පාඩම් ලිපිය 3
ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු
අඳුරු කාලවලදීත් යෙහෝවා ඔයා ළඟින්මයි
‘යෙහෝවා දෙවි, ඔබව ස්ථිර කර ශක්තිමත් කරනු ඇත.’ —1 පේතෘ. 5:10.
ලිපියේ අරමුණ
ජීවිතේ අඳුරුම කාලවලදී යෙහෝවාගේ උදව් අද්දකින්න අපිට පුළුවන් කොහොමද කියලා අපි බලමු.
1-2. අපේ සහෝදර සහෝදරියන් මුහුණ දීලා තියෙන්නේ මොනවාටද?
ලුයිස් a කියන්නේ කාලයක් තිස්සේ දෙවියන්ට විශ්වාසවන්තව සේවේ කරපු සහෝදරයෙක්. දවසක් එයා දැනගත්තා එයාට දරුණු පිළිකාවක් තියෙනවා කියලා. දොස්තරලා කිව්වේ එයා ජීවත් වෙන්නේ මාස කීපයයි කියලයි. මොනිකාගේ මහත්තයා වැඩිමහල්ලෙක්. මොනිකා මහත්තයාත් එක්ක උද්යෝගයෙන් නමස්කාරයේ දේවල් කළා. හැබැයි දවසක් මොනිකා දැනගත්තා මහත්තයා අවුරුදු ගාණක් තිස්සේ ගත කරලා තියෙන්නේ දෙබිඩි ජීවිතයක් කියලා. ඔලීවියා තනිකඩ සහෝදරියක්. එයාලා ඉන්න පැත්තට සුළිකුණාටුවක් ආපු නිසා එයාට ගේදොර දාලා යන්න වුණා. හැබැයි පස්සේ බලද්දී එතන ගෙයක් තිබුණාද කියලවත් හොයාගන්න නැහැ. ඒ අද්දැකීම්වලින් පේනවා ඇහිපිය හෙළන සැණින් අපේ ජීවිත උඩු යටිකුරු වෙන්න පුළුවන් කියලා. කවදා හරි දවසක ඔයාත් ඒ වගේ දේකට මුහුණ දීලා තියෙනවාද?
2 අපි යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කළත් මේ ලෝකේ අයට වගේ අපිටත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. අපි ඔහුට සේවේ කරන නිසා හුඟක් පීඩා, විරුද්ධවාදිකමුත් එනවා. මේ කාලේ දෙවියන් ඒ හැම දේකින්ම අපිව ආරක්ෂා කරන්නේ නැහැ. හැබැයි අපේ උදව්වට අපි ළඟින්ම ඉන්නවා කියලා ඔහු පොරොන්දු වෙනවා. (යෙසා. 41:10) ඉතින් ඔහුගේ උදව් ලැබෙන නිසා ප්‍රශ්නේ කොච්චර දරුණු වුණත් අපිට දිගටම සතුටින් ඉන්න පුළුවන්. හොඳ තීරණ ගන්න පුළුවන්. ඒ වගේම ඔහුව අත්හරින්නේ නැතුව ඉන්නත් පුළුවන්. අපි මේ ලිපියෙන් බලමු අපේ ජීවිතේ අඳුරුම කාලවලදී යෙහෝවා අපිට උදව් කරන විදි හතරක් ගැන. ඒ උදව් ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලත් බලමු.
යෙහෝවා ඔයාව මුර කරනවා
3. දරුණු දේකට මුහුණ දෙද්දී කරන්න අමාරුම දේ මොකක්ද?
3 අභියෝගය. දරුණු දෙයක් වෙද්දී අපිට පැහැදිලිව හිතන්න බැහැ, හරි තීරණ ගන්න බැහැ. ඒ වගේ වෙලාවට අපේ හදවත පැලෙන තරම් වේදනාවක් දැනෙනවා. දරන්න බැරි පීඩනයක් මනසට දැනෙනවා. සමහර වෙලාවට අපිට දැනෙන්නේ ගන මීදුමක් අපිව වෙලාගෙන තියෙනවා වගේ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. බලන්න ඔලීවියා කියන දේ. “සුළිකුණාටුවෙන් අපේ ගේ බිමටම සමතලා වුණා. ඒ වෙලාවේ මට දැනුණ අසරණකම වචනවලින් විස්තර කරන්න බෑ.” මහත්තයාගේ ද්‍රෝහිකම ගැන මොනිකා මෙහෙම කියනවා. “කවදාවත්ම වෙන්නෑ කියලා හිතපු දේමයි අන්තිමේදී වුණේ. මාව බින්දුවට නෙවෙයි, බින්දුවෙනුත් පල්ලෙහාට වැටුණා. මට දැනුණේ මගේ හදවත කීතු කීතුවලට ඉරිලා ගියා වගේ. කිසිම දෙයක් හිත එකලස් කරගෙන කරන්න මට බැරි වුණා.”
4. ෆිලිප්පි 4:6, 7 යෙහෝවා පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද?
4 යෙහෝවා කරන දේ. ඔහු පොරොන්දු වෙනවා අපිට සමාදානය දෙනවා කියලා. ඒක බයිබලේ හඳුන්වන්නේ “දෙවි ලබා දෙන සමාදානය” කියලා. (ෆිලිප්පි 4:6, 7 කියවන්න.) ඒ සමාදානය තමයි යෙහෝවා එක්ක තියෙන කිට්ටු බැඳීම නිසා අපේ හදවතටයි, මනසටයි දැනෙන සන්සුන්කම. ඒක ‘කිසිම මිනිසෙක්ට වටහාගන්න බැරි සමාදානයක්.’ ඒක ලැබෙද්දී හිතට දැනෙන සහනය වචනවලින් විස්තර කරන්න බැහැ. කවදා හරි අඬඅඬ යාච්ඤා කරද්දී ඒ වගේ සහනයක් ඔයාටත් දැනිලා තියෙනවාද? අන්න ඒකට තමයි “දෙවි ලබා දෙන සමාදානය” කියන්නේ.
5. දෙවියන් දෙන සමාදානය අපේ හදවතයි, මනසයි ආරක්ෂා කරන්නේ කොහොමද?
5 ෆිලිප්පි 4:7 කියනවා ඒ සමාදානය අපේ “හදවතත් මනසත් ආරක්ෂා කරනවා” කියලා. “ආරක්ෂා කරනවා” කියද්දී මුල් භාෂාවෙන් පාවිච්චි කරලා තියෙන්නේ නුවරක් මුර කරන්න පත් කරලා ඉන්න හමුදා කණ්ඩායමක් විස්තර කරන වචනයක්. ඒ වගේ ආරක්ෂාවක් තියෙන නුවරක ඉන්න කෙනෙක්ට සැනසීමෙන් කොට්ටෙට ඔළුව තියන්න පුළුවන්. මොකද එයා දන්නවා සෙබළු කොයි වෙලෙත් ඇහැ ගහගෙන ඉන්නේ කියලා. දෙවියන්ගේ සමාදානය ලැබෙද්දීත් අපේ හදවතට, මනසට පුදුම සන්සුන්කමක් දැනෙනවා. මොකද අපි දන්නවා අපිවත් මුර කරන්න යෙහෝවා ඉන්නවා කියලා. (ගීතා. 4:8) හැබැයි හන්නාගේ ප්‍රශ්නේ වගේ අපේ ප්‍රශ්නත් දවසෙන් දෙකෙන් විසඳෙන එකක් නැහැ. ඒත් ප්‍රශ්න මැද වුණත් අපිට සෑහෙන්න සමාදානයක් අද්දකින්න පුළුවන්. (1 සාමු. 1:16-18) ඒ සමාදානයෙන් හිතට ලොකු සහනයක් ලැබෙන නිසා නිරවුල්ව හිතන්න, හොඳ තීරණ ගන්න අපිට පුළුවන් වෙනවා.
6. දෙවියන්ගේ සමාදානය අද්දකින්න අපි කරන්න ඕනෙ මොනවාද? (පින්තූරයත් බලන්න.)
6 අපි කරන්න ඕනෙ දේ. ප්‍රශ්නයක් නිසා ඔයාටත් බයක් දැනෙනවා නම් ඔයාගේ “මුරකරුට” අඬගහන්න. ඒකට දෙවියන්ගේ සමාදානය ඔයාගේ හිතට දැනෙන කල්ම යාච්ඤා කරන්න. (ලූක් 11:9; 1 තෙස. 5:17) කලින් කතා කරපු ලුයිස්ව මතකද? එයා ජීවත් වෙන්නේ මාස කීපයයි කියලා දැනගත්තාම එයායි, එයාගේ නෝනා ඇනායි ඒකට මුහුණ දීපු විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මේ වගේ වෙලාවක ප්‍රතිකාර ගැන විතරක් නෙවෙයි අනිත් දේවල් ගැන වුණත් තීරණ ගන්න ලේසි නෑ. හැබැයි අත්හරින්නේ නැතුව යාච්ඤා කරපු නිසා තමයි හිතේ සාමය තියාගෙන ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන් වුණේ.” ලුයිස් සහ එයාගේ නෝනා ඇඬූ කඳුළින් දිගටම යෙහෝවාට යාච්ඤා කළා. එයාලා සන්සුන් හදවතක් දෙන්න කියලා ඔහුගෙන් ඉල්ලුවා. හොඳ තීරණ ගන්න ප්‍රඥාවත් ඉල්ලුවා. එයාලා ඉල්ලපු දේවල් යෙහෝවා දුන්නා. ඉතින් ඔයාත් මේ පහු කරන්නේ ජීවිතේ අඳුරුම කාලයක් නම් යාච්ඤා කරන එක නවත්තන්න එපා. එතකොට ඔයාගේ හදවතයි, මනසයි යෙහෝවා සමාදානයෙන් පුරවන විදිහ ඔයාටත් දැනෙයි.—රෝම 12:12.
ඔහු ඔයාට වැටෙන්න දෙන්නේ නැහැ
7. ලොකු ප්‍රශ්නෙක ඉද්දී අපිට දැනෙන්නේ කොහොමද?
7 අභියෝගය. අපි ලොකු ප්‍රශ්නෙක ඉද්දී සිතුවිලි සීසීකඩ විසිරිලා තියෙන්නේ. හොඳට හිතලා බලලා වැඩ කරන්නත් අමාරුයි. හරියට කුණාටුවකට අහු වෙලා එහාට මෙහාට විසි වෙන නැවක් වගේ. ඒ වගේ වෙලාවට බය, දුක, නොවටිනාකම වගේ හැඟීම් එක පිට එක එද්දී අපේ ජීවිතෙත් එහාට මෙහාට විසි වෙන්න ගන්නවා. ඇනා මෙහෙම කියනවා. “ලුයිස් මැරුණාට පස්සේ මට ලොකු හිස්කමක් දැනුණා. මට මං ගැනම දුක හිතුණා. එයා මාව තනි කරලා ගිය එක ගැන කේන්තියකුත් ඇති වුණා.” මෙච්චර කල් හැම දේම හොයලා බලලා කළේ ලුයිස්. ඒ නිසා ඇනාට දැනුණේ එයා කුණාටුවක් මැද තනි වුණා වගේ. මේ වගේ දේවල් වෙද්දී යෙහෝවා උදව් කරන්නේ කොහොමද?
8. 1 පේතෘස් 5:10 යෙහෝවා දෙන සහතිකය මොකක්ද?
8 යෙහෝවා කරන දේ. ඔහු පොරොන්දු වෙනවා අපිව ශක්තිමත් කරනවා, අපිට වැටෙන්න දෙන්නේ නැහැ කියලා. (1 පේතෘස් 5:10 කියවන්න.) සාමාන්‍යයෙන් නැවක් දරුණු කුණාටුවකට අහු වුණාම භයානක විදිහට එහාට මෙහාට පැද්දෙනවා. ඒ නිසා හුඟක් නැව්වල වතුරෙන් යට කොටසේ දෙපැත්තේ තටු වගේ දෙයක් තියෙනවා. නැව පැද්දෙන එක ඒකෙන් හුඟක් දුරට පාලනය වෙන නිසා නැව සමබරව තියාගන්න පුළුවන්. නැවේ යන අයට අපහසුවක් නැතුව, ආරක්ෂිතව ගමන යන්නත් පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට ඒ තටුවලින් හොඳටම ප්‍රයෝජන ලැබෙන්නේ නැව ඉස්සරහට ගියොත් විතරයි. ඒ වගේ අපිත් යෙහෝවා අපිව ශක්තිමත් කරන විදිහ හොඳටම අද්දකින්න නම් පීඩා මැදින් ඉස්සරහටම යන්න ඕනේ.
9. සමබරව හිතන්න සංවිධානයෙන් දීලා තියෙන දේවල් අපිට උදව් වෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
9 අපි කරන්න ඕනෙ දේ. මේ දවස්වල ඔයාගේ මනසත් කැලඹුණ මුහුදක් වගේද? එහෙමනම් නමස්කාරයේ දේවල් අතපසු නොකර ඉන්න පුළුවන් හැම දේම කරන්න. සමහරවිට කලින් තරම්ම දේවල් කරගන්න ඔයාට බැරි වෙයි. හැබැයි මතක තියාගන්න යෙහෝවා සාධාරණ කෙනෙක්. ඔහු ඔයාගේ තත්වය තේරුම්ගන්නවා. (ලූක් 21:1-4) ඒත් පෞද්ගලික අධ්‍යයනය කරන්න, ඉගෙනගන්න දේවල් ගැඹුරින් කල්පනා කරන්න කොහොමහරි වෙලාවක් වෙන් කරගන්න. මොකද අපිටම ගැළපෙන ලිපි සහ වීඩියෝ පාවිච්චි කරලා සමබරව හිතන්න දෙවියන් අපිට උදව් කරනවා. ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් සහ ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතෙන් ඔයාට ඒවා හොයාගන්න පුළුවන්. කලින් කතා කරපු මොනිකා කළෙත් ඒකමයි. මනසට බරක් වෙන සිතුවිලි හතරවටෙන් ගලාගෙන එනවා කියලා තේරෙද්දීම එයා අපේ ප්‍රකාශනවලින් තොරතුරු හෙව්වා. උදාහරණයකට එයා “කේන්තිය” ගැන අධ්‍යයනය කළා. තවත් වෙලාවට “ද්‍රෝහි වීම,” “විශ්වාසවන්තකම” වගේ විෂයන් අධ්‍යයනය කළා. එයා එයාගේ හිතට සහනයක් දැනෙන කල්ම ඒ දේවල් කියෙව්වා. මොනිකා මෙහෙම කියනවා. “මුලදී පිස්සුවෙන් වගේ ටයිප් කරකර තොරතුරු හොයපු මට අන්තිමේදී දැනුණා යෙහෝවා මාව තුරුලු කරගත්ත විදිහ. මට තේරුණා මට දැනෙන හැම හැඟීමක්ම යෙහෝවාට හොඳට තේරෙනවා, ඔහු මගේ ළඟින්ම ඉන්නවා කියලා.” ඉතින් ප්‍රශ්න මැද ඉද්දී වුණත් අධ්‍යයනය කරන්න වෙලාව හොයාගන්න. එතකොට ඔයාගේ හිතේ තියෙන කුණාටුව නිශ්චල වෙන කල් සන්සුන්ව දේවල් කරන්න ඔයාට පුළුවන් වෙයි.—ගීතා. 119:143, 144.
යෙහෝවා ඔයාට උදව් කරනවා
10. හිත කලඹන දේකට මුහුණ දුන්නාට පස්සේ අපිට කොහොමද දැනෙන්න පුළුවන්?
10 අභියෝගය. හිත කැලඹෙන විදිහේ දේකට මුහුණ දෙද්දී සමහරවිට ඔළුව උස්සගන්නවත් පණ නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. කාලයක් තිස්සේ වේගයෙන් දුවපු ක්‍රීඩකයෙක් අනතුරකින් පස්සේ නොණ්ඩි ගහනවා ඔයා දැකලා තියෙනවාද? සමහරවිට අපිටත් එහෙම හැඟෙනවා ඇති. මෙච්චර කල් හුඟක් ලේසියෙන් කරපු දේවල් වුණත් දැන් කරන්න ලොකු මහන්සියක් ගන්න ඕනේ. කාලයක් ආසාවෙන් කරපු දේවල් දැන් කරන්නේ එච්චර කැමැත්තකින් නෙවෙයි. ඒ වගේ වෙලාවට එලියාට වගේ අපිටත් හිතෙන්නේ මුළු දවසෙම නිදාගන්න.—1 රාජා. 19:5-7.
11. යෙහෝවා අපිට උදව් කරන තව විදිහක් මොකක්ද? (ගීතාවලිය 94:18)
11 යෙහෝවා කරන දේ. ප්රශ්නවලදී අපිට වැටෙන්න දෙන්නේ නැතුව වාරු ගන්න උදව් කරනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. (ගීතාවලිය 94:18 කියවන්න.) අනතුරකින් තුවාල වුණ ක්‍රීඩකයෙක්ට අඩියෙන් අඩිය තියලා ඉස්සරහට යන්න තව කෙනෙක්ගේ උදව් ඕනෙ වගේ අපිටත් දිගටම නමස්කාරයේ දේවල් කරන්න උදව් ඕනේ. දෙවියන් දෙන මේ සහතිකය බලන්න. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.” (යෙසා. 41:13) යෙහෝවා ළඟින්ම ඉඳන් උදව් කරන විදිහ දාවිත් රජත් අද්දැක්කා. සතුරන් එයාව වට කරගද්දී, එයාට ගොඩක් ප්‍රශ්න එද්දී එයා දෙවියන්ට කිව්වා ඔබ “ඔබේ දකුණතින් මාව සුරකින්නෙහිය” කියලා. (ගීතා. 18:35) යෙහෝවා කොහොමද අපේ ළඟින්ම ඉඳන් අපිව සුරකින්නේ?
12. යෙහෝවා අපේ උදව්වට එවන්නේ කාවද?
12 හුඟක් වෙලාවට යෙහෝවා දෙවියන් අපේ උදව්වට කාව හරි එවනවා. සැරයක් දාවිත් මානසිකව වැටිලා ඉද්දී එයාව ශක්තිමත් කරන්න යෙහෝවා එව්වේ යොනාතාන්ව. (1 සාමු. 23:16, 17) එලියාට උදව් ඕන වුණ වෙලාවක ඔහු එව්වේ එලිෂාව. (1 රාජා. 19:16, 21; 2 රාජා. 2:2) එතකොට අද යෙහෝවා අපේ උදව්වට එවන්නේ කාවද? ඒ අපේම පවුලේ අයව, යාළුවන්ව එහෙම නැත්නම් වැඩිමහල්ලන්ව. හැබැයි ඒ කවුරු උදව්වට ආවත් අපේ හිතට වේදනාවක් දැනෙද්දී අපි බලන්නේ පුළුවන් තරම් තනි වෙන්න. ඒ වෙලාවට කවුරුත් අපිත් එක්ක කතා කරනවාටවත් අපි කැමති නැහැ. ඒක සාමාන්‍යයි. ඒත් ඒ වගේ වෙලාවට යෙහෝවා දෙන උදව් භාරගන්න පුළුවන් කොහොමද?
13. යෙහෝවාගේ උදව් භාරගන්න අපිට කරන්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)
13 අපි කරන්න ඕනෙ දේ. ටිකක් තනි වෙන්න ඕනෙ කියලා සිතුවිල්ලක් හිතට ආපු ගමන්ම ඒක හිතෙන් එළවලා දාන්න. මොකද තනි වුණොත් අපි හිතන්නේ අපි ගැනම විතරයි. එහෙම වුණොත් වෙන්නේ අපි ප්‍රශ්නත් එක්කම තනි වෙන එක. සමහරවිට අපි නොදන්නවා වුණාට ඒක අපේ තීරණවලට කෙළින්ම බලපානවා. (හිතෝ. 18:1) ඇත්ත, ටිකක් තනියම ඉන්න ඕනෙ වෙලාවලුත් තියෙයි. විශේෂයෙන්ම කටුක දේකට මුහුණ දෙද්දී. හැබැයි අපි ඕනෑවට වඩා කාලයක් අනිත් අයගෙන් ඈත් වෙලා හිටියොත් අපි කරන්නේ යෙහෝවාගේ උදව් භාරගන්නවා වෙනුවට ඒ උදව් තව ඈතට තල්ලු කරන එක. ඒ නිසා ඔයා මේ පහු කරන්නේ කොච්චර අමාරු කාලයක් වුණත් පවුලේ අයගේ, යාළුවන්ගේ, වැඩිමහල්ලන්ගේ උදව් පිළිගන්න. මොකද ඔයාගේ උදව්වට යෙහෝවා එවන්නේ එයාලවයි.—හිතෝ. 17:17; යෙසා. 32:1, 2.
යෙහෝවා ඔයාව සනසනවා
14. අපිට බයක් දැනෙන්නේ මොන දේවල් වෙද්දීද?
14 අභියෝගය. අපිටත් හුඟක් බය හිතෙන දේවල් වෙනවා. දෙවියන්ගේ සමහර විශ්වාසවන්ත සේවකයන් පවා දැනුණ පීඩනය නිසා, මරණ බය නිසා බයෙන් වෙව්ලුවා. (ගීතා. 18:4; 55:1, 5) අපිටත් ඉස්කෝලේදී, වැඩපොළේදී වගේම පවුලේ අයගෙන් සහ ආණ්ඩුවලිනුත් ගොඩක් විරුද්ධවාදිකම් එන්න පුළුවන්. බරපතළ අසනීපයක් නිසා අපි මැරෙයිද කියලත් හිතට බයක් දැනෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙද්දී අපිත් හරියට කිසි හව්හරණක් නැති පුංචි දරුවෙක් වගේ. ඒත් ඒ වගේ වෙලාවට යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?
15. ගීතාවලිය 94:19 දෙන සහතිකය මොකක්ද?
15 යෙහෝවා කරන දේ. ඔහු අපේ බය නැති කරනවා. අපිව සනසනවා. (ගීතාවලිය 94:19 කියවන්න.) මේ ගීතිකාව කියවද්දී අපේ හිතේ මැවෙන්නේ හතරවටෙන් අඳුරු වෙලා අකුණු ගහද්දී නින්ද යන්නේ නැතුව බයේ ගුලි වෙලා ඉන්න චූටි දුවෙක්ව. හිතන්න එයාගේ තාත්තා ඇවිත් එයාව තුරුලු කරගෙන නින්ද යන කල්ම එයාව බදාගෙන ඉද්දී ඒ දුවගේ හිතට කොච්චර සහනයක් දැනෙයිද! අකුණු ගහන එක, ගොරවන එක තාම නැවතිලා නැහැ. හැබැයි තාත්තා ළඟ ඉන්න නිසා එයා පොඩ්ඩක්වත් බය නැහැ. අපේ ජීවිතේටත් අපි හිතන්නෙවත් නැති අකුණු පහරවල් වදින්න පුළුවන්. ඒ වෙලාවට අපිත් කැමති අපේ හිතේ තියෙන බය නැති වෙන කල්ම යෙහෝවා අපිව තුරුලු කරගෙන ඉන්නවාට. ඒත් ඒ සහනය අද්දකින්නේ කොහොමද?
16. සහනය ලබන්න අපි කරන්න ඕනෙ මොනවාද? (පින්තූරයත් බලන්න.)
16 අපි කරන්න ඕනෙ දේ. හැම දවසකම දෙවියන් එක්ක කාලේ ගත කරන්න. ඒකට යාච්ඤා කරන එක සහ ඔහුගේ වචනය කියවන එක හරිම වැදගත්. (ගීතා. 77:1, 12-14) ඔයා දැන් ඉඳන්ම ඒක පුරුද්දක් විදිහට කරනවා නම් ඔයාගේ හිතට පීඩනයක් දැනෙන වෙලාවකදී ඔයා ඉස්සෙල්ලාම දුවන්නේ යෙහෝවා ළඟට. ඉතින් ඔයාගේ බය, හිතේ තියෙන බර ඔහුට භාර දෙන්න. ඒ වගේම බයිබලෙන් ඔයාට කතා කරන්න, ඔයාව සනසන්න ඔහුට ඉඩ දෙන්න. (ගීතා. 119:28) ඔයාට සහනයක් වෙන කොටසක් බයිබලෙන් කියවන්න. ඒ වගේ පද යෝබ්, ගීතාවලිය, හිතෝපදේශ වගේ පොත්වල තියෙනවා. ඒ වගේම මතෙව් 6වෙනි පරිච්ඡේදයේ තියෙන යේසුස්ගේ වචනත් ඔයාට ශක්තියක් වෙයි. ඒ විදිහට ඔයා දෙවියන් එක්ක යාච්ඤාවෙන් කතා කරද්දී, ඔහුගේ වචනය කියවලා ඔහුට ඇහුම්කන් දෙද්දී යෙහෝවා ඔයාව සනසන විදිහ ඔයාටම දැනෙයි.
17. අපිට සහතික වෙන්න පුළුවන් මොකක් ගැනද?
17 ජීවිතේ අඳුරුම කාලවලදී වුණත් යෙහෝවා අපේ තනියට ඉන්නවා කියලා අපිට සහතිකයි. ඒ නිසා කවදාවත් අපි තනි වෙන්නේ නැහැ. (ගීතා. 23:4; 94:14) ඔහු අපිව මුර කරනවා. අපිට උදව් කරනවා. අපිව සනසනවා. කවදාවත් අපිට වැටිලා යන්න දෙන්නේ නැහැ. යෙසායා 26:3 මෙහෙම කියනවා. “දෙවියනි, කිසිදා සැක නොකර මුළු හදින්ම ඔබව විශ්වාස කරන තැනැත්තාට ඔබ සමාදානය දෙන්නෙහිය. ඔබ කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු හැමදාමත් සමාදානයෙන් සිටියේය.” ඒ නිසා ඔහුව දිගටම විශ්වාස කරන්න. ඔහු උදව් කරන හැම විදිහකින්ම ප්‍රයෝජන ගන්න. එහෙම කරද්දී අමාරු කාලවල් මැද වුණත් දෙපයින් හිටගන්න ඕන කරන ශක්තිය ඔහු ඔයාට දෙයි.
ඔයාගේ උත්තරේ මොකක්ද?
-
අපිට යෙහෝවාගේ උදව් විශේෂයෙන්ම ඕනෙ මොන වගේ වෙලාවලදීද?
-
අමාරු කාලවලදී දෙවියන් අපිට උදව් කරන විදි හතරක් කියන්න.
-
දෙවියන් දෙන උදව්වලින් ප්‍රයෝජන ගන්න අපි කරන්න ඕනෙ මොනවාද?
ගීතිකාව 12 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි
a සමහර නම් වෙනස් කරලා තියෙනවා.