Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 5

යෙහෝවා දෙවියන් එක්ක කාලේ ගත කරන්න!

යෙහෝවා දෙවියන් එක්ක කාලේ ගත කරන්න!

‘ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.’—එෆී. 5:15, 16.

ගීතිකාව 8 යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

මේ ලිපියෙන් *

1. යෙහෝවාත් එක්ක කාලේ ගත කරන්න අපිට පුළුවන් කොහොමද?

 අපි හැමෝම කැමතියි අපි ආදරේ කරන, අපිට කිට්ටු අයත් එක්ක කාලේ ගත කරන්න. උදාහරණෙකට ආදරෙන් බැඳුණු විවාහක යුවළක් කැමතියි ටිකක් නිස්කලංක තැනකට ගිහිල්ලා දෙන්නාත් එක්ක තනියම කතා කරකර ඉන්න. යෞවනයන් කැමතියි තමන්ගේ කිට්ටු යාළුවොත් එක්ක එකතු වෙලා ටිකක් විනෝද වෙන්න. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා දේවල් කරන්න අපි හැමෝම කැමතියි. ඒ හැම දේකටම වඩා අපි ආසයි යෙහෝවා දෙවියන් එක්ක අපේ කාලේ ගත කරන්න. ඒත් අපිට පේන්නේ නැති කෙනෙක් එක්ක කාලේ ගත කරන්න පුළුවන් කොහොමද? යාච්ඤා කරද්දී දෙවියන්ගේ වචනය කියවද්දී යෙහෝවාගේ අරමුණ සහ ඔහුගේ ලස්සන ගුණාංග ගැන ගැඹුරින් හිතද්දී අපිට පුළුවන් ඒක කරන්න. ඇත්තම කිව්වොත් දෙවියන් එක්ක කාලේ ගත කරන්න ලැබෙන එක තරම් වටිනා දෙයක් අපේ ජීවිතේ තවත් නැහැ.—ගීතා. 139:17.

2. අපිට තියෙන අභියෝගය මොකක්ද?

2 යෙහෝවාත් එක්ක කාලේ ගත කරන්න අපි කොච්චර කැමති වුණත් සමහරවිට ඒක හිතන තරම් ලේසි නැහැ. මොකද අපි හැමෝම කාර්යබහුලයි. මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක යාච්ඤා කරන්න, අධ්‍යයනය කරන්න, ගැඹුරින් හිතන්න කාලය වෙන් කරගන්න එක අපිට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. සමහරවිට අපිට හිතෙයි ‘රස්සාව, ගෙදර වැඩ, අනිත් වගකීම් එක්ක ඒ දේවල් කරන්න කොහෙන් වෙලාව හොයාගන්නද’ කියලා.

3. අපේ කාලේ හොරාගන්න තවත් දෙයක් මොකක්ද?

3 අපි දන්නෙම නැතුව හරිම සූක්ෂ්ම විදිහට දෙවියන්ට දෙන කාලය හොරාගන්න දේවලුත් තියෙනවා. උදාහරණෙකට අපි විනෝදයට කරන දේවල් ගැන හිතන්න. විනෝද වෙන එක වැරදි නැහැ. ඒක උදව් වෙනවා අපේ කාර්යබහුල ජීවිතෙන් ටිකක් මිදිලා මනසට පොඩි විවේකයක් ගන්න. හැබැයි ඒ දේවල්වලට වුණාත් අපි ඕනෑවට වඩා කාලේ දෙන්න ගියොත් යෙහෝවාට දෙන්න, නමස්කාරයේ දේවල් වෙනුවෙන් දෙන්න අපිට කාලයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා යෙහෝවාව දෙවෙනි තැනට දාන්න අපි කවදාවත් විනෝදයට ඉඩ දෙන්නේ නැහැ.—හිතෝ. 25:27; 1 තිමෝ. 4:8.

4. අපි බලන්නේ මොනවා ගැනද?

4 වැදගත් දේවල්වලට අපි මුල් තැන දෙන්න ඕනෙ ඇයි? යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න අපි වෙන් කරන කාලය හරි විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි දැන් බලමු.

ජීවිතේ හරි තීරණ ගන්න. වැදගත් දේට මුල් තැන දෙන්න

5. හරි තීරණ ගන්න එෆීස 5:15-17 තියෙන මඟ පෙන්වීම යෞවනයන්ට උදව් වෙන්නේ කොහොමද?

5 ජීවිතේ හරි තීරණ ගන්න. ‘ඉස්සරහට මං මොනවාද කරන්නේ’ කියලා සාමාන්‍යයෙන් ඕනම යෞවනයෙක් හිතනවා. ඔයාත් එහෙම හිතලා ඇති. එක පැත්තකින් ගුරුවරු, නෑදෑයෝ ඔයාව දිරිගන්වනවා ඉහළටම ඉගෙනගෙන සමාජයේ පිළිගන්න හොඳ රස්සාවක් කරන්න කියලා. හැබැයි ඒ ඉලක්කවලට යන්න ඔයාට ලොකු කාලයක් වැය කරන්න වෙයි. අනිත් අතට පවුලේ අය, සභාවේ යාළුවෝ ඔයාව දිරිගන්වයි වැඩි සේවයක් කරලා යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ මුල් තැන දෙන්න කියලා. මේ දෙකෙන් ඔයා තෝරගන්නේ මොකක්ද? යෙහෝවාට ආදරේ කරන යෞවනයෙක් විදිහට ඔයාට හොඳ තීරණයක් ගන්න උදව් වෙන්නේ මොකක්ද? එෆීස 5:15-17 කියවලා ඒ ගැන හොඳට හිතලා බලන්න. (කියවන්න.) ඊටපස්සේ ඔයාට පුළුවන් මේ ප්‍රශ්න ගැන ඔයාගෙන්ම අහගන්න. ‘යෙහෝවා දෙවියන් සතුටු වෙන්නේ මං මොනවා කළොත්ද? මට තියෙන කාලය හරි විදිහට පාවිච්චි කරන්න පුළුවන් මං මොන තීරණය ගත්තොත්ද?’ මතක තියාගන්න, අපි ජීවත් වෙන්නේ “නපුරු කාලයක.” මේ ලෝකේ තියෙන හිත් ඇදගන්න බොරු දේවල් විනාශ වෙන්න වැඩි කාලයක් නැහැ. ඒ නිසා හරි තීරණය අරන් යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න මුල් තැන දෙන එක කොච්චර හොඳද!

6. මරියා තීරණය කළේ මොකක් කරන්නද? ඒක හොඳ තීරණයක් කියන්න පුළුවන් ඇයි?

6 වැදගත් දේට මුල් තැන දෙන්න. සමහරවිට අපි ඉස්සරහා තේරීම් කීපයක් තියෙන්න පුළුවන්. ඒ තේරීම් හැම එකක්ම වැරදි නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා අතරිනුත් වඩා වැදගත් දේට මුල් තැන දෙන්න අපිට තීරණයක් ගන්න වෙයි. ඒක තේරුම්ගන්න මීට අවුරුදු දහස් ගාණකට කලින් මාර්තාගේ ගෙදරදී වුණ සිද්ධියක් ගැන අපි බලමු. දවසක් යේසුස් මාර්තාගේ ගෙදරට ගියා. යේසුස් එනවා කියලා දැනගත්තාම මාර්තා හිටියේ පුදුම සතුටකින්. ඒ නිසා එයාට ඕන වුණේ ඉස්තරම්ම කෑම වේලක් පිළියෙල කරලා යේසුස්ට සංග්‍රහ කරන්න. මේ අතරේ මාර්තාගේ සහෝදරිය වුණ මරියා තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන යේසුස්ගේ පාමුල ඉඳන් යේසුස්ගෙන් ඉගෙනගත්තා. මාර්තා යේසුස් වෙනුවෙන් කෑමක් පිළියෙල කරපු එක වැරදි නැහැ. හැබැයි යේසුස් කිව්වා “මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි” කියලා. (ලූක් 10:38-42) යේසුස් කියපු දේ ඇත්ත නේද? මොකද කාලයක් යද්දී මරියාට එදා කාපු දේවල් අමතක වෙලා යන්න ඇති. ඒත් යේසුස්ගෙන් ඉගෙනගත්ත දේවල් නම් එයාගේ මතකයෙන් කවදාවත් මැකිලා යන්න නැතුව ඇති. තිබුණ ටික කාලය මරියා පාවිච්චි කළේ යේසුස්ගෙන් ඉගෙනගන්න. මොකද ඒක එයා ගොඩක් වටිනා දෙයක් විදිහට සැලකුවා. මොකද්ද පාඩම? අපිටත් පුළුවන්ද අපිට තියෙන කාලය යෙහෝවා වෙනුවෙන් පාවිච්චි කරන්න? ඒත් කොහොමද අපි ඒක කරන්නේ?

යෙහෝවා වෙනුවෙන් දෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

7. යාච්ඤා කරන එක, අධ්‍යයනය කරන එක, ගැඹුරින් හිතන එක ගොඩක් වැදගත් ඇයි?

7 යාච්ඤාව, අධ්‍යයනය සහ ගැඹුරින් හිතන එක අපේ නමස්කාරයේ කොටසක් කියලා අමතක කරන්න එපා. යාච්ඤා කරද්දී අපිට වැඩියෙන්ම ආදරේ කරන යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. (ගීතා. 5:7) බයිබලය අධ්‍යයනය කරද්දී ප්‍රඥාවේ උල්පත වන ‘යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගන්න’ අපිට පුළුවන්. (හිතෝ. 2:1-5) ඉගෙනගත්ත දේවල් ගැන ගැඹුරින් හිතද්දී යෙහෝවාගේ ලස්සන ගුණාංග ගැනත් ඔහු අපි වෙනුවෙන් කරන්න යන පුදුමාකාර දේවල් ගැනත් තවත් හොඳින් දැනගන්න ලැබෙනවා. අපේ කාලය පාවිච්චි කරන්න ඊටත් වඩා හොඳ විදිහක් තියෙනවාද? හැබැයි දැනට තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඒ දේවල් කරන්න අපිට පුළුවන් කොහොමද?

බයිබලය අධ්‍යයනය කරන්න නිස්කලංක තැනක් හොයාගන්න පුළුවන්ද? (8 සහ 9 ඡේද බලන්න)

8. සේවය පටන්ගන්න කලින් යේසුස් පාළුකරයට ගිය එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 පුළුවන් නම් නිස්කලංක තැනක් තෝරගන්න. සේවය පටන්ගන්න කලින් යේසුස් පාළුකරයට ගිහින් දවස් හතළිහක් එහේ හිටියා. (ලූක් 4:1, 2) ඒ වගේ තැනක හිටපු නිසා කිසිම බාධාවක් නැතුව යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න, යෙහෝවා තමන්ට භාර දීලා තියෙන පැවරුම ගැන ගැඹුරින් හිතන්න යේසුස්ට පුළුවන් වුණා. ඉස්සරහට එන පීඩාවලට හොඳින් සූදානම් වෙන්න යේසුස්ට ඒක උදව් වුණා කියලා කිසිම සැකයක් නැහැ. යේසුස්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සමහරවිට ඔයාගේ ගෙදර ගොඩක් කට්ටිය ඉන්න නිසා දෙවියන්ගේ දේවල් කරන්න නිස්කලංක තැනක් හොයාගන්න එක ඔයාට අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාට සිද්ධ වෙයි පොඩ්ඩක් එළියට පහළට බැහැලා වැඩි සද්ද බද්ද නැති තැනක් හොයාගන්න. සහෝදරි ජූලිටත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණා. එයා ජීවත් වුණේ පුංචි ගෙයක. එයාට දෙවියන්ගේ දේවල් කරන්න නිස්කලංක තැනක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. ඉතින් එයා මොනවාද කළේ? සහෝදරි ජූලි මෙහෙම කියනවා. “මං හැමදාම පාර්ක් එකට ගියා. එතන හරි නිස්කලංකයි. ඉතින් කිසිම බාධාවක් නැතුව හිතේ හැටියට යෙහෝවාත් එක්ක කතා කරන්න මට පුළුවන් වුණා.”

9. දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න කාලය දෙන එක වැදගත් දෙයක් කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

9 යේසුස් ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඔහු දේශනා සේවේ පටන්ගත්තාට පස්සේ ගිය ගිය හැම තැනටම යේසුස්ව හම්බ වෙන්න ගොඩක් මිනිස්සු ආවා. එයාලට ඕන වුණේ කොහොමහරි යේසුස් එක්ක කතා කරන්න. එක අවස්ථාවකදී “මුළු නුවරේම වගේ” හිටපු මිනිස්සු යේසුස් හිටපු ගෙදර “දොරකඩ ළඟ රැස් වෙලා හිටියා.” හැබැයි කොච්චර කාර්යබහුල වුණත් යේසුස් යෙහෝවා දෙවියන් එක්ක කාලේ ගත කරන්න කොහොමහරි වෙලාව හොයාගත්තා. වාර්තාවේ කියනවා ඔහු පහුවෙනිදා පාන්දරින්ම නැඟිටලා යෙහෝවාට යාච්ඤා කරන්න “පාළු තැනකට” ගියා කියලා.—මාක් 1:32-35.

10-11. ගෙත්සෙමන උයනේදී යේසුස් තමන්ගේ ගෝලයන්ට දුන්නේ මොන මඟ පෙන්වීමද? (මතෙව් 26:40, 41) හැබැයි මොකද වුණේ?

10 යේසුස්ගේ මරණයට කලින් දවසේ රාත්‍රිය ගැන හිතන්න. ඒ වෙද්දී යේසුස් ඔහුගේ දේශනා සේවය අවසන් කරලයි තිබුණේ. යේසුස්ට ඕන වුණා යාච්ඤා කරන්න, ගැඹුරින් හිතන්න පුළුවන් නිස්කලංක තැනකට යන්න. ඉතින් ඔහු ඒකට තෝරගත්තේ ගෙත්සෙමන උයන. (මතෙ. 26:36) ගෙත්සෙමන උයනට ගිය වෙලාවේ යේසුස් තමන්ගේ ගෝලයන්ට කරන්න ඕනෙ වැදගත් දෙයක් ගැන කිව්වා.

11 යේසුස් ගෝලයන් එක්ක ගෙත්සෙමන උයනට එද්දී පේන විදිහට රෑ දොළහත් පහුවෙලා තිබුණා. යේසුස් ඒ වෙලාවේ ගෝලයන්ට “අවදියෙන් ඉන්න” කියලා කිව්වා. එහෙම කියලා ඔහු යාච්ඤා කරන්න ගියා. (මතෙ. 26:37-39) හැබැයි යේසුස් යාච්ඤා කරන අතරතුරේ ගෝලයන්ට හොඳටම නින්ද ගියා. යාච්ඤා කරලා එද්දී ගෝලයෝ නිදාගෙන ඉන්නවා දැක්කාම යේසුස් එයාලට කිව්වා “අවදිව සිට නොකඩවා යාච්ඤා කරන්න” කියලා. (මතෙව් 26:40, 41 කියවන්න.) ගෝලයෝ ඉන්නේ මහන්සියෙන්, පීඩනයෙන් කියලා යේසුස් දැනන් හිටියා. යේසුස්ට එයාලා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. ඒ නිසයි යේසුස් කිව්වේ කොච්චර කැමති වුණත් ‘එයාලගේ දුර්වලකම’ නිසා ඔහු කියපු දේ කරගන්න එයාලට බැහැ කියලා. යේසුස් යාච්ඤා කරලා ආයෙත් ආපු වතාවන් දෙකේදීම ගෝලයෝ යාච්ඤා කරනවා වෙනුවට නිදාගෙනයි හිටියේ.—මතෙ. 26:42-45.

යාච්ඤා කරන්න මහන්සි නැති වෙලාවක් තෝරගන්න පුළුවන්ද? (12 ඡේදය බලන්න)

12. යාච්ඤා කරගන්න බැරි තරමටම ලොකු පීඩනයක්, මහන්සියක් දැනෙනවා නම් මොකක්ද කරන්න පුළුවන්?

12 සුදුසු වෙලාවක් තෝරගන්න. සමහර දවස්වලට යාච්ඤා කරගන්න බැරි වෙන තරමටම අපිට ලොකු මහන්සියක්, පීඩනයක් දැනෙන්න පුළුවන්. ඔයාටත් එහෙම දැනෙනවාද? එහෙමනම් මොනවාද කරන්න පුළුවන්? සමහරු රෑ වෙලා නිදාගන්න ඔන්න මෙන්න තියලා යාච්ඤා කරනවා වෙනුවට ටිකක් වේලපහ මහන්සිය අඩු වෙලාවක් ඒකට තෝරගන්නවා. තවත් අය කියලා තියෙනවා ඉන්න ඉරියව්වත් අවධානයෙන් යාච්ඤා කරන්න උදව් වෙලා තියෙනවා කියලා. ඒ නිසයි සමහරු පුටුවක ඉඳගෙන නැත්නම් දණ ගහලා යාච්ඤා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒත් යාච්ඤා කරගන්න බැරි තරමටම ඔයා මානසිකව වැටිලා නම් මොකද කරන්නේ? ඔයාට දැනෙන හැම දෙයක්ම අකුරක් නෑර යෙහෝවාට කියන්න. මොකද යෙහෝවා දෙවියන් තරම් ඔයාගේ හැඟීම් තේරුම්ගන්න කෙනෙක් තවත් නැහැ.—ගීතා. 139:4.

රැස්වීමේදී ඔයාට එන මෙසේජ්වලට, ඊමේල්වලට උත්තර යවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? (13 සහ 14 ඡේද බලන්න)

13. යෙහෝවාත් එක්ක කාලේ ගත කරද්දී ෆෝන්, ටැබ් වගේ දේවල් බාධාවක් වෙන්න පුළුවන් කොහොමද?

13 අධ්‍යයනයට බාධාවක් වෙන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා. යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් එකම විදිහ යාච්ඤාව නෙවෙයි. බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන එකත් රැස්වීම්වලට යන එකත් ඒකට උදව් වෙනවා. ඒවාට දෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන් කොහොමද? මේ ප්‍රශ්නේ ගැන ඔයාම හිතලා බලන්න. ‘රැස්වීම්වලදී අධ්‍යයනය කරද්දී අවධානය දෙන්න මට බාධා වෙන දේවල් මොනවාද?’ සමහරවිට ඒ බාධාව ඔයාගේ අතේම ඇති. ඔයාගේ ෆෝන් එකට නැත්නම් ටැබ් එකට එන කෝල්, ඊමේල්, මෙසේජ් ඔයාට බාධාවක් වෙන්න පුළුවන්ද? අද හැම කෙනෙක් ගාවම වගේ ෆෝන් එකක් ටැබ් එකක් තියෙනවා. සමහර පර්යේෂකයන් කියන්නේ “ඩිවයිස් එකක් ළඟ තියාගන්නවා කියන්නෙත් හරියට බාධාවක් ළඟ තියාගන්නවා වගේ වැඩක්” කියලා. මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් කියන දේ බලන්න. “ඩිවයිස්වලට පුළුවන් ඔයාගේ අවධානය ලේසියෙන්ම බිඳලා දාන්න. ඔයා මොනවා හරි දේකට කොච්චර අවධානය දෙන්න ගියාත් ඔයාගේ මනස තියෙන්නේ වෙනම තැනක.” ඔයාලට මතක ඇති සමුළු වැඩසටහනක් පටන්ගන්න කලින් නිවේදනයක් කරනවා ඔයාලගේ ෆෝන් එක, ටැබ් එක අනිත් අයට බාධාවක් වෙන්නේ නැති විදිහට සකස් කරගන්න කියලා. ඔයාටත් පුළුවන්ද යෙහෝවාත් එක්ක කාලය ගත කරද්දී ඔයාට බාධාවක් වෙන්නේ නැති විදිහට ෆෝන් එක, ටැබ් එක සකස් කරගන්න?

14. ෆිලිප්පි 4:6, 7 කියන විදිහට අවධානය දෙන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?

14 අවධානය දෙන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. අධ්‍යයනය කරද්දී නැත්නම් රැස්වීම්වලදී ඔයාට තේරුණොත් ඔයාගේ මනස එහේ මෙහේ යනවා කියලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔහුගෙන් උදව් ඉල්ලන්න. ඔයා ඉන්නේ ලොකු ප්‍රශ්නෙක නම් අවධානය දෙන එක තවත් අමාරු වෙන්න පුළුවන්. හැබැයි කොච්චර අමාරු වුණත් ඉගෙනගන්න දේවලට අවධානය දෙන එක හරිම වැදගත්. ඒ නිසා උදව් ඉල්ලලා දිගටම දෙවියන්ට යාච්ඤා කරන්න. මොකද යෙහෝවා දෙන සමාදානයෙන් ඔයාගේ හදවතට විතරක් නෙවෙයි “මනසටත් ආරක්ෂාවක්” ලැබෙනවා.—ෆිලිප්පි 4:6, 7 කියවන්න.

යෙහෝවා දෙවියන් එක්ක කාලේ ගත කරද්දී ලැබෙන ප්‍රයෝජන

15. යෙහෝවාත් එක්ක කාලේ ගත කරද්දී ලැබෙන එක ප්‍රයෝජනයක් මොකක්ද?

15 යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න, ඔහුට ඇහුම්කන් දෙන්න, ඔහු ගැන හිතන්න ඔයා කාලේ වෙන් කරනවා නම් ඒකෙන් ඔයාට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. මොනවාද ඒ ප්‍රයෝජන? (1) හොඳ තීරණ ගන්න පුළුවන් වෙනවා. බයිබලේ ඒ ගැන කියන දේ බලන්න. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.” (හිතෝ. 13:20) යෙහෝවා දෙවියන් කියන්නේ ප්‍රඥාවේ උල්පතයි. ඉතින් අපි ඔහුත් එක්ක කාලේ ගත කරද්දී ප්‍රඥාවන්ත විදිහට හිතන්න, හොඳ තීරණ ගන්න අපිටත් පුළුවන් වෙනවා. ඒ වගේම යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කොහොමද ඔහු අකමැති දේවලින් ඈත් වෙන්න පුළුවන් කොහොමද කියලත් අපි තේරුම්ගන්නවා.

16. යෙහෝවා දෙවියන් එක්ක කාලේ ගත කරන එක හොඳ ගුරුවරයෙක් වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

16 (2) හොඳ ගුරුවරයෙක් වෙන්න ඔයාට පුළුවන්. අපි කෙනෙක් එක්ක බයිබල් පාඩමක් කරද්දී අපිට ඕනෙ එයාව යෙහෝවා දෙවියන්ට ළං කරන්න. අපි දෙවියන් එක්ක කාලේ ගත කරන එක ඒක කරන්න උදව් වෙනවා. ඒ කොහොමද? අපි යෙහෝවා දෙවියන් එක්ක කතා කරන තරමටම අපේ හිතේ ඔහු ගැන තියෙන ආදරේ තව තවත් වැඩි වෙනවා. ඒක උදව් වෙනවා ශිෂ්‍යයාගේ හිතෙත් යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න. යේසුස් ගැන ටිකක් හිතන්න. යේසුස් කියපු දේවල්වලින් පැහැදිලි වුණා ඔහුගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා. යේසුස්ගේ හිතේ තිබුණ ඒ ආදරේ උදව් වුණා ගෝලයන්ගේ හිතෙත් යෙහෝවා ගැන ලොකු ආදරයක් ඇති කරන්න.—යොහ. 17:25, 26.

17. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න යාච්ඤාව සහ අධ්‍යයනය උදව් වෙන්නේ කොහොමද?

17 (3) විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. හිතන්න ඔයා යෙහෝවාට යාච්ඤා කරලා සහනයක්, මඟ පෙන්වීමක් එහෙම නැත්නම් උදව්වක් ඉල්ලනවා කියලා. දෙවියන් ඔයාගේ යාච්ඤාවට උත්තර දෙන විදිහ දකිද්දී ඔයාගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙයි. (1 යොහ. 5:15) විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන තව දෙයක් මොකක්ද? ඒ තමයි පෞද්ගලික අධ්‍යයනය. බයිබලේ කියනවා “විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් විතරයි” කියලා. (රෝම 10:17) ඉතින් අපි පණිවිඩයට සවන් දෙන තරමටම ඒ කියන්නේ බයිබලේ අධ්‍යයනය කරන තරමටම අපේ විශ්වාසයත් තව තවත් ශක්තිමත් වෙනවා. ඒත් විශ්වාසය ශක්තිමත් කරගන්න නම් නිකම්ම දැනුම ලබා ගෙන විතරක් මදි. ඒ වෙනුවෙන් තව දෙයක් කරන්න ඕනේ. ඒ මොකක්ද?

18. අපි ගැඹුරින් කල්පනා කරන එක වැදගත් ඇයි? උදාහරණයක් දෙන්න.

18 අපි අධ්‍යයනය කරපු දේවල් ගැන ගැඹුරින් හිතලා බලන එකත් හරිම වැදගත්. ඒක තේරුම්ගන්න 77වෙනි ගීතිකාව ලියපු කෙනාගේ අද්දැකීම අපි ටිකක් බලමු. එයා හිතුවේ එයාටයි, ඊශ්‍රායෙල්වරුන්ටයි දෙවියන්ගේ අනුමැතිය නැති වෙලා කියලා. ඒ සිතුවිල්ල එයාගේ මනසේ දෝංකාර දුන්නා. එයා කොච්චර කනස්සල්ලෙන් හිටියාද කියනවා නම් එයාට රෑ නින්ද ගියෙත් නැහැ. (2-8 පද) යෙහෝවා දෙවියන් තමන් වෙනුවෙන්, ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් මොන තරම් දේවල් කළාද කියලා එයා දැනන් හිටියත් එයා ගොඩක් අධෛර්යය වෙලයි හිටියේ. ඒ නිසා එයාගේ හිතට මේ වගේ සැකයක් ආවා. “කරුණාව දක්වන්න දෙවිට අමතක වී ඇද්ද? ඔහු උදහස් වී දයාව නොපෙන්වා සිටින්නේද?” (9වෙනි පදය) ඉතින් ගීතිකාකරු මොකද කළේ? එයා මෙහෙම කියනවා. “ඔබේ සියලු ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරමි.” (12වෙනි පදය) යෙහෝවා දෙවියන් අතීතයේ කරපු බලවත් ක්‍රියා ගැන, ඔහු දයාව පෙන්නපු විදිහ ගැන, ඔහු එයාව සනසවපු විදිහ ගැන ගීතිකාකරු ගැඹුරින් හිතන්න පටන්ගත්තා. (11වෙනි පදය) ඊටපස්සේ මොකද වුණේ? යෙහෝවා දෙවියන් කවදාවත් තමන්ගේ සෙනඟව අත්හරින්නේ නැහැ කියලා මේ ගීතිකාකරුට ලොකු විශ්වාසයක් ඇති වුණා. (15වෙනි පදය) මොකක්ද ඔයා මේකෙන් ඉගෙනගන්නේ? දෙවියන් තමන්ගේ සෙනඟ වෙනුවෙන්, පෞද්ගලිකව ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන ගැඹුරින් හිතලා බලන්න. එතකොට ඔයාගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙයි.

19. යෙහෝවා දෙවියන් එක්ක කාලේ ගත කරන එකෙන් අපිට ලැබෙන තව ප්‍රයෝජනයක් කියන්න.

19 දෙවියන් එක්ක කාලේ ගත කරන එකෙන් අපිට ලැබෙන වැදගත්ම ප්‍රයෝජනය මොකක්ද? (4) යෙහෝවා ගැන තියෙන ආදරේ තව තවත් වැඩි වෙනවා. ආදරය අනිත් හැම ගුණාංගයකටම වඩා බලවත්. මොකද ආදරේට පුළුවන් දෙවියන්ට කීකරු වෙන්න, ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අපිව පොලඹවන්න. ඒ වගේම ඕනම පීඩාවක් දරාගන්න අපිට ශක්තිය දෙන්නත් ආදරේට පුළුවන්. (මතෙ. 22:37-39; 1 කොරි. 13:4, 7; 1 යොහ. 5:3) දෙවියන් එක්ක ආදරෙන් පිරුණු කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න එක තරම් වටිනා දෙයක් තව තියෙනවාද!—ගීතා. 63:1-8.

20. යෙහෝවාට දෙන කාලයට බාධාවක් නොවෙන විදිහට දේවල් සැලසුම් කරන්න පුළුවන් කොහොමද?

20 යාච්ඤාව, අධ්‍යයනය, ගැඹුරින් කල්පනා කරන එක අපේ නමස්කාරයේ කොටසක්. යේසුස් වගේ ඔයාටත් පුළුවන් ඒ දේවල් කරන්න නිස්කලංක තැනක් හොයාගන්න. එහෙම කරද්දී බාධාවක් වෙන්න පුළුවන් දේවල් අයින් කරන්න. නමස්කාරයේ දේවල්වලට හොඳ අවධානයක් දෙන්න උදව් ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න. දැන් ඔයාගේ කාලය හරි විදිහට පාවිච්චි කරනවා නම් යෙහෝවා ඔයාට ගොඩක් ආශීර්වාද කරයි. ඒ වගේම පාරාදීසයේදී යෙහෝවා දෙවියන් එක්ක සදහටම කාලේ ගත කරන්නත් ඔයාට අවස්ථාව ලැබෙයි.—මාක් 4:24.

ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

^ යෙහෝවා තමයි අපේ හොඳම යාළුවා. අපේ ජීවිතේ වටිනාම දේ ඔහුත් එක්ක තියෙන බැඳීමයි. අපිට ඕනෙ යෙහෝවා දෙවියන්ව තව තවත් හොඳින් දැන හඳුන ගන්න. ඒත් ඒකට අපේ පැත්තෙන් කාලය දෙන්න ඕනෙ කියලා අපි දන්නවා. ඒත් මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් දැන හඳුන ගන්න, ඔහුට තවත් ළං වෙන්න අපි කාලේ හොයාගන්නේ කොහොමද? එහෙම කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.