්න. එහෙමත් නැත්නම් සමුළුවකට යන්න නිවාඩුවක් ගන්න. හැබැයි ඒ ගැන බොස් එක්ක කතා කරන්න නම් ඔයාට ශක්තිමත් විශ්වාසයක් තියෙන්නම ඕනේ. මොකද සමහරවිට ඒ වගේ දෙයක් අහන්න ගිහින් ඔයාගේ රස්සාව වුණත් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් යෙහෝවා ඔයාව කවදාවත් අත්හරින්නේ නැතුව ඔයාට ඕන හැම දෙයක්ම දීලා ඔයාව බලාගන්නවා කියලා ඔයාට විශ්වාසද? (හෙබ්‍රෙ. 13:5) පූර්ණකාලීන සේවය කරන අයත් එක්ක කතා කරලා යෙහෝවා එයාලව බලාගෙන තියෙන විදිහ ගැන එයාලගෙන් අහන්න. ඒ ගැන ඕන තරම් අද්දැකීම් එයාලා ඔයාට කියයි. යෙහෝවා කවදාවත් තමන් දුන්න පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඒක කොච්චර ඇත්තක්ද කියලා ඔයාටම “රස බලලා දැනගන්න” පුළුවන්.

17. 2022 වාර්ෂික පදය මොකක්ද? ඒක මේ කාලෙට හොඳින්ම ගැළපෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

17 යෙහෝවා දෙවියන් අපිත් එක්ක ඉන්නවා නම් ඉස්සරහට මොන දේ වුණත් අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද අපි අපේ ජීවිතේ මුල් තැන ඔහුට දෙනවා නම් ඔහු කවදාවත්ම අපිව අත්හරින්නේ නැහැ. ඒ නිසා දැන් ඉඳන්ම අනාගතයේ සිද්ධ වෙන දේවල්වලට ලෑස්ති වෙන්න. යෙහෝවා දෙවියන් එක මොහොතකටවත් අපිව අත්හරින්නේ නැහැ කියන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න. ඒක කරන්න උදව්වක් විදිහට තමයි ගීතාවලිය 34:10 කියන මේ වචන 2022 වාර්ෂික පදය විදිහට පාලක මණ්ඩලය තෝරගත්තේ. “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.”

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

^ 2022 වාර්ෂික පදය අරන් තියෙන්නේ ගීතාවලිය 34:10න්. ඒකේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.” අද යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ගොඩක් අගහිඟකම්වලට මුහුණ දෙනවා. එහෙමනම් එයාලට “යහපත් දෙයකින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ” කියලා ඒ පදේ කියන්නේ ඇයි? ඒකේ අදහස හරියටම දැනගෙන ඉන්න එක ඉස්සරහට එන අභියෝගවලට හොඳින් ලෑස්ති වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ 2014 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.

^ 1999 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ 19වෙනි පිටුව බලන්න.

^ පින්තූරයේ අදහස: ගල් ගුහාවක හරිම අමාරුවෙන් ජීවත් වෙන්න සිද්ධ වුණත් යෙහෝවා දෙවියන් දීපු දේවල් දාවිත් හුඟක් අගය කළා.

^ පින්තූරයේ අදහස: යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මන්නා දීලා එයාලව බලාගත්තා. එයාලගේ ඇඳුම් දිරලා ගියෙත් නැහැ.