Skip to content

පටුනට යන්න

‘ඔබේ ආලෝකය විහිදුවා’ දෙවිව ගෞරවයට පත් කරන්න

‘ඔබේ ආලෝකය විහිදුවා’ දෙවිව ගෞරවයට පත් කරන්න

‘ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.’—මතෙ. 5:16.

ගීතිකා: 77, 59

1. සතුටු වෙන්න අපිට තියෙන විශේෂ හේතුව මොකක්ද?

දෙවිගේ සෙනඟ එයාලගේ ආලෝකය ලෝකේ පුරාම විහිදුවන විදිහ නම් හරිම පුදුමයි! පහුගිය අවුරුද්දේදී එයාලා බයිබල් පාඩම් ලක්ෂ සීයකටත් වඩා වැඩියෙන් පවත්වලා තියෙනවා. ඒ වගේම සත්‍යය ගැන උනන්දුවක් දක්වන මිලියන ගාණක් යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වුණා. යේසුස්ගේ ජීවිත පූජාව මිනිසුන් වෙනුවෙන් දීලා දෙවි පෙන්නපු ආදරේ ගැන එදා එයාලා ඉගෙනගත්තා.—1 යොහ. 4:9.

2, 3. (අ) ආලෝකය විහිදුවන්න බාධාවක් වෙන මොන දේටද අපි ඉඩ දීලා නැත්තේ? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිරුවන් විවිධ භාෂාවන් කතා කළත් එක්සත් පවුලක් විදිහට දෙවිට නමස්කාර කරන්න ඒක එයාලා බාධාවක් කරගෙන නැහැ. (එළි. 7:9) අපි මොන භාෂාව කතා කළත් කොහේ ජීවත් වුණත් ‘දැල්වූ පහන් වගේ බැබළෙන්න’ අපිට පුළුවන්.—ෆිලි. 2:15.

3 අපි කරන දේශනා සේවය නිසා, අපේ එක්සත්කම නිසා, අපි ඉන්නේ අවසාන කාලේ කියන දේ මනසේ තියාගෙන අපි ජීවත් වෙන නිසා යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ පැති තුනෙන් අපිට අපේ ආලෝකය විහිදුවන්න පුළුවන් කොහොමද?—මතෙව් 5:14-16 කියවන්න.

දෙවිගේ සේවකයන් වෙන්න තව අයට උදව් කරන්න

4, 5. (අ) දේශනා සේවයේ හවුල් වෙනවාට අමතරව අපේ ආලෝකය විහිදුවන්න පුළුවන් තවත් විදිහක් මොකක්ද? (ආ) අපි මිත්‍රශීලී වෙද්දී ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 දේශනා සේවයේ හවුල් වෙන එක සහ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන එක අපිට අපේ ආලෝකය විහිදුවන්න පුළුවන් ප්‍රධාන විදිහක්. (මතෙ. 28:19, 20) “අඳුරු ලෝකෙක විහිදෙන ආලෝකය” කියන මාතෘකාවෙන් 1925දී ඉංග්‍රීසියෙන් පළ වුණ ‘මුරටැඹ’ ලිපියක මෙහෙම සඳහන් වුණා. “මේ අන්තිම දවස්වල ස්වාමීන්ට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වෙන්නේ කෙනෙක් ලැබෙන හැම අවස්ථාවකදීම ආලෝකය විහිදුවනවා නම් විතරයි. ඒ ආලෝකය විහිදුවන්න එයා ශුභාරංචිය දේශනා කරන්නත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නත් ඕනේ.” ශුභාරංචිය දේශනා කරනවාට අමතරව අපි හැසිරෙන විදිහෙනුත් අපිට පුළුවන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න. අපි දේශනා සේවයේ හවුල් වෙද්දී හුඟදෙනෙක් අපිව දකිනවා. අපි එයාලා එක්ක හිනා වෙන එකෙන්, එයාලගෙන් “කොහොමද” කියලා අහන එකෙන් අපි ගැනත් අපි නමස්කාර කරන දෙවි ගැනත් එයාලගේ හිතේ හොඳ හැඟීමක් ඇති කරන්න අපිට පුළුවන්.

5 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා “ඔබ නිවසකට ඇතුල් වෙද්දී ගෙයි වැසියන්ට සුබ පතන්න” කියලා. (මතෙ. 10:12) අමුත්තන්ව ගෙදරට පිළිගන්න එක යේසුස් දේශනා කරපු ප්‍රදේශයේ තිබුණ චාරිත්‍රයක්. ඒත් අද නම් ඒ වගේ චාරිත්‍ර නැති තරම්. හුඟදෙනෙක් නාඳුනන කෙනෙක් ගෙදරට ආවාම බය වෙනවා. නැත්නම් අකමැත්තක් පෙන්නනවා. ඒත් අපි මිත්‍රශීලීව, කාරුණිකව කතා කරනවා නම් එයාලට දැනෙන බය සැක නැති වෙයි. අපි එක්ක කතා කරන්න එයාලට පහසුවක් දැනෙයි. පොදු සේවයේ හවුල් වෙද්දී මිනිසුන් එක්ක හිනා වුණාම, එයාලට ආචාර කළාම එයාලා කාට් එක ළඟට ඇවිත් අපේ ප්‍රකාශනයක් ගන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා ඔයා දැකලා තියෙනවාද? සමහරවිට ටික වෙලාවක් අපිත් එක්ක කතා කරන්න වුණත් ඒකෙන් එයාලා පෙලඹෙයි.

6. දිගටම සේවයේ හවුල් වෙන්න මහලු යුවළකට උදව් වුණේ මොකක්ද?

6 එංගලන්තයේ ඉන්න මහලු යුවළකට අසනීප තත්වය නිසා ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන එක දැන් ටිකක් අමාරුයි. ඒ නිසා එයාලා එයාලගේ නිවස ඉස්සරහා පොඩි මේසයක් තියලා අපේ විවිධ ප්‍රකාශන ඒකේ තියනවා. එයාලගේ නිවස තිබුණේ ඉස්කෝලයක් ළඟ නිසා දරුවන්ව ගන්න එන හුඟක් දෙමාපියෝ එතන තිබුණ ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වන සහ 2වන පොත් ඇතුළුව තව හුඟක් ප්‍රකාශන ගත්තා. ඒ යුවළත් එක්ක එතන සේවය කරන්න පුරෝගාමි සහෝදරියකුත් එනවා. එයාගේ මිත්‍රශීලීකම වගේම අනිත් අයට උදව් කරන්න ඒ මහලු යුවළට තිබුණ කැමැත්ත එතනින් යන එන දෙමාපියන්ගේ හිත්ගත්තා. තාත්තා කෙනෙක් බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා.

7. ඔයාගේ ප්‍රදේශයට සරණාගතයන් ඇවිත් ඉන්නවා නම් එයාලට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

7 මෑත කාලවලදී හුඟදෙනෙක්ට එයාලගේ මව් රටවල් අත්හැරලා ගිහින් වෙන රටවල සරණාගතයන් විදිහට ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඔයාගේ ප්‍රදේශයටත් ඒ වගේ අය ඇවිත් ඉන්නවා නම් දෙවි ගැන දැනගන්න එයාලට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? මුලින්ම එයාලගේ භාෂාවෙන් ආචාර කරන්න ඉගෙනගන්න. ‘JW ලැංවේජ්’ ඇප් එක පාවිච්චි කරලා එයාලගේ භාෂාවෙන් පොඩි පොඩි දේවල් කියන්න ඉගෙනගන්නත් ඔයාට පුළුවන්. එයාලව හම්බ වුණාම එයාලගේ භාෂාවෙන් පොඩි දෙයක් හරි කියද්දී ඔයාට සවන් දෙන්න එයාලා පෙලඹෙයි. එතකොට ඔයාට පුළුවන් jw.org වෙබ් අඩවියේ එයාලගේ භාෂාවෙන් තියෙන වීඩියෝ නැත්නම් වෙනත් ප්‍රකාශන එයාලට පෙන්නන්න.—ද්වි. 10:19.

8, 9. (අ) සති මැද රැස්වීම් අපිට උදව් වෙන්නේ කොහොමද? (ආ) රැස්වීම්වලදී හොඳින් උත්තර දෙන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

8 අනිත් අයගේ හිතට කාවදින විදිහට දේශනා කරන්න යෙහෝවා දෙවි අපිව හොඳින් පුහුණු කරනවා. සති මැද රැස්වීම ඒ වගේ අපිව පුහුණ කරන එක විදිහක්. නැවත බැලීම් කරන විදිහ, බයිබල් පාඩම් පටන්ගන්න විදිහ ඒ රැස්වීමේදී කියලා දෙන නිසා දැන් බය නැතුව ඒවා කරන්න අපිට පුළුවන්.

9 අලුතින් රැස්වීම් එන අය අපේ පුංචි දරුවෝ උත්තර දෙන විදිහ අහලා පුදුම වෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දරුවාට එයාගේම වචනවලින් අදහස් දක්වන්න පුරුදු කරන්න. දරුවෝ හදවතින්ම දෙන අදහස් අහලා සත්‍යය ඉගෙනගන්න සමහරු පෙලඹිලා තියෙනවා.—1 කොරි. 14:25.

එක්සත්කමට දායක වෙන්න

10. පවුලේ නමස්කාරය නිසා පවුලේ එකමුතුකම තව වැඩි වෙන්නේ කොහොමද?

10 පවුලේ සහ සභාවේ එක්සත්කම රැකගන්න අපිට පුළුවන් හැම දේම කරන එක අපි ආලෝකය විහිදුවන තව විදිහක්. ඒකෙනුත් යෙහෝවා දෙවිට ගෞරවයක් ලැබෙනවා. උදහරණෙකට ඔයා දෙමාපියෙක් නම් පවුලේ නමස්කාරය අතපසු නොකර කරන්න සැලසුම් යොදන්න. හුඟක් පවුල් පවුලේ නමස්කාරයට ‘JW බ්‍රෝඩ්කාස්ටිං’ එක බලලා ඊටපස්සේ ඒකෙන් ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න පුළුවන් විදි සාකච්ඡා කරනවා. දෙමාපියෙනි, පුංචි දරුවෙක්ට ඕනෙ කරන මඟ පෙන්වීම් නෙමෙයි යෞවනයෙක්ට ඕනෙ කරන්නේ කියලා මතක තියාගන්න. ඒ නිසා පවුලේ එක් එක් සාමාජිකයාට පවුලේ නමස්කාරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඒක කරන්න.—ගීතා. 148:12, 13.

මහලු අය ගැන සැලකිලිමත් වෙන එක ඔයාටත් එයාලටත් ලොකු දිරිගැන්වීමක් (11 ඡේදය බලන්න)

11-13. සභාවේ එක්සත්කමට දායක වෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

11 සභාවේ එක්සත්කමට දායක වෙන්න පොඩි වයසේ ඉන්න ඔයාටත් පුළුවන්. සභාවේ හැමෝම වටිනා සාමාජිකයන් කියලා එයාලට දැනෙන විදිහට ඔයා දේවල් කරනවා නම් ඔයා කරන්නේ ආලෝකය විහිදුවන්න එයාලට උදව් කරන එකයි. ඔයාට වඩා වයසින් වැඩි සහෝදර සහෝදරියන්වත් ඔයාගේ යාළුවන් කරගන්න. අවුරුදු ගාණක් තිස්සේ දෙවිට සේවය කරන්න එයාලට උදව් වුණේ මොනවාද කියලා එයාලගෙන් අහන්න. එයාලගේ අද්දැකීම්වලින් ගොඩක් දේවල් ඔයාට ඉගෙනගන්න පුළුවන්. එයාලත් එක්ක කතා කරන්න කාලේ ගද්දී එයාලා ලොකු දිරිගැන්වීමක් ලබයි. ඒ වගේම බාල මහලු අපි හැමෝටම පුළුවන් අලුතින් රැස්වීමට එන අයව ආදරෙන් පිළිගන්න. එයාලත් එක්ක හිනා වෙන්න. “කොහොමද” කියලා අහලා ඉඳගන්න තැනක් හොයාගන්න උදව් කරන්න. අනිත් අයට එයාලව හඳුන්වලා දෙන්න. ඒ විදිවලින් අපි අපේ සැලකිල්ල පෙන්නමු.

12 සේවයේ යන්න කලින් තියෙන රැස්වීම කරන්න ඔයාට භාර දුන්නොත් මහලු අයටත් සේවයේ හවුල් වෙන්න උදව් වෙන දේවල් සැලසුම් කරන්න අමතක කරන්න එපා. සේවය කරන්න ප්‍රදේශයක් එයාලට දෙද්දී එයාලගේ වයස ගැන හිතන්න. එයාලට උදව් ඕනෙ නම් එයාලත් එක්ක සේවය කරන්න යෞවන කෙනෙක්ව දාන්න. මහලු සහෝදර සහෝදරියන්ට අසනීප නිසා කලින් වගේ සේවය කරන්න බැහැ කියලා තේරෙද්දී එයාලට දුකක් දැනෙනවා. ඒත් ඔයා එයාලගේ තත්වය තේරුම්ගන්නවා කියලත් එයාලා ගැන සැලකිලිමත් කියලත් දැනෙද්දී ඒක එයාලට දිරිගැන්වීමක්. ඔයා අනිත් අයව තේරුම් අරන් එයාලට ආදරෙන් සලකද්දී වයස මොකක් වුණත් කොච්චර කාලයක් සත්‍යයේ ඉඳලා තිබුණත් උද්‍යෝගයෙන් දේශනා කරන්න හැමෝටම ඒක උදව් වෙයි.—ලෙවී. 19:32.

13 එක්සත්ව දෙවිට නමස්කාර කරලා ඊශ්‍රායෙල්වරු ලොකු සතුටක් ලැබුවා. ඒ ගැන දාවිත් මෙහෙම කියනවා. “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!” (ගීතාවලිය 133:1, 2 කියවන්න.) සහෝදරයන් අතර තියෙන එක්සත්කම දාවිත් සමාන කරන්නේ ශරීරයට ප්‍රබෝධයක් ලබා දෙන, නැවුම් සුවඳක් තියෙන තෛලයකට. අපිත් මිත්‍රශීලීව, ආදරෙන් දේවල් කරද්දී හරියට ඒ තෛලය වගේ සහෝදරයන්ට ප්‍රබෝධයක්, දිරිගැන්වීමක් දැනෙයි. සභාවේ එක්සත්කම ඒකෙන් තව වැඩි වෙනවා. ඔයාගේ සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ව තව හොඳින් අඳුරගන්න ඔයාට පුළුවන්ද?—2 කොරි. 6:11-13.

14. ඔයාගේ අසල්වැසියන් අතර ඔයාගේ ආලෝකය විහිදුවන්න පුළුවන් කොහොමද?

14 බයිබලේ තියෙන සත්‍යයන් ගැන ඔයාගේ අසල්වැසියන්ගේ හිත්වල අගයක් ඇති කරගන්න දායක වෙන්න ඔයාට පුළුවන්. ඔයා අසල්වැසියන්ට කාරුණිකව සලකනවා නම් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න එයාලට ආසාවක් ඇති වෙයි. මේ ගැන හිතන්න. ‘මගේ අසල්වැසියන් මාව දකින්නේ මොන වගේ කෙනෙක් විදිහටද? මගේ නිවස පිරිසිදුව, පිළිවෙලකට තියෙනවාද? ඒකෙන් මං ජීවත් වෙන පැත්ත තව ලස්සන වෙනවාද? මං අසල්වැසියන්ට උදව් කරන්න ඕනෙ වෙලාවක ලෑස්ති කෙනෙක්ද?’ සභාවේ අනිත් අයගෙනුත් අහන්න එයාලා කරපු කාරුණික දේවල්, එයාලගේ හොඳ ආදර්ශය කොහොමද නෑදෑයන්ට, අසල්වැසියන්ට, එකට වැඩ කරන අයට, ඉස්කෝලේ ළමයින්ට උදව් වෙලා තියෙන්නේ කියලා.—එෆී. 5:9.

සෝදිසියෙන් ඉන්න

15. අපි සෝදිසියෙන් ඉන්න එක වැදගත් ඇයි?

15 අපේ ආලෝකය තවත් වැඩියෙන් විහිදුවන්න නම් අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියන දේ ගැන අවබෝධයෙන් ඉන්න එකත් වැදගත්. “සෝදිසියෙන් සිටින්න” කියලා යේසුස් කීප සැරයක්ම කිව්වා. (මතෙ. 24:42; 25:13; 26:41) අපි හිතන්නේ “මහත් පීඩාව” එන්න තව කල් තියෙනවා කියලා නම් දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න අපිට තියෙන්නේ තව කෙටි කාලයයි කියන හැඟීම අපිට ඇති වෙන්නේ නැහැ. එතකොට දෙවි ගැන තව කෙනෙක්ට කියලා දෙන්න හම්බ වෙන හැම අවස්ථාවකින්ම අපි ප්‍රයෝජන ගන්න එකක් නැති වෙයි. (මතෙ. 24:21) අපේ ආලෝකය තව වැඩියෙන් විහිදුවනවා වෙනුවට ඒකෙන් දීප්තිය අඩු වෙන්න නැත්නම් ආලෝකය නැතිම වෙලා යන්න ඉඩ තියෙනවා.

16, 17. සෝදිසියෙන් ඉන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

16 ලෝකේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන මේ කාලේ වෙන කවරදාකටත් වඩා වැඩියෙන් සෝදිසියෙන් ඉන්න එක වැදගත්. අපි දන්නවා දෙවි නියම කරලා තියෙන දවසට අනිවාර්යයෙන්ම මේ දුෂ්ට සමාජය විනාශ වෙනවා කියලා. (මතෙ. 24:42-44) ඒ දවස එන කල් අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕනෙ වගේම අපේ මනස යොමු වෙලා තියෙන්න ඕනෙ දෙවිගේ පොරොන්දුවලටයි. දිනපතාම බයිබලේ කියවන්න. දෙවිට යාච්ඤා කරන එක කවදාවත් අතපසු කරන්න එපා. (1 පේතෘ. 4:7) අවුරුදු ගාණක් පුරා දෙවිට විශ්වාසවන්තව ඉන්න අයගෙන් ඉගෙනගන්න. ඒකට සඟරාවල පළ වෙන ජීවිත කතා කියවන්න. උදාහරණෙකට 2012 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ 18-21 දක්වා පිටුවල පළ වුණ “මම යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන සිටියා” කියන ලිපිය බලන්න.

17 ඔයාගේ කාලෙන් වැඩි හරියක් සේවය වෙනුවෙනුත් සහෝදරයන් වෙනුවෙනුත් දෙන්න. එතකොට ඔයාට සතුටින් ඉන්න පුළුවන් වගේම කාලේ ඉක්මනට ගත වෙනවා කියලා ඔයාට දැනෙයි. (එෆී. 5:16) පහුගිය අවුරුදු 100 පුරා දෙවිගේ සෙනඟ හුඟක් දේවල් කරලා තියෙනවා. ඒත් අද ඊටත් වඩා ලොකු වැඩ කොටසක් කරනවා. දේවරාජ්‍යයේ වැඩකටයුතු ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන නිසා අපේ ආලෝකය තවත් වැඩියෙන් විහිදෙනවා.

වැඩිමහල්ලන් අපිව බලන්න එන එක තව හොඳින් සේවය කරන්න අපිට උදව්වක් (18 සහ 19 ඡේද බලන්න)

18, 19. උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන්න වැඩිමහල්ලන් අපිට උදව් කරන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

18 අපි අතින් අඩුපාඩු වුණත් දෙවි ඔහුට සේවය කරන්න අපිට අවස්ථාව දෙනවා. “තෑගි” විදිහට වැඩිමහල්ලන්ව දීලා තියෙන්නේ අපේ අඩුපාඩුකම් හදාගෙන සේවය තව හොඳින් කරන්න අපිට උදව් කරන්නයි. (එෆීස 4:8, 11, 12 කියවන්න.) වැඩිමහල්ලන් ඔයාව හම්බ වෙන්න ආවාම එයාලගේ අද්දැකීම්වලින්, එයාලා දෙන මඟ පෙන්වීම්වලින් ඉගෙනගන්න.

19 එංගලන්තයේ ඉන්න යුවළකට එයාලගේ පවුල් ජීවිතේ යම් යම් ප්‍රශ්න තිබුණ නිසා වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලුවා. බිරිඳට හැඟුණේ නමස්කාර වැඩවලදී සැමියා මූලිකත්වය ගන්නේ නැහැ කියලයි. සැමියාට හිතුණේ එයා හොඳ ගුරුවරයෙක් නෙමෙයි කියලා. ඒ නිසා පවුලේ නමස්කාරය පිළිවෙළකට කරන්න එයා එච්චර උනන්දු වුණේ නැහැ. වැඩිමහල්ලන් ඒ යුවළට උදව් කළා යේසුස්ගේ ආදර්ශය ගැන හිතන්න. යේසුස් එයාගේ අනුගාමිකයන්ව රැකබලා ගත්ත විදිහ ආදර්ශයට ගන්න කියලා එයාලා සැමියාව දිරිගැන්නුවා. එයාලා බිරිඳව දිරිගැන්නුවේ ඉවසීමෙන් සැමියාට උදව් කරන්න කියලා. දරුවෝ දෙන්නත් එක්ක පවුලේ නමස්කාරය සාර්ථකව කරන්න පුළුවන් යෝජනාත් වැඩිමහල්ලන් එයාලට දුන්නා. (එෆී. 5:21-29) ඊටපස්සේ ඒ සැමියා මූලිකත්වය අරන් දේවල් කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය අත්හරින්න එපා කියලත් හැම වෙලේම දෙවිගේ බලය ඉල්ලලා වැඩ කරන්න කියලත් වැඩිමහල්ලන් එයාව දිරිගැන්නුවා. ආදරෙන්, කරුණාවෙන් වැඩිමහල්ලන් දුන්න උදව් ඒ පවුලට හුඟක් ප්‍රයෝජනවත් වුණා.

20. ආලෝකය විහිදුවද්දී ලැබෙන ආශීර්වාද මොනවාද?

20 “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත්තාවූ ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ සන්තෝෂවත්” කියලා බයිබලේ කියනවා. (ගීතා. 128:1) ඔයාගේ ආලෝකය විහිදුවද්දී ඔයාට ලොකු සතුටක් දැනෙයි. ඒ නිසා අනිත් අයට දෙවි ගැන කියලා දෙන්න. පවුලේ, සභාවේ එක්සත්කම රැකගන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. ඒ අතරේ සෝදිසියෙන් ඉන්නත් අමතක කරන්න එපා. ඔයාගේ හොඳ ආදර්ශය දැක්කාම අනිත් අයත් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න පෙලඹෙයි.—මතෙ. 5:16.