Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 3

යේසුස් හෙළූ කඳුළු කියා දෙන පාඩම්

යේසුස් හෙළූ කඳුළු කියා දෙන පාඩම්

“යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියේය.”—යොහ. 11:35.

ගීතිකාව 17 “මා කැමතියි”

මේ ලිපියෙන් *

1-3. අපේ ඇස්වලට කඳුළු එන්නේ මොන වගේ හේතු නිසාද?

 ඔයා අන්තිමටම ගොඩක් හැඟීම්බර වෙලා අඬපු දවස මතකද? සමහර වෙලාවලට සතුටටත් අපේ ඇස්වලට කඳුළු එනවා නේද? හැබැයි හුඟක් වෙලාවට අපේ හදවතට දැනෙන වේදනාව තමයි අපේ ඇස්වලින් කඳුළු විදිහට වැටෙන්නේ. උදාහරණෙකට එක්සත් ජනපදයේ ඉන්න සහෝදරි ලොරෙලි මෙහෙම කියනවා. “දුව නැති වුණ වෙලාවේ මගේ හිතට කොච්චර වේදනාවක් දැනුණාද කියනවා නම් මට හිතුණේ මගේ හිත පුංචි පුංචි කෑලිවලට කැඩිලා යනවා කියලයි. මොන දේ කළත් ඒ වේදනාව පොඩ්ඩක්වත් තුනී වුණේ නැහැ.” *

2 සමහර වෙලාවට අපේ ඇස්වලට කඳුළු එන්න තවත් හේතු තියෙනවා. ජපානයේ ස්ථාවර පුරෝගාමි සේවය කරන සහෝදරි හිරෝමි කියන දේ බලන්න. “බයිබලේ තියෙන පණිවිඩය කොච්චර කිව්වත් සමහර අය ඒකට එච්චර උනන්දුවක් පෙන්නන්නේ නැති වුණාම මට ගොඩක් දුක හිතෙනවා. සමහර වෙලාවට මං ඇස්වල කඳුළු පුරෝගෙන යෙහෝවාට යාච්ඤා කරනවා ‘අනේ යෙහෝවා උනන්දුව පෙන්නන කෙනෙක් හොයාගන්න මට උදව් කරන්න’ කියලා.”

3 ඒ සහෝදරියන්ට දැනුණා වගේ ඔයාටත් දැනිලා තියෙනවාද? ඔව්, හුඟදෙනෙක්ට එහෙම දැනෙනවා. (1 පේතෘ. 5:9) අපි හැමෝටම ඕනෙ “සතුටින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න.” ඒත් සමහර වෙලාවට වියෝදුක නිසා, අධෛර්යය වීම් නිසා නැත්නම් අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන දේවල්වලට මුහුණ දෙන්න වෙන නිසා අපිටත් යෙහෝවාට සේවය කරන්න වෙලා තියෙන්නේ කඳුළු සලමින්. (ගීතා. 6:6; 100:2) ඔයාත් ඉන්නේ ඒ වගේ තත්වයක නම් දුකෙන් ගොඩ එන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

4. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

4 සමහර අවස්ථාවලදී යේසුස්ගේ හිතටත් ලොකු වේදනාවක් දැනුණා. බයිබලේ කියනවා ඒ නිසා ‘ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා’ කියලා. (යොහ. 11:35; ලූක් 19:41; 22:44; හෙබ්‍රෙ. 5:7) දැන් අපි යේසුස් කඳුළු හෙළපු ඒ වගේ අවස්ථා කීපයක් ගැන බලමු. ඒ අවස්ථාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපි බලමු. වේදනාත්මක දේවල්වලට මුහුණ දෙද්දී දුක දරාගන්න ඒ දේවල් අපිට උදව් වෙයි.

යාළුවන් වෙනුවෙන් හැඬූ කඳුළු

වියෝදුකෙන් ඉන්න අයට යේසුස් වගේ සහනයක් වෙන්න (5-9 ඡේද බලන්න) *

5. යොහන් 11:32-36 වාර්තාවෙන් යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 ක්‍රි.ව. 32 සීත ඍතුවේදී යේසුස්ගේ කිට්ටු යාළුවෙක් වුණ ලාසරුස් අසනීප වෙලා හදිස්සියේ මිය ගියා. (යොහ. 11:3, 14) ලාසරුස්ට මරියා සහ මාර්තා කියලා සහෝදරියන් දෙන්නෙක් හිටියා. යේසුස් ලාසරුස්ට වගේම ඒ දෙන්නාටත් ගොඩක් ආදරේ කළා. තමන්ගේ සහෝදරයාගේ මරණය නිසා ඒ දෙන්නා හිටියේ ගොඩක් දුකෙන්. ලාසරුස් මැරුණාට පස්සේ යේසුස් මාර්තාවයි, මරියාවයි හම්බ වෙන්න බෙතානියට ආවා. යේසුස් එනවා කියලා දැනගත්තාම මාර්තා යේසුස්ව හම්බ වෙන්න ගිහින් මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.” (යොහ. 11:21) ඇස්වල කඳුළු පුරෝගෙන මාර්තා ඒ වචන කියපු විදිහ ඔයාලට හිතින් මවාගන්න පුළුවන්ද? මාර්තා එක්ක කතා කරලා ටික වෙලාවකට පස්සේ යේසුස් දැක්කා මරියායි, අනිත් අයයි අඬන විදිහ. ඒ වෙලාවේ “යේසුස්ගේ ඇස් කඳුළින් පිරිලා ගියා.”යොහන් 11:32-36 කියවන්න.

6. ලාසරුස් මැරුණ වෙලාවේ යේසුස් ඇඬුවේ ඇයි?

6 ලාසරුස් මැරුණ වෙලාවේ යේසුස් ඇඬුවේ ඇයි? ‘ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්’ පොතේ මෙහෙම කියනවා. “යේසුස්ගේ ආදරණීය යාළුවා මැරුණ එක ගැනත් ඒ නිසා එයාගේ සහෝදරියන් විඳපු වේදනාව ගැනත් හිතද්දී ‘යේසුස්ට මහත් ශෝකයක් දැනිලා ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා.’” * සමහරවිට ලාසරුස් ලෙඩ ඇදේ ඉද්දී විඳපු වේදනාව, මරණ මොහොත ළං වෙද්දී ලාසරුස්ට දැනුණ විදිහ ගැන හිතද්දී යේසුස්ගේ හිතට ලොකු දුකක් දැනෙන්න ඇති. එහෙමත් නැත්නම් ලාසරුස්ගේ වෙන් වීම නිසා කම්පනයට පත් වෙලා හිටපු මාර්තාවයි, මරියාවයි දැකලා ඔහුට ලොකු වේදනාවක් දැනෙන්න ඇති. සමහරවිට ඔයාගේ කිට්ටු යාළුවෙක්, ඔයාගේ පවුලේ කෙනෙක් මරණය නිසා ඔයාගෙන් වෙන් වුණා නම් යේසුස්ට දැනුණේ කොහොමද කියලා ඔයාටත් තේරුම්ගන්න පුළුවන්. දැන් අපි ලාසරුස්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් තුනක් ගැන බලමු.

7. ලාසරුස්ගේ සිද්ධියෙන් අපිට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 ඔයාට දැනෙන විදිහ යෙහෝවා දෙවියන්ට තේරෙනවා. බයිබලය කියනවා ‘දෙවිගේ ගතිලක්ෂණ සියල්ල යේසුස් තුළින් සම්පූර්ණයෙන්ම දැකගත හැක’ කියලා. (හෙබ්‍රෙ. 1:3) එහෙමනම් යේසුස්ට ඇඬුණ එකෙන් අපිට පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන්ටත් ඒ වෙලාවේ ඒ වගේම දුකක් දැනුණා කියලා. (යොහ. 14:9) වියෝදුක නිසා ඔයාත් ඉන්නේ ලොකු වේදනාවකින්ද? එහෙමනම් ඒ වේදනාව යෙහෝවා දෙවියන් දකිනවා විතරක් නෙවෙයි, ඒක ඒ විදිහටම ඔහුට දැනෙනවා කියලත් අමතක කරන්න එපා. ඔහුට ඕනෙ ඔයාගේ බිඳුණු හිත සනසලා ඒ දුකෙන් ගොඩ එන්න ඔයාට උදව් කරන්න.—ගීතා. 34:18; 147:3.

8. මරණය නිසා අපෙන් වෙන් වුණ අයව යේසුස් නැවත නැඟිටවයි කියලා අපිට සහතික වෙන්න පුළුවන් කොහොමද?

8 මරණය නිසා අපෙන් වෙන් වුණ ආදරණීයයන්ව නැවත නැඟිටවන්න යේසුස් ආසාවෙන් බලන් ඉන්නවා. යේසුස්ගේ ඇස් කඳුළින් පිරිලා යන්න ටික වෙලාවකට කලින් ඔහු මාර්තාට මෙහෙම කිව්වා. “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි.” යේසුස් කියපු දේ ගැන මාර්තාට කිසිම සැකයක් තිබුණේ නැහැ. (යොහ. 11:23-27) මොකද දෙවියන්ට විශ්වාසවන්තව නමස්කාර කරපු කෙනෙක් විදිහට මාර්තා දැනගෙන හිටියා අතීතයේදී එලියා සහ එලිෂා මැරුණු අයව නැවත නැඟිටවපු විදිහ. (1 රාජා. 17:17-24; 2 රාජා. 4:32-37) ඒ වගේම යේසුස් කරපු නැවත නැඟිටුවීම් ගැනත් මාර්තා දැනගෙන ඉන්න ඇති. (ලූක් 7:11-15; 8:41, 42, 49-56) ඔයා ආදරේ කරන අයවත් යේසුස් නැවත නැඟිටුවයි කියලා ඔයාටත් විශ්වාසයෙන් ඉන්න පුළුවන්. ඒ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ මොකද්ද? මතකද අපි මුලින් බැලුවා මාර්තාවයි, මරියාවයි සනසන්න ගිය වෙලාවේ යේසුස් ඇඬුවා කියලා? ඒකෙන් පැහැදිලි වෙනවා යේසුස්ට ඔහුගේ යාළුවන් ගැන කොච්චර කැක්කුමක් තියෙනවාද කියලා. ඒ නිසා ඔයා ආදරේ කරන අයවත් නැවත නැඟිටුවන්න ඔහු ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා කවදාවත් අමතක කරන්න එපා.

9. වේදනාවෙන් ඉන්න අයට උදව් කරන්න යේසුස් වගේ ඔයාට පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

9 වියෝදුකෙන් ඉන්න අයට සහනයක් වෙන්න. යේසුස් මාර්තායි, මරියායි එක්ක ඇඬුවා විතරක් නෙවෙයි එයාලා කියන දේවල්වලට හොඳට ඇහුම්කන් දුන්නා. එයාලව සැනසුවා. අපිටත් පුළුවන් යේසුස්ව ආදර්ශයට ගන්න. ඕස්ට්‍රේලියාවේ වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන ඩෑන් මෙහෙම කියනවා. “මගේ නෝනා නැති වුණ එක දරාගන්න මට ගොඩක් අමාරු වුණා. සභාවේ සහෝදරයෝ දවල්ද රෑද කියලා බලන්නේ නැතුව මං ගැන හොයලා බැලුවා. මගේ උදව්වට ආවා. මගේ දුක කියද්දී එයාලා මට හොඳට ඇහුම්කන් දුන්නා. එයාලා මට නිදහසේ අඬන්න ඉඩ දුන්නා. මුකුත්ම කිව්වේ නැහැ. සමහර දවස්වලට දුක වැඩිකමට මට කිසිම දෙයක් කරගන්න ශක්තියක් තිබ්බේ නැහැ. ඒ වගේ වෙලාවට එයාලා තමයි ඇවිත් ගෙදර වැඩ කරලා දුන්නේ. එයාලා මගේ කාර් එක හේදුවා. ගෙදරට ඕන කරන කෑම බීම ගෙනත් දුන්නා. සමහර දවස්වලට මට උයලාත් දුන්නා. එයාලා එකතු වෙලා මාත් එක්ක යෙහෝවාට යාච්ඤා කළා. එයාලා ඇත්තටම ‘විපතකදී උදව් කරන්න ඉපදුණු සහෝදරයන්.’”—හිතෝ. 17:17.

මිනිසුන් වෙනුවෙන් හැඬූ කඳුළු

10. ලූක් 19:36-40 තියෙන සිද්ධිය විස්තර කරන්න.

10 ක්‍රි.ව. 33 නිසාන් 9වෙනිදා යේසුස් යෙරුසලමට ආවා. ඒ වෙලාවේ මොකද වුණේ? මිනිස්සු එයාලගේ පිට වස්ත්‍ර ගලවලා යේසුස් එන මඟ දිගට ඇතිරුවා. එයාලා එහෙම කළේ යේසුස්ව රජෙක් විදිහට පිළිගන්න. ඒක මොන තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වෙන්න ඇද්ද! (ලූක් 19:36-40 කියවන්න.) හැබැයි ඊළඟට වුණේ කවුරුවත් හිතපු නැති දෙයක්. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. ‘යේසුස් නුවරට ළඟා වුණාම නුවර දැකලා ඔහුට ඒ ගැන මහත් දුකක් ඇති වුණා.’ ඔහු අඬඅඬා යෙරුසලමට ඉස්සරහට වෙන්න යන දේ ගැන කිව්වා.—ලූක් 19:41-44.

11. යෙරුසලමේ හිටපු අය ගැන හිතලා යේසුස් ඇඬුවේ ඇයි?

11 ටිකදෙනෙක් යේසුස්ව තමන්ගේ රජ විදිහට පිළිගත්තා. හැබැයි ජාතියක් විදිහට එයාලා යේසුස් කිව්ව පණිවිඩයට ඇහුම්කන් දුන්නෙවත් ඔහුව ගැලවුම්කරු විදිහට පිළිගත්තෙවත් නැහැ. ඒක ඔහුගේ හිතට ලොකු වේදනාවක් වුණා. යේසුස්ව ප්‍රතික්ෂේප කරන නිසා යෙරුසලමේ විනාශයේදී හුඟදෙනෙක් මැරෙනවා කියලත් ඉතුරු වෙන අයව වහලුන් විදිහට ගෙනියනවා කියලත් යේසුස් කිව්වා. (ලූක් 21:20-24) එදා යේසුස්ව ප්‍රතික්ෂේප කළා වගේ අදත් හුඟදෙනෙක් අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔයාගේ පැත්තෙත් දේවරාජ්‍යයේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නේ හරිම ටිකදෙනයිද? එහෙමනම් යෙරුසලමේ විනාශය ගැන යේසුස් කඳුළු සලපු එකෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි පාඩම් තුනක් ගැන බලමු.

12. යේසුස් අනිත් අය වෙනුවෙන් හෙළපු කඳුළුවලින් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 යෙහෝවා දෙවියන් මිනිස්සු ගැන ගොඩක් සැලකිලිමත්. යෙහෝවා දෙවියන් මිනිස්සුන්ට කොච්චර ආදරෙයිද එයාලගේ ජීවිත ඔහුට කොච්චර වටිනවාද කියන දේ යේසුස් හෙළපු කඳුළු අපිට මතක් කරලා දෙනවා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය.” (2 පේතෘ. 3:9) යෙහෝවා දෙවියන්ගේ සේවකයන් විදිහට අද අපිටත් අනිත් අය ගැන තියෙන්නේ ලොකු ආදරයක්. ඒ නිසා ශුභාරංචිය කියලා එයාලගේ ජීවිතේ එළිය කරන්න වෙහෙස මහන්සි නොබලා කරන්න පුළුවන් හැම දේම අපි කරනවා.—මතෙ. 22:39. *

යේසුස් වගේ සේවේ කරන වෙලාවල් වෙනස් කරගන්න (13 සහ 14 ඡේද බලන්න) *

13-14. යේසුස් අනිත් අයට දයානුකම්පාව පෙන්නුවේ කොහොමද? අපිට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

13 යේසුස් වෙහෙස මහන්සි නොබලා සේවය කළා. යේසුස් ලැබෙන හැම අවස්ථාවකදීම දෙවියන් ගැන අනිත් අයට ඉගැන්නුවා. (ලූක් 19:47, 48) එහෙම කරන්න ඔහුව පෙලඹුවේ මොකක්ද? ඒ, යේසුස්ගේ හිතේ මිනිස්සු ගැන තිබුණ දයානුකම්පාව සහ ආදරය. මිනිසුන්ට යේසුස්ගෙන් ඉගෙනගන්න කොච්චර ආසාවක් තිබුණද කියනවා නම් සමහර අවස්ථාවලදී යේසුස්ටයි, ඔහුගේ ගෝලයන්ටයි “කෑම කන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ.” (මාක් 3:20) යේසුස්ගෙන් ඉගෙනගන්න ආස වුණු නිකදේමස් යේසුස්ව හම්බ වෙන්න ආවේ රාත්‍රි කාලයේදී. ඒ වුණත් යේසුස් එයා වෙනුවෙන් කාලේ දුන්නා. (යොහ. 3:1, 2) ඇත්ත, යේසුස්ට ඇහුම්කන් දුන්න හුඟදෙනෙක් යේසුස්ගේ ගෝලයන් වුණේ නැහැ. හැබැයි ඔහුට පුළුවන් වුණා ඒ හැමෝටම හොඳ සාක්ෂියක් දෙන්න. යේසුස්ව ආදර්ශයට අරන් හම්බ වෙන හැමෝටම ශුභාරංචිය කියන්න අපිටත් පුළුවන්ද? (ක්‍රියා 10:42) එහෙම කරන්න නම් අපි ශුභාරංචිය දේශනා කරන විදිහ වෙනස් කරගන්න ඕනේ.

14 වෙනස්කම් කරගන්න සූදානමෙන් ඉන්න. දේශනා කරන වෙලාවල් වෙනස් කරගත්තේ නැත්නම් සමහරවිට උනන්දුව දක්වන අයව අපිට මඟහැරෙන්න පුළුවන්. පුරෝගාමි සේවය කරන මැටිල්ඩා කියන දේ බලන්න. “මහත්තයායි, මමයි දවසේ එක එක වෙලාවල්වල සේවේ යන්න සැලසුම් කළා. අපි දෙන්නා උදෙන්ම ව්‍යාපාරික තැන්වලට යනවා. ඊටපස්සේ දවල් වෙද්දී අපි පොදු සේවේ කරනවා. හවස් වරුවේ වැඩිපුර සෙනඟ ගෙවල්වල ඉන්න නිසා ඒ වෙලාවට තමයි අපි ගෙයින් ගෙට සේවේ දාගත්තේ.” ඒකෙන් පැහැදිලි වෙනවා අපි දේශනා සේවේ යන්න ඕනෙ අපිට පහසු වෙලාවට නෙවෙයි මිනිස්සුන්ව වැඩිපුර හම්බ වෙන්න පුළුවන් වෙලාවලදී කියලා. එහෙම කරද්දී පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කරලා යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න අපිට පුළුවන්.

පියාගේ නම වෙනුවෙන් හැඬූ කඳුළු

වේදනාවෙන් ඉද්දී හිතේ තියෙන හැම දේම කියලා යේසුස් වගේ යෙහෝවාට කන්නලව් කරන්න (15-17 ඡේද බලන්න) *

15. යේසුස්ගේ මරණයට කලින් රාත්‍රියේදී සිද්ධ වුණේ මොනවාද? (ලූක් 22:39-44)

15 ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා හැන්දෑවේ යේසුස් ගෙත්සෙමන උයනට ගියා. ඒ වෙලාවේ යේසුස් හිටියේ ලොකු වේදනාවකින්. ඔහු හදවතේ තිබුණ හැම දෙයක්ම කියලා යෙහෝවාට යාච්ඤා කළා. (ලූක් 22:39-44 කියවන්න.) යේසුස් ඒ වෙලාවේ යාච්ඤා කරපු විදිහ ගැන බයිබලේ මෙහෙම කියනවා. ඔහු ‘බලවත් ලෙස හඬා වැලපෙමින් කඳුළු සලමින් දෙවියන්ට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කළේය.’ (හෙබ්‍රෙ. 5:7) තමන්ගේ මරණයට කලින් දා රාත්‍රියේ යේසුස් කඳුළු සලමින් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවේ මොනවාද? අවසානය දක්වා විශ්වාසවන්තව ඉන්න, දිගටම දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහු යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. තමන්ගේ ආදරණීය පුතා ගොඩක් වේදනාවෙන් කරපු මේ යාච්ඤාවට යෙහෝවා ඇහුම්කන් දුන්නා. ඒ නිසයි යේසුස්ව ශක්තිමත් කරන්න ඔහු දේවදූතයෙක්ව එව්වේ.

16. යේසුස් ගෙත්සෙමන උයනේ යාච්ඤා කරද්දී ලොකු පීඩනයකින් හිටියේ ඇයි?

16 ගෙත්සෙමන උයනේදී යේසුස්ට මේ තරම් පීඩනයක් දැනෙන්න හේතු වුණේ මොකක්ද? යේසුස් දැනන් හිටියා ඔහුට මිය යන්න වෙන්නේ ඔහු වැඩියෙන්ම ආදරය කරන කෙනාගේ නමට අපහාස කරන්නෙක් විදිහට කියලා. ඒ වගේම අවසන් හුස්ම හෙළන කල්ම දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් විතරයි දෙවියන්ගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්න පුළුවන් කියලත් යේසුස් දැනන් හිටියා. සමහරවිට යේසුස් වගේ අපිත් අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන අවස්ථාවලට මුහුණ දෙනවා. එහෙමනම් යේසුස් ගෙත්සෙමන උයනේදී හෙළපු කඳුළුවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි පාඩම් තුනක් ගැන බලමු.

17. යේසුස් බැගෑපත් වෙලා කරපු යාච්ඤාවෙන් යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

17 යෙහෝවා දෙවියන් ඔයාගේ කන්නලව්වලට සවන් දෙනවා. යේසුස් බැගෑපත් වෙලා කරපු යාච්ඤාවට යෙහෝවා දෙවියන් සවන් දුන්නා. ඇයි ඒ? මොකද යේසුස්ගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න එක සහ ඔහුගේ නමට වෙලා තියෙන කැළැල අයින් කරන එක. ඒ වගේ අපේ ජීවිතෙත් වැදගත්ම දේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක නම්, දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන එක නම් අපි ඔහුට කන්නලව් කරද්දී ඔහු කවදාවත් අහක බලන්නේ නැහැ.—ගීතා. 145:18, 19.

18. යේසුස් අනිත් අයව තේරුම්ගන්න හොඳ යාළුවෙක් කියලා කියන්න පුළුවන් ඇයි?

18 ඔයාට දැනෙන විදිහ යේසුස්ට තේරෙනවා. ඔයා මොකක් හරි ප්‍රශ්නයක් නිසා වේදනාවෙන් ඉදිද්දී ඔයාව තේරුම්ගන්න ඔයාට කිට්ටු යාළුවෙක් ඔයා ළඟින්ම ඉන්නවා නම් ඒක හිතට ලොකු සහනයක් නේද? ඒ යාළුවා ඔයා මුහුණ දුන්න ප්‍රශ්නවලටම මුහුණ දීලා තියෙනවා නම් එයා ඉන්න එක තවත් ලොකු හයියක්. යේසුස් හරියට ඒ යාළුවා වගේ. අසරණකම කියන්නේ මොකක්ද කියලා ඔහු හොඳටම දන්නවා. ඒ වගේම මිනිස්සු විදිහට අපි දුර්වලයි කියලත් ඔහු තේරුම් අරන් ඉන්නවා. ඒ නිසයි “උපකාර අවශ්‍ය වේලාවේදීම” අපිට උදව් කරන්න ඔහු සූදානමින් ඉන්නේ. (හෙබ්‍රෙ. 4:15, 16) අපේ යාළුවාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් දෙයක් තියෙනවා. ගෙත්සෙමන උයනේදී වේදනාවෙන් හිටපු ඔහු දේවදූතයන්ගේ උදව් පිළිගත්තා. ඒ වගේ අපිත් යෙහෝවා දෙන උදව් පිළිගන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. අපේ ප්‍රකාශනයකින්, වීඩියෝ එකකින්, දේශනයකින්, වැඩිමහල්ලෙක්ගෙන් එහෙමත් නැත්නම් අවබෝධයෙන් වැඩ කරන යාළුවෙක්ගෙන් යෙහෝවා දෙවියන් ඒ උදව් අපිට ලබා දෙන්න පුළුවන්.

19. ඔයාගේ විශ්වාසය සෝදිසියට ලක් වෙන වෙලාවලදී ඔයාට ශක්තියක් වෙන්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න.

19 යෙහෝවා දෙවියන් ඔයාට “සමාදානය” දෙනවා. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී යෙහෝවා අපිට ශක්තිය දෙන්නේ කොහොමද? අපි යාච්ඤාවෙන් අපේ ප්‍රශ්න ගැන යෙහෝවාට කියද්දී “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්” ඔහු අපිට දෙනවා. (ෆිලි. 4:6, 7) ඒ සමාදානයට පුළුවන් කැලඹිලා තියෙන අපේ සිතුවිලි සන්සුන් කරන්න. පැහැදිලි මනසකින් හිතන්න අපිට උදව් කරන්න. ඒක මොන තරම් ඇත්තක්ද කියලා සහෝදරි ලොයිස්ගේ අද්දැකීමෙන් පැහැදිලියි. එයා මෙහෙම කියනවා. “මං තනිකමත් එක්ක ලොකු සටනක් කරන කෙනෙක්. සමහර වෙලාවට මට දැනෙනවා යෙහෝවා දෙවියන් මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ කියලා. හැබැයි එහෙම හිතෙද්දී මං ඉක්මනටම මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියලා යෙහෝවාට යාච්ඤා කරනවා. ඊටපස්සේ මගේ හිතට දැනෙන්නේ පුදුම සහනයක්.”

20. යේසුස් හෙළපු කඳුළුවලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

20 යේසුස් හෙළපු කඳුළුවලින් අපි කොච්චර වටිනා දේවල් ඉගෙනගත්තාද! ඒ දේවල් අපි ටිකකට මතක් කරගමු. වියෝදුකෙන් ඉන්න අයට සහනයක් වෙන්න පුළුවන් විදිහ වගේම යෙහෝවා දෙවියන්, යේසුස් වියෝදුකෙන් ඉන්න අපිව සනසන විදිහත් අපි ඉගෙනගත්තා. යෙහෝවා දෙවියන් සහ යේසුස් වගේ අපි අනිත් අයට දයානුකම්පාවෙන් සලකනවා නම් ශුභාරංචිය කියන්න අපි අපේ උපරිමය කරනවා. යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට හැඟෙන විදිහ තේරුම්ගන්නවා. අපේ දුර්වලකම් තේරුම් අරන් විඳදරාගන්න අපිට උදව් කරනවා. ඒ දේවල් අපි දිගටම මතකයේ තියාගන්නවා නම් අපේ දෑස් කඳුළින් පිරිලා ගියාත් ඒ කඳුළු අතරින් හිනා වෙන්න අපිට පුළුවන්. මොකද ‘දෙවියන් අපේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන’ කාලය වැඩි ඈතක නෙවෙයි!—එළි. 21:4.

ගීතිකාව 120 යේසුස් මෙන් නිහතමානී වෙමු

^ සමහර අවස්ථාවලදී යේසුස් කොච්චර හැඟීම්බර වුණාද කියනවා නම් ඔහුගේ ඇස් කඳුළුවලින් පිරිලා ගියා. අපි මේ ලිපියෙන් බලන්නේ යේසුස් කඳුළු හෙළපු අවස්ථා තුනක් ගැනයි. ඒ වගේම ඒ අවස්ථාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපි බලනවා.

^ සමහර නම් වෙනස් කර ඇත.

^ ‘ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්’ පොතේ 2වෙනි වෙළුමේ 69වෙනි පිටුව බලන්න.

^ මතෙව් 22:39 සඳහන් “අසල්වැසියා” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් වෙන්නේ ගෙවල් අවට ඉන්න අයව විතරක් නෙවෙයි. කෙනෙක්ට මුණගැහෙන ඕනම කෙනෙක්ව ඒකට ඇතුළත් වෙන්න පුළුවන්.

^ පින්තූරයේ අදහස: යේසුස් මාර්තාවයි, මරියාවයි සැනසුවා. යේසුස් වගේ අපිටත් පුළුවන් වියෝදුකෙන් ඉන්න අයව සනසන්න.

^ පින්තූරයේ අදහස: රාත්‍රී කාලේදී වුණත් නිකදේමස්ට උගන්වන්න යේසුස් කැමැත්තෙන් හිටියා. අපිත් බයිබලය ගැන අනිත් අයට උගන්වන්න ඕනෙ එයාලට පහසු වෙලාවලදී.

^ පින්තූරයේ අදහස: දිගටම විශ්වාසවන්තව ඉන්න ශක්තිය ඉල්ලලා යේසුස් දෙවියන්ට යාච්ඤා කළා. පීඩාවලට මුහුණ දෙද්දී අපිත් කරන්න ඕනෙ ඒ දේමයි.