Skip to content

පටුනට යන්න

දෙවිගේ අනුමැතිය එයාට ලැබුණාද?

දෙවිගේ අනුමැතිය එයාට ලැබුණාද?

යෙහෝවා දෙවිගේ සේවකයන් හැටියට අපිට ඕනෙ ඔහුගේ අනුමැතිය, ආශීර්වාද ලබාගන්න. බයිබලේ කතා කරන සමහරු අතින් බරපතළ වැරදි වුණත් දෙවිගේ අනුමැතිය ආපහු දිනාගන්න එයාලට පුළුවන් වුණා. තවත් සමහරුන්ට හොඳ ගුණාංග තිබුණත් පස්සේ කාලෙක දෙවිගේ අනුමැතිය එයාලට නැති වුණා. එහෙමනම් දෙවි ඔහුගේ අනුමැතිය ලබා දෙන්නේ කොයි වගේ අයටද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න රෙහබෝවම් රජුගේ ජීවිත කතාව අපිට උදව් වෙයි.

හොඳ ආරම්භයක් නෙමෙයි

රෙහබෝවම් කියන්නේ අවුරුදු 40ක් ඊශ්‍රායෙල් දේශය පාලනය කරපු සලමොන් රජුගේ පුතා. (1 රාජා. 11:42) සලමොන් රජ මිය ගියාට පස්සේ රජකම භාරගන්න රෙහබෝවම් යෙරුසලමේ ඉඳන් ෂීකෙම් නුවරට ගියා. (2 ලේක. 10:1) තාත්තා වගේ සාර්ථක, ප්‍රඥාවන්ත පාලකයෙක් වෙන්න තමන්ට පුළුවන් වෙයිද කියලා රෙහබෝවම් කල්පනා කරන්න ඇති. ඒ නිසා රජකම භාරගන්න එයා බය වෙන්න ඇද්ද? ඒ කොහොමවුණත් ප්‍රශ්න විසඳන්න අවශ්‍ය ප්‍රඥාව එයාට තියෙනවාද කියලා පැහැදිලි වුණ සිද්ධියකට රජ වෙලා වැඩි දවසක් යන්න කලින් එයාට මුහුණ දෙන්න වුණා.

ඒ වෙද්දී ඊශ්‍රායෙල්වරුන් හිටියේ ලොකු පීඩනයකින්. ඒ ගැන රජුත් එක්ක කතා කරන්න ගිය පිරිස රජුට මෙහෙම කිව්වා. “ඔබේ පියා අප පිට දරාගන්න බැරි බරක් පැටෙව්වා. දැන් ඔබ අපිට කරුණාවන්තව සලකමින් අපේ බර සැහැල්ලු කරන්න. අපට පවරා තිබෙන වැඩ කොටස අඩු කරන්න කියා අපි ඔබෙන් ඉල්ලනවා. ඔබ එසේ කළොත් අපි ඔබට සැමදා සේවය කරන්න පොරොන්දු වෙනවා.”—2 ලේක. 10:3, 4.

රෙහබෝවම්ට ගන්න තිබුණේ අමාරු තීරණයක්. සෙනඟගේ ඉල්ලීමට එකඟ වුණොත් එයාටයි, රජ පවුලේ අනිත් අයටයි එයාලා භුක්ති වින්ද සමහර දේවල් කැප කරන්න වෙයි. සෙනඟගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළොත් සෙනඟ එයාට විරුද්ධව කැරලිගහයි. එයා මොකද කළේ? මුලින්, එයා තාත්තාට උපදෙස් දුන්න වැඩිමහල්ලන්ගෙන් අදහස් ගත්තා. එයාලා කිව්වේ සෙනඟගේ ඉල්ලීම ඉටු කරන්න කියලා. ඊටපස්සේ රෙහබෝවම් එයාගේ වයසේ හිටපු අයගෙනුත් උපදෙස් ගත්තා. එයා ඒ අයගේ උපදෙස් පිළි අරන් සෙනඟට මෙහෙම කිව්වා. “ඔබ පිට තිබෙන දරාගන්න බැරි බරට මම තවත් ලොකු බරක් එකතු කරනවා. මගේ පියා ඔබට පහර දුන්නේ කසවලින්. නමුත් මම ඔබට පහර දෙන්නේ දරුණු කටු ඇමුණූ කසවලිනුයි.”—2 ලේක. 10:6-14.

ඒ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? යෙහෝවා දෙවිට කාලයක් තිස්සේ සේවය කරන වැඩිහිටි අය අද අපි අතරෙත් ඉන්නවා. ඒ අයට පුළුවන් ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් කරන්න. එයාලගේ උපදෙස්වලට සවන් දෙන්න.—යෝබ් 12:12.

“යෙහෝවා දෙවිගේ වචනයට කීකරු වුණා”

රාජ්‍යයෙන් කැඩිලා ගිය ගෝත්‍ර 10ට විරුද්ධව සටන් කරන්න රෙහබෝවම් හමුදාව සූදානම් කරගත්තා. ඔය අතරේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ ෂෙමායා මාර්ගයෙන් එයාලට කිව්වේ “මේ සියල්ල මාගේ අවසරය ඇතුව සිදු වූ දේවල්. එමනිසා ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් නොකර ආපසු ඔබේ නිවෙස් බලා යන්න” කියලයි.—1 රාජා. 12:21-24. *

කලින් “දරුණු කටු ඇමුණූ කසවලින්” සෙනඟට පහර දෙනවා කියලා කියපු රජ දැන් මෙච්චර ලොකු කැරැල්ලක් ඇති වෙලා තිබුණත් ඒ ගැන මුකුත් නොකර හිටියොත් සෙනඟට රජු ගැන මොනවා හිතෙයිද? සෙනඟට එයාව විහිළුවක් වෙයි. (2 ලේකම් 13:7 බලන්න.) ඒක රෙහබෝවම් දැනන් ඉන්න ඇති. ඒත් එයායි, එයාගේ හමුදාවයි ‘යෙහෝවා දෙවිට කීකරු වෙලා ආපහු තමන්ගේ නිවෙස් බලා යන්න’ තීරණය කළා.

ඒකෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? මිනිසුන් අපිට කොච්චර සමච්චල් කළත් අපි හැම වෙලේම කීකරු වෙන්න ඕනෙ යෙහෝවා දෙවිට. එහෙම කරන අයට දෙවිගේ අනුමැතිය ලැබෙනවා.—ද්වි. 28:2.

දෙවිට කීකරු වුණ නිසා රෙහබෝවම් අද්දැක්ක ආශීර්වාද මොනවාද? එයාගේ රජකම නැති වුණේ නැහැ. එයාගේ පාලනය යටතේ යූදා සහ බෙන්ජමින් ගෝත්‍ර 2 තිබුණා. ඒ ගෝත්‍රවලට අයිති ප්‍රදේශයේ එයා අලුතෙන් නුවරවල් ගොඩනඟලා ඒ සමහර “නුවරවල ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමකට” ගෙනාවා. (2 ලේක. 11:5-12) ඒ හැම දේටම වඩා වැදගත් දේකුත් රෙහබෝවම් කළා. යම් කාලයකට වුණත් එයා යෙහෝවා දෙවිගේ නීතියට කීකරු වුණා. ඒ වෙද්දී ගෝත්‍ර දහයෙන් හැදුණ ඊශ්‍රායෙල් රාජ්‍යයේ අය බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ නිසා එහේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් යෙරුසලමට ඇවිත් රෙහබෝවම්ට සහය දෙන්න තීරණය කළා. (2 ලේක. 11:16, 17) ඒ විදිහට රෙහබෝවම්ගේ රාජ්‍යය බලවත් වුණා.

යම් දුරකට පසුතැවුණා

කාලයක් දෙවිට කීකරු වුණත් රාජ්‍යය බලවත් වුණාම රෙහබෝවම් රජ යෙහෝවා දෙවිව අත්හැරලා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. එහෙම දෙයක් වුණේ ඇයි? අම්මොන් ජාතිකයන් වුණ එයාගේ අම්මාගේ බලපෑමට රෙහබෝවම් අහු වුණා වෙන්න බැරිද? (1 රාජා. 14:21) ඒක අපි හරියටම දන්නේ නැහැ. කොහොමහරි එයා විතරක් නෙමෙයි මුළු ජාතියම බොරු දෙවිවරුන්ට නමස්කාර කරන උගුලට අහු වුණා. ඒ නිසා යූදා රාජ්‍යයේ නුවරවල් සෑහෙන ප්‍රමාණයක් යටත් කරගන්න ඊජිප්තුවේ රජ වුණ ෂීෂක්ට දෙවි ඉඩ හැරියා. ඒ නුවරවල ආරක්ෂාව තර කරන්න රෙහබෝවම් පියවර අරන් තිබුණත් ඒක වැඩක් වුණේ නැහැ.—1 රාජා. 14:22-24; 2 ලේක. 12:1-4.

රෙහබෝවම් රජකම් කරපු යෙරුසලම අල්ලගන්නත් ෂීෂක් රජ ආවා. ඒ වෙලාවේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ ෂෙමායා මාර්ගයෙන් රජුටයි, එයාගේ අධිපතීන්ටයි මෙහෙම කිව්වා. “ඔබ මාව අත්හැරියා. ඒ නිසා මම ඔබවද අත්හරින්නෙමි. ඔබ ෂීෂක් රජුගේ අතට හසු වන බව ස්ථිරයි.” ඒක අහලා රෙහබෝවම් ‘රජයි, ඊශ්‍රායෙල්හි අධිපතිනුයි පසුතැවිලි වී, “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයි” කියලා’ කිව්වා. ඒ නිසා දෙවි යෙරුසලම විනාශ කරන්න ගත්ත තීරණය වෙනස් කරලා ෂීෂක්ගේ අතින් රෙහබෝවම්ව ගලවාගත්තා.—2 ලේක. 12:5-7, 12.

රෙහබෝවම් මැරෙන කල් යූදා රාජ්‍යයේ රජකම් කළා. එයා මිය යන්න කලින් එයාගේ පුතාලට හුඟක් තෑගිබෝග දුන්නා. මොකද එයා හිතන්න ඇති එහෙම කළොත් එයාගෙන් පස්සේ රජකමට පත් වෙන එයාගේ පුතා අබියාට විරුද්ධව එයාලා කැරලිගහන එකක් නැති වෙයි කියලා. (2 ලේක. 11:21-23) එයා රජකමට පත් වුණ මුල් කාලේ වැඩ කළාට වඩා ඥානවන්ත විදිහට ඒ වෙලාවේ වැඩ කළා කියලා කියන්න පුළුවන්.

හොඳ රජෙක්ද?

රෙහබෝවම් දෙවිගේ අනුමැතිය දිනාගන්න අපොහොසත් වුණා. බයිබලේ කියන්නේ එයා “දෙවි පිළිකුල් කළ දේවල්” කළා කියලයි. මොකද ‘මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම ලබාගැනීමට එයා උත්සාහ කළේ නැහැ.’—2 ලේක. 12:14.

දාවිත්ට දෙවි එක්ක තිබුණා වගේ කිට්ටු බැඳීමක් රෙහබෝවම් රජුට තිබුණේ නැහැ

එයා සමහර වෙලාවලදී දෙවිට කීකරු වුණා. දෙවිගේ සෙනඟ වෙනුවෙන් හොඳ දේවලුත් කළා. ඒත් දෙවි එක්ක කිට්ටු බැඳීමක් එයාට තිබුණේ නැහැ. හැම කාරණයකදීම දෙවි සතුටු වෙන විදිහට දේවල් කරන්න එයාට ලොකු ආසාවක් තිබුණෙත් නැහැ. ඒ නිසයි දෙවිව අත්හැරලා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න එයා පටන්ගත්තේ. රෙහබෝවම් දෙවිට කීකරු වුණ අවස්ථාවලදී එහෙම කළේ අනිත් අයගේ කීමට වෙන්න පුළුවන්. (2 ලේක. 11:3, 4; 12:6) පස්සේ කාලෙක එයා ආයෙත් දෙවි පිළිකුල් කරන දේවල් කළා. එයාගේ සීයා වුණ දාවිත්ට වඩා එයා කොච්චර වෙනස්ද! දාවිත් අතිනුත් බරපතළ වැරදි වුණා. ඒත් එයා අවංකවම පසුතැවුණා. දාවිත්ගේ හිතේ යෙහෝවා දෙවි ගැන තිබුණ ආදරේ කවදාවත් නැති වුණේ නැහැ. එයා කොයිම වෙලාවකවත් බොරු දෙවිවරුන් වෙතට හැරුණේ නැහැ.—1 රාජා. 14:8; ගීතා. 51:1, 17; 63:1.

රෙහබෝවම් රජුගේ ජීවිත කතාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි පවුලේ අයගේ අවශ්‍යතා ඉටු කරනවා ඇති. වෙහෙස මහන්සි වෙලා දෙවිට සේවය කරනවා ඇති. ඒත් දෙවිගේ අනුමැතිය දිනාගන්න ඒ දේවල් කරන එක විතරක් ඇතිද? නැහැ. දෙවිගේ අනුමැතිය දිනාගන්න නම් දෙවිත් එක්ක අපිට කිට්ටු බැඳීමක් තියෙන්න ඕනෙ වගේම දෙවි බලාපොරොත්තු වෙන විදිහට අපේ ජීවිත ගත කරන්නත් ඕනේ.

එහෙම කරන්න අපි පෙලඹෙන්නේ යෙහෝවා දෙවි ගැන අපේ හිතේ ලොකු ආදරයක් තියෙනවා නම් විතරයි. ගින්නක් දිගටම තියාගන්න අපි ඒකට දර දානවා වගේ දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ දිගටම තියාගන්න නම් අපි නිතිපතා බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතන්න ඕනේ. අත් නෑර යාච්ඤා කරන්නත් ඕනේ. (ගීතා. 1:2; රෝම 12:12) අපි දෙවිට ආදරෙයි නම් දෙවිගේ හිතට දුකක් ගේන දෙයක් අපි කරන්නේ නැහැ. අපි අතින් වරදක් වුණත් ඒ ගැන පසුතැවිලා දෙවිගෙන් සමාව ඉල්ලනවා. අපිට ඕනෙ ජීවිතේ හැම කාරණයකදීම දෙවිව සතුටු කරන්න. එහෙම කරනවා නම් රෙහබෝවම් වගේ වෙන්නේ නැතුව හැමදාටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්.—යූද් 20, 21.

^ 9 ඡේ. සලමොන් රජ දෙවිට අකීකරු වුණ නිසා රාජ්‍යයේ බෙදීමක් ඇති වෙනවා කියලා දෙවි ඒ වෙද්දීත් කියලා තිබුණා.—1 රාජා. 11:31.